20170711

"ඇනපිය මට ගොනෙක්" -සමන්ත හිමිට දහම වරදී.


සමන්ත හිමි කියනවා
"ගහෙන් වැටුණ මිනිහා උදව් බලාපොරොත්තු වුණාම
ඔහු සාපේක්ෂක එකතු කරන්නෙක් වෙනවා,
සාපේක්ෂක එකතු කිරීම වැරදි නිසා
ඔහු ගහෙන් වැටුණාම අනින්න
ගොනෙක් සෙවිය යුතුයි" කියලා.

දිනක් රහතන් වහන්සේ කෙනෙක්
නියරක් දිගේ වඩිමින් සිටියා.
නියර දිගේ පැමිණි බේබද්දෙක්
ඔහු කුඹුරට තල්ලු කළා.

සමන්ත හිමිට අනුව
ගොනෙක් ඔහුට ඇන්නා.

ඒ අසල වැඩ කළ ගොවියෙක්
උන්වහන්සේ සමග දිය පහරක් අසලට ගොස්
මඩ සෝදාගන්නට උපකාර වෙමින්
අර බේබද්දාට දොස් පැවරුවා.

සමන්ත හිමිට අනුව ගොනා ඇන්න පසු
පත්තු බඳින්නා පැමිණ උපකාර කරමින්
උන් වහන්සේට ඇන්න ගොනාට දොස් කියනවා.

රහතන් වහන්සේ පත්තු බැන්ද ගොවියාට
කීවේ කුමක්ද?
බුදු දහමට අනුකූල ඒ වචන
අපි ඒ ගැන පසුව සලකා බලමු.


ගොනාත් සාපේක්ෂකයක් බව
නොතේරෙන ගොන්නුත් ඉන්නවද?

කලින් සාත්තු කරන්න පත්තු බඳින්න
නෑසියන් හිතවතුන් සෙවූ ඔහුගේ ගෝලයන්
මේ අලුත් දහම අනුගමනය කරමින්
අනින්න ගොන්නු හොයනවා.

අනින්න ගොන්නු ලැබුණාම
ඔවුන් ඇණගන්නවා මිසක්
ඔවුන්ගේ අලුත් වීමක් වෙන්නෙ නෑ.

පත්තු බඳින කාලෙ වගේ සෞම්‍ය නෑ.
දැන් ඔවුන්ට ගොන්නු අනින නිසා දරුණුයි. දාමරිකයි.

මේ අලුත් දහමෙන් ඔවුන් ලැබූ නිවීමක් නෑ.
තිබුණ නිවීමත් නැති වුණා විතරයි.

නිවුණ කෙනෙක් ඔවුන් අතර ඉන්නවා නම්
ඒ ගොන්නු නොසොයා පුරුදු පත්තුවෙන්ම
සාත්තුවෙන්ම සැනසෙන අය විතරයි.
ඔවුන් බණ අහනවා තමයි.
අත්හදා බලන්නෙ නෑ.
ඒ නිසා සැනසීමෙන් ඉන්නවා.

ඇයි මෙහෙම වෙන්නෙ?

පත්තු බඳින්නා මෙන්ම
ගොනාත් සාපේක්ෂකයක්.

පත්තු බඳින්නා එපා කියා ගොනා හොයන කෙනාගෙන්
පරණ සාපේක්ෂකය ඉවත් වෙන බව ඇත්ත.
ඒත් දැන් ඔහු අලුත් සාපේක්ෂකයක් හොයාගෙන.
සාපේක්ෂක මාරු කළාට
සාපේක්ෂක නැති වෙන්නෙ නෑ.

ගිහිගෙය අත් හැරලා ආශ්‍රමය බදාගත්තාට
සාපේක්ෂක නැති වෙ
න්නෙ නෑ වගෙයි.

පත්තු බඳින පරණ සාපෙක්ෂක අත් හැර
අලුත් සාපේක්ෂකයක් සොයා ගන්න පරණ තැනැත්තා
තමන්ට අනින ගොනුන් සොයමින් සැරි සරනවා.
ඔවුන් සමග ඇණගන්නවා.
ඔහු සාපේක්ෂක සමග පොර බදන්න
අලුත් ක්‍රමයක් සොයාගෙන තියනවා.
හිත කලින් වගේමයි.
ඔහු අලුත් දේක වහලෙක්.

කලින් උදව් සොයපු කෙනා
දැන් අභියෝග හොයනවා.
පරණ දේ නැහැ.
ඒත් අලුත් දෙයක් තියනවා.
පුද්ගලයා පරණ පුද්ගලයාමයි.
ඔහු ලද අලුත් නිවීමක් නෑ.

මිසදිටු දහමකින් සැනසීමක් නෑ,
බුදු දහම මෙන් දවටා ලේබල් කළත්
මිසදිටු දහම බුදු දහම සමග
පෑහෙන්නෙ නෑ.

සාපේක්ෂක නැති කරන සැබෑ ක්‍රමය
ඔබට හමුවෙන්නෙ බුදු දහම තුළ පමණයි.

අපි අර කතාව බලමු.

බේබද්දා රහතන් වහන්සේ
නියරෙන් කුඹුරට තල්ලු කළා.
සමන්ත හිමිට අනුව ගොනා ඇන්න පසු
පත්තු බඳින්නා පැමිණ උපකාර කරමින්
උන් වහන්සේට ඇන්න ගොනාට දොස් කියනවා.

රහතන් වහන්සේ පත්තු බැන්ද ගොවියාට
කීවේ කුමක්ද?

" ඔහු මට කළ නරක හෝ
ඔබ කළ හොඳ නිසා
මා තුළ කිසි වෙනසක් වුණේ නෑ.
ඔහු නරකක් කළා නම්
ඒ කරගත්තේ ඔහුටමයි.
ඔබ හොඳක් කළා නම්
ඒ කරගත්තේත් ඔබටමයි."

ඒ කතාවෙ රහතන් වහන්සේට
සාපේක්ෂක නෑ.

ගොනාත්, පත්තු බඳින්නාත් දෙන්නාම
ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව
එකක් බලාපොරොත්තු වෙන්නෙත් නැතුව
දෙකටම එකසේ මුහුණ දෙමින්
එකක්වත් විශේෂයෙන් නොගෙන
දෙකෙන්ම නොසැලෙන්නාට සාපේක්ෂක නෑ..
ඔහු බුදු දහම අනුව නිවෙන කෙනෙක්.

සැබෑ ආර්ය ශ්‍රාවකයා
අටලෝ දහමින්ම කම්පා වෙන්නෙ නෑ.

ඔහු හතරක් එපා කියලා අත්හැරලා
අනික් හතර හොයන කෙනෙක් නොවෙයි.

ලාභ, යස, ප්‍රසංශා, සැප කියන
සුභවාදී සාපේක්ෂක වගේම
අලාභ. අයස. නින්දා, දුක් ආදී
අනින ගොන් සාපේක්ෂක සොයන්නෙත් නෑ.

ලාභ, අලාභ, අයස. යස,
නින්දා ප්‍රසංශා, සැප, දුක් කියන
අටටම උපේක්ෂාවෙන් ඉන්න නිසා
ඔවුන්ගේ සිත කම්පා වෙන්නෙ නෑ.
ක්ෂේමය, සෝක නොවීම, කිළිටි නොවීම සතු
ඔවුන්ගෙ හිත කම්පා වෙන්නෙ නෑ.