20170208

මිනිස්සු අදහන්නේ දෙවියන් පමණද?


දේව භක්තිකයාගෙ භක්තිය
බුදු දහමෙ ප්‍රඥාවට සම කරන්න උත්සාහ කිරීම
ප්‍රඥාවන්ත නෑ.

බුදු දහමෙ ශ්‍රද්ධාව වුණත්
ප්‍රඥාවට බොහෝ දුරයි.

භක්තියෙන් කරන ඇදහීම් සියල්ලන්ටම පොදුයි.

හැම මිනිහෙක්ම ජීවිතය ගත කරන්නෙ
නොයෙක් දේ සහ නොයෙක් අය අදහමින්.

ඔබ ෆෝන් නොම්මරයක් ඔබන්නෙ
ඒ ක්‍රියාවලිය අදහන නිසා.
ඔබ වාහනය පණගන්වාගෙන වැඩට එන්නෙ
වාහනය ගැන භක්තියෙන්.
ඔබට වාහනය දෙවි කෙනෙක්.

දොස්තර කෙනෙක් දෙන
බෙහෙතක් බොන කෙනෙකු තුළත්
ඇදහීම, භක්තිය, වහල් බව තියනවා.
ඔබට ඔහු දෙවි කෙනෙක්.

ඔහු වෛද්‍ය අධ්‍යාපනය
නිසි ලෙස ලබා ඇතැයි ඔබ අදහනවා.
ඔහුගෙ පෙනුම, ඔහුගෙ වාහනය අනුව,
ඔහුගෙ හැසිරීම, කතා බහ අනුව
ඔබේ ඇදහීම අඩු වැඩි වෙනවා.

මේ සියලුම ඇදහීම් මත ක්‍රියා කොට
බෙහෙත වැරදීමෙන් රෝගියා මළත්
දොස්තර දෙන නිදහසට කරුණ
ඔහු පිළිබඳ භක්තියෙන් අදහනවා.
එහෙම නැත්නම්
දොස්තර හරි කියා ඔබට පිළිගත හැකි පිළිතුරක්
ඔබම හදා ගන්නෙ ඔහු ගැන ඔබේ ඇදහිල්ල
ඔබ විසින්ම බිඳගන්න ඔබ අකැමති නිසයි.

දෙවියන් ඇදහීම ප්‍රතික්ෂේප කරන අය
දේව භක්තිකයාට අපහාස කළාට
හැම මිනිහෙක්ම ජීවිතය ගත කරන්නෙ
 දවස පුරාම ක්‍රියා කරන්නෙ
භක්තිය, විශ්වාසය පදනම් කරගෙනයි.

ඔබ අදහන දේ කොතරම්ද?
පාසල් යන දරුවා ඉගෙන ගනීවි කියා
ඔබ අදහනවා.
පන්ති යන දරුවා පන්තියට යන්න ඇති කියා
ඔබ අදහනවා.
ඔබ යන වාහනය අබලන් වීමක්,
අනතුරක් නැතිව ඔබ ගෙන යාවි කියා
ඔබ අදහනවා.

දේව භක්තිකයා දෙවියන් මේ දේවල්
ඔහුගෙ වාසියට කරාවි කියා අදහනවා.
නොකෙරුණාම දෙවියන් වහන්සේගෙ කැමැත්ත
තමන්ගෙ කැමැත්තට වඩා වෙනස් කියමින්
හිත සනසා ගන්නවා.
හැම කෙනෙක්ම එහෙමයි.

ඔබේ ඇදහීම් ලෝකයත් පවතින්නෙ
ඒ රීති වලටම අනුකූලවයි.
දෙවියන් ඇදහීම ප්‍රතික්ෂේප කරන අය
ගස් ගල් පිළිම අදහනවා.
දොස්තර, ඉන්ජිනේරුවා, බාබර් ඔබ අදහනවා.
රූප ලාවණ්‍ය ශිල්පිනිය, බස් රියදුරා,
ටියුෂන් මාස්ටර් අදහනවා.

ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන ඔබ කරන්නෙ
කුසගින්න, පිපාසය සංසිඳවා ගැනීම,
වැසිකිළි කැසිකිළි යාම ආදිය පමණයි.
ඒ සීමිත නිශ්චිත ක්‍රියාකාරකම් තුළත්
නොයෙක් අයගේ තර්ක මත ගොඩ නැගුණ ඇදහීම්
කොපමණ තියනවාද?

අත ගින්නට හසු වුණොත්
අත ආපහු ඇද ගන්න වෙලාවට
ඔබේ ඇදහීම සියල්ල අමතක වෙනවා.
කෝපයට පත් වුණාමත් ඒ වගෙයි.
ඔබ ක්ෂණිකව ක්‍රියා කරනවා.
ඔබ අදහන සියල්ල අමතක වෙනවා.

ගින්නට පිච්චෙන අත ඇද ගන්නවා වගේ
අදහන්න ප්‍රමාද නොවී
"ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන" කරන ක්‍රියා කීයක්
ඔබ අද දවස තුළ කරන්නට ඇතිද?

නොපෙනෙන නොදන්න දේ අදහන
දේව භක්තිකයෙක් නොවුණාට
ඔබත් භක්තිකයෙක්..

ඔබත් නොපෙනෙන නොදන්න දේ
අදහන්නෙක්...