අපේ රටේ අධ්‍යාපනය
දරුවෙකුගේ සහජ දක්ෂතා මොට කරයි.
ඒ අඳ ගොළු බිහිරි අධ්‍යාපනයට ගොදුරු නොවී
ස්වශක්තියෙන් උඩුගං බලා පිහිනූ දරුවන්
තමා තෘප්තිමත් වන ක්ෂේත්‍රයෙහි
ඉහළට පැමිණ නිදහසේ වෙසෙයි.
ඒ ක්ෂේත්‍රයෙන්ම අධ්‍යාපනය ලබමින්
දෙමව්පියන් ගුරුවරුන් නෑසියන්
අමන්දානන්දයට පත් කරමින්
උපාධි සහතික පත් දිනා ගත්
වෙනත් ක්ෂේත්‍රවල දක්ෂතා ඇති දරුවෝ
ඔවුන් ලබාගත් බම්බුව සමග පෙනී සිටින
ආකර්ෂණීය ඡායාරූපය ගෙදරට නාකි වෙද්දී
මුලු ජීවිතයම වහලෙක් මෙන්
කාට හෝ අකමැත්තෙන් කඹුරමින්
නොසන්සිඳෙන අතෘප්තියෙන් ජීවත් වෙති.
ආයතනයට කාලයෙන් ශ්‍රමයෙන් සොරකම් කරති.
නිහඬව හෝ හඬ නගා
වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කරති.
සූදුවට ස්ත්‍රීන්ට මත්පැනට හුරු වෙති.
ලොල් වෙති.
කුඩා කලම මග වරද්දාගත් පව ගෙවති.
නැත්නම් නරුමයන් වී යාන්ත්‍රිකව ජීවත් වෙමින්
උපන්නාට මෙලොව වැනෙති.
මෙවැනි අවස්ථාවලට මැදිවී
නිරන්තරයෙන් විඳින දුක් වේදනා නිසා
අපේ දරුවන්ගේ සහජ දක්ෂතාවලට
උපරිම සහයෝගය දෙන්නටත්
ඔවුන්ගේ අත්‍යාවශ්‍ය අධ්‍යාපනය
සාමාන්‍ය මට්ටමේ පවත්වාගන්නට
අපි අදිටන් කරගෙන ඇත්තෙමු.
උදේ දත් මැදීම,
හිස පීරීම, වැසිකිළි යෑම වැනි
යහපත් පුරුද්දක් විදියට කරන්නටත්
ඊළඟ පන්තියට යන්නට ප්‍රමාණවත් මට්ටමට
පාසල් අධ්‍යාපනය
පවත්වාගන්නටත් අදිටන් කරගෙන සිටිමු.
දරුවන්ගේ ජීවිතයත් සතුටත් රඳා පවතින්නේ
අප වඩාත්ම අගය කරන රැකියාව කිරෙමෙන් නොව
දරුවන් පෙර සසර හුරුවූ වාසනා ගුණ මත
දරුවා වඩාත්ම ප්‍රිය කරන සහජ දක්ෂතාවය මත බව
අපි අත්දැකීමෙන් දන්නෙමු.
සහජ දක්ෂතාවයෙන් ජීවත් වන්නෝ
ඉන් උපයන මුදලට යටත් නැත.
ඉන් උපදින ගරු නම්බු ලාභ සත්කාරවලට
වහලුන් බවට පත් නොවෙයි.
සහජ දක්ෂතාවය දරුවාගේ චරිතයෙහි අංගයකි.
පිටින් සවි කරන ආගන්තුක උපාංගයක් නොවේ..
කුරුල්ලා කුරුල්ලෙකි.. මාලුවා මාලුවෙකි.
කුරුල්ලාට තටු දිය යුතුය. මාලුවාට වරල් දිය යුතුය.
අශ්වයාගේ දෙපා සවිමත් කළ යුතුය.
මී කුණක් විකුණා කොලුවෙක් නැව්පතියෙක් වූ කතාව
තමන්ගේ ජීවිතයේ ආදර්ශය කර නොගත්
කටපාඩම් අධ්‍යාපනයට සමත් වූ දක්ෂ දරුවෙක්
ව්‍යාපාර කළමනාකරණයට යොමු කිරීම
රැකියාව, ගේදොර ඉඩකඩම්, යානවාහන අතින්
ඔහු කොතරම් සාර්ථක ජීවිතයක් ගත කළද
මිනිසෙකු ලෙස ඔහුගේ ජීවිතය බංකොළොත් කිරීමකි.
