20171123

බඩු අතුරෙන් ස්ත්‍රිය උතුම්ය.


දැන් ස්ත්‍රියට බඩුවක් කියා අපහාස කළත්
ස්ත්‍රිය බඩුවක් ලෙස නම් කළ පළමුවැන්නා
බුදුන් වහන්සේය.

ඉත්‌ථී භණ්‌ඩානමුත්‌තමං
බඩු අතුරෙන් ස්ත්‍රිය උතුම්ය.
ඉස්සරිය සූත්‍රය - සංයුත්ත නිකාය

බුදුන් වහන්සේ කවර අර්ථයෙන්
ස්ත්‍රිය බඩුවක් ලෙස හැඳින්වූයේද යන්න
අදාළ සූත්‍රයෙන් මතුකර ගත නොහැක.

වෙනත් සූත්‍රයක එන කරුණුවලින්
ඇය මිළට ගත හැකි බවක් හැඟෙයි.
අදත් ඉසුරු සහිත පුද්ගලයාට
ඇය නැමෙන බව ප්‍රකට සත්‍යයකි.

"මහණෙනි,
ස්ත්‍රියට මේ බල පසෙකි.
කවර පසෙක් ද යත්:
රූපබලය,
භොගබලය,
ඤාතිබලය,
පුත්‍රබලය,
සීලබලය යි.
මහණෙනි, මේ ස්ත්‍රියගේ බල පස යි.

මහණෙනි මේ බලපසින් යුතු ස්ත්‍රිය
සැමියා යටත් කොට ගෙන පවතියි.

මහණෙනි,
එක් බලයකිනුදු යුතු පුරුෂ තෙමේ
ස්ත්‍රිය යටත් කොට ගෙන පවතියි.
කවර එකෙකින්ද යත්:
ඉසුරු බෙලෙනි."

ඉසුරු බලැති පුරුෂයාට
ස්ත්‍රිය සතු බල පහම යටත්ය.
එසේ නම් ඇය භාණ්ඩයක් මෙන්
ඉසුරු පෙන්වා මිළට ගත හැක.
භාණ්ඩ අතුරෙන් ස්ත්‍රිය උතුම්ය.
අන් කිසිදු භාණ්ඩයකින්
එවන් සුවයක් ලද නොහැක.

"ස්ත්‍රිය එකම සජීවී බඩුවයි."

ස්ත්‍රී රූපය ස්ත්‍රියගේ ශබ්දය
ස්ත්‍රියගේ ගන්ධය ස්ත්‍රියගේ රසය ස්ත්‍රියගේ ස්පර්‍ශය
පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටී.
පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´

පුරුෂ රූපය පුරුෂයාගේ ශබ්දය
පුරුෂයාගේ ගන්ධය පුරුෂයාගේ රසය පුරුෂයාගේ ස්පර්‍ශය
ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙන සිටී.
ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.

ස්ත්‍රියත් පුරුෂයාත් අතර ඇති
ස්වාභාවික ආකර්ෂණය නොමරා
ඒ ඇලීම නිර්වින්දනය නොකොට
ඔවුන් අතර පරතරය වැඩි කරන්නට
නොයෙක් ආගම් සහ සංස්කෘතීන්
ක්‍රියා කරනවා නොවේද?

බටහිර සංස්කෘතිය තුළ
මේ ආකර්ෂණය අඩු කරන්නේ
"නිතර දකින කුකුළාගේ
කරමලය සුදුයි" සිද්ධාන්තය
භාවිතා කරමින් නොවේද?

ස්ත්‍රිය සිය නිරුවත කොතෙක් පෙන්වුවත්
බටහිර සමාජයේ පුරුෂයා නොසැලෙයි.
ඔහු ඇගේ රූපය බලමින් විඳින්නේ නැත.
ඒ ඔහුගේ ධාර්මික බව නිසාද?

නැත්නම්
නිරන්තරයෙන් දකින මේ කුකුල් කරමලයේ
රත ගිලිහී ගොස් සුදු පැහැයෙන් දිස්වෙන නිසාද?

