20180131

මෛත්‍රී හිටපු ගමන් ෆෝම් වුණේ ඇයි?


මෛත්‍රී ෆෝම් වෙලා.

මැතිවරණයක් කටේ තියාගෙන
හදිස්සියෙම දුම්මල වරම අරන්
යකුන් අවුස්සාගෙන තොවිලයක් නටන්න
මෛත්‍රී ක්‍රියා කළේ ඇයි?

ඔහු මේ භූමිකාව රඟපාන්න
වසර තුනක් ගත කලේ ඇයි?

වසර තුනක් තිස්සෙ මේ වංචා දූෂණ
එකින් එක එළියට ඇද්දා නම් වෙන්නෙ කුමක්ද?
ඒ එකින් එක වෙන් වෙනව බලන්න
උසාවි වලට වෙලාවකුත් නෑ.
ජනතාවට වෙලාවකුත් නෑ.

කලින් ෆෝම් වුණානම්
රටේ ජනතාව මේ තරම් අවධානයෙන්
මේ චෝදනා ගැන හිතන්නෙ නෑ.
අනික් පක්ෂවල දේශපාලනඥයොත්
මේ වගේ ප්‍රබල සංවාදයකට
එකතු වෙන්නෙ නෑ.

දැන් ජනතාව තීරණයක් ගන්න
සූදානමින් පසු වෙනවා.
ඒ ජනතා අධිකරණයේ තීරණය
අනික් පක්ෂවල දේශපාලනඥයන්ට
තදින් බලපානවා.

මෛත්‍රී උසාවිය විදියට සලකන්නෙ ජනතාවයි.
ඔහු සමග ඉන්න මන්ත්‍රීවරු හෝ
පාර්ලිමේන්තුව ඔහුට අදාළ නෑ.

ඔහු නඩුව අරගෙන ජනතා අධිකරණයට ආවා.

පෙබ 10 වෙනිදා මැතිවරණය නිසා
තමන් ඉන්නෙ හොරු වංචනිකයෝ සමගද
යහපාලනය සමගද කියා තීරණය කරන්න
දැන් ජනතාවට අවස්ථාව තියනවා.

මේ අවස්ථාවෙ නැතුව වෙනත් වෙලාවක
වංචා දූෂණ ගැන කතා කළා නම්
ජනතාවට සති දෙකෙන් සතියෙන්
සියල්ල අමතක වෙනවා.
ඒ අපේ රටේ හැටි.

මෛත්‍රී ඒ ජනතාවට අමතක නොවෙන්න
පුංචි කාල පරාසයකට ජනතාව කොටු කළා.

"කාල වරෙල්ලා"

යහපාලනය ඕන කියලා බොරුවට කෑ ගහන
හැම පක්ෂවලම ඉන්න වංචනික පාක්ෂිකයන්ට
දැන් කියන්න පුලුවන්.
"කාල වරෙල්ලා"

වංචාවට දූෂණයට විරුද්ධ නම්
තමන්ගෙ ඡන්දයෙන් ඒ බව පෙන්වන්න
පෙබ 10දාට ජනතාව ක්‍රියා කරාවි.

ජනතාව ඉන්නෙ කොතනද කියා
අපිට එදාට දැනගන්න පුලුවන්.

ජවිපෙ නැට්ටටම අනාථ වුණේ
ඔවුන් පාර්ලිමේන්තුවෙ කෑ ගහද්දි
මෛත්‍රී ප්‍රායෝගිකව ක්‍රියා කළ නිසයි.

ජවිපෙ කටින් හිටවූ වංචා දූෂණ බතල කොල
දැන් කවුරුවත් ගණන් ගන්නෙ නෑ.

"වංචා දූෂණ නැති කරමු" කියලා
ජනතාව ඉදිරියෙ කෑ ගහද්දි
ඔවුන් මෛත්‍රීට සහය නොදෙන්නෙ ඇයි කියලා
ජනතාව කල්පනා කරනවා.
ඔවුන් තවමත් මේ වැඩ පිළිවෙලට පිටින් ඉන්නෙ.
"යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද"

අබ කාපු අයගෙ මොලේ දනවා.
සමහර පුහුල් හොරු කරෙන් දැනෙනවා.
"හරි, පුළුවන් නම් කරල බලමු.
ප්‍රජා අයිතිය නැති කළොත් අපි බලාගන්නම්"
අප දන්නා ඉතිහාසයේ පහළවූ
බලවත්ම මැරයා ගේමට බහිනවා.
මේ කියන්නෙ උසාවියට නොවෙයි.
පැමිණිලිකරුවාටයි.

මෙතෙක් බේරිලා ඉන් හැටි
මේ වචනවල තියනවා.

කවුරුවත් දූෂණ කරලා නැත්නම්
ප්‍රජා අයිතිවාසිකම් නැති වෙන්නෙ නෑ.

කිල්ලෝට වල හුණු තියන සමහරු
රටේ ජනතාව නොමග යවන්න
"වාර්තාවල පිටු අඩුයි"
වගේ බයිලා ගායනා කරනවා.
එහෙම කියන්නෙ දැනටමත් දූෂණ නඩු
පැවරිලා තියන චුදිතයන්.

මේ වංචනිකයන් දූෂිතයන්
සමාජය හමුවට ගෙනෙන්න
මෛත්‍රී ක්‍රියා කරනවා.

කකුල් මාට්ටු වලින් වෙට්ටුවලින් ගැලවිලා
පාර්ලිමේන්තුවෙ විවාදයක් ලැබෙන තැනට
වයර් අමුණාගන්න මෛත්‍රීට හැකි වුණා.

.
පව් කාරයන්ට නිදොස් වෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ
සමාජයෙන් අති බහුතරය පව්කාරයන් නිසයි.

පව්කාරයා
තමන්ගෙ වර්ගයේ පව් කාරයන් නිදහස් කරනවා.

එක පක්ෂයක ඉන්න පවුකාරයෙක් තමන්ගෙ එකා බේරනවා.
අනික් එකාට දොස් කියනවා..

මේ ක්‍රමය වටේටම යනකොට
හැම පක්ෂයකම පවුකාරයෝ නිදහස්.

මෛත්‍රීත් මේ වගේ තමන්ගෙ පක්ෂයේ
පවුකාරයෝ නිදහස්කරනවා නම්
මේ ක්‍රමය දිගටම යාවි..

දැන්
වංචා දූෂණ ගැන ක්‍රියා කිරීම
ඒ වංචා දූෂණ කළ හොරු රජ කරන
පාර්ලිමේන්තුවටම ගෙනෙන්න මෛත්‍රී සමත් වුණා.
ඔහු ඒ අතරම නීතිමය ක්‍රියා මාර්ගත් ගන්නවා.

මෛත්‍රී බලන්නෙ දෙපැත්තෙ වැරදි කාරයො
දෙපැත්තෙ අයට භාර දෙන්නයි.
මේ "දෙපැත්තම හොරු රකිනවා" කියල
ජනතාව ඉගෙන ගත්තට පස්සෙ
මෛත්‍රීට පුලුවන් නීතියට අනුව
දෙපැත්තෙම අයට දඬුවම් දෙන්න.
ඒ සඳහා ජනතාව ඔහු සමග හිට ගත යුතුයි.

මෛත්‍රී සියල්ල සැලසුම් සහගතව
වසර තුනක් තිස්සේ රැගෙන ආවේ
මේ කූටප්‍රාප්තිය කරා නොවේද?

මෛත්‍රීගෙ ගමන නිවැරදියි.

මෛත්‍රී ගැලපෙන තැනට ඇණේ ගහනවා.

20180125

මෛත්‍රීට කළ හැකි කජ්ජක් නැත.

මිනිස්සු හොයන්නෙ හොඳ නායකයෙක්.
ඒත් මිනිස්සු හොඳ මිනිස්සු නොවෙයි.

හොරකම් කරන පිරිසක් මැද
හොඳ නායකයා ප්‍රතික්ෂේප වෙනවා.


පාලකයො විතරක් නොවෙයි,
මිනිස්සුත් හොරු.

"මම හොරකම් කරන්නෙ නෑ" කියල
හිතට එකඟව කියන්න පුලුවන්
මිනිස්සු කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද?

හොරට අතිකාල නොදමන කෙනෙක්...
ඉතුරු සල්ලි වැඩියෙන් දුන්නොත්
ආපහු දෙන කෙනෙක් ඉන්නෙ ඉඳල හිටලයි.
ප්‍රතිපත්තියක් විදියට හොරකම් නොකරන
කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද?


පාලකයො හොරකම් කරනවාට
විරුද්ධ මිනිස්සුත් හොරකම් කරනවා.
නෑසිය මිතුරන් කරන හොරකම්
පවුලෙ අය කරන හොරකම් ඉවසනවා.

හොරකමට විරුද්ධ වුණාට
තමන් හොරකම් කරන ජනතාවක්
තෝරන්නෙ
තමන්ගෙ වර්ගයේම පාලක පිරිසක්.

"අපේ හොරා නෙවෙයි හොරා"
"අපේ හොරා අපට හොඳා"
කියල ඡන්දෙ දෙනවා.

අපේ රට පුරාම
අද ඉන්න පිරිසට ගැලපෙන්නෙ
"කරන හොරකමක් අහුනොවෙන්න කරපල්ලා"
කියමින් අවසරය පළ කරන
මහින්ද වගේ නායකයෙක්.

මහින්ද පැරැද්දුවේ හොරු එළවන්න
හොරකම් නොකරන පිරිසක් නොවෙයි.
මහින්ද ඉන්න කාලෙදි හොරකම් කරන්න
අවසර නොලැබුණ හොරු පිරිසක්.
දැන් ඒ බව ඔප්පු වෙලා තියනවා.

මහින්දට පැරදෙන්න වුණේ
හොරුන් අතර තරඟයට
සීමාවක් තියන නිසයි.
ඔහු අවට සිටිය හොරු සෙට් එක
අනිත් හොරු සෙට් එකට නොදී
තනියම කාපු නිසා
හොරු සෙට් එකට මහින්දත් එක්කම
එළියට බැහැලා යන්න වුණා.

මහින්දගේ යුගය අවසාන වුණේ
මහින්දගේ පාලන කාලයේ කළ
සියලු හොරකම් සහ මංකොල්ලකෑම්
මහින්දගේ ගිණුමට බැර වෙමිනි.

මේ ප්‍රවණතාවයම ක්‍රියාත්මක වී
එජාප රජය කරන ලද, කරන සහ
අනාගතයේ කරන්නට යන
සියලු හොරකම් සහ මංකොල්ලකෑම්
මෛත්‍රීගේ ගිණුමට බැර කොට තබා
ඔන්න බොලේ කල්ල මරේ කියමින්
කල දුටු කල වල ඉහගන්නට සිතාගෙන
බැඳුම්කර සොරකම කළා නම්
බැඳුම් කර හොරකම වැරදීමකි.

මහින්ද කළ පව් මෛත්‍රී නොකිරීම නිසා
මෛත්‍රීට බිල දමන්නට සිතාගෙන
ඇටිකෙහෙල් කෑ උගුඩුවන් කළ පව්
ඔවුන් තනිවම ගෙවිය යුතුය.

ජවිපෙ තමන් සුද්ධයි කිව්වට
ඒ මිනිස්සුත් අනික් තුනේම ඉන්න වර්ගෙ
මිනිස්සු තමයි එතන ඉන්නෙත්.
යන්තම් හරි පාලන ශක්තියක් ඇත්නම්
ශ්‍රී ලන්කන් එකේ ලොකු තනතුරක්
අනුර පුතාට නොදෙයි කියල
කියන්න පුලුවන් කාටද?

අනුර කුමාර
අපේ දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය දීම
නැති කරන්නට ක්‍රියා කරන පක්ෂයක
නායකයාය.

ඔහු පෞද්ගලික අධ්‍යාපනය නැති කරන්නට
අපේ ඡන්දයෙන් බලය ලබා ගන්නට ක්‍රියා කරයි.
එහෙත් ඔහු ඔහුගේ දරුවාට පෞද්ගලික විද්‍යාලයක
අධ්‍යාපනය ලබා දෙන්නටද ක්‍රියා කරයි.
රට ඔහුට මේ ගැන චෝදනා කළ විට
වචනයක් නොකියා අසා සිටියි.

ජවිපෙ නායකයෝද සාමාජිකයෝද
ඔහු බේරාගන්නට එකාවන්ව ක්‍රියා කරති.
ඔහු ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ
අධික මුදලක් ගෙවා ගමන් කළ විට
පක්ෂයත් සාමාජිකයෝත්
ඔහු වෙනුවෙන් ක්‍රියා කරති.

ඔහු ඇමති කාලේ කිසිදු වරදක් නැති
අඩුප්පාඩුවක් නැති කෙනෙක් ලෙස
සියලු රෙදි සෝදා ජනතාවට ඉදිරිපත් කරන්නට
පක්ෂ සාමාජිකයෝ ක්‍රියා කරති.

වසර පණහක් තිස්සේ වේලෙමින් සිටින ජවිපෙ
බලය ලබා ගන්නා තැන්වල සොරකම් සිදුවුණහොත්
ඒ මන්ත්‍රීවරු රකින්නට ජවිපෙ සාමාජිකයෝ
අද මෙන්ම එදාටත් පෙළ ගැසෙනු ඇත.

