20140825

බාලයා සහ ප්‍රඥාවන්තයාගෙ වෙනස.

http://www.theroot.com/content/dam/theroot/history/Image%20of%20the%20Week/IOW-Ward.Fire%20Maker.The%20Root.6.7mb.jpg.CROP.hd-large.jpg

යටි සිත සහ උඩු සිත සංකල්පයක්
බුදුදහමේ සඳහන් වන තැනක් නැහැ..
බුදු දහමේ සංකල්ප නැහැ.
යටි සිත සහ උඩු සිත අතර වෙනස
වෙනත් විදියකට
අවස්ථා පහකින් එකක් ලෙස
බුදු දහමේ සඳහන් වෙනවා.

පංචස්කන්ධයෙන් විඥාණය කියන කොටස..
කෙලෙස් නිසා අපිට අහිමි වෙලා තියන කොටස..
මනෝවිද්‍යාවෙදි යටි සිත වශයෙන් හඳුන්වනවා.

ඉඳුරන්ට ලැබෙන ස්පර්ශ ඇසුරෙන්
ඇතිවෙන සුඛ දුක්ඛ වේදනාවල
සැබෑ ස්වභාවය වෙනුවට
තමන්ට ඒ මොහොතෙ දැනෙන ස්වභාවය අනුව
ඒ මොහොතෙ අපිට දැනෙන
ප්‍රිය අප්‍රිය  ස්වභාවය අනුව වෙන් කරගෙන
අපි රාග ද්වේශ සංස්කාර ඇති කරගන්නවා..
ඒ දෙකට අයිති නොවෙන ස්පර්ශ
මෝහ විදියට එකතු වෙනවා.
මේ ඥාණය සත්‍ය නැහැ..

සීතල වෙලාවට
කයට උණුසුමක් අවශ්‍යයි.
ගෝත්‍රිකයා ගිනි තපිනවා.
සීතල වෙලාවට
ගිනිතැපීම ප්‍රිය වුණාට
ඇත්තටම ගින්න ප්‍රිය නැහැ.
ගින්නෙන් විඳින දුක
සැපක් වෙන්නෙ පරිසරය සීතල නිසයි.

අපි ගිනි තපින කොට ප්‍රිය කරන්නෙ
සීතල පරිසරයක ගිනි තැපීමද?
සීතලට උණුසුමද??.

කිසිම අත්දැකීමක් නිත්‍ය නැහැ.

ගිනි තැපීම කියන අත්දැකීම ලබද්දි
සීතල නිසා තිබුණ අප්‍රිය අත්දැකීම
ගින්නෙහි උණුසුම නිසා වෙනස් වෙලා
ප්‍රිය අත්දැකීමක් විදියට වෙනස් වෙනවා.

ප්‍රඥාවන්තයා
එසේ වෙනස් වූ ආකාරය
ආදි හා නව විදියට
අනිත්‍ය ස්වභාවයෙන් දකිනවා

වෙනස් වීමෙහි සත්‍ය ස්වභාවය
කායානුපස්සනාවෙන්,වේදනානුපස්සනාවෙන්
විඳ ප්‍රත්‍යක්ෂ කරන කෙනෙක්
මේ ප්‍රමාණයට සීතල පරිසරයක
මේ ප්‍රමාණයක උණුසුම ප්‍රියයි කියල
සම්පූර්ණ අත්දැකීම දකිනවා.
ඇත්ත ඇති සැටියෙන් දකිනවා.

ගින්න ඔහුට එකම විසඳුම නොවේ.
එක විසඳුමක් විතරයි.

සීතලට විසඳුම
බැහැරින් ලැබෙන තාපය නොව
කය උණුසුම් වීම බව
ප්‍රඥාවන්තයා දකිනවා.

සීතලට විසඳුම උණුසුම් වීම බව ඔහු දන්නවා.

සීතල වෙලාවට ගිනිතැපීම ප්‍රිය නිසා
තමන් කැමති විදියට
ඇත්ත විශේෂණය කරගන්න කෙනෙක් තුළ
රාග ද්වේශ සංස්කාර ඇති වෙනවා.

