20150630

අපරාධකරුවෙකුට එක මොහොතෙන් සිල්වතෙක් වෙන්න පුලුවන්.



භයානක අපරාධකරුවෙකුට
එක මොහොතෙන් සිල්වතෙක් වෙන්න පුලුවන්.

ප්‍රායෝගිකව අපහසුයි..
ඒත් න්‍යායිකව සත්‍යය මේ විදියයි.
.
තමන් කරන පව් අත්හැරලා
දහම් මගට යොමුවෙන අපරාධකරුවෙක් ඉන්නවා.
1
ඔහුගෙ පැරණි කර්ම පල දෙනවා.
2
ඔහුගෙ කෙලෙස් ඒ විදියටම තියෙන්න පුලුවන්.
3
ඔහුට ශීලයෙහි පිහිටන්න පුලුවන්.

ඔහු යළිත් කෙලෙස් මතුවෙන කොට
ඒ සංස්කාර පිළිබඳව සිහියෙන්
ඒ සංස්කාරවලට උපේක්ෂාවෙන්
නොකඩවාම විසුවොත් කෙලෙස් නැසෙනවා.
කර්ම පල දේවි.
ඔහු අලුත් කර්ම සංස්කාර හදන්නෙ නෑ.
=============================================

3 අසම්පූර්ණයි නේද?.කෙනෙක් සාන්සාරිකව පුහුණු වෙලා තියෙන්නෙ 
අපරාධ වලටනම් ඔහු හිතුවත් උත්සහ කලත් සොභාදහම ඔහුට ඉඩ දෙන්නෙ නැහැ.
එය වෙනස් නොහැකියි.
ප්‍රායෝගික නොවන කිසි දෙයක් න්‍යායික නොවෙයි.එක මොහොතින් ??????

=================================

ශීලයත් පාපයත් අතර
පරතරය අඩුයි.
ශීලය රකින්නාගෙ මනස
සිල් බිඳින්නාට ඉතාම සමීප වෙන්න පුළුවන්.
ඔවුන් වෙනස් වෙන්නෙ ක්‍රියාවෙන්.

පෝයට සිල් අරන්
සංවර සිත තවත් සංවර කරන
සාමාන්‍ය සිල් ඇත්තන්ගෙන් ඔබේ සිත මුදා ගන්න.
ඔවුන් පිහිනන්න පුහුණු වෙන්නෙ දණක් ගැඹුරු වතුරක
සියලු ආරක්ෂාවන් ඇතිවයි.

අන්ධකාර රාත්‍රියක, පාලු පාරක
ආය්ධයක් අතැතිව ගමන් කරන අපරාධ කරුවෙකුට
තමන් මරනවාමයි කියා සැලසුම් කරපු
ප්‍රබල හතුරෙක් නිරායුධව යනවා
මුණ ගැසුණොත් ඔහුගෙ මානසික තත්වය හිතන්න.

ඔහුගෙ හිත ද්වේශයෙ කැළඹෙනවා.
හතුරා මරා අහුනොවී බේරෙන්නත්
පරිසරය සූදානම්ව තියනවා.
ඔහු හතුරා බිම පෙරලගෙන ආයුධය උස්සනවා.
හතුරා දෙනෙත් පියා ගන්නවා.

ඒ මොහොතෙ අපරාධකරුවා
තමන්ගෙ හිත දමනය කරගෙන
හතුරා පණපිටින් ඉන්න හැරලා
ආයුධයත් අරන් ඉවත්ව ගියොත්
ඔහු ඉතා උතුම් සිල්වතෙක් විදියටයි
පිටත් වෙන්නෙ.
ඔහුගෙ හිත තවමත් දැවෙනවා.
ඒත් ඒ ගින්න ඔහුට පමණයි.
ඔහු අනිකා අත් හැරියා.
ඒ මොහොත ඔහු සිල්වතෙක් කළා.

ඒ ශීලය නැවත නැවත රැකීමයි,
ඔහුගේ වගකීම.