"අපේ හොරා
නෙවෙයි හොරා" ආකල්පය
සියලු පක්ෂවලට පොදු සංකල්පයකි.
ජවිපෙට ලැබෙන බලයෙන් සොරකම් කරන්නෝ
ජවිපෙ සාමාජිකයෝ රැකගනු ඇත.

ජවිපෙ හොරු තාම වෙස් තිව්වෙ නෑ.
තියපු දවසට නැටුම වෙනස් වෙන්නෙ නෑ.

ඇත්තටම ජවිපෙ ඉන්නෙ හොරු නොවෙයි නම්
ඔවුන්ට හොරකම පරදවන්නත් ඕන නම්
ඔවුන් අද ඉන්නෙ මෛත්‍රී සමගයි.

ජවිපෙ හැමදාම නොදන්න යකා වීම නිසා
දන්න යකා හොඳයි කියා මිනිස්සු දන්නවා.
සාමාජිකයො සහ දේශපාලනය මතුපිටින්
එදා වේල හොයාගෙන කන ටික දෙනෙක් විතරක්
හැමදාම ජවිපෙ තෝරා ගන්නවා.

ඇත්තටම හොරු එපා නම්
නොදන්න ජවිපෙ සෙට් එක අයින් කළාම
දන්න ප්‍රධාන හොරු සෙට් තුනෙන්
තමන් හොඳින් දන්න හොරු අතරෙන්
අඩුම හොරු ඉන්න සෙට් එක තෝරන්න වෙනවා.

ඒ දුර්වලම හොරු සෙට් එක මෛත්‍රීට ලැබුණොත්
අනිත් හොරු ටික කකුලෙන් අදිද්දී
මේ රට හොරුන්ගෙන් ඈතට අරන් යන්න
අමාරුවෙන් හෝ මෛත්‍රීට පුළුවන් වෙයි,

නැත්නම්
ලංකාවෙ මෙතෙක් උන්න හොඳම හොරු ටික
මෛත්‍රී පරදවා නැවත බලයට ඒවි.

දූෂණයෙන් රට ගලවා ගන්න එක
අනික් සියල්ලටම වඩා වැදගත්.

අයථා විදියට භාණ්ඩ හෝ මුදල්
පරිහරණය කරන කෙනෙක් ඉන්නවා නම්
සාමාන්‍ය කඩයක්වත් හරියට කරන්න බෑ..

ඕනම පාලකයෙක්
දූෂණය අනුමත කරනවා නම්
වංචාව දූෂණය ඉවසනවා නම්
"කරන හොරකමක් අහුනොවෙන්න කරපල්ලා"
කියමින් අවසරය පළ කරනවා නම්
ඔහුගෙ අනික් සුදුසු කම්වලින් වැඩක් නෑ.
ඔහු ඉන්න තුරු හොරු රට කනවා.

ජනතාව දූෂණයට විරුද්ධ නම්
වංචාව දූෂණය නැති නායකයා
ටිකෙන් ටික ශක්තිමත් වෙනවා.

කඩුව සූදානම්,
ජනතාව සූදානම්ද?.

ජනතාව හොරු රකිනවා නම්
මෛත්‍රීට කළ හැකි කජ්ජක් නැත.
පොදු ජනතා තීරණය පෙබ 10වැනිදා.

2015 ජනවාරි 08දා මෛත්‍රී සහ එජාපය
යහපාලනය ගෙනෙන්න පොරොන්දු වුණත්
එජාපය විසින් ඒ අරමුණ පසෙක ලා
අපේ දේශපාලනඥයන්ට හුරු මාවතේ
සුපුරුදු ලෙස ඉසුරු සොයා ගියහ.

තනි වූ මෛත්‍රීගෙන් යහපාලනය ඉල්ලන
රටේ ජනතාව හමුවට පැමිණි මෛත්‍රී
ඔවුන්ගෙන් තනි පාලනයක් ඉල්ලා සිටියි.

මෛත්‍රී සිය යුතුකම ඉටුකොට ඇත.

පෙත්සම් ලැබුණු දූෂණ පිළිබඳව
තොරතුරු විමර්ශනය කළ කොමිසම
වංචා දූෂණ 34ක් පිළිබඳව වාර්තා
මෛත්‍රී ජනතාව හමුවේ තබා ඇත.

දැන් තීරණය ජනතාව සතුයි.

කඩුව සූදානම්,
ජනතාව සූදානම්ද?.

ජනතාව මෛත්‍රී පැත්තේද?
හොරු පැත්තේද?

මේ අවසාන මැතිවරණය නොවේ.
එහෙත් අවසාන අවස්ථාව විය හැක.

ජනතාව හොරු රකිනවා නම්
මෛත්‍රීට කළ හැකි කජ්ජක් නැත.



20180123

කූඹියෝ සහ ඓතිහාසික ගේම් කප්පිත්තෝ

දෙවැනි රාජසිංහ රජුගේ 
ගේම් කාර ජෙහාන් වූ අඹන්වෙල රාළ
රජුට අවශ්‍ය පරිදි ගේම් එක දී
ලන්දේසි අතරට ගොස් සැප වින්දේය.

කන්න දේ රැස් කරයි, කූඹියෝ.

ජෙහාන් වැනි ගේම් කාරයන්.
වැඩිපුරම ඇත්තේ දේශපාලන ලෝකයේය.
අපේ ඉතිහාසය ගේම් වියමනකි.

කූඹියෝ ටෙලි නාට්‍යය විසින්
ගේම් කාරයෙකුගේ සංකීර්ණ චරිතය
උවමනාවෙන්ම ඉස්මතු කිරීම නිසාත්
යූටියුබ් මගින් කූඹියෝ නැරඹිය හැකි නිසාත්
ගේම් කාරයන්ගේ ගේම් ගැන උනන්දුවක්
ලාංකික සමාජයේ සංවාදයක් විය.

එවැනි අතීත හා මෑත අතීත
සුපිරි ගේම්වල උදාහරණ කිහිපයක්
මෙහි සරලව මතු කෙරෙයි.

"ජනපති මිය ගියොත් අගමැති ජනපති"
බවට ඉබේම පත්වෙන පරිදි ලියැවුණ
විධායක ජනපතිගේ පැවැත්මට
මාරාන්තික අවදානමක් විය හැකි ලෙස
"ජනපති මිය ගියොත් අගමැති ජනපති"
බවට ඉබේම පත්වෙන  අපූරු ව්‍යවස්ථාව
නිර්මාණය කළේ ජනපති ජේ ආර් ජයවර්ධනයි.

ජනපති කමට එන්නට මහත් සේ කෑදර
ප්‍රේමදාස අගමැති තනතුරේ තබාගෙන
ජීවිතයට හානියකුත් කර නොගෙන
වසර එකොළහක් බලය පවත්වාගන්නට
ජේ ආර් සමත්වීම  රාජකීය ගේමකි.

"ජනපති මිය ගියොත් අගමැති ජනපති"
මාරාන්තික ව්‍යවස්ථාව සමග
විරුද්ධ පක්ෂයේ නායකයා
අගමැති තනතුරේ තබාගෙනම
අද ගේම් එක කෙළින නායකයා
පඹයෙකු මෙන් රටට පෙනෙන
ගොවියා පුත් මෛත්‍රීය.

අප දන්නා ඉතිහාසයේ සිටි
විශිෂ්ඨම මෙන්ම දරුණුම ගේම් කරු
ජේ ආර් ජයවර්ධන විය.
ඔහු ගේම කෙළියේ ප්‍රේමදාස, ලලිත් සහ
ප්‍රේමදාසගේ ජනප්‍රියත්වයෙනි.
මෛත්‍රීට මෙන්ම ඔහුටද ජනතාව මත
රිසිසේ පැවැත්විය හැකි ජන බලයක් නොවීය.
ජේ ආර්  බලය පැවැත්වූයේ ඔහු සමග සිටි
දේශපාලන නායකයන්ගේ අරමුණු
කළමණාකරණය කරගැනීම මගිනි.
ඔහු ජනතාව මත විශ්වාසය නොතැබීය.

මෛත්‍රීගේ ගේම් එක හාත්පසින්ම වෙනස්ය.
ඔහු ජනතාව ඔහු සමග ඇතැයි කියා
උපකල්පනය කරන බවක් පෙනෙතත්
එහි ප්‍රතිඵලය දැක ගත හැක්කේ
ඉදිරි මැතිවරණ ප්‍රතිඵලයෙනි.

අද දේශපාලන බිමේ ඉත්තන්
කවුරු කාගේ උවමනාවට
ක්‍රියා කරනවාද කියා සිතිය නොහැක.

සයිටම් විරෝධය කවුරු වෙනුවෙන්
කවරෙකු දියත් කරන ලද්දක්ද?
නියමුවෝ කවරහු වුවත්
ඒ මගින් රටේ බොහෝ ක්ෂේත්‍රවල සිටින
මෛත්‍රී-රනිල් විරෝධීන් ලැයිස්තුගත විය.

1971, 1989 කැරලි දෙකෙන්ම
ජවිපෙ විසින් අප රටේ දේශපාලනයට
අති ප්‍රබල දායකත්වයක් සැපයුවේ
පවතින නිල්-කොළ දේශපාලනයට
විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන්
එක කඳවුරකට එකතු කරගෙන
සමාජයෙන් අතුගා දමන්නට ගත්
විප්ලවීය ක්‍රියාමාර්ගය මගිනි.

නීති විරොධී උද්ඝෝෂණ
හා වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමෙන්
රාජ්‍ය විරෝධී ක්‍රියාකාරීන් මතු කරගෙන
ලැයිස්තු ගත කොට අක්‍රිය කිරීමේ ව්‍යාපෘතිය
ඉතා පැරණි කූට දේශපාලන ගේමකි..

අසාර්ථක විප්ලවයක් යනු
රාජද්‍රෝහීන් මතුකරගෙන මැරීම හෝ
අකර්මණ්‍ය කරන්නාවූ ගේමකි.
ගේම සැලසුම් කරන ජෙහාන් හැර
ප්‍රියන්තවත් සිදුවන්නේ කුමක්දැයි
හරි හැටි දන්නෙ නැත.

රවටන්නා මුදුනේම සිටින්නාය.
ඉතිරි සියල්ලෝම රැවටෙනවා විය හැක.

1815 රට අල්ලාගත් ඉංග්‍රීසින්ට විරුද්ධව
1818 ඇතිවුණ කැරැල්ල ඔවුන්ගේම සැලැස්මක්ද?

ඉංග්‍රීසින්ගේ පාලනයට එරෙහි විය හැකි අය
එක තැනකට එකතු කර විනාශ කිරීමට
ඔවුන්ට භාවිතා කළ හැකි හොඳම උපක්‍රමය
ඔවුන්ගේම කෙනෙක් කැඳවුම් කරු ලෙස යොදා
කැරැල්ලක් සංවිධානය කිරීමයි.

කැරැල්ලෙන් හෙළිවුණ විරුද්ධවාදීන් අත්ගුරෙන්
ප්‍රබලයන් පිරිස ඝාතනය කෙරුණු අතර
තවත් දුර්වලයන් පිරිසක් හඳුනා ගැනීම නිසා
ඉංග්‍රීසි රජය ඔවුන් මිලදී ගත්තේය.

ඉංග්‍රීසීන්ටත් පෙර මේ ක්‍රමයෙන්
සිය පදවියේ බලය රැකගන්නට
දෙවෙනි රාජසිංහ රජු සමත්විය.

"එදා හෙළදිව" පොතෙහි
විස්තරාත්මකව සඳහන් වෙන
මේ කැරැල්ලේ පළමු පියවර තැබුණේ
වර්ෂ 1664 දෙසැම්බර් මස 21 වැනි දින රාත්‍රියේය.
මේ සඳහා තෝරා ගන්නා ලද ජන සමූහයක්‌
මාලිගාවේ දී රහස්‌ සාකච්ඡා කොට ගිවිසුමකට බැස ගෙන
මධ්‍යම රාත්‍රියෙහි පෙළ සැදී නුවරට පැමිණියෝය.
රජ වාසල සිරකරුවෝ ද මෙම ගිවිසුමට බැඳුනාහු යයි
සිතන්නට ඉඩ තිබුණි.

අඹන්වෙල රාළ මෙහෙයවූ මේ කැරැල්ල
සැලසුම් කරන්නට මූලිකම සාධකය විය හැක්කේ
කිරුළ හිමි කුමරා වූ තම පුතා සමග එක්වී
උඩරට ප්‍රභූන් තමා ඉවත් කොට දමා
පුතාට රජකම දෙනු ඇතයි සැකයෙන්
රාජසිංහ රජු තුළ ඇතිවූ භීතිය විය යුතුය.

අඹන්වෙල රාළගේ මූලිකත්වයෙන්
රාජසිංහ රජුට එරෙහි කැරලි සැලසුමට
ඒදඬුවාව, පැල්ලම්පිටිය, උඩබද්දාව ආදී
රදළ නායකයන්ගේ සහභාගීත්වය ලැබුණේ
රජුට එරෙහි බලවේගයක් ඒ වනවිටත්
නිර්මාණය වෙමින් පැවති හෙයිනි.

