20160810

නිවන උපාධියක් නොවෙයි.


නිවන පාඩම් කරල ලබාගත හැකි උපාධියක් නොවෙයි.
ශ්‍රද්ධාවෙන් ටිකට් ගැනීමෙන්
වාසනාවට ඇදෙන ලොතරැයියක් නොවෙයි.
වතුර හොයන කෙනෙක්
තමන්ගේ වත්තේ ළිඳක් හාරලා
වතුර සොයා ගන්නවා වගේ
බුදුන් වහන්සෙගෙ මග පෙන්වීම අනුව
තමන් තුළම සොයා ගත යුතු
පහසුකමක්.

ආශා, බලාපොරොත්තු මැද ජීවත් වුණ මිනිස්සු
නිවන ගැන දැන ගත්තාම නිවනට ලොල් වෙලා
සුපුරුදු විදියට මවන හීනවලට
නිවන, මග ඵල ආදේශ කරගෙන
පාසල් දරුවො වගේ පොත් පාඩම් කළාට
තර්කයෙන් නිවන් දකින්න වෑයම් කළාට
නිවන පහළ වෙන්නෙ නෑ.

බුදුන් වහන්සේ දේශනා කළේ
මේ මොහොත පිළිබඳව සිහිය පිහිටුවාගෙන
ඒ පිහිටෙන් කෙලෙස් නසලා, ආශ්‍රව ක්ෂය කරලා
මේ මොහොතෙ දුකෙන් මේ මොහොතෙම මිදිලා
මේ මොහොතෙම සිත පිරිසිදු කරගෙන
කළයකට වතුර බිංදුව දෙක රැස් කරන විදියට
මොහොතෙන් මොහොත නිවන රැස්කර ගන්නයි.
අනිත්‍ය දුක්ඛ අනත්ත තුනම
අපි දැකිය යුත්තෙ මේ මොහොතෙමයි.
අපි තුළමයි.

1,
අනිත්‍යය හරියට විඳින්න

අපි වෙනස් වෙන විදිය
කාය, වේදනා මට්ටමෙන්
මොහොතෙන් මොහොතට දැකිය යුතුයි.

2,
දුක දකින්න නම්

මොහොතෙන් මොහොතට ඉරියව් වෙනස් කරමින්
හතර අතේ සතුට සොයමින්
අපි විඳින දුක
කාය, වේදනා මට්ටමෙන්
අපි තුළම දැකිය යුතුයි.

3,
අනත්ත දකින්න නම්

කාය, වේදනා මට්ටමෙන්
අපි තුළ සිදුවෙන දේ
අපි නොකරන බවත්
අපි කරන හැම දෙයක්ම
කුමකට හෝ දක්වන
නිසග ප්‍රතික්‍රියාවක් බවත්
අපි තුළම දැකිය යුතුයි.

බුදුන් වහන්සේ දැකපු
අනිත්‍ය දුක්ඛ අනත්ත තුනම
උන් වහන්සේ පසක් කළේ
උන් වහන්සේ තුළමයි.
උන් වහන්සේගෙන් මග අසාගෙන පසක් කළ
අනික් හැම කෙනෙක්ම පසක් කළෙත් එහෙමයි.
විනාඩි කිහිපයක් වාඩි වෙලා
හුස්ම බලා ඉන්න නිවනක් නැති මිනිස්සු
ජීවිතයම කැප කරලා පාඩම් කරමින්
උපාධියක් ලබන්න යනව වගේ
නිවන හොයාගෙන යනවා.

පොතේ මොන විදියට තිබුණත් පොතේ තියෙන්නෙ
මඟ සලකුණු සහ මාර්ග විස්තරය විතරයි.
ඒ විස්තර කියවීමෙන් ප්‍රඥාව පහල වෙන්නෙ නෑ.
ප්‍රඥාව පහළ වෙන්නෙ විපස්සනා වැඩීමෙන්.

කාය වේදනා චිත්ත ධම්ම හතරත්,
මේ මොහොතත්, සිහියත් උපේක්ෂාවත් නැතුව
තවත් කෙනෙකුගෙ ප්‍රඥාවෙන්
නිවන් සොරකම් කරගන්න යන අනවරත ගමන
ලේනගෙ කැරකෙන කූඩුව වගෙයි.
හබලක් නැතුව ඔරුවෙ පැද්දෙනවා වගෙයි.

නිවන් දකින්න ජීවිතේ පුරාම
ගමන් කරනවා කියා හිත රැවටෙනවා.
මැරෙන මොහොතෙත් එතනම තමයි.

අප්‍රමාදව මේ මොහොත දකින්න.
නිවන,
දුකෙන් මිදීම තියෙන්නෙ
මේ මොහොතෙමයි.