තිස්ස ප්‍රේමසිරි ඉරිදා ලක්බිම 2014-07- 27
අපට තිබෙන්නේ ලේඛකයින් වැඩි වෙද්දී
පාඨකයන් අඩුවෙන සාහිත්‍යයක්
සුප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශක - ප්‍රේම් දිසානායක
සුප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශක - ප්‍රේම් දිසානායක
ලේඛකයකු හෝ ලේඛිකාවක සිය කෘතියක් ප්‍රකාශයට පත් කිරීම යනු බොහෝ විට සිය ජීවිත අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීමක් වන්න පුළුවන්. මෙම කාරණය පොත් ප්‍රකාශකයෙකු ලෙස ඔබ දකින්නේ කොයි ආකාරයටද..?
ඔබ පවසන ආකාරයට එය ලේඛකයෙකුගේ ජීවන අපේක්ෂාවක මල් ඵල දැරීමක් වන්නට පුළුවන්. නැතිනම් ඔහුගේ සිහිනයක් සැබෑවීමක් වන්නට පුළුවන්.
නමුත් එය ලේඛකයාගේ සිහිනයක් වූ පමණින් සාර්ථකවන කටයුත්තක් නොවෙයි. මේ කාරණයත් සමග සම්බන්ධ වන තවත් විශාල පිරිසක් සිටිනවා. ඒ තමයි පොත කියවන පාඨක පිරිස. අන්න ඒ පාඨක පිරිසට සාධාරණයක් යුක්තියක් ඉෂ්ට වෙනවද යන කාරණය සලකා බැලීමෙන් පසුවයි පොතක් ප්‍රකාශයට පත් කළ යුත්තේ. ඒ අනුව ඇත්ත තත්ත්වය නම් පොතක් ප්‍රකාශයට පත් කිරීම යන කාරණය විශාල වගකීමක් සහිත කටයුත්තක් බවයි.
නමුත් අද දවසේ ප්‍රකාශයට පත්වන බොහෝ කෘතීන් දෙස බලන විට පාඨක පිරිසට ඔබ කියන ආකාරයේ යුක්තියක් සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්නට නැහැ නේද...?
ලංකාවේ දැන් පොත් ප්‍රකාශවන ආකාරය දෙස බලන විට එය ඉතාමත් සරල දෙයක් බවට පත් වී ඇති බව පෙනී යනවා. බොහෝ පිරිස් මෙම උදාර වගකීම ගැන නොතකමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයක් රට තුළ නැහැ. ඒ නිසා අද ඕනෑම කෙනෙකුට පොත් කර්තෘ කෙනෙකු වන්නට පුළුවන්. පොත් ලියන්නට පුළුවන් ඕනෑම කෙනෙකුට සල්ලි තියෙනව නම් පොතක් ගහන්ඩ පුළුවන්.
ඔබ මෙතනදී ලියන්න පුළුවන් කියා අදහස් කළේ කුමක්ද...?
මොනවා හෝ ලියන්නට පුළුවන් වීම. හොඳට හෝ නරකට. මොකද අද ප්‍රකාශයට පත්වන පොත් ඉතා වැඩි හරියකින් පිළිබිඹු වෙන්නේ මේ තත්ත්වය. හරි ප්‍රමිතියකට අනුව පොතක් පළ වීම අද හැමවිටම සිදුවන්නේ නැහැ. මෙය හරිම ඛිෙදජනක තත්ත්වයක්.
ඔබ මෙහිදී පොතේ ප්‍රමිතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද...? එහි භෞතික ස්වභාවයද අන්තර්ගතයද...?
මේ කාරණා දෙකම. තාක්ෂණික දියුණුව ආදී කරුණු හේතුකොටගෙන පොත් ප්‍රකාශනයේ භෞතිකව තිබූ අඩුපාඩු අද වන විට වියැකෙමින් පවතිනවා. නමුත් පොත්වල ඇති අන්තර්ගතයේ ගුණාත්මක භාවය සහ පොතකින් සමාජයට ඉටු විය යුතු වගකීම යන කාරණා පිළිබඳ ප්‍රශ්න තවමත් ඉතිරි වී තිබෙනවා.