මේ බලවේග වැරදිකරුවන් බවට පත්කොට
ඉවත් කර දමීම නුවණට හුරු වූයෙන්
රජුට සේවය කළ ප්‍රභූවරයෙක්‌ වූ අඹන්වෙල රාළ
මෙම කැරැල්ල ඇති කළ ජෙහාන් ප්‍රනාන්දු බවත්
එසේ කළේ දෙවෙනි රාජසිංහ රජුගේම උවමනාවට බවත්
අනුමාන කළ හැකි ප්‍රබල සාධක කිහිපයක්ම
"එදා හෙළදිව" පොතෙන් අපට හමුවෙයි.

කැරැල්ල වෙන අවස්ථාවේ මාළිගයේ කාමරයක සිරවී
අනාරක්ෂිතව අසරණව උන් රජුට පහසුවෙන් පළා යන්නට
කැරලිකාරයෝ රජ මාළිගාව ඇතුළට කඩා නොපැන
එළිවෙනතුරු කල් මරමින් සිටි කැරලි කරුවන්
උවමනාවෙන්ම ඉඩ දුන් බව සිතිය හැක.
රජුගේ ආරක්ෂාව සඳහා ඔහු වටා ඒ වෙලාවේ තිබුණේ
බිත්ති හතර පමණක් බවද කියැවෙයි..

රජු සිරි යහනේ නිදාගෙන ගෙන ඉන්න ආකාරයට
නිදාගෙන උන් දුක්ගන්නා රාළ කෙනෙක් මෙන් සේවය කළ
අලුවිහාරේ වනිගසේකර මහළු මුදලි යොදාගෙන
රජුට ආරක්ෂිතව පලා යන්නට ඉඩකඩ සැලසිණ.

රූපෙන් රජතුමාට සමාන අලුවිහාරේ මුදලි
රාජාභරණවලින් සැරසී සිරි යහනේ නිදා ගත් අතර
කැරලිකරුවන් ඔහු මරා දැමුවාහ.

රජු 50 ක පමණ පිරිසක් සමග පිටවී
මාළිගය වටකොට කැරලිකරුවන් සිටියදීම
මාළිගාව අසළ තිබුණු කන්ද හරහා පැනගොස්
ජීවිතය බේරගන්නේ සැලසුමකට අනුවද?.

පසුව බලන දුර්ගයේදීත් ඔහුට පළායන්නට
අඹන්වෙල රාළගේ කැරළිකරුවෝ අවකාශ ලබා දුන්හ.
රජු මැරීම ඔවුන්ගේ අරමුණ වී නම් ඉටුකරගැනීමට
කැරළිකරුවන්ට හැකියාව තිබුණු නමුත්
රජු ඔවුන් අතරින් හඟුරන්කෙතට පළා ගියේය.

සැලැස්මේ ඊළඟ කොටස අනුව ක්‍රියා කරන
කැරලිකරුවන් කන්දේ නුවර සිටි රාජ කුමරුගෙන්
රාජ්‍යය භාරගන්න ඉල්ලා සිටි නමුත් නිහඬව සිටි
රජකුමරු රජුගේ සහෝදරියත් සමග
රජු වෙත ගොස් ඔහුට එක් විය.

රාජසිංහ රජු ගල උඩ කන්දේ සිටියදීම
සියලු කලබල සන්සිඳී ගිය අතර
කැරලිකරුවන් ඇල්ලීමට හෝ මැරවීමට
රජුට එතරම් උනන්දුවක් නොවූ බව
රොබට් නොක්ස් වාර්තා කරයි.

කැරලි නායකයෝ තමන් කොල්ල කා ගත්තු වස්තුව
මිනිසුන් අතර බෙදාදී පළාගොස් සැඟවුණාහ.
රජු වෙනුවෙන් තවත් රදළ නායකයෙක්
තමන්ගේ පිරිස සමග කැරළිකාරයන් මරා දමමින්
මහනුවරට පැමිණි අතර රජු ගල උඩ කන්දේ සිටියදී
සියලුම කලබල සංසිඳී ගියේය.
කැරලිකාරයන් ලෙස සැක කළ හැම දෙනාම
අත් අඩංගුවට ගෙන මරා දැමීම් නවත්වන්නට
ක්‍රියා කරන්නේ  රදළයන් විසින්
කැරලි කරුවන් ලෙස නම් කරමින්
විරුද්ධවාදීන් මරාදමන්නට
ක්‍රියා කළ හෙයිනි.

කැරැල්ලෙන් පසුව කැරලිකරුවන් රජ කුමරු හමුවී
රජකම ගන්නට කැමැත්ත විමසූ අවස්ථාවේ
කුමරු නිහඬව සිටි නමුත් ඔහුගේ මුනිවත තුළ
"ලැබුණොත් භාර ගන්නෙමි"යි යන ඉඟිය වූ නිසා
රජු තුළ වූ සැකය සනාථවන්නට ඇත.

මේ සිදුවීමත් සමග තමන්ගේ පුත් කුමාරු
තමන්ගේ බලයට බාධාවක් ලෙස ඔප්පු වූ නිසා
රජු සිය පුතාට වස දීලා මරා දැමූවේ
කැරැල්ලෙහි මුල් අරමුණ එය නිසාද?

අවසානයේ කැරැල්ලට සම්බන්ධ වූවන් ලෙස
මහ නඩුවෙන් ඔප්පු වුණු සියල්ලෝම පාහේ
හිස ගසා මරා දමා දේපළ රාජ සන්තක කෙරිණ
එනමුදු කැරැල්ලේ නායක අඹන්වෙල රාළ
මරණ වධයට නියම කරන්නට තීන්දු කොට
"සිංහල දේශයේ පැණවිය හැකි දෙතිස්‌ වධ
මේ අඹන්වෙළ රාළ හට ප්‍රමාණවත් නොවන්නේය.
එහෙයින් ඔහුට අලුත් අමුතු වධ දෙවා මරන්නැ"යි
කොලොම්පුර ලන්දේසීන් වෙත යවන ලද්දේ
ඔහු සේවය කළ රාජසිංහ රජු විසිනි.

රජු අඹන්වෙල රාලට දඬුවම් දෙන මෙන්
ලන්දේසින්ගෙන් ඉල්ලා ලන්දේසි කොටුවට යැවූ නමුත්
ඔහු එහි සැප සම්පත් විඳිමින් යහතින් ජීවත් විය.
ඒ ඔහු රජුට කළ රහසිගත සේවය නිසාද
පසුව ලන්දේසීන්ටද සේවය කළ අඹන්වෙල රාළ
කන්ද උඩරට පිළිබඳව ඔහුගේ දැනුම සහ හැකියාව
ලන්දේසීන්ගේ විශාල පොල්වත්තක් ලබා ගැනීම උදෙසා
ලන්දේසීන් සමග හුවමාරු කර ගත්තේය.
සිංහලේ ඓතිහාසික ගේම් එකක් ප්ලෑන් කළ
ජෙහාන් අඹන්වෙල රාළ ගේම් කරු මිය ගියේ
මහා ධනවතකු ලෙසිනි.

ක්‍රි. ව. 1760 වර්ෂයේදී
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිහසුනෙන් නෙරපා
සියම් කුමාරයකු බලයට ගෙන ඒම සඳහාද
රජ ගෙදර තුළ කුමන්ත්‍රණයක්‌ සිදු වූ අතර
මේ කුමන්ත්‍රණය තුළ සිටියේද
මහනුවර ප්‍රධාන රදළ නායකයෙකි.
ඔහු රජුගේ දෙවැනි අදිකාරම් සමනක්‌කොඩිය.
මේ කුමන්ත්‍රණයට
බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ ද සහයෝගය ලැබිණ.
සරණංකර සංඝරාජ හිමියෝ ද
මල්වතු විහාරාධිපති තිබ්බොටුවාවේ හිමියන් ද
රජ වාසල නිලධාරියකු වූ මොලදණ්‌ඩේ ද
මේ ක්‍රියාවට සහාය වූ බව පෙනේ.
නමුත් කුමන්ත්‍රණකරුවන්ට
අදාළ කාර්ය සාර්ථක කර ගැනීමට
හැකියාවක්‌ ලැබුණේ නැත්තේ
කිසිවෙකුගේ පාවාදීම නිසාද?
නැත්නම් අසාර්ථක වීමම
අරමුණ කරගත් කැරැල්ලේ
මහ මොළකරු කීර්ති ශ්‍රී රාජසිංහ රජුම හෝ
ඔහුට සමීප වෙනත් කෙනෙකු නිසාද?

කුමන්ත්‍රණය පිටුපස සිටි සමනක්‌කොඩි අධිකාරම්,
මොලදණ්‌ඩේ රටේරාළ හා මැටිහත්පොල දිසාවේ යන්නවුන්
මෙහිදී මරා දමන ලද අතර භික්‍ෂුන් වහන්සේට සමාව ලැබිණ.
සරණංකර හිමියන් සංඝරාජ ධුරයෙන් ඉවත් කෙරුණ හෙයින්
මේ කැරැල්ලේ මහමොළකරු භික්ෂුවක්ද විය හැක.
ඔහු ඊ ළඟ සඟ රජු විය හැක.

මේ කැරලිකරුවන් ප්‍රසිද්ධියේ නොමැරුවා නම්
ඔවුන් හොර රහසේ විදේශයන්ට පළා ගොස්
ජීවිතාන්තය තෙක් සුවසේ ජීවත්වන්නට ඇත.

රෝහණ විජේවීර, ප්‍රභාකරන් ආදීන්
අප ඉදිරියේ සැබැවින්ම මරා දැමුවාද
නැත්නම් ඔවුන් වෙනුවෙන් මරා දැමුවේ
ඔවුන්ගේ ස්වරූපය ඇති වෙනත් අයද?
මේ පිළිබඳවත් සැක කරන අය සිටිති.

අපට සමාජ ඉතිහාසය තුළ
අප දන්නා සුපිරිම ගේම් කරුවා ජේ ආර් බව
අපේ දේශපාලන ප්‍රවාහයට පමණක් නොව
අප රටේ ආර්ථිකය, සංස්කෘතිය, ජන ජීවිතය
සහ රටේ ස්වාභාවික සම්පත්වලට වැදුණු
බලවත් ප්‍රහාරය හමුවේ අවිවාදිතය.

1971 කැරැල්ල පිටුපස ජේ ආර් සිටියාද කියා
අපට සැක පහළ කළ හැකි ප්‍රධානම සාධකය
ඔහු 1977 බලයට පත් වීමෙන් පසුව
රෝහණ විජේවීර නිදහස් කිරීම නිසාය.
සිය හයෙන් පහේ බලය භාවිතා කරමින්
අසීමිත බලයක් තමාට ලබා දෙන
ඒකාධිපති ව්‍යවස්ථාවක් ලියාගෙන
රටේ අනාගතය වෙනස් කළ අතර
සිරිමාවෝ නම් තමාට එරෙහි ප්‍රධානම බල වේගය
ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කොට ඉවත් කරන්නට
1977න් පසු ජේ ආර් සමත්විය.

"ජනපති මිය ගියොත් අගමැති ජනපති" බවට
ඉබේම පත්වෙන ව්‍යවස්ථාව
ජනපතිගේ පැවැත්මට මාරාන්තික අවදානමකි.
මේ අපූරු ව්‍යවස්ථාව නිර්මාණය කළ
ශූර ජනපති ජේ ආර් ජයවර්ධන
ජනාධිපති වෙන්නට මහත් කෑදරකමින්
ඒ සඳහා දිවා රෑ වෙහෙසුණ
උප නායක ප්‍රේමදාස අගමැති තනතුරේ තබාගෙන
වසර එකොළහක් ජීවිත හානියකුත් නොවී
බලය පවත්වාගන්නට සමත්වීම  රාජකීය ගේමකි.

තෙවන වරටත් බලය ගන්නට කැස කැවූ
ජේ ආර්ගේ සැලැස්මට විරුද්ධව
"ජේ ආර් මරමු" ව්‍යාපෘතිය මගින්
ඒ සැලැස්ම ජවිපෙ සහායෙන් අක්‍රිය කොට
පක්ෂයේ බලය ප්‍රේමදාස අල්ලාගත්තේය.

ප්‍රෙමදාසගේ ඉදිරි වසර හය
සිය බලය පතුරවන්නට සිහින මැවූ
හයෙන් පහක බලය ඇති පාර්ලිමේන්තුව
ප්‍රේමදාස ජනපති වෙන රාත්‍රියේම
විසුරුවා හරින්නට ජේ ආර් ගත් තීරණය
ජේ ආර්ගේ පුද්ගලික පළිගැනීමක් වුවද
රටට සිදු වූ විශාල සෙතකි.
ප්‍රේමදාසගේ අවසානයේ
ආරම්භය සනිටුහන් වූයේ එදාය.

ඔහුගේ රජයට විරුද්ධ විය හැකිව තිබුණ
ජවිපෙ ක්‍රියාකාරීන් සියල්ලෝම ඉවත් කිරීමට
ප්‍රේමදාස ඉතා ඉක්මණින් ක්‍රියා කළේ
ඔහු රහසින් භාවිතා කළ බළල් අත
ඔහුට විරුද්ධ වෙනෙකෙකුට
යළි භාවිතා කරන්නට ඉඩ නොතබමිනි.

