20180429

චතුරිකා මත්පැන් විකිණීම නීති විරෝධීයි.???

මත්පැන් විකුණන චතුරිකාට
සමාජයෙන් එන බලවත් විරෝධය
ඉතාම සාධාරණයි.

ජනපතිගේ දියණිය විදියට හෝ
රටේ සාමාන්‍ය ගැහැණියක් විදියට හෝ
නීත්‍යානුකූල පදනමක් යටතේ කරනවා නම්
චතුරිකා කරන ව්‍යාපාර අපට වැදගත් නෑ..

මෛත්‍රීගෙ දියණිය වුණාට
රටේ දේශපාලනයට චතුරිකා සම්බන්ධ නෑ..

නීතියට අනුව නිවැරදි වුණත්
බුදු දහමට අනුව ඇය වැරදියි.
ව්‍යාපාරයක් වශයෙන් මත්පැන් විකිණීම
මස් මාංශ, අවි වෙළඳාම වැනි දේ
යහපත් කර්මාන්ත නොවන බවයි
බුදුන් වහන්සේ අනුමත කරලා තියෙන්නෙ.
බුදු දහමට අනුව චතුරිකා වැරදියි.

මුදලට ගන්න බැරි දෙයක්
ඇයට මේ මාර්ගයෙන් නැති වෙනවා.

චතුරිකා සාමාන්‍ය ගැහැණු දුර්වලකම් සහිත
බොළඳ ස්ත්‍රියක් බව ඇත්ත.
සාමාන්‍ය ගැහැණු වගේම
ඇය මුදලටත් කෑදර බව පෙනෙනවා..
ඒත් චතුරිකාගෙ ව්‍යාපාරවලින්
මෛත්‍රී ගැන මගේ තියන ගෞරවය
පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ.

මෛත්‍රී බේබද්දෙක්, සල්ලාලයෙක්,
ධනයට කෑදර කෙනෙක් නොවෙයි බව
අපිට ඔහුගේ ජීවිතය දිහා බැලුවාම
හොඳින් පෙනෙනවා.

දුව ගණිකාවක් වුණොත්,
මත්පැන් විකුණුවොත් හෝ
විකෘති සමලිංගික කතක් වුණොත්
ඇගේ චර්යාවෙන් පියාගේ චරිතය
අඳුරු වෙන්නෙ නැති බව මම දන්නවා.
මෛත්‍රීගෙ චරිතයටත් එහෙමයි.

ශීලාචාර පියාගෙ චරිතය තවත්
බබලන්න ඒ අඳුර හේතු වෙනවා.

මෛත්‍රීගෙ ඇතුළෙ නැති දුර්වලකම්
පිටින් තවරලා ඔහුගෙ ප්‍රතිරූපය
බිඳින්න පුලුවන් වෙන්නෙ
තනිව හිතන්න ශක්තියක් නැති
අඳබාලයන් සමග පමණයි.

කවුරුවත් හිතන දේ අනුව
රැලේ දක්කන්න බැරි මිනිස්සු.
යමක් ගැන තීරණ ගන්නෙ
තමන් හොයාගන්න තොරතුරු අනුවයි.
වෙන අය හදල දෙන ඇඳුම් ඇඳන් නටන්න කැමති
පාක්ෂික අඳබාලයන් නටවන්න හදන කතා
මෛත්‍රී අගය කරන අයට අදාළ නෑ...
මෛත්‍රීට ඉන්න අතළොස්ස එවැනි පිරිසක්.

චතුරිකා මෛත්‍රීගෙ දුව වීම
මේ සම්බන්ධව වෙනම ප්‍රශ්නයක්.
ඇගේ ප්‍රශ්නය කතා කරන්න
අපට මෛත්‍රී අවශ්‍ය නෑ.

ශීලාචාර කාන්තාවක් වන
ඇය ඇගේ සීමාව හඳුනාගත යුතුයි.
ජනපති දියණිය නොවුණත්
සාමාන්‍ය කාන්තාවක් විදියට වුණත්
ඇය ඇගේ ගරුත්වය රැකගත යුතුයි.

