20160130

නිවන ගිහි බෞද්ධයාගේ දෙවන අරමුණයි.


[[[ තෙරුවන් සරණ යන බෞද්ධයාගේ ඒකායන පරමාර්ථය විය යුත්තේ සසරින් එතෙර වීම..... මිසක් වෙන අනං මනං විකාර නොවෙයි.... ]]]

මේ ඉතාම වැරදි ආකල්පයක්..
නිවන ඒකායන අරමුණ වන්නේ පැවිද්දාටයි..
නිවන ගිහි බෞද්ධයාගේ දෙවන අරමුණයි.
ඔහුගේ පළමු අරමුණ දුකෙන් මිදීමයි..
දුකෙන් මිදෙන්නාගේ
දුකෙන් මිදීමේ ක්‍රියාවලියේ කූටප්‍රාප්තිය නිවනයි

දුක කියන ගැටලුව
අනික් හැම ගැටලුවක් තුළම තියනවා.
හැම මොහොතකම තියනවා.
මේ මොහොතේ පටන්ම දුකෙන් මිදීමට
තෙරුවන් සරණ යන්නාට මග පෙන්වීම
බුදු දහමෙහි අරමුණයි.

දුක විභාග පාස් නොවීම ද....?
දුක රස්සාවේ ගැටළු ද...?දුක පවුල් ප්‍රශ්න ද...?
 
මේ හැම දේකින්ම මිනිස්සු දුක් විඳිනවා.
මේ ගැටළුව තියෙද්දි..
ඒ ගැටළුව විසඳන්න කටයුතු කරද්දි
දුක් නොවිඳ ඉන්න මාර්ගය
බුදුන් වහන්සේ කියා දෙනවා.
මේ මොහොතේ සිට නිවන් දකින තුරුම
මොහොතක් පාසා දුක නිවෙන්නෙ
ඒ මාර්ගයේ ගමන් කිරීමෙනුයි.

බුදු දහමෙන් විභාගය පාස් වෙන්නෙ නෑ.
ඒත් බුදු දහම පිළිපදින්නා
විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය
සමාහිත හිතක් ලබාගන්නවා.
විභාගයට ඔහුගෙ ශක්ති පමණින් පිළිතුරු දෙනවා.
ප්‍රතිඵල එන තුරු දුක් විඳින්නෙ නෑ.
ප්‍රතිඵල ආවම දුක් විඳින්නෙ නෑ.
ඊ ළඟට ගතයුතු පියවර ගන්නවා.

බුදු දහමෙ ඒකායන අරමුණ
නිවන් දැකීම වශයෙන් සලකා ක්‍රියා කළ යුත්තේ 
පැවිද්දායි.
ගිහි පැවිදි බෞද්ධයාගේ පළමු අරමුණ දුකෙන් මිදීමයි.
දුකෙන් මිදීමේ කූටප්‍රාප්තිය නිවනයි.

බුදුන් වහන්සේ ලොවට දායාද කළ
විපස්සනා මාර්ගයේ ගමන් කිරීමෙන්
නිවනට අමතරව තවත් වරප්‍රසාද
හතරක් හිමිවෙනවා.

ඉන් එකක් හිත පිරිසිදු වීම.
ඉන් දෙක කාය චිත්ත දුක් වේදනා..
සෝතැවුල් දුක් දොම්නස් වලින්
ඒ මොහොතේ පටන්ම මිදීම.
අනික් එක සංවේදී බව, ප්‍රඥාව දියුණු වීම.
නිවන අවසාන ප්‍රතිඵලයයි..

ගිහියාත් පැවිද්දාත්
දවසේ පැය විසි හතර තුළම මුහුණ දෙන
හැම ප්‍රශ්නයකදීම දුක් නොවිඳ ඉන්න
බුදු දහමට අනුව පුලුවන්.
විසඳුම ඒ පහසුකම තුළ
සොයා ගැනීම අදාළ තැනැත්තාගේ
හැකියාව මතයි තියෙන්නෙ.

බුදුන් වහන්සේ සෙව්වෙත්, සොයා ගත්තෙත්
අපට ලබා දුන්නෙත් එකම දෙයයි.
ඒනම් අපි විඳින දුක් වලින්
මේ මොහොතෙ පටන්ම විඳින දුක්වලින්
මේ මොහොතෙ පටන්ම මිදෙන මගයි..

අපි තෙරුවන් සරණ යායුත්තේ
මේ මොහොතෙ පටන්ම විඳින දුක්වලින්
මේ මොහොතෙ පටන්ම මිදීම සඳහායි.
-------------------------------
ජීවත්වීමේ කලාව