20160129

මානසික ආතතියෙන් මිදීම ඔබටම කරගත නොහැකිද?


මානසික ආතතියෙන් පෙළෙන අය

ආතතිය යනු පුද්ගලයකුගේ මානසික හෝ ශාරීරික සමබරතාව බිඳී යන ඕනෑම ක්‍රියාවකදී හෝ අවස්‌ථාවක දී ඇති වන ස්‌වාභාවික ප්‍රතික්‍රියාවකි. යමකුගේ මනසට සත්‍ය හෝ මවා ගන්නා ලද අනතුරක්‌ ඉව වැටුණු සැනින් සක්‍රීය වන මනස ශරීරයේ ආරක්‍ෂක පද්ධතියේ පෙළඹවීමෙන් ඇති කරන ක්‍ෂණික ප්‍රතික්‍රියාවට "ආතතික ප්‍රතිචාරය" (Stress response) යෑයි කියනු ලැබේ. එනම්, ආතතික ප්‍රතිචාරය යනු ශරීරය විසින් අපව ආරක්‍ෂා කරනු ලබන ආකාරයයි. එය තත්ත්වාකාරයෙන් ක්‍රියාත්මක වන විට පුද්ගලයකුට ක්‍රියාශීලීව මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව ක්‍රියා කිරීමටත්, පරීක්‍ෂාකාරීව සහ උද්‍යෝගිමත්ව කටයුතු කිරීමටත් අවශ්‍ය සහාය
ආතතික ප්‍රතිචාරය මගින් ලබාදෙයි. විශේෂයෙන්ම හදිසි අනතුරු වළකා පුද්ගල ජීවිත රැක ගැනීමෙහිලා ආතතික ප්‍රතිචාරය වැදගත් කර්තව්‍යයක්‌ ඉටු කරයි.

කෙසේ වුවත් එක්‌තරා සීමාවකට පසුව
ආතතික ප්‍රතිචාරය ප්‍රයෝජනවත් ලෙස ක්‍රියාත්මක නොවී, කෙනකුගේ පෞරුෂයට, මනෝභාවයට, සෞඛ්‍යයට, ඵලදායීතාවට, සබඳතාවන්ට යනාදී වශයෙන් මුළු ජිවිතයටම අහිතකර බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම මානසික ආතතිය පුද්ගලයකු තුළ ඉතාමත් අහිතකර ඥනාත්මක (cognitive), භාවවිශයක (emotional) හා ශාරීරික බලපෑම් ඇති කරයි. එවන් ඇතැම් අහිතකර බලපෑම් කිහිපයක්‌ පහතින් දක්‌වා ඇත.

අසාමාන්‍ය ලෙස අමතකවීම, අවධානය යොමු කිරීමේ නොහැකියාව, තීරණ ගැනීමේ අපහසුතාව යන ලක්‍ෂණ බහුලවීම නිසා මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයකු තුළ සෘණාත්මක ලක්‍ෂණ නිතැතින්ම පහළ වේ. දිගුකාලීනව මානසික ආතතියට ගොදුරුවීම නිසා ඇතිවන සෘණාත්මක මනෝභාවය හේතුවෙන් පුද්ගලයකු තුළ ක්‍ෂණික කෝපය, අනවශ්‍ය කලහකාරී බව, විනෝදවීමේ නොහැකියාව සහ සතුටක්‌ නොදැනීම, නිතර දැනෙන තනිකම හා තනිවී සිටීමේ අසාමාන්‍ය කැමැත්ත ද ඇති වේ. තවද මානසික ආතතියෙන් පෙළෙන්නකු තුළ පවත්නා පරාජිත සිතුවිලි මෙන්ම ඔවුන් තුළ නිරන්තරව පවත්නා කනස්‌සල්ල ඔවුන්ගේ අසාමාන්‍ය නිහඬ බවට හේතුවේ. තරගකාරී අහිතකර සිතුවිලි බහුලවීම ද මානසික ආතතියෙන් පෙළෙන්නකු තුළ දක්‌නට ලැබෙන විශේෂ ලක්‍ෂණයකි. එමෙන්ම ඔවුන් බොහෝවිට හිතමතා වගකීම් පැහැර හැරීමට ද පෙළඹේ.

