20150112

නළු නිළියන්ට ගායක ගායිකාවන්ට අවශ්‍ය විදියට රට පාලනය කළ යුතුද?

ජාතික රූපවාහිණියේ
ඉරිදා ආයුබෝවන් වැඩ සටහනට සහභාගි වූ
සෞම්‍ය ලියනගේ, දීපානි සිල්වා ,නිරෝෂා විරාජිණී සහ ජෙහාන් ශ්‍රිකාන්ත
යන කලාකරුවන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූයේ ඇයිද
යන්න පිළිබඳ සාකච්ජා කරමින් සිටින මොහොතේ දී
ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා
මහනුවරදී ආගමික වතාවත් හී යෙදීම
ප්‍රදර්ශනය කරණු ලැබීය.

සිරස ටීවී හී විශේෂ විකාශනයකින් ලබාගත් දර්ශණ පෙළක්
මෙම සාකච්ජාව නවතා දමා විකාශය කෙරිණ.
තමන් සහභාගි වූ සජීවි වැඩ සටහනෙන් කාලය උදුරා ගැනීම පිළිබදව
ඔවුන් සිය විරෝධය පල කළහ.

සැබැවින්ම නරක පූර්වාදර්ශය කුමක්ද?
.
මේ නළු නිළියන් ගායක ගායිකාවන්
ජනපතිවරණය වෙලාවෙ
පන්දම් ඇල්ලුව පළියට
ඔවුන්ට අවශ්‍ය විදියට
රට පාලනය කළ යුතුද?

ස්වාධීන චින්තනයක් තියන මිනිස්සු
කලාකාරයන්ගෙ කීමට ඡන්දෙ දෙන්නෙ නෑ.

කලාකාරයන්ගෙ කීමට ඡන්දෙ දෙනවා නම්
ජැක්සන්ගෙ කීමට
මහින්දට දුන්නත් එකයි..

 වෙන කෙනෙකුගෙ කීමට
මෛත්‍රීට දුන්නත් එකයි..

ආගමක් දහමක් නැතිකම
අද කලාකරුවන්ට තියන සැරසිල්ලක් වුණාට
බහුතර ජනතාව තවමත්
ආගම, සදාචාරය අගය කරනවා.
ජනතා පරමාධිපත්‍යය කියන්නෙ
මේ හතර දෙනාට අවශ්‍ය දේ
අපට පෙන්වීමද?
ජනපති කෙනෙක් හොඳ වුණත්, නරක වුණත්
වෙන ඕනම රටවැසියෙකුට වඩා
ජනතා පරමාධිපත්‍යයට අයිතියක්
ඔහුට තියනවා.
ජනතාවට ඇති පරමාධ්පත්‍යයක් නෑ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හතරවන ව්‍යවස්‌ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීමද භුක්‌තිවිඳීම ද තුන් ආකාරයකින් සිදුවන්නේය. එනම් ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ජනතාවගේ ව්‍යවස්‌ථාදායක බලය ක්‍රියාත්මක කළ යුතු අතර ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාගනු ලබන ජනරජයේ ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. ජනතාවගේ අධිකරණ බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියක්‌ ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුතුය.

ජනතාව තමන් තෝරාගන්නා අයට
ඒක පවරලයි තියෙන්නෙ.
ඒ පිරිස ගන්නා මග නිවැරදිද කියා
ඔවුන් සෙවිල්ලෙන් සිටිය යුතුයි.
ඔවුන්ගෙ පවුල, නෑ හිතවත්කම්, නිලතල,
ආගමික ජීවිතය මේ කිසිවක්
බැහැර කළ නොහැකියි.

සෞම්‍ය ලියනගේට ආගමක් නෑ කියල
ඔහුගෙ එක වාක්‍යයකින් අපට පෙනෙනවා.
ජනපති පමණක් නොව
කුඩා වපසරියක ප්‍රසිද්ධ ජීවිතයක් ගත කරන
සෞම්‍ය වගේ සාමාන්‍ය කෙනෙකුගෙ වුණත්
පුද්ගලික ජීවිතය සහ
ඔහු කියන කරන දේ
ඔහු කවුද කියා හඳුනාගන්නට
අපට උපකාර වෙනවා.

ඒ අවශ්‍යතාවය යොදාගෙන
දූෂිත චරිතවල සුදු හුණු ගාන්න
ඔහුගෙ හෙංචයියෝත්
හොඳ චරිත වලට මඩගහන්න
විරුද්ධ වාදීනුත් පෙළඹෙනවා.

