20171230

ඉහළ හදන්න අමාරුයි. අපි පහළින් වැඩේ පටන් ගමු.-ජනපති මෛත්‍රී



අපට රජෙක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රටක
රජ කරන්නේ තනි පුද්ගලයෙක් නොවෙයි.
අද රජ කරන්නේ නයකයෙක් සහ
අගමැති, මැති ඇමතිවරුය.
අද රජ දරුවන් යනු
ජනපති අගමැති ඇතුළු
මැති ඇමතිවරුය.

අපේ රජ දරුවන් බහුතරය
කිසි සේත්ම ධාර්මික නොවන බව
රටවැසියන් වූ අපි දනිමු.

බලය අයුතු ලෙස යොදා ගන්නා
බලය ඇත්තෝ නීතියට යටත් නැත.
දේශපාලනඥයන් බොහෝ දෙනෙක්
හිසේ සිට නැට්ටටම අධාර්මිකය.
ඔවුන් අධාර්මික වන්නේ බලය නිසාය.
ජනතාව අධාර්මික වන්නේ
කවරෙකුගේ වරදින්ද?

මහණෙනි,
යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද,
එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති.
රාජපුරුෂයන් අධාර්මික වූ කල
බ්‍රාහ්මණ ගෘහපතිහු ද අධාර්මික වෙති.
බ්‍රාහ්මණ ගෘහපතීන් අධාර්මික වූ කල
නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති.

රට අධාර්මික වන්නේ හිසේ පටන්ය.
රට කුණ බහින්නේ කරටියේ පටන්ය.

බුදු වදන ප්‍රතිලෝමව බලන කල
රජ දරුවන් ධාර්මික වීම නිසා
මේ චක්‍රය අනෙක් පසට හැරිය යුතුය.
එහෙත් ඒ ක්‍රියාවලිය
පහසුවෙන් සිදු වන්නක් නොවේ.
ඉහළ පිරිසිදු කිරීමෙහි අසීරු බව
අද අප සියල්ලන්ටම රහසක් නොවේ.

මෛත්‍රී මේ සඳහා අලුත් යෝජනාවක්
ජනතාව හමුවේ තබමින් මෙසේ කියයි.
"ඉහළ හදන්න අමාරුයි.
ඒ නිසා පහළවත් හදාගන්න ඕනෑ.
අපි පහළින් වැඩේ පටන් ගමු.

මම බලාපොරොත්තු වෙන්නේ
හොඳට පොත පත කියවන,
පන්සල්, පල්ලි, කෝවිල් යන
දේශපාලනඥයන්.

මේ රට ගොඩනගන්න තිබෙන ලොකුම බාධකය
දේශපාලකයන් වැඩි පිරිසක්‌ දූෂිතයන් වීමයි·
දූෂණයෙන් තොර, පිරිසිදු දේශපාලනයක්‌ ගැන
අද හැමෝම කතා කරන්නේ
රටේ එවැනි දෙයක්‌ නැති නිසයි.

මේ පක්‍ෂයේ
මගේ සභාපති ධුරයෙන් පසුව
එතනට පත් වෙන්නේ
මගේ පවුලේ කෙනකු නොවේ.
ඒ අවස්‌ථාව දෙන්නේ ඔබටයි.

බාධක කම්කටොළු මැඩගෙන
ඔබ ජයග්‍රහණයේ මාවතට යන්න.
ජනතාවාදී වෙන්න. මිනිසුන්ගේ ඇස්‌වල කඳුළු දකින්න.
මිනිසුන්ට රටට ආදරය කරන දේශපාලනඥයකු වන්න.
බලයෙන් උම්මත්තක වන දේශපාලනඥයකු නොවන්න.·

මේ රට සංවර්ධනය කරන්න
අධ්‍යාත්මික සංවර්ධනයක්‌ අවශ්‍යයි.
එය ඔබට තිබෙනවා.
ඊට අවශ්‍ය මග පෙන්වීම අපි ඔබට ලබා දෙනවා."

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ
(දෙසැ 29 දා) පැවැති උත්සවයේදී...