සාමාන්‍යයෙන් මානසික ආතතියෙන් පෙළෙන්නකු තුළ නිතර හේතුවකින් තොර වේදනා, නිතර ඇතිවන සෙම්ප්‍රතිෂ්‍යාව, අතීසාරය හෝ මළබද්ධය, වමනය, කරකැවිල්ල, පපුවේ දැවිල්ල සහ ලිංගික ආශාවන් හීනවීම දක්‌නට ලැබේ. ඇතැම් විට ආහාර නොගැනීම හෝ අසාමාන්‍ය ලෙස වැඩිපුර ආහාර ගැනීම, නින්ද නොයැම හෝ අසාමාන්‍ය ලෙස වැඩිපුර නිදා ගැනීම, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම්පානය කිරීම ද දක්‌නට ලැබේ. සාමාන්‍ය පුද්ගලයකුට වඩා මානසික ආතතියෙන් පෙළෙන්නකු දුර්වල හැසිරීම් රටාවන්ට (උදා (- නියපොතු සැපීම, හිසකෙස්‌ සැපීම) හුරුවීමේ ප්‍රවනතාවය වැඩිය. දිගුකාලීනව මානසික ආතතියට ගොදුරුවීම නිසා බොහෝ ලෙඩ රෝග වැළඳීමේ ප්‍රවනතාවය ද ඉහළ යයි. ඒ සඳහා උදාහරණ කිහිපයක්‌ මෙසේය.

මානසික ආතතිය ශරීරයේ රුධිර සංසරණය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය (high blood pressure/hypertension) ඇති කරයි. රුධිර පීඩන තත්ත්වය දිගු කාලයක්‌ පැවතීමෙන් හෘද රෝග (hart attacks) සහ ආඝාතය (stroke) ඇතිවීමේ ප්‍රවනතාවය ඉහළ යයි. මානසික ආතතිය ඇති විට හද ගැස්‌ම අසාමාන්‍ය ලෙස ඉහළ යන නිසා ද හෘද රෝග ඇති විය හැකිය. එසේම, මානසික ආතතිය අසාමාන්‍ය ස්‌වසන තත්ත්වයන් ඇති කරන නිසා පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවනතාවය ද ඉහළ යයි.

මානසික ආතතිය හේතුවෙන් අසාමාන්‍ය ආහාර රටාවන්ට හුරුවීම නිසා මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය නිසා නොයෙකුත් මන්දපෝෂණ තත්ත්වයන් හෝ අධික තරබාරු බව ඇතිවේ. ස්‌නායු දුර්වලතාවයන්, සම රැලිවැටීම නිසා ඇති වන වියපත් පෙනුම, ලිංගික බෙලහීනතාවය, වාත රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි තවත් නොයෙකුත් රෝගාබාධ වුවද දිගුකාලීන මානසික ආතතියට ගොදුරුවීම තුළින් ඇති විය හැකිය. මානසික ආතතිය ශරීරයේ ආරක්‍ෂක පද්ධතියේ ක්‍රියාකාරීත්වය අවම කරන නිසා ශරීරය ඉතා පහසුවෙන් බෝවන රෝගවලට ද ගොදුරු වේ.

මෙවැනි නොයෙකුත් හේතු නිසා මානසික ආතතිය පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්ය. මානසික ආතතිය පාලනය කිරීම යනු පුද්ගලයකුගේ දෛනික ක්‍රියාවන් සහ සිතුවිලි පාලනය කර ගැනීමය. ඒ සඳහා යමෙකුට හැකිනම් ආතතියට හේතුවන පසුබිම වෙනස්‌ කිරීමත්, එසේ කළ නොහැකි නම් එවැනි අවස්‌ථාවන්ට ප්‍රතිචාර දක්‌වන ආකාරය වෙනස්‌ කිරීමත් සිදු කළ හැකිය.

ආගම දහමට නැඹුරුවීම, ශාරීරික ව්‍යායාම, මනා පෝෂණයක්‌ සහිත සමබර ආහාර වේලක්‌ ගැනීම, එළවළු, පලතුරු සහ පළා වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම, පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම, ගෙවතු වගාව, සෞන්දර්යාත්මක වින්දනය වැනි විවිධ ක්‍රියාවන් දෛනික ජීවිතයට එක්‌ කර ගනිමින් පිරිසිදුව පිළිවෙළකට විනෝදයෙන් දිවි ගෙවීම සහ අනවශ්‍ය කාර්යබහුල බවින් මිදී සැහැල්ලු දිවි පෙවතක්‌ ගත කිරීමෙන් මෙන්ම අහිතකර සෘණාත්මක ආකල්පවලින් තොර සිතුවිලි මාලාවක්‌ ගොඩනඟා ගැනීම තුළින් මානසික ආතතියේ පීඩනයෙන් මිදී නිරෝගිමත් හා තෘප්තිමත් ජීවිතයක්‌ ගත කිරීමට හැකි වනු ඇත. අතීතය හා අනාගතය පිළිබඳව අනවශ්‍ය ලෙස නොසිතා තරගකාරීත්වයෙන් මිදී ලද දෙයින් සතුටු වෙමින් පවත්නා වර්තමානයේ ජීවත්වන පුද්ගලයාට මානසික ආතතියෙන් මිදී සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම නිරෝගීව ද ජීවත්වීමට හැකිය.
දිලංගනී ප්‍රනාන්දු -
අන්තර්ජාලය ඇසුරිනි. 


