20180123

කූඹියෝ සහ ඓතිහාසික ගේම් කප්පිත්තෝ

දෙවැනි රාජසිංහ රජුගේ 
ගේම් කාර ජෙහාන් වූ අඹන්වෙල රාළ
රජුට අවශ්‍ය පරිදි ගේම් එක දී
ලන්දේසි අතරට ගොස් සැප වින්දේය.

කන්න දේ රැස් කරයි, කූඹියෝ.

ජෙහාන් වැනි ගේම් කාරයන්.
වැඩිපුරම ඇත්තේ දේශපාලන ලෝකයේය.
අපේ ඉතිහාසය ගේම් වියමනකි.

කූඹියෝ ටෙලි නාට්‍යය විසින්
ගේම් කාරයෙකුගේ සංකීර්ණ චරිතය
උවමනාවෙන්ම ඉස්මතු කිරීම නිසාත්
යූටියුබ් මගින් කූඹියෝ නැරඹිය හැකි නිසාත්
ගේම් කාරයන්ගේ ගේම් ගැන උනන්දුවක්
ලාංකික සමාජයේ සංවාදයක් විය.

එවැනි අතීත හා මෑත අතීත
සුපිරි ගේම්වල උදාහරණ කිහිපයක්
මෙහි සරලව මතු කෙරෙයි.

"ජනපති මිය ගියොත් අගමැති ජනපති"
බවට ඉබේම පත්වෙන පරිදි ලියැවුණ
විධායක ජනපතිගේ පැවැත්මට
මාරාන්තික අවදානමක් විය හැකි ලෙස
"ජනපති මිය ගියොත් අගමැති ජනපති"
බවට ඉබේම පත්වෙන  අපූරු ව්‍යවස්ථාව
නිර්මාණය කළේ ජනපති ජේ ආර් ජයවර්ධනයි.

ජනපති කමට එන්නට මහත් සේ කෑදර
ප්‍රේමදාස අගමැති තනතුරේ තබාගෙන
ජීවිතයට හානියකුත් කර නොගෙන
වසර එකොළහක් බලය පවත්වාගන්නට
ජේ ආර් සමත්වීම  රාජකීය ගේමකි.

"ජනපති මිය ගියොත් අගමැති ජනපති"
මාරාන්තික ව්‍යවස්ථාව සමග
විරුද්ධ පක්ෂයේ නායකයා
අගමැති තනතුරේ තබාගෙනම
අද ගේම් එක කෙළින නායකයා
පඹයෙකු මෙන් රටට පෙනෙන
ගොවියා පුත් මෛත්‍රීය.

අප දන්නා ඉතිහාසයේ සිටි
විශිෂ්ඨම මෙන්ම දරුණුම ගේම් කරු
ජේ ආර් ජයවර්ධන විය.
ඔහු ගේම කෙළියේ ප්‍රේමදාස, ලලිත් සහ
ප්‍රේමදාසගේ ජනප්‍රියත්වයෙනි.
මෛත්‍රීට මෙන්ම ඔහුටද ජනතාව මත
රිසිසේ පැවැත්විය හැකි ජන බලයක් නොවීය.
ජේ ආර්  බලය පැවැත්වූයේ ඔහු සමග සිටි
දේශපාලන නායකයන්ගේ අරමුණු
කළමණාකරණය කරගැනීම මගිනි.
ඔහු ජනතාව මත විශ්වාසය නොතැබීය.

මෛත්‍රීගේ ගේම් එක හාත්පසින්ම වෙනස්ය.
ඔහු ජනතාව ඔහු සමග ඇතැයි කියා
උපකල්පනය කරන බවක් පෙනෙතත්
එහි ප්‍රතිඵලය දැක ගත හැක්කේ
ඉදිරි මැතිවරණ ප්‍රතිඵලයෙනි.

අද දේශපාලන බිමේ ඉත්තන්
කවුරු කාගේ උවමනාවට
ක්‍රියා කරනවාද කියා සිතිය නොහැක.

