20160913

විපස්සනාවේ දවසක...


විපස්සනාවේ දවසක...
උදෑසන දං වේලාව සඳහා සිනු නාදය ද සමඟ, සේපාලිකා ගස යටින් විහිදුණු පඩි පෙළ දිගේ, සියල්ලෝම ශාන්තව පියමනිති.
සුදු වතින් සැරසී, පහළට බරව ඇති නෙත් ඇති, සියල්ලන් සන්සුන් ය..
එසැවෙන පය,වියළී ගිය දිය සෙවෙල් සහිත සිමෙන්ති පඩියෙහි ගැටෙනු ද, පා ඇඟිළි සෙලවෙනු ද, මාංශ පේශින් හැකිළෙනු ද, යළි දිගහැරෙනු ද දැනෙයි.. හැඳ සිටි සුදු වත,සිරුර පුරා ඇතිල්ලෙනු, යළි නිදහස් වනු ද දැනෙයි..
සමනළ කන්ද දෙසින් එන හිරු රැස්,නිරුවත් දෙ අත් හා මුහුණෙහි ගැටී, ගෙනෙන්නේ මඳ උණුසුමකි. හමා යන සිහින්... සුළඟ , විටින් විට ඒ හා හැපෙමින්, උණුසුම හා සිසිලස මොහොතකට මාරු කරවයි.
හාත්පස, කුරුල්ලන් හා ලෙහෙනුන් ගේ හඬ හැරුණුවිට, අන් සියල්ල නිහඬය.. ගස් අතු පතර සෙලවෙනු ද, කොළ ගිලිහී, පහළ අතුවල හැපෙමින් විත් පොළවට වැටෙන හඬ ද ඇසෙයි..
කොංක්‍රීට් පාර දෙපස ඇති තෘණ පිටියේ, ඊයේ රෑ පතිතවූ පිණි බිඳු ය. මොහොතකින් වියළී යාමට සැරසෙන ඒවා ද, ගිලිහී වැටුණු කොළයෙන් පවා පෙනෙන්නේ ධර්මයයි..
උප්පාද වය..
ඒ දකිනවිට, පහළට බරවූ මුහුණෙහි, අභ්්‍යන්තරයෙන් මතුවූ, වර්ගීකරණය කිරීමට අපහසු සියුම් සිනහවක්, මහ පොළව දෙසට එල්ලවී මතුවනු දැනේ..
(පසු කලෙක, ජීවිතයේ බොහෝ ප්‍රශ්ණ ඉදිරියෙහි, මෙම සිනහව ම මහා පිළිතුරක් සේ මතුවේ.. )
තේ කෝප්පය අතට ගත් සැණින්, අතැඟිළි ඔස්සේ උණුසුම දැනෙන්නට වෙයි.
ඒ මුවට ළං කිරීමට මොහොතකට පෙර, ඉන් නික්මෙන උණුසුම් වායු ධාරාව, දෙකම්මුල් වලින් අඩක් ද, නළලතින් අඩක් ද සියුම් වාෂ්පයකින් තෙත් කරමින් මතුවේ..
ඉක්බිති, සුසුම් හා කැළඹී, මුහුණ මත දැනෙන රටාව කළඹාලයි..
පැණි රසය ද, කහට රසය ද, ඒ අසලින් ම ඉඟුරු රසය ද මුසු තේ උගුර, තත්පර කිහිපයකට දිව ප්‍රණීත කොට,ගෙල දිගේ සියුම් රත් වීමක් ද සමඟ, කුස උණුසුම් කරනු දැනේ..
උප්පාද වය....
දෙවැනි උගුරට පෙර, පළමුවැන්න විඳිය යුතුය..
මින් පෙර, මෙවන් අත්දැකීමක් කුඩා කලට පසු මතක නැත..
දන්නේ, තේ කෝප්පය වත්කර ගත් බව ද, එය කෙසේ හෝ හිස් වී ඇති බව ද පමණි..
ධර්මය ඇත්තේ, ජීවිතය විඳවීමෙන් තොරව විඳීමට ය..
අල්ලාගැනීම තුළ, පළමුවැන්න ළං කරගත් පසු, මුළු සිහියම දෙවැන්න හා තෙවැන්න ළන් කරගැනීම ගැන ම පමණි..
මුළු ජීවිතයම, මෙසේ විඳිය හැකි නම් අපූරුය.
ඒ සිහිය, දැන් වෙනස්වී ගොසිනි..
උප්පාද වය..
( දින කීපයකට පෙර ලත් අත්දැකීමක්. )
2016 09 13 Facebook