ඒත්
මිනිසුන් හැමදාම
රැවටෙන්නේ නැහැ.
මිනිසුන්ට ඉඳුරන් ඉක්මවා යන
ස්වාභාවික ඉවකුත් තියනවා.
ඒ ඉව පෝෂණය වෙන්නට
තොරතුරු අවශ්‍යයි..

මෙවැනි අවස්ථාවලදි සිදුවිය හැකි වරද
නැති ප්‍රතිරූපයක් මවා පෙන්වීමයි..
ජනපති පුම්බන්න කරන දේත්
ඔහු ගැන තොරතුරු සැපයීමත් අතර
වෙනසක් තියනවා.

මෛත්‍රී භික්ෂූන්ට වඳින ආකාරයත්
මහින්ද භික්ෂූන්ට වඳින ආකාරයත්
භික්ෂූන් වහන්සේලාට වැඳ පුරුදු අයට
ඔවුන්ගේ චරිත ගැන බොහෝ දේ කියා දෙනවා.

නළුනිළියන්ගේ පුද්ගලික ජීවිතත්
මේ වගෙම ජනතාවට පෙන්වන්න
මාධ්‍ය ක්‍රියා කරනවා.

මේ හතර දෙනා මෙතන වාඩි කරගෙන
මුළු රටටම පෙන්වන්නේත්
ඔවුන් මේ හෙළා දකින
මාධ්‍ය අවශ්‍යතාවය මත නොවේද?
ඔවුන් මෙහි කැඳවා තියෙන්නේ
ඔවුන්ගේ ප්‍රතිරූප නිර්මාණයටද?
නැත්නම්
මෛත්‍රීගේ ප්‍රතිරූපය නිර්මාණයටද?

ඔවුන් මෙතනට පැමිණෙන්නේ
සාමාන්‍ය රටවැසියන් මෙන් නොවේද..?
කිසියම් ක්ෂේත්‍රයක ලබන ජනප්‍රියත්වය
ඔවුන්ට ලබා දෙන දේශපාලනික
ශක්‍යතාවය කුමක්ද?

ඔවුන්ට ඒ සිදුවීම ගැන
අප්‍රසාදය පළ කළ හැකියි..
වෙනස්කළ යුතුයි කියාත් කිව හැකියි.
ඒත් ඒ වෙනස් කිරීම කරන්නට පෙර
ජනපති සහ සමස්ත ප්‍රේක්ෂක ජනතාව පිළිබඳව
සිතා බැලිය යුතුයි..

අපිට ....
මේ අය කියන කරන දේට වඩා
රටේ ජනපති කරන හොඳ නරක වැදගත්.
ජැක්සන්ගෙ කතාවලට වඩා
මහින්ද කරපු කියපු දේ වැදගත්.....

පණපිටින් මරුවාට බිළි වූ කලාකරුවෝ.



අතීතයේ ජනහද දිනූ කලාකරුවන් වූ
ජැක්සන්ගේ සහ ජයන්තගේ
නිර්මාණ බංකොළොත්භාවයට හේතු වූ
සැබෑ තතු හෙළි වෙයි..

ගර්වය, පුහු මාන්නය, ආදී හානිකර හැඟීම් සහ
ගැහැණිය, මත්පැන, ජනප්‍රියත්වය,
මුදල, සැප සම්පත් ආදිය යොදාගෙන
කලාකරුවන් බිල්ලට ගන්නා
මාරයාගේ දැලට ගොදුරු වූ
ඔවුන්ගේ නිර්මාණ කෞශල්‍යයට
නැවත පණදිය හැකි ඔසුව ඇත්තේ
බුදුන් වහන්සේ ළඟය.
ඒ සඳහා සුදුසුකම් ඔවුන් සතුව පවතීද?