සයිටම් විරෝධය කවුරු වෙනුවෙන්
කවරෙකු දියත් කරන ලද්දක්ද?
නියමුවෝ කවරහු වුවත්
ඒ මගින් රටේ බොහෝ ක්ෂේත්‍රවල සිටින
මෛත්‍රී-රනිල් විරෝධීන් ලැයිස්තුගත විය.

1971, 1989 කැරලි දෙකෙන්ම
ජවිපෙ විසින් අප රටේ දේශපාලනයට
අති ප්‍රබල දායකත්වයක් සැපයුවේ
පවතින නිල්-කොළ දේශපාලනයට
විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන්
එක කඳවුරකට එකතු කරගෙන
සමාජයෙන් අතුගා දමන්නට ගත්
විප්ලවීය ක්‍රියාමාර්ගය මගිනි.

නීති විරොධී උද්ඝෝෂණ
හා වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමෙන්
රාජ්‍ය විරෝධී ක්‍රියාකාරීන් මතු කරගෙන
ලැයිස්තු ගත කොට අක්‍රිය කිරීමේ ව්‍යාපෘතිය
ඉතා පැරණි කූට දේශපාලන ගේමකි..

අසාර්ථක විප්ලවයක් යනු
රාජද්‍රෝහීන් මතුකරගෙන මැරීම හෝ
අකර්මණ්‍ය කරන්නාවූ ගේමකි.
ගේම සැලසුම් කරන ජෙහාන් හැර
ප්‍රියන්තවත් සිදුවන්නේ කුමක්දැයි
හරි හැටි දන්නෙ නැත.

රවටන්නා මුදුනේම සිටින්නාය.
ඉතිරි සියල්ලෝම රැවටෙනවා විය හැක.

1815 රට අල්ලාගත් ඉංග්‍රීසින්ට විරුද්ධව
1818 ඇතිවුණ කැරැල්ල ඔවුන්ගේම සැලැස්මක්ද?

ඉංග්‍රීසින්ගේ පාලනයට එරෙහි විය හැකි අය
එක තැනකට එකතු කර විනාශ කිරීමට
ඔවුන්ට භාවිතා කළ හැකි හොඳම උපක්‍රමය
ඔවුන්ගේම කෙනෙක් කැඳවුම් කරු ලෙස යොදා
කැරැල්ලක් සංවිධානය කිරීමයි.

කැරැල්ලෙන් හෙළිවුණ විරුද්ධවාදීන් අත්ගුරෙන්
ප්‍රබලයන් පිරිස ඝාතනය කෙරුණු අතර
තවත් දුර්වලයන් පිරිසක් හඳුනා ගැනීම නිසා
ඉංග්‍රීසි රජය ඔවුන් මිලදී ගත්තේය.

ඉංග්‍රීසීන්ටත් පෙර මේ ක්‍රමයෙන්
සිය පදවියේ බලය රැකගන්නට
දෙවෙනි රාජසිංහ රජු සමත්විය.

"එදා හෙළදිව" පොතෙහි
විස්තරාත්මකව සඳහන් වෙන
මේ කැරැල්ලේ පළමු පියවර තැබුණේ
වර්ෂ 1664 දෙසැම්බර් මස 21 වැනි දින රාත්‍රියේය.
මේ සඳහා තෝරා ගන්නා ලද ජන සමූහයක්‌
මාලිගාවේ දී රහස්‌ සාකච්ඡා කොට ගිවිසුමකට බැස ගෙන
මධ්‍යම රාත්‍රියෙහි පෙළ සැදී නුවරට පැමිණියෝය.
රජ වාසල සිරකරුවෝ ද මෙම ගිවිසුමට බැඳුනාහු යයි
සිතන්නට ඉඩ තිබුණි.

අඹන්වෙල රාළ මෙහෙයවූ මේ කැරැල්ල
සැලසුම් කරන්නට මූලිකම සාධකය විය හැක්කේ
කිරුළ හිමි කුමරා වූ තම පුතා සමග එක්වී
උඩරට ප්‍රභූන් තමා ඉවත් කොට දමා
පුතාට රජකම දෙනු ඇතයි සැකයෙන්
රාජසිංහ රජු තුළ ඇතිවූ භීතිය විය යුතුය.