තෙවන වරටත් බලය ගන්නට කැස කැවූ
ජේ ආර්ගේ අරමුණ බිඳ වැටිණ.
තමා ප්‍රතික්ෂේප කළ එජාපයටත්
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී තිදෙනාටත්
එකම හැන්දෙන් බෙදා පළිගැනීමේ අරමුණෙන්
ඔවුන් තිදෙනම දේශපාලනයෙන් අතුගා දමා
චන්ද්‍රිකා පැරෂුටයට බලය ලබා දෙන්නට
තිරය පිටුපස සිට දායක වන්නට ඇතැයි
ජේ ආර්ගේ ස්වභාවය අනුව සැක සිතිය හැක.

ජේ ආර්ට තෙවන වර බලය නොදීමෙන්
එජාපය බැරෑරුම් ලෙස විනාශවී යන්නට
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී තුන්කොන් බල අරගලය හේතු වී
ඔවුන් ඝාතනය නොවුණා නම් අපේ ඉතිහාසය වෙනස් වනු ඇත.
ඔවුන් තිදෙනා සිටින දේශපාලන බිමක
මහින්ද රනිල් දෙදෙනාත් බැසිල් ගෝටා ආදීනුත්
දුබල ඉත්තන් ලෙස කොන් වෙන්නට ඉඩ තිබිණ.

අදත් අප දකින
නොයෙක් දේශපාලන නාඩගම් තුළ
මතුපිටින් අපට කුමක් පෙණුනත්
ඇතුළතින් සිදුවෙන පරිවර්තන
අප නොදන්නෙමු.

2010දී මහින්ද පරාජය අසලටමත්
2015දී ප්‍රාජයටත් පත් කරන්නට
තිරය පිටුපස සිටි නූල් සූත්තර කරු බැසිල්ද?

රාජපක්ෂ පවුලේ ගේම් කරු බැසිල්ය.
දේශපාලනයට පැමිණි දා පටන්ම
පාලනය අතට ගන්නට බැසිල්ට ඇති වුවමනාව
රාජපක්ෂ පවුලේ උන්නතියට මෙන්ම
අවනතියටද හේතු විය.

2010 දී දැනුවත්ව හෝ නොදැනුවත්ව
සරත් ෆොන්සේකා මහින්දගේ රජයට
ලබා දුන් සේවාවද මේ ආකාරයෙන්
පැවැත්මට බාධා වූ වල්පැල
ජනපතිවරණයෙන් මතු කිරීමයි.
ඉන් පසු හමුදාවේ තනතුරු වල
යම් යම් වෙනස්කම් සිදු විය.

ජීවිත රැකගැනීමේ අරමුණෙන්
ෆොන්සේකා රනිල් ඇතුළු පිරිස හෝටලයක සැඟවී සිටීම,
පරාජයේ මුවවිට උන් මහින්ද අතට
ජනපතිවරණයේ ජයග්‍රහණය
ඉන්ද්‍රජාලම් කොම්පුටර් ජිල්මාට් එකකින් මාරුවීම
මැකෝගේ ආතතියට හේතුවීම ආදී නොවිසඳුණ ප්‍රශ්නාර්ථ
2010 ජනපතිවරණයෙන් ඉතිරි විය.

2015දී එවැන්නක් සඳහා ඉත්තා වුණ මෛත්‍රී
ගේම සැලසුම් කළ අයට පිටුපා
දාම්පෙත කරකවා බලය අල්ලාගත්තේ යැයි
ආරම්භයේ ඔහුට තිබුණ ප්‍රශ්න අනුව
අපට සැක කළ හැක.
මේ බල පරිවර්තනයට ප්‍රබල සාධකයක් වූ
මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ දායකත්වයට
ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා විය හැක.

බැසිල් රනිල් දෙදෙනා ශාලාවේ ඇතිව
'පිවිතුරු හෙටක්' දියත් කළ රතන හිමි මගින්
බැසිල්ට දේශපාලන බලය ලබා ගන්නට සිතාගෙන
මහින්ද-මෛත්‍රී අතර සුභ සහ යස නාඩගම නටමින්
බැසිල්ට පදින්නට දියත් කළ යහපාලන බෝට්ටුව
කාටත් හොරෙන් කණපිට පෙරළාගෙන පදින්නට
ප්‍රියන්ත මෙන් සරල චාම් මෛත්‍රී සමත්ව ඇත.

මෛත්‍රීත් ප්‍රියන්ත මෙන් පෙනී සිටින
ජෙහාන් වැනි ගේම් කාරයෙක් බව
තවමත් අපට ඇත්තේ ඉඟි පමණි.
ඔහු කරන දේ කියන දේ
මනාව පෙර සැලසුම් කොට
කල් යල් බලා මුදා හරින බව
ඒ කියන කරන දෙයින් නෙලා ගන්නා
ඵල අනුව සිතිය හැක.

මෛත්‍රී පෙන්වන නොහැකියාවල්
සැබෑ නොහැකියාවන්ද, රඟපෑමක්ද කියා
තව වසර ගණනාවකට කිව නොහැක.

ඉතා සැලකිල්ලෙන් ඉතිහාසය දෙස බැලුවොත්
මතුවී පෙනෙන විරුද්ධවාදීන් සහ
නොපෙනෙන විරුද්ධවාදීන් මතුකරගෙන නැසීම සඳහා
කලින් කල නොයෙක් කැරළි කෝලාහල
විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ ඇති වෙයි.
වඩාත් නිවැරදිව කිව හොත් ඇති කරනු ලබයි.

මේ දාදු කෙළි වල කැපෙන ඉත්තන් අතරට
නොදැනුවත් කම නිසා එක්වී කැපී යන
අවසනාවන්තයන් බොහෝය.

20180119

සමනලීට බාර් එකක මධුපානයට ඉඩ දෙන්න බැහැ.

" බාර් එකට යාම කෙසේ වෙතත්
දහවලක තනිව ගොස් බියර් බෝතලයක්
ඒවා විකුණන ස්ථානයකින් මිල දී ගන්නා විට
මා වෙත හෙලන නරුම බැල්මට
මා කොතරම් බියපත් වී ඇති ද ?
රාත්‍රි අටෙන් පමණ පසු
පාරක ගමන් කරන විට
සිතට දැනෙන භීතිය කුමක් ද? "

නදීකා බණ්ඩාර මුහුණ පාන
මේ තත්වයෙන් ඇය ආරක්ෂා කරගන්නට
සමාජීය වගකීමක් අප සමාජයට ඇති නිසා
ඒ සඳහා සුදුසු අප රටට ගැලපෙන
ප්‍රතිපාදන රටේ නීතියෙන්ම පණවා ඇත.

(4)  කාන්තාවන්ගේ,
ප්‍රගතිය සඳහා නීතියෙන් හෝ අනු නීතිවලින්  හෝ
විශේෂ විධිවිධාන සැලැස්වීම
මේ  ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේ ය.

1, " නීතියේ  රැකවරණය සර්ව සාධාරණ විය යුත්තේ ය."
කන්තාව රැකීම නීතියේ යුතුකමක්.
එහිදී ඇගේ නොහැකියාවන් වල අඩුව
පොලීසිය යොදවා පුරවන්නට නීතියට
පහසුකම් ඇත්තේ නැත.

නීතියට කාන්තාව රකින්න තියන
පහසුම ප්‍රතිපාදනය සීමා පැණවීම නම්
නීතිය ඒ රැකවරණය පණවනවා.
දැන් සිදු වී ඇත්තේ එයයි.

(3)  වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ
ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ
ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට,
පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට,
පොදු විනෝද ස්ථානවලට හෝ තම තමාගේ
ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට
"ඇතුළුවීම සම්බන්ධයෙන්"
යම් අශක්නුතාවකට,බැඳීමකට,සීමා කිරීමකට
නැතහොත් කොන්දේසියකට
කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය.

("ඇතුළුවීම සම්බන්ධයෙන්" පමණයි.)

පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට,
පොදු විනෝද ස්ථානවලට
"ඇතුළුවීම සම්බන්ධයෙන්"  නීති පණවන්න බෑ.
ඒත්
මත්පැන් මිලට ගැනීමට, පානය කිරීමට
ඇයට නීතිමය ප්‍රතිපාදන නෑ.

පාසල් සිසුවෙකුට වෙළඳ සැලකට
ඇතුළු වෙන්න තියන අවසරය මත
ඔහුට මත්ද්‍රව්‍ය ගන්න බැහැ.

මේ නීතිමය සීමාව නොතකා
මත්පැන් පානයට බාර් එකකට ගිය
නදීකා බණ්ඩාර නම් කාන්තාව මුහුණ පෑ
ලිංගික හිංසනයක අප්‍රසන්න තොරතුරුයි මේ.

"මා පිටුපසින් වංගීස පැමිනි අතර
ඉන්පසු ඔහු චාපා අනුමත කරමින්
වාග් ප්‍රහාරය සමඟ එක්විය.
නැවතත් මොහොතකින්
ඔහු මා අසල වාඩි වූ අතර
මගේ බඳ වටා අත යවමින්
මා තුරුලූ කරගන්නට උත්සාහ කළ අතර
මම එතැනින් නැගිට ගොස්
වෙනත් තැනක වාඩි වුයෙමි.
අවසානයේ මා එළියට පැමිණ
එතැනින් නික්ම යනතුරුම
ඔහු මා පසුපස හඹා එමින්
මා වැළඳ ගන්නට උත්සාහ කරමින්
බලහත්කාරයෙන් මගේ අතින් අදිමින්
මගේ ප්‍රතික්ෂේප කිරීම නොසලකා හරිමින්
පිරිසක් ඉදිරියේ විශාල මානසික පීඩනයකට
මා අතහැර දමුවේය.

මත්පැන් හලේදි නදීකා බණ්ඩාර මුහුණ දෙන
ඉහත දැක්වෙන ලිංගික හිංසනය පිළිබඳව
නීතියෙන් සැලසිය හැකි රැකවරණය කිමක්ද?
වංගීස බීමත්ව සිටි දරුණු පුද්ගලයෙක් නම්
ඔහු ළඟ තියුණු ආයුධයක් තිබුණා නම්
සිදු විය හැක්කේ කුමක්ද?

"කිසිම පුරවැසියක වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ
භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ
ඉන්  කවර  වූ  හේතුවක්  මත  හෝ  වෙනස්කමකට  හෝ  විශේෂයකට
හෝ භාජන නොවිය යුත්තේ ය"

මේ අනුව ක්‍රියාකරන රජය විසින්
කාන්තාවන්ගේ, ළමයින්ගේ  හෝ  අබල  තැනැත්තන්ගේ
ප්‍රගතිය  සඳහා  නීතියෙන්  හෝ  අනු  නීතිවලින්  හෝ
විධායක  ක්‍රියා මාර්ගයෙන්  හෝ  විශේෂ  විධිවිධාන  සැලැස්වීම
මේ  ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොකරන්නේ ය.

ව්‍යවස්ථාව පවතින නීතිවලට බාධා පමුණුවන්නෙ නෑ,

කාන්තාවන්, ළමයින්  හෝ  අබල  තැනැත්තන් ට
නීතියෙන් දෙන රැකවරණය ඉවත් කිරීමට
සමනලී කරන ඉල්ලීමට ඉඩ දෙන්න
අධිකරණය ක්‍රියා කරන්නේ නෑ.
ඇයට නීතියෙන් අවසර තියෙන්නෙ
බාර් එකකට ඇතුළුවෙන්න පමණයි.

බාර් එකක රැකියාව කිරීමේ
සමනලී ඉල්ලා සිටින අවසරයට අදාළව
පහත දැක්වෙන සීමාවන්ට යටත් වෙනවා.

14. (1) සෑම පුරවැසියකුට ම
-(උ) එකලාව හෝ අන් අය හා සමග 
යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක,
කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක
හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට
හිමිකම ඇත්තේ ය.

"යම්  නීත්‍යානුකූල රැකියාවක,
නියුක්ත වීමේ නිදහසට හිමිකම ඇත්තේ ය "
බාර් එකක රැකියාව නීත්‍යානුකූල නෑ.
මංගල කරන ලද නීති පැණවීම
ජනපතිගේ නියෝගයට යටත් වෙන්නෙ ඇයි.?
මේ නීතිය වෙනස් වෙනවා නම්
පාර්ලිමේන්තුව පනතකින් කළ යුතු නොවේද?

එසේ කරන්නට තරම් අපේ කාන්තාව
ශක්තිමත් නති බවත් සත්‍යයක්.
නමින් හඳුනන කෙනෙකුගෙන්
නදීකා බණ්ඩාරට සිදුවූ
ලිංගික හිංසනයෙන් ඇය මුදන්නට
එතන කිසිවෙකුටත් හැකි වුණේ නෑ.
ඇය එතන රැකියාව කළා නම්
කළමණාකාරිත්වය සමග
ගැටුමක් ඇති නොවේද?

