20150109

මේ රටේ මහ ජාතිය සුළු ජාතිය කියා දෙකක් නෑ. - මහින්ද


සමස්ත දෙමළ ජාතියම ත්‍රස්තවාදීන් හෝ
සිංහල විරෝධීන් නොවෙයි..
ත්‍රස්තවාදියෙක් සාමාන්‍ය මිනිසෙකු ලෙස දැකීමට වඩා
සාමාන්‍ය මිනිසෙක් ත්‍රස්තවාදියෙකු ලෙස දැකීම
බරපතල අපරාධයක්.

ත්‍රස්තවාදීන්ගෙනුත් බැටකන ඔවුන්ට
අපත් එරෙහි වෙන විට
ඔවුන් කිසිම සරණක් නැති අනාථ ජාතියක් වෙනවා..

ද්වේශයෙන් දැවෙන ජාතිවාදියෙකුට මෙන්
සාමාන්‍ය මිනිසෙකුට සැලකීම
අඳබාල සහ හානිකර ක්‍රියාවක්.
ඔහු ජාතිවාදියෙකු කරන්නට කරන පෙළඹවීමක්..


මහින්දටත්, ඔහුගේ අනුගාමිකයන්ටත්
කුරිරු දෙමළ ත්‍රස්තවාදීන්ගෙන්
අහිංසක දෙමළ ජනතාව
වෙන්කර හඳුනාගන්නට බැරි වුණා.



ඒ බව දෙමළ ජනතාව වටහා ගැනීම
මහින්දගේ පරාජයට ප්‍රධානම හේතුව වුණා.

 පීඩා විඳි සුළු ජාතික ජනතාව
ඔවුන්ගේ ආත්ම ප්‍රකාශනය සඳහා
ඡන්දය භාවිතා කළා.


මහින්දගේ පරාජය සනිටුහන් කරන්නට
සිංහල බෞද්ධයන්ගෙන් ලැබුණ සහාය
අසීමිතයි..

තමන් මහ ජාතිය කියන ආකල්පයෙන් මත්වූ
අන්තවාදී සිංහල බෞද්ධයන් එක්ව
අන් ජාතීන්ට කළ කෙණෙහිලි සහ හිරිහැර වල වගකීම
මහින්දගේ බිලට බැරවුණා.
මහින්ද කොටි නායකයන් රජයට ගෙන සත්කාර කරද්දී
දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ
කාරුණික සිංහල බෞද්ධයාට කොටි ලේබලය අලවන්නට
අන්තවාදීන් උත්සුක වුණා.

මහින්දට ශක්තිය සැපයූ
අන්තවාදී සිංහල බෞද්ධයන්ට විරුද්ධ වෙන්නට
ඔහුට හැකියාවක් තිබුණේ නැහැ..

මග හිටියත් තෝ නසී
ගෙදර ගියත් තෝ නසී.
වැනි උගුලක ඔහු සිර වුණා.

යුද්ධකාලයේ මරණ බියෙන් මුසපත්ව උන්
සිංහල බෞද්ධයන් බහුතරයක්
ඔහුගේ සියලු වැරදි වලට සමාව දුන්නා.
ඔහුට ඔවුන්ගෙන් මිදෙන්නට නොහැකි වුණා.

බහු වාර්ගික මිනිසුන් වෙසෙන රටක
ඒක වාර්ගිකව රජකිරීමේ පල විපාක
සුළු ජාතීන් වෙසෙන ප්‍රදේශවලින්
දෝත පුරා නෙලාගන්නට ඔහුට ලැබුණා.

රජකම් කළත් කළ කම් පල දෙනවා.


මහින්දගේ පරාජය ඔහුගේ පමණක් නොවෙයි..

වැරදි කරද්දී ඔහු සුරතල් කළ
අන්තවාදී සිංහල බෞද්ධයාගේ පුද්ගලික පරාජයක්..

මේ රට තනිකරම තමන්ට අයිතියි සිතාගෙන
අන් ජාතීන්ට හිරිහැර කළ සිංහල බෞද්ධයාගේ
පුද්ගලික පරාජයක්..

මෛත්‍රීගේ ජයග්‍රහණය
අන් ජාතීන්ද මිනිසුන් ලෙස සැලකූ
සිංහල බෞද්ධයන්ගේ සහ
දෙමළ, කතෝලික, හින්දු, මුස්ලිම් ආදී
සියල්ලන්ගේම පොදු ජයග්‍රහණයක්..

.



මහින්දගේ මේ වදන්වලට සැබෑ අරුතක් ලැබේවා.

-----------------------------------------------------------------------------------------------------

පසු වදන


රටක ජාතිවාදයක් තියෙන්නෙ
මිනිස්සුන්ගෙ හිත්වල
ජාතිවාදය තියනවා නම් තමයි..
තමන් අසවල් ජාතියේ කියන
මාන්නයෙන් හෝ ගර්වයෙන්
වියරු වැටිලා නම් තමයි..

මම ජාතිවාදියෙක් කියන්නෙ
1,  
වෙනත් ජාතීන් යටත් කරගන්න
ඔවුන් තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න,
ඔවුන්ගෙ ඇදහීම්, සංස්කෘතික ලක්ෂණ
තමන් කැමති ආකාරයට වෙනස් කරන්න
බලපෑම් කරන කෙනෙක්..

2,  
තමන් යටත් කරගන්න
වෙනත් ජාතීන් උත්සාහ කරනවා කියා
බියෙන් පෙළෙන කෙනෙක්.
කෝපයෙන් පසුවෙන කෙනෙක්.

මේ දෙයාකාරයේ අය අප අතර ඉන්නවා නම්
මම ඔවුන් ජාතිවාදීන් කියා හඳුන්වනවා.

මේ පදනම නිවැරදියි කියා
ඔබත් හිතනවා නම්
ඔබ ඔවුන් සොයාගන්න.

මේ පදනම වැරදියි කියා
ඔබ හිතනවා නම්
අපට කතා කරන්න දෙයක් නෑ.