20151117

අසාධාරණ ලෝකයට සාධාරණ පාඩමක්...


මගේ ළමයි දැන් යන්නෙ
පුංචි ගමක පුංචි පාසලකට.
දෝණිගෙ පන්තියෙ
එක ළමයෙකුට කතා කරන්න බැහැ.
ඒත් ඔහුගෙ කන් ඇසෙනවා.

ඊයෙ ඒ පන්තියෙ ගුරුතුමිය
පාසල ඇරෙන්න යන වෙලාවෙ
වෙනදා අනිත් ළමුන්ගෙන් කෙනෙක් දෙන
මෙත් වැඩීමේ භාවනාව
ඒ ළමයාට කරන්න කියලා තියනවා.
ඒ ළමයාත් ඔහුට හැකි විදියට
ඔහුට සීමිත නොපැහැදිලි ශබ්ද මාලාව
ඉදිරිපත් කරද්දි
අනිත් ළමුන් ඔහු අනුව
භාවනාව කරල තියනවා..
" එයා කියන්නෙ මොනවද කියල අපි දන්නවනෙ..
අපිත් කිව්වා" දෝණි කිව්වෙ එහෙමයි.

අනුකම්පාව නිසා හෝ හෙළා දැකීමෙන්
ගුරුවරුන් එවැනි දරුවන් කොන් කිරීමත්
දරුවා හීන මානයෙන් කොන් වී සිටීමත්
සම වයසේ ළමුන් වැඩිහිටියන් අනුව
ඔවුන් ද්වේශයෙන් හෝ අනුකම්පාවෙන් හෙළා දැකීමත්
සාමාන්‍ය දෙයක්..

මෙම ගුරුතුමිය ඒ අවස්ථාව ඔහුට දීමත්
ඔහු ඒ වගකීම බාර ගැනීමත්
අනෙක් ළමුන් ඔහුට හැකි ප්‍රමාණයෙන්
ඔහු දෙන දේ පිළිගැනීමත්
ඉතාම කලාතුරකින් සිදුවෙන
ඉතා සුවිශේෂී සිදුවීම්.

මම දකින විදියට
ඒ ගුරුතුමියත්, ඒ දරුවාත්
අනික් දරුවනුත් එකතු වෙලා
අඩුපාඩු ඇති ළමයින්
විශේෂ ළමුන් ලෙස නම් කර කොන් කරන
අසාධාරණ ලෝකයට
සාධාරණ පාඩමක් උගන්වනවා.

අප ඔවුන්ට සැළකිය යුත්තේ
අනුකම්පාවෙන් නොව
සමානාත්මතාවයෙන් යුතුව බවත්
ඔහුගේ ප්‍රතිචාරය සැලකිය යුත්තේත්
එබඳුම වූ සමානත්මතාවයෙන් යුතුව බවත්
ඔවුන් අපට කියාදෙන අගනා පාඩමයි.