ශීලයක් බිඳෙන්න යන මොහොතෙ...
ඕනම කෙනෙකුගෙ හිත දූෂිතයි.
පංච ශීලය රැකෙන විට
හිත දූෂිතව පැවතීම ගැටලුවක් නෑ.
හිත මොන තරම් දූෂිත වුණත්
අවසාන මොහොතෙදි හෝ
ක්‍රියාවෙන් වැළකුණොත්
ශීලය රැකෙනවා.

එකම මොහොතෙ අපරාධ කරුවන් දෙන්නෙක්
මිනිස්සු දෙන්නෙක් මරන්න
ඔවුන් බිම පෙරලගෙන පිහිය උස්සනවා.
එක්කෙනෙක් මරනවා.
අනික් කෙනා පිහිය වීසි කරනවා.

පලවැන්නාගෙ ශීලය බිඳෙනවා.
පාප කර්මයත් සම්පූර්ණ වෙනවා.
ඔහු ප්‍රාණ ඝාතකයෙක්.

දෙවැන්නාට ඔහුගෙ චේතනාවට
පාපයක් තියනවා, ශීලය රැකුණා.
චේතනාව කර්මයක් වෙනවා.
ඒත් ඔහු සිල්වතෙක් විදියට සැලකෙනවා.
ඔහු ප්‍රාණ ඝාතයට සැරසිලා වැළකුණ
සිල්වතෙක්.

ඔහුගෙ හිත දූෂිතයි.
ඒත් අනෙකා රැකුණා.

ශීලයෙන් ආරක්ෂා වෙන්නෙ සමාජයයි.
පුද්ගලයාගෙ ආරක්ෂාව ඇරඹෙනවා පමණයි..

ශීලය රැකීමෙදි
කෙනෙකුගෙ සිතේ සවිමත් බව බලපානවා.
සමහර විට...
අපරාධකරුවෙකුට සිල් රැකීම
සාමාන්‍ය කෙනෙකුට වඩා පහසු විය හැකියි.
අංගුලිමාල පහසුවෙන් සුමගට හැරුණා.
අපරාධ කරන කෙනෙක් ආවේගශීලීයි.
සාමාන්‍ය කෙනෙකුට වඩා
මනසින් ශක්තිමත් වෙන්න පුලුවන්.
ඔහුගෙ මනස නොමග යන එකයි
ඔහුගෙ ගැටළුව.

ඔහු මොනතරම් ප්‍රබල ද්වේශයකින්
ප්‍රාණඝාතයක් කරන්න සැලසුම් කළත්
ක්‍රියාවෙන් කරන තුරු ප්‍රාණයක් නැසෙන්නෙ නෑ.
ප්‍රාණය නැසෙනතුරු ශීලය බිඳෙන්නෙත් නෑ.
ශීලය කියන්නෙ පරපණ නොනැසීමයි.

අපරාධකරුවාට නැති ආත්ම දමනයක්
ශීලය රකින්නාට තියනවා.

අපරාධකරුවෙක් තරමටම
ඔහුගෙ හිත දූෂිත වුණාට
අපරාධකරුවෙක් සමග සසඳද්දි
ශීලය රකින්නා උතුම් මිනිසෙක්.


පාපයට එන පෙළඹීමෙ දුක විඳගෙන
ඒ දුක විසින් හිත ඔහුව වරදට පොළඹවද්දි
තව කෙනෙක් දුකට පත් නොකර ඉන්නට
ඔහුට ආත්ම දමනය තියනවා.
ඔහු සිල් බිඳෙන මොහොතෙ සිල් රකිනවා.

ඒ මොහොතෙ ආත්ම දමනය නිසා
තමන් අපරාධයට පොළඹවන
කෙලෙස් වලින් දූෂිත හිත ඔහුට පෙනෙනවා.
ඒ හිත නිසා ඔහු දුක් විඳින බව පෙනෙනවා.

