20141011

කරකවන්නෙ ගිනි පෙනෙල්ලක්.. මට පෙනෙන්නෙ ගිනි වලල්ලක්.

Upul Seneviratne Kapukotuwa
[[[[හරි අපි කියමු ගිනිපෙල්ලක් තියෙනවා
මමත් එය බලා ඉන්නවා...
කුමක්ද කරන්න ඕනි.]]]]
--------------------------------------------------------
උපුල්ගෙ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්..
මමත් කල්පනා කලා
කොහොමද ඇත්ත දකින්නෙ..

කරකවන්නෙ ගිනි පෙනෙල්ලක්..
මට පෙනෙන්නෙ ගිනි වලල්ලක්..

ගිනිපෙනෙල්ල කරකැවෙන කොට
ඒ ගිනි රවුමක් මෙන් පෙනෙන
තනි ගිනිපෙනෙල්ලක් බව
ප්‍රත්‍යක්ෂ කරගන්නෙ කොහොමද?
වෙනස් වීම දකින්නෙ කොහොමද?.

මටත් පිළිතුරක් තිබුණෙ නෑ.

හිතුවාම තමයි පිළිතුර පෙණුනෙ.

අනිවාර්යය විසඳුම
සතර සතිපට්ඨානය බව දන්නවා.
ඒත් කොහොමද වෙනස දකින්නෙ..

වෙනස නිසි පරිදි දකින්න නම්
අනුන් කරකවන පන්දම් දිහා බලල
වැඩක් වෙන්නෙ නෑ.
තමන්ම ගිනිපෙනෙල්ල කරකැවීමයි
ඇත්ත දැනගන්න ක්‍රමය..

ඔබ කෝපයට පත් වුණාම
මම පොතේ කියවපු දේ අනුව
ඔබේ කෝපය දකින්න පුලුවන්..
වර්ග කරන්න පුලුවන්..

කරකවන්නෙ ගිනි පෙනෙල්ලක්..
මට පෙනෙන්නෙ ගිනි වලල්ලක්..

බුදුන් වහන්සෙගෙ වචන අහලා
තමන්ගෙ සීමිත දැනුමෙන්
බුදුන් වහන්සෙගෙ වචන විස්තර කරන
මගේ හෝ වෙනත් කෙනෙකුගේ වචන අහලා
කෝපය ගැන දැනුමක් ගන්න පුලුවන්..

ඔබ ලබන දැනුම ඔබ දකින කෝපය ගැන නොවෙයි..

ඔබ ලබන දැනුම ඔබ දකින
සැබෑ කෝපය ගැන නොවෙයි..
ඔබ දැනගන්නෙ පොදු කෝපය..

එයින් ඔබට ලැබෙන්නෙ
තව කාට හරි කියන්න පුලුවන්
වචන ටිකක් විතරයි.

ඔවුන් ඔබට ඇහුම් කන් දෙන්නෙ
මට හෝ වෙනත් කෙනෙකුට
ඔබ ඇහුම් කන් දෙන විදියටම තමයි.

ඔබ අහන දේ රැඳෙන්නෙ
ඔබ පිළිගත්තොත් තමයි..

අපි කියන දේ අහල
බුදු වදන් වලට යොමුවුණොත්
ඔබට හොඳක් වෙයි..

හොඳම දේ තමයි
ඔබ ගිනි පෙනෙල්ල කරකවන විට
ඒ ගැන සිහියෙන් ඉන්න එක..

මගේ කෝපය බලා හිඳීමෙනුයි
මම කෝපය කුමක්ද කියල දැනගන්නෙ..

සතර සතිපට්ඨානයෙන් කරන්නෙ ඒකයි..

එහෙම බලා ඉන්නකොට
සිහිය තියන ප්‍රමාණය අනුව
වෙනස පෙනෙන ප්‍රමාණය වැඩි වෙනවා.
උපේක්ෂාව තියන ප්‍රමාණය අනුව
වෙනස පෙනෙන ප්‍රමාණය වැඩි වෙනවා.

ගිනි වළල්ල කියන මායාව නිසා
අපි කරන උමතු ක්‍රියාවන් අඩු වෙලා
ගිනි පෙනෙල්ල කියන සත්‍යයට අනුව
අපි සරලව ජීවත් වෙනවා.

ගිනි පෙනෙල්ල ගිනි වලල්ලක් කියල දැකලා
මිථ්‍යාව සත්‍යය වශයෙන් දැකලා
උමතුවෙන් හැසිරිලා විඳින
දුකෙන් මිදෙනවා.