20140706

රියැලිටි ෂෝ යථාර්ථය




කෑදරකමින් ඉහවහා ගිය පිරිසක
කපටින් සහ මෝඩයන් දෙපිළ බෙදී
කෑදරකම පිරිමහ කරගන්න
කෙළින සූදුවක් සහ
ඒ සූදුව බලා විනෝද වෙන
සූදුවට ඇබ්බැහිවුණ
වෙන කරන්න දෙයක් නැති
ප්‍රේක්ෂක පිරිසක අතරමං වීමක්.

මේ බොම්බයි මොටයි සංස්කෘතියෙන්
දරුවන් රැක ගැනීමයි කළ යුතු.

දවසකට දෙකකට තරුවක් වෙලා
උල්කාපාතයක් වගේ විනාශයක් කරමින්
කඩා වැටෙනවාට වඩා
ඔවුන් සැනසිල්ලෙන් ජීවත් වුණොත්
ඒක් ඔවුන්ට වටිනවා.
චූන් එක කොයිතරම් වුණත්
වටිනාකම තීරණය කරන්න වෙන්නෙ
ගෙවන්න වෙන වන්දිය අනුවයි.

හොඳ එකක් බලන්න
නරක 99ක් බලන්න වෙන නිසා..
2010 දෙසැම්බර් සිට
කිසිම රූපවාහිනි නාලිකාවක්
අපේ ගෙදර බලන්නෙ නැහැ.
අපි ජීවත් වෙන්නෙ
පූර්ව රූපවාහිනී සමයෙ...
අද උදේ දෝණි ඩීවීඩී එකක් බලන්න ඇහුවා
කාටූන් බෑ කිව්වාම
ඈ තෝරගත්තෙ දුර්ගා.
දුර්ගා කියන්නෙ පාතර් පංචාලි..
මේ තුන්වෙනි වර විය යුතුයි..
පුතා තෝරගත්තෙ අපූර් සන්සාර්.
මම කිව්ව දෙකම බලන්න කියලා.
දැන් ඔවුන් ඒක අමතක වෙලා
වෙන සෙල්ලම්.
ඒත් ඩීවීඩී එකක් බලන්න වුණාම
ඒ දෙක තමයි බලන්න වෙන්නෙ..

රූපවාහිනියට පුරුදු වුණ දරුවෙකුට
පාතර් පංචාලි බලන්න
සංයමයක් ඉතුරු වෙන්නෙ නෑ.
ඔවුන්ට වෙළඳ දැන්වීම් නැතුව
දෙයක් එක දිගට බලන්න
සමාහිත බවක් නෑ.
අපිට වුණත් ඒ ටික වෙනවා.
බිරිඳ පහුගිය දවස්වල
Raaz චිත්‍රපට තුන බලල
හිත අවුල් වුණා.. කියල තැවුණා.
ඊයෙ බැලුවෙ ක්ලියෝපැට්‍රා පැරණි චිත්‍රපටිය.
මාත් ටිකක් බැලුවා.
එයින් වෙන වෙනස
මිහිරි තුවාළ කැළලක් වගේ...
හිතේ නින්නාද වෙනවා.

මේ පසුබිමේ අපට
මහා ලොකු දේවල් නොලැබෙන්න පුලුවන්.
ඒත් මහාලොකු හොඳ දේවල්
නැති වෙන්නෙ නැති බවත්
මහා ලොකු නරක දේවල්වලින්
වැළකෙන බවත් අපි දන්නවා.

අසේවනාච බාලානං
ඒතං මංගල මුත්තමං.

