20150602

මගේ ඉතිහාසයේ වටිනාම දවස වෙසක් දවස හෝ පොසොන් දවස නොවෙයි.


Kumara Liyanage
අද පොසොන් පොහෝ දිනයයි.

නමුත්, බුදුදහම මෙරටට දායාද වුණේ අද වගේ දිනයක නෙවෙයි.
ලක්දිව මිනිසුන් ශිෂ්ටත්වයට පත් වුණෙත් අද වගේ දිනයක නෙවෙයි.

ප්‍රාග් මිහිදු ලාංකික සමාජයේ, සංඝයා වහන්සේලාට ලෙන් පූජා කර තිබෙන බව, මහාචාර්ය රාජ් සෝමදේව මහතා, තමන් ගේ පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් තහවුරු කර ගෙන තිබෙනවා. රුහුණේ ‍කොරතොට ප්‍රදේශය ඒ සාක්ෂි දරනවා.
---------------------------------------------------


මගේ ඉතිහාසයේ වටිනාම දවස
බුදුන් වහන්සේ බුදු වූ වෙසක් දවස හෝ
බුදු දහම ලක්දිවට පැමිණි පොසොන් දවස නොවෙයි.

මගේ ඉතිහාසයේ වටිනාම දවස
බුදු දහම මගේ ජීවිතයට ලැබුණු දවසයි.
වයස තිස් හතරේදී
මට විපස්සනා ලැබුණ දිනයයි.

ඒ දිනය පැමිණෙනතුරු
බුදු දහම  කවදා කොතැන පහළ වුවත්
ඒ ගැන කොතෙක් සංවාද කළත්
බුදු දහමෙන් ප්‍රයෝජනයක් නැහැ.

බුදු දහම විමසිය යුතු කෙනෙක්
බුදු දහමෙහි ඉතිහාසය විමසමින්
භූගෝලය, සමාජ අධ්‍යයනය විමසමින්
ඔහු ගත කරන අඳුරු කෙලෙස්බර ජීවිතය
දිගටම අඳුරේම ගත කරනවා.

කිසි දිනෙක ස්නානයට නොපෙළඹෙන ඔහු
සබන් කෑල්ලේ ඉතිහාසය විමසනවා.
සබන් කෑල්ල හැදුණ තැන,
එහි පැතිරීම විමසනවා.
ඔහු ස්නානයට යොමුකළොත්
පූසෙක් මෙන් පළා යනවා.

බුදු දහම නිසා ඔහුට ලැබෙන්නේ
නිකරුණේ පැහැර ගන්නා,
ඔහුට නොගැලපෙන අවධානයක් පමණයි.

බුදු දහම ගැන උනන්දුවෙන්
ඔහු දෙස බලන අයටත්
ඔවුන්ගේ ජීවිතවලට
බුදු දහම ලැබී නැත්නම්
හිස් සංවාද වල යෙදෙන්න පුලුවන්.

අඳුරෙහි අතපතගාන කෙනෙකුට
කල්ලියක් සොයාගැනීම පහසුයි.

ආලෝකය ලැබූ කෙනෙකුට
කල්ලි අවශ්‍ය නැහැ.
ඔහු නිදහසේ සැරි සරනවා.

අඳුරේ ඉන්න අය
එකිනෙකාගේ උණුසුමට ගුලි වෙනවා.
ඔවුන්ට කතා කරන්නට මාතෘකා අවශ්‍යයි.

බුදු දහම හොඳ මාතෘකාවක්.
බුදු දහම නොදන්නා බැවින්
බුදු දහම පාදක කරගෙන
ඉතිහාසය, භූගෝලය, සමාජ අධ්‍යයනය ආදී
ජනප්‍රිය මාතෘකා තුළ
බුදු දහමට හිමි තැන විමසනවා.

බුදු දහම මග හරිමින්
ඔවුන් බුදු දහම වටේ යනවා.

