20171112

බියර් බදු අඩු කිරීමට මෛත්‍රී කැමති නෑ.

බියර් බදු අඩු කිරීම පිළිබඳව
මෛත්‍රී සහ තවත් ඇමතිවරු පිරිසක්
අප්‍රසාදයෙන් පසුවන බව ඇසෙයි.

මත්පැනට හුරුවී මත්පැන් මගින්
ප්‍රමාදයට පත්වී ඒ අවසිහිය තුළ
ජීවිතයේ දුකෙන් යම් පලායාමක යෙදෙන
දුර නොපෙනෙන ජනතාව වෙසෙන්නේ
මෛත්‍රී පිළිබඳ අප්‍රසාදයෙනි.

මෙතෙක් අප රටේ පහළ වූ
ජනපතිවරු හා අගමැතිවරු කිසිවෙක්
පුද පූජා වන්දනාමානාදියෙන් විනා
පිළිවෙතින් ධාර්මික පාලකයෝ ලෙස
රට හමුවේ පෙණුනු අය නොවෙති.

වචනයෙන් හෝ බුදු දහම භාවිතා කළේ
පුද පූජා පිළිවෙත් වලට නොනැමුණ
ජේ ආර් ජනාධිපති වරයා පමණි.
සමහර ජනාධිපතිවරුන් බීමට ඇබ්බැහිවී
සැන්දෑව සහ රාත්‍රිය බීමත්ව ගත කොට
පසුදින කැබිනට් රැස්වීමට පැමිණීමට පවා
අපහසුවූ ජනපතිවරුන් ගැන අප අසා ඇත.
ජනපතිවරණ ප්‍රතිඵල පිළිගන්නට පවා
බීමත්ව පැමිණ විසිවෙමින් වැනෙමින් සිටි
දුර්වල ජනපතිවරු අප දැක ඇත.

මෛත්‍රී පන්සිල් රකිනවා නම් ඔහු මෙතෙක් සිටි
සියලුම ජනපතිවරුන්ට වඩා සිල්වත් විය හැක.
ධර්මාශෝක, මහා පරාක්‍රමබාහු වැනි
ඉතා ශූර සහ බලවත් පාලකයන් කළත්
නීති රීති මගින් ජනතාව සිල්වත් කිරීම
පාලකයෙකු විසින් පහසුවෙන් කළ හැකි
කාර්යයක් නොවේ.

ජනතාව ස්වශක්තියෙන් සිල්වත් විය යුතුය.
පාලකයා කළ යුත්තේ සිල් බිඳෙන දේ
ලබා ගැනීම ජනතාවට අපහසු කරමින්
සිල් රැකෙන දේ දියුණු කිරීමය.

රටේ ජනතාව ධාර්මික කරන්නට
සිල්වත්ව වෙසෙන්නට හැකිවන පරිදි
රටේ පරිසරය වෙනස් කරන්නට නම්
රජෙකු කළ යුතු හොඳම දේ
සිල්වත්ව, ධාර්මිකව ජීවත් වීමයි.

රජුගේ ශීලය මුදුනේ සිට පහළට
ප්‍රතිපත්තිමය බලපෑමක් ඇති කරන බව
බුදුන් වහන්සේ රජුන් ගැන කරන විවරණයෙන්
අපට පැහැදිළි වෙයි.

"රජු ධාර්මික වන විට ඇමති වරුත්
ඇමතිවරු ධාර්මික වන විට නිලධාරිත්
නිලධාරින් ධාර්මික වෙන විට
රටේ ජනතාවත් ධාර්මික වෙති."

බියර් මිළ අඩු කිරීම පිළිබඳව
මෛත්‍රී ජනපති දක්වන අප්‍රසාදය
මංගල ඇතුළු අනෙක් ඇමතිවරුන්ටත්
රජයේ නිලධාරීන්ටත් බලපානු ඇත.
දැන් මංගල බේබද්දන්ගේ ඇමතිවරයාය.
ඔහු මත්පැන් නොබොන අපේ ඇමති නොවේ.

කායික මානසික වාචසික සංවරය
ඇති පුද්ගලයා සහ නැති පුද්ගලයන්
දෙදෙනෙකුගේ ජීවිත පිළිබඳව සැලකුවොත්
අසංවර පුද්ගලයාගේ තීරණ සැලකිය යුතු නොවේ.

යහපත් මිනිස්සු බියර් මිළ ඇඩු කිරීමට අකමැති
මෛත්‍රී යහපත් පාලකයෙක් ලෙස දකියි.
මංගල යහපත් ඇමති කෙනෙක් ලෙස දකින්නේ
බියර් බොන්නට කැමති මිනිසුන් පමණි.
ඔවුන්ට පැහැදිලි ලෙස සිතන්නට නොහැකි බව
ඔවුන් මත්පැනට දක්වන ගිජු බවින්ම පෙනෙයි.
අමුතු විග්‍රහයන් අවශ්‍ය නැත.

