20150324

පසන් කොඩිකාර නික්ම ගොසිනි.


පසන් 
මට හමුවී ඇත්තේ
වරක් නැත්නම් දෙකකි.

මා ඔහු හඳුනාගත්තේ
"මාස්ටර් සහ මාගරිටා" පලමුවෙනි මුද්‍රණයට
කවරය නිර්මාණය කීරීම නිසාය.

එහෙත් කාලාන්තරයක් තිස්සේ
සමීපව ඇසුරු කළ කෙනෙක්
සමුගත් ආකාරයේ ශෝකයක්
හදවත හිර කරනු දැනෙයි.

නොගැලපෙන කාලයක ඉපිද
කාලයට පෑහෙන්නට නොහැකිවීම හෝ
පෑහෙන්නට අවශ්‍යතවයක් නැතිව
සමාජයට ආගන්තුකව විසූ පසන්ට
තනි රකින්නට ඔහු තෝරාගත් මධු විත
ඔහු අපෙන් පැහැරගත්තාද?
 
ලංකාදීප Online2015 මාර්තු මස 23 14:18:07 | අකිල බද්දෙවිතාන

ප්‍රවීණ සාහිත්‍යධරයකු, ගත්කතුවරයකු, පරිවර්තකයකු හා විශ්ව විද්‍යාල දේශකයකුවූ පසන් කොඩිකාර මහතා අද (23) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 52 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ප්‍රවීණ පුවත්පත් කලාවේදී සිරිලාල් කොඩිකාර මහතාගේ පුත්‍රයෙකි. අක්මාවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගතව සිටියේය.

සිංහල, ඉංග්‍රීසි හා රුසියා භාෂා හැසිරවීමේ මනා පරිචයකින් ඔහු සතු විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්යවරයකුද වන ඔහු රුසියානු සාහිත්‍යයේ ග්‍රන්ථ රාශියක් සිංහලට පරිවර්තනය කර ඇත.

කොඩිකාර මහතාගේ පරිවර්තන කෘතින් අතර නිරුවත් ගැහැණිය, මාස්ටර් සහ මගරීටා වැනි කෘතීන් වේ. 1859 දී චාල්ස් ඩාවින් ලියා පළ කළ The Origin of Species නම් සුප්‍රසිද්ධ කෘතිය 2010 දී සිංහලට නැගුවේද පසන් කොඩිකාර මහතාය.

සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියේ විද්‍යාර්ථියකුවූ පසන් කොඩිකාර මහතාගේ දේහය අවසන් ගෞරව පිණිස හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.
 


 ========================================= 

ඉතින් යළි
යෝධයෙකු ජිවත් වූ කෙසඟ සිරුර ද
දිගැටි හිසකේ සහ දඩබ්බර රැවුල ද
විස්මයෙන් විසල් වු දෙනෙත ද
නුගේගොඩ බෝ ගහ අස
යළිත් ඇස නොගැටෙනු ඇත

විශ්වයේ සෑම මුල්ලක ඔහෙ ඇවිද
කාටත් හොරෙන් කතන්දර බෝ ඇහිඳ
දිවා රෑ කියවමින් තනිව රස නොවිඳ
බෙදා දුන් පිනම ඇති නිවන් යන්නට සබඳ

ලෝක සිතියමක් කොට අවන්හල් මේසය
සිගරැට් දුමෙන් මවා මහා ආකාසය
විශ්වයේ හැම කොණට නිතර ඔබ ආ ගිය
ඒ දවස් යළි නොඑන එකයි දැඩි ශෝකය

ඉතින් මම ඔබ නැතිව දෙල්කඳ ට ඇවිදිමි
ඔලිම්පික් අවන්හල් ඝණ අඳුරෙ තනිවෙමි
ඔබ දමා ගිය වචන කොහෙන් හෝ අහුලමි
මූර් පූසා සමග ඉකි ගසා වැළපෙමි...

