20160606

සමලිංගික සේවනය බුදු දහමට අනුව පාපයක් ද ?



සමලිංගික සේවනය 
බටහිර වෛද්‍ය මතය අනුව 
අස්වාභාවික තත්වයක් නොවේ. 
එය බුදු දහමට අනුව පාපයක් ද ?  ---------- Tikiri Thushara Banda ----------
 

 මිනිසා සහ මිනිසා අතර වෙසෙන
අනෙකුත් සමහර සත්වයන් හැර
පොදු සත්වයන්ගේ
එක ලිංගික හැසිරීමයි තියෙන්නෙ.
ඒ සත්වයන් ස්වාභාවිකව
තමා තුළින් එන තණ්හාවට යටත් වෙලා
ලිංගිකව හැසිරිලා අමතක කරනවා.

මිනිසා තමන්ට වෙන හොඳ නරක'
අමතක කරන්නෙ නෑ.
ඔහුට අතීතයක් තියනවා.
ඒ වින්ද ප්‍රියජනක කාමභෝගී අත්දැකීම්
ඔහු වර්තමානයේ නැත්නම්
අනාගතයේ සොයනවා.

වරක් වින්ද අත්දැකීමක් ප්‍රිය නම්
අනාගතයේ විඳින්න සැලසුම් කරමින්
මනසින් දරණ හැම වෑයමක්ම
කාමය උපාදාන කර ගැනීමක්.
ඒ සැලසුම් කරන විටත්
ඔහු තුළ ප්‍රිය වේදනා ඇති කරන
ජෛව රසායනික විපර්යාස සිදු වෙනවා.
මේ විපර්යාස ඔහුගෙ කයට බරක්.
ඒ බරෙන් නිදහස් වෙන්න කය දරණ
අනවරත උත්සාහය නිසා
ඔහු කාමයෙන් වියරු වෙන්න පුලුවන්.
එහි අවසාන ඵලය ස්ත්‍රී දූෂණයක්.
සමලිංගිකත්වය අතුරුඵලයක්.

මේ උපාදාන කරගැනීම
මිනිසා තුළ ප්‍රබලව ක්‍රියාත්මක වෙන නිසා
මිනිසා ලිංගික හැසිරීමක යෙදෙන ක්‍රම දෙකක් තියනවා.
එකක් තණ්හාව මුල් කරගෙන.
අනික උපාදානයක් මුල් කරගෙන.

කුස ගින්නට ආහාර ගැනීමෙදි
තණ්හාව මුල් වෙනවා.

වේදනා පච්චයා තණ්හා

යම් ස්වාභාවික ආහාරයකින්
කුස ගින්න නිවා ගන්නා කෙනෙක්
කාම තණ්හාවෙන් ක්‍රියා කරනවා.
ඔහුට රස අවශ්‍ය උත්තේජනයක් ලෙස පමණයි.
ඔහු එයින් අමතර වින්දනයක් සොයන්නෙ නෑ.
ඔහුට පාපයක් සිදු වෙන්නෙ නෑ.
සමාජයෙ බහුතරයක්
මේ ආකාරයෙන් හැසිරෙනවා.

සමාජයෙ එක කොටසක්
රස වේදනාව උපාදාන කරගෙන
ආහාර වලට ඇති වුණ කෑදර කම නිසා
අපමණ දුකක් විඳිනවා.
උපාදානය දුකක්. පීඩනයක්.

උපාදානයක් ඇති වුණාම
සැප කියා ඔහු විඳින්නෙ
උපාදානයෙන් මිදීමේ සුවයයි.
ස්ත්‍රී දූෂණයකින් හෝ
උපාදානයෙන් මිදෙන්න
කාම පීඩිතයන් පෙළඹෙනවා.
කාම උපාදානයෙන් වේදනා විඳින
ස්ත්‍රී දූෂකයෙකුට
සමලිංගිකත්වය පහසුවක්.

ඔවුන්ට කුසගින්න කියන්නෙ
රස වින්දනය සඳහා වදින
ආනන්දනීය සීනු හඬක් වගෙයි.
ඔවුන් ඒ සඳහා වාහනයක නැගිලා
යම් දුරක් ගෙවාගෙන සුවපහසු අවන් හලක
කාමභෝගී වාතාවරණයක් යටතේ
කයට වඩා මනස පිනවන
රස සරණීය ආහාරයක් රසවිඳලා
විශාල මුදලකුත් ගෙවලා
ආපසු එනවා.

ඔහුත් කලින් කී පුද්ගලයාත් අතර වෙනස
තණ්හාවත් උපාදානයත් අතර ඇති වෙනසයි.

කුස ගින්න ඇතිවෙන වෙලාවට
දැඩි කෑදර කමක් ඇති වෙන්නෙ
ආහාරයෙ රස සිතින් විඳින අතර
සිතෙහි නොයෙක් ප්‍රපඤ්ච තනාගෙන
ආහාරයේ රස මගින් දිවේ ඇති කරන
ප්‍රිය වේදනා වලට ඇති රාගය
උපාදාන කර ගත් තැනැත්තාටයි.

