20160707

විපස්සනා වෙස් බැඳගෙන ඔබ රවටන මෝහ කාරක...


නිවන නිරපේක්ෂයි.
විපස්සනා සාපේක්ෂයි.
සාපේක්ෂක නැති දහම අවිද්‍යාවක්.

 
බුදු දහම තුළ සාපේක්ෂක තියනවා.
සම්බුදු - පසේ බුදු - මහ රහත්
සව් - මහ සව් - අග සව්
භික්ෂු - භික්ෂුණී - උවසු - උවැසි
ගිහියා - පැවිද්දා
පුහුදුන් පුද්ගලයා - ආර්ය ශ්‍රාවකයා
සිල්වතා - දුසිල්වතා
ලෞකික - ලෝකෝත්තර
අජ්ඣත්ත - බහිද්ධ
රාග - ද්වේශ - මෝහ
නාම - රූප
ඇස් - කණ - නාසය - දිව - කය - මන
සුඛ - දුක්ඛ - අදුක්ඛමාසුඛ වේදනා
කාම - භව - විභව තණ්හා
කාම - දිට්ඨි- සීලබ්බත - අත්තවාද උපාදාන


සෝවාන් සකෘදාගාමී අනාගාමි අර්හත්

 
නිවන නිරපේක්ෂයි

අපි ජීවත් වෙන එක මොහොතක් තුළ
අපේ ඇතුළාන්තයෙත් බාහිර ලෝකය තුළත්
අනන්තාපරිමාණ වෙනස්කම්
සිදු වෙමින් පවතිනවා.
අපි කරන කියන හැම දේටම
මේ වෙනස්වී
ම් බලපානවා.

අපි ඒ වෙනස් වීම් වලින්
අපි කැමති දේ  තෝරා ගනිද්දි
අපට ඇත්තටම අවශ්‍ය දේ මග හැරෙන්න පුලුවන්.

මේ මොහොතෙහි
තමා තුළත් තමා අවටත් සිදුවෙන
ලොකු කුඩා සියලුම වෙනස්කම්
එකිනෙකට සාපේක්ෂව දකින කෙනෙකුට
මේ මොහොතෙ සත්‍යතාවය නිවැරදිව පෙනෙනවා.


තමාට අවශ්‍ය දේ විතරක් තෝරාගෙන
අන් සියල්ල ඉවත් කරන කෙනෙකුට පෙනෙන්නෙ

ඔහු
දකින දේ පිළිබඳ ඇත්ත නොවෙයි.

  සත්‍යයට වෙනුවට
මිනිසුන් හැමවිටම තෝරාගන්නේ
තමන් කැමති
මෝහ කාරක අසත්‍යයයි.
මෝහ කාරක 
ප්‍රායෝගිකව ඉතාම ජනප්‍රියයි.


අශ්වයන් කලබල වීම වළක්වන්න
BLINDERS/මෝහ කාරක නමින් උපකරණයක්
ලෝකයේ බොහෝ රටවල් වල
භාවිතා කෙරෙනවා.

දුක නිවා ගන්න, සිත නිවාගන්න,
ආධ්‍යාත්මික සැනසිල්ලක් සොයා ගන්න සිතමින්
බහුතරයක් භාවිතා කරන ක්‍රම සියල්ලම පාහේ
අනිවාර්යයෙන්ම මෝහකාරකයි.

ගුණයෙන්, ස්වභාවයෙන්, ස්වරූපයෙන්,

ගුරුවරයාගෙන්,
දේශන ශෛලියෙන් වෙනස් වුණාට
ඒ හැම ක්‍රමයක්ම මෝහ කාරකයි.

ඔබ දැන් සිහියෙන් ඉන්න ප්‍රමාණය සහ පරාසය
උපක්‍රම මගින් අඩු කරගෙන මෝහයට පත් වෙන්නයි,
ඒ ක්‍රම වලින් ඔබට කියා දෙන්නෙ.
ඉන් දැනෙන සුවය නිසා
ඔබට
සිදු වෙන හානි පෙනෙන්නට
කලක් ගත විය හැකියි.
එවැනි දිනක
මේ අදහස් අදට වඩා ඔබට වැටහෙයි.

ප්‍රබල සීමාවන්තුළ ජීවත් වෙන්න
අවශ්‍ය යස ඉසුරු සහ අවකාශ ඇති අයට
මෝහයට පත් වෙලා සැනසිල්ලෙ ඉන්න පුලුවන්.
ඔවුන්ට අවශ්‍ය නම් දවසේම නිදාගන්නත් පුලුවන්.

