20160924

ඔබ ඔබේ දරුවා හදනවාද, මකනවාද?


අපේ රටේ අධ්‍යාපනය
දරුවෙකුගේ සහජ දක්ෂතා මොට කරයි.
ඒ අඳ ගොළු බිහිරි අධ්‍යාපනයට ගොදුරු නොවී
ස්වශක්තියෙන් උඩුගං බලා පිහිනූ දරුවන්
තමා තෘප්තිමත් වන ක්ෂේත්‍රයෙහි
ඉහළට පැමිණ නිදහසේ වෙසෙයි.
ඒ ක්ෂේත්‍රයෙන්ම අධ්‍යාපනය ලබමින්
දෙමව්පියන් ගුරුවරුන් නෑසියන්
අමන්දානන්දයට පත් කරමින්
උපාධි සහතික පත් දිනා ගත්
වෙනත් ක්ෂේත්‍රවල දක්ෂතා ඇති දරුවෝ
ඔවුන් ලබාගත් බම්බුව සමග පෙනී සිටින
ආකර්ෂණීය ඡායාරූපය ගෙදරට නාකි වෙද්දී
මුලු ජීවිතයම වහලෙක් මෙන්
කාට හෝ අකමැත්තෙන් කඹුරමින්
නොසන්සිඳෙන අතෘප්තියෙන් ජීවත් වෙති.
ආයතනයට කාලයෙන් ශ්‍රමයෙන් සොරකම් කරති.
නිහඬව හෝ හඬ නගා
වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කරති.
සූදුවට ස්ත්‍රීන්ට මත්පැනට හුරු වෙති.
ලොල් වෙති.
කුඩා කලම මග වරද්දාගත් පව ගෙවති.
නැත්නම් නරුමයන් වී යාන්ත්‍රිකව ජීවත් වෙමින්
උපන්නාට මෙලොව වැනෙති.


මෙවැනි අවස්ථාවලට මැදිවී
නිරන්තරයෙන් විඳින දුක් වේදනා නිසා
අපේ දරුවන්ගේ සහජ දක්ෂතාවලට
උපරිම සහයෝගය දෙන්නටත්
ඔවුන්ගේ අත්‍යාවශ්‍ය අධ්‍යාපනය
සාමාන්‍ය මට්ටමේ පවත්වාගන්නට
අපි අදිටන් කරගෙන ඇත්තෙමු.

උදේ දත් මැදීම,
හිස පීරීම, වැසිකිළි යෑම වැනි
යහපත් පුරුද්දක් විදියට කරන්නටත්
ඊළඟ පන්තියට යන්නට ප්‍රමාණවත් මට්ටමට
පාසල්  අධ්‍යාපනය
පවත්වාගන්නටත් අදිටන් කරගෙන සිටිමු.

දරුවන්ගේ ජීවිතයත් සතුටත් රඳා පවතින්නේ
අප වඩාත්ම අගය කරන රැකියාව කිරෙමෙන් නොව
දරුවන් පෙර සසර හුරුවූ වාසනා ගුණ මත
දරුවා වඩාත්ම ප්‍රිය කරන සහජ දක්ෂතාවය මත බව
අපි අත්දැකීමෙන් දන්නෙමු.

සහජ දක්ෂතාවයෙන් ජීවත් වන්නෝ
ඉන් උපයන මුදලට යටත් නැත.
ඉන් උපදින ගරු නම්බු ලාභ සත්කාරවලට
වහලුන් බවට පත් නොවෙයි.

සහජ දක්ෂතාවය දරුවාගේ චරිතයෙහි අංගයකි.
පිටින් සවි කරන ආගන්තුක උපාංගයක් නොවේ..

කුරුල්ලා කුරුල්ලෙකි.. මාලුවා මාලුවෙකි.
කුරුල්ලාට තටු දිය යුතුය. මාලුවාට වරල් දිය යුතුය.
අශ්වයාගේ දෙපා සවිමත් කළ යුතුය.

මී කුණක් විකුණා කොලුවෙක් නැව්පතියෙක් වූ කතාව
තමන්ගේ ජීවිතයේ ආදර්ශය කර නොගත්
කටපාඩම් අධ්‍යාපනයට සමත් වූ දක්ෂ දරුවෙක්
ව්‍යාපාර කළමනාකරණයට යොමු කිරීම
රැකියාව, ගේදොර ඉඩකඩම්, යානවාහන අතින්
ඔහු කොතරම් සාර්ථක ජීවිතයක් ගත කළද
මිනිසෙකු ලෙස ඔහුගේ ජීවිතය බංකොළොත් කිරීමකි.

මිදුලට බැස්ස විට කෝම්පිට්ටු හදන්නේ නැති,
වැල්ලට ගිය විට වැලි ගෙවල් හදන්නෙ නැති,
සාලයෙහි හතර අත විසිර ඇති
බිල්ඩින් බ්ලොක්ස් අල්ලන්නෙවත් නැති දරුවෙක්
ඉංජිනේරුවෙක් කිරීමට ක්‍රියා කිරීම
ඔහු කම්කරුවෙකුටත් අන්ත දුගී ජීවිතයකට
සිතින් ඔහු පත් කරන කරන ව්‍යාපෘතියකි.
තම දරු පවුල සමග
කම්කරුවා තෘප්තියෙන් ජීවත් වෙද්දී
ඉසුරුමත් ඉංජිනේරුවා තෘප්තිය සොයා
අවන්හල් සමාජශාලා තුළ සැරිසරනු
ඔහුගේ  දෙමව්පියන්ට දැකිය හැකි වනු ඇත.
ඒ ඔවුන් ඔහුට දුන් වටිනාම ත්‍යාගයයි.

වෛද්‍යවරු දහස් ගණන් ඇත.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු
වෙදකමට හෙද කමට උපන්නෝ නොවෙති.
බුද්ධදාස රජු නයා සුවපත් කිරීම අසා
සර්පයන්ට කරුණාවක් පහළ නොවෙන දරුවෙක්,
බුදුන් වහන්සේ පූතිගත්තතිස්ස හිමියන්ට
හෙදකම් කිරීම අසා
සිතින් සුවපත් නොවෙන
දරුවෙක්,
රෝගියෙකු දුටුවිට කම්පා නොවෙන
ඔහු සුවපත් කරන්නට
කාරුණික හැඟීමක් ඇති නොවෙන දරුවෙක්
පාසල් අධ්‍යාපන රටාව තුළ
දක්ෂයෙකු වූ පමණින් වෛද්‍යවරයෙකු කිරීම
වෛද්‍ය වෘත්තියටත්, රෝගීන්ටත්,
ඔහුටත් කරන හානියකි.
වෘත්තියෙන් විඳින අතෘප්තියෙන් මිදෙන්නට
ඉන් නැති සතුට භෞතික ලෝකයෙන් සොයන්නට
නිරතුරුව දරණ සානුකම්පිත වෑයම තුළ
ඔහු සියුම් අපරාධකරුවෙක් විය හැක.
සැප සම්පත් බිලී බාන්නට රෝගියා ඇමක් කරගන්නා
නරුමයෙකු විය හැක.

කවර ක්ෂේත්‍රයක් ගත්තත්
තමාට නොගැලපෙන ක්ෂේත්‍රයකට යොදවා
ඒ ක්ෂේත්‍රය තුළ දුක් විඳින වහලුන් නිසා
මුළු ක්ෂේත්‍රයම පිරිහෙන අතර
තමන් කැමති ක්ෂේත්‍රවල ඉදිරියට යන අය
සිය අනන්‍යතාවයත් රැකගෙන,
තම ශක්ති පමණින්,
ක්ෂේත්‍රය ආලෝකවත් කරති.

දරුවා කුඩා අවදියේ නිතර කරන
එකඟ සිතින් රැඳී සිටින කෙළි සෙල්ලම් තුළ
ඔහුගේ සහජ දක්ෂතා පැහැදිලිය.
ඔහුගේ සහජ හැකියාවන්ට
දෙමව්පියන් අන්ධයන් වීම නිසා

නෙත් ඇති දරුවන් අඳුරට පත් කොට
ගේ දොර ඉඩකඩම් විකුණා
කණ වැල අල්ලන දෙමව්පියන්

දරුවන්ට ආලෝකයක් නොවෙන ක්ෂේත්‍රවල
අන්ධයන් බවට පත්කොට
ඔවුන්ගේ ජීවිත අඳුරු කරති.

අපේ රටේ සමාජ පරිහානියට
මේ ප්‍රවණතාවය ප්‍රබල හේතුවකි.

20160920

සිරිධම්ම හිමිගේ රහත් බව -:- මා ලියූ ලිපි

  1. සමන්ත භද්‍ර නිවන ලෙස විඳින්නේ මෝහයයි.
  2. මං කාටවත් බය නෑ. මං සියල්ලන්ටම අභියෝග කරනෝ. -සිරිධම්ම හිමි
  3. සිරිධම්ම හිමි, ඔබ රහතෙක් නොවෙයි.
  4. සිරිධම්ම විපස්සනාව බොනිකර තරුවක්.
  5. සිරිධම්ම සමග කුකුළු පොරය ඇරඹෙන තුරු...
  6. සිරිධම්ම හිමි සහ අතුල සිරිවර්ධන -VFM නාලිකාවේ සංවා...
  7. - නොවිඳීම -VFM සංවාදයෙන් කොටසක් - සිරිධම්ම හිමි සහ අතුල සිරිවර්ධන
  8. VFM විවාදයේදී මා අතින් වූ වරදක්.... -සමාවෙන්න. 
  9. සිරිධම්ම හිමි රහත් වෙන්නත් පුලුවන් .. නොවෙන්නත් පුලුවන්
  10. සිරිධම්ම හිමිට විවෘත අභියෝගයක්. 2016 ජූලි 24
  11. සිරි ධම්ම හිමිත් මතු භවයක පසේ බුදු කෙනෙක් ???
  12. ත්‍රිපිටකයෙ නැති සත්‍යයක් සිරිධම්ම හිමිගෙ අවබෝධය තුළ තියනවාද?
  13. සමථයෙන් රාගය ප්‍රහීණ වේ? - නොවේ? -සිරිධම්ම ගෝලයෙක්...
  14. බුදුන් වහන්සේ, මර්වින් සිල්වා සහ සිරිධම්ම හිමි සමා...
  15. සිරිධම්ම ගෝලයන්ගෙ විපස්සනාව සහ සැබෑ විපස්සනා මග......
  16. සමථ විපස්සනා විවාදාභිමුඛ හමුව 2 -සිරිධම්ම හිමි - අ...
  17. සැබෑ විපස්සනාව සහ සිරිධම්ම හිමි දෙසන ව්‍යාජ විපස්සනාව...
  18. මේ ජීවිතයෙම සෝවාන් වෙන්න පුලුවන්ද?, හැම කෙනෙකුටම.....
  19. ප්‍රායෝගික විපස්සනා අත්දැකීමක්.
  20. පුහුදුන් තැනැත්තාගේ විඳීම ආර්ය ශ්‍රාවකගෙන් වෙනස් ව...
  21. "සිහිය නැති වූ විට කලබල නොවන්න" -සිරිධම්ම හිමිට වැ...
  22. ආශ්‍රමවාසී ධම්මජාත හිමිගෙන් නව නිකායක් සහ ආශ්‍රමයක්?
  23. භික්ඛු ධම්ම ජාත හිමිගේ මිහිරි තර්ජනයක්, Facebook මගින්
  24. රහත් වෙස් ගත් සමන්ත හිමි පිළියන්දලින් ජනපති පුටුවට.
  25. සාපේක්ෂක ඉවත් කරන්න! නිවන නොමිලේ.
  26. සිරි සදහම් ආශ්‍රමවාසීන්ගේ නිදහස වහා බිඳෙන සුළුය. 
  27. රහතන් වහන්සේ තුළ අඳුර නැහැ... ආලෝකය පමණයි.