 =================================




මිනිස් සිරුරත් යන්ත්‍රයක්.
යන්ත්‍රයක් පමණ ඉක්මවා
උපයෝගී වෙන විට රත්වෙනවා.

බටහිර විද්‍යාවට අනුව
එක්‌තරා සීමාවක් දක්වා
මානසික ආතතිය ප්‍රයෝජනවත් ලෙස හඳුන්වනවා.
මත්පැන් ගැනීමත්
යම් පමණකට යහපත් ලෙස
සමහරුන් සලකනවා.

යමකුගේ මනසට සත්‍ය හෝ මවා ගන්නා ලද
කිසියම් අරමුණක් ඔහුට ප්‍රිය වීම හෝ අප්‍රිය වීම නිසා
රාගයෙන් හෝ ද්වේශයෙන් සක්‍රීය වන මනස
ශරීරයේ ස්නායු පද්ධතියේ පෙළඹවීමෙන් ඇති කරන
ස්වාභාවික ක්‍ෂණික ප්‍රතික්‍රියාව "ආතතික ප්‍රතිචාරය"
බුදු දහමෙහි හඳුන් වන්නේ උපාදානය ලෙසයි.

උපාදානය යනු පුද්ගලයකුගේ
ඕනෑම ක්‍රියාවකදී හෝ අවස්‌ථාවක දී
මානසික හෝ ශාරීරික සමබරතාව බිඳී
මිනිසා ක්‍රියාත්මක කරවන
ස්‌වාභාවික ප්‍රතික්‍රියාවකි.

බල්ලෙක් බුරාගෙන එනවිට දුවන්නේ
බිය උපාදාන කරගැනීම නිසාය.
විභාගයෙන් සමත් වීම උපාදාන කරගෙන
පාඩම් කිරීමට යොමුවීම සිදු වෙයි.
වාහනයක් උපාදාන කරගන්න තැනැත්තා
මුදල් උපයන්නට පටන් ගනියි.

ප්‍රිය දේ නොලැබීමත්,
අප්‍රිය දේ ලැබීමත් උපාදාන වීමෙන්
එක් රැස්වෙන රාග, ද්වේශ සංස්කාර නිසා
මානසික ආතතිය උපදිනවා.

මානසික ආතතියට හේතු වෙන්නෙ
බුදු දහමෙ කියන ආකාරයට
තණ්හාව උපාදාන කරගැනීම නිසා
මනසට දරන්නට බැරි ප්‍රමාණයට ඇතිවෙන
රාග හෝ ද්වේශ සංස්කාරයි..

සිතෙහි ඇතිවෙන හැම දේකටම සමව සරණ
වේදනාවන් කයෙහි ජනිත වෙනවා.
කයෙහි වෙනසක් නොවෙන සිතිවිල්ලක්
සිතෙහි ඇති වෙන්නෙ නෑ.

මානසික වෙනස්වීම් වලට සමගාමීව
කයෙහි ජෛව රසායනික වෙනස්වීම් වෙනවා.
මත්පැන් වගේම මේ ජෛව රසායනිකත්
යම් පමණකට පාලනය කරන්න
මිනිස් සිරුරට හැකියාව තියනවා.
ඒ හැකියාව බිඳුණාම
මානසික ආතතිය බවට පත් වෙනවා.

ද්වේශයෙන් කුපිත වී අපරාධ කිරීමත්
රාගයෙන් වියරුවී ස්ත්‍රී දූෂණ ආදිය කිරීමත්
ක්ෂණික මානසික ආතතියක් කියා
අර්ථ දක්වන්න පුලුවන්.
ඒ ආතතිය ගොඩනැගෙන්නෙ
දීර්ඝ කාලීන උපාදාන කරගැනීමකින්.

