20160826

මිනිස් සිතටත් ආහාර අවශ්‍යයි.

මිනිස් සිත කියන්නෙ
 නොකඩවා ක්‍රියා කරන යන්ත්‍රයක්.
කයට වගේම
 ඒ යන්ත්‍රයටත් ආහාර අවශ්‍යයි.

 දවස පුරාම අපි බාහිර ලෝකයට
 ඇස් අයාගෙන, සවන් යොමාගෙන
 සිතට ආහාර සොයනවා.
අපි ප්‍රිය කරන්නෙ රාග නිශ්‍රිත
 ද්වේශ නිශ්‍රිත ආහාරයයි.

අපි අහන ප්‍රවෘත්ති, දකින ප්‍රවෘත්ති,
අපේ දෑසේ, දෙසවනේ ස්පර්ශ වෙද්දි
 අපි ඒ රූප විඳ සකස් කරගත්
 අපේ ආකල්ප කැළතෙනවා.. කැළඹෙනවා.
අපේ කය තුළ සුඛ දුක්ඛ වේදනා උපදිනවා.
වේදනාව සුඛ නම් රාගය උපදිනවා.
වේදනාව දුක්ඛ නම් ද්වේශය උපදිනවා.
ඉතිරි මුළු කාලය තුළම
 අපට නොදැනෙන අදුක්ඛමාසුඛ වේදනා නිසා
 මෝහය ඇති වෙනවා.

මේ ක්‍රියාවලියෙ අපි කැමති දේ
 අපි සැප වශයෙන් විඳිනවා.
අකැමති දේ දුක් වශයෙන් විඳිනවා.

සිතට දෙන ආහාරත්
 කයට දෙන ආහාර වගේම
 අපි වෙළඳපොළෙන් අරන් සකස් කරගන්නවා.
පොතක පත්තරයක පිටු පෙරළමින්
 රිමෝට් කන්ට්‍රොල් එක ඔබමින්
 ඕපාදූප කතා කරමින්
 අපි මාර්කට් එකේ ශොපින් යනවා.

සංවාද විවාද ආදියෙහි යෙදෙමින්
 අපි ඒ ආහාර රස කරගන්නවා.
සමථ භාවනාවක් මාර්ගයෙන්
 උපවාසයෙහි යෙදිලා......
මෝහ ආහාරයෙන් සිත සනසා ගන්නවා.
වෙහෙස නිවාගන්න නින්දට වැටිලා
 මෝහ ආහාරයෙන් සිත සනසා ගන්නවා.
මේ පෝෂණය අනුව
 අපේ හෙට දවස තීරණය වෙනවා.
හෙට දවසේ ආහාර තීරණය වෙනවා.