20180417

පූසත් මී පැටව් වගෙයි

 අලුත් අවුරුද්දට
අපේ ගෙදර අස් කරන වෙලාවෙ
අපි සීතලට අඳින්න කියලා
ඉන්දියාවෙදි ගත්ත
ඇඳුම් කිහිපයක් කපලා
මීයෙක් පැටව් දාල තිබුණා.
මම කිව්වා
හොල්ලන්න එපා...එහෙමම තියන්න,
නැත්නම් මහ එවුන් දාල යයි... කියලා.
ඒත් ඒක ඒ විදියට ක්‍රියාත්මක වුණේ නෑ.
මී පැටවු බඩගින්නෙ තැන තැන
ඇවිදින්න පටන් ගත්තා..
උන් ආපහු හිටිය තැනට දැම්මත්
මී අම්මා දරුවො හොයන්න ආවෙ නෑ.
ඌටත් අනතුරක් වුණාද දන්නෙ නෑ...
එකෙක් කුසගින්නෙ මැරිලා හිටියා.
පුතයි දෝණියි එකතු වෙලා
ඉතුරු දෙන්නට පාන් තිර වලින්
විටින් විට කිරි පෙව්වා...
කවදාවත් නැතුව පූසෙක් ඇවිත්
ගෙදර සාලෙ ඉඳලා පුතා
ඌව එළවලා දැම්මා.
මම පුතාට කිව්වා
''මී පැටව් කන්න වෙන්න ඇති'' කියලා.
අපි නින්දට යද්දි
''මී පැටව් ඉන්න කාමරේ දොර වහන්න''
කියලා මම බිරිඳට කිව්වා.
උදේ බලනකොට මී පැටවුන්ගෙ
වලිගෙකුයි කෑලියි විතරක් ඉතුරු වෙලා තිබුණා.
පුතාල උන්ව ආපහු කාමරේට දාන්නෙ නැතුව
කිරි දීපු තැනම ඉන්න ඇරලා තිබුණ නිසා
පූසා ඇවිත් උන්ව කාල ගිහින්.
මතක් වෙන මතක් වෙන වෙලාවට
අපි ඒ දුක විටින් විට වින්දා.
ඊයෙ අර පූසා
පුතා සාලෙ ඉන්නකොට ඇවිත්
උගේ ගෙදර වගේ ඇවිදිනවා...
එක කාමරේකින් තව එකකට ගිහින්.
ඊට පස්සෙ ගිහින් බැලුවාම
හොයාගන්න බැරි වුණා.
පුතා වරින් වර බැලුවත්පූසා ආවෙ නෑ...
පුතාල චිත්‍රපටියක් බලද්දි
රෑ දොළහට විතර
"අන්න පූසා ඇවිල්ලා" දෝණි කිව්වා.
පුතා ගේ පුරා පූසා පස්සෙ පැන්නුවා.
අම්මයි දූයි දෙන්නත් එළෙව්වා.
ඌට පැනල යන්න තැනක් නෑ...
හිනා වෙවී විනෝදෙන් එළෙව්වට
පුතා ඌ පස්සෙ පැන්නුවෙ ඌට වද දෙන්නයි...
මී පැටව් කෑවට උගෙන් පළිගන්නයි.
පුතා ඌ බය කරන්න
රෙදි බෝනික්කන්ගෙන් ගහල තිබුණා.
"මම ඌව එළෙව්වෙ ගෙදරින් යවන්නයි"
දෝණි කියනවා.
මට සද්ද ඇහුණත් මම ගියේ නෑ.
මට මේ ඉන්න පූසා අර පූසා නොවෙයි.
'සත්තු කාපු පූසගෙ' වරදට
'මේ පූසට' දඬුවම් දීල වැඩක් නෑ.
මේ දෙන්නා දෙන්නෙක්
මේ පූසට අතීතය ගැන සිහිය නෑ.
ඒ ශක්තිය නැති මිනිස්සුත් ඉන්නවා.
මිනිසුන්ට දඬුවම් විඳලා
ඉගෙනගන්න හැකියාව තිබුණට
සතුන්ට එහෙම නෑ..
පූසට ගහනවා නම් ගහන්න තිබුණෙ
මී පැටව් කන්න හදන වෙලාවෙ.
ඒ වෙලාවෙ හරියට ගැහුවා නම්
ඌ ආයෙමත් එන්නෙ ඒ බයත් එක්ක.
හරියටම පාර වැදුණා නම්
ඌ මී පැටව් දැක්කාම බය වෙනවා.
ඒත් ඒක වුණේ නෑ..
මේ පූසගෙන් පළි අරන් වැඩක් නෑ.
"පූසට වද දෙන්නෙ නැතුව යවන්න"
මම පුතාට කෑ ගහලා කිව්වා.
අද උදේ ඒ ගැන කතාව මතු වුණා.
පුතා පූසා පස්සෙ එළවද්දි
ඌ පරාණ බයේ එහෙ මෙහෙ දුවද්දි
"පුතේ, පූසත් මී පැටව් වගෙයිනෙ" කියලා
දෝණි පුතාට කියල තිබුණා.
( එයා අයියට පුතා කියන එක පුරුද්දක්. )
මම ඇහුවා "ඇයි දෝණි එහෙම කිව්වෙ?" කියලා..
"පූසත් මී පැටව් වගේ සතෙක්නෙ" ඈ කිව්වා.
තමන්ගෙ කුසේ ඉන්න දරුවා මරන්න පුලුවන්
මිනිස් අම්මලා ඉන්න මේ තිරිසන් ලෝකෙ
පූසෙක් මී පැටව් කන එක අරුමයක් නොවෙයි.
පූසට මී පැටව් ආහාරයක්..
මේ කතාවෙ පූසා ගැන මී පැටවු ගැන
හිතනකොට කොහොම හිතුවත්
මිනිසුන්ට ආහාරයක් කරගන්න හිතුණොත්
මිනිස්සු ඕනම සතෙක් කනවා.
හරක්, කුකුල්ලු කනවා.
ගෙම්බො සර්පයො කනවා.
පූසත් කනවා...මීයොත් කනවා.
මොකුත් නොතේරෙන පූසා 
මී පැටව් කාපු එක ස්වාභාවිකයි.
පූසත් මී පැටව් වගෙයි.