මත්පැන් පානයට හුරු කරන නීති වලට වඩා
මත්පැන් පානයෙන් මිනිසා වළකන නීති
සමස්තයක් ලෙස ජනතාවට හිතකරය.

ආත්ම දමනය නැති තැනැත්තා
නීති මගින්වත් පාලනය කළ නොහැක.
ආත්ම දමනය නැති නිසා මිනීමරණ අය මෙන්ම
සිය දිවි නසා ගන්නා අයද වෙති.
ඒ ආත්ම දමනය පිරිහීමෙහි ප්‍රතිඵලයි.

මත්පැන් පානය කළ තැනැත්තාගේ ආත්ම දමනය
ඔහු හොඳ සිහියෙන් පසුවෙන වෙලාවට වඩා
බීමතින් පසුවෙන වෙලාවෙහිදී තවත් අඩුය.
මත්පැන් පානය නිසා කායිකවද පිරිහෙන ඔහුට
උලපන්දන් දෙන රජයක් බලාපොරොත්තු වන්නේ
ජනතාව කායික මානසික වශයෙන් පිරිහෙන්නට හැර
පහසුවෙන් රට පාලනය කරන්නට විය හැක.
එහෙත් දීර්ඝ කාලීන වශයෙන් එය හානිකරය.

ගිහියෙක් විඳිය යුතු සැප හතරෙන්
අනවජ්ජ සුඛයද එක සැපකි.
වැරදි නොකරන්නාට වඩා බියෙන් සොවින්
වැරදි කරන්නා දුක් විඳියි.
මත්පැන ඒ දුක වසාගන්නට අදින
තාවකාලික දුහුල් තිරපටක් පමණි.

සතුන් නොමරන්නට, සොරකම් නොකරන්නට,
අනාචාරයේ නොහැසිරෙන්නට, වංචා දූෂණ නොකරන්නට,
මත්පැන් පානය නොකරන්නට හුරුවන ජනතාව
රටේ සංවේදී බවත්, සුඛිත මුදිත බවත්
ඇති කරන්නට ප්‍රධාන හේතුවයි.

සිල් බිඳගන්නා ජනතාව නිසා ඒ ජනයාත්
ඔහු වෙසෙන පරිසරයත් දූෂිත වෙයි.
කසිප්පු බොන කම්කරුවාත්, විස්කි ජින් බොන වෘත්තිකයාත්
පැවැත්මෙන් හා ආකල්පවලින් නොවෙනස්ය.
බීමත් කම්කරුවාට නැති තාර්කික නිදහසට කරුණු
වෘත්තිකයා වෙතින් අපට අසන්නට ලැබෙයි.
එහෙත් බීමත්ව පසුවෙන විට මේ දෙදෙනාගේම
අපට දකින්නට ලැබෙන්නේ එකම පිරිහීමකි.

මේ පිරිහීම ඉතා සියුම් ආකාරයෙන් දියුණු කරන්නට
මංගලගේ අවමංගල අයවැය මග විවර කොට ඇත.
මංගල රටේ ජනතාව ගැන යහපත් හැඟීමක් නැති
දුර්වල සහ දුර්දාන්ත ඇමතිවරයෙකි.

මංගල මේ ජනතාවට සිදු කරන
දීර්ඝ කාලීන කායික-මානසික හානිය
ඔහුට මෙන්ම ඔහු අනුමත කරන සියලු දෙනාටත්
දීර්ඝ කාලීන වශයෙන් බලපානු ඇත.
රටවැසියා බහුල ලෙස මතට හුරු වු පසු
මෙම බද්ද නැවත පැනවීමද
සිදුවනු නියතය.

මේ දුර්දාන්ත පියවරට එරෙහිව ක්‍රියා නොකළත්
මෛත්‍රී විසින් දක්වන ලද අප්‍රසාදය පිළිබඳව
මා මෛත්‍රීට පුද්ගලිකව ස්තූතිවන්ත වෙමි.

පවට අනුබල දීමද පවට හවුල් වීමකි.

මෛත්‍රී පවට අනුබල දීමෙන්
චේතනාත්මකව වැළකෙන විට
ඔහුගේ කර්මය ඊට අනුව සකස් වෙයි.
මංගලගේ කර්මය ඊට ප්‍රතිවිරුද්ධය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකු ලෙස රටේ සියලු දේ
පාලකයාගේ සිතැඟි අයුරු පාලනය නොකළ යුතුය.
මේ අවමංගල නීති ලිහිල් කිරීමේ ඵල විපාකය මංගලත්
ඒ අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ලබා ගනිමින්
බියර් මගින් මතට ඇබ්බැහි වන අයත් විඳිනු ඇත.

මෛත්‍රීගේ අප්‍රසාදය සැලකිල්ලට ගෙන මතින් වැලකී
සදාචාර සම්පන්නව වෙසෙන ජනතාවට
ඒ පිළිවෙතට සුදුසු අයුරින් ඵල විපාක ලැබෙනු ඇත.