අඹන්වෙල රාළගේ මූලිකත්වයෙන්
රාජසිංහ රජුට එරෙහි කැරලි සැලසුමට
ඒදඬුවාව, පැල්ලම්පිටිය, උඩබද්දාව ආදී
රදළ නායකයන්ගේ සහභාගීත්වය ලැබුණේ
රජුට එරෙහි බලවේගයක් ඒ වනවිටත්
නිර්මාණය වෙමින් පැවති හෙයිනි.

මේ බලවේග වැරදිකරුවන් බවට පත්කොට
ඉවත් කර දමීම නුවණට හුරු වූයෙන්
රජුට සේවය කළ ප්‍රභූවරයෙක්‌ වූ අඹන්වෙල රාළ
මෙම කැරැල්ල ඇති කළ ජෙහාන් ප්‍රනාන්දු බවත්
එසේ කළේ දෙවෙනි රාජසිංහ රජුගේම උවමනාවට බවත්
අනුමාන කළ හැකි ප්‍රබල සාධක කිහිපයක්ම
"එදා හෙළදිව" පොතෙන් අපට හමුවෙයි.

කැරැල්ල වෙන අවස්ථාවේ මාළිගයේ කාමරයක සිරවී
අනාරක්ෂිතව අසරණව උන් රජුට පහසුවෙන් පළා යන්නට
කැරලිකාරයෝ රජ මාළිගාව ඇතුළට කඩා නොපැන
එළිවෙනතුරු කල් මරමින් සිටි කැරලි කරුවන්
උවමනාවෙන්ම ඉඩ දුන් බව සිතිය හැක.
රජුගේ ආරක්ෂාව සඳහා ඔහු වටා ඒ වෙලාවේ තිබුණේ
බිත්ති හතර පමණක් බවද කියැවෙයි..

රජු සිරි යහනේ නිදාගෙන ගෙන ඉන්න ආකාරයට
නිදාගෙන උන් දුක්ගන්නා රාළ කෙනෙක් මෙන් සේවය කළ
අලුවිහාරේ වනිගසේකර මහළු මුදලි යොදාගෙන
රජුට ආරක්ෂිතව පලා යන්නට ඉඩකඩ සැලසිණ.

රූපෙන් රජතුමාට සමාන අලුවිහාරේ මුදලි
රාජාභරණවලින් සැරසී සිරි යහනේ නිදා ගත් අතර
කැරලිකරුවන් ඔහු මරා දැමුවාහ.

රජු 50 ක පමණ පිරිසක් සමග පිටවී
මාළිගය වටකොට කැරලිකරුවන් සිටියදීම
මාළිගාව අසළ තිබුණු කන්ද හරහා පැනගොස්
ජීවිතය බේරගන්නේ සැලසුමකට අනුවද?.

පසුව බලන දුර්ගයේදීත් ඔහුට පළායන්නට
අඹන්වෙල රාළගේ කැරළිකරුවෝ අවකාශ ලබා දුන්හ.
රජු මැරීම ඔවුන්ගේ අරමුණ වී නම් ඉටුකරගැනීමට
කැරළිකරුවන්ට හැකියාව තිබුණු නමුත්
රජු ඔවුන් අතරින් හඟුරන්කෙතට පළා ගියේය.

සැලැස්මේ ඊළඟ කොටස අනුව ක්‍රියා කරන
කැරලිකරුවන් කන්දේ නුවර සිටි රාජ කුමරුගෙන්
රාජ්‍යය භාරගන්න ඉල්ලා සිටි නමුත් නිහඬව සිටි
රජකුමරු රජුගේ සහෝදරියත් සමග
රජු වෙත ගොස් ඔහුට එක් විය.