-------------------------------------------------------------------------------

මේ ප්‍රාතිහාර්යය පෑම කළ හැකි නම් අපූරුය.
කළ නොහැකි වුවත් වෑයම් කිරීම පවා අපූරුය.

පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට යන ගමනේ දී
මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන් ද, මිතුරන් ද
නැත්නම් කවුද කියන එක මට ප්‍රශ්නයක් නොවේ යැයි
ජනපති මෛත්‍රී භගවත් ගීතාවේ සඳහන් වැකියක්
උපුටා දක්වමින් කීවේ 'නිදහසේ සම්මුතිය'
ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් BMICHහි දී
දෙසැ 28 පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

"අපි අද මෙහි දී ප්‍රකාශයට පත්කළ
නිදහසේ සම්මුතිය. කුමක් සඳහා ද?
සමාජය තුළ පුද්ගලයන්, සංවිධාන,
දේශපාලන පක්ෂ, ආයතන වල
විවිධ අදහස් සහ මත සමඟ නිවැරදි මතයක්,
නිවැරදි වැඩපිළිවෙළක්
නිවැරදි, සැලැස්මක් තුළ
සියලුදෙනාට එකඟවිය හැකි වැඩපිළිවෙළක්
සම්මුතියක් ඇති වෙනවා.

ගෙවීගිය දශක කිහිපයේ අපිට වඩා අඩු දියුණුවක් තිබූ රටවල්,
නිදහස ලබා ගන්නා විට අපි සිටි තැනට වඩා ආර්ථික වශයෙන්
සමාජයීය වශයෙන් අපිට වඩා අද ඉදිරියෙන් සිටිනවා.

අපිට උගතුන්ගෙන් කිසි අඩුවක් නැහැ.
රටක් වශයෙන් බුද්ධිමතුන්ගෙන් කිසිදු අඩුවක් නැහැ.
අපිට විද්‍යාඥයන්ගෙන් අඩුවක් නැහැ.
අපේ කියන දේ ඇගයීමට ලක් කිරීමට හැකි පිරිසගෙන්
කිසිදු අඩුවක් නැහැ.
මෑත අතීතයට අදාළව සළකා බැලීමේ දී
දක්නට ඇති බරපතළම ප්‍රශ්නය නම්
දේශපාලන ක්ෂේත්‍රයේ චරිතවල දක්නට ඇති
බරපතළ පිරිහීමයි.

අපේ රට දියුණු කරන්න,
යහපත් දේශපාලන චරිතවල අවශ්‍යතාවක්
අද ඇතිවී තිබෙනවා.
රටට ආදරය නොකරන රට ගැන නොහිතන,
දූෂණය, වංචාව, නාස්තිය සිදුකරන පිරිසක්
තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අනුව
කටයුතු කරනවා.

දේශපාලනය කරන කිසිදු පුද්ගලයකුට
පුද්ගලික න්‍යාය පත්‍රයක් නොතිබිය යුතුයි.
දේශපාලනය කරන සෑම කෙනෙකුටම තිබිය යුත්තේ
රට, රටේ අනාගතය, ජාතියේ අනාගතය සහ
ජනතාවගේ අනාගතය සඳහා වූ
පොදු ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් පමණයි.
ඒ තුළ අපි අපේ මේ සම්මුතීන් ඇති කර ගත යුතු වෙනවා.

බොහෝ සමාජ ප්‍රශ්නවලදි,
උදාහරණයක් විදියට මත්ද්‍රව්‍ය වැනි ප්‍රශ්නයක් ගත්තොත්
අපි කියනවා අපිට දැන් වැඩිහිටියෝ හදන්න අමාරුයි.
ඒ නිසා පොඩි ළමයි ටිකවත් හදාගමු කියලා.
ඒ නිසා අපි පාසල් දරුවන්ගෙන්
එවැනි දේවල් පටන් ගන්නවා.
ඒ වගේම
දේශපාලන වශයෙන් රාජ්‍ය පාලනය තුළ
ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුව, පළාත් සභා,
සහ පළාත් පාලන ආයතන කොටස් 04 ක් තිබෙනවා.
පොඩි තැනින් පටන් ගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

පළාත් පාලන ආයතන තුළින්
අපි බලාපොරොත්තු වෙන්නේ
මේ රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන,
දූෂණයට වංචාවට නාස්තියට
කිසිසේත් හිස නමන්නේ නැති
අවංක, සෘජු මේ රටේ අනාගතය වෙනුවෙන්
යහපත් සුබවාදී ගමනක් සඳහා
දේශපාලන නවකයන් පිරිසක් ගොඩ නගා ගැනීමයි.