කෙසේ වුවත්
මේ නීති පැණවීම ඉවත් කිරීමට
ජනපති දුන් නියෝගය කැබිනට් මණ්ඩලය
ඒකමතිකව අනුමත කරල තියනවා.

''''''''''''''''''''''''''''''
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

III වැනි පරිච්ඡේදය
මූලික අයිතිවාසිකම්

12.  (1)   නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද,
නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

(2) කිසිම පුරවැසියකු
වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය,
දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ
ඉන්  කවර  වූ  හේතුවක්  මත  හෝ  වෙනස්කමකට  හෝ
විශේෂයකට  හෝ භාජන නොවිය යුත්තේ ය¦

(3)  වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ
ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ
ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට,
පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට,
පොදු විනෝද ස්ථානවලට හෝ තම තමාගේ
ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට
"ඇතුළුවීම සම්බන්ධයෙන්"
යම් අශක්නුතාවකට,බැඳීමකට,සීමා කිරීමකට
නැතහොත් කොන්දේසියකට
කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය.

("ඇතුළුවීම සම්බන්ධයෙන්" පමණයි.)

(4)  කාන්තාවන්ගේ,
ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ
ප්‍රගතිය සඳහා නීතියෙන් හෝ අනු නීතිවලින්  හෝ
විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැස්වීම
මේ  ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේ ය.

14. (1) සෑම පුරවැසියකුට ම
-(උ) එකලාව හෝ අන් අය හා සමග 
යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක,
කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක
හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට
හිමිකම ඇත්තේ ය.

20180117

මෛත්‍රී මහ බැංකු වංචාව වළක්වන්න හැදුවාද?


"අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන්න
මම එපා කිව්වා. ඇහුවද?
රවි මුදල් ඇමැති ලෙස පත් කරන්න එපා කිව්වා.
ඒත් කවුරුත් ඇහුවේ නැහැ."

 රවි මුදල් ඇමති නොකරන ලෙසත්
මහ බැංකුවේ අධිපති කමට
අර්ජුන් මහේන්ද්‍රන් පත් නොකරන ලෙසත්
මෛත්‍රී එජාපයට කියා ඇත්තේ ඇයි?


රනිල් මෛත්‍රීට සවන් නොදුන්නේ ඇයි.?

මෛත්‍රීට පෙණුන වංචාවක සේයාව
රනිල්ගේ දැක්මට හසු නොවුණේ ඇයි.?
ඔහුත් එම ජාලයේ ඉත්තෙක් නිසාද?
ඔහුගේ ඇස් අන්ධ කළ කඩතුරාව
ඔහුගේ සිතේම පහළ වුණාද?

රවි සහ මහේන්ද්‍රන් කඩතුරාව එළුවාද?

බැඳුම් කර හොරකමේ වගකිව යුත්තා
මුදල් ඇමති රවිද? අගමැති රනිල්ද?

රනිල් මහ බැංකුව ඔහු යටතට ගත්තේ ඇයි.?

රනිල් මහ බැංකුව රවිගෙන් ගත්තාද,
රවි රනිල්ට මහබැංකුව දුන්නාද?

වගකිවයුත්තා හඳුනාගැනීමට නම්
මේ පැනයට පිළිතුරු අවශ්‍යයි.

රනිල්ගේ යටතේ ඇති මහබැංකුව
රටේ අනිකුත් මූල්‍ය ආයතන සමග
සම්බන්ධකම් පවත්වන්නට යාමේදී
ඒ ආයතන පවතින මුදල් අමාත්‍යාංශය
රවිගේ යටතේ ක්‍රියාත්මක වීමෙන්
රනිල්ගේ ක්‍රියාකාරිතව්යට බලපාන
රවිගේ බලය කොතෙක්ද?

රවි යටතේ නැති මහබැංකුවෙන්
මුදල් ඉපයූ අර්ජුන් ඇලෝසියස්ගෙන්
මුදල් ඇමති රවි තිළිණ ලබන්නේ ඇයි?
වගකීම රනිල්ට දී
තිළිණ තමන්ට ලබා ගන්නට
රවි සැලසුම් කළාද?

රනිල් මහ බැංකුව ගත්තා නම් ගේම ඔහුගේය.

රවි රනිල්ට මහබැංකුව දුන්නා නම්
ඔහු රනිල්ටත්, එජාපයටත්, මෛත්‍රීටත්,
මුළු රටටමත් ගේම දුන්නාද?.

බැඳුම්කරයට අදාළ නොවන නමුත්
රවි ලැබූ තිළිණ පිළිබඳ තොරතුරු
කොමිසම හමුවට ආවේ කෙසේද?
අනීකාගේ භූමිකාව කුමක්ද?
අනීකාගේ පිටුපස සිටින ජෙහාන් කෙනෙක්
රවිට ගේම දුන්නාද?

බැඳුම්කරය හෙළිවෙද්දී
නිව්යෝක් නුවර සිටි මෛත්‍රී විසින්
රනිල්ට දුන් දුරකථන උපදෙස් අනුව
ඔහු පත් කළ ත්‍රි පුද්ගල කොමිසමටත්
ඩිව් සහ හඳුන්නෙත්ති මෙහෙයූ
කෝප් කමිටු දෙකකටත් නොලැබුණ
ප්‍රබල තොරතුරු රැසක් හෙළි කරගත්
සාර්ථක කොමිසම පත් කරන්නට
අවසානයේ මෛත්‍රීටම සිදු වූයේ ඇයි?

බැඳුම්කර වංචාව යටගියා නම්
පළමු විත්තිකරු වන්නේ කවුද?
රවිද? රනිල්ද? මෛත්‍රීද?

රවි හෝ රනිල් ඇතුළු එජාපයේ පිරිස
සිය අගමැති, මැති ඇමතිකම් නොසලකා
මේ ආකාරයේ රජ ගේමක දෙන්නට
බිය සැක නැතිව ඉදිරිපත් වුණේ ඇයි?

මහින්දගේ රජයේ මැති ඇමතිවරු කළ
සියලු දූෂණ වංචාවන් රොත්ත පිටින්
මහින්දගේ ගිණුමට බැර වී ඔහු ගෙවන අයුරින්
එජාපයේ මීතොටමුල්ල බවට මෛත්‍රී පත් කරගෙන
ජනතාව මුව හමට තඩිබාද්දී
තමන්ට රිසිසේ ගොයම කෑ හැකියයි
රවි, රනිල් ඇතුළු එජාපය සිතා සිටියාද?

මහින්ද වටා සිටින හොරුන්
මහින්ද අදටත් රැක ගන්නා අයුරින්
මෛත්‍රී බලයට පත් කළ නිසා
මෛත්‍රී ඔවුන් රකිනු ඇතැයි
එජාපයේ දූෂණ වංචා කරන අය
විශ්වාස කළාද?

ඒ විශ්වාසය බිඳින්නට
ජනපති මෛත්‍රී පැකිළේවිද?
වසර පණහක චරිතය කෙළෙසාගෙන
ඔහු රකින ජනපති කමෙන්
පලක් ඇත්ද?

එජාපයේ බැඳුම් කර වංචාව
පළමුව විමර්ශනය කරන්නේ නැතිව
පසුගිය රජයේ වංචා සොයන්නට
මෛත්‍රී ක්‍රියාකළහොත් කුමක් වේද?
එසේ කරන්නට නම් මේ වංචාවට
මෛත්‍රීත් සම්බන්ධ වී තිබිය යුතුය.

පසුගිය රජයේ වංචා දූෂණ
සොයා දඬුවම් දෙන්නට පළමුව
මෛත්‍රීගේ ඇසේ පොල් පරාළය
මෛත්‍රී ඉවත් කළ යුතුය.

බැඳුම්කර වංචාවට අදාළව
මේ මෛත්‍රීගේ ස්ථාවරයයි.
-----------------------------------------------------------------

"එකක් හොඳට මතක තියාගන්න,
ජනතාවගේ මුදල් හොරාකාපු කිසිම මිනිහෙක්
මම රකින්නේ නැහැ.


දින 100 ය ආණ්ඩුව තුලදී මහබැංකු වංචාව සිදුණා,
එය මේ රජයට විශාල කැළලක්.

මම කියපු දේ ඇහුවේ නැති නිසා තමයි
මේවා සිදු වෙමින් තිබෙන්නේ.

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන්න
මම එපා කිව්වා. ඇහුවද?
රවි මුදල් ඇමැති ලෙස පත් කරන්න එපා කිව්වා.
ඒත් කවුරුත් ඇහුවේ නැහැ.

මම මේ ලයින් එකේ තමයි එදා ඉඳලා හිටියේ.
මම දූෂණයට විරුද්ධව 2012දී
මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට කතා කෙරුවා.
ඒ ඇති වෙච්ච ප්‍රශ්නය නිසා තමයි
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණයක් ගත්තේ.
ඒ අනුව තමයි මම අදත් ගමන යන්නේ.

මම බැඳුම්කර විමර්ශන කොමිසම පත් කළ එක වැරැදිද?
මට කියන්නේ දඬුවම් කරන්න එපා කියලද?

අද මට යූ.ඇන්.පී. අය ජනාධිපතිගේ ටෝක්.
ජනාධිපති පික් පොකට් ගහනව කියනවා.
එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු, මරික්කාර්,
නලීන් බණ්ඩාර සහ සුජීව සේනසිංහ
තැන් තැන්වලදී මට දැඩි වාග් ප්‍රහාර එල්ල කරනවා.
මේක බැලුවම මේගොල්ල කියනවද?
නැති නම් මේගොල්ල ලවා කියවනවද?
බැලුවම නම් පේන්නේ
මේ ගොල්ලෝ ලවා කියවනවා වගෙයි.

මෙහෙම නම් කතා කරන්නේ
මට ගනුදෙනු බේරා ගන්න බැරි නැත්තේ නැහැ.
එහෙම දාලා මම කොහේද යන්නේ.
බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.?
මම 2015දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ ඇයි?
අපි හොරකම්, දූෂණ වංචා නවත්වනවා
කියලයි පොරොන්දු දුන්නේ.
මම මේ ගමන ඒ විදියට යන්න කැමැතියි."

පැවති රජය අන්ත දුෂිත නිසා ජනාධිපතිවරයා වූ වහාම
රනිල් වික්‍රමසිංහ මහත්මා යටතේ
පාර්ලිමේන්තුවේ අඩු බලයක් තිබියදී ආණ්ඩුවක් පිහිටුවීමට
මම කටයුතු කළා.

ආණ්ඩු බලයක් නැති වුනත්
බොහෝ අයට මැති ඇමති තනතුරු ලැබුනා.
රටේ ජනාධිපතිවරයෙක් බිහිවූ ගමන්ම
නිතරඟයෙන් අගමැතිවරයෙක් පත් කරගැනීමට
එක්සත් ජාතික පක්ෂයට හැකි වුනා.
මහන්සියකින් තොරව ලබාගත්ත නිසා
ඒ ආණ්ඩුවේ වටිනාකමක් කාටවත් දැනුනේ නැහැ.
මහා බැංකු හොරකම කලේ ඒ නිසයි.

මට ගොඩක් දේවල් කියන්න පුළුවන්.
හැබැයි ඒවා දැන් වැඩක් නැහැ.

මහ බැංකු වංචාව එලියට එනකොට
මම හිටියේ නිව්යෝර්ක් නුවර.
අගමැතිතුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වේ
කොමිසමක් පත්කරන ලෙස.
අගමැතිතුමා ඒ දේ කළා.
හැබැයි ඒ කොමිසමෙන් ආවේ වැරදි වාර්තාවක්.
ඒ නිසා මට කොමිසමක් පත්කරන්න සිද්ද වුනා.
එකේ උත්තර අද ඇවිල්ලා තියනවා.

හැබැයි මේ ආණ්ඩුවේ අයට අමතකයි
බරපතල දුෂණ වංචා කොමිසමේ වාර්තා 34 ක්
එලියට ඇවිත් තිබෙන බව.

ඒවා එකක්වත් මේ ආණ්ඩුවේ අය කතා කරන්නෙත් නැහැ.
හැමෝම කතා කරන්නේ මහබැංකු වාර්තාව ගැන.

දේශපාලන වාසි තකා
මට කිසිම හොරෙක් දුෂිතයෙක්
වංචා කාරයෙක් රකින්න බැහැ.
ඒක මගෙන් වෙන්නෙත් නැහැ.
එහෙම මාව ඒ තැනට තල්ලු කරන්න හදනවා නම්
මම මේ තනතුරේ ඉන්න ලෑස්ති නැහැ.

අපි පත්කරපු ජනාධිපති අපි චන්දෙට උදව් කරා කියලා
කව්රුහරි දුෂණයට වංචාවට මගෙන් උදව් ඉල්ලනවා නම්
 ඒ වගේ එව්වා කරපු අය රකින්න කියනවා නම්
ඒවා මගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

දුෂණ වංචා කරපු හැමෝටම නීතියෙන් මන් දඬුවම් දෙනවා.
සංවිධානාත්මකව මට මඩ ගහන්න ලැහැස්ති වෙන්න එපා.
මට මඩ ගහන්න එක එක්කෙනාව යොදවන්නත් එපා.
මරික්කාර්, හරින්, සුජීව සේනසිංහ, කෑ ගහන්නේ
මහ බැංකුවෙන් හොරාකාපු හොරුන්ව මට රකින්න කියලද ?
එකක් හොඳට මතක තියාගන්න,
ජනතාවගේ මුදල් හොරාකාපු කිසිම මිනිහෙක්
මම රකින්නේ නැහැ.
කෝ අද හරින් ඉන්නවද ?
හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා
අද කැබිනට් රැස්වීමට සහභාගී වී හිටියේ නැහැ.