ඔහු පාපී ක්‍රියාව නොකර ශීලය රැක්කත්
හිතේ ඇතිවුණ කෙලෙස් වලින් ඔහු දුක් විඳිනවා.
මේ මතුවුණ කෙලෙස් යටපත් කරගන්නට
ඔහුට මගක් අවශ්‍යයි.

ශීලය රකින්නා සැබෑ සිල්වතෙක් වෙන්නෙ
සමාධියත් ප්‍රඥාවත් දෙකම වැඩීමෙන්.

සිල් රකින්නාගෙ ආත්ම දමනය නිසා
මොහොතකට ඔහු තුළ
සමාධියත් ප්‍රඥාවත්  පහළ වෙනවා.
ඔහුගෙ ශීලය රැකෙන්න
ඒ දෙක අල්පමාත්‍රයක් හෝ අවශ්‍යයි.

ශීලය රැකුණාට පස්සෙත්
තවදුරටත් ඔහු තුළ පවතින
හිතේ ගින්න නිවා ගන්නත්
සමාධිය වඩන්නා පුහුණු වෙනවා.

කෙනෙකුගෙ හිත දූෂිත වෙන්නෙ
එක මොහොතකින් නෙමෙයි.

කෙනෙක් සමග මොහොතකට ඇතිවෙන අප්‍රසාදය
ඔහුට කෙණෙහිලි කිරීමෙන්, අරියාදු කිරීමෙන්,
හිංසා කිරෙමෙන්, සණ්ඩු සරුවල් කිරීමෙන්
පෝෂණය වෙමින් බද්ධ වෛරයක් වෙනවා.

ඔහු අරමුණ වෙනස් කරනවා.
දූශිත සිතින් ප්‍රපංච හැදීම
සිතිවිලි මැවීම නතර කරනවා.
ඔහුගෙ සිත සමාධිගත වෙනවා.
ඔහු කළේ මතුවූ වූ කෙලෙස්
යටපත්  කිරීමයි.

සමාජයේ සිටින
යහපත් පුද්ගලයන් මේ වගෙයි.
ඔවුන් සාන්තුවරයන් වගෙයි.
ඔවුන් හිතේ මඩ කැළතෙනකොට
මඩ තැන්පත් කරන
ක්‍රම වේදය දන්නවා.
ඔහුගෙ චේතනාව පවතින කාලය අඩුයි.
කර්මයත් අඩු වෙනවා.

ඔහුගෙ ආත්ම දමනය සිල්වතාට වඩා
වැඩි වෙන්න පුලුවන්.
ඒත් සීමාවක් තියනවා.

නැවත හිත කැළතුණොත්
ඔහු අතින් සිල් බිඳෙනවා.
සමාධියෙන් ඔහුගෙ හිත කැළඹුණ වෙලාවට
නිවා ගන්න ඔහුට පුලුවන්.
ඒත් ඔහුගෙ හිත පිරිසිදු නෑ.
හිත ජයගත් වෙලාවට ශීලය බිඳෙනවා.

ඔහු තමන්ගෙ හිතේ අඩුපාඩුව දන්නවා.
ඔහු හිත තව දුරටත් දමනය කරගත යුතුයි.

ඔහු තව පියවරක් යායුතුයි.
හිත කැළතිලා තියෙද්දි හිතින් දුක් නොවිඳ ඉන්නට
ඔහු තමා පුහුණු කළ යුතුයි.
කැළඹුණ කෙලෙස් අනුව සිල් බිඳගන්නෙත් නැතිව
සිතේ කැළඹීම යටපත් කරගන්නෙත් නැතිව
ඒ කෙලෙස් නැසිලා සිත පිරිසිදු වෙන විදියට
සිත පවත්වා ගන්න ආකාරය
ඔහු පුහුණු විය යුතුයි.
සමාධියෙන් ප්‍රඥාවට යායුතුයි.

ප්‍රඥාවට එකම මග විපස්සනා වැඩීමයි.