=================================================


රියැලිටි ෂෝ
____________ කුමාර ලියනගේ

වරක් එක්තරා පෞද්ගලික නාලිකාවක වැඩ සටහනක් සදහා මා රැගෙන යෑමට වෑන් රථයක් පැමිණී අතර, අතරමගදි එහි රියදුරු සමග කතාවට වැටුණෙමි. ඒ අනුව එකී රථය කුලී පදනම මත අදාළ ටෙලිවිෂන් නාලිකාවේ සේවා සදහා ලබා දී තිබුණේ මෑතකදී ය. රියදුරුට අනුව ඊට පෙර ඒ ටෙලිවිෂන් නාලිකාවේම රියැලිටි ගීත තරගයක් සදහා එක් තරගකරුවකු විසින් වෑන්රථය කුලියට ගෙන තිබී ඇත. ඔහු ‍තරගය සදහා කොළඹ පැමිණිමට වෑන් රථය ගෙන තිබුණේ රු.80,000ක මාසික කුලී පදනමට ය.

මෙයින් පෙනී යන්නේ රියලිටි ෂෝ සදහා තරගකරුවන් වියදම් කරමින් සිටින මුදල් කන්දරාව ය. එය ප්‍රවාහන, SMS, පෝස්ටර්, පුහුණුවීම්, සෙනග ගෙන්වීම ආදි විවිධ අවශ්‍යතා සදහා වැය වන්නකි.

වරක් අනුරාධපුරයේ සිට තරගයට සහභාගි වූ එක් තරගකාරියක, අවසන් වටයෙන් කැපී ගිය විට, ඇය ගේ මව්පියෝ තරග බිමේ දීම සිහිසුන් ව ඇද වැටුණ හ. පසුව සොයා බලද්දී, ඊට හේතුව වී තිබුණේ ඔවුන් ගේ එකම ආදායම් මාර්ගය වූ හේන තරගය සදහා උගස් තබා තිබිම ය. ඔවුන් ගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ ඒ තරගයේ අවසන් මහා ජයමල්ල දිනා ගෙන හේන බේරා ගැනීම ය.

මෙරට රියලිටි ෂෝ තරග පසුබිමේ මෙවැනි ඛේදවාචක දහස් ගණනක් තිබෙන බව අපි දනිමු.

එහෙත් වසර දහයකට ආසන්න කාල වකවානුව තුළ සිංහල ගීත ක්ෂේත්‍රයට ජාතික මට්ටමේ ලා සැලකිය හැකි එක් ගායකයකු හෝ ගායිකාවක හෝ බිහි කරගන්නට මේ තරග සංවිධායකයන්ට නොහැකි වී තිබෙන බව සත්‍යයකි.

මගේ අදහසට අනුව මෑතභාගයේ එබදු තරගයකින් ජයග්‍රහණය කර ජාතික මට්ටමට ආ තරගකාරියක වශයෙන් සදහන් කළ හැකි වන්නේ ශෂිකා නිසංසලා පමණි. ඇය සහභාගි වූයේ ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රූපවාහිනිය එක් ව සංවිධාන කළ 'තුරුණු ශක්ති' ගායන තරගාවලියට ය. එය රියලිටි තරගයක් නොවේ. අසංක ප්‍රියමන්ත පීරිස් ද ජාතික රූපවාහිනියේ එවැනි තරග ජයග්‍ර්‍රහණයකින් ආ ගායකයකු වන අතර, එතැන් සිට ඔහු පැමිණ තිබෙන ගමන් මග දැන් විකෘතියක් බවට පත් ව තිබෙන නිසා, ඔහු ජාතික මට්ටමෙන් බැහැර වෙමින් සිටින්නකු වශයෙන් සලකන්නට අපට සිදු ව තිබේ.

මෙරට ප්‍රවීණ පරපුරේ ගායක ගායිකාවන් සැලකිය යුතු ගණනක් ජාතික කලාවට සම්බන්ධ වී ඇත්තේ 'පිබිදෙන ගායක පරපුර', 'මැලිබන් ගුවන් තොටිල්ල' වැනි තරගවලිනි‍. එහෙත් එකල තරග ජයග්‍රාහහක, ජයග්‍රාහිකාවන්ට හිමි වුයේ සම්මානයක් සහ සහතිකපතක් පමණි.

