20170516

සයිටම් විරෝධයට අසාධ්‍යයි. ප්‍රතිකාර වලින් පලක් නෑ.


සයිටම් විරෝධී අඛණ්ඩ වර්ජනය කල් තබන ලදී.
2017 05 15

සීයට පහේ වෛද්‍ය සංගම් වර්ජන
වෙනත් ක්ෂේත්‍රවල අය සමග කරන්න බැහැ.
වෙන ක්ෂේත්‍රවල අයට පුලුවනි නම්
වෛද්‍ය සිසුන්ටත් සීයට පහේ වර්ජන පුලුවන් වෙයි.
වෛද්‍ය සිසුන්
වසර පුරාම සීයට සීයෙ වර්ජනයක් කරද්දි
ඔවුන් පාවිච්චි කරන වෛද්‍යවරුන්ගේ සංගමය
රජයේ රෝහලෙනුත් පෞද්ගලික රෝහලෙනුත්
මුළු මාසෙම ආදායම නොඅඩුව ලබමින්
ඉඳහිට දවසක සීයට පහක වර්ජනයකින්
රටටම බොරු මවාපෑමක් කරනවා.

සීයට පහේ කපටිකම් වලට
බුද්ධිමත් වෛද්‍ය සිසුන් රැවටුණාට
වෙනත් ක්ෂේත්‍රවල
මේරූ වැඩිහිටියන් මුලා නොවෙන්නෙ
එදිනෙදා ප්‍රායෝගිකව ලද ප්‍රඥාව නිසයි.

වර්ජන කරනවා කියල
GMOA වෛද්‍යවරු කරන්නෙ
සීයට පහේ මුලාවක් බව ඔවුන් දන්නවා.
වර්ජනය දවසට ප්‍රතිකාරවලට එන රෝගීන්
දැනුවත් වෙලා ගෙවල්වල නැවතුණොත්
ඒ සියයට පහේ වර්ජනයත් පුස්සක් වෙනවා.

වර්ජනය දවසෙත් වැඩ කරමින්
වෛද්‍ය සංගමයෙ සභාපතිත් මග හරින
සීයට පහේ පුස් වෙඩිල්ලක් පත්තු කරන්න
වෙනත් ක්ෂේත්‍ර වෙඩිබෙහෙත් නාස්ති කරන්නෙ නෑ.

GMOA  වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන්ටත්
ඔවුන්ගේ සමීපම පවුලේ සාමාජිකයන්ටත් හැර
වෙනත් කිසිවෙකුට සයිටම් විරෝධය අදාළ නෑ.

වෙනත් ක්ෂේත්‍රවල අය වර්ජනය කරන්නෙ
සයිටම් විරෝධයක් නිසා නොවෙයි.
ඔවුන් වර්ජනය කරන්නෙ ඔවුන්ගෙ
පෞද්ගලික ඉල්ලීම් දිනාගන්නයි.
අහක යන සයිටම් විරෝධී වෙස් මුහුණක් නිසා
ඔවුන්ගෙ සැබෑ ඉල්ලීම් වල අගය පළුදු කරගන්නෙ ඇයි
කියා ඔවුන් සිතනවා ඇති.

GMOA  වෛද්‍යවරුන් විසින් පාලනය කරන
වෛද්‍ය සිසුන් ඉගෙනීම අතැරියාට
එදා වේල සරි කරගන්නා
සාමාන්‍ය රට වැසියෙකුට තමන්ගෙ රැකියාව
අදාළ නැති සයිටම් විරෝධයකට
අවදානමේ හෙළන්නෙ නෑ.

