20151202

කර්ම විපාක වලින් බේරෙන්න....


.තර්ක කිරීමෙන්, වත් පිරීමෙන්
කර්ම විපාක වලින් බේරෙන්න හදන එක
ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්‍රියාවක්.
ප්‍රඥාව ඉතාම අඩු අයට
ඒ මාර්ගය හොඳයි.

පවක් කරන්න චේතනාවක් පහළ වෙන කෙනෙක්
ඒ චේතනාව අනුව ක්‍රියා නොකරොත්
ඔහුගෙ ශීලය රැකුණාට
හිතේ කෙලෙස් ඇතිවෙලා, ඔහු දූෂිත වෙනවා.
ඔහු මනසින් කර්මය කරලා හමාරයි.

කර්මය වෙන්නෙ අතපය වැනීම, වචන පැවසීම නොවේ..
ඒ සියල්ල මෙහෙයවන මානසික ශක්තිය වන
චේතනාවයි..
පින් පව් දෙකටම මුල්වෙන්නෙ
චේතනාවයි.

කර්මය, පුනරුත්පත්තිය දැනෙන ප්‍රමාණයට
කෙනෙකුට ප්‍රඥාව තියනවා නම්..
කර්ම විපාක වලක්වා ගන්න ඔහු කල යුත්තෙ
විදසුන් වැඩීමට පුහුණු වීමයි.

විදසුන් වඩන්නා
තමන් තුළ ඇතිවෙන චේතනා ගැන සිහියෙන්
ඒ චේතනාවට මුල්වෙන
නීවරණය, චිත්තය, වේදනාව ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් විසීම නිසා
චේතනාව උපාදාන වීම වලකිනවා.
උපදින කෙලෙසුත් නැසිලා සිත පිරිසිදු වෙනවා.

ඔහු කරන වැරදි කර්ම අඩු වෙනවා.
කෙනෙකුට ඇති හොඳම ආරක්ෂාව ඒ මාර්ගයයි..

පිහිනන්න දන්න කෙනෙකුට
වතුරෙ ගිළුනාම මැරෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය
අහන්න අවශ්‍ය නෑ.

කර්ම වලට මුල්වෙන අකුසල් නසන්න
සම්මා සතිය වඩා සම්මා සමාධිය පිහිටුවා ගන්න
සම්මා වායාමයෙහි යෙදෙන කෙනෙකුට
කර්ම විපාක දෙන්නෙ කොහොමද කියන ගැටළුව ගැන
වෙහෙසීම අවශ්‍ය නෑ.

ඔහු විදසුන් වඩන හැම මොහොතක්ම
කර්ම විපාක වලින් නිදහස්.
විදසුන් නොවඩන වෙලාවකට
යම් රාග ද්වේශ චේතනාවක් පහළ වුණොත්
ඔහු නිතැතින්ම ඒ චේතනාව ගැන සිහියෙන්
ඒ චේතනාව පිළිබඳව
උපේක්ෂාවෙන් පසු වෙනවා.
ඔහු තුළ ඇතිවුණ තණ්හාව
උපාදාන නොවුණ නිසා
කර්මය දුර්වලයි.

ඵුට්ඨස්ස ලොක ධම්මේහි
චිත්තං යස්ස නකම්පති අවස්ථාව,
අසෝකං, විරජං, ඛේමං...
රජසින් තොරව ක්ෂේම භූමියක වෙසෙන ඔහුට
කර්ම ප්‍රබලව රැස් වෙන්නෙ නැහැ..
අකුසල් දුරු වෙලා කුසල් රැස් වෙනවා.