20140507

ජීවිතේ වැදගත්ම දේ සැප විඳීම නෙමෙයි.



සුභරෝච...
______________

අපි අ'පුරේ ඉඳන් ගාලු ගියේ
නිවාඩු කාලෙ අවසානෙ නිසා
දුම් රියේ හොඳටම සෙනග...

බඩු දාන කොටස හිස් නිසා
පොඩි දෙන්නට ජනේලෙ ළඟ යන්න දුන්නා.
අපි පාපුවරුව ළඟ ගියා.

ටික වෙලාවකට පස්සෙ
පුතාට නිදි මත වුණාම
ඔහු ඇඳුම් බෑගය උඩ නිදා ගත්තා...

දෝණිත් ටික වෙලාවකට පස්සෙ ඇවිත්
නිදිමතයි කිව්වම
එතන තිබුණ බ්ලොක් එක උඩ වාඩිවෙලා
දණහිසට අත් දෙක තියාගෙන
නිදාගන්න කිව්වම
දෝණිත් එහෙම නිදා ගත්තා.

කුඩා කාලෙ ඉඳන්ම
ඔවුන් කොතන හරි නිදාගත්තොත්
ඔවුන් ඉන්න ඉරියව්වෙම ඉන්න දුන්නා මිසක්
අපි ඔවුන් අරන් ගිහින්
සැප යහනක තිව්වෙ නැහැ.

පිට ගෙදරක ගියොත් විනා
මුලු ජීවිතයම ඔවුන් සහ
අපි නිදාගෙන තියෙන්නෙ
මෙට්ටයක්වත් නැතිව
ඇතිරිල්ලක් එලුව මහපොළව මතයි.
මේ සැප අපි පුංචි කාලෙ
අපිට ලැබුණා නම්
අපේ ජීවිත මීටත් වඩා
උපේක්ෂා සහගත වෙයි..

දුක සැප අතර වෙනස
නාඳුනන කාලෙ
ඒ දෙකම උපාදාන කර නොගෙන
සාමාන්‍ය විදියට විඳින කාලෙ
සැපට හුරු කිරීමෙන් වැළකුණොත්
පසුකාලෙක විඳින දුක
සාමාන්‍ය දෙයක් විඳින්නට
දරුවන් හුරුවෙනවා.

ජීවිතේ වැදගත්ම දේ
සැප විඳීම නෙමෙයි..
දුක් නොවිඳීමයි..
ජීවිතේ ලොකුම සැප
දුක හැම අතින්ම පහර දෙන විටත්
දුක් නොවිඳීමයි..

බුදු දහම මෙවැන්නන්ටයි



කතාව මොන තරම් දුක්ඛිත වුණත්
ඇයට අනුකම්පා කරන බොහෝ දෙනාට වඩා
සැනසිල්ලෙන් ඇය ජීවත් වෙනවා ඇති..


ජීවිතය ගෙවිය යුතු දෙයක් විදියට විනා
මහා දෙයක් කළ යුතු යුදපිටියක් කියා
ඔවුන් හිතන්නේ නැහැ.

ලද දෙයින් තෘප්තිමත් වෙන ඔවුන්
ඔවුන්ට අනුකම්පා කරන බොහෝ දෙනාට වඩා
සැනසිල්ලෙන් ජීවත් වෙනවා...

ඔවුන්ට අනුකම්පා කරන බහුතරයක් ජීවත් වන්නේ
අතීතය ගැන තැවෙමින් හා අනාගතයට බියෙන්..
ඔවුන් සැබැවින්ම කරන්නේ
ඇයට අනුව කම්පා වීමයි..

ඔවුන්ගේ හැඟීමට මුල්වන්නේ
"අනේ මට, මගේ අම්මට මෙහෙම වුණොත්" කියන
සිතිවිල්ලයි..

එයින් ඇයටවත් ඔහුටවත්
හොඳක් වෙන්නේ නැහැ.

ඇය ඉන්න තැන සීමාව පටුයි..
ඒත් ඔබ හිතන තරම් දුක්ඛිත නැහැ.

කෙසෙල් ඇවරියක් විකුණාගෙන
දවස ගත කළ හැකිනම්
කෙසෙල් කැනක් විකිණෙන තුරු වාඩිවී
කාලය නාස්ති කරන්නේ කුමටද?

