20170706

නීවරණ යටපත් කරන විදර්ශනා භාවනාවක් පවතින්න බැහැ.


'නීවරණ යටපත් කරන විදර්ශනා භාවනාව'
හරි වගේ පෙනෙන වැරදි මතයක්.

පංච නීවරණ යටපත් කර වඩන
විදර්ශනා භාවනාවක් පවතින්න බැහැ.

විදසුන් වඩද්දි
නීවරණ නිරුද්ධ වෙන්න නම්
සංස්කාර මතුවිය යුතුයි.

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති

විදසුන කියන්නෙ
නීවරණ නැති කරන නිවැරදි මගයි.
සමථයෙන් හෝ වෙනත් මගකින්
නීවරණ යටපත් කිරීම තාවකාලිකයි

සිත හොඳටම කැළඹුණ
ජීවිතේ දුක නාඳුනන පව්කාරයෙකුට
ශීලය හොඳටම දුර්වල කෙනෙකුට
නීවරණ යටපත් කිරීම හරි වෙන්න පුළුවන්.
ඒත් ආරම්භයෙදි පමණයි.

සිල්වතෙක්
නීවරණ යටපත් කරන්නෙ
ඉන් ඔහු පත්වෙන මෝහය
ඔහුට සුවයක් නිසයි.

ඔහු විදසුනට යොමුවීම
ඉතාම කලාතුරකින් සිදු වෙන්නක්.
ලොකු දුකක් විපතක් නොවී
එවැන්නෙක් විදසුන සොයන්නෙ නෑ.

සාමාන්‍ය මිනිස්සු
නීවරණ දන්නෙවත් නැහැ.
ඔවුන් ඒ නීවරණ භාවිතා කරනවා.

පාරෙ යද්දි
ප්‍රිය ජනක ආහාරයක රූපයක්
ආපන ශාලාවක් අසල දකින කෙනෙක් තුළ
ඒ ආහාරය රස විඳින්න
චිත්තයෙහි රාගයක් ඇති වෙනවා.
රාගය කියන්නෙ සංස්කාරයයි.

රාගය ඇතිවෙන්නෙ
ආහාරයේ රූපයෙන් උත්තේජනය වෙන
අතීතයේ වින්ද රසවල මතකය නිසා
ඉන් කයෙහි උපදින කම්පනය
ප්‍රිය වේදනාවක් වීම නිසයි..

නීවරණය උපදින්නේ ඒ රාගයෙන්.
කාමයට ඇති කැමැත්ත නිසා
කාමච්ඡන්දය උපදිනවා.
ආහාරය රස විඳින්න කරන
සැලසුම් සියල්ලම සිදු කරන්නෙ
කාමච්ඡන්දය නිසයි.

වෙළඳ ප්‍රචාරකයන්ගෙ
වෙළඳ ප්‍රචාරක දැන්වීම් නිසා
රාගය උපදිනවා.
මිලට ගන්නෙ කාමච්ඡන්දය
හිතේ ඉපදුණොත් විතරයි.

රාගය කුරුළු පැටවෙක් නම්
කාමයට ඇති කැමැත්ත නිසා උපදින
කාමච්ඡන්ද නීවරණය කියන්නෙ
ගොදුර සොයාගෙන
තටු ගසා ඉගිලෙන කුරුල්ලායි.

රාගයෙන් හානි වෙන්නෙ නෑ.
හිත කිළිටි වෙනවා විතරයි.
කාමච්ඡන්දය නිසා
ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.


මේ නීවරණය වදයක් වෙන කෙනෙක්
නීවරණය යටපත් කරන ක්‍රම සොයනවා.
ඔහු නීවරණ ප්‍රහාණයේ යෙදී
සිත මෝහයට පත් කරගන්නවා.

සමථයට යොමු නොවෙන
සාමාන්‍ය කෙනෙකුගෙ නීවරණ ප්‍රහාණය
නීවරණය ගැන සිහිය දියුණු කිරීම මගින්
විපස්සනා වැඩීම තුළින්ම සිදු වෙනවා.

විදසුන් වඩන්නාගෙ භාවනා අරමුණ වෙන්නෙ
ඔහුගෙ කයෙහිත් සිතෙහිත් වෙන වෙනස් වීම්.

පංච නීවරණත්
ඔහුගෙ කයෙහිත් සිතෙහිත් වෙන වෙනස් වීම්.

විදසුන කියන්නෙ
නීවරණ නැති කරන නිවැරදි මගයි.
සමථයෙන් හෝ වෙනත් මගකින්
නීවරණ යටපත් කිරීම තාවකාලිකයි.

විදසුනෙන් ප්‍රයෝජන දෙකයි.

1
විදසුනෙන් නීවරණ නැසෙනවා.
2
නීවරණ ඇති වෙලාවට
නීවරණ වලට වහල් නොවී
උපේක්ෂාවෙන් ඉන්න හුරු වෙනවා.

නීවරණ කියන්නෙ
ධම්මානුපස්සනාවෙ පළමු අරමුණ.
අනුපස්සනා කළයුතු අරමුණක් යටපත් කරලා
සිහියෙ පිහිටුවා ගන්නෙ කොහොමද?

විදසුන් වැඩීමට අවශ්‍ය වෙන්නෙ
කාය වේදනා දැකිය හැකි සිතක්.

"කාය භාවනා නැති කෙනෙකුට
කවර චිත්ත භාවනාද? අග්ගිවෙස්සන"
කියා බුදුන් වහන්සේ සච්චකගෙන් අහනවා.

කාය භාවනා කළ කෙනෙකුට
නීවරණ කායික වේදනාවක්.
ඒ කායික වේදනාවට උපේක්ෂාවෙන්
ලෝභ - ද්වේශ ඇති නොවෙන විදියට
සිහියෙන් පසු වීම මගින්
කායික වේදනාව සමග
නීවරණය ප්‍රහාණය වෙනවා.

කාය වේදනා දෙකෙන් බැහැරව
වෙනත් අරමුණු මත නීවරණ යටපත් කිරීම
බුදුන් වහන්සේ අනුගමනයට උපදෙස් දුන්
නිවන් මග නොවෙයි.

අරිට්‌ඨ සූත්‍රයෙහි මේ වෙනස පැහැදිලිව සඳහන් වෙනවා.
අරිට්ඨ තෙරුන් නීවරණ යටපත් කරන බව
බුදුන් වහන්සේට පවසනවා.
ඒ මෙසේයි
"ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ ය.
මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය.
ආධ්‍යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි
මාගේ ප්‍රතිඝ සංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය."

ඔහු වඩන ආනාපාන සතියෙන්
කාමච්ඡන්ද ව්‍යාපාද නැති වෙන බව
අරිට්ඨ තෙරුන් පවසන්නේ සතුටෙන්.
එහෙත් බුදුන් වහන්සේ ඒ යටපත් කිරීම
අගය කරන්නේ නැහැ.
ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ.

ආශ්වාස ප්‍රශ්වාසයටම සිත එකඟ කිරීමෙන්
සිත ඒකාග්‍රතාවයට පත් වෙන නමුත්
කයත් වේදනාත් පිළිබඳව සිහිය
අරිට්ඨ තෙරුන්ගේ සිතින් ගිළිහෙනවා.
නීවරණ නොදැනී යන්නේ ඒ නිසයි.

සිතෙහි නීවරණ මතු වෙන්නේ
කාය වේදනාවල වෙනස් වීම් සමගයි.

කාය වේදනා දෙකෙන් සිත මුදාගෙන
ආශ්වාස ප්‍රශ්වාසයටම සිත එකඟ කිරීමෙන්
කාය වෙදනා දෙකෙන් සිත මිදෙන නිසා
නීවරණ යටපත් වෙනවා.
ඔහු ඒ සමාධියට ඇලෙනවා.

තමා අමතක වී මෝහයට පත් වී
තාවකාලිකව සිත ශූන්‍ය වෙන මේ සුවයට බැඳෙන
සමථ යෝගියා මේ සුවය රැක ගන්නට
සමාජයෙන් සැඟවී තමන්ගේම ගුහාවක
ලෝකයෙන් වසන් වී ඉන්නවා.

විදසුන් වඩන කෙනෙක් නම්
මේ මායාවී මෝහණීය තත්වයෙන් සිත මුදා
සිත සමස්ත කය පුරා විස්තාරණය කරමින්
සමස්ත කයට සංවේදී වීමට හුරු විය යුතුයි.

එස්. එන්. ගොයෙන්කා තුමාගේ දසදින විපස්සනාව
කෙනෙක් මේ ක්‍රියාවලියට හුරුකරනවා.
සමථ භාවනාවට හුරු වුණ කෙනෙකුට
එකවරම ඉන් මිදීම ඉතාම අපහසු නිසා
සමථයෙන් පටන් ගෙන විදසුනට යොමු වෙන්නට
ගොයෙන්කා දසදින විපස්සනා පාඨමාලාව හොඳ මගක්.