මට ගින්න හොඳයි..
මට ගිනිතැපීම හොඳයි
කියල ගන්න පටු දැනුම වැරදි දැනුමක්.
ඔහුගෙ දැනුම ගින්න ගැන නොවෙයි.

ඔහු උණුසුම වින්දෙ නැහැ.
ඔහු විඳින්නෙ ගිනි තැපීමයි.
ඔහු සීතලට දන්නෙ ගිනි තැපීම විතරයි..
සීතලට ඔහු දන්නා විසඳුම උණුසුම නෙමෙයි.
ගිනි දල්වා ගිනි තැපීමයි.

මනසින් සහ ඉඳුරන් මගින්
ලෝකය විඳින අය
හැම දේකටම විශේෂිතව බැඳිලා
තමන්ගෙ කරගන්නෙ මේ විදියටයි.

ගිනි තැපීම වෙනුවට
ඔබ ප්‍රිය කරන පුද්ගලයන්.. ආහාර වර්ග,
ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්, සංගීතය
ආදී ඔබ කැමති ඕනෑම දෙයක්
ආදේශ කරල බලන්න.
ඔබ සොයන්නෙ
ජීවිතේ දෙවරක්
ඒ අයුරින්ම නැවත විඳින්න බැරි
නිශ්චිත අත්දැකීමක්.

එවැනි නිශ්චිත රසවත් අත්දැකීමකට
වෙළඳ නාමයක් දීලා
කෘතිම රස කාරක වලින් හෝ
ඒ රස සංයුතිය ලබාදෙන වෙළඳ ව්‍යාපාරිකයා
බාලයාගෙ රැවටීමට වන්දියක් ගන්නවා.

ව්‍යාපාරිකයාත් ඊට වන්දි ගෙවීම වෙනම කරුණක්.

අද ඒ නිශ්චිත අත්දැකීම දෙන කෙනා හෝ
ඒ නිශ්චිත අත්දැකීම දෙන දේ
හෙට වෙනස් වුණාම ඔබ ඒ කෙනා හෝ දේ අත් හරිනවා.
ඔබ අල්ලගෙන හිටියෙ නිශ්චිත අත්දැකීමක්.
ඔබ අත්හරින්නෙත් නිශ්චිත අත්දැකීමක්.
ඇත්ත දකින කෙනා
හෙට දකින කෙනා සහ දේ භාරගන්නෙ
අළුත් කෙනෙක් විදියට... අළුත් දෙයක් විදියට.

නිශ්චිත අත්දැකීමක්
ප්‍රිය අප්‍රිය වශයෙන් ගන්නා බාලයාගෙ හිතේ
ඒ වෙලාවෙ කාමයට ඇතිවෙන කැමැත්ත
කාමච්ඡන්දයට හේතුවෙන
රාග සංස්කාර
කෙලෙස් විදියට හිතේ තැන්පත් වෙලා
සීතල පරිසරයකදි ගින්නම සොයන්න
ඔහු පොළඹවනවා.
සීතලට ද්වේශය ඇතිවෙන කොට
ඔහුට ප්‍රිය ගිනිතැපීම සොයනවා.

මේ විදියට
පැරණි අත්දැකීම් මත
ගැටළු විසඳා ගැනීම
සතෙකුට වුණත් තියන
ස්වාභාවික හැකියාවක්..
සත්වයාගෙ පැවැත්මට අවශ්‍ය හැකියාවක්.
විසඳුම් සොයා ගැනීමෙදි
මිනිසාත් තිරිසනාත්
බාලයාත් ප්‍රඥාවන්තයාත්
බෙහෙවින් වෙනස් විදියට හැසිරෙනවා.

ප්‍රඥාව වඩන තැනැත්තා...
අත්දැකීම නිවැරදිව දකින
විඳ ප්‍රත්‍යක්ෂ කරන ප්‍රඥාවන්තයා
අවස්ථානුකූලව ගින්නක් නැත්නම්
කුමන ආකාරයෙන් හෝ උණුසුම් වෙලා
ස්ථානෝචිතව ගැටළුව විසඳාගන්නවා.
සීතලෙන් මිදෙන්න උණුසුම ලබා ගන්න
ඝන කම්බිලියක් වුණත් ඔහුට ප්‍රමාණවත්.