අද වෛද්‍යවරු ළඟට යන හැම කෙනෙකුටම
යම් ජීවිත අවදානමක් තියනවා.
ප්‍රතිකාර ගත්තට පස්සෙ එන අතුරු ආබාධ
නිතර සිදු වෙන රෝගී මරණ වලදි
කාට වැරදුණාද කොතන වැරදුණාද කියා
සොයා බැලීමක් හෙළි කිරීමක් නැති නිසා
සමස්ත වෛද්‍ය ක්‍රමයත් වෛද්‍යවරුත් අවදානමක්
කියන සැකයට බඳුන් වෙනවා.
මේ සැකයෙන් නිබඳ පෙළෙන
සාමාන්‍ය ජනතාවට
අනාගත සයිටම් වෛද්‍යවරු කියන
අවිනිශ්චිත විශේෂණය  දැනෙන්නෙ නෑ.
ඔවුන්ගේ වර්තමානයෙත් බහුලව ඉන්නෙ
අනාගත සයිටම් වෛද්‍යවරුන් පිරිසක්.

සුදර්ශන බාලගේ වැනි වෛද්‍යවරු
ජනතාවට අමතක වෙන්නෙ නෑ.
වෛද්‍යවරයෙක් අතින් වරදක් වුණාම
ඔහු රැකගන්න වලිකන වෛද්‍යවරුත්
ජනතාවට මගහැරෙන්නෙ නෑ.

ජනතාව උසස්පෙළ සමත් නැතිව ඇති.
ඒත් ඔවුන් අඳ ගොළු බිහිරන් නොවෙයි.

වෛද්‍යවරුන්ගෙ වැරදීම් වලට අමතරව
ජනතාවට වෙනසක් දැනෙන කාරුණික සේවයක්
සමස්ත වෛද්‍යවරු පිරිසෙන් වෙන්නෙ නෑ.
අතරින් පතර අද ඉන්න යහපත් වෛද්‍යවරුන්ට
දෙවි වරු වන් සුවිශේෂී පුද්ගලයන් විදියට
ගරු සම්මාන පවත්වන පොදු ජනතාව
GMOA වර්ගයේ වෛද්‍යවරුන් දකින්නෙ
තමන්ගෙ වාසිය සඳහා ඕනම දෙයක් කරන
අකාරුණික ආත්මාර්ථකාමීන් ලෙසයි.

රජයේ වෛද්‍යවරු අතින් වරදක් වුණාම
"ඔය ඉතින් සයිටම් දොස්තරලයැ?" කියල
දැන් ඔවුන් අනිවාර්යයෙන් අහනවා.
දෝෂ දර්ශනයට ලක්වෙන රජයේ වෛද්‍යවරුත්
නිල නොලත් සයිටම් වෛද්‍යවරු පිරිසක් වගෙයි.

පෞද්ගලික රෝහල්වල සේවය කරමින්
උණ හෙම්බිරිස්සාවටත් රජයේ රෝහල් වර්ජනය කරන
දැඩි මතධාරී වෛද්‍ය සංගම් සාමාජිකයන් කිසිවෙක්
තමන්ගෙ සුව සෙත වෙනුවෙන් වර්ජනය නොකරන බව
සාමාන්‍ය පොදු ජනතාවට රහසක් නොවෙයි.
සයිටම් විරෝධී පුස් වෙඩිල්ලට පක්ෂව
වර්ජනයට පොළඹවාගන්න වෙන්නෙත්
මේ සාමාන්‍ය ජනතාවමයි.

වෛද්‍යවරුන්ගේ වැරදීම් නිසා ඇති වෙන
අනියත අවිනිශ්චිත බිය හේතුකොට ගෙන
ප්‍රතිකාර ගන්න එන රෝගීන් ඔවුන්ට දක්වන
පදනම් විරහිත නිවට නියාලු ස්වභාවය
වෛද්‍යවරුන්ගෙ වෘත්තියට ඇති
සාධාරණ භය සම්ප්‍රයුක්ත බවක් කියා
මාන්නාධික වෛද්‍යවරුන් හිතනවා ඇති.
ප්‍රතිකාර කරද්දි රෝගීන් දක්වන කීකරු බව
වෛද්‍යවරු කියන ඕනම දේකදි දක්වයි
කියාත් ඔවුන් වරදවා සිතනවා ඇති.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
සයිටම් විරෝධයට සහය ඉල්ලන්නෙ
එවැනි හැඟීමකින් බව
ඔවුන්ගෙ හැසිරීමෙන් පෙනෙනවා.