---------------------------------
ඉන්දික ගුණවර්ධන


 =========================================

 අපේ සනුහරේ යන්න අරන්





                                        පසන් නික්ම ගොසිනි. 
හෙට මට ඔහුගේ නිසල දේහය බලන්නට යන්නට සිදුවී ඇත. දෛවය එතරම් කුරිරුය. ධම්ම ජාගොඩගෙන් පසු ආටෝනියානු කුරිරු රංගයේ ප්‍රාමාණික න්‍යායාචාර්යවරයා වූ ඒ සුපසන් මිතුරා නික්ම ගොසිනි.
මාස හයහතකට පෙර මත්තේගොඩ හර්ෂගේත් මගේත් නවාතැනේ මධුලෝලී රාත්‍රියකින් පසු පෙරඹර එළිය වැටෙද්දී ඔහු අපගේ ඒ අවසන් හමුවෙන් නික්ම ගියේය. පඩිපෙළ බැසයමින් ආපිට හැරුණු ඔහු මෙසේ කීවේය.
අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බවෙමු. 
එහෙත් අප ආයිත් මුණ ගැසුණේ නැත. 
එහෙත් හෙට ඔහු මට මුණ ගැසෙයි.
ඔව්, පසන් උඹත් මාත් හෙට මුණ ගැසෙමු. නියෙට්ෂේගේ කෲරත්වයේ මානවීයත්වය ගැන උඹ කිවූ දැයින් සවිය ගෙන උඹ බලන්නට එන්නට මම උත්සාහ කරමි. එහෙත් මා නොදනිමි. එතරම් සවියක්  එළඹ ගන්නට මට හැකි දැයි මම නොදනිමි. 
වසර කිහිපයකට පෙර සෑම මසකම අවසානයේ, ඊළඟ මාසය එළඹෙන්නට පෙර අප වසර ගණනාවක්ම මුණ ගැසීමු. ඒ ගොඩගේ මහත්මාගේ පොත් සාප්පුවේදීය. සයිමනුත්, උඹත් මමත් සැමදා මාසයේ වියදම ගන්නට එසේ මුණ ගැසීමු. අප දෙදෙනා දුටු හැමවිටම ගොඩගේ මහතා සැමදාමත් කීවේ එකම එක වාක්‍යයකි.
'අයියයි මල්ලියි දෙන්නම ඇවිල්ලා. '
ඔව්, අයියයි මල්ලියි දෙන්නම හැමදාමත් එසේ සල්ලි ගන්නට ගියේය. ඒ අතරට එක්වූ තවෙකෙක් සිටියේය. ඒ සයිමන්ය. 
මගේ දුව උපන් පසු මා රාවයට ලිවූ කවක මෙසේ සඳහන් විය.
ඉතින් චූටි දුවේ මං යනකොට කඩාගෙන

හම්බවුනා මාමා කෙනෙක්


‘මොකද පසන් මේ ටිකේ කරන්නෙ?’


මං ඇහුවා


‘ණය ගෙවනවා බං’


‘ඒ කිව්වෙ’


‘පොත් ලියනවා’(ප්‍රකාශකයන්ගෙ ණය ගෙවන්න)


