20170206

සාපේක්ෂක ඉවත් කරන්න! නිවන නොමිලේ.


* Hasitha Wanniarachchi 
[[[ අවබෝධය තියෙන තැන ගැටුම් නෑ. ගැටුම් නැති තැන නිවීම ! එච්චරයි. ]]]
-මෝහයෙන් ගැටුම් නැතුව ඉන්න පුලුවන්.
ප්‍රඥාවෙනුත් ගැටුම් නැතුව ඉන්න පුලුවන්.
මෝහයෙන් ඉන්න කෙනෙක් තුළ උණුහුමත් නෑ.
සීතල මළකඳක් නිසා නිවිලා.
තව කෙනෙක් මෝහයට පත් කිරීම හැර
වෙනත් ප්‍රයෝජනයක් නෑ.
ප්‍රඥාවන්තයා දැල්වෙන්නෙ උදුනක් වගේ.
අනවශ්‍ය ප්‍රදේශ වලට ගින්න පැතිරෙන්නෙ නෑ.
ඒත් ප්‍රයෝජනවත් දේට ගින්න යොදාගන්නවා.
* Hasitha Wanniarachchi 
[[[ එතන තමයි අතුල සහ මම වෙන්වෙන තැන.
මෝහය තුල ඇතිවෙන නිවීම පැහැදිලි කරන්න ? ]]]
-ඔබ ලබන අත් දැකීම් වලදි
එක්කො ඔබ ඒ අත්දැකීම ප්‍රිය කරනවා.
නැත්නම් අප්‍රිය කරනවා.
ප්‍රිය අප්‍රිය වුණොත් ඔබ සංවේදීයි.
සංවේදී අය
සැප සහ දුක විඳිනවා.
ප්‍රිය අප්‍රිය දෙකෙන්ම ඔබ දැවෙනවා.
ප්‍රිය දැවීම ඔබට ප්‍රියයි.
අප්‍රිය දැවීම අප්‍රියයි..
ප්‍රිය අප්‍රිය අත්දැකීම් වලදි
ඔබේ නිවීම නැති වෙනවා.
දැවීම ප්‍රබල නම් ඔබ කැළඹෙනවා.
ආවේගශීලී වෙනවා.
දුක සැප ඉහළ යනවා.
දුකක් සැපක් නැති
අනිත් හැම අත්දැකීමක් තුළම
ඔබ ඉන්නෙ මෝහයෙන්..
ඔබ ඒ අත්දැකීම සමග සම්බන්ධ නෑ.
සමහර කෙනෙක්
සැප දුක දෙක මග හැරලා
මෝහයෙන් වෙසෙන්න ප්‍රිය කරනවා.
ඔවුන් ඒ සඳහා නොයෙක් උපක්‍රම
භාවිතා කරනවා.
සාමාන්‍ය කෙනෙක් මේ දේ කරගන්නෙ
හිත වෙන දේකට යොමු කිරීමෙන්.

බස් එකේ ගමන දුකක් නම්
මොබයිල් එකෙන් සින්දුවක් අහනවා.
පොතක් පත්තරයක් බලනවා.
උපරිම මෝහය වෙන
නින්දටම පත් වෙනවා.
මෝහයෙන් පසු වෙද්දි
කය දුක් විඳිනවා ඔහු දන්නෙ නෑ.
හිත වැඩ කරනවා... ඔහු දන්නෙ නෑ.
ඔහු ඉන්න ස්වභාවය ගැන සිහිය නැහැ.

පවතින ස්වභාවයෙන් මිදිලා
මෝහයට පත් වෙන සරල ක්‍රම
කුඩා දරුවාගෙ පටන් හැමෝම
අම්මාගෙ උකුළේ නැලවෙන දවස්වල ඉඳලා
හැම කෙනෙක්ම දන්නවා.
ආගම් භක්තිය තියන කෙනාට
දුකක් ආවම ඔහුගෙ ශ්‍රද්ධාව අනුව
කර්ම විපාකයක් ... දේව කැමැත්ත කියලා
ඒ දුක පිළිබඳව
හිතේ සම්බන්ධය විසන්ධි කරලා
මෝහයට පත් වෙනවා.

ආගමික දර්ශනයෙන් හිස මේරූ අය
"මම කියා කෙනෙක් නෑ" "සියල්ල අත්හැරීම නිවනයි"
වගේ දාර්ශනික තර්කයකින්
හිත පෙළන දුක විස්ථාපනය කරලා
බැතිමතා පත් වෙන මෝහයටම
තර්කයෙන් පත් වෙනවා.

තවත් පිරිසක් සාපේක්ෂක ඉවත් කරලා
හිත ශූන්‍ය කරගෙන මෝහයට පත් වෙනවා.
ඔහුගෙ හිත තාවකාලිකව නිවෙනවා.
ඒත් ඔහුට සිහිය නැහැ.

ඔහු වේදනා පැමිණෙනවිට නිර්වින්දනය වෙලා
සිදු වෙන දේ ගැන මෝහයෙන් වෙසෙනවා.
මෝහයෙන් වෙසෙන්නා තර්කයෙන් දකින දේ
අවබෝධය කියා ඔහු රැවටෙනවා.

අව්වෙ ඉන්න කෙනෙකුට අව්ව දුකක් වෙද්දි
ඔහු අව්ව කියන්නෙ කුමක්ද,
අව්වෙන් දැනෙන තාපයට හේතු මොනවාද?
අව්ව ශක්තියක්ද, පදාර්ථයක්ද?
ආදී වශයෙන් තර්ක කරද්දි
සිහිය වෙනතක යොමුවී ප්‍රපංච හැදෙනවිට
ඔහුට අව්ව නොදැනි යනවා.

ඔහුට දුක නොදැනෙන්නෙ
අව්ව අවබෝධ කරගත් නිසා කියලා
ඔහු මුලා වෙනවා.

ඒ මුලාව ප්‍රඥාව නොවෙයි.
දුක් විඳින මිනිස්සුන්ට
දුකෙන් පැනලා ගිහින්
මෝහයට පත් වෙලා නිවෙන්න
පහසු ක්‍රම වේද අසීමිතයි.
ඒ ක්‍රමවේද එකිනෙකාට ආවේණිකයි.
ප්‍රඥාවෙන් ජීවත් වෙන්න
එකම ක්‍රමයයි තියෙන්නෙ.
ඔහු තමන්ගෙ කය ගැන සිහියෙන් පසු වෙනවා.
ඔහුගෙ හිත ගැන සිහියෙන් පසුවෙනවා.
කය වෙනස් වෙන හැටි පෙනෙනවා.
හිත වෙනස් වෙන හැටි පෙනෙනවා.
මේ වෙනස දුක බව දන්නවා.
මේ වෙනසත් තමන් විඳින දුකත්
පැවැත්ම විනා තමන් කරන දෙයක් නොවෙන බව
ඔහු දන්නවා.
දුක සැප විඳින විට ඒ ගැන සිහියෙන්
ඒ සිදුවෙන වෙනස්කම් කයෙහි වෙනස්වීම් ලෙස දකිමින්
ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් අල්ලා නොගෙන
සිහියෙන් දකින වෙනස්කම් නොවිඳීම තුළ
නිවීමට පත්ව ජීවත් වෙනවා.
ප්‍රඥාවෙන් නිවෙන තැනැත්තා තුළ මෝහය නෑ.

No comments:

Post a Comment