ඒ ඉතිරිවෙන කාලයෙන්
නිසි ප්‍රයෝජන ගැනීම
වෙනම කතාවක්..
 
    සැප විඳින්න හිතාගෙන
    දැනුම් තේරුම් ඇතිදා පටන්
    මැරෙන තුරුම දුක් විඳින ඔවුන්
    කවදාවත්ම සැප විඳින්නෙ නැහැ.

    ඔවුන් අද දුක් විඳින්නෙ
    හෙට සැප විඳින්නයි.

    හෙට ලැබෙන දේකින්
    මත්වුණේ නැත්නම්
    හෙටත් ඔවුන්ට දුකක්..

    හෙට සැප විඳින්න කියලා
    අද දුක් නොවිඳින කෙනාට තියන
    අල්ප සැප ඔහු හැමදාම විඳිනවා.

  බුදු දහම මෙවැන්නන්ටයි කියන ගුණාංග අතරට
    අල්පේච්ඡභාවය හා සතුටෙන් සිටීමත් අයිතියි..
    
    අල්පේච්ඡභාවය හා සතුටෙන් තොර
    බොහෝ ධනවත් බෞද්ධයන්
    දුක් විඳින ප්‍රමාණය වැඩියි.
    ඔවුන් යොවුන් වියේදී ගෙවන
    කාමයෙන්, දුරාචාරයෙන් හා
    ධන නිල බල පතා වෙහෙසෙමින් දුවන
    අධිවේගී ගමනේ මත් කරන ස්වභාවය
    වයසත් සමග පිරිහෙන විට
    ඔවුන් දුප්පත් මිනිස්සු නොවිඳින
    දුක් විඳිනවා.

    පන්සලක දැක්කත්
    ඒ ජීවිත තුළ
    ඔවුන් පෙළන දුක
    මුහුණෙන් පිළිබිඹු වෙනවා.

    වයසට යන අල්පේච්ඡ ගැමියන්
    යම් විශ්‍රාම සුවයක් විඳිනවා.

දර්ශනය බුදු දහමෙහි කොටසක් පමණයි.



බුදු දහම දර්ශනයක් පමණක් නොවෙයි.

දර්ශනය බුදු දහමෙහි කොටසක් පමණයි.

ගැටළු පිළිබඳව සොයාගන්නා දර්ශනයක
ගැටළු පිළිබඳව විග්‍රහයක් විනා
ගැටළු වලට විසඳුම් ඇත්තේ නැහැ.

බුදුන් වහන්සේ
දර්ශනයක් නිපද වූ කෙනෙක්
කියා හඳුන්වන්නේත් උන්වහන්සේගේ දහම
කිසිම අයුරකින් ප්‍රායෝගිකව පිළි නොපැදීම නිසා
මනසට ගෝචරවෙන පටු පෙදෙස දැකීමෙන්.

බුදු දහම පිළිබඳව
කිසිවක් හෝ නොදන්නා අය ඉන්නේ
ඔවුන්ටත් වඩා ඈතින්.
ඔවුන්ගෙන් සමහරෙක්
තමා කිසිවක්ම නොදන්නා
බුදු දහම ප්‍රතික්ෂේප කරනවා.

දර්ශනයක් ලෙස පිළිගන්නා අයත් ඉන්නෙ
තියරි පන්තියේ.
ඔවුන් රසායනාගාරයෙහි කළයුතු
ප්‍රායෝගික ටිකත් දකින්නෙ
න්‍යායක් විදියටයි.

බුදුන් වහන්සේ මිනිස් සිත හා කයත්
ඒ දෙක දුකට පත්වෙන්නට හේතුත්
ඉතා සරලව විග්‍රහ කරමින්
සිතත් කයත් උපයෝගී කරගෙන
මේ මොහොතේ පටන්ම දුකෙන් මිදෙන
ප්‍රායෝගික ක්‍රමයත් පැහැදිලිව ප්‍රකාශ කළා.

චතුරාර්ය සත්‍යයෙන්
හතරෙන් තුනක්ම දර්ශනය.
එකක් තනිකරම ප්‍රායෝගිකයි..
තාක්ෂණිකයි..

පරිගණකයට අත නොගහන කෙනෙකුට
පරිගණක තාක්ෂණයත් දර්ශනයක්..