ඒ උපාදානය නිසා
ඔහු කුසගින්න ඇතිවුණ වෙලාවේ සිට
ආහාරය ගන්නා අවස්ථාව තෙක්
උපාදානයෙන් රස වින්ද දුකට ගැලපෙන
අනාගත භවයක් සඳහා මුල් වෙන
කර්මයක් ඔහු අතින් සිදු වෙනවා.
අද ඔහු සොබා දහමෙන් පැහැරගත්
අමතර වින්දනය නිසා
ඔහු ඉතියෝපියාව වැනි රටක
ආහාර විරහිතව උපදින්න පුලුවන්.

අපේ ජීවිත
අපි සමබර කරගත්තෙ නැත්නම්
සොබා දහම අපේ ජීවිත සමබර කරනවා.

ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය
කුසගින්න මෙන් ස්වාභාවික බැඳීමක්.
සොබා දහමෙ අවශ්‍යතාවයක්.

සත්වයා තුළ තියන කාම තණ්හාව
ස්වාභාවිකවම පිහිටා තියනවා.
කාමය කියන්නෙ ලිංගික අවයවයන්
උත්තේජනය කිරීම මගින් ලබන
සුරතාන්තය පමණක් කියා හිතන්නෙ
ඒ සඳහාම ජීවත් වෙන පිරිස පමණයි.

කාමය කේන්ද්‍ර කරගෙන විවාහවී
සුහද දරුපවුලක්, නෑදෑ පිරිසක් සමග
පුළුල් ජීවිතයක් ගත කරණ අයට
කාමය තණ්හාවක් පමණයි.

සුරතාන්තය කාමය ලෙස වරදවා ගන්නා පිරිස
සුරතාන්ත මොහොත හැර අන් සියලු කල්හිම
සුරතාතය ලබාගන්න දුක් විඳිනවා.

ක්‍රිකට් තරඟයක ජය පරාජය සොයන්නෙ
දේශපාලන බිමේ ජය පරාජය සොයන්නෙ
මෙලෙස සුරතාන්තයටම වහල්වූ පිරිසමයි.

හැම දේකම ජය පරාජය සොයන කෙනෙක්
ලෝකයට තමන් රහතෙක් මෙන් පෙන්වුවත්
ජීවිතය තුළ ජය පරාජය සොයනවා නම්
ඔහු සුරතාන්තය සඳහාම දිවි ගෙවන
කාමභෝගී පුහුදුන් පුද්ගලයෙක්. :)

සුරතාන්තයම උපාදාන කරගත් අයට
මාර්ගය කුමක් වුවත් කම් නෑ.
අන්තයෙහි ලබන සුරතාන්තයයි වැදගත්.
ඔවුන් සමාජය රවටාගෙන සූරා කන්නෙ
මාර්ගය බොරුවක් වීම අදාළ නොවන නිසයි.

සමලිංගිකයන් බිහි වෙන්නෙත්
සුරතාන්තයම අරමුණු කරගෙන
සුරතාන්තයෙන් ලබන කායික වින්දනය
සිතින් උපාදාන කරගෙන
ඒ වින්දනය සඳහාම ජීවත් වෙන පිරිස තුලින්.

තමන්ගේ කාම උපාදානය
මොන කඩතුරාවෙන් වහන්න
සමලිංගික පුද්ගලයන් උත්සාහ කළත්
සමලිංගික ජීවිතයක තියෙන්නෙ දුකක්.

විවාහ ජීවිතයේ සැබෑ වගකීම් වලින් මිදී ගත කරන
විකෘති ජීවිතයකින් කාම උපාදානයෙන් මිදෙන්න
සමලිංගික ජීවීන් ආත්මාර්ථකාමී වෑයමක යෙදෙනවා..

ආහාර ගැනීම සඳහා සුවිශේෂී අවන්හල් සොයන
කාම උපාදානයෙන් පෙළෙන කාමභෝගීන් මෙන්ම
කාම උපාදනයෙන් පෙළෙමින්
විශේෂ පුද්ගලයන් සහ වෙනස් මාර්ග සොයන
සමලිංගිකයාත් ගත කරන්නෙ අසමතුලිත ජීවිතයක්.

මෙවැන්නන් දහමට යොමු වෙන්නෙ කලාතුරකින්.
ඔවුන් තුළ තියෙන්නෙ ධර්මයට ද්වේශයක්.
ඔවුන්ට බුදු දහම ප්‍රයෝජනයක් තියෙන්නෙ
කිසියම් නිදහසට කරුණක්,
වරද සාධාරණීකරණයක් කරගන්න
බුදු දහම භාවිතා කරන්න ප්ලුවනි නම්
ඒ අපයෝජනයට ඔවුන් සූදානම්.

ඔවුන්ගේ තර්ක වලින් ඔවුන් කියන්නෙ
බුදු දහමෙ පාපවලට අයිති නොවෙන නිසා
සමලිංගික සෙවනය වරදක් නොවේ යන්නයි.