මෙයට හේතුව ලෙස ඔබ දකින්නේ මොන වගේ කාරණාවක්ද...?
මූලිකම කාරණය ඒ සඳහා නිශ්චිත ප්‍රමිතියක් නොමැති වීම. අද වන විට ලංකාවේ අනෙක් සෑම දෙයකටම වාගේ ප්‍රමිතියක් තිබෙනවා. වෙනකක් තබා බනිස් ගෙඩියක් හදන විට පවා. ඒ අතර ප්‍රමිතියක් නැති එකම කාරණය තමයි පොත් ප්‍රකාශනය.
එවැනි ප්‍රමිතියක් නැති නිසා බොහෝ අවිචාරවත්ව කටයුතු කරන ලේඛකයින් පිරිසක්ද බිහි වී සිටිනවා. ඒ වාගේම ප්‍රකාශකයින් පිරිසක්ද සිටිනවා. සමාජයට අවැඩදායක බොහෝ දේවල් සිදුවන්නේ ඒ හරහා. ඒ නිසා අපරටේ පොත් ප්‍රකාශනය උදෙසා ප්‍රකාශන රීතියක්, ප්‍රකාශන සම්ප්‍රදායක් මෙන්ම ගුණාත්මක එකඟතාවයක් වහාම ඇති විය යුතුයි.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, සාහිත්‍ය අනුමණ්ඩලය ආදී ආයතනවලින් මේ සඳහා වැඩපිළිවෙළක් සකස් වී නැතිද...?
ඒ අයට වගකීමක් තියෙනව මේ තත්ත්වය නිසි මගට යොමු කරවීමට. නමුත් මේ තත්ත්වය ගැන හරි දැක්මක් ඇතිව කටයුතු කරන බවක් පේන්නට නැහැ.
ඔබත් ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශකයන්ගෙන් කෙනෙක්. පොත්පත්වල ගුණාත්මක භාවය දියුණු කිරීම උදෙසා ඔබගේ දායකත්වය ලබා දෙන්නේ කොයි ආකාරයටද...?
මට මෙතනදී කරන්නට පුළුවන් වන්නේ ඉතාමත් අංශු මාත්‍රයක් පමණයි. එය සම්පූර්ණයෙන්ම කළ හැකි වන්නේ අපි සියල්ලන්ම එකඟ විය හැකි නිශ්චිත ප්‍රමිතියක් යටතේ මේ කටයුත්තේ යෙදීමෙන්.
එම සද්කාර්යය සඳහා ප්‍රකාශකයෙකු අතින් මූලිකව සිදු විය යුත්තේ කුමක්ද...?
ආධුනික හෝ වේවා පරිණත හෝ වේවා කිසියම් ලේඛකයෙකු පොතක් ලියාගෙන පැමිණි විට ප්‍රකාශකයා ඒ ගැන විචාරාක්ෂියෙන් බැලිය යුතුයි. මූලික වශයෙන් තීරණය කළ යුත්තේ එය පළකිරීමට සුදුසුද නැතිද යන්නයි. පළකිරීමට සුදුසු නම් එහි අන්තර්ගතයේ ඇති දුබලතා ආදියත් ව්‍යාකරණ ආදියේ ඇති සදොස් තැන් නිදොස් කර ගැනීමත් කළ යුතුයි. කර්තෘට පරිබාහිරව තව සුදුසුකම් සහිත පුද්ගලයකු හෝ පිරිසකගේ සමීක්ෂණය යටතේ මේ පොත් සංස්කරණය විය යුතුයි.
ඔබ පවසන පරිදි හැඟී යන්නේ අප රටෙහි එසේ නොවන බවයි. අසීරු දෙයක් නොවන මෙය අප රටේ සිදු නොවන්නේ ඇයි..?
මෙහි ඇති අභාග්‍ය සම්පන්නම කාරණය වන්නේ බොහෝ අය පොතක් පළ කිරීමේදී එවැනි දායකත්වයක් ලබා ගැනීමට අකමැති වීම.
මේ අකැමැත්ත ලේඛකයන්ගේද ප්‍රකාශකයන්ගේද..?