භෞතික වශයෙන්
රටක් කොතරම් සංවර්ධනය වුණත්
ඒ රටේ මිනිස්සු තුළ
ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් නැත්නම්
ආධ්‍යාත්මික වශයෙන්
මිනිසුන්ගේ ගුණවගාවක් ගොඩනැගිලා නැත්නම්
ඒ රට යහපත් රටක් කියලා
කියන්න පුළුවන් කමක් නැහැ.

අපේ රටේ භෞතික සම්පත් සංවර්ධනය
ශක්තිමත් කළ යුතු වගේම
අපේ රටට දේශපාලන වශයෙන් ආධ්‍යාත්මිකව සිතන
යහපත් සිතුවිලි සමඟ මිනිස්සු ගැන හිතන
මිනිස්සුන්ට ආදරය කරන
අවංක පිරිසකගේ අවශ්‍යතාව
අද එන්න එන්නම වැඩි වෙලා තිබෙනවා.

ඩී.එස්. සේනානායක මැතිතුමා,
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා,
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය,
ඩඩ්ලි සේනානායක මැතිතුමා
ඒ යුගයන්වල මේ රට ඉදිරියට ගෙනියන්න
ඉතාමත් අවංකව කැපවුණ
දේශපාලන නායකයන්ගෙන් සැදුණු
දේශපාලන ව්‍යාපාර ගොඩනැගිලා තිබුණා.
නමුත් පසුකාලීනව
අපේ දේශපාලන ක්ෂේත්‍රයන් අපිරිසිදු වුණා.
මනාප ඡන්ද ක්‍රමය
අපේ රටේ ප්‍රතිපත්ති දේශපාලනය වළ දැම්මා.
මූලික වශයෙන්ම ප්‍රතිපත්ති දේශපාලනය බැහැර වීම
විශාල ප්‍රශ්නයක් වුණා.
පුද්ගලයන් ගොඩනැ‍ඟීම, පුද්ගලයන් නගාසිටුවීම,
පුද්ගලයන් පිළිබඳ කතා කිරීම,
දේශපාලන දර්ශන, ප්‍රතිපත්ති දැක්ම යටපත් වුණා.
එයින් තමයි බරපතළ ලෙස සමාජ පිරිහීම් ඇති වුණේ.
අපේ දේශපාලන සංස්කෘතිය විශාල වශයෙන් අගාධයට වැටුණා.

අපිට අද ඇති වෙලා තිබෙන
යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව තුළ
රටේ අනාගත පැවැත්ම තිබෙන නිසා
මෙම පළාත් පාලන ආයතන තුළින්
මේ පුංචි ආයතන, මේවා ගමේ ආණ්ඩු. නගරයේ ආණ්ඩු.
පළමුවෙන් අපි හදා ගන්න ඕනෑ.

මම ඒකයි කිව්වේ ඉහළ හදන්න අමාරුයි.
ඒ නිසා පහළවත් හදාගන්න ඕනෑ කියලා.
ඒ නිසා පහළින් අපි වැඩේ පටන් ගමු.
රටක් විදියට අපිට කාලය තිබෙනවා.
රටක් විදියටත අපි පසුතැවිලි වෙන්න හොඳ නැහැ.
අපි අභියෝග භාර ගන්න ඕනෑ.
අපි අවදානම භාර ගන්න ඕනෑ.