තමන්ගේ තරම නොදන්නා
මාලනී වැනි නිළියකට සම්බන්ධ
ප්‍රසිද්ධ නිළි පවුලකින් පැවත එන
සමනලී ෆොන්සේකාගේ පහත් තත්වයට
චතුරිකා ඇද වැටුණොත් ඇය කරගන්නා
බරපතල හානියක්..

සමනලී මධු පැන් සොයා යාම හෝ
බාර් එකක් දමාගෙන මත්පැන් විකිණීම
ඇය වෙසෙන සහ ඇසුරු කරන
පිරිහුණ සමාජයට ප්‍රශ්නයක් නොවෙයි.
ඇ=ය වටා එක්වෙන බේබද්දන් සල්ලාලයන්
ඇය උත්කර්ෂයට නංවාවි.

චතුරිකා මත්පැන් විකිණීම
මෛත්‍රී වැන්නෙකුගේ දරුවෙ විදියටත්
සිංහල සංස්කෘතියේ සදාචාර සම්පන්න පවුලක
ශීලාචාර කුල කතක් විදියට බලන විට නම්
කෙසේවත් ගැලපෙන්නක් නොවෙයි.

නීතිය පැත්තෙන් බලනවා නම්
චතුරිකා හෝටලේ බාර් එකේ හිඳගෙන
මත්පැන් විකුණන්න ආවොත් නීති විරෝධීයි..
බාර් එකට ඇවිත් බිව්වොත් වැරදියි.
අපේ රටේ නීතියට අනුව
ගැහැණුන්ට බාර්වල වැඩ කරන්න තහනම්.
බාර් වලට ඇවිත් මත්පැන් බොන්න තහනම්.

ජනපතිගෙ දුව වුණත්
චරිතයක් විදියට සවිමත් වුණත්
පිරිමියාට සාපේක්ෂව බලන විට
ඇය ස්වභාවයෙන් දුර්වල බොළඳ කාන්තාවක්.

ළමයින්ගේ සහ අබල තැනැත්තන් මෙන්
ඇයත් සමාජය විසින් ආරක්ෂා කළ යුතු
සමාජීය වශයෙන් දුර්වල සාමාජිකයෙක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇය ගැන
කියා තියෙන්නෙ මෙහෙමයි.
(4)  කාන්තාවන්ගේ,
ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප්‍රගතිය සඳහා
නීතියෙන් හෝ අනු නීතිවලින්  හෝ
විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ
විශේෂ විධිවිධාන සැලැස්වීම
මේ  ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේ ය.

ව්‍යවස්ථාව නොසලකා
හෝටලේ බාර් එකේ මත්පැන් විකුණන්න චතුරිකා ආවොත්
බාර් එකට ඇවිත් මත්පැන් බිව්වොත්  නීති විරෝධීයි..
ඒ වෙලාවට
කවුරු හරි ඇයට නඩුවක් දැම්මොත්
මෛත්‍රීත් අනිත් පැත්තෙන් ක්‍රියා කරන විදිය
අපි දැඩි අවධානයෙන් බලන්න ඕන.

අන්න ඒ වෙලාවට
මෛත්‍රී කරන්නෙ මොකද කියලා
රටම බලා සිටිය යුතුයි...
චතුරිකාට නඩුවක් වැටුණොත්
ඔහු කරන දේ රටට ඉතාම වැදගත්.

විධායක බලතල ඇති ජනපති ලෙස
මෛත්‍රීගේම සහෝදරයන්ගෙ නීතිවිරෝධී වැඩ වලදි
"මගෙන් අහන්න එපා, නීතිය ක්‍රියාත්මක කරන්න"
කියා මෛත්‍රී කළ අපූර්ව ප්‍රකාශයට
මම අදත් ගරු කරනවා.

ගෝඨාභයට තියන චෝදනා වලදි
"මගෙන් අහන්න එපා, නීතිය ක්‍රියාත්මක කරන්න" කියා
මහින්ද කොහොමවත් නොකියන බවත් අපි දන්නවා.