චරිත ලක්ෂණ අනුව
රාගය හා ද්වේශයෙන් කුපිත නොවෙන
දුර්වල පුද්ගලයන් අකර්මණ්‍ය වීම
ස්වභාවයක්.

අසාමාන්‍ය ලෙස අමතකවීම,
අවධානය යොමු කිරීමේ නොහැකියාව,
තීරණ ගැනීමේ අපහසුතාව යන ලක්‍ෂණ සමග
මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයකු තුළ
සෘණාත්මක ලක්‍ෂණ නිතැතින්ම පහළ වීම
රාගයෙන් හෝඅ ද්වේශයෙන් ක්‍රියා නොකරන තැනැත්තා
මෝහයට පත් කිරීමේ ස්වාභාවික ක්‍රමයයි..

වෛද්‍ය ප්‍රතිකාර වලින් කරන්නෙ
මේ අකර්මණ්‍ය කිරීම අරමුණු කොට
පෙති කරල් ආදියේ අඩංගු රසායනික සංයෝග මගින්
රෝගියා කෘතිමව නිර්වින්දනය කිරීමයි..
නැත්නම් ඔහුගෙ මනසෙ ක්‍රියාකාරිත්වය
කායිකව අඩපණ කිරීමයි.
එවැනි එක බෙහෙත් වේලක් නිසා
දෙදිනක් සිහිසුන්ව සිටි කාන්තාවක්
මා දන්නවා.

ඇගේ පාදයක් බිඳීමෙන් පසු
වෙනස්වූ ජීවන රටාව තුළ
ඇය මානසික ආතතියට පත් වුණා.
ඒ සඳහා ලබා දුන් වෛද්‍ය ප්‍රතිකාර නිසා
දැන් ඇය ගත කරන්නෙ සිහියෙන් තොර
ඉතාම අකර්මණ්‍ය ජීවිතයක්.
ඇයට වෙන හානිය
ඇගේ දරුවන්ට රහසක් නොවෙයි.
එහෙත් තමන්ගේ සුව පහසුව තකා
ඔවුන් දිගටම ඒ ප්‍රතිකාර දී
ඇගේ සිහිය දුර්වල කරනවා.

කිසියම් අරමුණක් උපාදාන කරගෙන
මානසික ආතතිය සීමාව ඉක්මවන කෙනෙක්
ස්වාභාවිකව උමතු වෙන්නත් පුලුවන්.

මනසින් ඇති කරගන්නා ආතතිය
කායිකව සුව කරන්නට ක්‍රියා කිරීම
අස්වාභාවිකයි. අසම්පූර්ණයි.

මානසික ආතතියට ප්‍රබලම විසඳුම
මානසික ක්‍රියාවලිය වෙනස්කොට
අපිරිසිදු මනස පිරිසිදු කරගනිමින්
මනස මගින්ම සුවය ලබා ගන්නා ක්‍රමය
බුදුන් වහන්සේ විසින්
ලොවට දායාද කළා.
ඉන් පෙර පැවති කිසිම දහමක
මේ ක්‍රමය දකින්නට නෑ.

බුදුන් වහන්සේට පෙර
මිනිසා මානසික ආතතියෙන් මිදුණේ
පරිසරය වෙනස් කොට
වෙනත් තැනකට හෝ අරමුණකට
පළා යාමෙනුයි.
යාග හෝම, තොවිල් පවිල් වලින්
සැරසිලි සහිතව කරන්නේ
රෝගියාගේ උපාදානය බිඳ
ඔහු තුළ සිදු වූ වෙනස් වීම්
ආපසු හැරවීමයි..

රසායනික ප්‍රතිකාර වලට වඩා
මිථ්‍යා විශ්වාස මත කෙරුණ ප්‍රතිකාර
තාවකාලික වුණත් හානිකර නෑ.

කිසිම බාහිර උපකාරයක්..
බාහිර ප්‍රතිකාරයක් නැතිව
ස්වාධීනව සහ ස්වෝත්සාහයෙන්..
මානසික ආතතිය ජයගන්න ක්‍රමය
බුදුන් වහන්සේ සොයා ගත්තා..

උපාදානයට හේතුවෙන තණ්හාවත්
තණ්හාවට හේතු වෙන කයෙහ් වෙනසත්
සිය අත්දැකීමෙන්ම පසක් කළ
බුදුන් වහන්සේ
කයත් වේදනාත් පිළිබඳව
සිහියෙන් සහ ඒ වෙනසට උපේක්ෂාවෙන් විසීමෙන්
තණ්හාවත් උපාදානයත් පහළ නොවෙන බවත්
අත්දුටුවා.