මෙකල තත්ත්වය ඊට හාත්පසින් වෙනස් ය. ඒ අනුව ජයග්‍රහණය කරන්නාට/කරන්නියට මිලියන ගණනක් වටිනා නිවාස, ඉඩකඩම්, වාහන, පරිගණක, ජංගම දුරකථන, මුදල් ආදි වශයෙන් වටිනා ත්‍යාග රැසකට හිමිකම් කියන්නට අවස්ථාව උදා වේ.

එදා මෙදාතුර රියැලිටි ෂෝ තරගවලින් එලෙස ත්‍යාග දිනා ගත් පිරිස 20ක් පමණ වේ. තම තමන් ගේ මුදල් ලක්ෂ ගණනින් අහිමි කරගත් පිරිස දහස් ගණනකි.

මේ කවර දෙයකින් වත් මෙරට ගීත ක්ෂේත්‍රයට සිදු වූ නව නිර්මාණාත්මක යහපතක් නොමැත.

මෙරට ජනගහණය කෝටි දෙකකි. දහසකට එක් අයකු විශිෂ්ට ගායන කුසලතාවෙන් යුක්ත යයි අනුමාන කරන්නේ නම් සැමවිට මෙරට සිටිය හැකි අති දක්ෂ ගායක ගායිකාවන් ගේ ගණන 20,000කි. ඒ අනුව ජනගහණ වර්ධනය 0 අගයට ගෙනාව ද, තවදුරටත් ප්‍රථම ස්ථානය සදහා සුදුසු මට්ටමේ සිටින ගායක ගායිකාවන් ගේ ගණන 20,000කි.

මෙයින් පෙනී යන්නේ රියලිටි ෂෝ වෙළෙදපළේ තරම ය.

Y පරම්පරාව නමින් වෙස් ගන්වන ලද නූතන තරුණ පරම්පරාවට 'ඉවත ලන තාරුණ්‍යය' (disposable youth) නමින් යෙදුමක් ද බටහිර විචාරකයන් විසින් භාවිත කෙරේ. සැබැවින්ම නූතන තරුණ පරම්පරාව හැදින්වීම සදහා වඩාත් යෝග්‍ය යෙදුම වන්නේ එය ය.

එය රියලිටි තරගවලින් මනා ව ප්‍රකට වේ.

වරක් එක් රියලිටි තරගයක තරගකරුවන් ගේ සංඛ්‍යාව ලෙස වෙළෙද සමාගම් වෙත ඉදිරිපත් කර තිබුණු ගණන 50,000ක් වන විට, එහි සැබෑ ගණන වුයේ 4000ක් පමණ ය. කෙසේ වෙතත්, තරගය ආරම්භයේ සිට සිදු වන්නේ නවක ගායක ගායිකාවන් ගීත ක්ෂේත්‍රයෙන් ඉවත ලෑම ය.

තරගය උත්සන්න වන විට සමුගැන්ම ද තිව්ර වේ.

ඒ අනුව එක් තරගකරුවකු/තරගකාරියක තරග බිමෙන් ඉවත් වන විට, වේදිකාව මළගමක් බවට පත් කරනු ලැබේ. එවිට ඥාති, හිතමිත්‍රාදීහු හොටු හූරමින් අඩන්නට පටන් ගනිති. මාපියෝ වැළපෙති. ඇතැමුන් ගේ ගොරොක් ගෙඩි බදු ඇස් ගෙඩි, කැමරාවට සමීප රූප වශයෙන් හසු කර ගනු ලැබේ. අවසානයේ දී 'මා ඉතින් යන්න යනවා, මට යන්න අවසරයි' වැනි ගීතයක් ද ගයවනු ලැබේ.

මෙලෙස සිදු කෙරෙන්නේ තවමත් ගීත ‍ක්ෂේත්‍රයට පය නො තැබූ ආධුනික ගායකයකු/ගායිකාවක ක්ෂේත්‍රයෙන් පිටමං කිරීම ය.

මෙයින් ඇති කෙරෙන ඉච්ඡාභංගත්වය නිසා බොහෝ දක්ෂතා පිරි තරුණ තරුණියෝ යළිත් ගීත ක්ෂේත්‍රයට පය නො තබන මානසිකත්වයක් ඇති කර ගනිති.