බුදු දහම පිළිපදින්නට නම්
ඔහු සිය අඳුරු ජීවිතය දෙස
තමා දෙස බැලිය යුතුයි.
තමන් විඳින දුක දෙස බැලිය යුතුයි.

ඔහු කැමති දේ වෙනස් වෙනවිට
අකැමති දේ සිදුවෙනවිට
ඔහු දුක් විඳින බව දැකීම
කාමයෙන්, ක්‍රෝධයෙන්, මානයෙන්, ඉරිසියාවෙන්,
ඔහු දුක් විඳින බව දැකීම
ඔහු විඳින දුකට වඩා ලොකු දුකක්.

ඉතිහාසය, භූගෝලය, සමාජ අධ්‍යයනය ආදී
වෙනත් ඕනෑම විෂයයක්
බුදු දහම මෙන්
ඇතුළාන්ත වෙනසක් ඉල්ලන්නේ නෑ.

ගතවෙන මොහොතෙන් මොහොතට
දුකෙන් පළා යන මං සොයන ඔහුට
බුදු දහම බරක්.

බුදු දහම දෙසට යොමු වෙන්නට
ඔහු පළමුවෙන්ම
දුක් විඳින බව දැකිය යුතුයි.
දුක් විඳින බව පිළිගත යුතුයි.

අඳුරෙහි වෙසෙන ඔහු
අඳුර දකින්නට කැමති නෑ.
අඳුර නොපිළිගෙන ආලෝකය ලැබිය හැකිද?

බුදු දහම මිනිස් ජීවිතයකට ආලෝකයයි.

පහනෙහි ඉතිහාසය සෙවීමෙන්
ආලෝකයක් උපදින්නේ නෑ..

බුදු දහමෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ
බුදු දහම පිළිපැදීමෙන් පමණයි.

ඉතිහාසය, භූගෝලය සමාජ අධ්‍යයනය ආදී
සියලු අතුරු සංවාද වල ප්‍රතිඵලය
බුදු දහමට ලැබෙන අහඹු ප්‍රචාර පමණයි.

ඉඳහිට කෙනෙකුට මේ සංවාද
අනියම් ආශීර්වාදයක් විය හැකියි.
බුදු දහමට සංවේදී හිතක් ඇත්තෙකුට
එවැනි සංවාද ඵලදායී විය හැකියි.

බුදු දහම ඉත්තෙකු කරගෙන
ඉතිහාසය, භූගෝලය සමාජ අධ්‍යයනය ආදී
සංවාදවලට සහභාගිවෙන
යම් කෙනෙකුගේ ජීවිතයට
බුදු දහම පැමිණි දිනයෙකදී
ඔහු කළ හිස් සංවාද වලට
සැබෑ අරුතක් ලැබෙනවා.

නැතිවූ ගවයෙක් සොයාගෙන යන ගොපල්ලෙක්
බුදුන් වහන්සේ වෙතට පැමිණ දහම ස්පර්ෂ කළා.
ඔහු ගවයා අත්හැරියා.

දහම දකින තැනැත්තාට
නිමිත්ත අත් හරින්න පුලුවන්.

මග සොයාගෙන ජීවිතය නිවාගත් විට
ධර්මය ආලෝකය වෙනවා.
අරුණලු වැටෙන විට
මග පෙන්වන තරු මැකී යනවා.
තරු එළිය හිරු එළිය බවට පත්වෙනවා.
බුදු දහමෙහි සැබෑ වටිනාකම
බුදු දහමෙන් සිදුවෙන වෙනස පමණක් බව
ඔහු එදාට වටහා ගන්නවා.

අඳුරෙහි වෙසෙන්නෙකුට වටින්නේ
අඳුර නසන ආලෝකය සහ
ඒ ආලෝකයෙන්
මොහොතින් මොහොත ආලෝකමත්වෙන
තමන්ගේම අඳුරු ජීවිතය විනා
ආලෝක ප්‍රභවය හෝ එහි ඉතිහාසය නොවෙයි.