20160701

ඔබට හිත නතර කරන්න පුලුවන්ද?


ඔබ විසින්ම විඳ
අත්දැකීමෙන් පසක් කළයුතු
ප්‍රායෝගික පරීක්ෂණයකි.
කියවා අවබෝධ කරගැනීමට උත්සාහ
නොකරන්න.
------------------------------------------------


කිසිම දෙයක් නොකර
කිසිම දෙයක් 'නොහිතා'
විනාඩි කිහිපයක් ඉන්න උත්සාහ කරන්න.

අවංකව, අධිෂ්ඨානපූර්වකව
උත්සාහ කරන්න.


විනාඩි කිහිපයක්
මේ ලිපිය කියවීම නවත
න්න.
.

 'මම හිතන්නෙ නෑ' කියන අධිෂ්ඨානයෙන්
කිසිම දෙයක් 'නොහිතා' ඉන්න උත්සාහ කරන්න.



විනාඩි කිහිපයක් පමණක් නිසා
කිසි දෙයක් නොකර කය පවත්වා ගන්න පුලුවන්.
හිතත් එහෙම පවත්වා ගන්න පුලුවන්ද?

ඉතා උවමනාවෙන් හිතට ඇහුම්කන්දෙන්න.
ඉතා හෙමින් හෝ
හිත හිතනවා.
ඔබ හිතන්නෙ වචනවලින්.
තව කෙනෙක් එක්ක කතාකරන විදියටම
ඔබ හිතන්නෙ වචනවලින්.


එක මොහොතකට දෙකකට හිත නතර වෙයි.
ඊළඟ මොහොතේ නොහිතා සිටීම ගැන හෝ
හිත හිතන්නට පටන් ගන්නවා.

හිත හීලෑ නෑ... හරිම මුරණ්ඩුයි.

ඔබේ හිතඔබට නතර කරන්න බෑ.

මේ
අකීකරු හිත ඔබේද?

මේ
අකීකරු හිත ඔබද?

හිත ඔබ නොවෙයි.

හිත ඔබ නම්
හිතන්නෙ නෑ කියා
ඔබ තීරණය කළාම
හිත හිතන්නෙ නැතුව ඉන්න ඕන.

කිසිම දෙයක් 'නොහිතා'
විනාඩි කිහිපයක් ඉන්න උත්සාහ කරන කෙනෙකුට
දකින්න ලැබෙන්නෙ තනිවම හිතන හිතක්.

'ඔබට අකීකරු' හිතක් ඔබට දකින්නට පුලුවන්.
ඔබ හිතන්න එපා කිව්වට හිත දිගටම හිතනවා.
ඒ හිත ඔබ නොවෙයි.
ඒ හිත ඔබ කියලයි ඔබ හිතන්නෙ.

හිතත් ඇස කණ වගේම
තවත් ආයතනයක්.
ඇසෙන් රූප දකින්නෙ ඔබ නොවෙයි.
හිතන්නෙත් ඔබ නොවෙයි.

ඇසට වැටෙන රූපය
ඔබ හඳුනාගන්නවා.
ඒ අනුව ඔබ ඒ රූපය ගැන
තීරණ ගන්නවා.
ඒ රූපය අනුව හිත හිතනවා.

ඒ හිතන්නෙ ඔබ නොවෙයි.
හිත හිතනවා.
ඔබ හිතනවා කියා ඔබ හිතනවා.

ඇසට රූපයක් වැටුණාම
හිත අවදියෙන් නම් හිත හිතනවා.
ඔබට නතර කරන්න බැහැ.

මේ හිත වහලෙක් මෙන්
ඔබව තැන තැන අරන් යනවා.

ඇසට රූපයක් වැටෙනවා.
රූපය ප්‍රිය නම් හිත වැඩ පටන් ගන්නවා.

රූපය ප්‍රිය නම් එක විදියක සිතුවිලි මාලාවක්.
අප්‍රිය නම් වෙනස් විදියක සිතුවිලි මාලාවක්.
ප්‍රියත් නැති අප්‍රියත් නැති රූපයක් නම්
ඔබ ඉන්නෙ වෙන දෙයක් හිතමින්.
මේ රූපයෙන් හිතට වැඩක් නෑ.

රූපය ප්‍රිය නම් අප්‍රිය නම්
හිතන්නෙ ඔබ නොවෙයි.
හිත හිතනවා.
ඔබ හිතනවා කියා ඔබ හිතනවා.

කිසිම දෙයක් 'නොහිතා'
විනාඩි කිහිපයක් ඉන්න උත්සාහ කරන කෙනෙකුට
දකින්න ලැබෙන්නෙ තනිවම හිතන හිතක්.

නැවත වරක් 
හිත නතර කරගෙන
කිසිම දෙයක් 'නොහිතා'
ඔබට පෙනෙන, ඇහෙන, දැනෙන
හැම දෙයක් ගැනම සිහියෙන්  ඉන්න.

ඔබේ හිත නතර වෙන්නෙ
ඔබ සිහියෙන් හිටියොත් විතරයි.

ඔබට පෙනෙන, ඇහෙන, දැනෙන
හැම දෙයක් ගැනම සිහියෙන්  ඉන්න අතරෙ
හිතන්න ඔබට පුලුවනි නම්
ඔබ පියවරක් ඉදිරියෙන්.

ඔබ ආවේගශීලීවුණාම
හිත වේගයෙන් ක්‍රියා කරනවා.
ආවේගය තියෙන්නෙ කය තුළයි.
ඔබ කයේ වෙනස හිතින් වින්දොත්
හිතත් ආවේග ශීලී වෙනවා.
ආවේගශීලී හිත නතර කරගන්න
ඔබට පුළුවන්ද?.

ඔබට පෙනෙන, ඇහෙන, දැනෙන
හැම දෙයක් ගැනම සිහියෙන්  ඉන්න අතරෙ
ඔබ වෙනස් වෙලා තියන විදිය ගැන
සිහියෙන් ඉන්න.

හිත නතර කරගන්න.
කය ගැන සිහියෙන් ඉන්න.

ඔබ කය ගැන සිහියෙන් ඉන්නවා නම්
ආවේගය පවතින්නෙ කය තුළ පමණයි.
සිත නිදහස්ව තියනවා.

නිදහස් සිතින් කල යුතු දේ කරන්න.

ආවේගශීලීව කරන්න ගිය දෙයක්
ආවේගයෙන් කය වෙනස් වෙලා තියන අතරෙම
ඒ ආවේගයෙන් දූෂ්‍ය නොවී කරන්න
ඔබට පුළුවනි නම්
බුදුන් වහන්සෙ ඔබ ගැන කියන්නෙ මෙහෙමයි.

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.


සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..