නිරෝගී ජනතාව වෛද්‍යවරු දකින්නෙ
ඔවුන් රෝගීන්ව සිටියදී දුටු ආකාරයට නොවෙයි.
ඔවුන්ට නිසි පරිදි සලකා නැති නම්
ඒ ප්‍රතිරූපයට ඔවුන් නැමෙන්නෙ නෑ.
අද බොහෝ දෙනෙක් තුළ ඇති ප්‍රතිරූපය
විශ්වාසය දනවන්නක් නොවෙයි.

වෛද්‍යවරුන් කෙරෙහි ඇති ආකල්පය මත
ජනතාව උද්ඝෝෂණ මග හරින විට
සයිටම් විරෝධෙ වෛද්‍යවරු මුක්කුවක්
දේශපාලන ක්ෂේත්‍රයෙන් සෙව්වා.
මේ පියවර නිසා එතෙක් ඔවුන් සමග සිටි
ජවිපෙ, අන්තරේ විරෝධී පිරිස නැති වුණා.
ඔවුන්ට ජවිපෙට අන්තරේට වදින ලේබල් වැදුණා.

GMOA  සමාජිකයන් දෙකට බෙදෙන නිසා
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව
පක්ෂත් නැතිව විපක්ෂත් නැතිව සිටි
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
අද ජවිපෙ අන්තරේ හවුල් ව්‍යාපාරයක්.

දැන් පොදු මතයට අනුව වෛද්‍යවරු සැලකෙන්නේ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධීන් ලෙසයි.
ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සැඟවුණ ස්ථාවරය
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය බව
ඔවුන් වෙළඳපොල රකින විදිය අනුව
මුලු රටම දන්නවා.

අද වෛද්‍යවරුන් සමග එළිපිට ඉන්නෙ
ජවිපෙ සහ අන්තරේ පමණයි
පැහැදිලි ප්‍රතිපත්ති නැති
හිස හැරුණු අතේ යන ජවිපෙ නායකත්වයට
රිසි තැනකට කියන වෙලාවට කොන්දේසි විරහිතව
කෙවිටි කරමින් දක්කාගෙන යා හැකිව තිබෙන
සුවච කීකරු ජවිපෙ සහ අන්තරේ ක්‍රියාකාරීන් පිරිසට
වෛද්‍යවරු සහ වෛද්‍ය සිසුන්ගේ එකතු වීම
නවපණක්, වැදගත් බවක් ලබා දුන්නා.

අද අන්තරේ ළහිරු වෛද්‍ය සිසුන් දක්කන්නෙක්.
 ලාල්කාන්ත ඇතුළු ජවිපෙ නායකයන්
වෛද්‍යවරුන්ගේ විශ්වාසය දිනාගත් දේශපාලකයන්.
ජවිපෙ වැඩි වෙහෙසක් නැතුව
ඒ තැන ලබා ගන්නවා.

ජවිපෙ මන්ත්‍රීන් සහ අන්තරේ සිසුන් සමග
කරට අත දාගෙන පාරට බැහැලා වර්ජන කරලා
ඔවුන්ගේ නිසි සහායක් නොලැබුණ නිසා
ටයි දමාගෙන කරන මාධ්‍ය සාකච්ඡා වල විතරක්
"අපි ඔවුන් නිසි තැන තියාගෙන ඉන්නවා" කියමින්
හිස් වහසි බස් කීමෙන් දැන් පලක් නෑ.
ජවිපෙ කරන්නෙත් සියයට පහයි.

වචන වලට වඩා ක්‍රියාව පැහැදිලියි.