විපස්සනා වඩන කෙනෙක්
ගුණාංග දෙකක් ප්‍රායෝගිකව පුහුණු වෙනවා.
1, තමන්ගෙ හිතත් කයත්
වෙනස් වෙන ආකාරය ගැන සිහියෙන් විසීම.
2, සිහියෙන් දකින ඒ වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් විසීම..

හිත දූෂිත වුණ වෙලාවට
ඔහු ඒ දූෂිත හිත නිසා
තමන්ගෙ සිතත් කයත් වෙනස් වෙන විදිය
මොහොතින් මොහොතට සිහියෙන් දකිනවා.
ඒ වෙනස් වීම් වලට ඇලෙන්නෙත් නෑ..
ඒ වෙනස්වීම් වලින් දුක් විඳින්නෙත් නෑ.
ඔහුගෙ හිත දූෂිත වුණාට
ඔහු දූෂණය වෙන්නෙ නෑ.

ඔහුගෙ ශීලය රැකෙනවා.
ඔහුගෙ සමාධියත් තියනවා.
ඒ සමාධිය පවතින්නෙ හිතේ කෙලෙස් තියෙද්දිමයි.
සිතත් කයත් මතුවුණ සංස්කාර නිසා දුක් විඳින අතරෙ
ඔහු හැම දෙයක් ගැනම සිහියෙන් සමාධීයෙන් පසු වෙනවා.

තමන්ගෙ සිතේ සහ කයේ
වෙනස්වීම් ගැන සිහිය සමග පවතින  සමාධිය
සම්මා සමාධියයි.

සම්මා සතියෙන් පහළ වූ සම්මා සමාධියයි.


සමාහිත සිතින් ඒ මොහොත තුල වෙසෙමින්
සමස්තයම දකින නිසා
ඒ ඒ අත්දැකීම නිසා
ඔහුට සිතත් කයත් පිළිබඳව
යථා ස්වභාවය පෙනෙනවා.

ඒ මොහොත ඔහුට විද්‍යාමානයි.
ඒ මොහොතට 
අවිද්‍යාව නිරෝධ වෙනවා.

අවිද්‍යාව නිරෝධවීම නිසා
මතුවෙන මතුවෙන සංස්කාර  නිරෝධ වෙනවා.
පැරණි සංස්කාර  මතුවෙලා නිරෝධ වෙන්නෙ
වැයවීම සංස්කාර වල ධර්මතාවය නිසයි.
පැරණි සංස්කාර  නිරෝධවෙන නිසා
විඥාණය නිරෝධ වෙනවා.

සංස්කාර සමග ම්ශ්‍ර වීමෙන් විකෘති වෙලා
හිතේ තිබුණ තිබුණ මිථ්‍යා දැනුම වන
විඥාණය නිරෝධ වෙනවා.
ඒ නිමේශය තුළ
රාග ද්වේශ මෝහ වලින් තොරව
සත්‍යය දකිනවා.

ඒ මොහොත, දෙකක් තුනක් හතරක් වශයෙන්
වර්ධනය කරගැනීම විදසුන් වඩන්නාගේ වගකීමයි.

මේ නිසා හිත මොන තරම් දූෂිත කෙනෙක් වුණත්
තමන් කරන අපරාධ අතරෙ
එක මොහොතකට තමන් දමනය කරගෙන
එක පාප ක්‍රියාවකින් වැළකුණොත්
ඒ මොහොත ඔහුගෙ ජීවිතයේ අති උතුම් මොහොතක්.

නවසිය අනූනවයක් මිනිසුන් මැරූ අංගුලිමාල
කඩුව වීසි කරලා
අංගුලි මාලය ඉව්තට දාලා
ඔහුගෙ ජීවිතයෙ U ටර්න් එක
එක මොහොතකින් ගත්තෙ
එවැනි උතුම් මොහොතක් නිසයි.

අංගුලිමාල ඒ මොහොත දීර්ඝ කරගත්තා.