පසිඳුරන්ගෙන් ලැබෙන හෝ
සිතෙහි මතුවෙන අරමුණු වලදී
කයත් මනසත් වෙනස් වෙන විටම
ඒ වෙනස්කම් පිළිබඳව සිහියෙන්
ඒ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන්
මැදහත් සිතින් විසීම
බුදුන් වහන්සේ සොයාගෙන
සිය ශ්‍රාවකයන්ට පුහුණු කළ ක්‍රමයයි.

බුදුන් වහන්සේ බුදු වුණේත්
එදා සිට අද දක්වා
බුදු දහම ඇසුරෙන් දුකෙන් මිදෙන හැම කෙනෙක්ම
දුකෙන් මිදෙන්නට පටන් ගත්තේත්
දුකෙන් මිදී නිවන් දුටුවේත්
ඒ සරල ක්‍රමය අනුවයි..

සාමාන්‍ය ජීවිතයේදී
පසිඳුරන්ගෙන් ලැබෙන හෝ
සිතෙහි මතුවෙන අරමුණු වලදී
කයත් මනසත් වෙනස් වෙන ආකාරය
කෙනෙක් දකින්නේ නෑ.
ඔහු ඔහුට ප්‍රිය හෝ අප්‍රිය අරමුණු ගැන
හැඟීම් පහළ කරගෙන
සිතිවිලි ඇති කරගෙන
ඒ අරමුණ සමග බොහෝ දුර යනවා.
තණ්හාවෙන් උපාදානය ඇතිවෙන්නෙ එහෙමයි.

පසිඳුරන්ගෙන් ලැබෙන හෝ
සිතෙහි මතුවෙන අරමුණු වලදී
කයත් මනසත් වෙනස් වෙන විටම
ඒ වෙනස්කම් පිළිබඳව සිහියෙන්
ඒ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන්
මැදහත් සිතින් විසීම
බුදුන් වහන්සේ පුහුණු කළ ක්‍රමයයි.

බුදුන් වහන්සේ බුදු වුණේත්
එදා සිට අද දක්වා
බුදු දහම ඇසුරෙන් දුකෙන් මිදෙන හැම කෙනෙක්ම
දුකෙන් මිදෙන්නට පටන් ගත්තේත්
දුකෙන් මිදී නිවන් දුටුවේත්
විපස්සනා නමින් හඳුන්වන
ඒ සරල ක්‍රමය අනුවයි..

බුදු දහමට
රාග, ද්වේශ, මෝහ සංස්කාර
කයෙහි වේදනා ලෙස
අත් දකින්න හැකියාව තියන කෙනෙකුට
මානසික ආතතිය හැදෙන්නෙ නෑ.
බුදු දහමට අනුව
විපස්සනා වඩන කෙනෙකුට
ඒ පුහුණුව ලැබෙනවා.

විපස්සනා වඩන කෙනෙක්
කය පිළිබඳව සිහියෙන්
වේදනා පිළිබඳව සිහියෙන්
සිතෙහි ඇතිවෙන චේතනා සහ සිතිවිලි
කය තුළ වෙනස්කම් ලෙස දකිමින්
ඒ සියල්ලට උපේක්ෂාවෙන් වෙසෙන විට
වේදනාව තණ්හාව බවටත්
තණ්හාව උපාදානය...
නැත්නම් මානසික ආතතිය බවටත්
පත්වන්නට අවකාශ නෑ.

මානසික ආතතියෙන් යුත් කෙනෙක් වුණත්
විපස්සනා වඩන විට
කයත් වේදනාත් සිහියෙන් දකිමින්
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් වෙසෙන විට
ඔහුගේ මානසික ආතතිය අඩු වී
සිත පිරිසිදු වෙනවා.

මානසික ආතතිය ඇති තැනැත්තාට
හොඳම ප්‍රතිකාරය
ඔහු විසින්ම කරගත හැකි ප්‍රතිකාරය වන
විපස්සනා වැඩීමයි..


විපස්සනා  - ජීවත්වීමේ කලාව

අග්නි වාණී


දුසිල් පැවිද්දන් ගැන
වෙන කවුරුවත් කියන දේට වඩා
බුදුන් වහන්සේ කියන දේ
ලෝකය පිළිගන්නා බවට
මේ බුදු වදනට ලැබෙන
අපූර්ව ප්‍රතිචාරය සලකුණක්..