පයදෝර් දොස්තයෙව්ස්කිගේ 

වී. ඩී. ද. ලැනරෝල්ගේ පරපුර 

පියවරක් ඉදිරියට


රස්කොල්නිකොව් ඉවසාපන් පොඞ්ඩක්



DEATH OF THE AUTHOR OR

DEATH OF THE PUBLISHER

මධුමත ඉහවහා ගිය පසු ඔහු ඇතැම් විට ඇතැමුන් හා වාත වුනද ඔහු කිසිවිටෙකවත් මා සමග අරෝවක් සදාගෙන නැත. 
මගේ සර්පයකු හා සටන්වැද ගැන එය පළවී කිහිප දිනකින් ඇත්තට ලියන විට ඔහු පාසල් සිසුවෙක් විය. එහෙත් අප මුණ ගැසුනේ විභවියේ ඔහු ආටෝනියානු කුරිරු රංගයත් ග්‍රොටොව්ස්කිගේ දිළිඳු වේදිකාවත් ගැන කළ සාරගර්භ දේශනයේදීය. එහිදී මම ඔහුට එසඳ මම බලාසිටියෙමි පිටපතක් පිරිනැමුවෙමි. 
පසුකලෙක මා සංහිඳ ප්‍රකාශන සාහිත්‍ය නියෝජිත හා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරද්දී ඔහුගේ අර්බාත් දරුවෝ උපුල්ට හඳුන්වා දුනිමි. අන්තිමේ අප, මා තවත් පරිවර්තන කාර්යයක් සඳහාත්, ඔහු අර්බාත් දරුවෝ නිම කිරීමටත් කොළඹින් නික්ම ගියෙමු. ඒ උපුල්ගේ ඥාතියකු වූ වතු අධිකාරීවරයකුගේ නිවසක නවාතැන් ගන්නටය. 
ජීවිතයේ පළමු වරට වෙලාවට තේ එක, වෙලාවට කෑමවේල සහිතව මා ලිවූ එකම කාල  පරිච්ඡේදය ඒ මාස එකහමාරය. උදේ හයට තේ එක බී අපි ලියන්නට ගතිමු. හතහමාර වන විට කෑම කෑවෙමු. නැවත ලියන්නට ගතිමු. දහයාමාරට තේ බීවෙමු. හවස ඇවිදින්නට ගියෙමු.
කොළඹදී මා දුටු විට පුංචි උන් හැංගෙති. එහෙත් දෙනියායේදී ඔහු දුටු විට පොඩි උන් අම්මලා පිටිපස්සේ හැංගුනෝය. ඒ පසු කර යන ගමන් ඔහු මෙසේ කීවේය. 
මචං අපිව මෙහෙට පොඩ්ඩක් අවුට් වගේ නේද? 
යළි මද විරාමයකින්
 ‘කොහොමත් අපිව එහෙටත් අවුට්නෙ’ කීවේය.
එහා වංගුවේ බල්ලන් තිදෙනෙක් එමින් සිටී. අප්පට හුඩු බල්ලො තුන්දෙනෙක් කියා ඔහු කන්දකට ගොඩ විය. එහෙත් ඒ වංගුව වූයේ කිලෝමීටර් ගණනකට ඈතිනි. බසයක් එන විටද ඒ එසේම විය. 
නිවසේදී ඩොස්ටොව්ස්කි වූ ඔහු සැන්දෑ සක්මනේදී බල්සාක් විය. මා තෝරා ගත්තේ ලෝරන්ස්ගේ චරිතයයි. අපි එසේ අපට නම් දමා ගතිමු. 
‘දැන් ප්ලෙඛානොව් මොනවා කරනවා ඇද්ද?’ ඔහු අසයි. ඒ සුනිල් විජේසිරිවර්ධන ගැනය. 
කෙසේ හෝ නුඹ සොඳුරු මිතුරකු විය. අප ඒ මාස එකහමාරට හෝ කිසිදා එකිනෙකාගේ සිත් බිඳෙන වදනකුදු දොඩා නැත. 
යළි ලියන්නට අරඹන අප රාත්‍රී කෑමට පෙර දියෝනිසස් මුණ ගැසුනෙමු. මගේ බීම කවදත් මූඩියෙන් එකකි. අප ෙකාළඹ එන්නට දින දෙකතුනකට පෙර  සල්ලි ඉවරවූ විට යළි කොළඹ විත් ඔහු සල්ලි(මධු) හොයාගෙන ආවේය.  රුසියාව ගැන මා බොහෝ ඉගෙන ගත්තේ ඔහුගෙනි.ගෝර්කිට වසදීම ගැන, සෙවලෝද් මේයර්හෝල්ඩ් මරාදැමීම ගැන, බුල්ගාකොවේ ගැන, සොල්සිනෙට්සින් හා පැස්ටර්නැක්ට ආ වාරණයන් , ෂොලහෝව්, තුර්ගනීප් වැන්නන් ඇතැම් ලේඛකයන්ගේ ප්‍රතිභාවෙන් සැලී ඔවුන්ව පරිවර්තකයන් ආදීන්  බවට තල්ලු කළ ආකාරය, නිලධාරිවාදය විසින් රුසියාව තුළ කලාවට කළ අපරාධ ඔහු මුවින් ගලා අවේය. 
රුසියාවේ ගැහැණු දාර්ශනිකයන් ගැන මා ඇසූ විට වේදිකාවේ එහා කෙලවරට මට පිටුපා යමින් සිටි නුඹ මී විතත් සමග හැරී මෙසේ ඇසුවේය. 