එදිනෙදා ජීවිතයේ වගකීම් දරන අයගෙ
පවුල් ජීවිත, රැකියාව, සමාජ සබඳතා
මෝහ කාරක ආධ්‍යාත්මික සුවයෙන්
කැළඹිල්ලට පත් වීමට අවකාශ තියනවා.

ඔබ භාවිතා කරන ක්‍රමය නිවැරදි නම්
ඔබේ සිතත්, කයත් දෙකම පිළිබඳව සිහිය
ඒ ක්‍රමය මගින්ම දියුණු විය යුතුයි.

ඔබේ සිතත් ඔබේ කයත් පිළිබඳව
සිහියත් උපේක්ෂාවත් දියුණු නොකරන
හැම ක්‍රමයක්ම මෝහකාරකයි.

''සාපේක්ෂක ඉවත් කර නිවන් දකින්න''
කියා උගන්වන කෙනෙක්
 
ඔබට මානසික මෝහකාරකයක් පළඳනවා.
 පෙර නොවූ විරූ සැනසිල්ලක්
ඒ මෝහය තුළ ඔබ අත්විඳිනවා.

නින්දෙදිත් මෝහයට වැටිලා
ඒ වගේ මෝහ
රණීය සැනසිල්ලක් ඔබ අත්විඳිනවා.

හොරෙක් ඇවිත් ගේ බිඳගෙන ගියත්
නිවන් දුටුවාක් මෙන් සැනසිල්ලෙන්
ඔබ නිදා ගන්නවා.

තමාට අවශ්‍ය දේ විතරක් තෝරාගෙන
සාපෙක්ෂක සියල්ල ඉවත් කරමින්
මෝහයෙන් ඉන්න කෙනෙකුට
සාමාන්‍ය කෙනෙකුට නැති සැනසිල්ලක් තියනවා.
ඔහු මනසින් බේබද්දෙක් වගෙයි.

මනසින්
කුඩු කාරයෙක් වගෙයි.

හිත මෝහයට පත් කරගෙන

ඔහු
සැනසිල්ලෙන් සමාජයෙ සරද්දි

ඔහු
ට නැති වෙන දේවල්
ඔහු දන්නෙ නෑ.

ඔහු දොඩම් ගොඩකින් එක ගෙඩියක් ගන්නෙ
අනික් දොඩම්වලට සාපේක්ෂව නොවෙයි.
ඔහු එකක් ගන්න විට
මුළු දොඩම් ගොඩම පෙරළෙන්න පුලුවන්.
----------

නිවනේ ස්වරූපයෙන්
මෝහය උගන්වන ගුරුවරු අද ඉන්නවා.
මෝහයෙන් පිරුණු සිත් ඇති ඒ ගුරුවරුන්
සද්ධර්මයේ ස්වරූපයෙන් හිතලු ප්‍රකාශ කරනවා.
ඒ ප්‍රකාශ කාව්‍යමය විය හැකියි.
මිහිරි විය හැකියි.
එහි ඇත්තේ සත්‍යය නොවෙයි.


.
සැබෑ අහසෙන්
ඉතාම වෙනස් වූ ෆැන්ටසියක් දකින්නට
ඔවුන් ඔබ පොළඹවනවා.

ඔබට විරුද්ධ විය නොහැකි
මෙවැනි
කාව්‍යමය ප්‍රකාශ අතර සඟවා දෙන
විකෘති කරන ලද ධර්මතාවයන්
ඔබේ සිත් සතන් තුළට කිඳා බසිනවා.

''සාපේක්ෂක ඉවත් කරන්න''

''ඇත කියන්නෙත් නැතුව නැත කියන්නෙත් නැතුව
මැද තියන දේ දකින්නෙත් නැතුව
මැදට වෙලා සැනසිල්ලෙ ඉන්න''

නිවනේ ස්වරූපයට
මෝහය උගන්වන
මේ ක්‍රම වලින් බිහිවෙන්නෙ
සමාජයක ඉන්න නොදන්න නරුම පිරිසක්.
සමාජයෙ ජීවත් වෙද්දි

ඔවුන්ට
ඒ දහම පිළිපදින්න බැහැ.

තමන් දකින දේ වෙන් කරගෙන
සාපේක්ෂක දේවල් ඉවත් කරලා
ඒ දේ විතරක් දකින කෙනෙකුට
ඒ පිළිබඳ නිවැරදි තීරණ ගන්න බැහැ.


ඔහු තීරණ ගන්නෙ තමන් දකින ප්‍රමාණයට අදාළවයි.

ඔහුට නොපෙනුන සාපේක්ෂකයක් මතු වුණාම
අනපේක්ෂිත දේකට මුහුණ දෙන්න වෙනවා.

අවශ්‍ය දේ විතරක් බලාගෙන
මෝහයෙන් ජීවත් වෙන්න අවශ්‍ය නම්
ඔහු
වනවාසීව වනයේ ගුහාවකට යා යුතුයි.