රාජසිංහ රජු ගල උඩ කන්දේ සිටියදීම
සියලු කලබල සන්සිඳී ගිය අතර
කැරලිකරුවන් ඇල්ලීමට හෝ මැරවීමට
රජුට එතරම් උනන්දුවක් නොවූ බව
රොබට් නොක්ස් වාර්තා කරයි.

කැරලි නායකයෝ තමන් කොල්ල කා ගත්තු වස්තුව
මිනිසුන් අතර බෙදාදී පළාගොස් සැඟවුණාහ.
රජු වෙනුවෙන් තවත් රදළ නායකයෙක්
තමන්ගේ පිරිස සමග කැරළිකාරයන් මරා දමමින්
මහනුවරට පැමිණි අතර රජු ගල උඩ කන්දේ සිටියදී
සියලුම කලබල සංසිඳී ගියේය.
කැරලිකාරයන් ලෙස සැක කළ හැම දෙනාම
අත් අඩංගුවට ගෙන මරා දැමීම් නවත්වන්නට
ක්‍රියා කරන්නේ  රදළයන් විසින්
කැරලි කරුවන් ලෙස නම් කරමින්
විරුද්ධවාදීන් මරාදමන්නට
ක්‍රියා කළ හෙයිනි.

කැරැල්ලෙන් පසුව කැරලිකරුවන් රජ කුමරු හමුවී
රජකම ගන්නට කැමැත්ත විමසූ අවස්ථාවේ
කුමරු නිහඬව සිටි නමුත් ඔහුගේ මුනිවත තුළ
"ලැබුණොත් භාර ගන්නෙමි"යි යන ඉඟිය වූ නිසා
රජු තුළ වූ සැකය සනාථවන්නට ඇත.

මේ සිදුවීමත් සමග තමන්ගේ පුත් කුමාරු
තමන්ගේ බලයට බාධාවක් ලෙස ඔප්පු වූ නිසා
රජු සිය පුතාට වස දීලා මරා දැමූවේ
කැරැල්ලෙහි මුල් අරමුණ එය නිසාද?

අවසානයේ කැරැල්ලට සම්බන්ධ වූවන් ලෙස
මහ නඩුවෙන් ඔප්පු වුණු සියල්ලෝම පාහේ
හිස ගසා මරා දමා දේපළ රාජ සන්තක කෙරිණ
එනමුදු කැරැල්ලේ නායක අඹන්වෙල රාළ
මරණ වධයට නියම කරන්නට තීන්දු කොට
"සිංහල දේශයේ පැණවිය හැකි දෙතිස්‌ වධ
මේ අඹන්වෙළ රාළ හට ප්‍රමාණවත් නොවන්නේය.
එහෙයින් ඔහුට අලුත් අමුතු වධ දෙවා මරන්නැ"යි
කොලොම්පුර ලන්දේසීන් වෙත යවන ලද්දේ
ඔහු සේවය කළ රාජසිංහ රජු විසිනි.

රජු අඹන්වෙල රාලට දඬුවම් දෙන මෙන්
ලන්දේසින්ගෙන් ඉල්ලා ලන්දේසි කොටුවට යැවූ නමුත්
ඔහු එහි සැප සම්පත් විඳිමින් යහතින් ජීවත් විය.
ඒ ඔහු රජුට කළ රහසිගත සේවය නිසාද
පසුව ලන්දේසීන්ටද සේවය කළ අඹන්වෙල රාළ
කන්ද උඩරට පිළිබඳව ඔහුගේ දැනුම සහ හැකියාව
ලන්දේසීන්ගේ විශාල පොල්වත්තක් ලබා ගැනීම උදෙසා
ලන්දේසීන් සමග හුවමාරු කර ගත්තේය.
සිංහලේ ඓතිහාසික ගේම් එකක් ප්ලෑන් කළ
ජෙහාන් අඹන්වෙල රාළ ගේම් කරු මිය ගියේ
මහා ධනවතකු ලෙසිනි.