‘දාර්ශනිකයො ගෑනු? ..... ගෑනු? .....ඔය කවි ලියපු, චිත්‍ර ඇඳපු, එන්ජී ඕ ජාතියෙ ගෑනු නං ඉන්නවා. දාර්ශනිකයො?.... ගෑනු?’
එහෙත් නුඹ කිසිවිටෙකවත් ජීවිතයේදී ගැහැණුන් සම්බන්ධව එසේ සිතුවේ නැත. මා මෙන් ගැහැණුන්ව දාර්ශනිකාවියන් කළේ නැතත් අප දෙදෙනාගේම අස්වැන්න එක වාගේ විය. 
දෙනියාය හේස් වත්තේදී නුඹ අර්බාත් දරුවෝ පරිවර්තනය කළද, මම ගිය වැඩය පසෙක දමා ජනේලයෙන් පෙනෙන රෝසමල් දෙස බලාගෙන ටෙලිපෝන් කම්බි උඩ ඉන්නා පොල්කිච්චන්, රෝසපඳුරු මත සිටින බට්ටිච්චන් දෙස බලාගෙන කවි ලීවෙමි. ඒ දිනවල මා ප්‍රේමාතුරව සිටි ගැහැණියට කවි දෙසිය ගණනක් ලීවෙමි. අවසන් වරට හමුවූ විටත් නුඹ ඒ ගැන කියා විහිලු කළේය.  
නුඹේ සම්ප්‍රදානනයන් අතර වේදිකා සඟරාව අතිශය තීරණාත්මක මැදිහත්වීමක් විය. එහෙත් නුඹේ දැනුමේ හෝ ප්‍රතිභාවේ ඵල නෙලා ගන්නට මේ රට වාසනාවන්ත නොවීය. රස්සා කට්ටක් සොයා ගන්නට දුවද්දී වැරදී විශ්ව විද්‍යාලවලට ආ සිසුකැළතට නුඹේ දැනුම සැබැවින්ම අවැසි නොවිණි. ඔවුන් අතර ඉතිරි වූයේ නුඹ කෙරේ වන ගරුත්වය පමණි. 
ඔව්, පසන් ගරුත්වය පමණක් කොට්ටෙට තියාගෙන නිදියෑම අපේ උරුමයයි. මා මෙන්ම නුඹත් ඒ ගරුත්වයන් බලුමැක්කෙක් තරමටවත් ගණන් ගත්තේ නැතත් ඒ හැටිය. 
අප කොතරම් දේ කරන්නට සිහින මැව්වෙමුද? ඒ සිහිනත් සමග නුඹ නික්ම ගොස් ඇත. 
මා ගැන මෙන්ම නුඹ ගැන මොන මොනවා කිව්වත්  නුඹ එක්ස් කණ්ඩායම ගැන ලිවුවේ ‘ඒ මතවාදී බෝම්බයට මං ආසයි’ යනුවෙනි. ඔව් නුඹ අපේ සනුහරේ අපේම කෙනෙකු විය.
රුසියාවට නුඹ පා තබන විට ඒ වසර තිහකින් පසු දරුණුතම ශීත කාලයක් බැව් නුඹ කීයේය. සියල්ලන් නුඹට අනුකම්පා කළේ හෙට මැරෙයි හෙට මැරෙයි කියා බැව්ද ඒ සමගම නුඹ කීවේය. ආරෝහ පරිනාහ දේහසම්පන්නයන් මිය ගියත් නුඹ නිරුපද්‍රිතව හුන්නේය.
එහෙත් පාසලේ කොල්ලන් කොස් ඇට මීයා යැයි විහිලු කළ, මැණික් කටුවෙන් ඇල්ලූ විට පුංචි ළමයෙකුගේ මෙන් වූ සිහින් වූ මිතුර..... නුඹ, නුඹ උපන් රටේදීම මේ ඝෝර හිමපතනයට හසුව මිය ගියේය.
කෙසේ හෝ හෙට මට නුඹේ නිසල කය බලන්නට එන්නට සිදුව ඇත. මට එයට සවියක් ඇති දැයි මම නොදනිමි. නාවොත් ආදරණීය පසන් අපි නැවත හමුවෙමු.
නුඹ ආධානග්‍රාහී භෞතිකවාදියෙක්ද නොවීය. අපගේ අවසන් දාර්ශනික සාකච්ඡාවේදී අපි පුනරුත්පත්තිය ගැන කතා කළෙමු. රුසියාවේ පාරමානසික පර්යේෂණයන් ගැන කතා කළෙමු. එහෙත් පුනරුත්පත්තියක් තිබුණත් නැතත්, ඒ දැනගත්තත් නැතත් නුඹට වගේ වගක් තිබුණේ නැත. 
එහෙත් වැරදීමකින් හෝ එවැන්නක් තිබුනොත් මේ දහදුරා කොදෙව්වේ නැවත නුඹ නොඉපදේවායි පතමි. නුඹ වෙනුවෙන් මට කළ හැකි එකම දෙය එපමණය. 
මා හා කී නුඹේ අවසන් වදන්ම පෙරලා මම අද මෙසේ නුඹට කියමි. 
අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බවෙමු. 
-සර්පයා  
ආලේඛ්‍යය- නිලන්ත ගමගේ
 ===================================================================
එක් Facebook සංවාදයක්