බොහෝ විට දෙගොල්ලම අකමැතියි. තමන් විසින් ලියන ලද දේ ඉෂ්ඨාර්ථ සිද්ධියෙන්ම හරියි කියල හිතන උඩඟු මානසිකත්වය සහිත ලේඛකයින්ද අප අතර සිටිනවා. එවැනි අය තමන්ගේ දේ තුළ කිසිවෙකු හරි වැරදි දකිනවාට කැමැති නැහැ.
නමුත් එවැනි අය විසින් සමාජය තුළ වපුරන ලද මිථ්‍යාවන් බහුල ලෙස සමාජ ගත වීම නිසා සමස්ත සමාජයම වල්මත් වුණ අවස්ථා තිබෙනවා. අද දවසේ ශාස්ත්‍රීය ග්‍රන්ථවල පවා ප්‍රමිතියක් නැති වී තිබෙන්නේ මේ හේතුව නිසයි. පුවත්පතක ඕනෑම කෙරුම්කාරයෙකු ලියන ලිපියක් පවා පළවන්නේ එහි සිටින උප කතුවරුන් අතින් සංස්කරණය වීමෙන් පසුවයි. නමුත් පොතකට එහෙම නැහැ. ලිව්වා ගැහුවා. එසේ ලිව්වා ගැහුවා වුණත් එවැනි කෘති සම්මානයට පාත්‍ර වී පූජනීය තත්ත්වයට පත් වී තිබෙනවා. පත්තරවල සිටින මාධ්‍යවේදීන්ට නැති ගෞරවයක් මෙවැනි පොත් ලියන අයට ලැබි තිබෙනවා. එයයි අද තත්ත්වය.
මේ සඳහා යම් කිසි නීති රීති පද්ධතියක් තිබිය යුතු යැයි ඔබ අපේක්ෂා කරනවාද...?
නීතියක් නොවෙයි. ක්‍රමවේදයක් තිබිය යුතුයි. ලේඛකයන් මෙන්ම ප්‍රකාශකයන් තුළද ස්වයං වාරණයක් තිබිය යුතුයි.
ඔබ පොත් ප්‍රකාශනය අරඹා කොතෙක් කාලයක්ද..?
වසර 15ක් පමණ.
අද වන විට කොතරම් පොත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර තිබෙනවාද..?
පොත් 500කට අධික ප්‍රමාණයක්.
ඒ අතර වැඩියෙන්ම අලෙවි වූ පොත කුමක්ද...?
කාන්තාරයේ කුසුම නමැති පරිවර්තන කෘතිය. එය රංජිත් කුරුප්පුගේ පරිවර්තනයක්.
දැන් එය කොපමණ වාර ගණනක් මුද්‍රණය කර තිබෙනවාද..?
දැනට එය පවතින්නේ 27 වෙනි මුද්‍රණයේ.
පිටපත් වශයෙන් ගතහොත්...?
27,000ක් අලෙවි වී තිබෙනවා.
පරිවර්තන සඳහා අද පාඨකයන්ගේ විශේෂ අවධානයක් තිබෙනවාද..?
එයත් එක් සමාජ ප්‍රවණතාවක් පමණයි. මේ සමාජය තුළ එක එක කාලවල මොනවා හෝ පොඩි රැළි නැගෙන්න පටන් ගන්නවා. ඒවා සංගීත, ඇඳුම් නිර්මාණ, මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්, සමාජීය සිරිත් විරිත් ආදී සියලු කාරණාවලට බලපානවා. අන්න ඒ වගේ දෙයක් තමයි අද දවසේ පරිවර්තන සඳහා ඇති වී තිබෙන මේ රැල්ලත්.
සාහිත්‍ය පරිවර්තන කාර්යය ඔබ කියන තරම්ම ලඝු කළ හැකිද...?
මා පැවැසුවේ අද රැල්ලක් මෙන් ඇති වී තිබෙන පරිවර්තන බිහිවීම් ගැන පමණයි. බැද්දේගම, සුදුවැද්දා, වනසරණ, සාරභූමි ආදී කෘතීන් අපට කිසිදා අමතක කරන්න බැහැ. ඒවා විශිෂ්ට පරිවර්තන. ඒ.පී. ගුණරත්නයන් විසින් පරිවර්තනය කළ බැද්දේගම ස්වතන්ත්‍ර නිර්මාණයක් තරමට අපට සමීපවන්නේ එහි පරිවර්තන විශිෂ්ටත්වය නිසා. නමුත් ඒ හරහා පරිවර්තන රැල්ලක් බිහි වුණේ නැහැ.