ක්‍රි. ව. 1760 වර්ෂයේදී
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිහසුනෙන් නෙරපා
සියම් කුමාරයකු බලයට ගෙන ඒම සඳහාද
රජ ගෙදර තුළ කුමන්ත්‍රණයක්‌ සිදු වූ අතර
මේ කුමන්ත්‍රණය තුළ සිටියේද
මහනුවර ප්‍රධාන රදළ නායකයෙකි.
ඔහු රජුගේ දෙවැනි අදිකාරම් සමනක්‌කොඩිය.
මේ කුමන්ත්‍රණයට
බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ ද සහයෝගය ලැබිණ.
සරණංකර සංඝරාජ හිමියෝ ද
මල්වතු විහාරාධිපති තිබ්බොටුවාවේ හිමියන් ද
රජ වාසල නිලධාරියකු වූ මොලදණ්‌ඩේ ද
මේ ක්‍රියාවට සහාය වූ බව පෙනේ.
නමුත් කුමන්ත්‍රණකරුවන්ට
අදාළ කාර්ය සාර්ථක කර ගැනීමට
හැකියාවක්‌ ලැබුණේ නැත්තේ
කිසිවෙකුගේ පාවාදීම නිසාද?
නැත්නම් අසාර්ථක වීමම
අරමුණ කරගත් කැරැල්ලේ
මහ මොළකරු කීර්ති ශ්‍රී රාජසිංහ රජුම හෝ
ඔහුට සමීප වෙනත් කෙනෙකු නිසාද?

කුමන්ත්‍රණය පිටුපස සිටි සමනක්‌කොඩි අධිකාරම්,
මොලදණ්‌ඩේ රටේරාළ හා මැටිහත්පොල දිසාවේ යන්නවුන්
මෙහිදී මරා දමන ලද අතර භික්‍ෂුන් වහන්සේට සමාව ලැබිණ.
සරණංකර හිමියන් සංඝරාජ ධුරයෙන් ඉවත් කෙරුණ හෙයින්
මේ කැරැල්ලේ මහමොළකරු භික්ෂුවක්ද විය හැක.
ඔහු ඊ ළඟ සඟ රජු විය හැක.

මේ කැරලිකරුවන් ප්‍රසිද්ධියේ නොමැරුවා නම්
ඔවුන් හොර රහසේ විදේශයන්ට පළා ගොස්
ජීවිතාන්තය තෙක් සුවසේ ජීවත්වන්නට ඇත.

රෝහණ විජේවීර, ප්‍රභාකරන් ආදීන්
අප ඉදිරියේ සැබැවින්ම මරා දැමුවාද
නැත්නම් ඔවුන් වෙනුවෙන් මරා දැමුවේ
ඔවුන්ගේ ස්වරූපය ඇති වෙනත් අයද?
මේ පිළිබඳවත් සැක කරන අය සිටිති.

අපට සමාජ ඉතිහාසය තුළ
අප දන්නා සුපිරිම ගේම් කරුවා ජේ ආර් බව
අපේ දේශපාලන ප්‍රවාහයට පමණක් නොව
අප රටේ ආර්ථිකය, සංස්කෘතිය, ජන ජීවිතය
සහ රටේ ස්වාභාවික සම්පත්වලට වැදුණු
බලවත් ප්‍රහාරය හමුවේ අවිවාදිතය.

1971 කැරැල්ල පිටුපස ජේ ආර් සිටියාද කියා
අපට සැක පහළ කළ හැකි ප්‍රධානම සාධකය
ඔහු 1977 බලයට පත් වීමෙන් පසුව
රෝහණ විජේවීර නිදහස් කිරීම නිසාය.
සිය හයෙන් පහේ බලය භාවිතා කරමින්
අසීමිත බලයක් තමාට ලබා දෙන
ඒකාධිපති ව්‍යවස්ථාවක් ලියාගෙන
රටේ අනාගතය වෙනස් කළ අතර
සිරිමාවෝ නම් තමාට එරෙහි ප්‍රධානම බල වේගය
ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කොට ඉවත් කරන්නට
1977න් පසු ජේ ආර් සමත්විය.