සිරිධම්ම හිමි රහත් වෙන්නත් පුලුවන් .. නොවෙන්නත් පුලුවන්...???


සිරිධම්ම හිමි රහත් වෙලා නම්
ඔහු රහත් බව නිශ්චිතව කියන්න හැකියාව ඇත්තෙ
බුදුන් වහන්සේට පමණයි.

ඔහු රහත් කියා හිතන කිසිවෙකුටත්
 ''සිරිධම්ම හිමි රහත්''
කියා නිශ්චිතව කියන්න බැහැ.
ඔවුන් එසේ අදහනවා පමණයි.

දිනක් සැරියුත් හිමියන් විසින්
ශිෂ්‍ය භික්ෂුවකට කමටහන් දෙනවිට
බුදුන් වහන්සේ ඒ අසලින් වැඩියා.
" ඇයි සැරියුත්, ඒ හිමි නම වෙහෙසවන්නෙ?
ඔහු කටයුතු හමාර කරගෙන තියෙන්නෙ"
උන් වහන්සේ ලිව්වා.

කෙනෙකු රහත් වෙලාද කියා ''නිශ්චිතව'' කියන්න පුලුවන්
බුදුන් වහන්සේට පමණයි.
ප්‍රඥාවෙන් බුදුන්වහන්සේට පමණක් දෙවෙනි වූ
සැරියුත් තෙරුන් වහන්සේටවත්
කෙනෙකු රහත් වෙලාද කියා නිශ්චිතව කියන්න බැහැ.

''සිරිධම්ම හිමි  රහතන් වහන්සෙ කෙනෙක්ද?''
කියා මම ඇහුවොත්
ඔබ හැම කෙනෙකුටම  කියන්න වෙන්නෙ
"සිරිධම්ම හිමි රහත් වෙන්නත් පුලුවන් ..
නොවෙන්නත් පුලුවන්"...කියායි.

'' සිරිධම්ම හිමි රහත් වී නැති කෙනෙක්ද? ''
කියා ඇහුවොත්
විමසා බලා වෙනස් පිළිතුරක් දෙන්න අපට පුලුවන්.

සිරිධම්ම හිමි රහත් වෙලා නම් කියන්න පුලුවන්
බුදුන් වහන්සේට පමණයි.
ඒ අනුව ඔහු රහත්වෙන්නත් පුලුවන්..
නැති වෙන්නත් පුලුවන්.
මම VFM විවාදයෙදි ඒ බව කිව්වා.
මේ ප්‍රකාශය අද ඔවුන්ගෙ
ප්‍රධාන ආයුධයක් වී තියනවා.

සිරිධම්ම හිමි රහත් වෙලාද?
කියන ගැටලුව තියෙන්නෙ ඔහු රහත් වෙලා නම් පමණයි.
රහත් නොවුණ කෙනෙකුගෙ ලක්ෂණ
පුහුදුන් අය හොඳින් දන්නවා.
ආර්යශ්‍රාවකයෙක් ඉන්නෙ
පුහුදුන් බවත් රහත් බවත් අතර තැනකයි.
ආර්යශ්‍රාවකයෙකුට
රහත් නොවුණ කෙනෙක්
වඩාත් හොඳින් හඳුනා ගන්න පුලුවන්.

'' සිරිධම්ම හිමි රහත් වී 'නැති' කෙනෙක්ද? ''
කියා ඇහුවොත් අපට පිළිතුරක් දෙන්න පුලුවන්.

කෙනෙක් තමන්ගෙ අත්දැකීම් කියා
මම රහත් වෙලාද කියා
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගෙන් විමසුවොත්
"ඔබ කියන ලක්ෂණ අනුව නම් ඔබ අනාගාමි කෙනෙක්"
කියා උන්වහන්සේ පිළිවදන් දෙනවා.

ඒ තැනැත්තා  කියන ලක්ෂණ
සැබැවින්ම ඔහු තුළ නැත්නම්
ඔහු රහතෙක් නොවන බවත්
ආනන්ද හිමියන්ගෙ ප්‍රකාශයෙන් ගම්‍ය වෙනවා..

සිරිධම්ම හිමි රහත් කියා කියන්නේ ඔහුමයි.
ඒ සඳහා නොයෙක් හේතු ඉදිරිපත් කරමින්
රහත් කියා ලොවට ඔප්පු කරන්නට ඔහු වෑයම් කරනවා.
ඒ හේතු සත්‍ය ලෙස දකින අය
ඔහු රහත් කියා අදහනවා.
|
''මම රහත් වෙලා, මම රහත් වෙලා, මම රහත් වෙලා ''
කියන නමුත්
සැබැවින්ම රහත් වෙලා 'නැති' පුහුදුන් කෙනෙක්
''රහත් වෙලා නැති බව'' දැනගන්න
බුදුන් වහන්සේම අවශ්‍ය නෑ.
''රහත් බව මනින්න'' බුදුන් වහන්සේ අවශ්‍ය වුණත්
ඔහුගෙ ''නොරහත් බව මනින්න''
බුදු දහම විඳ පසක් කරන
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකුට පුලුවන්.

අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාත්
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාත් යනු දෙදෙනෙකි.
මේ දෙදෙනාගේ වෙනස කුමක්ද?

"මේ සිත ප්‍රභාස්වර ය.
ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය.
ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ
එය තත් වූ පරිද්දෙන් නො දනී.
මේ සිත ප්‍රභාස්වර ය....
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදෙන්නේය..
එය ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී."

ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා
ප්‍රභාස්වර සිත කෙලෙසුන්ගෙන් මුදා ගන්නේ කෙසේද?

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

මානසික දුකක් ඇති කරන අරමුණකදිත්
ඔහු ඒ දුක විඳින්නෙ කායිකවයි.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
සිතෙහි ඇතිවෙන සියලු දෙ සමගම
කයෙහිත් වේදනාවක් සමව සරණකොට පවතිනවා.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සිතට සමගාමී වේදනාව සිහියෙන් දකිමින්
ඒ වේදනාවට උපේක්ෂාවෙන් විසීම නිසා
දුක් වේදනා තිබියදීත් සිත ප්‍රභාස්වරයි.

කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින නිසා
ඒ මොහොතෙහිදී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගෙ සිත ප්‍රභාස්වරයි.

''මේ සිත ප්‍රභාස්වර ය....
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදෙන්නේය..''
කියන සිතෙහි සත්‍ය ස්වභාවය
ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී

විඳ පසක් කිරීමෙන්
පටිච්ච සමුප්පාදය දන්නෙ නැත්නම්
ඔහු රහතෙක් නොවෙයි.
විඳ පසක් කිරීමෙන්
සතර සතිපට්ඨානය දන්නෙ නැත්නම්
ඔහු රහතෙක් නොවෙයි.

මුළු පටිච්ච සමුප්පාදයෙන්ම
මෙ මොහොතෙ අත්දකින්න පුලුවන් තැන
විඳ පසක් කළ හැකි තැන
වේදනා පච්චයා තණ්හායි.

වේදනාවෙන් තණ්හාව ඇතිවෙන අයුරුත්
තණ්හාවෙන් උපාදානය ඇතිවෙන අයුරුත්
සිරිධම්ම හිමියන් විඳ පසක් කොට නැති බව
ඔහුගේ දේශනා වලින් පැහැදිලියි.

කවුරු හෝ
තණ්හාව ගැන දේශනා කරනවා නම්
ඔහුට කිව හැකි සරලම කරුණක් තියනවා.
තණ්හාව ඇති වෙන්නෙ වේදනාව නිසායි.
බුදුන් වහන්සේ දේශනා කළ මේ කරුණ
අත්දැකීමෙන් නොදන්නා කෙනෙක්
තණ්හාව ගැන දන්නෙ නැහැ.

තණ්හාව ගැන දන්නා කෙනෙකුට
තණ්හාව පිළිබඳ මේ කරුණු දෙකට එහා
වෙනත් ''අමුතු අවබෝධයක්'' ලැබෙන්නෙ නෑ.

සිරිධම්ම හිමිගෙ අවබෝධය
බුදුන් වහන්සේට වඩා වෙනස් කියා
ඔහු කියනවා.
එසේ කියන්න ඔහුට හේතුවක් තියනවා.
හේතුව ඔහු තණ්හාව ගැන නොදන්නා කමයි.

වේදනා පච්චයා තණ්හා
මාතෘකාව යටතෙ දේශනයක් කරන්න කියා
මම සිරිධම්ම හිමිට
2016 ජූලි මාසෙ අභියෝග කළා.
අදටත් ඔහු නිහඬයි.


සිරිධම්ම හිමි රහතෙක් නම්
සිය රහත් වීම සඳහා
1, සුව වේදනාවෙන් රාගානුසයය ප්‍රහීණ කළ අයුරුත්,
2, දුක් වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ කළ අයුරුත්,
3, නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ කළ අයුරුත්
ඔහු මනාව දත යුතුය.
මේ තුන් ආකාර වේදනා අනුසාරයෙන්
ආර්යශ්‍රාවකයා තෘෂ්ණාව සිඳින අයුරු
ඔහුට විස්තර කළ හැකි විය යුතුය.

පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

''වේදනා පිරිසිඳ දකිනවා'' කියන්නෙ
එක වේදනාවක් පිරිසිඳ දැකීම නොවෙයි.
මුළු කය පුරාම දැනෙන සියලුම වේදනා
පිරිසිඳ දැකීමයි.