අනෙක් අතට, ජයග්‍රහණය ලබන තරගකරුවන්ට ද/තරගකාරියන්ට ද විනිශ්චයකරුවන් යයි කියවා ගන්නා පුද්ගලයන් ලවා අමණ අවවාද දෙනු ලැබේ.

වරක් එක් තරගකරුවෙක් අවසන් වටයක දී 'ගුණේ අයිය ගේ කාමරේ' සින්දුව ගායනා කළේ ය. එවිට තරගයට ගෙන්වා සිටි ටියුෂන් ගුරා කීවේ 'මෙය ලංකාවේ විශිෂ්ට ගී පද රචනයක්' බව ය. එය 'මහගම සේකර ගේ ගී පද රචනයක් ලෙස වුව සැලකිය හැකි අද්විතීය නිර්මාණයක්' බව ය. ඒ ලනුව කෑ තරගකරුවා පසුව එවැනි සින්දුවක් ගායනා කළේ ය. මේ එහි වචන ය.

'සුකුරුත්තන් මොත්තෙ නතිං පිස්සු පීකුදු
අද සෙට් වෙන අපෙ ගැන්සියෙ බොක්ක පිරිසිදු'

මේ අනුව පෙනී යන්නේ මවා පෙන්වන ලබනු යහපතට වඩා, රියලිටි ෂෝවලින් මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදු වන අයහපත වැඩි බව ය.

රියලිටි තරගයකින් පසු කැපී විසිවුණු තරගකරුවන්/තරගකාරියන් ටික කාලයක් යන තෙක්, ටෙලිවිෂන් නාලිකාවල අගුපිල්වල කල් ගෙවමින් සිටිනු මම දැක ඇත්තෙමි. එහෙත් ඔවුන්ට එකී ටෙලිවිෂන් නාලිකාවලින් කිසිදු උපකාරයක් සිදු කෙරෙන්නේ ද නැත‍.

අවසානයේ දී සිදු වන්නේ ඔවුන් සංගීත ක්ෂේත්‍රය පිළිබද ව කලකිරී එයින් බැහැර වීම ය.

වසරක් තිස්සේ කෘත්‍රිම ව පවත්වා ගෙන ආ හැඩකාර ජීවිතය, අනුන්ට පෙනෙන්නට පවත්වා ගන්නට නො හැකි වන තරුණ තරුණීයන්, සම්භාහන ආයතන වැනි විවිධ සමාජ අපචාරයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතින බව, මෑතකදි ප්‍රකාශ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ය.

ගල්කිස්සේ සිට කොල්ලුපිටිය දක්වා පමණක් නීති විරෝධී සම්භාහන ආයතන 300ක් පමණ තිබෙන බව, එක් හිතවතෙක් මා සමග පැවසුවේ ය.

මේ කවර දේ අතරත් සිදු වන එක් දෙයක් තිබේ. එනම් ලංකාවේ නීති පද්ධතියෙන් රිංගා යන මාධ්‍ය ආයතනයන්ට, මුල් නිර්මාණකරුවන්ට මුදල් නො ගෙවා, යහමින් මුදල් උපයා ගන්නට අවස්ථාව උදා වීම ය. විනිශ්චය මණ්ඩලයේ සිටින පුද්ගලයන්ට ස්ථාවර ආදායමක් සහ සංගීත පන්ති පවත්වා ගැනීමේ අවකාශය පුඵල් වීම ය. කිහිප දෙනකු ගේ ආර්ථීක ප්‍රශ්න විසදා ගන්නට ඉඩ කඩ උදා වීම ය.

ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගේ ගීත ගායනයෙන් ජනප්‍රියත්වයට පත් වූ අමිලා නදිශානි ' ගායකාවක් වුණු හින්දා මං ගොඩ ගියා' කියමින් මෑතකදී පුවත්පතකට ප්‍රකාශයක් කර තිබුණේ ඒ නිසා ය.
- කුමාර ලියනගේ