  • මනෝරම වීරසිංහ
සුරාව නිසා අකාලයේ ලේඛකයන් මියැදීම පොත් කියවන අයට පාඩුවකි....උදාහරණ ඕනෑතරම් ඇත......
නමුත් ලේඛකයෙකු මධු ලෝලියෙකු නොවූයේ නම් ඔහුගේ නිර්මාණ ගැන කතාකරන්න දෙයක්
ඇත්තේද නැත!!!
Saman Nandalal, Dayananda Rathnayake, Madusanka Perera and 22 others like this.

Dayananda Rathnayake

Nelum Nisansala Wickramasinghe
එතකොට බොන්නෙ නැත්නම් ලියන්නෙ නැද්ද මනෝ

Niroshini Ranasinghe
maduvitaii lekanayai athara athi bandeema mokakda??????????

Dulip Herath
Niroshini,
ඒක දන්නේ ඉතිං අඩියක් ගහන මිනිස්සුම තමයි

Wickumsiri Munasinghe
ඒක දන්නේ ඉතිං අඩියක් ගහන මිනිස්සුම තමයි :-)2

Niroshini Ranasinghe
mmmmm ehenam itin matath adiyak gahalama balanna wenawa,
Dulip Herath & Wickumsiri Munasinghe

Athula Siriwardhane .

කිහිලිකරු නැතුව
රේස් එක දුවන්න ක්‍රම තියනවා.
දිනන්නත් පුලුවන්.
මත්පැන කිහිලිකරුවක්.
බාල මනසක්
පහසුවෙන් සොයාගන්න
බාල විසඳුමක්..

කිහිලි කරුවකින් රේස් එක දුවලා
ඇවිදින අය පරදවන අය
කිහිලිකරු නැතුව දිව්වොත්
රේස් එක අනිවා දිනනවා,
ඊටත් වඩා හොඳින්..

Athula Siriwardhane .
පසන් මිය ගියේ
අකාලයේ කියන්න පුලුවන්ද?

මත්පැන් නොබීපු වෙලාවක
හදිසි අනතුරක් නම්,
බෝවෙන රෝගයක් නම්
එහෙම කියන්න පුලුවන්.

ගතකළ ජීවිතය අනුව
ඔහුට සුදුසු කාලය තමයි මේ.

ජීවිතය කියන්නෙ
ඔහුගෙ කය සහ මනස
හැසිරෙන විදිය අනුව
සිහිය සහ උපේක්ෂාව අනුව
ගෙවී නිමාවෙන සීමිත ගිණුමක්.
නිසි ලෙස කළමනාකරණය නොකළොත්
ගිණුම කලින්ම ඉවර වෙනවා.

සිහිය දියුණු කරගතයුතු
සුවිශේෂී සංවේදී මනසක් ඇති
මෙවැනි නිර්මාණශීලී මිනිසුන්
බාලයන් ඇසුරෙන් නොමග යෑම
හරි මග නොයනවාටත් වඩා
අන්තරායදායකයි..