ව්‍යවස්ථාව නීතිය කෙසේ තිබුණත්
ඒ තුළ වඩාත් යහපත් වෙන්නේ
ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයන් තුළ තිබෙන
චරිත ලක්ෂණයි කියන එක ඉතාම පැහැදිලියි.
ඒ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා
මේ සම්මුතිය ප්‍රකාශයට පත් කළේ මේ සම්මුතිය ඉදිරිපත් කළේ
යහපත් අනාගත දේශපාලන දැක්මක් සඳහා.
යහපත් දේශපාලන ව්‍යාපාරයකට
පිරිසිදු නිර්මල දේශපාලන ව්‍යාපාරයකට
අවශ්‍ය පිරිසක් ගොඩනගාගැනීම සඳහා.

ඒ පිරිස ගොඩනැ‍ඟෙන්නේ නැතිව
අපි බලාපොරොත්තු වන සමාජ පරිවර්තනය
මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ.
මේ රට යහපත් ආර්ථිකයක් ඇති සමෘද්ධිමත් රටක් විදියට
ලෝකයේ ප්‍රබුද්ධ රටක් විදියට ගොඩනැ‍ඟීමේ අභියෝගයට
සැමවිටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඒ අභියෝගය අපි ජයගත යුතු වෙනවා.
ඒ අභියෝගය අපිට ජයගන්න පුළුවන්කම තිබෙනවා.

යහපත් චරිත, ආදර්ශය, හික්මීම, නීතිගරුකවීම
මැතිවරණ නීතිවලට එකඟව කටයුතු කිරීම
ඉතාමත් වැදගත් වෙනවා.

ලිච්ඡවි රජ දරුවන් පිළිබඳ අපි අහලා තියෙනවා,
දසරාජ ධර්මය පිළිබඳ, ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා පිළිබඳ,
අශෝක අධිරාජ්‍යයාගේ ධාර්මික ප්‍රතිපත්ති පිළිබඳ අපි අහලා තිබෙනවා.
අපේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගතහොත් රාජාවලිය ගතහොත්
ඉතාමත් දැහැමි රජවරු මේ රට පාලනය කරපු යුගයන් පිළිබඳ
අප අසා තිබෙනවා.

ඒ නිසා අපි අපේ රට ලෝකයේ ප්‍රබුද්ධ රටක් විදියට,
ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ඉදිරියට ගෙනයන්න
එම අභියෝගය ජයග්‍රහණය කිරීමට ඉතාම අවශ්‍ය වන්නේ
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා කැපවූ
පවිත්‍ර, කිළිටි වුණේ නැති,
කිළිටි වෙන්නේ නැති දේශපාලන පෙරමුණක් එක්ක
පැහැදිළි දේශපාලන ව්‍යාපාරයක නායකයන් පිරිසක්.
එම පිරිස ගොඩනගන්න පුළුවන් මෙතනින්.
ඒ සඳහා කැපවෙමින් අපේ යුතුකම් සහ වගකීම් ඉටු කරමු

“මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන් ද, මගේ මිත්‍රයන් ද,
මගේ හිතවතුන් ද, කවුරුන්ද දන්නේ නැහැ.
එහෙත්, ඒ ඕනෑම කෙනෙක් කැපී යයි.”
භගවත් ගීතාවේ එසේ සඳහන් වෙනවා.

මට කියන්න තියෙන්නෙත්
මොන පක්ෂයේ, මොන වර්ණයේ ද, කාගේ ද,
මගේ ඥාතීන් ද, කවුද කියන ප්‍රශ්නය නැහැ.
පිරිසිදු පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා
මගේ කඩුවට කවුරු කැපෙයි ද කියන එක කියන්න බැහැ.
ඕනෑම කෙනෙක් කපන්න සිද්ධ වෙනවා.
එය කරන්නට වෙන්නේ ජාතියේ අනාගතය සඳහා.
රටේ අනාගතය සඳහා අද දවසේ මෙන්ම හෙට දවසේ
අප සියලු දෙනාම කැප විය යුතු වෙනවා.

ජනතාවාදී වෙන්න. මිනිසුන්ගේ ඇස්‌වල කඳුළු දකින්න.
මිනිසුන්ට රටට ආදරය කරන දේශපාලනඥයකු වන්න.
බලයෙන් උම්මත්තක වන දේශපාලනඥයකු නොවන්න.
බාධක කම්කටොළු මැඩගෙන
ඔබ ජයග්‍රහණයේ මාවතට යන්න.