20161205

ඇසීමෙන් සිතීමෙන් ප්‍රඥාව පහළ වෙනවාද?



ප්‍රඥාව
සුතමය චින්තාමය අවස්ථා වලදී
ප්‍රඥාව කියා හඳුන්වන්න බැහැ.

මේ
මොහොතෙ අත්දැකීම
සිහියෙන් සහ උ
පේක්ෂාවෙන් විඳින තුරු
ප්‍රඥාව ඇතිවෙන්නෙ නැහැ.

අව්ව ගැන ඇසීමෙන් සිතීමෙන් 
අව්ව ගැන ප්‍රඥාව පහළ වෙන්නෙ නැහැ.

සුතමය චින්තාමය අවස්ථා වලදී
ඔබට මේ මොහොත මග හැරෙනවා.
ඔබ අහන විට, ඔබ හිතන විට
ඔබේ හිත තියෙන්නෙ
ඔබ අහන හිතන දේ සමගයි.
ඔබට ඔබේ කය ගැන සිහිය නෑ.
වේදනා ගැන සිහිය නෑ.
සිත ගැන, සිතන දේ ගැන සිහිය නෑ.

ඔබ අහන දේ ගැන, සිතන දේ ගැන
ඔබ සිහියෙන් සිටින නමුත්
ඔබ අහන බව ඔබ සිතන බව
ඔබ දන්නෙ නෑ.

ඔබ අහද්දි, ඔබ සිතද්දි
ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
ඔබ අවට පරිසරය නිසා
ඔබ තුළ වෙනස්කම්,
ඔබේ කය ක්‍රියා කරන ආකාරය නිසා
ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
සියල්ලම ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
ඔබට වෙසෙන්නට පුලුවන් නම්
ඔබ මේ මොහොත පිළිබඳව
ප්‍රඥාවෙන් පසු වෙනවා.

එක මොහොතකට
ඔබේ ඉරියව්වට හිත යොමු කරන්න.
ඒ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න විට
ඔබට හුස්ම දැනෙනවාද?
ඔබට පහළ වෙන්නෙ ප්‍රඥාවයි.

ප්‍රඥාව අත්දැකීමක්.
ප්‍රඥාවට වචන නෑ.හැම විටම
ප්‍රඥාව සියයට සියයක්.
99.9ක ප්‍රඥාවක් ඇත්තෙ නෑ.

අව්වෙ යද්දි
ඔබේ කය දවන අව්වත්
ඒ නිසා පහළවෙන දොම්නසත් ආදී වශයෙන්
ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
ඔබ අවට පරිසරය නිසා
ඔබ තුළ සිදුවෙන වෙනස්කම්,
ඔබේ කය ක්‍රියා කරන ආකාරය නිසා
ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
සියල්ලම ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
ඔබට වෙසෙන්නට පුලුවන් නම්
ඔබට අව්ව ගැනත්
උෂ්ණත්වය නිසා ඔබේ සිත කය දෙක
වෙනස් වෙන ආකාරය ගැනත්
ඔබ පෙර නො ඇසූ විරූ ප්‍රඥාවක්
ඒ මොහොතෙ පහළ වෙනවා.

ඔබ දුක දකිනවා.
ඒ මොහොතෙ ඔබ දුක විඳින්නෙ නෑ.
ඔබට උෂ්ණත්වයත් කයත් ගැන
ප්‍රඥාව පහළ වෙන්නෙ
ඒ මොහොතෙයි.

ඒ උෂ්ණත්වය අංශක කීයද යන්න
ඔබට වැදගත් නෑ.
ඔබේ දුක අංශක කීයද?
දහදෙනෙක් ඔබ සමග ගියොත්
උෂ්ණත්ව මාපකය පෙන්වන්නෙ එකම අගයක්.
දහදෙනාට දැනෙන්නෙ
වෙනස් අංශක ගණන්වල උෂ්ණත්වයක්.

රහතන් වහන්සේ කෙනෙක් ඔබ අතර හිටියොත්
උන් වහන්සේ ඒ මොහොත දන්නවා.
උෂ්ණත්වය දැනෙනවා.
ඒ උෂ්ණත්වය විඳිනවා.
දුක විඳින්නෙ නෑ.
ඔහු ආර්ය පුද්ගලයෙක්.

විදසුන් වඩන්නෙක් ඔබ අතර හිටියොත්
ඔහුත් ඒ මොහොත දන්නවා.
ඔහුටත් උෂ්ණත්වය දැනෙනවා.
ඒ උෂ්ණත්වය ඔහු සිහියෙන් විඳිනවා.
ඒ උෂ්ණත්වය නිසා ඔහුගෙ සිතෙහි සහ කයෙහි ඇතිවෙන
වෙනස්වීම වලට ඔහු උපේක්ෂාවෙන් වෙසෙනවා.
ඔහුත් දුක විඳින්නෙ නෑ.
ඔහුත් ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙක්.