අපි මහින්දට විරුද්ධව
බැසිල්ට, ගෝටාට විරුද්ධව
මෛත්‍රීට ගරු කරන්නෙ ඒ ගුණයටයි.
ඔහු සොහොයුරන් සමග එක්වී
රට කරන්නෙ නෑ..

අපට පෙනෙන විදියට
මෛත්‍රී ස්වාධීන පුද්ගලයෙක්.
චතුරිකාවත් ඔහුට අදාළ නෑ..

20180417

පූසත් මී පැටව් වගෙයි

 අලුත් අවුරුද්දට
අපේ ගෙදර අස් කරන වෙලාවෙ
අපි සීතලට අඳින්න කියලා
ඉන්දියාවෙදි ගත්ත
ඇඳුම් කිහිපයක් කපලා
මීයෙක් පැටව් දාල තිබුණා.
මම කිව්වා
හොල්ලන්න එපා...එහෙමම තියන්න,
නැත්නම් මහ එවුන් දාල යයි... කියලා.
ඒත් ඒක ඒ විදියට ක්‍රියාත්මක වුණේ නෑ.
මී පැටවු බඩගින්නෙ තැන තැන
ඇවිදින්න පටන් ගත්තා..
උන් ආපහු හිටිය තැනට දැම්මත්
මී අම්මා දරුවො හොයන්න ආවෙ නෑ.
ඌටත් අනතුරක් වුණාද දන්නෙ නෑ...
එකෙක් කුසගින්නෙ මැරිලා හිටියා.
පුතයි දෝණියි එකතු වෙලා
ඉතුරු දෙන්නට පාන් තිර වලින්
විටින් විට කිරි පෙව්වා...
කවදාවත් නැතුව පූසෙක් ඇවිත්
ගෙදර සාලෙ ඉඳලා පුතා
ඌව එළවලා දැම්මා.
මම පුතාට කිව්වා
''මී පැටව් කන්න වෙන්න ඇති'' කියලා.
අපි නින්දට යද්දි
''මී පැටව් ඉන්න කාමරේ දොර වහන්න''
කියලා මම බිරිඳට කිව්වා.
උදේ බලනකොට මී පැටවුන්ගෙ
වලිගෙකුයි කෑලියි විතරක් ඉතුරු වෙලා තිබුණා.
පුතාල උන්ව ආපහු කාමරේට දාන්නෙ නැතුව
කිරි දීපු තැනම ඉන්න ඇරලා තිබුණ නිසා
පූසා ඇවිත් උන්ව කාල ගිහින්.
මතක් වෙන මතක් වෙන වෙලාවට
අපි ඒ දුක විටින් විට වින්දා.
ඊයෙ අර පූසා
පුතා සාලෙ ඉන්නකොට ඇවිත්
උගේ ගෙදර වගේ ඇවිදිනවා...
එක කාමරේකින් තව එකකට ගිහින්.
ඊට පස්සෙ ගිහින් බැලුවාම
හොයාගන්න බැරි වුණා.
පුතා වරින් වර බැලුවත්පූසා ආවෙ නෑ...
පුතාල චිත්‍රපටියක් බලද්දි
රෑ දොළහට විතර
"අන්න පූසා ඇවිල්ලා" දෝණි කිව්වා.
පුතා ගේ පුරා පූසා පස්සෙ පැන්නුවා.
