20170320

මිනිසා තිරිසනෙක් මෙන් කෝපවෙන්නේ....



කෝපය
සත්වයාට අවියකි. මෙවලමකි.
කිසියම් හානිකර තත්වයකදී
ඒ තත්වයෙන් මිදීම සඳහා
සත්වයෙකුට පහළ වන ආවේගයකි.

හානියක් සිදුවෙන්නට යන අවස්ථාවක
සත්වයාට විකල්ප දෙකක් ඇත.
ඔහුට එතනින් පළා යා හැක.
නැත්නම් ඒ තත්වය ජයගත හැක.

සිතන්නට කතා කරන්නට නොහැකි
තිරිසන් සත්වයාට ඇති එකම අවිය
කායික හෝමෝන ක්‍රියාකාරිත්වයෙන්
ඔහු තුළ ජනිතවෙන බිය හෝ කෝපයයි.
පහල වූ ආවේගය කුමක් වුවද
වහා ක්‍රියා කරන්නට අවශ්‍ය පරිදි
සතාගේ කය සකස් වෙයි.

ආශ්වාස ප්‍රශ්වාසය වේගවත් වීම,
හෘදස්ඵන්දනය-රුධිර පීඩනය වැඩිවීම
ආදී සටනට හෝ පළායාමට අවශ්‍ය ලෙස
කය සූදානම් කිරීමක් මොළයෙන් සිදු වෙයි.

සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේද සිදුවෙන
කායික සූදානමට හේතුවෙන සකස්කිරීම
මොළයේ පහළ කොටසින් සිදු වෙයි.
කෝපයෙන් හා බියෙන් ක්‍රියා කරන සතෙක්
සිතා ක්‍රියා නොකරයි.

එහෙත් මිනිසාට සිතා ක්‍රියා කළ හැක.
ඒ සඳහා මිනිස් මොළයෙහි ඉහළ කොටස
සිතා ක්‍රියා කරන මිනිසාට ආධාර වෙයි.
නොසිතා ක්‍රියා කරන මිනිසා වුවද
ක්‍රියාවෙන් තිරිසනෙකුට සමාන වන්නේ
ඔහුගේ මොළයෙහි පහළ කොටස පමණක් යොදාගෙන
ගැටළු විසඳාගන්නට පෙළඹීමෙනි.

වාචිකව වුවද මේ වෙනස් කම්
පැහැදිලිව දක්නට හැකිය.
සතෙකු මෙන් පහළ මොළයෙන් ක්‍රියා කරන්නා
අසභ්‍ය වචන, රළු වචන භාවිතා කරයි.
ඒ වචන වල වටහාගන්නට දෙයක් නැත.
ඒ වචන වලින් ඔහු කරන්නට වෑයම් කරන්නේ
ප්‍රතිවාදියා සටනට පොළඹවා ගැනීම හෝ
පළා යන්නට පෙළඹවීමයි.
සිතා මතා ක්‍රියා කරන කෙනෙක් වුවත්
මත්පැන් පානයෙන් පසු ඉහළ මොළය අක්‍රියව
පහළ මොළයෙන් ක්‍රියා කරන්නට පෙළඹෙමින්
අඬ දබර වලට යොමුවන්නේද
මේ ආකාරයටය.

කෝපයට පත්ව ඇති නමුදු
සිය ගැටලුව විසඳාගන්නට
පහල මොළය සමග ඉහළ මොළයද
මිශ්‍රව භාවිතා කරන්නන්ගේ වචන වල
තර්කානුකූල අදහස සමග
ඵරුෂවාචී විශේෂණ පදද මිශ්‍ර වී ඇත.
උසස් වෘත්තික තනතුරු දරණ නමුත්
වචනයෙන් ක්‍රියාවෙන් මැර ස්වභාවයක්
සමහරුන් තුළ දිස්වන්නේ මේ නිසාය.

ඉහල මොළයෙන් පමණක් ක්‍රියා කරන්නා
කෝපය බිය මිශ්‍ර කර නොගෙන සිතන නමුත්
ඔහුගේ තර්කවල, චින්තනය තුළ ඇත්තේ
හැඟීම් රහිත නරුම බවකි.
ඔහුගේ වචන අසන අනෙකා තුළ
හැඟීම් පහළ නොවේ.

ගුරුවරු සහ දේශකයන්ගේ වචන වලට
පහළ මොළයෙන් එකතුවෙන ශක්තියක් නැත.

සමථ භාවනා වඩන්නා විසින්
ඉහළ සහ පහළ මොළය අක්‍රියව තබාගෙන
නිවන් දුටුවාක් මෙන් සැනසිල්ලෙන් වාසය කරයි.
සමන්ත භද්‍ර නිවන ලෙස අර්ථ දක්වන
සිත ශූන්‍ය වීම සිදු වන්නේ
සාමාන්‍ය මිනිසාට සාපේක්ෂව බලන විට
මොළය අක්‍රියව තබා ගැනීමෙනි.
ඔහු වෙසෙන්නේ මෝහය තුළයි.

පිළියන්දලදී මෙන්
අවදානම් අවස්ථාවක් ජයගන්නට
ඉහළ මොළය භාවිතා කිරීම අසීරු බව
සමන්ත හිමිට වැටහුණ විට පළායන්නේ
මොළයේ පහල කොටස ක්‍රියා කිරීමෙනි.

සමථ භාවනා වඩන්නාද
ඉහළ සහ පහළ මොළය භාවිතා කරන්නේ
හැකිතාක් අවම වශයෙන් බැවින්
ක්‍රියා කරන විට ඉහළ මොලයෙන් සිතන විට
හැඟීම් රහිත නරුමයෙක් මෙන් ක්‍රියා කරන අතර
තිරිසන් කම වැඩි පහළ මොළයෙන් ක්‍රියා කරන විට
මැරයෙකු දාමරිකයෙකු මෙන් ක්‍රියා කරයි.
 මේ සඳහා උදාහරණයක් වන
සමන්ත හිමිගේ චර්යාව මේ වනවිට
පහළ මොළයෙන් ඉහළ මොළයට
මාරුවෙමින් පවතියි.

විදසුන් වඩන කෙනෙක් පුහුණුවන්නේ
මේ සියල්ලටම වෙනස් ආකාරයකටය.
කායිකව ක්‍රියා කරන්නට පොළඹවන පහළ මොළය
සතෙකුගේ මෙන් ක්‍රියාත්මක වන විට පවා
මොළයත් ස්නායු පද්ධතියත් ඇතුළුව
සමස්ත කයෙහිම ක්‍රියාකාරිත්වය ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් පසුවෙන අතර
ඉහළ මොළයෙන් සිතන්නටත් ක්‍රියා කරන්නටත්
විදසුන් වඩන්නාට හැකිය.

විදසුන් වඩන්නාද අන් අය මෙන්ම
සමාජීය සත්වයෙක් වන බැවින්
ඔහුගේ වචන සහ ක්‍රියා භාවිතා කරමින්
ඔහු වෙසෙන පරිසරය උත්තේජනය කරමින්
උත්තේජනවලට ප්‍රතිචාර දක්වමින්
තමන්ගේ ගමන නිදහසේ යන කෙනෙකි.

සියලු කායික වෙනස් වීම් ගැන
මොහොතින් මොහොතට පවත්නා සිහියත්
ඒ වෙනස්වීමවලට ඇලීමෙන් සහ
ඒ වෙනස් වීම සමග ගැටීමෙන් තොරව
මානසික ආවේග වලට නතු නොවී
මානසික වේදනාත් කායිකව දකිමින්
ඒ මොහොතට අවශ්‍ය ලෙස ක්‍රියා කිරීමට,
ඔහුට අවශ්‍යවෙන කායික හා මානසික සංයමය,
වාචික සංවරය සමග එක්ව පවතින
කායික හා මානසික ක්‍රියාකාරී බවද
ඔහු සතුව පවතින්නේය.

ඉහත විස්තර කළ රටාවන්ට අනුව
ඔබ දෙසත්
ඔබ අවට සිටින අය දෙසත් බලන විට
ඔබේ ඉහළ මොළය සහ පහළ මොළය
කවර ප්‍රතිශතවලින් ක්‍රියා කරන්නේද යන්න
ඔබට මැනගත හැකි වනු ඇත.

ඉහළ මොළයෙන් පමණක් ක්‍රියා කරන
තාර්කික පුද්ගලයා නරුමයෙකි.

ඉහළ මොළය සහ පහළ මොළය
මිශ්‍රව ක්‍රියා කරන්නා
තර්කානුකූලව සිතන දාමරිකයෙකි.

පහළ මොළයෙන් ක්‍රියා කරන්නා තිරිසනෙකි.

සමස්ත මොළයම භාවිතා කරමින්
සිදු වෙන සියල්ලම ගැන සිහියෙන්
සිදු වෙන සියල්ලටම උපේක්ෂාවෙන්
ක්‍රියා කරන්නා විදසුන් වඩන්නාය.