නැත්නම් තමන්ගෙ කල්ලියක් සමග
ආරක්ෂක රැකවල් සහිත බලකොටුවක් තුළ

ආශ්‍රමවාසීව
සැඟවී සිටිය යුතුයි.

 
ඔවුන් බාහිර ලෝකයෙන් වෙන්වී
තමන්ගේම විශේෂ කල්ලියක් ලෙස හැඩ ගැසී
සම්මතයෙන් බැහැර චර්යාවන් සහ
අමුතු ඇඳුම් පැළඳුම් සහිතව
වනවාසීව හෝ ආශ්‍රමවාසීව ජීවත් වෙන්නට හුරුවුණා.

බුදුන් වහන්සේට පෙර සිටි
ලෞකික ධ්‍යාන ලාභීන්
ගත කළේ
මෙවැනි ජීවිතයි.

 

බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත්
සාමාන්‍ය මිනිසුන් අතර නිදහසේ චාරිකා කළා.
ලොකු පොඩි වෙනසක් නැතිව
ශ්‍රාවක නිවෙස්වලට ගොස්
අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා.


බුදු දහමෙන් ලබා දෙන
මිනිස් නිදහසේ පදනම මෝහය නොවෙයි.
සම්පජානෝ සතියයි.

ජීවිතයෙ ප්‍රශ්න අඩු කරගන්නත්
එන ප්‍රශ්න සිහියෙන් විසඳා ගන්නත්
සැබෑ අවශ්‍යතාවයක් තියන කෙනෙකුට
ඒ සඳහා හොඳම මග නම්
''තමන් දකින දේ
තමන්ට සාපේක්ෂව සහ
ලෝකයට සාපේක්ෂව දකින්න හැකි වෙන ආකාරයට''
තමන්ගෙ සිහිය පිහිටුවා ගැනීමයි.


තමන්ට සාපේක්ෂව සහ ලෝකයට සාපේක්ෂව
සිහිය පිහිටුවා ගන්නට වෙර දරන කෙනෙක්
අනුගමනය කළ යුතු ධර්ම මාර්ගය
නිර්මල බුදු දහමේ හරයයි.

1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය”
බුදු දහමේ පෙන්වන ඒකායන මාර්ගය වන
විපස්සනා නමින්ද හැඳින්වෙන
සතර සතිපට්ඨානයයි.

විපස්සනා කියන්නෙ
කාය වේදනා චිත්ත ධම්ම හතරම
එකිනෙකට සාපේක්ෂවත්
බාහිර ලෝකයට සාපේක්ෂවත්
සිහියෙන් දකිමින්
උපේක්ෂාවෙන් විසීමයි.

ඒ ඒ පුද්ගලයාගේ සාපේක්ෂක වෙනස් නිසා
ඒ ඒ පුද්ගලයාට ඔහුගේ දැක්ම ආවේණිකයි.

ඔහුට සාපේක්ෂවත්
බාහිර ලෝකයට සාපේක්ෂවත් දකින නිසා
ඔහුට අදාළව ඔහුගෙ දැක්ම පරිපූර්ණයි.

අවිද්‍යාව දුරුවී
ඔහුගෙ ප්‍රඥාව වැඩෙන්නේ
විපස්සනාව තුලිනුයි.

මේ මොහොතෙහි
තමා තුළත් තමා අවටත් සිදුවෙන
ලොකු කුඩා සියලුම වෙනස්කම්
එකිනෙකට සාපේක්ෂව දකින ඔහුට
මේ මොහොතෙ සත්‍යතාවය නිවැරදිව පෙනෙනවා.

ඔහු ගන්න තීරණ නිවැරදියි.

ඔහු දකින සත්‍යය පදනම්ව ඔහුගෙ ප්‍රඥාව වැඩෙනවා.
ප්‍රඥාවෙන් අවිද්‍යාව දුරුවෙනවා.
කෙලෙස් නැසෙනවා.
රාගය, ද්වේශය, මෝහය ක්ෂය වෙනවා.
කෙමෙන් කෙමෙන් ඔහු තුළ
මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා
සතර බ්‍රහ්ම විහාර වැඩෙනවා.

සාපේක්ෂක බහුල ලෝකය තුළ
සියල්ල එකිනෙකට සාපේක්ෂව දකිමින්
නිරරපේක්ෂ නිවන සාක්ෂාත් කරන තුරුම
දිනෙන් දින මොහොතෙන් මොහොත
දුක නිවා ගනිමින්
සසර කෙටි කරගනිමින්
ආර්ය ශ්‍රාවකයා ගමන් කරනවා.