අම්මයි දූයි දෙන්නත් එළෙව්වා.
ඌට පැනල යන්න තැනක් නෑ...
හිනා වෙවී විනෝදෙන් එළෙව්වට
පුතා ඌ පස්සෙ පැන්නුවෙ ඌට වද දෙන්නයි...
මී පැටව් කෑවට උගෙන් පළිගන්නයි.
පුතා ඌ බය කරන්න
රෙදි බෝනික්කන්ගෙන් ගහල තිබුණා.
"මම ඌව එළෙව්වෙ ගෙදරින් යවන්නයි"
දෝණි කියනවා.
මට සද්ද ඇහුණත් මම ගියේ නෑ.
මට මේ ඉන්න පූසා අර පූසා නොවෙයි.
'සත්තු කාපු පූසගෙ' වරදට
'මේ පූසට' දඬුවම් දීල වැඩක් නෑ.
මේ දෙන්නා දෙන්නෙක්
මේ පූසට අතීතය ගැන සිහිය නෑ.
ඒ ශක්තිය නැති මිනිස්සුත් ඉන්නවා.
මිනිසුන්ට දඬුවම් විඳලා
ඉගෙනගන්න හැකියාව තිබුණට
සතුන්ට එහෙම නෑ..
පූසට ගහනවා නම් ගහන්න තිබුණෙ
මී පැටව් කන්න හදන වෙලාවෙ.
ඒ වෙලාවෙ හරියට ගැහුවා නම්
ඌ ආයෙමත් එන්නෙ ඒ බයත් එක්ක.
හරියටම පාර වැදුණා නම්
ඌ මී පැටව් දැක්කාම බය වෙනවා.
ඒත් ඒක වුණේ නෑ..
මේ පූසගෙන් පළි අරන් වැඩක් නෑ.
"පූසට වද දෙන්නෙ නැතුව යවන්න"
මම පුතාට කෑ ගහලා කිව්වා.
අද උදේ ඒ ගැන කතාව මතු වුණා.
පුතා පූසා පස්සෙ එළවද්දි
ඌ පරාණ බයේ එහෙ මෙහෙ දුවද්දි
"පුතේ, පූසත් මී පැටව් වගෙයිනෙ" කියලා
දෝණි පුතාට කියල තිබුණා.
( එයා අයියට පුතා කියන එක පුරුද්දක්. )
මම ඇහුවා "ඇයි දෝණි එහෙම කිව්වෙ?" කියලා..
"පූසත් මී පැටව් වගේ සතෙක්නෙ" ඈ කිව්වා.
තමන්ගෙ කුසේ ඉන්න දරුවා මරන්න පුලුවන්
මිනිස් අම්මලා ඉන්න මේ තිරිසන් ලෝකෙ
පූසෙක් මී පැටව් කන එක අරුමයක් නොවෙයි.
පූසට මී පැටව් ආහාරයක්..
මේ කතාවෙ පූසා ගැන මී පැටවු ගැන
හිතනකොට කොහොම හිතුවත්
මිනිසුන්ට ආහාරයක් කරගන්න හිතුණොත්
මිනිස්සු ඕනම සතෙක් කනවා.
හරක්, කුකුල්ලු කනවා.
ගෙම්බො සර්පයො කනවා.
පූසත් කනවා...මීයොත් කනවා.
මොකුත් නොතේරෙන පූසා 
මී පැටව් කාපු එක ස්වාභාවිකයි.
පූසත් මී පැටව් වගෙයි.