"ජනපති මිය ගියොත් අගමැති ජනපති" බවට
ඉබේම පත්වෙන ව්‍යවස්ථාව
ජනපතිගේ පැවැත්මට මාරාන්තික අවදානමකි.
මේ අපූරු ව්‍යවස්ථාව නිර්මාණය කළ
ශූර ජනපති ජේ ආර් ජයවර්ධන
ජනාධිපති වෙන්නට මහත් කෑදරකමින්
ඒ සඳහා දිවා රෑ වෙහෙසුණ
උප නායක ප්‍රේමදාස අගමැති තනතුරේ තබාගෙන
වසර එකොළහක් ජීවිත හානියකුත් නොවී
බලය පවත්වාගන්නට සමත්වීම  රාජකීය ගේමකි.

තෙවන වරටත් බලය ගන්නට කැස කැවූ
ජේ ආර්ගේ සැලැස්මට විරුද්ධව
"ජේ ආර් මරමු" ව්‍යාපෘතිය මගින්
ඒ සැලැස්ම ජවිපෙ සහායෙන් අක්‍රිය කොට
පක්ෂයේ බලය ප්‍රේමදාස අල්ලාගත්තේය.

ප්‍රෙමදාසගේ ඉදිරි වසර හය
සිය බලය පතුරවන්නට සිහින මැවූ
හයෙන් පහක බලය ඇති පාර්ලිමේන්තුව
ප්‍රේමදාස ජනපති වෙන රාත්‍රියේම
විසුරුවා හරින්නට ජේ ආර් ගත් තීරණය
ජේ ආර්ගේ පුද්ගලික පළිගැනීමක් වුවද
රටට සිදු වූ විශාල සෙතකි.
ප්‍රේමදාසගේ අවසානයේ
ආරම්භය සනිටුහන් වූයේ එදාය.

ඔහුගේ රජයට විරුද්ධ විය හැකිව තිබුණ
ජවිපෙ ක්‍රියාකාරීන් සියල්ලෝම ඉවත් කිරීමට
ප්‍රේමදාස ඉතා ඉක්මණින් ක්‍රියා කළේ
ඔහු රහසින් භාවිතා කළ බළල් අත
ඔහුට විරුද්ධ වෙනෙකෙකුට
යළි භාවිතා කරන්නට ඉඩ නොතබමිනි.

තෙවන වරටත් බලය ගන්නට කැස කැවූ
ජේ ආර්ගේ අරමුණ බිඳ වැටිණ.
තමා ප්‍රතික්ෂේප කළ එජාපයටත්
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී තිදෙනාටත්
එකම හැන්දෙන් බෙදා පළිගැනීමේ අරමුණෙන්
ඔවුන් තිදෙනම දේශපාලනයෙන් අතුගා දමා
චන්ද්‍රිකා පැරෂුටයට බලය ලබා දෙන්නට
තිරය පිටුපස සිට දායක වන්නට ඇතැයි
ජේ ආර්ගේ ස්වභාවය අනුව සැක සිතිය හැක.

ජේ ආර්ට තෙවන වර බලය නොදීමෙන්
එජාපය බැරෑරුම් ලෙස විනාශවී යන්නට
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී තුන්කොන් බල අරගලය හේතු වී
ඔවුන් ඝාතනය නොවුණා නම් අපේ ඉතිහාසය වෙනස් වනු ඇත.
ඔවුන් තිදෙනා සිටින දේශපාලන බිමක
මහින්ද රනිල් දෙදෙනාත් බැසිල් ගෝටා ආදීනුත්
දුබල ඉත්තන් ලෙස කොන් වෙන්නට ඉඩ තිබිණ.

අදත් අප දකින
නොයෙක් දේශපාලන නාඩගම් තුළ
මතුපිටින් අපට කුමක් පෙණුනත්
ඇතුළතින් සිදුවෙන පරිවර්තන
අප නොදන්නෙමු.

2010දී මහින්ද පරාජය අසලටමත්
2015දී ප්‍රාජයටත් පත් කරන්නට
තිරය පිටුපස සිටි නූල් සූත්තර කරු බැසිල්ද?