මහින්දත් සයිටම් විරෝධයට හැරිලා
ඔහුගෙ පරණ ප්‍රවේණිය හෙළි වුණාම
ඒ විරෝධය අකුළා ගත්තා.

ජනතාවට ඉහළින් වෙසෙන
උද්ධච්ඡ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට
දෙබිඩි පිළිවෙත්වලින් වෙන හානි නොවැටහුණාට
මහින්ද වගේ පරිණත දේශපාලනඥයන්ට
ජන විඥාණය පිළිබඳ ප්‍රබල ඉවක් තියනවා.
කොතරම් වාසි ලැබුණත් අද මහින්දට
සයිටම් විරෝධී හඬ නගන්න බෑ.
ඔහුගේ අතීතය විසින්ම ඔහු ගොළු කරලා.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
රජයට පහර දීමේ මූලික අරමුණ
මහින්දට සහාය දීම වුණත්
මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයටත්
සයිටම් විරෝධයට එළි පිට එකතු වෙන්න බෑ.
ඔවුන්ගේ සහාය සීමා වුණේ
නුගේගොඩ රැස්වීමට විතරයි.


ඒකාබද්ධ විපක්ෂයේ නොහැකියාවට
ප්‍රධානම හේතුව
සයිටම් ළදරුවා පෝෂණය කොට බිහි කරන්නට
වින්නඹුකම කළේ මහින්ද වීමයි.

අදාළ ඇමති වරු අරලිය ගහ මැදුරට ගෙන්වා
"සයිටම් වෛද්‍යවරුන්ට ලියා පදිංචිය දෙන්නට
ඔවුන් ඉදිරිපිටම කාලෝ ෆොන්සේකාට නියෝග කරමින්
නූපන් සයිටම් දරුවාට කේන්දරය හැදුවේත්
මූල‍ය ශක්තිය ලබා දුන්නේත්
කු. පා. ම. මහින්දයි.

වෛද්‍ය ප්‍රතිකාර ඉහළ මිලට විකිණීම,
රජයේ රෝහල්වල සේවය පැහැර හැරීම,
දරුවා පාසැලට දමා ගැනීමටත්
සිය වර්ජන අයිතිය භාවිතා කිරීම ආදියෙන්
රෝගීන්ගේ විශ්වාසය බිඳගැනීම නිසා
තමන් සතුව තිබුණ සිවිල් බලය පිරිහී ගිය
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වෛද්‍යවරුන්ට
ජනතා සහයෝගය ලැබෙන්නේ නෑ.

ඉහත දැක්වූ සියලුම කරුණු අභිබවා
ඔවුන් අසාර්ථකත්වයට පත්වෙන ප්‍රධානම සාධකය
වෛද්‍යවරු සයිටම් විරෝධීව සිටින තාක්
ඔවුන්ට ජයගත නොහැකියි.

වෛද්‍ය අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකට
මග අවුරන පාපී චේතනාවෙන් මිදෙන්න ඔවුන්ට බැහැ.
එවැනි අපිරිසිදු චේතනාවක් පෙරදැරිව
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතගහන
හැම දෙයක්ම අවුල් වී අසාර්ථක වීම
පුදුමයක් නොවෙයි.

වර්ජනය මගින් අධ්‍යාපනය අවුල් කරගෙන
වෛද්‍ය සිසුන් ඔවුන්ගේ මට්ටමින් ඒ පාප කර්මය
දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ගෙවනවා.
මේ අපිරිසිදු කුහක අරමුණ නිසා
වෛද්‍යවරුන් පිළිබඳවත් ගෞරවය නැති වී
ඔවුන් සමාජයේ කොන් වූ පිරිසක් බවට පත් වෙනවා.

අල්ලාගෙන සිටීමටත් අත හැරීමටත් නොහැකි
සයිටම් විරෝධී  කොටි වලිගය
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
තව කොතෙක් කල් අල්ලාගෙන ඉන්නද?