20180413

කාමයෙහි වරදවා හැසිරීම - සරලව

කම් සුව විඳීම කියන්නෙ
ස්පර්ශයෙන් ඇතිවෙන
සුඛ වේදනාව
සංඥාවෙන් හඳුනා ගනිද්දි
ප්‍රිය වශයෙන් සැලකීම නිසා
ඇතිවෙන රාග සංස්කාර
නැවත නැවත විඳීමයි.

මේ ක්‍රියාවලියේදී
කුසගින්න සඳහා ආහාර ගන්නා බව,
පිපාසය සඳහා පානයක් සොයන බව,
ලිංගිකත්වයේ ස්වාභාවික අරමුණ
දරුවන් ලැබීම බව අමතක වීම
කාමයෙහි වරදවා හැසිරීමක්.

සිහියත් උපේක්ෂාවත් නැති තැන
වැරදි සිදුවීම අනිවාර්යයි...

පොත්පත් වල තියන බුදු දහම
සත්‍යයක් වන්නේ බුදුන් වහන්සේට සහ
විඳ පසක් කරන ආර්ය ශ්‍රාවකයාටයි.

අන් සියල්ලන්ටම
පොත්පත්වල හමුවෙන්නෙ
වචන සමූහයක් පමණයි.
ඒ වචන කියවීමෙදි එකිනෙකා තුළ
පහළවෙන සිතිවිලි සමූහය
එකිනෙකාට ආවේණික සිතිවිලි මාලාවන් විනා
බුදුන් වදාළ ධර්මය නොවෙයි.

ධර්මය දෙන්නෙකුට දෙකක් නොවෙයි.

බුදු දහම පිළිපදින කෙනෙකුට
අවසානයේ පසක් වන සියලු ධර්මතා
බුදුන් වහන්සේ සොයාගත් සත්‍යතාමයි.

වෙනත් දෙයක් සිතේ පහළ වුණොත්
ඒ සිත අයිති තැනැත්තාට ආවේණික
පුද්ගලික සිතුවිල්ලක් පමණයි.
කොතරම් පිරිසක් ඒ සිතුවිල්ල
දහම ලෙස පිළිගන්නට පෙළඹුණත්
ප්‍රයෝජනයක් නෑ.

ඒ සිතුවිල්ල බුදු දහම නොවෙයි.

බුදු දහම පිළිපදින කෙනෙකුට
අවසානයේ පසක් වන සියලු ධර්මතා
බුදුන් වහන්සේ සොයාගත් සත්‍යතාමයි.

බුදු දහමේ පදනම
තම "සිත කය පිළිබඳව"
සිහිය පිහිටුවා ගැනීම සහ
එසේ පිහිටුවා ගත් පසුව පෙනෙන,
අනිත්‍යයට උපේක්ෂාවෙන් විසීමයි.

ප්‍රඥාව පහළ වෙන්නෙත්
ධර්මය පසක් වෙන්නෙත්
ඒ වෙලාවටයි.

අනිත්‍යය කියන්නෙ
කය සහ සිත වෙනස් වීමයි.

කයත්, කයේ වෙනස් වීම - වේදනාත්
සිතත්, සිතෙහි වෙනස් වීම, ධම්මත්
සිහියෙන් දකින සහ ඒ දෙකටම
උපේක්ෂාවෙන් වෙසෙන කෙනෙක් මගින්
ඒ මොහොතෙදි වරදක් සිදු වෙන්නෙ නෑ.

සියලුම වැරදි වලට හේතු වෙන්නෙ
සිහිය ගිලිහීම, උපේක්ෂාව ගිලිහීමයි.

සිහිය ගිලිහුණොත් මෝහයට වැටෙනවා.
උපේක්ෂාව ගිළිහුණොත් රාගයට...
නැත්නම් ද්වේශයට වැටෙනවා..
කම් සුව විඳීමෙදි සිහිය ගිළිහෙන්නෙ
රාගයට සිත නතු වීමෙන්...

විපස්සනා නොවැඩූ කෙනෙකුට
මේ සත්‍යතා තේරුම් ගන්න තරම්
අත්දැකීම නෑ...

මේ කියන දේ නොතේරෙන එකම හේතුව
විපස්සනා මගින්
තමන්ගේ සිත සහ කය වෙනස් වෙන විදිය
සිහියෙන් සහ උපේක්ෂාවෙන්
විඳ පසක් කිරීමෙන් උපන්
ප්‍රඥාව නැති වීමයි.

කාමය විඳින්නේ
ආහාර පානයෙන් වුණත්,
ඇස කණ නාසය ස්පර්ශය මගින් වුණත්
ස්ත්‍රී පුරුෂ සම්භෝගයෙන් වුණත්
රාගයෙන් අඳුරු වූ සිතක
ප්‍රඥාලෝකය පහළ වෙන්නේ නෑ...

කාමයෙහි වරදවා හැසිරීමෙන් මිදෙන
එකම මාර්ගය විපස්සනා වැඩීමයි.

20180411

අපේ දෝණි ඉපදුණේ ත්‍රීවීලරයක.


දෝණි ලැබෙන්න සති දෙකක් තියෙද්දි
අපි සීගිරිය මුදුනටම නැග්ගා.
ඇවිත් දවස් දෙකෙන් දෝණි ඉපදුණේ
රෝහලට යද්දි ත්‍රීවීලරය ඇතුළෙ.
දෝණි ආවෙ මගේ අතට.

