20160311

දරුවන් 19 ක් බිහිකළ වයස 89ක වීර මාතාව


DSC_0891
අම්ම තනියමද මේ ගෙදර ඉන්නේ?





2016 මාර්තු මස 10 17 | ලංකාදීප 
DSC_0882   
 
බදුලු‍ ඔය මතින් ඉදිකළ බදුල්ල අන්දෙනිය අත්වැල් පාලම ඉදිකර ඇත්තේ සුද්දන් රට පාලනය කළ සමයේය. අදටත් කලන් වත්තට මෙන්ම අන්දෙණිය නෙලු‍ම්ගම ඇතුළු ගම්මාන රැසක ජනතාවට බදුල්ල නගරයට පාගමනින් යා හැකි කෙටිම මග මෙය වෙයි.
   
මෙම අත්වැල් පාලම මතින් ඒ මේ අත යන ජනතාව අතරේ මා විපරමින් සිටි මාතාව බදුල්ල නගරයට ගොස්  ඉතා කඩිසර ගමනින් සිය නිවෙසට එමින් සිටියාය.

මේ අම්මා අනෙක් අම්ලාට වඩා විශේෂ වූ මාතාවකි. ඇය, දරුවන් 19 ක් මෙලොවට බිහිකළ වීර මාතාව බැවිනි. නමින් රත්නායක කංකානම්ලාගේ කරුණාවතී නම්වු මෙම මාතාව 89 වැනි වියේ පසුවන්නීය.

“මම ගෙදර ගියා ඔබ තුමිය නැති නිසා පාලම ළගට ආවා”  මම කීවෙමි.

“ඔව් පුතේ, මම ටවුමට ගියා. ‍හැමදාම වගේ ටවුමට නැතිනම් දරුවන්ගේ ගෙවල් වල ඇවිදිනවා.” පියකරු සිනාවකින් මුව සරසාගෙන පැවසුවාය.

ඇය, මා කැටුවම අත්වැල් පාලමට නුදුරින් පිහිටි ඇගේ නිවසට ආවාය.

“ඔව් පුතේ මේ වටේටම මගේ දරුවෝ පදිංචි වෙලා ඉන්නවා.”

එසේ කියන විටම අවට නිවෙස්වල, දරුවන් පමණක් නොව දරුවන්ගේ දරුවන්ද එම දරුවන්ගේ අත දරුවන්ද ඇතුළත් පිරිසක් එම නිවෙසට ගොඩවැදුනේ මා පැමිණ බව දැනගෙන දැයි මම නොදනිමි.

පරම්පරා 3 ක දරුවන් දැක්ක මම මී-- මී-- ආච්චි කෙනෙක් කියා කරුණාවතී මාතාව හඩ නගා සිනාසුනාය.

මට දරුවෝ 19 ක ලැබුණා. පිරිමි දරුවෝ 8 යි. ගැහැණු දරුවෝ 11 යි. කුඩා කාලයේම විවිධ ලෙඩ වලින් දරුවෝ හතර දෙනෙක් මැරුණා.
දැන් 15 දෙනෙක් ඉන්නවා. ඒ දරුවන්ට ළමයි 66 දෙනෙක් ඉන්නවා. ඒ මුනුබුරු මිනිබිරියන්ට ළමයි 59 ඉන්නවා. ඒ විදිහට බැලු‍වම 140 දෙනෙක් නේ මහත්තයෝ.

පුංචි කාලේ ගැන කියන්‍නකෝ.. මම ඉල්ලීමක් කළෙමි.

මගේ පවුලේ දරුවෙකුට මං විතරයි. තාත්තා කළේ නගර සභාවේ කම්කරු රැකියාව. තනි ළමයා නිසා මට කිසිම අඩුවක් කළේ නැහැ. ඉස්කෝලේ ගියේ සුජාතා විද්‍යාලයට. අත්වැල් පාලමෙන් එගොඩ වෙලා ම රික්ෂෝ කරත්තයෙන් ඉස්කෝලේට ගියා. හැබැයි මට ඉගෙන ගන්න ආශාවක් තිබුණේ නැහැ. මම යාළුවන්ගේ ගෙවල්වල ගියා.

මේ නිසා පාසල් අධ්‍යාපන නැති වුණා. අවට තේ වතුවල පාලනය සිදුකළ සුදු මහත්තුරු අශ්වයා පිට යනවා කියල වැඩිහිටියෝ කිව්වා. හැබැයි අශ්ව කුර ඇහෙන කොට මම ගිහින් ඇදයට හැංගුන හැටි මතකයි.

අද ගෙවල් හදාගෙන දාස් ගානක් මිනිස්සු පදිංචි වෙලා ඉන්න බදුලු‍පිටිය අවට ප්‍රදේශය එදා ඝන කැලැවක්. අද සොහොන් බිම පවති තැන කැලැබිමට බදුල්ල මහරෝහලේ මළ සිරුරු අමු අමුවේම ගෙනැවිත් දමන  නිසා නරි එලිවෙනකල් මිනී අදිමින් කෑගහනවා. 

රෑබෝ වුණාම කවුරුත් එතැනින් යන්න බයයි. හොල්මන් කියලා.

ඉස්කෝලෙ ගමන නතර වුණාට පස්සේ මොකද කළේ?

ඊට පස්සේ තාත්තා කළේ මැහුම් ගෙතුම් වලට ගුරුතුමියක් ගෙදරට ගෙන්වලා ඒවා උගන්නපු එක. මට අදටත් වූල්වලින් වියන්න රේන්ද වියන්න පුළුවන්.
ඉතිං ඊට පස්සේ.

ඊට පස්සේ තමයි විවාහ වුණේ.

ඒක ආදර කතාවක්ද?

ඔව්. එතකොට මගේ වයස අවුරුදු 13 යි. මගේ මහත්තයා අවුරුදු 15 දි ගෙදරින් තරහ වෙලා යාළුවෙක් එක්ක බදුල්ලට ඇවිත් තියෙනවා.

ඊට පස්සේ තමයි අත්වැල් පාලම ළග කඩයක් දාගෙන් හිටියේ. මම පොඩි කෙල්ලනේ ටොපි චොකලට් ගන්න ඒ කඬේට යනවා එතකොට තමයි යාළු වුණේ.

එයාගේ නම ගමගේ සීඩින්. මම වැඩි වැඩියෙන් කඬේට ගිය නිසා මේක ගෙදරට අහුවුණා. ඊට පස්සේ අපේ තාත්තා එයාගේ ගෙදර අයට දන්වලා මගුල සුදානම් කළා. දැන් වගේ නෙවෙ‍යි පුතේ දවස් 7 ක් මගුල් කෑවා. ගොක්කොළවලින් පෝරුව හදන්න දකුණේ අය ඇවිත් සතියක් විතර පෝරුව ගැහුවා.
හරිම ලස්සන පෝරුව. කේක් ගෙඩිය තට්ටු 7 යි. ඒක කපනකොට කුරුල්ලො ජෝඩුවක් ඉගිල්ලු‍ණා. ඒ දවස්වල මනාලියට ඇන්දුවේ පවුලේම කෙනෙක් මනාලයාට මනාලිය පෙන්වන තෙක් පවුලේ අයටවත් පේන්නේ නැති විදියට කාමරයකට දානවා.

ඒ දවස් වල අපේ ගෙදරට එන්න තිබුණේ අඩිපාර.   මහත්තයගේ කට්ටිය. මොරිස් මයිනර් කාර්වලින් ඇවිත් අත්වැල් පාලම ළග නතර කරලා පාලමෙන් එගොඩ වෙලා ආවේ. ඒ දවස් වල මෙහේ තිබුණේ මේ ගෙදර විතරයි. වටේම ඉඩම් තිබුණේ අපිට.

ආරාධනා පත්‍ර අච්චුගහල ගමේ අයටත් අවට ගම්වල අයටත් මගුල් කිව්වා. දවස් 7 ක්ම මගුල් කෑවා. එක එක දවස්  බෙදලා තමයි ආරාධනා කළේ.
මොකද මගුල් මඩුවක් ගැහුවත් අපේ ගෙදර ඉඩ මදිනේ. අපේ මගුල් මේසේ හරිම සරුයි.

දඩමස්, අලු‍ත් මාළු, කිරිකොස්, මුංඇට, විවිධ එළවළු වර්ග හා බැදුම් වලින් කෑම මේසේ පිරිල තිබුණා. පිරිමි උන්දලෑට සප්පායම් වෙන්නත් මත්පැන් තිබුණා. සර්පිනා ඩොලැක් ගෙනැල්ල රෑ මැද වෙනකල් පැදුරු සාජ්ජයක් තිබුණා.

මගුල් පොටෝ ගත්තද අම්මෙ?

අපෝ හරි වැඬේනේ පුතේ වුණේ....

අපි ඉතින් විවාහ සිරිත් විරිත් ඉවරවෙලා. අත්වැල් පාලමේ අත්පටලා ගෙන ගිහින් එගොඩ වෙලා මොරිස් මයිනර්  කාර් එටකන් බදුල්ල ටවුමේ ස්ටුඩියෝ එකට ගියා.

ඒකේ නම විජය ස්ටුඩියෝ. අපි යනකොට ‍වෙනත් ජෝඩුවක් පොටෝ ගහනවා. පැය ගණනක් යනකල් හදනවා ගන්නවා.

අපේ තාත්තට තරහ ගියා. ඕන නැහැ පොටෝ අපි යමු කියලා ආපහු ගෙදර ගියා.

ඊට පස්සේ  මහත්තය මැරෙන කල්ම මගුල් පොටෝ එක ගන්න බැරි වුණා.

දරු සම්පත ගැන මොකද හිතන්නේ?

