20140715

සමුගනිමි, FACEBOOK

මේ සටහන පළ කොට දින දෙකකට පසුව
Facebook වාරණය අවසන්ව ඇත.
එහෙත් සටහන ඉවත් නොකරන්නට සිතුවෙමි.
---------------------------------------------------------------------------

සමුගනිමි,

මිනිසෙකුගේ මරණය යනු
ඔහු හැදුණ වැඩුණ පරිසරයෙන්
ඔහු ඇසුරු කළ නෑසිය හිතවතුන්ගෙන්
යළි හමු නොවෙන ලෙස වෙන්වීමයි.

ජීවත් වෙන අය විසින්
එම අත්දැකීම ස්වල්ප කලකට විඳින නමුත්
මිය ගිය තැනැත්තාට
විඳින්නට හැකියාවක් නැත.

මා මිය ගිය පසු සිදුවන්නේ කුමක්දැයි
මටම දැකගන්නට ලැබෙනවා නම්
කෙතරම් අපූරුදැයි මා කිහිපවර සිතුවෙමි.

එම අත්දැකීමට
කිසි සේත් සමකළ නොහැකි වුවද
ඉතා සියුම් අන්දමින්,
ඊට හුරු අත්දැකීමක් විඳින්නට මා වාසනාවන්ත වූයේ
ෆේස්බුක් සමාජ ජාලය විසින් මගේ ගිණුම අත්හිටවූ බැවිනි.

මරණය යනු තවත් අළුත් ජීවිතයකි.
මේ අත්දැකීමන් මා ඉගෙනගත දහම එයයි.

ළදරුවෙකු මෙන් නොව වැඩිහිටියෙක් ලෙස
ඒ අත්දැකීම විඳින්නට ලැබීම ඉතා අපූර්වය.
හදිසි අනතුරකින් අහිමිවූ නමුත්
ෆේස්බුක් ජාලය තවත් එක ජීවිතයකි.

මා ෆේස්බුක් ජාලයට බැඳී වසර හයක් පමණ ඇත.
පසුගියදා මා විසින් එක්කළ ඡායාරූපයක්
ඉවත්කළ බව දන්වා ලැබුණු පණිවිඩයකින් පසු
මට මගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වීමට නොහැකි විය.
යළි අවසර ලැබීමද සැක සහිතය.

ෆේස්බුක් ජාලයේම පළවූ
පලස්තීන දැරියක් තුවාල වී සිටින
එම සංවේදී ඡායාරූපය
කලින් අවස්ථාවක පළ කළ විටකද
මා මිතුරු සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන්
දැඩි විරෝධයක් ඊට එල්ල විය.
එම ඡායාරූපය නැවත වරක්
උපයෝගී කර ගැනීම
මගේ ගිණුම අත්හිටුවීමට හේතු වී ඇත.
ඔවුන්ගේ තීරණය සාධාරණයැයි
මටද හැඟෙන අතර
එය ඉත සිතින් පිළිගනිමි.

කෙනෙකුගේ ජීවිතයෙහි යමක් සිදු වන්නේ
ඊට සුදුසුම කාලයේ සුදුසුම අවස්ථාවෙහිය.
අප කැමති වුවත්, අකමැති වුවත්
සිදු වන සියලු දේ ඊට හොඳම අවස්ථාවෙහි සිදුවෙයි.
මේ සිදුවීමත් එසේ නොවීමට හේතුවක් නැත.
ඉන් කම්පාවීම අනුවණකමකි.

ෆේස්බුක් සමාජ ජාලය නිසා මා ලැබූදේ බොහෝය.
මට නැති වූ දේද බොහෝය.
එහෙත් ලැබූ දේ නැතිවූ දේට වඩා
ඉතා විශාල ලෙස වැඩි නිසා
මා ලැබුවේ ලාභයකි.

විපස්සනා පිළිබඳ
මගේ අවබෝධය දියුණු වන්නට
ෆේස්බුක් තුළ මා කළ සංවාද බෙහෙවින් හේතු විය.
විපස්සනාවෙහි මූලිකාංග වන
තමා තුළ සිදුවෙන දේ පිළිබඳ සිහියත්
තමා තුළ සිදුවෙන දේ පිළිබඳව උපේක්ෂාවත්
දෙකම අත්දැකීමෙන්ම හුරුවන්නට ෆේස්බුක් හරහා
මා ලද අවස්ථා බොහෝය.

එසේම ඡායාරූපකරණය තුළින්
චිත්‍රශිල්පියෙකු ලෙස ඉගෙනගතයුතු බොහෝදේ
මා ඉගෙන ගත්තේ ෆේස්බුක් ජාලය තුළ
හැසිරී සංවාදයෙහි යෙදීම නිසාය.
ඒ ඉගෙනගත්දෑ අන් අය සමග බෙදා ගන්නටද
මට හැකිවීම මගේ වාසනාවකි.

මේ අතරම මා මිනිසුන් පිළිබඳවද
ඉගෙන ගත් දේ බොහෝය.
ඉතා සංයමයෙන් යුතුව 
එහි හැසිරෙන අතළොස්සක් අතර
විවිධාකාර මිනිසුන්
ලොකු කුඩා හේතු මත ආවේගශීලීවෙමින්
ප්‍රසිද්ධියේ හැඳිවත් පවා උනා දමමින්
විවෘතව හැසිරෙනු මම දුටුවෙමි.
ඔවුන් හා නිබඳව හැසිරෙමින්, ගැටෙමින්
මා සංයමය, සංවරය ඉගෙනගත් වාර බොහෝය.

මේ කාලය තුළ මා දුටු සැබෑ මිනිසුන්ට
ඔවුන් ඔවුන් වීම පිළිබඳව හිස නමා ප්‍රණාමය පුදකරමි.
මා දන්නා දේ මගෙන් උකහා ගනිමින්
මටද ඉගෙන ගන්නට මග හෙළි පෙහෙළි කළ
සහෘද හිතවතුන් කිහිප දෙනාටද
මගේ ගෞරවය පුද කරමි.
තමා කරන්නේ කුමක්දැයි නොදැන
විරෝධාකල්ප මගින් මට පන්නරය සැපයූ අයටද
මගේ කෘතඥතාවය පළ කරමි.

මා දැන් අලුත් මගක් අලුත් ක්ෂේත්‍රයක් සෙවිය යුතුය.

මේ අවසානය නොවේ.

අප සැබෑ මිතුරන් නම්
මේ ජීවිතයෙහි මෙන්ම සසරමගෙහිද
යළි යළිත් හමුවනු නියතය.

එතෙක් ඔබ සැමට නිදුක් නිරෝගී සුව සහ ජය පතමි

---------------- අතුල සිරිවර්දන ----------------