20140604

බාධකයක් යනු ගමනකට අත්‍යාවශ්‍ය සාධනීය උත්ප්‍රේරකයකි.

බාධකයක් යනු ගමනත්, මාවතත් මෙන්ම ගමනකට අත්‍යාවශ්‍ය සාධනීය උත්ප්‍රේරකයකි.

මරණය හැර අන් එකදු බාධකයක් හෝ කිසි සේත්ම ගමනක අවසානය නොවේ.

බාධකයක් ගමනක අවසානය විය යුතුත් නැත. එහෙත් බාධකයක් ගමනෙහි අවසානය බවට නිතැතින්ම පත්වේ නම් වැරදි කරුවා ඔබය. බාධකය නොවේ.

බාධකයෙහි කාර්යය එය ඉටුකරමින් සිටියි. ඔබ ඔබේ කාර්යය ඉටුකරන්න.

ඔබ කළ යුත්තේ බාධක වලට ගරු කරමින් ඒ බාධක වලට යටත්වී සුවච කීකරු ලෙස බාධක වල අරමුණ ඉටුකරදීම නොවේ.

බාධකය පාදක කරගෙන බාධකය සාධකයක් කරගෙන බාධකයට එහි කාර්යය කරන්නට ඉඩ දී ඔබ ඔබේ කාර්යය කරමින් මෙතෙක් ආවාටත් වඩා හොඳින් ඔබේ ගමන යාමයි.

බාධකයකට මුහුණ දෙන ක්‍රම ඇත්තේ දෙකකි.

1, බාධකයට පහරදී එය බිඳ හෙළා අපේ ගමන යාමයි.

2, බාධකය මග හැර ඒ වටා ගොස් යළි අප ආ මාවතටම පිවිසීමයි. එසේ ඔබ ආ මාවතට යළි පිවිසෙන විට ඔබ එය හමු නොවී පැමිණියාට වඩා ඉදිරියෙන්ද, ඉහළින්ද සිටින බව ඔබට වැටහෙනු ඇත.

බාධකයක් යනු අවසානය නොවේ. එහෙත් බාධකයක් ඔබේ අවසානය බවට පත්වේ නම් වැරදි කරුවා ඔබය. බාධකය නොවේ.

බාල ගලක මැණිකක් අතුල්ලන විට ගල ගෙවෙයි. මැණික ඔප වැටෙයි.

බාධකය ගෙවා දමා ඔබ බබලන්න. බාධකය මොටකරමින් ඔබ තියුණු වන්න.

දක්ෂ තිත්තයෙකු මෙන් කොකාගේ වාරය ඔහුට දෙන්න. ඔබේ වාරය පැමිණේනතුරු ඔහු වටා කැරකෙමින් කල් නොබලන්න.

ඔබට හරකෙකු මුණ ගැසුණ විට ඔහු සමග ඇනගන්නට නොයන්න. ඔහු මෙල්ල කරගෙන ඔහු ලවා ඔබේ කරත්තය ඇදගන්නා අයුරු සොයාගන්න.

මිනිසුන් මෙන් හැසිරී ගැටලුවක් විසඳිය නොහැකි තැන ගැටලුව විසඳාගන්නට අං තට්ටුව උපයෝගී කරගන්නේ මැරයෙකු බව හඳුනා ගන්න.

මැරයන්ට ආචාර ධර්ම නැත. ඔහුට ආචාර ධර්ම හුරු කිරීමද කළ හැකිවාට වඩා කළ නොහැකි දෙයකි.

මැරයාගේ ආචාර ධර්ම දෙකකි. එනම් දුබලයාට වැඩ පෙන්නීම සහ ප්‍රබලයාට නිවට වීමයි. මැරකමත්, නිවටකමත් එකම ආකාරයේ නීච කම්ය.

මැරයෙකුට යටත්වන හැම කෙනෙකුම නිවටයෙකු නොවේ.

මැරයා වීරයෙකු ලෙස සලකා ඔහුට ගරු බුහුමන් කරමින් මැරයාට වහල්වන්නේ නිවටයාය. නොබෝ කලකින්ම ඔහුට හැකි පමණින් ඔහුද මැරකම් කරනු අපට දැකිය හැක. ඔබ මැරයා වීරයෙකු ලෙස සලකමින් සිතින් ඔහුට වහල් නොවිය යුත්තේ ප්‍රධාන වශයෙන්ම ඒ නිසාය.

වවුලාගේ මගුලට යන්න. එහි සිටිනා තාක් එල්ලී සිටින්න. එහෙත් ඔබ වවුලෙකු නොවන්න. වවුලාට ඔබ විය නොහැක. එහෙත් ඔබට... වවුලෙකුත් විය හැකි නම් බාධක අඩුය. වවුලාගේ මගුල් ගෙදර වවුලෙකු මෙන් එල්ලී සිටීම දුර්වල කමක් නොවේ. ශක්‍යතාවයකි.

බාධක ජයගන්නට ඔබට නොහැකිනම් බාධක ඔබ ජය ගැනීම වැළක්විය නොහැකිය.