නැති වූයේ කුකුල් කරමලයේ රතද?
නැතහොත් ඒ රත කියවන පිරිමි සිතේ
සෙන්සරයේ සංවේදී බව පිරිහීමද?

ස්ත්‍රී නිරුවතට පුරුෂයා ඇදෙන්නේ
ඒ රූපය විසින් මොළයෙහි ජනනය කරන
හෝමෝන නිසා මිස වෙනත් හේතුවකින් නොවේ.
මේ හෝමෝන උත්තේජනය කරන්නට නම්
ස්ත්‍රී රූපය දකින විට ඉන් මතු වෙන
සුඛ වේදනාවට පිරිමියා සංවේදී වී
රාග සංස්කාර පහළ විය යුතුය.
නිතර දැක හුරු දේ නොසැලකීමද
මිනිස් මනසෙහි පුරුද්දකි.

මේ අයුරින් නිර්වින්දනය වූ මනස
යළි උත්තේජනය වන්නට නම්
ඒ රූපය වෙනස් විය යුතුය.
බිරිඳ නිතර ඇසුරු කොට හුරු වන
සැමියා වෙනත් කතුන් සොයන්නේත්
බිරිඳ අලුත් මිනිසුන් සොයන්නේත්
නිතර දකින කරමලයෙන් වෙනස්ව
අලුත් රතු කරමලයක් සොයන්නටය.
ඒ අලුත් රතද නිතර දුටුවොත්
සුදට හැරීම ලෝක ස්වභාවයයි.

නිතර දකින කරමලය සුදු වීම
බුර්කාවෙන් වසා තබන මුස්ලිම් ජාතිකයා
බටහිර ජාතිකයාට වඩා කාමුක විය හැක.
ඔහු බුර්කාවෙන් වැසූ සිරුරට සංවේදීද?
බුර්කාව හැඳගත් කතුන් රැසක් මැද
ඔහුට ඔහුගේ බිරිඳ හඳුනාගත හැකිද?
බුර්කාවෙන් වැසූ සිරුර ඔහු තුළ
කාමය උපදවන්නේද?

රාගය අඩු වැඩි වන්නට ඇඳුම බලපෑවත්
ස්ත්‍රී පුරුෂ සිත්වල රාගය නොනැසෙයි.
සුදුසු සාධක එක්තැන් වූ විට
සුපුරුදු ලෙස රාගය ඇවිළෙයි.වෙනස් ආකාරයකට හැසිරෙන්නාගේ
මනසෙහි යම් විකෘතියක් තිබිය යුතුය.
ඔහු ස්ත්‍රී රූපය නොවිඳින නරුමයෙක් හෝ
ස්ත්‍රී රූපයෙන් උමතු වී ඇය පෙළන
කුරිරු ස්ත්‍රී දූෂකයෙකි.

සංස්කෘතිය කවරක් වුවත්
අඳින ඇඳුම පැළඳුම කවරක් වුවත්
නිරෝගී කයක් සහ නිරෝගී මනසක් ඇත්නම්
ඒ ස්ත්‍රී පුරුෂයන් සියල්ලෝම හැසිරෙන්නේ
බුදුන් වහන්සේ මේ කියන අයුරින්ය.

1. ඉත්‍ථිරූප පරියාදාන සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´ මහණෙනි´ කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´ස්වාමීනි´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:-

´´මහණෙනි, යම්සේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එබඳුවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

2. ඉත්‍ථිසද්ද පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

3. ඉත්‍ථිගන්ධ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගන්ධයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

4. ඉත්‍ථිරස පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ රසය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී රසය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

5. ඉත්‍ථිපොට්ඨබ්බ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ස්පර්‍ශය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්‍ශයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ස්පර්‍ශය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

6. පුරුෂ රූප පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් රූපය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

7. පුරිසසද්ද පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් හඬ ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ශබ්දය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

8. පුරිසගන්ධ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් ගන්ධය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගඳකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ගන්ධය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

9. පුරිසරස පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ රසය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ රසය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

10. පුරිසපොට්ඨබ්බ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් ස්පර්‍ශය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්‍ශයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂයාගේ ස්පර්‍ශය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

2 comments: