20121216

නාම රූප හා චිත්ත රූප




නාම රූප හා චිත්ත රූප

දින දෙක තුනකට පෙර
බිරිඳගේ පාර්ශ්වයේ නෑදෑ පිරිසක්
අපේ ගෙදර නවතින්න ආවා.
පුතා ඒ කණ්ඩායමේ
පිරිමි ළමුන් දෙදෙනෙක් සමග
ගේ පුරා දුවමින් සෙල්ලම් කළා.
දෝණිත් එතන හිටිය
යොවුන් දැරියක් සමග
ඉතාම සමීපව හිටියා.
දෝණි එයින් ලොකු ඒක පාර්ශවික
මානසික සුවයක් වින්ද..

( පුතා ඇවිත් බලල
ලියන්නෙ මේ ගැන කියල දැනගත්තාම
මගෙන් ඇහුවා "ඒක පාර්ශවික"
කියන්න මොකක්ද කියල. )
"ඔයා DVD එකක් ප්ලේ කරනකොට
ඔයා සතුටු වෙනවා..
DVD එක සතුටු වෙන්නෙ නෑ.."
දෝණි හිනාවෙලා කියනවා
""DVD එක මිනිස්සු නෙමෙයිනෙ" කියලා.
ඒකෙදි පුතා විඳින සතුට
ඒක පාර්ශවිකයි..

පුතාගෙ සතුට කායික හා
මානසික යන තල දෙකෙන්ම
වින්ද අත් දැකීමක්.

දෝණිගෙ සතුට
බොහෝ දුරට තනිකරම වගේ
මානසික සතුටක්.
( දෝණි කියනවා
"ඒ ගොල්ලො ගියත් මට සතුටයි"කියලා.
ඒ කියන්නෙ ඒ ගොල්ලො නැති වුණත්
මගේ සතුට මට තියනවා" )
අර යුවතියට විශාල සතුටක් තිබුණෙ නෑ.
ඒත් ඈ හොඳ උත්ප්‍රේරකයක් විදියට
කැමැත්තෙන් ක්‍රියා කළා.

ඔවුන් ආව දවස්වල
පුතා පුංචි කාලෙ එයාට ලැබුලා.. කැඩිලා
බඩු මුට්ටු අතරෙ නැති වෙලා තිබුණ
සවි ශක්තිය අතින් ඉතාම ඉහළ
ඇමෙරිකානු කෙළි බඩුවක
රිද්මයකට හඬ නගන
හදවත වැනි කොටස
ආයෙ මතුවුණා.
ඒක වයින් කළාම
සිඟිති පාසල් වල කියන
"London bridge is falling down "
කියන ළමා ගීයෙ
තනුව වාදනය වෙනව.

අර මුලින් කියූ නෑදෑ පිරිස
ඇවිත් ඉඳිද්දි
දෝණි අර දැරිය ළඟින් ඉඳගෙන
නැවත නැවත ඒ සංගීතය
වාදනය කරමින් වින්දා.
දින දෙකකින් ඔවුන් ආපසු ගියා.
ඔවුන් දෙන්නාම වියෝ දුක
සියුම්ව විඳිනවා මිසක්
හඬා වැලපෙන සිරිතක් නැහැ.
දෝණි නිදා ගත්තා.
පුතා DVD එකක් වාදනය කළා.
පස්සෙ පුතාට ඔවුන් මතක් වෙලා
ඇඬිලා තිබුණා.
දෝණිත් ඇයි අඬන්නෙ කියල අහලා
හේතුව කිව්වාම එයත් අඬාගෙන
අපි ළඟට ආවා.
ඒ වෙලාවෙ දෝණි ආවෙත්
අර සංගීතය වාදනය වෙන
කෙළිබඩුවත් අරන්...

මම ඈට කිව්වා
"අපිටත් එහෙම තමයි..
කට්ටියක් ඉඳල ගියාම දුකයි.
අපි උපේක්ෂාවෙන් ඉන්නවා.
ඔයාට පුලුවන් නම් ...
උපේක්ෂාවෙන් ඉන්න..
බැරි නම් අඬන්න...
කෙල්ලො ඇඬුවට කමක් නෑ" කියලා.

මම අඬන්න කිව්වාම ඇගේ
ඇඬුම නැවතුණා.

අර සංගීතය වාදනය  අසමින්
ඔවුන් රස විඳින්නෙ
ඒ සද්දෙ නෙවෙයි..

ඒ සද්දෙ ඇහෙන කොට
නෑදෑයන් මතක්වීම බව
අපි ඔවුන්ට කිව්වා.

අද උදේ දෝණි නැගිටලා ගිහින්
අර කෙළි බඩුවෙ සංගීතය
වාදනය කරමින් වින්ද.