මේ වගේ දුෂිතයන්ට විරුද්ධව
මම වැඩක් කරගෙන යන කොට
කැබිනට් ඇමතිවරුන්ව රටේ ජනපතිවරයට
විරුද්ධ වෙනවා නම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා.
ලංකාවේ කිසිම දවසක කැබිනට් ඇමතිවරු
ජනාධිපතිවරයාට මෙහෙම කතා කරලා නැහැ.

හැමෝම මතක තියාගන්න ඕන
මම මේ රටේ ජනාධිපති.
මම වගකියන්නේ රටේ ජනතාවට.
අපි පත් කරපු ජනාධිපති කියලා
හොරු රකින්න මට කියන්න
ලෑස්ති වෙන්න එපා කව්රුවත්.

තරුණ මන්ත්‍රීවරුන්ට මම කියන්නේ
දේශපාලනයේ ගොඩාක් දුර ගමනක් යන්න තියනවා,
කෙටි පාරවල් හොයන්න පුරුදු වෙන්න එපා.

මම තනතුරුවලට ආස කෙනෙක් නෙවෙයි.
හොරු රකින අනිත් අයගේ තනතුරුත්
මම රකින්න සුදානම් නැහැ.

දුෂණයට වංචාවට එරෙහිව
රටේ මිනිස්සු වෙනුවෙන් මං මේ කරන දේට
ආණ්ඩුවේ මිනිස්සු මට මඩ ගහන්න,
අපහාස කරන්න ලෑස්ති නම්
එක්කෝ ඒ මිනිස්සු මේ ආණ්ඩුව කරන්න,
නැත්තම් මං මේ ආණ්ඩුව කරන්න ඕන.

හැමෝටම ඕන දුශිතයෝ රකින්න නම්
මන් මෙතනින් නැගිටලා යනවා

මට බලයට එන්න
යූ.ඇන්.පී.ය උදවු කළ බව මම දන්නවා.
මේ රටේ කිසිම ජනාධිපතිවරයකු
අගමැතිවරයකුට නොදුන් බලතල
මේ අගමැතිතුමාට දුන්නා.
මා එසේ කළේ මේ ආණ්ඩුව කරගෙන යන්නයි.
මම දන්නවා මම යූ.ඇන්.පී.ය පාවලා දෙන්නෙත් නැහැ.
යූ.ඇන්.පී.යට විරුද්ධත් නෑ.
නමුත් මහ බැංකු හොරකමට ඉඩ දෙන්න කියලද කියන්නේ?
මට ඒක කරන්න බැහැ.
මගෙන් ඒවද බලාපොරොත්තු වෙන්නේ?
මම දන්නවා නඩු යට ගහන්න ගිය හැටි.

ආණ්ඩු දිගටම කරගෙන යනවද කියලා
කරන විදිය ඔයගොල්ලෝ සාකච්ඡා කරලා
තීරණයක් අරන් මට දැනුම් දෙන්න.
පුළුවන් නම් ඔයගොල්ලො
යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්න"
මෙසේ විනාඩි 35කට ආසන්න වේලාවක්
උණුසුම් හා දැඩි ප්‍රකාශයක් කළ ජනපති මෛත්‍රි
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.

ඉන් අනතුරුව
අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම ඇතුළු
එ.ජා.ප.යේ සහ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් පිරිසක්
ජනපති ලේකම් කාර්යාලයේ පිහිටි නිල කාමරයට ගොස්
ජනපති  මුණ ගැසී සාකච්ඡා කොට
ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් අගමැති ප්‍රමුඛ එ.ජා.ප.ය
අනවශ්‍ය ලෙස විවේචනය නොකිරීමටත්
එ.ජා.ප. මැති ඇමැතිවරුන් අනවශ්‍ය ලෙස
ජනපතිවරයා ප්‍රමුඛ
ශ්‍රීල.නි.ප. විවේචනය නොකිරීමටත්
එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසු
ජනපතිවරයා කැබිනට් රැස්වීමට ආපසු කැඳවාගෙන ඒමට
ක්‍රියා කර තිබේ.

ඉන් අනතුරුව අගමැති රනිල්
ජනපති මෛත්‍රිගේ අතින් අල්ලා ගෙන
 කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ.
කැබිනට් මණ්ඩල රැස්වීම පටන් ගෙන ඇත්තේ ඉන් පසුවයි.

20180114

ශ්‍රී ලාංකික කාන්තාවකගේ රාත්‍රී 365 ක් -සලෙළ ඇසකින්





රාත්‍රී 60 ක් - පීරියඩ්
රාත්‍රී 55 ක් - හිසරදය
රාත්‍රී 50 ක් - මට මහන්සියි
රාත්‍රී 40 ක් - මට උදෙන් නැඟිටින්න ඕන
රාත්‍රී 35 ක් - අද ඇඟට හරි නෑ වගේ
රාත්‍රී 25 ක් - ළමයි අවදි වෙයි
රාත්‍රී 20 ක් - හෙට හෙට
රාත්‍රී 35 ක් - අද මං ෆාස්ටිං අනේ
රාත්‍රී 45 ක් - අම්ම බලන්න ගිහිං
---ලිහිනියා
.
ලිහිණියාගේ පොස්ට් තර්ක බුද්ධියට අනුව
පිරිමි බැංකොක් වලට යන්න ප්‍රධානම හේතුව මේකයි.

ආයෝජකයෙකුගේ මනසින් විවාහය දෙස බලා
කළ ආයෝජනය ගණනය කිරීමක් සහිත
ලිහිණියාගේ සම්පූර්ණ පෝස්ට් එක
මෙහි අවසානයේ පළ්වෙනවා.
අවශ්‍ය නම් කලින් කියවන්න.
----------------------------------------------------------

විවාහය තිත්ත වූ පිරිමියෙක්
ඒ කලකිරීමෙන් විඳවමින් යද්දී
ධාරානිපාත වැස්සකට අහු වුණා
වැස්සට පාලු කඩපිලකට ගොඩවූ ඔහු
පාලු කඩ කාමරයේ බිත්තියේ
"යාදෙක නොරත රත
සමග පෑසීමෙක් නැත"

කියා ලියා තබා පිටත්ව ගියා..

ඉන් පසුව එහි පැමිණි පැණවතෙක්
"ලාකඩ එසේ නැත,
එකක් රත්වූ කලට පෑසෙත"

කියා සිය අත්දැකීම ලියා තැබුවා.

ඒ සංවාදය ඉදිරියට ගෙන ගියොත්
මේ සටහන සමග පෑසෙත....

ලාකඩ වැනි සලෙල සිත
ලාකඩ සොය සොයා යත
රුව ඇති යකඩ අත පත
ගෑවුණොත් හා වෙත

හාමු නොවෙනා නිසා සිත
මේ දෙක නොරත රත

කොතෙක් ඉලුවත් ලාකඩය ගත
යකඩය නොම ලබන්නී රත

ලාකඩ සොයන සිත
යා යුතු ලාකඩම වෙත.

-
ලිංගික සුවය සඳහා
අවශ්‍ය වූ විටක පාවිච්චියට
තාවකාලිකව කතක් කුලියට ගැනීම වෙනුවට
තමන් පිනවිය හැකි ආකර්ශණීය ස්ත්‍රී කයක්
සමස්ත ජීවිතයටම මිලට ගැනීම සඳහා
පිරිමියෙක් ආයෝජනය කර ඇති මුදල් ප්‍රමාණය
කොපමණ මුදලක්දැයි ලිහිණියා ගණන් බලා තියනවා.

ලිංගික සුවය ජීවිතයේ එකම සතුට කරගත්,
ලිංගික සුවය සඳහාම ජීවත් වෙන,
ලිංගික සුවය නැතිව ජීවත්විය නොහැකි,
කය මිස සිත නැති පිරිමියෙකුගේ ඛේදවාචකය
ලිහිණියාගේ ගිණුම් කරණිත ලිපියෙන්
ලෝකයට ප්‍රකාශ කරල තියනවා.

මේ හා සමානව හිතන පිරිමින්ට
මේ සත්‍යය අවබෝධ වීම
ඔවුන්ගේ විවාහයට පෙර සිදු වුණා නම්
වඩාත් යහපත්.
එහෙම වුණා නම්
ස්ත්‍රී පුරුෂ විවාහය කියන්නෙ
ලිංගික සුවය පමණක් නොව
දරු සෙනෙහස, මිතු දහම ඇතුළුව
කලාව, සාහිත්‍ය ආදියට සංවේදී
කාන්තාවන් පිරිසකගේ වටිනා ජීවිත
මේ කාමාතුර පුද්ගලයන් විසින්
දූෂණය නොවන්න්ට ඉඩ තිබුණා.

කාන්තාවක් ලිංගික සුවය ප්‍රතික්ෂේප කිරීම
පිරිමියාගේ ආත්මාර්ථකාමී හැසිරීම මතම
සිදු නොවෙනවා නම් ඒ ඉතාම කලාතුරකින්.

කාන්තාවක් කියන්නේ සිතාරයක් හෝ
ගිටාරයක් මෙන් වාදනය කරමින්
තමන්ගේ සුරතාන්තය සොයා ගන්නා
ඒක පාර්ශවික මෙවලමක්ද?

සොබා දහම පිරිමියාට පවරා ඇති
ස්වාභාවික වගකීම සහ යුතුකම
පිරිමියාගේ මානසික තෘප්තිය ලැබීම
කාන්තාවගේ ලිංගික තෘප්තියට දෙවැනිව
ඇයට පසුව ලැබිය යුත්තක් බව
කරුණාවෙන් වටහාගන්නා පිරිමින්ට
මේ ඛේදවාචකයට මුහුණ දෙන්නට
සිදු වන්නේ නෑ.
--------------------------------------

ලිහිණියාගේ දුක....

ශ්‍රී ලාංකික කාන්තාවකගේ රාත්‍රී 365 ක්

රාත්‍රී 60 ක් - පීරියඩ්
රාත්‍රී 55 ක් - හිසරදය
රාත්‍රී 50 ක් - මට මහන්සියි
රාත්‍රී 40 ක් - මට උදෙන් නැඟිටින්න ඕන
රාත්‍රී 35 ක් - අද ඇඟට හරි නෑ වගේ
රාත්‍රී 25 ක් - ළමයි අවදි වෙයි
රාත්‍රී 20 ක් - හෙට හෙට
රාත්‍රී 35 ක් - අද මං ෆාස්ටිං අනේ
රාත්‍රී 45 ක් - අම්ම බලන්න ගිහිං

මේක තමයි පිරිමි බැංකොක් වලට යන්න ප්‍රධනම හේතුව.

මෙම පෝස්ට් එකේ ආයෝජකයෙකුගේ මනසින් 🤓
ආයෝජනය කර ඇත්තේ කොපමණ මුදලක්දැයි සිතා බලන්න🤔

විවාහ මංගල තීරණ පිළිබඳ සිද්ධි අධ්‍යයනය
අවුරුදු 30 ක විවාහ ජීවිතයක්

වියදම:
විවාහ පිරිවැය - රු .1000000/=
මාසික වියදම් - රු. 20000/=
බිරිඳගේ මාසික නඩත්තු - රුපියල් 5000/=යි

ආපසු:
SEX
පළමු වසර 5 - සතියට 3 ටයිම්ස්.
ඊළඟ වසර 5 හේ - සතියට 1 පාරයි
ඊළඟ වසර 10 - දින 15 කින්.
ඊළඟ වසර 10 ක් - මාසෙකට පස්සේ.

අර්ථය: 🤔
අවුරුදු 30 ක් තුළ ලිංගික හැසිරීම් 1400 ක්
ඇස්තමේන්තුගත වියදම
7200000 + 1000,000 /=ක්

විවාහ මංගල්‍ය සඳහා 7% ක පොලී අනුපාතය යටතේ
වසර 30 ක් සඳහා ලැබෙන මුදල= 62420000/=

අගයන්:
තම බිරිඳ සමග ලිංගිකව හැසිරෙන
සෑම පුද්ගලයෙකු සඳහා රු 54000/=ක් වැයවේ

නිගමනය:
බාහිරකරණය කිරීම ලාභදායී වේ!

=============================
ලාකඩ වැනි සලෙල සිත
ලාකඩ සොය සොයා යත
රුව ඇති යකඩ අත පත
ගෑවුණොත් හා වෙත

හාමු නොවෙනා නිසා සිත
මේ දෙක නොරත රත

කොතෙක් ඉලුවත් ලාකඩය ගත
යකඩය නොම ලබන්නී රත

ලාකඩ සොයන සිත
යා යුතු ලාකඩම වෙත.