සිරිධම්ම හිමි කියන්නෙ
වේදනා ප්‍රිය නම් එහි ඇලී රස විඳින
වේදනා අප්‍රිය නම් එයින් පළා ගොස්
මෝහයට වැටී සැනසිල්ලෙන් වෙසෙන කෙනෙක් බව
ඔහුගෙ දේශනා වලින් පැහැදිලියි.

වේදනා පච්චයා
තණ්හා කියන සත්‍යය
ඔහු තවම ප්‍රත්‍යක්ෂ ලෙස දන්නෙ නැහැ.
ඔහු දන්නෙ පොතේ තියන වචන ටික විතරයි.

වේදනා පච්චයා තණ්හා
විඳ පසක් කළ යුතුයි.
පොතෙන් ඉගෙන ගන්න බැහැ.
ඔහුට ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය නැහැ.
ඔහු රහත් නොවන බවට ප්‍රධානම සාක්ෂිය එයයි.

දෙවන සාක්ෂිය ඔහු උගන්වන
ව්‍යාජ විපස්සනාවයි.
ඔහු උගන්වන විපස්සනාව
බුදු දහමට එකඟ නැහැ.

මේ සිරිධම්ම විපස්සනාවයි.
 ------------------------------------------
මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
--------------------------------------------------

චිත්තානුපස්සනාව නමින් ඔහු දෙසන
මේ ව්‍යාජ විපස්සනාවට අමතරවත්
ඔහු දෙසන දහම තුළ
සතර සතිපට්ඨානයෙහි වැදගත්ම අංග දෙක වන
කාය වේදනා අනුපස්සනා දෙක නැත.

ඔහු බහුබූත ලෙස හෙළා දකින්නේ
බුදුන් වහන්සේ උගන්වන විපස්සනා ක්‍රමය
සතර සතිපට්ඨානයයි.

අපේ සිත ක්‍රියා කරන්නෙ කයත් සමගමයි.
නාම රූප වශයෙන් දෙකකට බෙදුවත්
මේ දෙකම එක ඒකකයක්.

හැම මොහොතකම සිතත් කයත් වෙනස් වෙනවා.

අපේ සිත මේ වෙනස් වීම පිළි නොගන්නා නිසා
කය වෙනස් වෙමින් යද්දි සිත
තමන් කැමති විදියට තමන්ට ප්‍රිය විදියට
වෙනස් වීම වෙනස් කරගන්න උත්සාහ කරනවා.

මිනිසා තුළ පවතින මේ ගැටුමෙන් මිදෙන්න නම්
අප තුළත් බැහැරත් සිදුවෙන සියලු වෙනස් වීම්...
නාම රූප දෙකේම සිදු වන වෙනස් වීම් ගැන
සිහියෙන් සහ ඒ වෙනස් වීම් වලට නොබැඳී..
ඒ වෙනස් වීම් ප්‍රතික්ෂේප නොකර විසිය යුතු බව
බුදුන් වහන්සේ සොයා ගත්තා.

සිත පමණක් දකින විපස්සනා ක්‍රමයක්
බුදු දහමේ සඳහන් වෙන්නෙ නෑ.
චිත්තානුපස්සනා වඩන කෙනෙක් වුවත්
පළමුව කාය භාවනා කළ යුතුයි.


''කායභාවනා මතු දු නො දනිහි,
තෝ කොයින් චිත්ත භාවනා දනිහි?''

- මහා සච්චක සූත්‍රය -

නිවන් මග ලෙස කායගතා සතිය තනිව දැක්වෙනවා.
කායගතා සතියෙන්
සතර සතිපට්ඨානයම වැඩෙනවා.
නිවන් මග ලෙස ආනාපාන සතිය තනිව දැක්වෙනවා.
ආනාපාන සතියෙන්
සතර සතිපට්ඨානයම වැඩෙනවා.

සිත පමණක් දකින ක්‍රමයක් නෑ.
සිත සහ සිතුවිලි දැකීමෙන්
සතර සතිපට්ඨානයම වැඩෙන්න නම්
කාය වේදනා දෙකත් සිහියෙන් දැකිය යුතුයි.

VFM විවාදය වෙලාවෙ හෝ විරාමයෙදි..
''කායානුපස්සනාව සහ වේදනානුපස්සනාව උගන්වන්නේ නෑ නේද''
කියා මා විමසුවාම
ඉදිරියෙදි උගන්වන බව ඔහු කිව්වා..
ඉන් ප
සුවත් ඒ ගැන නොකියන නිසා
ඒ දෙක
ඔහු නොදන්නා බව මට වැටහුණා.සිරිධම්ම හිමි  රහත්වී නැති බව ඉන් සහතික වුණා.

- කාය වේදනා දෙක නොදකින කෙනෙකුට චිත්ත භාවනා නැත. -


නාම රූප දෙකම දැකීම විපස්සනාවයි.
නාම රූප දෙකම දකින කෙනෙක්
ඒ දෙක යාකරන වේදනා දැකිය යුතුයි.
වේදනා යනු පටිච්ච සමුප්පාදයෙහි
සිත කය දෙකෙන්ම විඳ පසක් කළ හැකි
එකම පුරුකයි.
සිතත් කයත් යා කරන පුරුක වේදනායි.

සිරිධම්ම හිමිට වේදනාත්‍රය
විඳ පසක් කළ අවබෝධය නැහැ.

දුකට හේතුවෙන තණ්හාව උපදින්නෙ
වේදනා හේතු කරගෙනයි.

තණ්හාව උපදින වේදනාවට
සිහියත් උපේක්ෂාවත් වැඩීමෙන්
තණ්හාවත් උපාදානයත් බිඳ දුකෙන් මිදීම
බුදුන් වහන්සේගේ ක්‍රමයයි.

වේදනා පිරිසිඳ දැනීම පිණිස
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.

''මහණෙනි,
මේ වේදනා තුනෙකි.
කවර තුනෙක් ද යත්:
සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි.
මහණෙනි, මොහු තුන් වේදනාවෝයි.
මහණෙනි,
මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.
.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්ය ශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''
බුදුන් වහන්සේ

වේදනාත්‍රය පරිඥාත ආර්ය ශ්‍රාවකයාහට
වේදනාවෙන් තණ්හාව උපදින අයුරු
මොහොතෙන් මොහොතට තමා තුළම
විඳීමෙන්ම ප්‍රත්‍යක්ෂයි.

වේදනාවෙන් තණ්හාව උපදිනවා කියා නොදැන
කිසිවෙකුට රහත් වෙන්න බෑ.

සතර සතිපට්ඨානය නොදැන
වේදනාවෙන් තණ්හාව උපදින ආකාරය පිළිබඳ
සරල පටිච්ච සමුප්පාද දහම නොදැන
තමන් රහත් යයි වහසි බස් දොඩන
සිරිධම්ම හිමි රහතෙක් නොවෙයි.
.

මෙහෙණි සස්න පිහිටුවීමෙන් පසු බුදුන් වහන්සේ කළ වැදගත් ප්‍රකාශය....



මෙහෙණි සස්න පිහිටුවීමෙන් පසු
බුදුන් වහන්සේ සසුනෙහි ආයුෂ පිළිබඳව කළ
ඉතා වැදගත් ප්‍රකාශයක් කළහ.

''ආනන්‍දය
සසුන චිරස්ථිතික විය.
සද්ධර්මය වර්‍ෂ දහසක්ම පවත්නේ ය.
ආනන්‍දය,
යම් හෙයකින් මාගම
තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි
ගිහිගෙන් නික්ම සස්නට වැදගත්තී ද,
ආනන්‍දය,
දැන් බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වේ.

ආනන්‍දය,
දැන් සද්ධර්මය පවතින්නේ
පන්සිය වසරක් පමණි.''


‘‘සචෙ, ආනන්‌ද,
නාලභිස්‌ස මාතුගාමො තථාගතප්‌පවෙදිතෙ ධම්‌මවිනයෙ
අගාරස්‌මා අනගාරියං පබ්‌බජ්‌ජං, චිරට්‌ඨිතිකං,
ආනන්‌ද,
බ්‍රහ්‌මචරියං අභවිස්‌ස,
වස්‌සසහස්‌සමෙව සද්‌ධම්‌මො තිට්‌ඨෙය්‍ය.

යතො ච ඛො,
ආනන්‌ද,
මාතුගාමො තථාගතප්‌පවෙදිතෙ ධම්‌මවිනයෙ
අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතො, න දානි,
ආනන්‌ද,
බ්‍රහ්‌මචරියං චිරට්‌ඨිතිකං භවිස්‌සති.
පඤ්‌චෙව දානි, ආනන්‌ද, වස්‌සසතානි සද්‌ධම්‌මො ඨස්‌සති.''

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ 
ශාක්‍ය ජනපදයෙහි කපිලවත්ථු සමීපයෙහි 
 නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. 
එකල්හි 
මහාපජාපතීගොතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, 
එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා. 
එකත්පසෙක සිට ගත් මහාපජාපතී ගොතමී 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා ය:

වහන්ස, 
මාගම තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.

ගෞතමිය, 
කම් නැත. 
තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි 
ගිහි ගෙන් නික්ම 
මාගමගේ අනගාරිය පැවිද්ද 
තොපට රිසි නො වේව යි.

දෙවන වටත් 
තෙවන වටත් 
මහාපජාපතී ගොතමී භාග්‍යවතුන් වහන්සේට 
තෙල කරුණ සැලකළා ය: 
වහන්ස, 
මාගම තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.

ගොතමිය, 
කම් නැත. 
තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි 
මාගමගේ අනගාරිය පැවිද්ද රිසි නො වේව යි.

ඉක්බිති 
මහාප්‍ර‍ජාපතී ගොතමී 
භාග්‍යවතුන් වහන්සේ මාගමට 
තථාගත ප්‍රවිදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද 
නො අනුදන්නා සේකැ යි දුක් ඇත්තී 
නො සතුටු සිතැත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී 
භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැහැර ගියා ය.

ඉක්බිති 
 භාග්‍යවතුන් වහන්සේ කපිලවත්ථුවෙහි කැමති තාක් කල් වැස 
වෙසාලිය බලා චාරිකාවට පිටත්ව වැඩි සේක. 
අනුපිළිවෙළින් සැරිසරන සේක් වෛශාලියට වැදගත් සේක. 
එකල්හි භාග්‍යවතුන් වහන්සේ 
වෙසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.

එකල්හි මහාපජාපතී ගෝතමී 
කෙස් බහවා කසාවත් හැඳ 
බොහෝ සැහැදුන් හා සමග වෙසාලිය බලා පිටත් වූ, 
අනුපිළිවෙළින් වෙසාලියෙහි මහාවනයෙහි 
කූටාගාරශාලාවට එළඹියා ය.