මිදුලට බැස්ස විට කෝම්පිට්ටු හදන්නේ නැති,
වැල්ලට ගිය විට වැලි ගෙවල් හදන්නෙ නැති,
සාලයෙහි හතර අත විසිර ඇති
බිල්ඩින් බ්ලොක්ස් අල්ලන්නෙවත් නැති දරුවෙක්
ඉංජිනේරුවෙක් කිරීමට ක්‍රියා කිරීම
ඔහු කම්කරුවෙකුටත් අන්ත දුගී ජීවිතයකට
සිතින් ඔහු පත් කරන කරන ව්‍යාපෘතියකි.
තම දරු පවුල සමග
කම්කරුවා තෘප්තියෙන් ජීවත් වෙද්දී
ඉසුරුමත් ඉංජිනේරුවා තෘප්තිය සොයා
අවන්හල් සමාජශාලා තුළ සැරිසරනු
ඔහුගේ දෙමව්පියන්ට දැකිය හැකි වනු ඇත.
ඒ ඔවුන් ඔහුට දුන් වටිනාම ත්‍යාගයයි.
වෛද්‍යවරු දහස් ගණන් ඇත.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු
වෙදකමට හෙද කමට උපන්නෝ නොවෙති.
බුද්ධදාස රජු නයා සුවපත් කිරීම අසා
සර්පයන්ට කරුණාවක් පහළ නොවෙන දරුවෙක්,
බුදුන් වහන්සේ පූතිගත්තතිස්ස හිමියන්ට
හෙදකම් කිරීම අසා
සිතින් සුවපත් නොවෙන දරුවෙක්,
රෝගියෙකු දුටුවිට කම්පා නොවෙන
ඔහු සුවපත් කරන්නට
කාරුණික හැඟීමක් ඇති නොවෙන දරුවෙක්
පාසල් අධ්‍යාපන රටාව තුළ
දක්ෂයෙකු වූ පමණින් වෛද්‍යවරයෙකු කිරීම
වෛද්‍ය වෘත්තියටත්, රෝගීන්ටත්,
ඔහුටත් කරන හානියකි.
වෘත්තියෙන් විඳින අතෘප්තියෙන් මිදෙන්නට
ඉන් නැති සතුට භෞතික ලෝකයෙන් සොයන්නට
නිරතුරුව දරණ සානුකම්පිත වෑයම තුළ
ඔහු සියුම් අපරාධකරුවෙක් විය හැක.
සැප සම්පත් බිලී බාන්නට රෝගියා ඇමක් කරගන්නා
නරුමයෙකු විය හැක.
කවර ක්ෂේත්‍රයක් ගත්තත්
තමාට නොගැලපෙන ක්ෂේත්‍රයකට යොදවා
ඒ ක්ෂේත්‍රය තුළ දුක් විඳින වහලුන් නිසා
මුළු ක්ෂේත්‍රයම පිරිහෙන අතර
තමන් කැමති ක්ෂේත්‍රවල ඉදිරියට යන අය
සිය අනන්‍යතාවයත් රැකගෙන,
තම ශක්ති පමණින්,
ක්ෂේත්‍රය ආලෝකවත් කරති.
දරුවා කුඩා අවදියේ නිතර කරන
එකඟ සිතින් රැඳී සිටින කෙළි සෙල්ලම් තුළ
ඔහුගේ සහජ දක්ෂතා පැහැදිලිය.
ඔහුගේ සහජ හැකියාවන්ට
දෙමව්පියන් අන්ධයන් වීම නිසා
නෙත් ඇති දරුවන් අඳුරට පත් කොට
ගේ දොර ඉඩකඩම් විකුණා
කණ වැල අල්ලන දෙමව්පියන්
දරුවන්ට ආලෝකයක් නොවෙන ක්ෂේත්‍රවල
අන්ධයන් බවට පත්කොට
ඔවුන්ගේ ජීවිත අඳුරු කරති.
අපේ රටේ සමාජ පරිහානියට
මේ ප්‍රවණතාවය ප්‍රබල හේතුවකි.