මේ මොහොත
ඔබ ආර්ය ශ්‍රාවකයෙක් ලෙස ගත කළොත්
ඒ ප්‍රඥාව ඔබට අයිතියි.
ඔබ දකින්නෙ පෙර නො ඇසූ විරූ මොහොතක්.
ඒ දැක්ම කාගෙන්වත් ලබන්න බෑ.
ඒ ප්‍රඥාවට ඔබ කාටවත් ණය නෑ.

ඒ ප්‍රඥාව
ඔබට දිය හැකි කිසිවෙක්මේ මිහිපිට හෝ විශ්වය තුළම නෑ.

ඔබ වැනි
වැඩිහිටියෙක් සමග සසඳන විට
ළදරුවන්ගෙ ප්‍රඥාව ඉතා ඉහළයි.

වැඩිහිටියෙක් වෙද්දි
ළදරුවාගෙ ප්‍රඥාවත්, ප්‍රඥාව ලබන මාර්ගයත්
ඔහුට අහිමි වෙනවා.

ඔහු වචන ඉගෙන ගන්නවා.
හිතන්න පුරුදු වෙනවා.
කය විඳින අත්දැකීම ඔහුට මතක වෙනවා.
ඔහු නොවිඳ ඉගෙන ගන්න පුරුදු වෙනවා.
ඒ ආගන්තුක දැනුම
ප්‍රඥාව කියා මුලා වෙනවා.

ඔබ කොතරම් ඉගෙන ගත්තත්
ඔබ නොවිඳින කිසිම දෙයක් ගැන
ඔබ දන්නෙ නෑ.

ඔබ අහන දෙයින්, ඔබ හිතන දෙයින්
ප්‍රඥාව පහළ වෙන්නෙ නෑ.
අහන හිතන වෙලාවෙදි
ඔබට ඔබ අමතක වුණත්
ඔබට සුතමය ඥාණය ලැබෙයි.
චින්තාමය ඥාණය ලැබෙයි.
ඒත්...
භාවනාමය ප්‍රඥාව ලැබෙන්නෙ
මේ මොහොත තුළ පමණයි.

ප්‍රඥාව ලැබෙන්නෙ
ඔබ ඔබ ගැන අවදියෙන්
ඔබේ කය, වේදනා,
ඔබේ සිත, සිතේ ඇතිවෙන දේ ගැන
සිහියෙන් හා උපේක්ෂාවෙන්
පසු වෙන විට පමණයි.

ප්‍රඥාව අතීතය ගැන නොවෙයි.
ප්‍රඥාව අනාගතය ගැන නොවෙයි.
ප්‍රඥාව හැම විටම
මේ මොහොත ගැන පමණයි.
තව මොහොතකින්
ඔබ ඔබ දෙස සිහියෙන් බැලුවොත්
ඔබ දකින්නෙ
කලින් මොහොතෙ දුටු දේ නොවෙයි.
ප්‍රඥාව තවත් බිඳුවක් හිමි වෙනවා.

කෙනෙකුට නිවන් සාක්ෂාත් කරන්න
සමස්ත ත්‍රිපිටකය
අවශ්‍ය නොවෙන්නෙ ඒ නිසයි.
මේ මොහොත විඳින්න තිපිටක දැනුම
උපකාර වෙන්නෙ නෑ.
මේ මොහොත ප්‍රඥාවෙන් ගත කරන්න
මාර්ගය ප්‍රමාණවත්.
ඒ සඳහා
සමස්ත ත්‍රිපිටකය අවශ්‍ය නෑ.
සතිපට්ඨාන උපදෙස් ප්‍රමාණවත්.

මේ මොහොත ප්‍රඥාවෙන් ගත කරන්න
කය පිළිබඳව සිහිය ඇතිව වඩන
ආනාපාන සතියත් ප්‍රමාණවත්.

ඔබේ ප්‍රඥාව පහළ වෙන්නට
බුදුන් වහන්සේගේ සමස්ත දැනුම
ඔබට අවශ්‍ය නෑ.
උන් වහන්සෙ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්
නියත විවරණ ලැබීමෙන් පසුවත්
ඊට පෙර අනන්ත අපරිමාණ කලකුත්
සසර වෙසෙමින් ලද අත්දැකීම් මත
උන් වහන්සේ ලද සාගරයක් වැනි ප්‍රඥාවෙන්
ඔබේ පුංචි දිදාලය පුරවාගෙන
ඔබට නිවන් දකින්න බැහැ.