නියම තරු හිටියේ ටවර්හෝල් යුගයෙයි -රත්නශීලා පෙරේරා

 ශ්‍රී ලාංකේය නාට්‍ය කලා ඉතිහාසය හා සමවන පැරැණි ප්‍රෞඪ අතීතයක් ඇති ටවර් රඟහලට ලබන 15 වෙනි දිනට සියවසක් පිරෙයි. විශිෂ්ට නළු නිළි පරපුරක් ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයන් හා සංගීත ශිල්පීන් රැසක් බිහි කළ ටවර්හෝල් ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් එක්කොට රත්නශීලා පෙරේරා සම්පාදනය කළ ‘ටවර් සුපිරි තරු’ සහ ‘ටවර්හෝල් සියවස් පුරාණය’ ග්‍රන්ථ ද්වය 2011 12  මස 11දා සවස 4.30ට එළි දැක් වේ.

රත්නශිලා පෙරේරා වේදිකා නාට්‍ය ශිල්පිනියක, නිවේදිකාවක හා ග්‍රන්ථ කතුවරියක ලෙස භූමිකා කිහිපයක නිරත වන්නියකි. වේදිකාව යන මාතෘ කලාව තුළ ද ඇය රංගන ශිල්පිනියක ළමා නාට්‍ය අධ්‍යක්ෂිකාව හා රසිකාවියක් ලෙස කටයුතු කරයි. වේදිකා රංගන ක්ෂේත්‍ර විශේෂිතව ගත්ත ද ඇය නුර්ති, පර්යේෂණාත්මක නාට්‍ය හා යථාර්ථවාදී නාට්‍ය යන සෑම ශෛලියේ ම නාට්‍යයට රංගන දායකත්වය ලබා දී ඇත.

දයානන්ද ගුණවර්ධනයන්ගේ “මධුර ජවනිකා” වැනි නාට්‍යයක ඇය එක ම නාට්‍යයක් තුළ චරිත කිහිපයක් මැනවින් නිරූපණය කරයි. පසුගිය කාලයේ දී ඇය අතින් සිදු වූ වඩාත් ම ශාස්ත්‍රසේවී කටයුත්ත ලෙස සියවසක් පැරැණි ටවර් රඟහලේ ඉතිහාසය සටහන් කිරීම දැක්විය හැකි ය.

මහාචාර්ය සරත් විජේසූරියගේ විද්වත් දෙසුමින් හා ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, වික්ටර් වික්‍රමගේ, නිමල් ජයසිංහ, චන්ද්‍රාණි ගුණවර්ධන, ඇන්ටන් ජූඩ්, විජේරත්න වරකාගොඩ, මැණිකේ අත්තනායක ඇතුළු ශිල්පීන් ඉදිරිපත් කරන නූර්ති ගී ආදියෙන්ද මේ උළෙල වර්ණවත්ය.

සිංහල නාට්‍ය ක්ෂේත්‍රයේ දීප්තිමත් ආලෝක දහරා විහිද වූ ටවර් නාට්‍ය වංශ කතාව රචනා කිරීමේ කටයුත්ත අගයමින් අප මෙසේ ඇය සමඟ සාකච්ඡාවකට මුල පිරුවෙමු.

* ටවර් රඟහල ඉතිහාසය සමඟ ඔබට බැඳීමක් ඇතිවෙන්නේ කොහොම ද?

මම නාට්‍ය කලාවට පිවිසියේ ටවර් වේදිකාවෙන්. නමුත් මට ටවර් රඟහල සමඟ තිබෙන බැඳීම එයින් එහාට දිව යන්නක්. ඒකට හේතුව මගේ අම්මා (කාන්ති කුමාරි) ටවර් නාට්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම.
ඇය 60 – 70 දශකවල සිවම්මා ධනපාල, රාමායණය, සිංහල කොල්ලා වගේ නාට්‍ය නිෂ්පාදනවල කටයුතු කළා. මවත් සමග ටවර් වේදිකාවට පිවිසුණ මමත් ‘වෙස්සන්තර’ වැනි නාට්‍යවල ළමා චරිත සිට අම්බපාලි, සිංහල හරිදාස්, සූටි ගමරාල සහ රයිගම් බණ්ඩා වගේ නාට්‍යවල රඟපෑවා.

* ටවර් රඟහල බිහිවෙන්න කලින් ලංකාවෙ තවත් රංග ශාලා තිබුණද?

ටවර් රඟහල හැදෙන්න කලින් තව රඟහල් කිහිපයක් තිබුණා. එයින් එකක් තමයි දැන් චාමස් ධාන්‍යාගාරය පිහිටලා තිබෙන පිටකොටුව මල්වත්ත පාරේ අංක 51 දරණ ස්ථානයේ පිහිටලා තිබුණ “කුසුම් ශාලාව“. ඊළඟට මරදානේ ‘පැවිලියන් තියටර්’ කියලා තවත් රඟහලක් තිබුණා. මේ ප්‍රධාන රඟහල් දෙකට අතිරේකව තවත් නෘත්‍ය ශාලා කිහිපයක් තිබුණා. නමුත් මේ සියල්ල ම පොල් අතු මඩු.

* ඉතිහාසය ආවර්ජනය කිරීමේ දී ටවර් යුගයේ දීප්තිමත් ම කාලවකවානුව ලෙස සැළකෙන්නේ
“නුර්ති යුගය”යි.

ටවර් රඟහල 1911 ආරම්භ කළ අවස්ථාවේ සිට 1956 දක්වා දීප්තිමත්ව පැවතුණා. 1930 දී ශ්‍රී ලංකාවට නිහඬ චිත්‍රපට පැමිණීමත් ඉන් පසුව 1948 පමණ වන විට කතා නාද චිත්‍රපට යුගය ඇරඹීමත් ටවර් යුගයේ මතු වූ මුල් ම අභියෝගය විදිහට හදුන්වන්න පුළුවන්.
හැටේ දශකයේ අග භාගය වනවිට ටවර් රඟහල අන්තයට ම පිරිහිලා ගියා. ශිල්පීන් අසරණ වුණා. ටවර් යුගයේ දීප්තිමත් ම අවදිය ‘නුර්ති යුගය’. ඒක ගැන විවාදයක් නැහැ. ‘නෘත්‍ය’ යන නමින් හඳුන්වන ලද මේ නාට්‍ය කට වහරට අනුව පසුව නුර්ති වුණා. මේ යුගයේ සිටි ජෝන් ද සිල්වා හා චාල්ස් ඩයස් වැනි ප්‍රවීණ නාට්‍ය ශිල්පීන් තමන් නිෂ්පාදනය කළ නාට්‍ය නුර්ති විදිහට හැඳින්වූවේ නැහැ.

* දේශීය නාට්‍ය කලාවේ අංකූර යුගය ලෙස දැක්විය හැකි ‘නුර්ති යුගය’ ඇති වුණේ කොහොම ද!

දකුණු ඉන්දියාවේ සිට බලිවලා ඇතුළු පාර්සි ජාතික නාට්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවට ආවයින් පස්සේ “ඉන්දු සභා” කියලා නාට්‍ය කණ්ඩායමක් ඇතිවුණා. ඔවුන් පෙන්වුව නාට්‍ය අපේ අයට විශ්මයජනක අත්දැකීමක් වුණා.
සී. දොන් බස්තියන් “රොලිනා නාටකය” ලිව්වෙ මේ නාට්‍ය දැකල,ඒකේ ආභාෂය අරන්. නමුත් ඉන්දියාවෙන් ගෙන්වූ නාට්‍ය ආකෘතිය ඔහු ඒ විදිහට ම සිංහල වේදිකාවට ගෙනාවෙ නැහැ. බටහිර වේදිකාවෙ සමහර ලක්ෂණත් ඔහු මේකට මිශ්‍ර කරලා වෙන ම ආකාරයක නාට්‍ය ආරක් හැදුවා. මේක සිදු වුණේ 1876 දී.

* ටවර් රඟහල බිහිවීම නිදහසට පෙර යුගයේ අනුස්මරණීය සංස්කෘතික හා දේශපාලනික කටයුත්තක්
බවට පත් වූයේ මේ පසුබිම මත ද?

“කුසුම් ශාලාවෙ“ ජෝන් ද සිල්වා ප්‍රදර්ශනය කිරීමට අදහස් කළ “රාමායණය” නාට්‍ය වේදිකාව ප්‍රදර්ශනය වීමට නියමිත දින විරුද්ධවාදීන් ගිනි තිබ්බා. මේ අත්දැකීම මත ජෝන් ද සිල්වා මහතාට කෙදිනක හෝ ලන්ඩන් නුවර වැනි දියුණු රංග ශාලාවක් හදන්න වුවමනාවක් තිබුණා. ඔහු ඒකට උත්සාහත් කළා. නමුත් ඒ අවස්ථාව ලැබුණේ ඔහුගෙන් පසුව නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි චාල්ස් ඩයස්ටයි. ඔහු ගේ මාමා වන දොන් හෙන්ද්‍රික් සෙනෙවිරත්න අශ්ව ස්තාලයකට මිල දී ගත්ත ඉඩමක් යොදාගෙන මේ රඟහල හැදුවා.
ඒකට මුල් වූ අනික් පුද්ගලයා වන්නේ මරදාන ‘පැවිලියන් තියටර්’හී නාට්‍ය රඟදැක් වූ බී. ජේ. පෙරේරායි. ජෝන් ද සිල්වාට අභියෝග කිරීමට නාට්‍ය පෙන්වීමට හොඳ රංග ශාලාවක් සෑදිය යුතු බව හෙන්ද්‍රික්ට යෝජනා කළේ ඔහුයි.
මේ රඟහලට මුල්ගල තියන්න ජාතික නිදහස් සටනේ මූලිකයෙක් වූ අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, එෆ්. ආර්. සේනානායක වැනි අය සහභාගී වුණා. ඒකෙන් පේනව ඔවුන් මේ රඟහල ඉදිවීම ජාතික කටයුත්තක් විදිහට සළකපු බව. එවැනි පිරිසක් මූලිකව ක්‍රියා කළ ගොඩනැඟිල්ලක් තවත් නැහැ. ටවර් රඟහල විශේෂ වන්නේ මේ නිසයි.

* “ටවර් රඟහල” නාට්‍ය කලාවට කළ බලපෑමට අමතරව විශාල කලා පරපුරක් බිහි කරමින් කලා
ක්ෂේත්‍රයටත් ඉදිරි පැවැත්මටත් සේවයක් කළා නේ ද?

අද වනවිට කලා ක්ෂේත්‍රයේ සිටින්නේ ටවර් පරපුරේ තුන්වෙනි පරම්පරාව. සී. විල්බට් පෙරේරා හා සෝමාකාන්තා යන නාට්‍ය ශිල්පීන් දෙදෙනාගේ දරුවෝ වන සැම්සන් පෙරේරා, සූර්ය රාණි සහ කුමාර පෙරේරා. කුසුම් පෙරේරා හා සතිශ් පෙරේරා ඔවුන්ගේ තුන්වෙනි පරම්පරාව. පසු කාලීනව නාට්‍යකරණයට විශාල සේවයක් කළ ස්ටැන්ලි ද සිල්වා, රොම්ලස් ද සිල්වාගේ පුතෙකි.
විමලා කාන්තා ජනපි‍්‍රය නුර්ති ශිල්පිනියගේ , සුජාතා අත්තනායක, සුසිල් පෙරේරා, රංජනී පෙරේරා හා ස්වර්ණා දේවි ඇගේ දරුවෝ.
මේ අය අතරින් දැනට ජීවතුන් අතර සිටින වයෝවෘද්ධම ටවර් ශිල්පියා වන්නේ ස්ටැන්ලි මාස්ටර්. මේ හැමෝගේ ම ආශිර්වාදය අපිට තිබෙනවා. අපි ඔවුන් ගේ දරුවන් හා සමානයි.

* සිය වසක් සපුරන ටවර් රඟහල බිහි වූ දිනය ගැන ඔබ දරන්නේ වෙනස් මතයක්. එයට ඔබට තිබෙන
සාධක මොනවා ද?

1911 දෙසැම්බර් 15 දින ටවර් රඟහල විවෘත වුණාය කියන ජනපි‍්‍රය මතය ඇති වීමට හේතුව දෙසැ. 18 දින “දිනමිණ” පුවත්පතේ පළ කර තිබුණ දැන්වීමක්. එහි සඳහන් වෙනවා 15 දින ටවර් රඟහල විවෘත කිරීමට කොළඹ නගරාධිපති මැක්ලොයිඩ් සහභාගී වුණයි කියලා. නමුත් ඒ. ඩී. ඒ. රත්නායකගේ “ටවර් හෝල් නාට්‍ය ඉතිහාසය” පොතේ දෙසැ. 06 රඟහල විවෘත කළ බව පැහැදිලිව සඳහන් වෙනවා.
පත්තරේ තිබෙන වාර්තාවෙ සත්‍යතාවයක් තිබෙනවා. විශාල ජනකායක් රඟහල බලන්න ආපු නිසා සතියක් පමණ එක දිගට නාට්‍ය දර්ශන පවත්වා තිබෙනවා. එයින් එක් දිනක විවෘත කිරීමට මැක්ලොයිඩ් පැමිණ ඇති බවට සාධක තිබෙනවා. වාර්තාකරු ලියන්න ඇත්තේ ඒ සිද්ධියයි. 6 වෙනිදා සංකේතවත් මහ විශාල යතුරකින් ටවර් රඟහල විවෘත කළ බවටත්, 7 වෙනිදා චාල්ස් ඩයස්ගේ “පණ්ඩුකාභය” නාට්‍ය පෙන්වූ බවටත් එදින මරදාන දුම්රිය පොළ දක්වා සෙනඟ පිවිසිය හැටි කොඩි වැල්, විදුලි බුබුලුවලින් ආලෝක කර තිබුණු හැටි ගැන පැහැදිලි විස්තරයක් මේ පොතේ තිබෙනවා. ඒ නිසා මේ කතාව අතිශයෝක්තියක් විදිහට බැහැර කරන්න බැහැ.