දරු උපත ගැන තියන බොහෝ මත
වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සෙවිකාවන්ගෙ
පෞද්ගලික මිථ්‍යා මත.
දරු උපත ස්වාභාවිකයි.
මිනිසුන්ගේ ඇඟිලි ගැසීම් නිසා
අද කළල මරණ බහුල වෙලා.

මව දරුවා ගැන සිහියෙන්
කායික මානසික පිරිසිදු බවින් යුතුව
සෙනෙහසින් දරුවා සිහි කරමින්
සැනසිල්ලෙන් වාසය කළොත්
දරුවා පහසුවෙන් ලැබෙනවා.
කෑදර කමෙන්, බියෙන්, මාන්නයෙන්
දරුවා සැලසුම් කරන්න උත්සාහ කිරීමෙන්
දරුවාගෙ ජීවිතය අවුල් වෙන්නෙ
මවුකුසේදීමයි.

ස්වභාව ධර්මය දරුවා නිමවන්නේ
මවගේ ප්‍රමාණයට ගැලපෙන්නයි.
දරුවා ලොකු කරන්නට, ලස්සණ කරන්නට
නොයෙක් විකෘති උපදෙස් ලබාගෙන
අනවශ්‍ය රසායනික සංයෝග යොදාගන්නා
සින්තටික්වාදී මව්වරුන්
ඒ අස්වාභාවික විකෘති පෝෂණය නිසා
මාරාන්තික ගැටළු ඇති කරගන්නවා.

බොහෝ විට සීසර් කරන්න වෙන්නෙ
රසායනික පෙති කරල් මගින්
දරුවාට දෙන අනවශ්‍ය අමතර පෝෂණය නිසයි.
පමණ ඉක්මවා වැඩෙන කළලය
සීසර් කිරීමෙන් හොඳක් වෙන්නෙ
ඉන් ලාභ ලබන රෝහලට සහ
වෛද්‍යවරයාටයි.

කොස් දෙල් පලා කොළ එළවලු ධාන්‍ය ආදියෙන්
ස්වාභාවිකව පෝෂණය වෙන කළල
මවගේ ගර්භාෂ විවරය ඉක්මවා වැඩෙන්නේ නෑ.

අපි අපේ දරුවන් කුස තුළ
පුෂ්ටිමත් කරන්න කියා සැලසුම් කළා නම්
ඔහු දරාගැනීම බිරිඳට අපහසු වෙනවා.
අපේ ක්‍රමය නිසා වෛද්‍ය ක්ෂේත්‍රයට
වාණිජමය පාඩුවක් වුණ බව ඇත්තක්
ඒ නිසා වෛද්‍ය වරු විරුද්ධයි.
හැමෝම අපි වගේ හිතුවොත්
වෛද්‍යවරු බඩගින්නෙ නහිනවා.
ඔවුන් හිතන්නෙ එහමයි.
ඒත් එහෙම වෙන්නෙ නෑ..
අද ඉන්න අයට අපි වගේ කරන්න
මානසික ශක්තියක් නෑ.

වයස දෙකහමාරෙ පුතාගෙ
සීගිරි නගින්න තියන ආශාව ඉටු කිරීම
දෝණි ලැබුණොත් තවත් කල් යන නිසා
අපි සීගිරි නගින්න තීරණය කළා.
පඩි දාහම අපි නැග්ගා.
එදාම රෑ දුම්රියෙන් ඇවිත්
අපි රාගමින් බැස්සෙ පාන්දර පහට.

දෙවෙනි දවසෙ රෑ දෙකට විතර
බිරිඳට විලිරුදාව හැදුණා.
අපි කතා කරගෙන සිටිය වෑන් රිය හිමිකරු
දුරකථනය ඉදිරිපස කාමරයෙ තියලා
ගේ ඇතුළෙ නිදාගත්ත නිසා
දුරකථනය ගත්තෙ නෑ.