================================================

ලංකා පුවත් පතෙන් උපුටා ගැනීමක්,
පනා යනු කොස්ය. කොස්වලට ඉංග‍්‍රීසියෙන් කියන්නේ ජැක්ය. ඉංග‍්‍රීසියෙන් පුතාට කියන්නේ සන්ය. ජැක් - සන් එකතු වූ විට ජැක්සන්ය. ජැක්සන් ඇත්තනීය පේ‍්‍රමකීර්තිද අල්විස් විසින් පනා පුත‍්‍ර යන නම තැබුවේ මෙලෙස කියමින්ය.
මේ පනාපුත‍්‍ර හෙවත් ජැක්සන් ඇන්තනී මෙරට සිටි ප‍්‍රතිභාපූර්ණ නාට්‍ය කරුවෙකි. සම්මානනීය චිත‍්‍රපට රංගන ශිල්පියෙකි. දක්ෂ නිවේදකයෙකු මෙන්ම ගායකයෙකි.
කලාවේ බොහෝ අංශයන් ජයගත් ජැක්සන් ඇන්තනී නම් කලාකරුවා 2005 වසරේ දී අපට අහිමි විය. ඒ ඔහු සංවේදී කලාකරුවෙකු වී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට යාමෙන් පසුවය.
අප මේ කියන්නට යන්නේ ඒ මියගිය කලාකරුවා ගැන නොව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටී කූඨ බිස්නස් කරන ජැක්සන් ඇන්තනී නම් වූ මුදලාලි ගැනය.
ජැක්සන් ඇන්තනී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටීමෙන් අනතුරුව ඔහුට ලැබුණු වරදාන ගණනාවකි. ජනාධිපති මහින්ද රාජපක්ෂලාට ජනමූල නායකයා කියා කඬේ යෑම හේතුවෙන් ජැක්සන්ට වැඩිපුරම සැලකුවේ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල්වලිනි.
ජැක්සන් ඇන්තනී වෙනත් රූපවාහිනී නාළිකාවකට කළ ‘මහා සංචාර’ නම් වැඩසටහන ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් මිලදී ගන්නේ ඉතා ඉහළ මිලකටය. රූපවාහිනී සංස්ථාවේ සැරිසර වැඩසටහන ප‍්‍රශස්ත මට්ටමකින් ක‍්‍රියාත්මක වන බැවින් තවත් එවැනි වැඩසටහනක් රූපවාහිනියට අනවශ්‍ය බව රූපවාහිනියේ බොහෝ දෙනෙකුගේ මතය විය. එහෙත් දේශපාලන බලපෑම හේතුවෙන් එක් කොටසක් රුපියල් ලක්ෂ දෙකක් තරම් ඉහළ මිලකට ගැනීමට රූපවාහිනියට සිදුවිය.
ජැක්සන් ඇන්තනීගේ මහා සංචාර සමස්ත වැඩසටහන වෙනුවෙන්
රූපවාහිනිය ගෙවා ඇති සමස්ත මුදල
රුපියල් ලක්ෂ තුන්සිය හතළිස් දෙකකි. (34,200,000) කි.
මෙම මුදල් ගෙවා ඇත්තේ
ජැක්සන් ඇන්තනීට අයත් CREATIVE HELANKA නම් ආයතනයේ
70263243 දරණ ගිණුම් අංකයටය.
2010 වර්ෂය තුළදී
රු. 8,889,920.00 බැගින් තුන්වතාවකදී
ජැක්සන් ඇන්තනීට අයත් ක‍්‍රියේටිව් හෙලංකා ආයතනයට
මුදල් ගෙවා ඇත.
එසේම 2011 වර්ෂය තුළදී
රුපියල් 913,920.00 ක් බැගින්
එකොළොස් වතාවකදී මුදල් ගෙවා ඇත.
2012/2/20 දින රුපියල් 685,440/= ක් ගෙවා ඇති අතර
2012/03/13 සිට 2013/05/30 දක්වා කාලය තුළ
රුපියල් 505,920.00 ක් බැගින් නව වතාවක් මුදල් ගෙවා ඇත.
ඒ අනුව
එම කාලය තුළ ගෙවා ඇති සම්පූර්ණ මුදල
රුපියල් එක්කෝටි අසූඅටලක්ෂ පනස්එක්දහස් පන්සිය විස්සක්
(18,851,520.00) කි.
එහි ඉතිරි මුදල්ද එම චෙක් අංකය යටතේ
ජැක්සන් අන්තනීගේ ක‍්‍රියේටිව් හෙලංකා ආයතනය වෙත
වරින්වර ගෙවා තිබේ.
මීට අමතරව
රූපවාහිනියේ විවිධ වැඩසටහන්වලට සහභාගිවීම වෙනුවෙන්
2010/03/17 වෙනි දින සිට 2013/05/28 දින දක්වා කාලය තුළ