ගිනි තැපීමටම රාගයෙන් බැඳුන
බාලයා දන්න එකම විසඳුම
ගිනි දල්වා ගිනි තැපීමයි.
ඔහු කම්බිලියට ගිනි තියනවා.

මිනිසාත් තිරිසනාත්
ප්‍රඥාවන්තයා සහ බාලයාත්
ප්‍රඥාවත් බුද්ධියත්
වෙනස් වෙන්නෙ ඒ විදියටයි.

ඇත්ත දකින ප්‍රඥාවන්තයා
යටිසිත පෝෂණය කරන්නෙ නැහැ.
ඔහු හේතුඵල දෙකම දකිනවා.
ඔහු ප්‍රිය අප්‍රිය වෙන්න හේතුවත් දකිනවා.
ඵලය ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් ගන්නෙ නැහැ.
ඔහුට හේතුවත් ඵලයත් දෙකක් නෙවෙයි..

තමන් විඳින ඵලය
හේතුව වශයෙන් දකින
ඵලය ප්‍රිය අප්‍රිය විදියට දකින බාලයා
යටිසිත නොදැනුවත්වම පෝෂණය කරනවා.
ඔහු කෙලෙස් වලින් මුළා වෙනවා.

කෙලෙස් නසන ප්‍රඥාවන්තයාගෙ මග
ඔහු ඇත්ත ඇති සැටියෙන් දකින
මොහොතක් පාසා...ගමන් කරන්නෙ
දුකෙන් මිදීම දෙසටයි.

එහි කෙළවරේ සිටින
රහතන් වහන්සේට යටි සිතක් නැහැ.
සිත කෙලෙස් වලින් විනිර්මුක්තයි.

සිත යටිසිත කියල දෙකක් තියෙන්නෙත්..
නාම රූප කියලා දෙකක් තියෙන්නෙත්
අවිද්‍යාව > සංස්කාර > විඥ්ඥාණ නිසයි.

විදසුනෙන් අවිද්‍යාව නැති වෙනකොට
නව සංස්කාර ඇති වෙන්නෙ නැහැ..
පැරණි සංස්කාර මතු වෙලා
නිරුද්ධ වෙනවා.
විඥාණය පෝෂණය වෙන්නෙ නැහැ.

විදසුනෙන් කෙලෙස් නැසෙද්දි
තියන විඥාණයත් කෙමෙන් මැකෙනවා.
නාම රූප අතර පරතරය අඩුවෙනවා.
යටිසිත ලෙස අඳුරු වෙලා
අහිමිවෙලා තියන කොටස
සිහිය, උපේක්ෂාව නිසා
ප්‍රඥාව බවට පත් වෙනවා.

මේ දහම් මග ඉතා පැහැදිලියි.
දැනුමෙන්, තර්කයෙන් මේ මග යන්න බැහැ..
රාග, ද්වේශ මෝහ
අත්දැකීමෙන් විඳ ප්‍රත්‍යක්ෂ කර නොගත්තොත්
පොත පතෙන්, දහම් දෙසුමෙන්
සත්‍යය දකින්න බැහැ.
එවැන්නෙකුට කෙලෙස් කියන්නෙ
චිත්ත රූප විතරයි.
විදසුන් වඩන්නාට චිත්ත රූප නැහැ.
විඳ ප්‍රත්‍යක්ෂ කරන අත්දැකීම් විතරයි.

මේ කරුණු ඉතාම කෙටියෙන් සඳහන් කළේ.
චිත්ත රූප ලෙස එකතු කරගෙන ගෙන ඉන්න
වෙනත් දැනුම සමග සසඳන්නෙ නැතිව
මේ කරුණු අනුව ප්‍රශ්න කළොත්
පිළිතුරු දෙන්නම්.