ප්‍රඥාව වඩන්න උන් වහන්සේ භාවිතා කළ
විපස්සනා මාර්ගය වඩමින් වෙසෙන විට
ඔබේ ප්‍රඥාවෙන් ඔබේ දිදාලය
පෙත්තටම පිරුණ දවසක් එයි.

ඒ දවසේ ඔබ විඳින අත්දැකීම නිසා
උන්වහන්සේ ප්‍රඥාවෙන් දුටු දේ
ඔබට ඔබ තුළ පෙනෙනවා.

උන් වහන්සේ සතු ප්‍රඥාව
ඔබට අවශ්‍ය නෑ.
ඔබට අවශ්‍ය වෙන්නෙ
ප්‍රඥාව වඩන්න
උන් වහන්සේ ක්‍රියා කළ ආකාරය පමණයි.
ඒ ක්‍රමය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්
ඔබ ප්‍රඥාව ලබන්නට සුදුස්සෙක් කරනවා.
ඔබට ප්‍රඥාව ලැබෙන්නෙ
සම්මා වායාමයෙන් යුතුව සම්මා සතිය වඩා ලබන
සම්මා සමාධියෙන් යුතුව
මේ මොහොත විසීමෙනුයි.

ප්‍රඥාව කියන්නෙ
නාම රූප ගැන ඇසීම නොවෙයි.
නාම රූප ගැන සිතීම නොවෙයි.
ඔබේ නාම රූප දෙක එකිනෙකට බලපාමින්
මේ මොහොත තුළ වෙනස් වෙන ආකාරය
සිහියෙන් දකිමින්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් විසීමෙන්
ඔබ ගැන ඔබ සොයා ගන්නා දේ ප්‍රඥාවයි.

ඔබ නිවන් දකින්නෙ ඒ ලැබෙන ප්‍රඥාවෙන්.
ඔබ අහන දකින දේ සිතන දේ නිසා නොවෙයි.

ඔබ කවදාක හෝ ප්‍රඥාව ලබන්නෙ
මේ මොහොත තුළ විඳ
මේ මොහොත තුළ
ඔබ පසක් කරන දේ නිසයි.

ප්‍රඥාව ඒ මොහොතෙම
තමන්ගෙ වීර්යයෙන්
සම්මා සතියත් සම්මා සමාධියත් වැඩීමෙන් උපදිනවා.
තව කෙනෙක් එතන නෑ.ඔබ පමණයි.

ඔබේ ප්‍රඥාව
ඔබට වෙන කෙනෙකුගෙන් ලබන්න බෑ.
ඔබේ ප්‍රඥාව වෙන කෙනෙකුට දෙන්නත් බෑ.
ඔබ ප්‍රඥාව ලබන මොහොත
සෝක පරිදේව දුක් දොම්නසින් විනිර්මුක්තයි.
ඒ මොහොතට ඔබ නිවන අත්දකිනවා.
ඒ මොහොත හිමි ඔබට පමණයි.

ඔබේ ප්‍රඥාව නිසා දුකෙන් මිදෙන්නේ
ඔබ පමණයි.

ඔබත් මාර්ග ඵල සොයන්නෙක්ද?


බුදුන් වහන්සේ විදසුන සෙව්වෙ
මාර්ග ඵල ගැන හිතල නොවෙයි.
නිවන ගැන හිතල නොවෙයි.
සතර පෙර නිමිති දැකලා
මිනිසා විඳින දුකෙන් මුදවා ගන්නයි.

ජරා, ව්‍යාධි, මරණ දුක් තුනත්...
දුක්ඛ දෝමනස්ස උපායාසාදියත් නිසා
පුහුදුන් කෙනෙක් විඳින දුක්
විදසුන් වඩන්නෙක් විඳින්නෙ නැහැ.

විදසුනෙන් කෙලෙස් නැසෙනවා.
ප්‍රමාණවත් තරමට කෙලෙස් නැසුණාම
ඒ පිරිසිදු කමට ගැලපෙන මග ඵල
සුදුසු වෙලාවෙදි ලැබෙයි...

එතෙක් කළ යුත්තෙ
තම තමන්ට හැකි පමණින්
දුකෙන් මිදෙන අරමුණෙන්
විදසුන් වැඩීමයි.

දුක් දොම්නස් සෝ තැවුල් පැමිණි විට
ඒ සියල්ල කායික වේදනා මට්ටමෙන් දකිමින්
විදසුන් වැඩීමයි.

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

විදසුනෙන් සෙවිය යුත්තේත්
විදසුනෙන් ලැබෙන්නේත්
දුකෙන් මිදීම නම්වූ
උතුම් මාර්ගඵලයයි.