ජැක්සන් ඇන්තනීට රූපවාහිනිය මගින්
රුපියල් තිස්පන් ලක්ෂ හැත්තෑහතරදහස් හයසියයක්
(රු.3,574,600/=)  ගෙවා ඇත.
එම මුදල ගෙවා ඇත්තේ අවස්ථා 19 කදීය.
ඒ අතරින් 2011/12/14 දින හාරලක්ෂයක්ද
2012/04/27 රුපියල් දෙලක්ෂ 80,000/= ක්ද ගෙවා ඇති අතර
2013/02/21 දින පන්ලක්ෂ 60,000/= ක මුදලක් ගෙවා ඇත.
ජැක්සන් ඇන්තනී හැරුණු විට
රූපවාහිනියෙන් වැඩිම මුදලක් ලබාගෙන ඇත්තේ
ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය
තවත් සංවේදී කලාකරුවෙකු වූ ජයන්ත චන්ද්‍රසිරිය.
ජයන්ත චන්ද්‍රසිරිට රූපවාහිනිය මගින්
වැඩිම මුදල් ගෙවා ඇත්තේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන වෙනුවෙනි.
රණවිරු රියල්ස්ටාර් මිෂන් 03 අවසන් මහා තරගය දින පමණක්
එම වැඩසටහන වෙනුවෙන් දරා ඇති වියදම් රුපියල් 32,001,685/= කි.
එනම් රුපියල් ලක්ෂ තුන්සිය විස්සකුත් තවත් රුපියල් 1,685/= ක්
වියදම් දරා ඇත.
මෙදින වැඩිම ගාණක් ගෙවා ඇත්තේ
වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂ ලෙස ජයන්ත චන්ද්‍රසිරිටය.
එදින විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් ගෙවා ඇති මුදල
රුපියල් එක්ලක්ෂ විසිදහස (120,000/=) ක් වන අතර
නිවේදකයන් වෙනුවෙන් රුපියල් 320,000/= ක් දරා ඇත.
නිර්මාණ අධ්‍යක්ෂ හා සහායක කණ්ඩායම වෙනුවෙන්
ගෙවා ඇති මුදල් රුපියල් දහසය ලක්ෂ හැත්තෑ දහස (1,670,000/=) කි.
සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණය වෙනුවෙන්
රුපියල් තිස්ලක්ෂ (3,000,000) ක් ගෙවා තිබේ.
කැමරා උපකරණ සඳහා ගෙවා ඇති මුදල
රුපියල් අට ලක්ෂය (800,000) කි.
එසේම සංගීත අධ්‍යක්ෂණය වාදන ශිල්පීන්
ප‍්‍රාසාංගික නිරූපණ වෙනුවෙන් ගෙවා ඇති මුදල
රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂ දහදහස (22,510,000/=) කි.
ආබාධිත සෙබළුන්ගේ නර්ථනාංග සඳහා
අනෝජා වීරසිංහට රුපියල් හත්ලක්ෂ පනස්දහස (750,000/=) ක් ගෙවා ඇත.
ශබ්ද උපකරණ සඳහා
රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂය (14,000,000/=) ක්
වැයකර ඇති අතර
පසුතල උපාංග හා ඩිජිටල් ප‍්‍රින්ටින් සඳහා
රුපියල් දසලක්ෂ විසිඑක්දහස් නවසිය තිස්පහ (1,021,935/) ක්
වැයකොට ඇත.
එසේම විදුලි ආලෝක උපකරණ වීඩියෝ වෝල් හා ජෙනරේටර් සඳහා
රුපියල් හැටලක්ෂය (6,000,000/=) ක් වැයකර ඇත.
Jimmy job & Track Dolly උපකරණ සඳහා
රුපියල් දෙලක්ෂ විසිදහස (220,000/=) ක් වැයකර ඇත.
-----------------------------------------------------------------

ඔවුන් මේ මුදලින් මිළට ගත් සතුටට
ඔවුන්ගේ නිර්මාණ කෞශල්‍යයේ පිරිහීම
හිලව් කරන්නට හැකිද?
මේ විස්තර කියවන විට
බියපත්වන ඔබේ බඩ පපුව දනවා නම්
ඔබ මේ වළෙහි වැටෙන්නට අවකාශ අඩුය..
මේ මුදල් ගැන හිතෙන විට කටට කෙළ උනනවානම්
එවන් පාලන සමයකට සිහින මෝදු වෙනවා නම්
ඔබ දැනටමත් මාරයාගේ දැළට හසුවී ඇත.

මිදෙන්න..