මම ඈට කතා කරල ඇහුවා
"ඇයි ඔයා ඕක අහන්නෙ" කියලා.
එයා මුලින් කිව්ව දේ මට මතක නැහැ.
ඒක අපැහැදිලි නිසා මම ආයෙත් ඇහුවා
"ඕක දාගෙන ඉන්න කොට
ඔයාට දැනෙන්නෙ මොකක්ද"කියලා.
ඒ වෙලාවෙදි එයා කිව්වා
සචී අක්කා මතක් වෙන නිසා කියල.
දැන් එයාට කතා කරලා
නැවත අහන කොට එයා කියනවා,
"ඒක දාගෙන ඉන්නකොට
සචී අක්ක ඉන්නවා වගේ පේනවා" කියලා.
මම පුතාටත් කතා කරල
දෙන්නගෙන්ම ඇහුවා
"මේක ඇහෙන කොට ඔයාලට දැනෙන්නෙ
සතුටක්ද දුකක්ද?" කියල.
පුතා කිව්වෙ "දුකක්" කියලා.
දෝණි කිව්වෙ "සතුටක්" කියලා.
ඊට එක හේතුවක් වශයෙන් මට හිතුණෙ
පුතා කායික හා මානසික තල දෙකන්ම
අත් විඳපු සතුට ඔහුට අර
සංගීතයෙන් මතු වුණාට
ඒ අත්දැකීම
සංගීතයෙන් විඳින්න බෑ.
ඒ හින්දා ඔහුට ඒක දුකක්.

දෝණි වින්දෙත් විඳින්නෙත්
චිත්ත රූපයක් නිසා
ඈට ඒ ඇති.

මම ඔවුන්ට ඒ වෙනස කිව්වා.

සිත හොයන දේ කයට නැත් නම්..
කය විඳින දේ සිතට එකඟ නැත්නම්
මිනිසා දුක් විඳිනවා.

කය වර්තමානයෙහි පවතිද්දි
සිත අතීතයෙන් හෝ අනාගතයෙන්
යමක් ඉල්ලනවානම්
චිත්ත රූපයකට වැඩි දෙයක්
ලබා ගන්න බෑ.

ඔහු මවා ගත්ත චිත්ත රූපය විඳින කොට
කය කෑම බීම නැතිව දුක් විඳිනවා.
ප්‍රියයන් වෙන්වුණාම
චිත්ත රූපය මවා ගන්නා තැනැත්තා
කන්නෙ බොන්නෙ නැතුව දුක් විඳිනකොට
කය දුක් විඳිනවා.

ප්‍රියයන් වෙන්වුණාම
චිත්ත රූපය මවා නොගන්නා තැනැත්තා
ඒක මතක නැති කරගන්න
ඕනවට වඩා කමින් බොමින්
කයට දුක් දෙනවා.

දෙන්නටම සැනසිල්ලක් නැහැ.

නාම හා රූප වශයෙන් දෙකකට බෙදිලා
ජීවත් වෙන මිනිසා,
නාම රූප දෙක අතරෙ දෝලනය වෙමින්,
දුක් විඳිනවා.

නාම රූප දෙක එකක් මෙන්
ඒකකයක් මෙන් කටයුතු කරන විදියට
සම්පජානෝ සතිය දියුණු වෙනතුරු
මේ දුක් වලින් මිදෙන්න
එකම ක්‍රමයයි තියෙන්නෙ.
ඒ තමයි හිත දුක් විඳින කොට
ඒ දුක කයෙහිත් දකින එක.

ඒ ටික කර ගන්න බැරුව තමන්
දුකෙන් මිදෙන්න කියලා
යම් සංගීතයක් විඳිනවා නම්
යම් අඳෝනාවක් කරනවා නම්,
මැසිවිල්ලක් නගනවා නම්,
අඬෝවැඩියක් කරනවානම්,
අඬ දබර කරනවා නම්..
දුකෙන් මිදෙන්න කියලා
මොනවාම හෝ කරනවා නම්...
ඒ දේ කරන්නෙ හිතේ තියන දුක නිසා
කියල දකින එකයි.

දුක නිවෙන්න ආරම්භ වෙන්නෙ
දුක දැකීමෙන්.

දුකෙන් පැනල යන්න කරන දෙයින් වෙන්නෙ
දුක දළු ලන එකයි.

මම ආයෙත් අර සංගීතය වාදනය කරලා
පුතාගෙනුත් දෝණිගෙනුත් ඇහුවා,
"දැන් දැනෙන දුක ඉස්සෙල්ලා ගණනමද ?
අඩුද ? නැත්නම් වැඩිද ? කියලා.
දෙන්නම කිව්වා අඩුයි කියලා..

ඇයි ඒ?