* ටවර් යුගය බැබළ වූ තරු නමින් කෘතියක් කළ යුතුයැයි ඔබ අදහස් කළේ ඇයි?
මේ පැරැණි ශිල්පීන් පිළිබඳ තොරතුරු කොහේවත් සංරක්ෂණයවෙලා නැහැ. මට හොඳට ම දැනුණ දෙයක් තමයි වර්තමානයේ විශ්වවිද්‍යාලවල නාට්‍යකලාව හදාරන සිසුන්වත් පැරැණි ටවර් හෝල් ශිල්පීන් ගැන විස්තර දන්නේ නැහැ. ඔවුන් පිටරටවල විවිධ නළු නිළියන් ගැන දන්නවා.
නමුත් ශ්‍රී ලංකාවෙ ශිල්පීන් ගැන දන්නේ නැහැ. ඒ ගැන පැත්තකින් තිබ්බත් සිංහල නාට්‍ය කලාවේ පියා වන ජෝන් ද සිල්වා මහතා ගැනවත් සමහරු දන්නේ නැහැ.චාල්ස් ඩයස්, සී. දොන් බස්තියන් වැනි අධ්‍යක්ෂවරු ගැන හෝ සෝමා කාන්තා හා විමලා කාන්තා, සරලා බායි වැනි රංගන ශිල්පිනියන් ගැන දන්නේ නැහැ. නමුත් ඔවුන් තමයි නියම තරු. සරලා බායි වාහනයෙන් බැහැලා ටවර් රඟහලට එන විට නාට්‍ය බලන්න ආපු මිනිස්සු කරපු ඝෝෂාව ටෙක්නිකල් හන්දියට ඇහුණා. සමහරු නාට්‍ය බලන්න ඇවිල්ලා ටිකට් එක ගන්න බැරිව සති ගණන් බෝඩිම් කාමරවල හිටියා. එහෙම බලන කොට දැන් මොන තරුද?

සංවාදය චන්දන ජයවීර

20180108

වෛද්‍යවරු සයිටම් විරෝධය අකුලාගත්තේ ඇයි.?

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නිර්ණායක
පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීම
සයිටම් විරෝධයෙන් මතුවුණ
ප්‍රබලම ජාතික අවශ්‍යතාවයයි.
සයිටම් විරෝධය අකුලාගන්නට හේතුවුණ
ප්‍රධානම සාධකයත් එයමද?

රජයේ වෛද්‍ය සංගමය සහ
වෛද්‍ය සිසුන් දෙමාපියන් එක් වෙලා
වසරකටත් වඩා ගහපු සයිටම් ගේම
තියපු තියපු අඩිය ලිස්සලා ගිහින්
ගොඩ ගන්න බැරි තැනටම ලිස්සලා ගිහින්
ගොඩ ගන්න බැරි තැනකට වැටුණෙ
කාගෙ දක්ෂකම් නිසාද?
කාගෙ දුර්වල කම් නිසාද?

රාජිත, පාදෙණිය සහ නෙවිල් කියන
වෛද්‍යවරු සහ ඔවුන්ගේ සගයන් එකතුවෙලා
මෛත්‍රී බලයෙන් ඉවත් කරමින්
මහින්ද නැවත ගෙනෙන දේශපාලන ගේම
වක්‍රාකාරව ඉෂ්ඨ වෙන තෙක්
ඇදගෙන යන්න හැදුව සයිටම් ගේමට මුහුණ දී
වෛද්‍යවරු බිත්තියට හේත්තු කළේ
ජනපති මෛත්‍රී නොවෙයිද?

බොරුව, වංචාව, අතිශයෝක්තිය සහ
කූඨ වෙළඳ ප්‍රචාරණ උපක්‍රම මගින්
මිනිසුන්ගෙ හිත්වලට කාවද්දපු
පුහු සයිටම් භීතිය නිසා වුණේ
රජයේ වෛද්‍යවරුන්ගේත් ප්‍රමිතියත්
පිළිගත නොහැකි බව ජනතාවට
අර තරම් තදින්ම කාවැදීමයි.

වෛද්‍යවරයෙක් අසාර්ථක වෙන වෙලාවට
"මේ සයිටම් වෛද්‍යවරයෙක්දැ? කියා
ජනතාව ප්‍රශ්න කරන තැනට
වෛද්‍ය වෘත්තිය පත්වුණේ
"රෝගී ජීවිත අනතුරේ" නම්
ප්‍රචාරණ ව්‍යාපෘතිය නිසයි.

අපේ රටේ වෛද්‍යවරු පත්වෙන්නෙ
නීතිගත ප්‍රමිති නිර්ණායකවත් නැතුව
වෛද්‍ය සභාවෙ ඕනෑ එපාකම් අනුව බව
අපි දැන ගත්තෙ සයිටම් විරෝධය නිසයි.
ඒ බව අපට හෙළිකළේ
මේ රටේ උසාවියකින්ම වීම නිසා
කිසිවෙකුටත් ඒ සත්‍යතාවයට
පිටුපෑම කළ නොහැකි වුණා.

අද ඉන්න වෛද්‍යවරු අතර දක්ෂයන් ඉන්නෙ
ඔවුන්ගෙම දක්ෂ කම නිසා මිසක්
ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනයෙ ප්‍රමිතියට
නීතිගත් නිර්ණායක සහිතව
ඉහළ මට්ටමක පවතින නිසා නොවෙයි කියා
දැන් අපිට හිතන්න වෙලා තියනවා.
අදක්ෂ වෛද්‍යවරු සියල්ලන්ම
ඒ ප්‍රමිති නිර්ණායක නැති කමෙන්
ප්‍රයෝජන අරගෙන හිල් කූඩෙන් රින්ගුව
දුර්වල වෛද්‍ය සිසුන් බව පැහැදිලියි.

අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයෙ ප්‍රමිතියට
තවමත් නීතිගත කළ ප්‍රමිති නිර්ණායක නෑ.
ප්‍රමිති නිර්ණායක නීතිගත කරන්න
අපේ වෛද්‍යවරු ඉඩ දෙන්නෙත් නෑ.

රජයට තමන් කැමති මට්ටමකින්
සායනික පුහුණුව දීල එළියට දාන
සයිටම් වෛද්‍යවරු සමගම
නිසි ප්‍රමිතියකින් තොරව රජයේ පීඨවලින්
රෝගී ජනතාව අතරට එන වෛද්‍යවරුත්
දිගටම වෛද්‍ය ක්ෂේත්‍රයට එක් වෙයි.

මම හිතන්නෙ
වෛද්‍යවරු සයිටම් ගේම අත්හැරලා දාල ඉවත්වුණේ
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නිර්ණායක
පාර්ලිමේන්තු පනතකින් නීතිගත කරන තැනට
ප්‍රමිති ප්‍රශ්නය ඔඩු දුවපු නිසයි.

සයිටම් ප්‍රමිතිය නෑ කියල කිව්වට
ඔවුන්ගේ අධ්‍යාපනයෙ ප්‍රමිතිය මනින්න
නිර්ණායක නීතිගත වෙනවාට
දක්ෂම වෛද්‍යවරු අතළොස්ස හැරෙන්න
වෙනත් කිසිම වෛද්‍යවරයෙක් කැමති වෙන්නෙ නෑ.

පැමිණෙන වෙලාව අත්සන් කරන්නෙවත් නැති
ආචාර ධර්ම ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරු
ප්‍රමිති නිර්ණායක නීතිගතවීම ඉවසාවිද?

රෝගී ජීවිත අනතුරේ වැටෙන්නෙ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා නොවෙයි.
රජය සහ පෞද්ගලික අංශ දෙකම
පනතකින් නීතිගත කරන ලද
ප්‍රමිති නිර්ණායක නැති වෛද්‍ය අධ්‍යාපනයකින්
හිතුමතේට බිහිකරන වෛද්‍යවරු නිසයි.




20180106

ගීතයක් නිර්මාණයේදී සංගීත භාණ්ඩවල විවිධ නාද රටා සුසංයෝජනය


මේ ගීතය විශිෂ්ඨ නිර්මාණයක්.

රිද්මය හඳුනාගත් සංගීතඥයෙක්.
රිද්මය අනුව සැලෙන ගායකයෙක්..

තාලය මත යැපීම සංගීත නිර්මාණයක
පියවි ආලෝකය දුර්වල කරන සාධකයක්.

තාලය අත්වැලක්.

තාලය අත්වැලක් නොවී
කිහිලිකරුවක් වුණොත්
ගීතය අංග විකල වෙනවා..

හොඳ ගීතයක තාලය
තැනින් තැන මතුවෙන සාධකයක්.

තාලය
යුද සරඹ පිටියක නම්
සියල්ලන් එකාකාරී කරන සාධකයක්.
ගීයකට තාලය යෙදිය යුත්තේ
රිද්මයානුකූලවයි...

තාලයක විරාමය එකාකාරීයි.
ගීතයක තාලය රිද්මයානුකූලයි.

රිද්මයක විරාමයන් විවිධයි..
එමෙන්ම සංගතිකයි...

යුද බිමක ගයන රණ ගීයක වුණත්
රසිකයාට ඉසිඹුලන්නට විරාමයන් අවශ්‍යයි.
මේ ගීය ඒ විරාමය
උවමනාවෙන්ම මතු කර දෙනවා.

සංගීතය අත්වැලක් විනා
පසුබිම් සංගීතය වීම රසයට බාධාවක්.

සංගීත භාණ්ඩවල විවිධ නාද රටා
එකිනෙක සංගීත භාණ්ඩ සමගත්
ගීතය සමගත් සුසංයෝජනය විය යුතුයි.

සංගීත භාණ්ඩවල විවිධ නාද රටාවන්
තනි භාණ්ඩයක විවිධාංගීකරණයක් මෙන්
එකිනෙක සමග මනාව මුසු කරන්නට
ඉලයරාජා, රෙහෙමාන් දක්වන හැකියාව
අතිශයින් අපූර්වයි.

මේ ගීතයේ රූප රාමුවලින් පවා
භාණ්ඩයෙන් භාණ්ඩයට මුසු වෙන
නාදරටාව ගමන් කරන ආකාරය
පැහැදිලිව දකින්න පුලුවන්.

චිත්‍රයක වර්ණ මුසු කරන්නාක් මෙන්
ඔවුන් සංගීත නාද මුසු කරන්නේ
භාණ්ඩ වෙන් කර හඳුනාගන්නට පවා
අප වැන්නන්ට ඉඩහසර නොතබමිනුයි.

ගීය හාම්පුතා වී
උජාරුවෙන් ඉදිරියට යද්දී
සංගීතය මෙහෙකරුවන් නොවී
ගීතය පෙරගමන් කරු වී
සංගීතය අනුගාමික වීමෙන්
ගීය ඒකමිතික වෙනවා.

අප රස විඳින වෙනත් සාධක වලට
මේ ඒකමිතියත් ආධාරකයක් වෙනවා.

සමස්තය දකින නිර්මාණ කරුවා
අපට සමස්තයම ලබා දෙනවා.

-----------------------------------------

ගීතයක් නිර්මාණයේදී
තාල වාද්‍යභාණ්ඩ
කිහිපයක් යොදා ගැනීමෙන්
සංගීත රසය ඉසුරුමත් වෙනවා.

සංගීත භාණ්ඩවල විවිධ නාද රටා
එකිනෙක සංගීත භාණ්ඩ සමගත්
ගීතය සමගත් සුසංයෝජනය විය යුතුයි.

සංගීත භාණ්ඩවල විවිධ නාද රටාවන්
තනි භාණ්ඩයක විවිධාංගීකරණයක් මෙන්
එකිනෙක සමග මනාව මුසු කරන්නට
ඉලයරාජා, රෙහෙමාන් දක්වන හැකියාව
අතිශයින් අපූර්වයි.

තාල භාණ්ඩ දහයක් යොදා ගත්තත්
ඒ සියල්ල තනි තාල භාණ්ඩයක් මෙන්
ගීතයක් තුළ යොදාගැනීම
සංගීතයේ පිරිසිදු බවට හේතුවෙනවා.

වාද්‍යභාණ්ඩ රැසක්
ඒකමිතිකව මුසු කිරීම
ඉලයරාජා භාවිතා කරන අයුරු
මේ වීඩියෝ දර්ශනයෙන්
හඳුනා ගන්න පුලුවන්.