හරිම සතුටුයි මහත්තයෝ. මට ලැබුණ දරුවෝ 19 දෙනොගෙන් දෙන්නෙක් නිවුන්නු. අවුරුද්දෙන් අවුරුද්දට ළමයි ලැබුණා. ඒ ඔක්කෝම හම්බවුණේ මේ ගෙදරදි. මේ එහා ගමේ ගෑනු එක්කෙනෙක් හිටියා. එයා තමයි වින්නඹු කම කළේ.

මට අමාරු වෙනකොට අපේ අම්මා ඒ උන්දට පණිවිඩයක් යවනවා. ඒ උන්දෑ ඇවිත් වින්නඹු වැඬේ කරනවා මට කිසිම අමාරුවක් වුණේ නැහැ.

කොහොමද ළමයි ඇති දැඩි කළේ?

මගේ අම්මා ගොඩාක් මහන්සි වුණා තාත්තත් මහත්තයත් උදව් කළා. හැබැයි ඉතින් සමහර දවසට යුද්ධයක්.  මේ ගොල්ල ගහ ගන්නවා. කෑම පිගන් දිගට තියලා කෑම බෙදනවා. කෑමටත් මේ ගොල්ල පොරකනවා.

මගේ මහත්තය ණයට බඩු දීලා. ණය එකතු කරගන්න බැරිව බංකොලොත් වුණා. ඊට පස්සේ මහත්තය ඉස්පිරිතාලේ  කම්කරු වැඩට ගියා.

මං පොඩිකාලේ මට ඕන ම කෑමක් බීමක් කාලා බිල සැපට හැදුණත් මගේ දරුවන්ට ඒ සැප ලැබුණේ ‍නැහැ. බොහොම අමාරුවෙන් තමයි ඇති දැඩි කළේ. මගේ තාත්තා අල, බතල, කොස්, පොළොස් හොයාගෙන එනවා තාත්තා ගොඩාක් මහන්සි උනා.

ළමයි 19 දෙනා නිදාගත්තේ එක දිගට පැදුරු එලලා. රෑ තිස්සේ එක එක්කෙනා නැටිටලා අඬනවා.
DSC_0888

  මගේ කිරි මදිනේ. පිටිකිරි දුන්නා. ඒ දවස්වල කිරිපිටි සහනාධාරයක් මට ලැබුණා. දරුවන් හතර දෙනෙක් අඩු වයසින්ම මැරුනේ පෝෂණය නැති නිසා කියල මට දැන් හිතනෙවා. මහත්තයා වයස 65 දි ලෙඩවෙලා මැරුණා. හැබැයි එතකෙට ළමයි ලොකුමහත්වෙලා.

මම වැඩියෙන්ම ආශ කෑම කට්ලට්. මාලු‍යි පොළොසුයි දාල මමම හදනවා.

කැවුම්, කොකිස්, රසකැවිලි, කොල්ලු‍ මාලු‍ව සමඟ කුරහන් තලප, හැලප අදටත් හදන්නේ මම. ඒවා හදලා දරුවන්ගේ ගෙවල් වලට අරන් යනවා. අද කාලේ අය මේවා හරියට හදන්න දන්නේ නැහැ. 

මගේ එක දුවක් ඉන්නේ වැල්ලවාය බලහරුවෙ. ඒ නිසා දැන්නම්   කුරහන් මෙනේරි වගේ ධාන්‍ය වර්ග අපේ ගෙදර අඩුවක් නැහැ. 

මගේ ළමයි මට නිතරම දොස් කියනවා අම්මා වැඩ කරන්න එපා කියල. අපි කෑම හදල දෙන්නම් කියලා. එත් පුතේ මම තවම තනිවම මගේ වැඩ කරගන්නවා. මගේ අත, පය තාම හයියයි නොවැ.

හිතුන ගමන් නඩත් එක්ක එකතුවෙලා වන්දනාවේ යනවා. මම පිං අරාවේ හාමුදුරුවොත් එක්ක දඹදිව වන්දනාවෙත් ගියා.

සැම පෝයටම ගමේ පන්සලේදි සිල් ගන්නවා. ගමේ පන්සලේ හාමුරුවෝ මට වීරමාතා සම්මානයක් දුන්නා. ඌව පළාත් සභාවේ වැඩිහිටි දිනයක්දා මට උපහාර දැක්වූවා. 

දැන් මගේ ළමයි ලොකු මහත්වෙලා ආවාහ විවාහ කරගෙන ඉන්න නිසා මට කිසිම බරක් නැහැ. ලෙඩක් දුකක් නැහැ සතුටින් ඉන්නවා.

මගේ දරුවෝ, ඒ දරුවන්ගේ දරුවෝ මුනුබුරු මිනිබිරියන්ගේ දරුවෝ මේ ඔක්කොටම එකවර එකතු වෙන්න මගේ ගෙදර ඉඩ මදි. එහෙම ආපු දවසට මිදුලත් එක්ක පිරිනෙවා. යැයිද මේ වීරමව ආඩම්බරයෙන් පැවසුවාය.


m