අපි හිතවතෙකුට කතා කළාම
වාහනයක් සොයාගන්න බැරුව
ත්‍රීවීලරයකින් ආවා.
අපි ඒ ත්‍රී වීලරයෙන්ම පිටත් වුණා.

අපේ දෝණි ලැබුණේ
රාත්‍රී දෙකට පමණ
රෝහලට යමින් සිටියදී
අප ගමන් කළ ත්‍රී වීලරය තුළම
මගේම අතටයි.

"ඔන්න ඔන්න එනවා"
බිරිඳ කිව්වෙ එපමණයි.
මම අත ඇල්ලුවා...
මවගේ කෙඳිරියකින් හෝ තොරව
ඉතා පහසුවෙන් ඇය ජනිත වුණා.

පෙකණි වැල බෙල්ල වටේ එතිලා.
මම පෙකණි වැල හෙමින් ගලෙව්වා.
දෝණි ඇස් ඇරලා වටපිට බැලුවා.
මම ඇඟිල්ලක් අතට තිව්වා.
දෝණි ඒ ඇඟිල්ල අල්ලා ගත්තා.

සුව පහසු දරු ප්‍රසූතිය
මමත් බිරිඳත් අත්දැකපු දෙයක්..
මේ ගැන අදහස් දක්වන කවුරුවත්
තමන්ගෙ ඇස් දෙකෙන් දරු ප්‍රසූතියක්
අත්දැකලා නැතුව ඇති.

මගේ අවුරුදු දෙකහමාරෙ පුතාත්
මේ දරු ප්‍රසූතිය දක්කා.
"බබාගෙ හොටු" කියලා එදා ඔහු කිව්වා.
ඒ දර්ශනය විතරක්
ඔහුට තාම මතකයි..
ත්‍රීවීලරයෙ පසෙක ළදරුවෙකුගෙ
පෝස්ටරයක් ගහලා තිබුණා.
මගේ බිරිඳ හිටියෙ
ඒ පැත්තට මුහුණ ලාගෙනයි.
පුතා, ඒ පෝස්ටරයත් දෝණිත්
මාරුවෙන් මාරුවට පෙන්වමින්
"බබා.... බබා...." කිව්වා.

බටහිර වෛද්‍ය විද්‍යාව අදහන අය ඉන්නවා.
ඒක ඇදහිල්ලක්..
ප්‍රත්‍යක්ෂය නොවෙයි.

දෝණි හෝ පුතා වෙනුවෙන්
අපි කිසිම රසායනික සංයෝගයක්
පෙත්තක්, කරලක් භාවිතා කළේ නෑ.
එදා රෝහලෙන් බිරිඳට
පැනඩෝල් වගයක් දීලා
ඇගේ ඇඟ කසලා පලු නැගුණා.

අපි අනුරාධපුරේ ඉන්න කාලෙ
පවුල් සෞඛ්‍ය සේවිකාව හමු වෙන්න
දෙතුන් වතාවක් විතර ගියා.
මොනවා හරි වෙලා මග හැරුණා.
අපි ඒකත් අත් හැරලා දැම්මා..

අපි උපදෙස් ගන්න ගියේ
ආයුර්වේද රෝහල් වලට.

දෝණි ලැබෙන්න ඉන්න දවස්වල
ඇය පරීක්ෂා කළ
ආයුර්වේද වෛද්‍යවරිය
යකඩ මදියි පැවසීම නිසා
කැරට්, බීට්, දියලබු, කරපින්චා,
කොත්තමල්ලි කොළ ආදිය
කොටා මිරිකා ගත් යුෂ බීමෙන්
ඒ අඩුව සම්පූර්ණ වුණා.

නැතුවම බැරි දෙයක් හැර
වෛද්‍යවරුන්ටත් කරන්න දෙයක්
තියෙන්න ඕන නිසා
මවට නොගැලපෙන ආකාරයට
රසායනික පෙති කරල් මගින්
දරුවාට දෙන "අනවශ්‍ය අමතර පෝෂණය"
ඔවුන් දෙදෙනාගේම
ජීවිත අවදානමට හෙළනවා.