ඉක්බිති මහාපජාපතී ගොතමී 
ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී 
 දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී 
බිහි දොර කොටුවෙහි සිටියා ය. 

ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ 
ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් 
දුක් ඇති දොම්නසින් යුත් කඳුළු පිරි මුහුණැතිව හඬනා 
බිහි දොර කොටුවෙහි සිටි මහා ප්‍ර‍ජාපතී ගොතමිය දුටහ. 
දැක මහාපජාපතී ගොතමියට තෙල කරුණ කීහ:
ගොතමිය, 
කවර හෙයින් 
තෙපි ඉදිමුණු පයින් හා රජස් වැකි සිරුරින් යුක්ත වුවා 
දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී 
බිහිදොර කොටුවෙහි සිටිය වු ද?

වහන්ස ආනන්දයෙනි, 
එසේ මැයි; 
භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍ර‍විදිත වු ශාසනයෙහි 
මාගම්ට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි.

ගෞතමිය, 
එසේ වී නම් 
තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි මාගමක්හට 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද 
භගවතුන් අතින් මම් යම් තාක් යදිම් ද, 
ඒතාක් මෙහි ම වෙව.
 
ඉක්බිති 
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. 
එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. 
එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:

“වහන්ස, 
භාග්‍යවතුන් වහන්සේ මාගමට 
තථාගත ප්‍ර‍විදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම 
අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැයි 
තෙල මහාපජාපතී ගෝතමී තොමෝ 
ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව 
දුක් ඇත්තී දොම්නස් ඇත්තී කදුළුපිරි මුහුණැත්තී හඬන්නී 
බිහිදොර කොටුවෙහි සිටියා ය.

වහන්ස, 
මාගම තථාගතප්‍ර‍විදිත ශාසනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබනු නම් මැනැවි.” 

ආනන්‍දය, 
කම් නැත. 
මාගමට තථාගතප්‍ර‍විදිත ශාසනයෙහි 
ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද 
තට රිසි නො වේව යි.
දෙවනු වටදු ... 
තෙවන වටදු 
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: 
“වහන්ස, 
මාගම තථාගතයන් වහන්සේ විසින් 
පහදා ප්‍ර‍කාශ කරන ලද ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවි” යි.

ආනන්‍දය, 
කම් නැත; 
මාගමට තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම 
අනගාරිය පැවිද්ද තට නහමක් රුස්නේව යි.

එසඳ 
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල සිත විය: 
භාග්‍යවතුන් වහන්සේ මාගමහට 
තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම 
අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේක. 
මම් අන් අයුරෙකිනුදු 
තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
මාගමහට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද 
බුදුන් යදනෙම් මනා මැනු.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. 
වහන්ස, 
මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ 
සොවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමිපල හෝ රහත්පල හෝ 
පසක් කරන්නට භව්‍ය වේ දැයි?

ආනන්‍දය, 
මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ 
සොවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමි පල හෝ රහත්පල හෝ
පසක් කරන්නට භව්‍ය වෙයි.

ඉදින් වහන්ස, 
මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණ 
සොවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමි පල හෝ රහත්පල හෝ 
පසක් කරන්නට භව්‍ය වේ නම්, 
වහන්ස, 
මහාප්‍ර‍ජාපතී ගොතමී භගවත්නට බොහෝ වහල් වුව, 
සුළුමවු ය, අත් පා වැඩූ ය, පෝෂණය කළා ය. 
මෑණියන් කලුරිය කරත් ම භගවත්නට කිරි පෙවූ ය.
වහන්ස, 
මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැව.

ආනන්‍දය, 
ඉදින් මහාප්‍ර‍ජාපතී ගොතමී අෂ්ට ගුරුධර්මයන් පිළි ගන්නී නම් 
ඇයට එම උපසම්පදා වේවා යි.

1. “උපසපන් සියක්වස් ඇති මෙහෙණ විසිනුදු 
එදින උපසපන් මහණක්හට 
අභිවාදන, ප්‍ර‍ත්‍යුත්‍ථාන, අඤ්ජලිකර්ම, සාමීචිකර්ම කළ යුතු ය. 
මෙ දහමත් සකසා ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

2. මෙහෙණ විසින් 
ඔවා දෙන මහණක්හු නැති ආවාසයෙහි 
වස් නො එළැඹිය යුතු. 
මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

3. අඩමසක් පාසා මෙහෙණ විසින් 
බික් සඟන කෙරෙන් පෙහෙවස් පිළිවිසුම ය, 
ඔවා පිණිස එළැඹුම් ය යන දහම්හු දෙදෙන කැමති විය යුතුවහ. 
මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

4. වස් වුසූ මෙහෙණ විසින් උභතො සඞ්ඝයා කෙරෙහි 
දැකීමෙන්, ඇසීමෙන්, පරිසඞ්කායෙන් යන 
තුන් තැනෙකින් පැවරිය යුතු ය. 
මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

5. ගරු ඇවැත් අවන් මෙහෙණ විසින් 
උභතොසඞ්ඝයා කෙරෙහි පක්ෂමානත් පිරිය යුතු ය. 
මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

6. දෙවසක් දහම් සයෙක හික්මුණු ශික්ෂා ඇති 
සික්ඛමානාව විසින් උභතොසඞ්ඝයා කෙරෙහි 
උපසම්පත් සෙවිය යුතු. 
මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

7. කිසි කරුණෙකිනුදු 
මෙහෙණ මහණ විසින් ආක්‍රොෂ පරික්‍රොෂ නොකට යුතු. 
මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

8. ආනන්‍දය, 
අද පටන් කොට මහණුන් කෙරෙහි මෙහෙණන්ගේ වචනපථය වැසිණ. 
මහණුන්ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණ. 
මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

ආනන්‍දය, 
ඉදින් මහාපජාපතී ගොතමී මේ අෂ්ට ගුරු ධර්මය පිළිගන්නී නම් 
ඇයට උපසම්පත් එයම වේවයි.

ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ 
භගවතුන් හමුයෙහි මේ අෂ්ට ගුරුධර්මයන් ඉගෙන 
මහාපජාපතී ගොතමිය වෙත එළඹියහ. 
එළඹ මහාපජාපතී ගෝතමියට තෙල කීහ:
ගොතමිය, ඉදින් තෙපි අෂ්ටගුරුධර්මයන් පිළිගන්නවු නම් 
තොපට උපසපුව එ ම වෙයි.

වහන්ස, 
ආනන්‍දයෙනි, 
යම් සේ තුරුණු වූ යොවුන් බවට පත් සැරසුම් සැහැවි කොට ඇති 
ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස් සැනැහුයේ 
උපුල් මල්දමක් වේව යි සමන්මල්දමක් වේව යි 
යොහොඹුමල්දමක් වේවයි ලැබගෙන 
දෙ අතින් පිළිගෙන උත්තමාඞ්ගය වූ සිරස්හි පිහිටුවන්නේ වේ ද, 
වහන්ස, 
එපරිදි ම මම් දිවිහිමියෙන් නොඉක්මවිය යුතු 
මෙ අෂ්ට ගුරු ධර්මයන් පිළිගනිමි.

ඉක්බිති 
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. 
එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. 
එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, 
මහාප්‍ර‍ජාපතී ගොතමිය විසින් දිවිහිමියෙන් නො ඉක්මිය යුතු 
අෂ්ටගුරු ධර්මයෝ පිළිගන්නා ලදහ යි.

ආනන්‍දය, 
ඉදින් මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො ලැබූ නම්, 
ආනන්‍දය සස්න චිරස්ථිතික විය. 
සද්ධර්මය වර්‍ෂසහස්‍ර‍යක් ම සිටුනේ ය. 
ආනන්‍දය, 
යම් හෙයකින් මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම සස්නට වැදගත්තී ද, 
ආනන්‍දය, 
දැන් බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වේ. 
 ආනන්‍දය, 
දැන් සද්ධර්මය පස්වාසියක් (වර්‍ෂ 500ක් )ම සිටුනේ ය.

ආනන්‍දය, 
යම් පරිදි බොහෝ ස්ත්‍රීන් ඇති අල්පපුරුෂයන් ඇති 
යම් කිසි කුලයෝ වෙත් නම් ඒ කුලයෝ කුම්භත්ථෙනක 
(කුඹුයෙහි පහන් දල්වා ඒ එළියෙන් ගෙයි බඩු සොයා සොරකම් කරන) 
සොරුන් විසින් පහසුයෙන් නැසිය හැකි වෙත් ද, 
ආනන්‍දය, එපරිදි ම යම් ධර්ම විනයෙක් 
මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, 
ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, 
යම් පරිදි සම්පන්න ශාලික්ෂේත්‍ර‍යක 
(පණුවන් විදීමෙන් හටගන්නා) සෙතට්ඨිකා නම් 
ශෂ්‍යරොග ජාතියෙක් උපදනේ ද, 
එසේ ඇතිවත් ම ඒ ශාලික්ෂෙත්‍ර‍ය චිරස්ථිතික නො වේ ද, 
ආනන්‍දය, 
එපරිදි ම යම් ධර්මවිනයෙක් මාගම 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, 
ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, 
යම් පරිදි සමෘද්ධ වූ උක්කෙතෙක (උක් ගස තුළ රතුවන) 
මඤේජට්ඨකා නම් ඉක්ෂු රෝගයෙක් උපදනේ ද, 
එසේ වත්ම ඒ ඉක්ෂු ක්ෂේත්‍ර‍ය චිරස්ථිතික නො වේ ද, 
ආනන්‍දය, 
එපරිදි ම යම් ධර්මවිනයෙක මාගම ගිහි ගෙන් නික්ම 
අනගාරිය පැවිද්ද ලබා නම් ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, 
යම් පරිදි පුරුෂයෙක් 
මහත් තඩාගයක්හුගේ නියර 
(දිය නො බැස යනු පිණිස කැල ම), බඳනේ වේ ද, 
ආනන්‍දය, 
එ පරිදි ම මා විසින් කැල ම මෙහෙණනට 
දිවිහිමියෙන් නො ඉක්මවිය යුතු 
අෂ්ට ගුරුධර්මයෝ පණවන ලදහ යි.


සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය »  ගොතමී වර්ගය
 
පාලි මූලාශ්‍රය

20160919

ත්‍රිපිටකයෙ නැති සත්‍යයක් සිරිධම්ම හිමිගෙ අවබෝධය තුළ තියනවාද?


දෝණි පොත් කියවන්න පුරුදු වෙලා.