කයට හිත නොයොදවන කෙනෙකුට
බුදු දහම දර්ශනයක්...
දෘෂ්ඨියක්... මායාවක්..

දර්ශනය බුදු දහමෙහි පළමු කොටස පමණයි.
වඩා වැදගත්වන්නේ ප්‍රායෝගික කොටසයි.
එහි හරය ප්‍රයෝගික ක්‍රමයයි.

මාර්ග සංඥා කියවීමෙන්
රියැදුරෙකු බිහිවන්නේ නැහැ.

රිය පැදවීම වෙනම ඉගෙන ගතයුතු
භාරදූර කාරියක්.

බුදු දහම දර්ශනයක්
කියා කියනවා නම්
ඔහු ප්‍රායෝගික කොටසත්
දර්ශනයක් ලෙස සිතන්නෙක්..

ඔහුට තමන්ගේම කයත් සිතෙන් වෙන්වූ උපකරණයක්..
රූපවාහිනිය, ඩීවීඩී ප්ලේයරය,
බිරිඳ, අනියම් බිරිඳ, ගණිකාව වැනි
තමන්ගෙන් පරිබාහිරවූ
තමන් රිසි පරිදි සතුට ලබාදෙන
ද්විතීය උපකරණයක්.

ඔහු සිතේ සතුට සඳහා
රිසි පරිදි කය පාවිච්චි කරනවා.
කයට හානි වුවත්
සිත සතුටු වෙනවා නම්
කය දූෂ්‍ය කය්‍රලා
සතුටු වෙනවා.
ඔහුට කය කියන්නේ
මනසෙහි රස සරණිය සඳහා බිහිවූ
උපකරණයක්.

ඔහු කය ඔස්සේ සිතෙන් ලබන
සැම සතුටකම දුකකම විපාක
කෙමෙන් කෙමෙන් කයෙන් පමණක් නොවෙයි
මනසිනුත් ප්‍රකට වෙනවා.

කයත්, ඉඳුරනුත්, මනසත්
පමණ ඉක්මවා පිරිහෙනවා.
ස්වාභාවිකව ඇතිවෙන
පිරිහීමකුත් තියනවා.

සිදුහත් කුමරු බුදු වුණේ
පමණ ඉක්මවා වෙන පිරිහීම
ප්‍රායෝගිකව නතර කිරීමෙන්.

අපටත් එම ප්‍රායෝගික ක්‍රමය අනුව
ඒ පමණ ඉක්මවා සිදුවෙන පිරිහීම
අඩු කරගෙන දුකෙන් මිදන්න පුලුවන්.

පරිගණකයෙහි මෘදුකාංගයක්
පරිගණකය පිරිසිදු කරගන්නට
ව්‍යවහාරිකව ප්‍රයෝජන ගන්නවා වගේ
සතර සතිපට්ඨානයත්
කයත් සිතත් පිරිසිදු කරගන්නට
උපයෝගී කරගන්නා ආකාරය
බුදුන් වහන්සේ විස්තර කරනවා.

පරිගණකයට අතවත් තියන්නේ නැතුව
මැනුවල් එක හා ඒ ගැන
එවැන්නන් ලියූ පොත් කියවීමෙන් සිදුවන්නේ
පරිගණකයට අත තියන්නවත් බය වෙන
හුඹස් බියකින් පෙළීමයි..

කයත් වේදනාත් නොසලකා
මනස තුළම කරක් ගැසීමෙන්
සතර සතිපට්ඨානය වැඩෙන්නේ නැහැ.

කාය වේදනා චිත්ත ධම්ම යන හතරම එකට දකින්නට සිහියත්
ඒ දකින දේට උපේක්ෂාවත් වඩන්නේ නැති කෙනෙකුට
බුදු දහම දර්ශනයක් විතරයි.

ඔහු සතුව ඇත්තේ උපදෙස් පොත පමණයි.

එය කියවමින් කාලය ගත කරද්දීත්
ඔහු නොදන්නා ඔහුගේ කය ආශ්‍රව රැස් කරනවා.
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නොමැති කෙනාට
පුඤ්ඤභාගිය වුවත්
සම්මා දිට්ඨියත් ආශ්‍රව සහිතයි.

තම කයෙන් සිත වෙන්කරගෙන
දෘෂ්ඨිගතව සැරිසරන්නාගේ
ආශ්‍රව හා මාන්නය වැඩෙනවා.