සමලිංගිකත්වය වරදක් කියා
පැවිදි විනයෙ සඳහන් වෙනවා.
කාය සංසර්ග චේතනාවෙන්
අදම උපන් ළදැරියක හෝ
ඇඟිලි තුඩු අගින්වත් ස්පර්ශ කිරීම
උපසම්පදා භික්ෂුවකට ඇවැතක්.

බුදු දහමෙ එවන් නීති තියෙන්නෙ පැවිදි විනය තුළ පමණයි.
සමලිංගිකත්වය පැවිද්දාට කැපද අකැපද කියා
පැවිද්දෙකුට  සොයා ගන්න අවශ්‍ය නම්
පැවිදි විනය තුළ පහසුකම් අඩු නැතිව තියනවා.

බුදුන් වහන්සේ ගිහියාට නිශ්චිත නීති පණවා නැහැ.
බුදු සසුන තුළ ඔහු උපශ්‍රාවකයෙක්.
ඔහු පන්සිල් පවා ඉල්ලා ලබා ගත යුතුයි.

සිවුර ඉල්ලා ගන්නවිට දෙන
'' නිවන් දකින්නට කටයුතු කරනවා ''
කියන පොරොන්දුවට
පැවිද්දා දිවි හිමියෙන් බැඳී සිටිනවා.

ඔහු රකින්නට අණවන නීති නැති නිසා
ගිහියා හරි වරද ප්‍රඥාවෙන් සොයා ගත යුතුයි.
ප්‍රඥාවට මාර්ගය වන විදසුන ඔහුටත් විවෘතයි.
ප්‍රඥාව ලැබෙන්නෙ විදසුනෙන්.
විදෞන තුළ ශ්‍රාවක උපශ්‍රාවක වෙනස නෑ.
එක මොහොතකට විදසුන් වඩන්නාගේ  සිට
නිවන් දකින්නට රහත් බව ලබන්නා දක්වා
පුහු දුන් වෙනසක් නැතිවම
හැම කෙනෙක්ම ආර්ය ශ්‍රාවකයෙක්.

ආර්ය ශ්‍රාවකයෙක්
බුදු දහම දකින ආකාරයට
පොතපතින් දේශන වලින් දකින අයට
බුදු දහම පෙනෙන්නෙ නෑ.
පොතේ විසඳුම නැත්නම්
ඔහු අතරමං වෙනවා.

''බුදු දහම තියන පොත්පත්වල
සමලිංගිකත්වය  පාපයක් කියා නැති නිසා
මම සමලිංගිකව හැසිරෙනවා'' කියා ඔබ කියනවා නම්
තමන්ගෙ කාම උපාදානයේ බර අඩු කරගන්නට
බුදු දහමෙන් විලි වසා ගනීම බොළඳ ක්‍රියාවක්.

සමලිංගික ක්‍රියාවන්හි යෙදීම නිසා
ඔබ අල්ලාගෙන අත් අඩංගුවට ගෙන දඬුවම් දෙන්නට
බුදුන් වහන්සේ විසින් පොලිස් නිලධාරීන් යොදවා නෑ.
ඔබේ හැම ක්‍රියාවක්ම කරන්නෙත්
ඒ ක්‍රියාවන්ට නිසි වන්දි ගෙවන්නේත් ඔබමයි.
බුදුන් වහන්සේට හෝ වෙන කෙනෙකුට
ඔබ පිළිබඳ වගකීමක් නෑ.

බුදු දහමට අනුව පාපයක් වෙන්නෙ
උපාදානය මුල් කරගත් ක්‍රියාවන්.
බුදු දහමට අනුව විදසුන් වඩන කෙනෙකුට
තමන්ගෙ කයත්, වේදනාත්, සිතත්,
සිතෙහි ඇති වෙන හැඟීම් සිතිවිලි ආදියත්
පැහැදිලිව ඇතිවෙන විටම පෙනෙන නිසා
වෙන් වෙන්ව හඳුනාගෙන ක්‍රියා කල හැකියි.
ඔහු පාපය දකින්නෙ තමන්ගෙ ප්‍රඥාවෙන්.
ඔහු තුළ ප්‍රඥාව ඇතිවෙන්නෙ
බුදු දහමට අනුව විදසුන් වැඩීමෙන්.

සමලිංගිකත්වය ගිහියාට පාපයක් කියා
බුදු දහමෙ වෙන්කර හඳුන්වා නැති වුණත්
විදසුන් වඩන කෙනෙකුට අවශ්‍ය නම්
පාපයක්ද කියා සොයාගන්න අවශ්‍ය ප්‍රතිපාදන
බුදු දහම තුළ තියනවා.

පාපය කුමක්ද කියා සොයාගෙන
ඉන් වළකින්න අවශ්‍ය නිසා
ඔබ බුදු දහම ගැන සොයනවා නම්
ඔබ කළ යුතු හොඳම දේ විදසුන් වැඩීමයි.