නගුල් මුන්නා, රන් කැකිර ආදී
ජනකතා පොත්වලට ඇය දක්වන්නෙ දැඩි කැමැත්තක්.
වෙනත් පොතුත් කියවනවා.

ඇය ජනකතා කියවීම නිසා
ජනකතා වල අගය පිළිබඳව හිතන්න
මම පෙළඹුණා.

ජනකතාවක් පරපුරෙන් පරපුරට යන්නෙ
රටේ සංස්කෘතිය සහ ජන විඥාණය සමග
පෑහෙන ස්වභාවයක් ඒ කතාවෙ සංයුතිය තුළ
ගැබ්වෙලා තියන නිසා කියා මට හිතුණා.

මහදැනමුත්තා කතා පෙළ
රටේ ජනප්‍රිය වෙලා තියෙන්නෙ
මහදැන මුත්තා වැනි චරිත
අප අතර ජීවත් වෙන නිසයි.

මුට්ටිය බිඳ එළුවාගෙ හිස එළියට ගන්න කියන
සාමාන්‍ය කෙනෙකුට අවඥාවෙන් සලකමින්...
අපට අවශ්‍ය මුට්ටිය නොබිඳ
එළුවා බේරගන්නයි කියමින්
අවසන තාප්පයත් බිඳ දමා
එලුවාගේ බෙල්ලත් කපා, මුට්ටියත් බිඳින
මන්ද බුද්ධික ජනතාව අප අතර සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය වන්නේ
තමන් විසින්ම ප්‍රශ්නය විසඳා ගැනීම නොවෙයි.
තමන් නිවැරදියි කියා හිතන
තමන් ගරු කරන කෙනෙකුගෙන් බණ අසා
ඔහුට අනුව ප්‍රශ්නය විසඳා ගන්නයි.
ඒ මගින් ඔවුන් විශාල තෘප්තියක් විඳිනවා.

මහදැනමුත්තගෙ කඳ, ඔහුගෙ බඩ, ඔහුගෙ අලියා සහ
ඔහුටත් වඩා මෝඩ යාවජීව සුවච ගෝලයෝ රැළ නිසා

ඔවුන්ටත් වඩා මෝඩ රටේ ජනතාව
මහදැනමුත්තා මල්පාවඩ පිටින් වඩම්මනවා.
ඒ විච්චූරණ වලින්
ඇස් නිලංකාර වෙන බොළඳ මිනිස්සු
ඔහු ඇදහිය යුතුයි කියා හිතනවා.

මහදැනමුත්තාගෙ මාන්නාධික මුග්ධ බවත්
ගෝලයන්ගේ මෝඩකම සහ වහල් බවත්
ඔවුන් අදහන මන්ද බුද්ධික ජනතාවත්
දකින්නට හැකියාව ඇති සාමාන්‍ය ජනතාව
මේ පුරාවත තමන්ගෙ දරුවන්ට කියා දීමෙන්
මෙවැනි චරිත ගැන ඔවුන්ගේ සිත් තුළ
තෙවැනි ඇසක් පහළ කරනවා.
මේ තෙවැනි ඇස
ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක්.
සමාජයෙ හැසිරෙන අතරතුර
ඔවුන් මහදැනමුත්තා හඳුනාගන්නවා.
ගෝලයන් අනුගාමිකයන්  හඳුනාගන්නවා.
ඔවුන්ගෙන් ආරක්ෂා වෙනවා.

සමාජයෙ හැසිරෙන අතරතුර දකින
හුරුපුරුදු චරිත නිසා
අපි ජනකතා අහන්න ආසයි.
අපේත්, අපි දන්නා අයගේත් මෝඩකම්,
හපන්කම්, පුරසාරම් ආදිය අසා
අපි සතුටට පත් වෙනවා.

සිරිධම්ම හිමි
අපේ රටේ ඉන්නා නූතන මහදැනමුත්තායි.
සිරිධම්ම හිමිගෙ අවබෝධය
බුදුන් වහන්සේට වඩා වෙනස් කියා කියනවා.
බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමවත් ඔහු දන්නෙ නැහැ.

කවුරු හෝ තණ්හාව ගැන දේශනා කරනවා නම්
ඔහුට කිව හැකි සරලම කරුණු දෙකක් තියනවා.
1 තණ්හාව ඇති වෙන්නෙ වේදනාව නිසා.
2 තණ්හාවෙන් ඇති වෙන්නෙ උපාදානයයි.
බුදුන් වහන්සේ දේශනා කළ
මේ කරුණු දෙක අත්දැකීමෙන් නොදන්නා කෙනෙක්
තණ්හාව ගැන දන්නෙ නැහැ.
තණ්හාව ගැන දන්නා කෙනෙකුට
තණ්හාව පිළිබඳ මේ කරුණු දෙකට එහා
වෙනත් අමුතු අවබෝධයක් ලැබෙන්නෙ නෑ.

සිරිධම්ම හිමිගෙ අවබෝධය
බුදුන් වහන්සේට වඩා වෙනස් කියා කියන්න
ඔහුට හේතුවක් තියනවා.
ඒ ඔහු තණ්හාව ගැන නොදන්නා නිසයි.

1 තණ්හාව ඇති වෙන්නෙ වේදනාව නිසා.
2 තණ්හාවෙන් ඇති වෙන්නෙ උපාදානයයි.
මේ කරුණු දෙක
සිරිධම්ම හිමි නොදන්නා බව
ඔහු ලඩක් යද්දි
සීතලට ඇතිවුණ තණ්හාවෙන්
හිසේ සිට දෙපතුල දක්වා පොරවාගෙන
ගිය ඡායාරූපයෙන් පෙනෙනවා.

ඔහු තුළ සීතලට ද්වේශය තිබුණා.


තණ්හාව ගැන ත්‍රිපිටකයෙ නැති දෙයක්
ඔහු දන්නවා කියා ඔබට විශ්වාස නම්
වේදනාවෙන් තණ්හාව උපදින්නෙ කොහොමද කියා විමසා
සිරිධම්ම හිමිගෙ පිළිතුර මට කියන්න.

සිරිධම්ම හිමි කියන යම් දෙයක් සත්‍ය නම්
ඒ සත්‍යය ඔහු ගත්තෙ ත්‍රිපිටකයෙන් බව
මම ඔබට පෙන්වන්නම්.
ඔහු කියන දේ අසත්‍යයක් නම්
ඔබේ වේදනා අනුව
ඔබටම තේරුම් ගත හැකි විදියට
මම අසත්‍යය පෙන්වා දෙන්නම්.

වේදනා පච්චයා තණ්හා
මාතෘකාව යටතෙ දේශනයක් කරන්න කියා
මම සිරිධම්ම හිමිට 2016 ජූලි මාසෙ අභියෝගයක් කළා.
අදටත් ඔහු නිහඬයි.

වේදනාව ප්‍රිය නම් එහි ඇලී ගැලී ප්‍රිය වේදනා විඳින,
වේදනා අප්‍රිය නම් එයින් පළා ගොස්
මෝහයට වැටී සැනසිල්ලෙන් වෙසෙන සිරිධම්ම හිමි
වේදනා පච්චයා කියන සත්‍යයත්
තණ්හා පච්චයා උපාදාන කියන සත්‍යයත්
තවම දන්නෙ නැහැ.
ඔහු දන්නෙ පොතේ තියන වචන ටික විතරයි.

තවමත් පුහුදුන් ඔහු තුළ
වේදනාවට තණ්හාව උපදිනවා.
තණ්හාවෙන් උපාදානය ඇති වෙනවා.
ඔබත් මේ සත්‍යය නොදන්නා නිසා
ඔහු ඔබ අභූත තර්කයෙන් සහ
නින්දා අපහාස වලින් දුර්මුඛ කරල
ඔහුගෙ නොදන්නාකම වසා ගන්නවා.

සිරිධම්ම හිමි
අපේ රටේ ඉන්නා නූතන මහදැනමුත්තායි.

මහදැනමුත්තගෙ කඳ, ඔහුගෙ බඩ,
ඔහුගෙ අලියා සහ ඔහුටත් වඩා මෝඩ
යාවජීව සුවච ගෝලයෝ රැළ නිසා
ඔවුන්ටත් වඩා මෝඩ රටේ ජනතාව
මහදැනමුත්තා මල්පාවඩ පිටින් වඩම්මනවා.
ඒ විච්චූරණ වලින්
ඇස් නිලංකාර වෙන බොළඳ මිනිස්සු
ඔහු ඇදහිය යුතුයි කියා හිතනවා.

ඔහු මුලින්ම කියනවා
මා පිළිගන්නවා නම් තාප්පය බිඳින්න.
ඔහුගෙ පෙනුම ඔහුගෙ වචන ඔහුගෙ තර්ක
ඉක්මවා යා නොහැකි පිරිස තාප්පය බිඳිනවා.
නිදහස ගැන සතුටු වෙනවා.

සිරිධම්ම හිමි කියනවා
''තවම ප්‍රශ්නය විසඳිලා නෑ.
මගේ දේශනාවලට දිගටම ඇහුම් කන්දෙන්න..
මේ දේශනා වැටහෙන්නෙ ප්‍රඥාවන්තයන්ට පමණයි.''
තමන්ට ප්‍රඥාව ඇතැයි සිතන මිනිස්සු
ඔහුට ඇහුම් කන් දෙනවා.
ඉන් පස්සෙ ඔහු කියනවා
''දැන් එලුවගෙ බෙල්ල කපන්න.''
ඔහුගෙ අනුගාමිකයන් පිරිසක්
ඔහු අදහමින් එලුවගෙ බෙල්ලත් කපනවා.
අන්තිමට ඔහුගෙ කීමට මුට්ටියත් බිඳලා
ආශ්‍රමයට ඇවිත් නවතිනවා.

බුදුන් වහන්සේ මහදැනමුත්තෙක් නොවෙයි.
උන් වහන්සේ එවැනි නාස්තිවාදී දහමක්
උගන්වන්නෙ නෑ.

තාප්පයත් බිඳ, එලුවාගෙ ඔලුවත් කපා දමා
මුට්ටියත් බිඳින තැනට නොගොස්
මුට්ටිය නොබිඳ ඔලුවත් බේරාගෙන
තාප්පයත් බේරාගන්නට
බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමය
ඔහු දන්නෙ නැහැ.
ඔහු නොදන්නා බව
ඔහු වටා රොක්වෙන ජනතාව දන්නෙ නැහැ.

දුකට හේතුවෙන තණ්හාව උපදින්නෙ
වේදනා හේතු කරගෙනයි.


තණ්හාව උපදින වේදනාවට

සිහියත් උපේක්ෂාවත් වැඩීමෙන්
තණ්හාවත් උපාදානයත් බිඳ දුකෙන් මිදීම
බුදුන් වහන්සේගේ ක්‍රමයයි.