මා මෙතන සඳහන් කළේ අද බිහි වී තිබෙන අලෙවිය හඹාගෙන යන පරිවර්තන කලාව ගැනයි.
ඒත් කලෙක මහගම සේකර, අජිත් තිලකසේන, සිරි ගුනසිංහ, ජී.බි. සේනානායක ආදීන් විසින් ඇති කරන ලද නව ආකෘතීන් අපේ සාහිත්‍යයේ ප්‍රගමනයට හේතු වුණා නේද..?
අද එවැන්නක් නැහැ. තිබෙන්නේ අප නස්පැත්තිය කරා රැගෙන යන රැළි පමණයි.
චරිතාපදාන සඳහා සාහිත්‍ය ලෝකයේ ඇති ඉල්ලුම කොයි ආකාරද..?
ඇත්තෙන්ම ඕනෑම රටක සාහිත්‍යයේදී විශිෂ්ටතම ස්ථානය හිමි විය යුත්තේ චරිතාපදානවලටයි. මොකද චරිතාපදානයක් ලියවෙන්නේ විශිෂ්ට පුද්ගලයෙකුගේ ජීවන තොරතුරු ඇසුරින්. ඔහු හැම විටම පාහේ සමාජයට වැදගත් දෙයක් ලබා ගන්නට හැකි ආදර්ශමත් පුද්ගලයෙක්. චරිතාපදාන ලිවීම සඳහා විශේෂ කැපවීමක් කරනවා නම් එය අයාලේ යන මේ සමාජය යම් පමණකට හෝ ගොඩ ගැනීමට රුකුලක් වේවි. නමුත් අවාසනාවකට මෙන් අප රටේ චරිතාපදාන ලියැවෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඇත්තෙන්ම කියනවා නම් ලියවෙන්නෙම නැති තරම්.
එයට හේතුව සුදුසු චරිත නැතිකමද..? ලේඛකයින් නැතිකමද?
ලියන්නෙ නැතිකම.
අපේ රට තුළ විද්‍යා ප්‍රබන්ධ, රහස් පරීක්ෂක නවකතා ආදිය ලියැවනවාත් ඉතා අඩුයි. ඇයි ඒ..?
විද්‍යා ප්‍රබන්ධයක් රචනා කිරීම සඳහා ඉහළම පරිකල්පන ශක්තියක් හැරුණු විට විද්‍යාව පිළිබඳ මූලික දැනුමක්වත් අත්‍යවශ්‍යයි. ඒ වගේම රහස් පරීක්ෂක නව කතාවක් ලියන්නෙකු රහස් පරීක්ෂකයකු, මංකොල්ලකාරයෙකු, හොරෙකු ආදී වශයෙන් එම චරිත ගැන බොහෝ අත්දැකීම් සහ එම සියලු චරිත තමා තුළ ගොඩ නගා ගත හැකි අයෙකු විය යුතුයි. එවැනි ගවේෂණශීලී ලේඛකයන් අප අතර ඇත්තේම නැති තරම්.
අද දවසේ බුදු දහම ගැන ලියැවුණු පොත්පත්වලට විශාල ඉල්ලුමක් තිබෙන බව කියැවෙනවා. එය ඇත්තක්ද..?
ජනතාව බුදු දහම කෙරෙහි යොමු වීම ඉතා හොඳ කාරණයක්. නමුත් බොහෝ අය එය තුළින් බලාපාරොත්තු වන්නේ භෞතික ලෝකය ගොඩ නගා ගැනීම ගැන මිස ලෝකෝත්තර ආධ්‍යාත්මික සුවයක් සාක්ෂාත් කර ගැනීම නොවෙයි. එයත් අද දවසේ තවත් රැල්ලක් බවට පත් වී තිබෙන බවයි පෙනී යන්නේ.
එතකොට ඓතිහාසික නවකතාවලට ඇති තැන කොහොමද..? අද විජයබා කොල්ලය වැනි රසවත් නවකතා නොලියවෙන්නේ ඇයි..?
ඉතිහාසයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හොඳ ඓතිහාසික නවකතාවක් ලියන්න විශිෂ්ට ගණයේ පොත් පත් 10ක් 15ක් වත් හොඳින් කියවන්න ඕනෑ. අතීතයේ වගේ ඒ සඳහා මහන්සි වෙන පිරිසක් අද නැහැ. එදා එම ලේඛකයින් ඓතිහාසික කතා ලියනු ලැබුවේ ඉතිහාසය ගැන තිබුණ ගෞරවණීය අභිමානයත් සමග සමාජ යුතුකමක් ඉටු කිරීමේ අදහසත් පෙරදැරි කරගනිමිනුයි.
වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න එක් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී ළමයින් සඳහා වූ පොතක් පෙන්වා එහි වැරදි ගණන සඳහන් කළා. එවැනි පොතපත තනහම් කරන නීති රීති නැතිද..?
එවැනි නීති රීති තිබිය යුතුයි.
අද තිබෙන නවකතා ගැන ඔබේ අදහස මොකක්ද..?
වසරකට බිහිවෙන හත අටක් හැර අනෙක් බොහෝ ඒවා පල් හෑලි.
රූපවාහිනිය සිනමාවට වගේ සාහිත්‍යයටත් බලපෑවාද..?
රූපවාහිනිය කිසිදේකට බලපෑවේ නැහැ. එය බලහත්කාරයෙන් මිනිසුන්ගේ ඇඟේ උලන දෙයක්.
මිනිසුන්ගේ රසඥතාවය අඩුවීම ගැන වගකිවයුත්තේ කවුද..?
තමන්ගේ ඩියුටිය හරියට නොකර නිකම් බලා සිටි සියලුම කලාකරුවන් ඒ සඳහා වගකිවයුතුයි.
කලා කෘති ලෙස මොන විදියේ අඩුපාඩු තිබුණත් පියදාස සිරිසේන ලියූ ජයතිස්ස සහ රොසලින් වැනි නවකතා සමාජය තුළ මහත් බලපෑමක් ඇති කරන්නට සමත් වුණා. අද එවැනි කෘති නැතිද..?
නැති තරම් යැයි කිව හැකියි. එදා සමාජය අද තරම් ගරා වැටීමකට ලක් වී තිබුණේ නැහැ. සමාජ යුතුකම් ගැන අවබෝධයක් තිබුණා.
ජයතිස්ස සහ රොසලින් වැනි පොත් පත් නිකුත්වන යුගයේ සාමාන්‍යයෙන් පොතක පිටපත් කීයක් මුද්‍රණය කළාද...?
25,000ක් පමණ මුද්‍රණය කළා. පසුව එය ඩබ්.ඒ. සිල්වාගේ යුගයේ පිටපත් 10,000 දක්වාත්, කරුණාසේන ජයලත්ගේ කාලයේ 5000 සීමාවටත් පැමිණුනා.
සාමාන්‍යයෙන් අද දවසේ පොතක් පිටපත් කීයක් මුද්‍රණය කරනවාද..?
පිටපත් 1000යි. 500, 250 බැගින් මුද්‍රණය කරන අවස්ථාත් තිබෙනවා.
ජාත්‍යන්තර පොත් සල්පිලට එන ජනතාව දුටු විට සිතෙන්නේ අප රටේ මිනිසුන් මේ
තරම් පොත්පත් කියවනවාද කියා..? ඇත්තටම මිනිසුන් ඒ තරම් පොත් කියවනවාද..?
කියවන්නෙ නැහැ. පොත් ගන්නවා විතරයි. මිනිස්සු පොත්වලට ආසයි. ආසාව නිසා ගන්නවා. නීරස නිසා නොබලා අත්හරිනවා.
ඔබ සමග මෙතෙක් කළ කතාබහ අනුව පෙනී යන්නේ මතුපිටින් මොනතරම් පොත්පත් ගොඩ ගැසී තිබුණත් ඇත්තටම මිනිසුන් පොත්පත් කියවීමෙන් ඈත්වෙන බවයි. මිනිසුන් පොතපතට යළි ළංකර ගන්නේ කොහොමද..?