රාජපක්ෂ පවුලේ ගේම් කරු බැසිල්ය.
දේශපාලනයට පැමිණි දා පටන්ම
පාලනය අතට ගන්නට බැසිල්ට ඇති වුවමනාව
රාජපක්ෂ පවුලේ උන්නතියට මෙන්ම
අවනතියටද හේතු විය.

2010 දී දැනුවත්ව හෝ නොදැනුවත්ව
සරත් ෆොන්සේකා මහින්දගේ රජයට
ලබා දුන් සේවාවද මේ ආකාරයෙන්
පැවැත්මට බාධා වූ වල්පැල
ජනපතිවරණයෙන් මතු කිරීමයි.
ඉන් පසු හමුදාවේ තනතුරු වල
යම් යම් වෙනස්කම් සිදු විය.

ජීවිත රැකගැනීමේ අරමුණෙන්
ෆොන්සේකා රනිල් ඇතුළු පිරිස හෝටලයක සැඟවී සිටීම,
පරාජයේ මුවවිට උන් මහින්ද අතට
ජනපතිවරණයේ ජයග්‍රහණය
ඉන්ද්‍රජාලම් කොම්පුටර් ජිල්මාට් එකකින් මාරුවීම
මැකෝගේ ආතතියට හේතුවීම ආදී නොවිසඳුණ ප්‍රශ්නාර්ථ
2010 ජනපතිවරණයෙන් ඉතිරි විය.

2015දී එවැන්නක් සඳහා ඉත්තා වුණ මෛත්‍රී
ගේම සැලසුම් කළ අයට පිටුපා
දාම්පෙත කරකවා බලය අල්ලාගත්තේ යැයි
ආරම්භයේ ඔහුට තිබුණ ප්‍රශ්න අනුව
අපට සැක කළ හැක.
මේ බල පරිවර්තනයට ප්‍රබල සාධකයක් වූ
මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ දායකත්වයට
ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා විය හැක.

බැසිල් රනිල් දෙදෙනා ශාලාවේ ඇතිව
'පිවිතුරු හෙටක්' දියත් කළ රතන හිමි මගින්
බැසිල්ට දේශපාලන බලය ලබා ගන්නට සිතාගෙන
මහින්ද-මෛත්‍රී අතර සුභ සහ යස නාඩගම නටමින්
බැසිල්ට පදින්නට දියත් කළ යහපාලන බෝට්ටුව
කාටත් හොරෙන් කණපිට පෙරළාගෙන පදින්නට
ප්‍රියන්ත මෙන් සරල චාම් මෛත්‍රී සමත්ව ඇත.

මෛත්‍රීත් ප්‍රියන්ත මෙන් පෙනී සිටින
ජෙහාන් වැනි ගේම් කාරයෙක් බව
තවමත් අපට ඇත්තේ ඉඟි පමණි.
ඔහු කරන දේ කියන දේ
මනාව පෙර සැලසුම් කොට
කල් යල් බලා මුදා හරින බව
ඒ කියන කරන දෙයින් නෙලා ගන්නා
ඵල අනුව සිතිය හැක.

මෛත්‍රී පෙන්වන නොහැකියාවල්
සැබෑ නොහැකියාවන්ද, රඟපෑමක්ද කියා
තව වසර ගණනාවකට කිව නොහැක.

ඉතා සැලකිල්ලෙන් ඉතිහාසය දෙස බැලුවොත්
මතුවී පෙනෙන විරුද්ධවාදීන් සහ
නොපෙනෙන විරුද්ධවාදීන් මතුකරගෙන නැසීම සඳහා
කලින් කල නොයෙක් කැරළි කෝලාහල
විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ ඇති වෙයි.
වඩාත් නිවැරදිව කිව හොත් ඇති කරනු ලබයි.

මේ දාදු කෙළි වල කැපෙන ඉත්තන් අතරට
නොදැනුවත් කම නිසා එක්වී කැපී යන
අවසනාවන්තයන් බොහෝය.