මහණෙනි, මේ වේදනා තුනෙකි.
කවර තුනෙක් ද යත්:
සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි.
මහණෙනි, මොහු තුන්වේදනාවෝයි.
මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.


වේදනාවට තණ්හාව උපදිනවා.
තණ්හාවෙන් උපාදානය ඇති වෙනවා කියා නොදැන
රහත් වෙන්න බෑ.

වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''
බුදුන් වහන්සේ
මේ සරල දහම නොදැන
තමන් රහත් යයි වහසි බස් දොඩන
සිරිධම්ම නම් මහදැනමුත්තා
රහතෙක් නොවෙයි.


20160913

විපස්සනාවේ දවසක...


විපස්සනාවේ දවසක...
උදෑසන දං වේලාව සඳහා සිනු නාදය ද සමඟ, සේපාලිකා ගස යටින් විහිදුණු පඩි පෙළ දිගේ, සියල්ලෝම ශාන්තව පියමනිති.
සුදු වතින් සැරසී, පහළට බරව ඇති නෙත් ඇති, සියල්ලන් සන්සුන් ය..
එසැවෙන පය,වියළී ගිය දිය සෙවෙල් සහිත සිමෙන්ති පඩියෙහි ගැටෙනු ද, පා ඇඟිළි සෙලවෙනු ද, මාංශ පේශින් හැකිළෙනු ද, යළි දිගහැරෙනු ද දැනෙයි.. හැඳ සිටි සුදු වත,සිරුර පුරා ඇතිල්ලෙනු, යළි නිදහස් වනු ද දැනෙයි..
සමනළ කන්ද දෙසින් එන හිරු රැස්,නිරුවත් දෙ අත් හා මුහුණෙහි ගැටී, ගෙනෙන්නේ මඳ උණුසුමකි. හමා යන සිහින්... සුළඟ , විටින් විට ඒ හා හැපෙමින්, උණුසුම හා සිසිලස මොහොතකට මාරු කරවයි.
හාත්පස, කුරුල්ලන් හා ලෙහෙනුන් ගේ හඬ හැරුණුවිට, අන් සියල්ල නිහඬය.. ගස් අතු පතර සෙලවෙනු ද, කොළ ගිලිහී, පහළ අතුවල හැපෙමින් විත් පොළවට වැටෙන හඬ ද ඇසෙයි..
කොංක්‍රීට් පාර දෙපස ඇති තෘණ පිටියේ, ඊයේ රෑ පතිතවූ පිණි බිඳු ය. මොහොතකින් වියළී යාමට සැරසෙන ඒවා ද, ගිලිහී වැටුණු කොළයෙන් පවා පෙනෙන්නේ ධර්මයයි..
උප්පාද වය..
ඒ දකිනවිට, පහළට බරවූ මුහුණෙහි, අභ්්‍යන්තරයෙන් මතුවූ, වර්ගීකරණය කිරීමට අපහසු සියුම් සිනහවක්, මහ පොළව දෙසට එල්ලවී මතුවනු දැනේ..
(පසු කලෙක, ජීවිතයේ බොහෝ ප්‍රශ්ණ ඉදිරියෙහි, මෙම සිනහව ම මහා පිළිතුරක් සේ මතුවේ.. )
තේ කෝප්පය අතට ගත් සැණින්, අතැඟිළි ඔස්සේ උණුසුම දැනෙන්නට වෙයි.
ඒ මුවට ළං කිරීමට මොහොතකට පෙර, ඉන් නික්මෙන උණුසුම් වායු ධාරාව, දෙකම්මුල් වලින් අඩක් ද, නළලතින් අඩක් ද සියුම් වාෂ්පයකින් තෙත් කරමින් මතුවේ..
ඉක්බිති, සුසුම් හා කැළඹී, මුහුණ මත දැනෙන රටාව කළඹාලයි..
පැණි රසය ද, කහට රසය ද, ඒ අසලින් ම ඉඟුරු රසය ද මුසු තේ උගුර, තත්පර කිහිපයකට දිව ප්‍රණීත කොට,ගෙල දිගේ සියුම් රත් වීමක් ද සමඟ, කුස උණුසුම් කරනු දැනේ..
උප්පාද වය....
දෙවැනි උගුරට පෙර, පළමුවැන්න විඳිය යුතුය..
මින් පෙර, මෙවන් අත්දැකීමක් කුඩා කලට පසු මතක නැත..
දන්නේ, තේ කෝප්පය වත්කර ගත් බව ද, එය කෙසේ හෝ හිස් වී ඇති බව ද පමණි..
ධර්මය ඇත්තේ, ජීවිතය විඳවීමෙන් තොරව විඳීමට ය..
අල්ලාගැනීම තුළ, පළමුවැන්න ළං කරගත් පසු, මුළු සිහියම දෙවැන්න හා තෙවැන්න ළන් කරගැනීම ගැන ම පමණි..
මුළු ජීවිතයම, මෙසේ විඳිය හැකි නම් අපූරුය.
ඒ සිහිය, දැන් වෙනස්වී ගොසිනි..
උප්පාද වය..
( දින කීපයකට පෙර ලත් අත්දැකීමක්. )
2016 09 13 Facebook



20160912

ගාපු පොල් නැතිව සම්බෝලයක්වත් හදන්න පුළුවන් ද? -ඕදිරිස් සමාගමේ සභාපති


විල්සන් පෙරේරා / සභාපති - Odiris Engineering

ඕදිරිස් සමාගමේ සභාපති. කැමැතියි ඔබ ගැන දැනගන්න...

මේ සමාගම හදපු ඕදිරිස් පෙරේරාගේ දෙවැනි පුතා මං. අපි සභාපතිකං ඔළුවෙ තියාගෙන වැඩ කරන අය නෙවෙයි. දවසේ වැඩි වෙලාවක් අපි ඉන්නෙත් වැඩ කරන අය එක්ක. කර්මාන්ත ශාලාව ඇතුළෙ. අයිතිවාසිකම් උරුමකම් මොනවා තිබුණත් අපිත් මේ ආයතනයේ සේවකයෝ. මං හිතන්නෙ එහෙමයි.

ඒ කියන්නෙ, තාත්තගෙන් පුතාට යන පවුලේ ව්‍යාපාරයක් නිසා දැනෙනවා වැඩියිද...
ඔව්. හැබැයි තාත්තගෙන් පුතාට නෙවෙයි, පුතාලට. අවුරුදු 94ක් වෙලා තාත්තත් මිය යනකල්ම ව්‍යාපාරය ගැන බැලුවා. තාත්තා අපිට ශිල්පෙ ඉගැන්නුවා. අපි වැඩ කළා. මගේවත් මල්ලිලාගෙවත් දරුවො මේ කර්මාන්තය ගැන උනන්දු නැහැ. ඒ අය ඉදිරියට ගියේ වෙන වෙන ක්ෂේත්‍රවලින්. ජීවත්වෙලා ඉන්න, අපි සහෝදරයෝ තුන්දෙනා තමයි බොහොම එකමුතුවෙන් ව්‍යාපාරය කරගෙන යන්නෙ. තාත්තා බලාපොරොත්තු වුණෙත් ඒ දේ.

ඕදිරිස් කියන්නෙ ලංකාවෙ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක් ද...
අපේ තාත්තා තමයි, මේ රටේ වාඩිවෙලා කොඳු නවාගෙන පොල් ගාපු ගෘහිණියෝ නැඟිටෙව්වේ. ‘හිරමනයක් නම් ඕදිරිස්...’ කියන තැනට ගෘහිණියන්ගේ විශ්වාසය හදපු එකම තමයි අපිට මේ රටේ තිබෙන තැන.

ඕදිරිස් එන්ජිනියරින් හදපු ඕදිරිස් පෙරේරා ඉංජිනේරුවෙක්ද...
CGR එකේ වැඩ කරපු කම්මල්කරුවෙක්. ඒ කාලෙ CGR එකේ කම්මල්කරුවෙක් කියන්නෙ ඉංජිනේරු දැනීමක් ලැබෙන රස්සාවක්. CGR කියන්නෙ ඒ කාලෙ ලංකාවෙ තිබුණු ලොකුම කම්මල කිව්වොත් හරි. මොකද ඒකෙ තරම් කාර්මික - තාක්ෂණික උපකරණ යන්ත්‍ර සූතු මෙවලම් තිබුණෙ නැහැ කොහේවත්. තාත්තගෙ තාත්තා වැඩ කළෙත් CGR එකේ. මෝටර් කාර්මික - තාක්ෂණික - යන්ත්‍ර සූත්‍ර දැනුම තාත්තගෙ ඇ‍ඟේ තිබුණු දෙයක්. අපිටත් ජානවලින් ඇවිත් තියෙන්නෙ ඒ ‘උණ’ම තමයි.

ඕදිරිස් කියන්නෙ, නඟින්නෙත් නැති - බහින්නෙත් නැති සමාගමක්... කවුරුහරි මෙහෙම කිව්වොත්...
1952 හිරමන් දුසිමක් හදපු තාත්තා, පිහි වර්ග සහ නව නිපැයුම් ගණනාවක් හඳුන්වා දෙනවා. ඒ අතරට ඉලෙක්ට්‍රිකල් සහ මෝටර් කාර්මික වැඩත් කරනවා. එහෙම පටන්ගත් ආයතනය, කුස්සියට අවශ්‍ය වෙනත් උපකරණ - මෙවලම් සහ මාසෙකට හිරමන් දහ - පහළොස් දාහක් හදන ආයතනයක් දක්වා ගෙනාවා කියන්නෙ දියුණුවක් නෙවෙයි ද... අපේ හිරමන් කොයි තරම් පිටරටට යවනවද... වැඩි සද්ද බද්ද නැතිවුණාට අපේ නිෂ්පාදනවලට දැන් පිටරට හොඳ ඉල්ලුමක් තියෙනවා.