මේ සඳහා කරනු ලබන සියලුම විජ්ජුම්බරවලට වඩා වැදගත් වන්නේ පාසල් මට්ටමින් පාඨක සමාජ බිහි කර, සම්මන්ත්‍රණ, රචනා තරග, දේශන ආදිය මගින් නව පාඨක පරපුරක් බිහි කිරීමයි.
අපි වැඩිපුර කතා කළේ ප්‍රකාශකයා ගැන. ලේඛකයා කොයි ආකාර සත්වයෙක් විය යුතුද..?
හැම ලේඛකයෙකුටම පාඨක රැස් වළල්ලක් තිබෙනවා. සිදුවිය යුතුව ඇත්තේ ඒ රැස් වළල්ල වඩාත් ප්‍රසාරණය කර ගැනීමයි. නමුත් දැන් සිදුවෙන්නේ මෙය එන්න එන්නම සංකෝචනය වීමයි.
දැන් බලන්න ඔය පිටපත් 25,000, 10,000 විකුණන කාලෙ අද තරම් විද්‍යායතන තිබුණෙ නැහැ. මෙච්චර විශ්වවිද්‍යාල තිබුණෙ නැහැ. මේ තරම් සාහිත්‍ය උත්සව තිබුණෙ නැහැ. සම්මාන උත්සව තිබුණේ නැහැ. මේ කිසිවක් නැතිවයි පාඨක පිරිස රඳා පැවතුණේ. අද තිබෙන්නේ ලේඛකයින් වැඩි වෙද්දී පාඨකයන් අඩුවෙන සාහිත්‍යයක්.
පාඨකයා ගැන ඔබේ අර්ථ දැක්වීම කොහොමද..?
අප රටේ සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ අඩුවෙන්ම සැලකීමට ලක්වන පුද්ගලයා ඔහුයි.
කා අතින්ද මේ නොසැලකීම සිදුවන්නේ...?
පොත් ප්‍රකාශකයා, සහ පොත් වෙළෙන්දා අතින්ද මෙන්ම සමස්ත සමාජයෙන්ම. මිනිස්සු පොත් ගහන්නෙ, සම්මන්ත්‍රණ තියන්නේ, මුද්‍රණාල පවත්වාගෙන යන්නෙ ඔය සේරම කරන්නෙ පාඨකයා නිසා. නමුත් අපි කාටවත් ඒක පේන්නෙ නැහැ.
දැන් අපට අවශ්‍යයි ඉතා සාම්ප්‍රදායික ප්‍රශ්නයකට ඔබෙන් අලුත් පිළිතුරක් ලබා ගන්න. ඒ තමයි කවි සහ කෙටිකතා පොත් විකිණෙන්නෙ නැහැයි කියන එක.
කවිය යනු මිනිසාගේ උපතේ සිට මරණය දක්වා එකට බැඳුණු දෙයක්. ඒ කියන්නෙ දොයි දොයි දොයි දොයිය බබා යන නැලවිලි ගීතයේ සිට මියගිය පසු කියන වෙස්සන්තර ජාතකය දක්වා කවිය අප සමග බැඳුණු දෙයක්. ඒ නිසා එය අපට ආගන්තුක නැහැ. නමුත් අද කවි යැයි තිබෙන දේවල් දෙස බලන විට ඒවා පාඨකයා ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවේ. මොකද ගද්‍ය වාක්‍යයක් හතරට කඩා ලිවීම කවියක් නොවන නිසා.
ඒ එක පැත්තක්. අනෙක් පැත්ත වන්නේ පොත් සාප්පු හිමියා කවි සහ කෙටිකතා වෙනුවෙන් තම රාක්කයේ ඉඩක් වෙන් නොකිරීම. අද තිබෙන්නේ දැකලා බඩු ගන්නා සමාජයක්. සුපර් මාර්කට් සංකල්පයට අනුව හොඳ හෝ නරක භේදයක් නැතිව එය රාක්කයේ ප්‍රදර්ශනයට තැබිය යුතුයි. ඒ නිදහස පොත් වෙළෙඳපොලේදී කවි පොතට සහ කෙටිකතා පොතට අහිමියි. එසේ වූවා නම් හොඳ කවි සහ කෙටිකතා පොත් මීට වඩා විකිණෙන්න තිබුණා.
