පොත්පත් කියවීමෙන්
අපට ලැබෙන්නෙ වචන ටිකක් විතරයි.
වචන මාත්‍රයෙන් ගත්
ඒ වචන ටික අපිට ආවේණිකයි.
අපේ දැනුමට සාපේක්ෂයි.
බැහැරින් ගන්නෙ වචන විතරයි.
ලබා ගන්නා තැනැත්තා විසින්
ඔහුගෙ සීමිත දැනුමට සාපේක්ෂව
ඒ වචනවලට අරුත් දෙනවා.
බුදුන් වහන්සේ
තමන් තුළ අත්දැකලා සොයා ගත් දේ
වචන මාත්‍රයෙන් ගන්න පුලුවන් කෙනෙක් නෑ.
වචන මාත්‍රයෙන් දැනුම ලැබුණට
ප්‍රඥාව පහළ වෙන්නෙ නෑ.
බුදු දහම
දැනුම් මාත්‍ර දහමක් නොවෙයි.
විඳ පසක් කළ යුතු දහමක්.
ත්‍රිපිටකය
අත්දැකීමෙන් නොදන්න කෙනෙක්
ජීවිතය පුරාම කියෙව්වත්
ඔහු කියන්නෙ මොකක්ද කියා
ඔහුවත් දන්නෙ නෑ.
දවස පුරාම අත්දකින
රාග ද්වේශ මෝහ
පංච නීවරණ වගේ
සරල අත්දැකීමක්වත්
අත්දැකීම් මට්ටමෙන් හඳුනාගන්න
පොතේ දැනුමෙන් සන්නද්ධ උගතෙකුට බැහැ.
රාග ද්වේශ මෝහ පංච නීවරණ ගැන
වෙලුම් ගණනාවකින් යුතු මහා පොතක් ලිව්වත්
රසවත් ආහාරයක රූපයක් දකිද්දි
හිතේ කාමච්ඡන්දය ඇති වුණාම
හිතත් කයත් වෙනස් වෙන ආකාරය
තමන් තුළ අත්දකින්න බැරි කෙනෙකුගෙ දැනුමෙන්
ඔහුට ඇති ඵලක් නෑ.
ඔහුගෙ පොතේ පේළි කිහිපයක් කියවන
සැබෑ විමර්ශනශීලී පුද්ගලයෙක්
තමන් තුළ කාමච්ඡන්දය ඇති වුණාම
හිතත් කයත් වෙනස් වෙන ආකාරය
තමන් තුළම අත්දැක්කොත්
ඔහු ඒ ලේඛකයාට වඩා
ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නවා.
පාලමක් ගඟක් ඔරුවක් කියා
පොතේ තිබුණාම
අපි හිතා ගන්න දේවල්
මාර්ගය යන කෙනාට හමුවෙන
පාලම ගඟ ඔරුවට
හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්.
පොත්පත් කියවලා
දහම ඉගෙන ගන්න අය
රාග ද්වේශ මෝහ ගැන
විවිධ අදහස් දරන්නෙ ඒ නිසයි .
විපස්සනා වඩන දහ දෙනෙක්
එකට එකතු වෙලා
කෝපය ගැන කතා කළොත්
ඔවුන් අතර වාදයක් නෑ.
ඔවුන් අත්දැකීමෙන් කෝපය
තමන් තුළම දකිනවා.
කෝපය කියන අත්දැකීම
මුළු ලෝකෙම ඉන්න මිනිසුන්ට එකයි.
කෝපය ගැන පොත්වල තියන
අදහස් විවිධයි.
බුදුන් වහන්සේගේ රහතන් වහන්සේලා
ඔවුනොවුන් අතර හෝ බුදුන් වහන්සේ සමග
වාද විවාද කළ බවක් ඔබ අසා තියනවාද?
නිවන පිළිබඳව සංඝයා වහන්සේ අතර
වාද විවාද ඇති විය නොහැකියි.
පොතපතෙන් දහම හදාරන
භික්ෂූන් සහ ගිහියන්
බුදුන් වහන්සේ කියන
විඳ පසක් කළ හැකි දේවත්
පිළිගන්නෙ නෑ.
ඔවුන් විඳ පසක් කරන්නෙ නෑ.
වචන ඇසින් කණින් ගෙන
තමන්ගෙ දෘශ්ටියෙන් විකෘති කරගෙන
හිතේ තැන්පත් කරගන්නවා.
අද කාලෙ හතු පිපෙනවා මෙන්
තැන තැන පහළ වෙන
මග ඵල ලැබුණා කියන අයගෙ මත
බුදුන් වහන්සේගේ දහම සමගවත්
සමපාත නෑ... පෑහෙන්නෙ නෑ.
ඔවුන් ඉන්නෙ ඔවුන්ගෙ දෘෂ්ඨියක.
ඔවුන්ගෙ මගඵලත් ඔවුන්ගෙ දෘශ්ඨියක්.
ඒ නිසා අවිවාදිතයි.
ඔවුන්ගෙ මිථ්‍යා දෘශ්ඨිය ප්‍රිය කරන අය
ඔවුන් මග ඵල ලැබුවා කියා අදහාගෙන
ඒ දෘෂ්ඨිය රස විඳිමින් ඔවුන් පසුපස යනවා.
ඔවුන්ට වැරදුන තැන වහගන්නෙ
ත්‍රිපිටකය වැරදියි කියන
නිදහසට කරුණෙන්..
දෘෂ්ඨිගතව මුලා වෙන
පච රහතුන් සහ නොමග අපල ලැබූවන්
බුදු වදන හෙළා දකිනවා.
කෙනෙක් බුදු දහම අනුව
මග ඵල ලැබුවොත්, නිවන දුටුවොත්
ඔහු දෙසන්නේ බුදු වදන්මයි.