සමාගමක අමාරුම දේ නමක් හදාගන්න එක. තාත්තා කොහොමද ඒක කළේ...
1952 තාත්තා ඔය හිරමනේ හදද්දි මට වයස නවයයි, හදලා ඉස්සර වෙලාම දුන්නෙ අල්ලපු වත්තෙ ආප්ප පුච්චන කෙනකුට, දවස් දෙකයි වැඩ කළේ ඒක කැඩුණා. ඒ මනුස්සයා ඒක උස්සගෙන ආවා. තාත්තා හුඟක් අත්හදා බැලීම් කළා. අන්තිමේ හිරමන් දුසිමක් හදාගෙන මිලර්ස් සාප්පුවට ගියා. එකක මිල රුපියල් අටයි පණහයි. “මේක මෙහෙ හැදුව එකක් නෙවෙයි...“ කියලා ගත්තෙ නැහැ. අන්තිමේ තාත්තා මමයි හැදුවෙ කියලා කරුණු කීවම තුනක් අරන්, සල්ලි පස්සෙ දෙන්න. කාගිල්ස් සාප්පුවට ගියාම ඉතිරි ඔක්කොම හිරමන් ටික අරන්. හිතුව නැති ඉල්ලුමක් ආවේ. ඉන් පස්සෙ. සාප්පු දෙකෙන්ම බඩු ඉල්ලුවා. ‘ඕදිරිස් ඉලෙක්ට්‍රිකල්ස්’ නමින් තමයි ඒ කාලෙ අපේ නිෂ්පාදන, වෙළෙඳපොළට ආවේ.

කර්මාන්ත ක්ෂේත්‍රයට මොන යන්ත්‍ර සූත්‍ර හැදුවත් ඕදිරිස් නම මිනිස්සු අතරෙ තියෙන්නෙ හිරමනය නිසා නේද...
මේක බෝල් බෙයාරින් උඩ දුවන සරල යන්ත්‍රයක්. මං දන්න තරමට ලංකාවට විතරක් නෙවෙයි, ලෝකෙටම, අතින් කරකවමින්, පොල් ගාන හිරමනයක් හැදුවේ තාත්තා. සමහර විට අපි තරම් පොල් කන රටක් තවත් නොතිබුණු නිසා ලෝකෙට එහෙම අවශ්‍යතාවක් නොතිබෙන්න ඇති. කොහොම වුණත් යටත් විජිතයෙන් පස්සෙ අපේ රටේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සරල යන්ත්‍රයක් බිහිවුණා නම්, ඒ අතින් කරකවන ඕදිරිස් හිරමනයයි.

මොකක්ද, මේ නිෂ්පාදනය බිහි වෙන්න හේතු වූ නිමිත්ත...
තාත්තා CGR එකෙන් ඉල්ලා අස්වුණා. එයාට ඕනෙ වුණේ තමන්ගෙම දෙයක් කරන්න. වාහන රෙපෙයාර් වැඩ, මෝටර් එතීම, ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියාව... වගේ හුඟක් වැඩ ලැබුණේ ඒ කාලෙ. ඇලරික්ස් අයිස්ක්‍රීම් වෑන් සියල්ලෙම රෙපෙයාර් සහ ඒවායේ ඉලෙක්ට්‍රිකල් වැඩ බාර වුණේ තාත්තට. ඕවත් කරන අතරේ තමයි නව නිෂ්පාදනයක් විදියට හිරමනය අත්හදා බැලුවේ.

ඕදිරිස් කර්මාන්ත ශාලාවෙ රස්සා ලැබෙන්නෙ හොඳ වැඩකරුවන්ට පමණ ද...
ලෝකෙ කොහේවත් අතින් කරකවන හිරමන් හැදීමේ තාක්ෂණයක් තිබුණෙ නැහැ. මේක අපිටම ආවේණික කර්මාන්තයක්. වෑද්දුම් - පෑස්සුම් ශිල්පෙ දැනගත්තට මේ කර්මාන්තෙ කවුරුවත් දැනගෙන එන්නෙ නැහැ. ඇවිත් තමයි වැඩ ඉගෙන ගන්නෙ. මෙහෙ කාලයක් වැඩ කරලා අස්වෙලා යන අය දැන් ඕනෙ තරම් හිරමන් හදලා මාකට් එකට දානවා. එහෙම කියලා ගුරු මුෂ්ටිය තියාගෙන මේක කරන්න බැහැ. පාරිභෝගිකයාට හොඳ හිරමනයක් හැදුවොත් තමයි ආයතනය පවතින්නේ. අවුරුදු 64ක් ආපු ගමන ඉදිරියට යන්නෙ. උනන්දුව කැපවීම තියෙන අයට රස්සාව තියෙනවා.

මේ ගෙවෙන්නෙ දේශීය කර්මාන්තවලට හොඳ කලක්ද...
නැහැ. අමුද්‍රව්‍යවලටත් බදු ගහලා අපි හදන නිෂ්පාදන සඳහාත් බදු ගහනකොට ඔළුව උස්සන්න අමාරුයි. අපි අමුද්‍රව්‍ය ගේන්නෙ විකුණන්න නෙවෙයිනේ. ඒකෙන් කර්මාන්තයක් කරන්න. රජයේ වාණිජ නීතිගත සංස්ථාව හැදුවෙම දේශීය කර්මාන්තකරුවො නඟා සිටුවන්න. දැන් ඒකත් නිමි භාණ්ඩ ගෙනැත් විකුණනවා.

ඒත් ඉල්ලුම තිබෙනවානම්, සේවකයන් සිටිනවානම්...
මේ රටේ කර්මාන්තකරුවන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සේවක හිඟය. අද තරුණයන්ගෙ හයිය මොනවටද යොදවන්නෙ... ත්‍රීවිල් එළවන්න. මහන්සිවෙලා කර්මාන්තයක යෙදෙන්න ඔවුන් කැමැති නැහැ. හැකියාවන් යට ගහගෙන ඔවුන් ත්‍රීවිල් එළවනවා. හොඳ වැටුප් ලැබුණත් රටේ සංවර්ධනයට දායක වෙන්න අවස්ථාව තිබුණත් ඔවුන් එන්නෙ නැහැ. වැඩිකල් නොගොස් ඔය ත්‍රීවිල් නිසා තරුණ පරම්පරාව ලෙඩ්ඩු වෙනවා. රටේ කර්මාන්තවලට සේවකයො නැති වෙනවා. කොටින්ම ජාතික අර්බුදයක් ව්‍යසනයක් අත ළඟ!

මොකක්ද ඒ සඳහා ඔබට තිබෙන යෝජනාව...
කර්මාන්තකරුවන් නඟා සිටුවන්න නම්, ඔවුන්ට අමුද්‍රව්‍ය ලබාගත හැකි සංචිතයක් මේ රටේ ඇතිකරන්න ඕනේ. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව, කර්මාන්ත වෙනුවෙන් යළි සක්‍රීය කරන්න ඕනේ. විශේෂ ණය සහන, බදු සහන ක්‍රියාත්මක කරන්න ඕනේ. මේවා වචන විතරක් නොවී අදාළ අමාත්‍යවරු සක්‍රීය වෙන්න ඕනේ. නැතිනම් වෙන්නෙ දිගට හරහට මේ රටේ දේශීය කර්මාන්ත ටික වැහිලා යන එකයි.
මේ, පිටිකළ පොල් කිරිවලට මිනිස්සු හුරු වූ යුගයක්. පොල් ගාන මැෂිමට තවම ඉල්ලුමක් තියෙනවද...
මේ රටේ දවසකට පොල් ගෙඩි ලක්ෂ ගාණක් ගානවා. ඔය මොනවා ආවත් පොල් ගාන මැෂිමට ඉල්ලුම එහෙමමයි. පොල් සම්බෝලයක් කන්න පුළුවන් ද ගාපු පොල් ටිකක් නැතිව. ඉතින්, මාසෙකට හිරමන් 12,000 - 15,000ක් අපි හදන්නෙ ඒ නිසානේ.

ඒත් හැම දේම අලුත් වෙද්දි, හිරමන් වුණත් වෙනස් වෙන්න ඕනෙනේ...
ඒක තමයි අතින් ගාන මැෂිම වෙනුවට කරන්ට් එකෙන් ගාන, ලොකු මැෂිමක් තාත්තා හැදුවේ. අද සුලභ දෙයක් වුණාට, තාත්තා ඒ මැෂිම මුලින්ම හැදුවේ 1960 ගණන්වල, ‘දෙහිවල කේක්’ නමින් ඒ කාලෙ අතිශය ජනප්‍රියත්වයට පත් පොල් කේක් හදපු විජේසිරි බේකර්ස් මුදලාලිට. දවසකට පොල් ගෙඩි දෙතුන්දාහක් ගාණ තරමට ඒ කාලෙ එයා, පොල් කේක් හැදුවා. යාළුකමට, එයාගෙ ඉල්ලීමටයි තාත්තා ඒ අත්හදා බැලීම කළේ.

එහෙනම් ඇයි කරන්ට් එකෙන් පොල් ගාන මැෂිම ජනප්‍රිය වෙන්න ඒ තරම් කල් ගියේ...
ගෙවල්වලට ගැළපෙන පුංචි මෝටර් මැෂිම හැදුවෙ පහු කාලෙක වුණාට, දෙන්නෙකුට දෙපැත්තෙන් ඉඳන් පැයකට පොල් ගෙඩි 300ක් ගාන්න පුළුවන් ලොකු මැෂින් ඒ කාලෙ ඉඳන් රජයේ කැන්ටින්වලට හැදුවා. වරායෙ කුස්සියෙම මැෂින් දහයක් තිබුණා. වාහනේ ඩිෆරන්ෂල් කොටසක් අරන් ඒකේ දෙපැත්තට ලොකු තල දෙකක් දාලා මෝටරයක් සවි කරලා හදපු ඒ මුල් මැෂිම තවම තියෙනවා. ඒකෙ දියුණු තත්ත්වයන් ගණනාවක් අපි මේ ගෙවුණු කාලයේ වෙළෙඳපොළට හඳුන්වා දුන්නා.

ඔබ හොඳ නායකයෙක් කියලා හිතනවද...
නායකත්වය එන්නෙ වැඩ කිරීම සහ මෙහෙයවීම එක්ක. මම මේ අත්දැකීම් ලැබුවෙ ළමා කාලයේ පටන්. තරුණ කාලෙ පටන්. මගේ මාමලා දෙන්නගෙන් එක්කෙනෙක් රෙඩියෝ සිලෝන් එකේ. අනිත් කෙනා එයාර් සිලෝන් එකේ. මේ දෙන්නා දෙවිදියක ක්ෂේත්‍රවල අතිදක්ෂ විදුලි සහ මෝටර් කාර්මිකයෝ. මාරුවෙන් මාරුවට එක එක සතිඅන්තවලට මං මේ දෙන්නා එක්ක වැඩ කළා. තාත්තගෙන් ලබනවට වඩා, වෙනස්ම වූ ගුවන්යානා ඉංජිනේරු, වායු සමීකරණ සහ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ දැනුමක් පුහුණුවක් මං ලැබුවෙ ඒ දෙන්නා එක්ක වැඩ කිරීමෙන්.