මෙය තවත් පරණ ප්‍රශ්නයක්. පොත් ප්‍රකාශකයා ලේඛකයා ගසා කනවා යැයි කියන චෝදනාවේ ඇත්ත නැත්ත මොකක්ද..?
ඒ චෝදනාව සාහසිකයි. නිර්දයයි. නමුත් කෙනෙකුට ඕනෑම දෙයකදී අවශ්‍ය නම් ගසා කන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පන්සලක සාංඝික දානයකදීත් ගසා කන්න පුළුවන්. ලේඛකයෙක් පොතක් ලියා ප්‍රකාශකයාට බාර දුන් විට ඒ ලේඛකයාට හිමි 10 ලබා දෙන්න ප්‍රකාශකයා බැඳී සිටිනවා. ප්‍රකාශකයා ලේඛකයාගේ එම ගෙවීම පැහැර හරිනවා නම් එය හොඳ දෙයක් නොවෙයි.
නමුත් එම 10 ගෙදරින් ගෙනත් දීමේ හැකියාව ප්‍රකාශකයාට නැහැ. ඔහුට එය කළ හැක්කේ පොත විකිණුනොත් පමණයි. නමුත් ප්‍රකාශකයින් විසින් සමාජ යුතුකමක් වශයෙන් යම් යම් ලේඛකයින්ට පෙර ගෙවුම් පවා කර පොත්පත් ලියා ගන්නා අවස්ථා තිබෙනවා. ශබ්ද කෝෂ, චරිතාපදාන ආදිය වෙනුවෙන් එසේ කරන්නට සිදු වන අවස්ථා තිබෙනවා. එයත් සාමාන්‍ය ලේඛකයකු සහ ප්‍රකාශකයකු අතර සිදුවන ගනුදෙනුවත් කාරණා දෙකක්.
පොතක් දෙවැනි වර මුද්‍රණය කිරීමේදී කොතරම් පිටපත් ප්‍රමාණයක් අලෙවි කරනු ලැබුවාද කියා ලේඛකයාට දැන ගත හැකි විනිවිද භාවයක් ප්‍රකාශන කටයුත්ත තුළ නැති බවටත් චෝදනාවක් තිබෙනවා.
කෙනෙකු විසින් කරනු ලබන සෑම කාර්යයක් සඳහාම වෘත්තීය ගරුත්වයක් තිබිය යුතුයි. එම වෘත්තීය ගරුත්වය කෙනෙකුට නොමැති වූ විටයි ඔවැනි කාරණා සිදුවන්නේ. කෙසේ වෙනත් යමෙකු විසින් ලේඛකයා වෙනුවෙන් එවැනි අවස්ථාවක වංචාවක් සිදු කරනවා නම් එය ඉතාමත් පහත් වැඩක් බව මා පිළිගන්නවා.
තවත් ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශකයකු වන විජිත යාපා මහතා පවසා තිබුණා සිංහල පතපොත ඉංග්‍රීසියට පෙරළා ජාත්‍යන්තර වෙළෙඳපොළට සිංහල ලේඛකයා රැගෙන යාමේ උත්සාහයක් ඇති බව. එම යෝජනාව ක්‍රියාත්මක වෙනවාද..?
ඒ ගැන උඩින් මත්තෙන් යම් යම් දේවල් සිදුවූ බව ඇත්ත. ඒත් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ.
ඉංග්‍රීසි බසට පරිවර්තනය වී ජාත්‍යන්තරයට යාමට සුදුසු තත්ත්වයේ කෘතීන් අප අතර තිබෙනවාද..? එවැනි සුදුසු කෘතියක් දෙකක් ගැන ඔබට කිව හැකිද..?
මම පොත් ප්‍රකාශකයෙකු නිසා එසේ කියන එක සුදුසු නැහැ.
නමුත් මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වූ කෘති මොනවා දැයි කිව හැකිද..?
මාර්ටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම වැනි ලේඛකයින්ගේ පොත් ගැන සලකා බැලීමක් කෙරුණා. නමුත් එය හරියටම සිදු වුණේ නැහැ
.___________________________________________________
තිස්ස ප්‍රේමසිරි ඉරිදා ලක්බිම 2014-07- 27
තිස්ස ප්‍රේමසිරි ඉරිදා ලක්බිම 2014-07- 27