සමථයේ මායාවී මෝහණීය තත්වයෙන් සිත මුදා
සිත සමස්ත කය පුරා විස්තාරණය කරමින්, වේදනා දකිමින්
සමස්ත කයට සංවේදී වීමට හුරු වීම සඳහා
නිවැරදි ආනාපාන සතිය වඩන්නට
බුදුන් වහන්සේ අරිට්ඨ තෙරුන්හට
උපදෙස් දෙන්නේ මෙහෙමයි.

අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත.
මෙය නැතැයි නො කියමි.
අරිට්ඨ, යම්සේ ආනාපානසතිය
විස්තාරණයෙන් පිරිපුන් වේ නම්
එය අසව, මනාකොට මෙනෙහි කරව,
කියන්නෙමි.

==============================================

අරිට්ඨ සූත්‍රය.
මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ
භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි
මෙය සැලකළහ.
අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි.

වහන්ස,
ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ ය.
මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය.
ආධ්‍යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්‍රතිඝසංඥාව ද
සහමුලින් සිඳින ලද්දී ය.
ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි.
සිහි ඇති ව ම ප්‍රශ්වාස කරමි. වහන්ස,
මෙසේ මම ආනාපානසතිය වඩමි යි.

අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත.
මෙය නැතැයි නො කියමි.

අරිට්ඨ, යම්සේ ආනාපානසතිය
විස්තාරණයෙන් පිරිපුන් වේ නම්
එය අසව, මනාකොට මෙනෙහි කරව,
කියන්නෙමි.

මහණෙනි,
කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය
මහත් ඵල මහානිසංස වේ ද යත්:
මහණෙනි,
මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ
රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ
පලක් බැඳ උඩුකය ඉදි කොට පිහිටුවා
සිහිය පරි මුඛයෙහි එළවා හිඳියි.
සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි.
සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි.
දිගු කොට හෝ ආශ්වාස කරනුයේ
දිගු කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී.
දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ
දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී.
කෙටි කොට හෝ ආශ්වාස කරනුයේ
කෙටි කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී.
කෙටි කොට හෝ ප්‍රශ්වාස කරනුයේ
කෙටි කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී.
සමස්ත සිරුරට සංවේදීව
ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
සමස්ත සිරුරට සංවේදීව
ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
ආදී වශයෙන්....
මේ දෙන උපදෙස් මහා සතිපට්ඨාන සූත්‍රය
ආරම්භයෙහි එන ආනාපාන සතියමයි.

මේ අයුරින් විස්තාරිත ආනාපාන සතියෙන්
සමස්ත කයට සංවේදී වෙන කෙනෙක්
නීවරණ දකින්නේ කයෙහි ඇති වෙන
වේදනා ආකාරයෙනුයි.

සල්ල සූත්‍රයෙහි
ආර්ය ශ්‍රාවකයා නීවරණ දකින ආකාරය
පුහුදුන් තැනැත්තා හා සසඳමින්
බුදුන් වහන්සේ අපට පෙන්වනවා.

බුදුන් වහන්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා.

"වේදනා සියල්ලන්ටම පොදුයි.
පුහුදුන් තැනැත්තාත්, ආර්ය ශ්‍රාවකයාත්
දෙදෙනාටම වේදනා වල වෙනස දැනෙනවා.
සුඛ, දුක්ඛ, අදුක්ඛමාසුඛ වශයෙන්
තුන් වේදනාවන්ගේ වෙනස දැනෙනවා.

පුහුදුන් තැනැත්තා, ආර්ය ශ්‍රාවකයා
දෙදෙනාගේ වෙනස කුමක්ද?
විශේෂය කුමක්ද?"
බුදුන් වහන්සේ විමසනවා.

මහණෙනි,
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
සුවවේදනාවත් විඳියි.
දුක්වේදනාවත් විඳියි.
නොදුක්නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති අරීසවු ද
සුවවේදනාවත් විඳියි.
දුක්වේදනාවත් විඳියි.
නොදුක්නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති අරිසවුගේ වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්දැ? යි.

භික්ෂූන්ගේ ඇරයුමෙන්
බුදුන් වහන්සේ විස්තර සහිතව
ඒ වෙනස් කම් පවසනවා.

පුහුදුන් තැනැත්තා අත්දැකීම් විඳින විට
කායික, මානසික දෙකෙන්ම දුක් විඳිනවා.
ආර්ය ශ්‍රාවකයා විඳින්නේ
කායික වේදනාව පමණයි.

ඔබට හැමදාම මග හැරෙන
බුදු දහමේ වැදගත්ම කරුණ
මේ අවස්ථාවේ මග නොහරින්න.

අපේ හැම අත්දැකීමකදීම
"කයෙහිත් වේදනාවක් පවතිනවා."
මානසිකව පහළ වෙන හැම දේ සමගම
කයෙහිත් වේදනාවක් පවතිනවා.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.

මානසිකව විඳින සියලු දුක් සමග
සමාන්තර, සමගාමී කායික දුකක් පවතිනවා.

පුහුදුන් තැනැත්තා
මේ වේදනා දෙකම විඳිනවා.
ආර්ය ශ්‍රාවකයා
විඳින්නේ එක වේදනාවයි.

ආර්ය ශ්‍රාවකයා කායික වේදනාව ගැන සිහියෙන්
ඒ වේදනාවට ලෝභ ද්වේශ නැතිව විසීමෙන්
මානසික වේදනාවන්ගෙන් මිදෙනවා.

ලාභ අලාභ ආදී අට ලෝ දහමෙන්
ඇසූ පිරූ ආර්ය ශ්‍රාවකයාගේ
සිත කම්පා වෙන්නෙ නෑ.  ශෝක වෙන්නෙ නෑ.
සුරක්ෂිතව වාසය කරනවා.

 බුදුන් වහන්සේගේම වචන වලින්
මේ වෙනස්කම සලකා බලමු.

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි.
මුළාවට පැමිණෙයි.

හෙතෙමේ කායික වේදනාව ද චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද
ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද,
මහණෙනි,
මෙසේ වනාහි ඒ පුරුෂ තෙමේ
හුල කරණකොටගෙන වේදනා දෙකක් විඳී.

පුහුදුන් තැනැත්තාට වේදනා දෙකයි.

මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.

හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

මහණෙනි,
යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද
ඒ මොහු දෙවෙනි හුලකින්
පළමු විදුම සමීපයෙහි නො විදුනාහු ද
මහණෙනි,
මෙසේ ඒ පුරුෂ තෙමේ එක් හුලකින් වූ වේදනාව විඳින්නේ ය.

මහණෙනි,
එසෙයින් ම ඇසූ පිරූ අරීසවු
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි.
ළෙහි පැහැර නො හඬයි මුළාවට නො පැමිණෙයි.

හෙතෙමේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

ඒ දුක් වේදනාවේ ම ක්‍රෝධ ඇත්තේ නො වෙයි.
දුක්වේදනාවෙන් වූ ක්‍රෝධ නැති ඒ මොහුට
දුක්වේදනාවෙහි වූ යම් පටිඝානුසයයෙක් වේ නම් එය නූපදී.

හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම
කම් සුව නො පිළිගනි.

ඒ කවර හෙයින යත්:
මහණෙනි, ඇසූ පිරූ අරීසවු තෙමේ
කම්සුවෙන් වෙන් ව දුක්වේදනාවේ නිසසරණය දනී මැ යි,
එහෙයිනි.

නීවරණ බැහැර කරන නියම පිළිවෙත මෙයයි.
දුක්වේදනාවෙහි වූ යම් පටිඝානුසයයෙක් වේ නම් එය නූපදී.
හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම
කම් සුව නො පිළිගනි.

ආර්ය ශ්‍රාවකයා කායික වේදනාව
ලෝභයෙන් ද්වේශයෙන් තොරව දැකීම නිසා
ඔහුට මානසික වේදනා උපදින්නෙ නෑ.

සමථ භාවනාවෙහි යෙදී
තාවකාලිකව නීවරණ යටපත් කරන්නාට
කායික වේදනාත් මානසික වේදනාත් නෑ.
ඔහු පසු වෙන්නෙ මෝහයෙන්, අවිද්‍යාවෙන්.
ඒ බුදු දහමේ මූලික අරමුණ නොවෙයි.

නීවරණ යටපත් කිරීමෙන්
ඔහු පත්වෙන සමාධිය මිථ්‍යා සමාධියක්.

සම්මා සමාධිය කුමක්ද?
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි.
ළෙහි පැහැර නො හඬයි මුළාවට නො පැමිණෙයි.

හෙතෙමේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

ඒ දුක් වේදනාවේ ම ක්‍රෝධ ඇත්තේ නො වෙයි.
දුක්වේදනාවෙන් වූ ක්‍රෝධ නැති ඒ මොහුට
දුක්වේදනාවෙහි වූ යම් පටිඝානුසයයෙක් වේ නම් එය නූපදී.

හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම
කම් සුව නො පිළිගනි.

සම්මා සමාධියෙහි පිහිටන කෙනෙකුට
නීවරණ බාධාවක් නොවෙයි.
නීවරණ කායික වේදනා පමණයි.

නීවරණ ඔහු දකින්නෙ වේදනානුපස්සනාවෙන්.