ජීවිතේ ඉදිරියට යන්නෙ අභියෝග එක්ක හැපිලා ජයගත්ත මිනිස්සු... මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...
මගේ ජීවිතේ පළමු අභියෝගය තමයි, HSCවලින් පස්සෙ ඉගෙනීම අතෑරලා තාත්තා ළඟට වැඩට ගිය එක. උදේ හයට ගෙදරින් යන්න ඕනේ. බස් එකේ ගිහින් වැඩපොළට යනකොට හතයි. හුඟක් හැන්දෑ වෙනකල් වැඩ කරන්න ඕනේ. පඩිය මාසෙට රුපියල් තිහයි. ඒක තමයි මගේ පළමු රස්සාවත්, ඊළඟට උදාවූ හැම දවසක්ම අභියෝගාත්මකයි. යන්ත්‍ර සූත්‍ර හදනවා, කියන්නෙ ලෙඩේ හොයා ගන්න වෙලාව යනවා. හදලා හදලා අන්තිම කොනේදි වැරදුණොත් ආයේ ගලවලා මුලටම යන්න වෙනවා. මේවා එක්ක හොඳින් හැපුණු නිසා තමයි මේ ගමන එන්න පුළුවන් වුණේ.

ඕදිරිස් පෙරේරා පවුලෙ දරුවො කී දෙනෙක්ද...
හත්දෙනයි. ලොකු පුතා ප්‍රේමසිරි. එයා නැතිවුණා. මම දෙවැනියා. තුන්වැනියා කරුණාසිරි, ඊළඟට ධර්මසිරි මල්ලි. එයත් නැතිවුණා. ඊළඟට ඉන්ද්‍රානි සහ පද්මා නංගිලා. බාලයා තමයි ජයසිරි මල්ලි. දැන් ව්‍යාපාරය කරගෙන යන්නෙ මාත් කරුණාසිරි සහ ජයසිරි මල්ලිලාත්. අපි තුන්දෙනාම මේ ව්‍යාපාරය තුළ ක්‍රියාකාරියි. අදත් මේ කර්මාන්ත ශාලාවෙ මැෂිමක් කැඩුණොත් හදන්නෙ මගේ මල්ලි. අපිට මේවා අතපත නොගෑවොත් තමයි හිතට හරි නැත්තෙ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...
සෙන්ට් පෝල්ස් මිලාගිරියේ. ඒකෙ ඉස්සර Boys School එකකුත් තිබුණා. පස්සෙ මොරටුමුල්ල High School එකට ගියා. මල්ලිලා සෙන්ට් තෝමස් ගියා.

එතකොට උසස් අධ්‍යාපනය ලැබුවෙ කොහේද...
අපේ යුනිවර්සිටිය තමයි තාත්තගේ කර්මාන්ත ශාලාව. ඒ යුනිවර්සිටියෙ ප්‍රැක්ටිකල් තිබුණු විද්‍යාගාරෙ තමයි, බෝතල් කඩේ. කොයිතරම් වැඩ තිබුණත් සතියකට දවසක් දෙකක්වත් තාත්තා පංචිකාවත්තෙ බෝතල් කඩවලට යනවාමයි. අපිට දැනුම දෙනවා වගේම සමහර වෙලාවට තාත්තත් ඒවායින් දැනුම ලබා ගත්තා. ඊට අමතරව රොබට් ඒජන්සීස් එකෙන් ගෙන්වන ‘Practical wireless’ පොත් අරගත්තා.

බෝතල් කඩ කොහොමද විද්‍යාගාරයකට සමාන වෙන්නෙ...
ඒ කාලෙ බෝතල් කඩේට නොඑන්නෙ මොනවද. ගෙවල්වලින් තේ වතුවලින් අයින් කරන, වෙන්දේසිවලින් ගන්න මැෂින්, මෝටර්... නැව්වල, ගුවන් යානාවල, වෙනත් වාහනවල එන්ජින්, යන්ත්‍ර සූත්‍ර කොටස් ඕ‍ෙන තරම්. යකඩ බරට මේවා විකුණන්නෙ. තාත්තා ඕවා හැම දේම හොය හොයා ගේනවා. ‘මේක ගලවලා බලන්න...’ එච්චරයි තාත්තා කියන්නෙ. එතකොට අපි දන්නවා ගලවන්න කලින් හොඳට බලාගන්න ඕනේ. ඒ මෝටරේ හරි එන්ජිමේ හරි වරද හොයාගන්න ඕනේ. ආපහු තිබුණු විදියටම හදන්න ඕනෙ... කියලා. සමහර වෙලාවට එක මෝටරයක් වෙනුවෙන් දවස් ගණන් ගතවෙනවා. හරියට සවි නොකළොත් කොටස් ඉතිරි වෙනවා. සමහර වෙලාවට ඒකට අදාළ පොතක් තිබුණොත් තාත්තා දෙනවා. ජපන්, රුසියන්, ජර්මන් යන්ත්‍ර සූත්‍රවල පොත් තියෙන්නෙ ඒ රටේ භාෂා‍වෙන්. ඉතින් තාත්තටවත් පොත කියවගන්න බැහැ. හැබැයි ඩයග්‍රම් එක දැක්කම ඇති. කරන්න ඕනෙ දේ දන්නවා.

එපා වුණේ නැද්ද ඔය රාජකාරිය...
ආසාව තියෙන දේ එපා වෙන්නෙ නැහැ. මෝටරයක් ගලවනවා - ඔතනවා කියන්නෙ මට නම් භාවනාවක්. හිත එකඟ කරගෙන ඒ වැඩේටම යොමු වෙලා බොහොම කල්පනාවෙන් ඒ දේ කරන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. දඩි බිඩියෙ දමලා ගහලා කරන්න පුළුවන් වැඩ නෙවෙයි මේවා.

අම්මා - තාත්තගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද...
මේ ජීවන කුසලතාව - වටිනා හැකියාව ලැබුණෙ තාත්තගෙන්. එහෙම බලද්දි, මගේ තාත්තා උපාධි සහතික නැති ඉංජිනේරුවෙක්. අම්මා අපිට බොහොම ආදරෙයි. නමුත් අපි ගුටි කෑවෙත් අම්මගෙන්මයි. දරුවො හත්දෙනෙකුත් බලාගෙන ඈ විශාල කැපවීමක් කළා. අම්මගේ ආදරය තවම දැනෙනවා.

තාත්තගෙන් ලැබුණු, අදත් ව්‍යාපාරයේදී ඔබ අනුගමනය කරන යහ ප්‍රතිපත්ති මොනවද...
වැටුණු නැතිවුණු පාඩු වූ දේ ගැන පසුතැවෙන්නේ නැතිව ඉදිරියට කළ යුතු දේ ගැන සිතීම. වැටුණම දැනෙන හැඟීමත් අපි දැනගන්න ඕනෙ විඳින්න ඕනෙ. ඒ වගේම ප්‍රශ්නෙකින් ඉක්මනින් ගොඩ එන්නත් ඕනේ. කවදාවත් අපි අපේ පාරිභෝගිකයන් රවටන්න හොඳ නැහැ. ව්‍යාපාරයක් පවතින්නෙ ඔවුන්ගෙ ඉල්ලුම මත. ඔවුන් එපා කිව්වොත් අපි කාටද බඩු විකුණන්නෙ... ව්‍යාපාරිකයෙක් ඔළුවෙ තියාගන්න ඕනෙත් මේ දේමයි. එය කාට වුණත් කවදටත් අදාළයි.

ජීවිතේ දුක් අමාරුකම් විඳලා තියෙනවද...
ඒ ළමා කාලෙත් අපි ගෙව්වෙ බොහොම සරල ජීවිතයක්. සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න ඕනෙ කියලා අපි අත්දැකීමෙන් ඉගෙන ගත්තා. අපි පොකට් මනී හොයා ගත්තෙත් අපිම පොඩි පොඩි ලේත් වැඩ කරලා. අපිට වැඩ පොළේ අවශ්‍ය උපකරණ යන්ත්‍ර සූත්‍ර තිබුණා. පොඩි වුණාට දැනුමත් තිබුණා. තාත්තා ඒවා එපා කිව්වෙ නැහැ. ඒ නිසා මුදලක වටිනාකමත් අපිට දැනුණා. හම්බ කිරීමේ මහන්සියත් දැනුණා. මං විතරක් නෙවෙයි, මගේ අයියත්, මල්ලිලා තුන්දෙනත් ඒ වගේ.

ඒ කියන්නෙ වගකීම් දැරුවෙත් පුංචි කාලෙ පටන්මයි...
කොල්ලො කියලා නැහැ, අම්මා අපිට ලොකු පිඟන්වලට හාල් දාලා වී අහුලන්න දුන්නා. උයන්න පිහන්න අපි කැමැත්තෙන් උදවු වුණා. අම්මා ලෙඩ වුණාම නංගිලා මල්ලිලාට කෑම හැදුවා. වැඩපොළට ගියාම තාත්තා පවරන්නෙ මොකක්ද, ඒක කළා. මෝටරේ ලොකු ද පොඩි ද අමාරු ද... ඒවා හිතුවෙ නැහැ. දැන් තමයි තේරෙන්නෙ තාත්තා අපිට හැමදේම ඉගැන්නුව සාර්ථක ක්‍රමයත් ඒකමයි.

ඔබ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවද...
අපේ තාත්තා විශ්වාස කළෙත් නැහැ. අපිත් ඒ පස්සෙ හඹා යන්නෙ නැහැ. පන්සල්වලට උදවු කළාට කිසි දෙයක ඇලී ගැලී නැහැ. බුදු දහම තුළ ජීවත් වෙනවා.

වැඩ කළා ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද...
දැන් මගේ වයස හැත්තෑ පහයි. ශරීරයට දැනෙන වෙහෙස මිස සිතිවිලි අතින් මට කිසිම වෙහෙසක් මහන්සියක් නැහැ. ‘වලට යනකල් වැඩ කරන්න ඕනේ...’ මගේ තාත්තා කිව්වෙත් වැඩ කළෙත් එහෙමයි. මාත් එහෙම හිතනවා. මගේ මල්ලිලත් එහෙමයි.

අන්තිමට කියන්න, ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම දේ කුමක්ද...
ඕන කෙනෙක් බිස්නස් කරන්න ඕනෙ ලාභ ගන්න විතරක් නෙවෙයි, හොඳම නිෂ්පාදනයක් පාරිභෝගිකයාට දෙනවාමයි කියන අධිෂ්ඨානයෙන්. එතැනදි අත්දැකීම් - පුහුණුව වගේම හදවතින් එන අවංකකම සහ හොඳ ගතිගුණවලට ඉඩක් දිය යුතුයි. ඒවට මිලක් නැහැ. තමන්ව දිනෙක ඔසවා තබන්නෙත් ඒ උතුම් ඇවතුම් පැවතුම්මයි!
---------------------------------------------