Prasanna Mudunkotuwa
නොබී ලියන අයගෙ ලියවිලි බලන්න ඉහත කොමෙන්ටුව කියවන්ඩ...පුදුම රහක් තියෙන්නෙ ඈ..

Athula Siriwardhane .
බොන අයගෙ ලියවිලි වල තියන රස
ඔහුගෙ අවසිහියත් සමග මුසු වුණ
වියරු රසයක්..
හොඳ නිර්මාණයක රසයක් නැතත්
පෝෂණයක් තියනවා.
රසවත් නම් තවත් හොඳයි..
රස නැතත් පෝෂණයක් ඇති දේ
කල් පවතිනවා.
සමාජයට යටත් නැති,
සමාහිත හිතක් ඇති කරගන්නට
වෙනත් ක්‍රම සොයාගන්නා කලාකරුවෙකුට
ඒ තැනට එන්න බොන්න අවශ්‍ය නෑ.
සමාජය ඔහු ගැන සිතන ආකාරයට
ඔහුගේ ඇති වහල්කමෙන් මිදීම
සහ සිත සමාහිත කරගැනීම
ඔහුට ප්‍රමාණවත්.

කලාකරුවන් මත්පැන තුලින් කරන්නෙ
සමාජය ඔහු ගැන සිතන ආකාරයට
ඔහුගේ ඇති වහල්බවෙන් මිදීමට හෝ
දුවන මනස මන්දගාමී කරගැනීමයි.
මේ දෙකෙන්ම
ඔහු තුළ ඇති නිර්මාණ ශක්තිය
වැඩි වෙන්නෙ නෑ. අඩු වෙනවා.

ඔහු ගෙ සංවේදී බවෙන් පෝෂණය වෙලා
ප්‍රබල ලෙස අවුල් වී ඇති කැළඹුණ මනසෙ
අනවරත අවුල මන්දගාමීවීමෙන් ලැබෙන
තාවකාලික දුර්වල සංහිඳියාව තුළ
ඒ නිර්මාණශීලී බව නිදහස් වෙනවා.
ඒත් ඔහුගෙ අක්මාවත් මොළයත් දෙකම
දුර්වල වෙනවා.

නිර්මාණකරණය සඳහා
උපයෝගී කරගත් මධුවිත
ජීවිතයෙ වෙනත් ගැටළු ආවලදිත්
ඔහුට සැඟවෙන්නට ගුහාවක් වෙනවා.
ඉන් පසුව ඇබ්බැහි වූ නිසාම
කිසිම මානසික අවශ්‍යතාවයකින් තොරව
කායික පෙළඹවීමට මත්පැන සොයනවා.
ඒ විෂම චක්‍රයට හසුවූවෙකුට
ගැලවෙන මංපෙත් සීමිතයි.

Janaka Inimankada
පසන් කිසි දිනෙක ලිවීම සදහා බීවේ නැත. පසන්ට ලිවීම යනුම මත් වීමකි. පරිවර්තනය කරන්නට පෙර අදාල කෘතිය දින ගණනාවක්ම යන යන තැන ගෙන යෑම ඔහුගේ පුරුද්දයි. 'එතකොට තමයි මචං පොත ඇගට දැනෙන්නෙ' ඒ පසන්ගේම වචනයි. පසන් සුරා ලෝලියෙකු මිස සුරා සොඩෙකු නොවේ.

Athula Siriwardhane .
ඔබ නිවැරදි නම් ඔහු ගෞරවනීයයි.. ජනක..

ඒත්
සුරා සොඬ බව සහ
සුරා ලෝලී බව අතර වෙනස
අපි තර්කනයෙන් පිළිගත්තාට
සුරා සොඬ බව සහ සුරා ලෝලී බව
වෙන් කර සලකන්න තරම්
සුරාව සුරාව ලෙසින්ම දකින අක්මාව
ඒ තර්කයට කොටු වෙන්න නැති බව
පසන් අපට කියා දෙනවා.

මනස රැකෙන්නට නම්
කය රැකගත යුතු බව
තවත් වරක් අපට පසක් වෙනවා.