20150530

අවසිහිය කියන්නෙ සාමාන්‍ය මිනිසෙකුගෙ මානසික තත්වය



Nadeeka Chaminda 
[[[ අවසිහිය යන්නෙන් අදහස් කලේ කුමක්ද..කුමන මානසික තත්වයක්ද..]]]
 
අවසිහිය කියන්නෙ
සාමාන්‍ය මිනිසෙකුගෙ මානසික තත්වය..
 මොහොතක් තුළ
සාමාන්‍ය කෙනෙකුට ලැබෙන තොරතුරු වලින්
ඉතා සීමිත ප්‍රමාණයක් ගැන විතරයි
ඔහුට සිහිය තියෙන්නෙ..

 
සිහිය අඩුවෙද්දි අවසිහිය වැඩි වෙනවා.
මත් පැන් බිව්වම සිහිය අඩු වෙනවා.
පොත පතට ඇබ්බැහි වූ අය
හිතලු මවන විට සිහිය අඩුයි..
පෙම්වතුන්ගෙ සිහිය අඩුයි..

කිසියම් දෙයක් නිසා
සතුටෙන් ඉන්න අයට සිහිය අඩුයි.

දුකෙන් ඉන්න අයට සිහිය අඩුයි.

තරහෙන් ඉන්න අයට සිහිය අඩුයි.

කාමය ඇවිස්සුණ ඉන්න අයට සිහිය අඩුයි.

ආවේගශීලී අය ඉන්නෙ අවසිහියෙන්.
ඔවුන් අතින් වැරදි සහ
අපරාධ පවා සිදු වෙන්නෙ
අවසිහිය නිසා.
 
වයසට යනකොට
හොඳටම සිහිය අඩුවෙනවා.


පරිගණකයක හාර්ඩ් ඩිස්ක් එක
ෆයිල් වලින් පිරෙන කොට
පරිගණකයෙ වේගය අ
ඩුවෙනවා වගේ
දවසින් දවස සිහිය පිරිහෙනවා.

සිහිය පිරිහෙන මිනිස්සු
වයසට යන කොට
නෑදෑයන්, හිතවතුන්, රැකියාවන්, තනතුරු,
වගකීම් අතහරිමින්
අඩුවෙන සිහියෙන් අත්‍යාවශ්‍ය දේ
කොහොම හරි කරගන්න නිසා
හොඳටම වයසට යන තුරු
අවසිහියෙ තරම තේරෙන්නෙ නෑ.

ඔබේ අතපය තියෙන තැන ගැනවත්
ඔබට සිහිය නෑ.
සිහිය නෑ කිව්වාම හිතල බැලුවොත් දැනෙනවා..
 ඒ මොහොතට පෙනෙනවා.
තව මොහොතකින් ආයෙත් අවසිහියට පත්වෙනවා.

උතුරු සලුව පත්කඩය සහිතව
එක පෝයක්වත් සිල් ගත්ත කෙනෙක්
සිහියෙ තරම දන්නවා.
තියන සීමිත සිහිය සමග
උතුරු සලුව, පත්කඩය රැකගන්න
ලොකු වෙහෙසක් දරන්න වෙනවා.

බොහෝ දෙනෙක් උතුරු සලුව, පත්කඩය
කටු ගහලා රැකගන්නා ආත්ම වංචනිකයන්..

නිවැරදිව සිල් ගන්න කෙනෙකුගෙ සිහිය
උදේට වඩා හවස්වෙනකොට වර්ධනයක් තියනවා.

පැවිද්ද දරුවෙකුට සිරගෙයක්ද?



ගිහිගෙය නම් සිරගෙය තුළ දුක් විඳින නමුත්
ඒ දුක සමනය කරගන්නට හෝ කිසිවක්
බුදු දහමෙන් නොලැබුණ
බුදු දහම ගැන කිසිවක් නොදන්නා අයට
සිරගෙයක් තුළ තනිවුණ අවාසනාවන්ත දරුවෙක්
මේ ඡායාරූපය තුළින්  පෙනේවි.
Photo by Yushmantha Randima
ගිහිගෙය නම් සිරගෙය තුළ දුක් විඳින නමුත්
ඒ දුක සමනය කරගන්නට
බුදු දහමෙන් ආලෝකයක් ලැබුණ නිසා
බුදු දහම ගැන අත්දැකීමෙන් දන්නා අයට
මේ ඡායාරූපය තුළින් පෙනෙන්නේ
ගිහි සිරගෙයින් මිදී
තමන් සිරවුණ සියළු බැඳීම්වලින්
නිදහස් විය හැකි ආරක්ෂිත භූමියක
නිරුපද්‍රිතව වෙසෙන්නට අවශ්‍ය නම්
සියලු වරම් ඇති
වාසනාවන්ත දරුවෙක්.

මේ ඡායාරූපය
ඔබ අර්ථ දක්වන්නේ
ඔබේ සිතුම් පැතුම් වලට සාපේක්ෂවයි.
ඔබ මේ දරුවා සිරකාරයෙක් ලෙස දකිනවා නම්
ඔබ ගත කරන ජීවිතය තුළ
ඔබ විඳින නිදහස කුමක්දැයි සිතා බලන්න.

පැවිද්දට සාපේක්ෂව
ගිහි ගෙය බරපතළ වැඩ ඇති
ජීවිතාන්තය දක්වා නිදහස් විය නොහැකි
දවසින් දවස දුක වැඩිවෙන සිරගෙයක්.
ගිහියෙක් තමන්ගෙ ආහාර, ඇඳුම් සහ නිවාස ගැටළු
තමාම විසඳාගත යුතුයි.

ශික්ෂාකාමී, විනයානුකූලව වෙසෙන සිල්වත් භික්ෂුවකට
දානය, ගිලන්පස, ආවාස, චීවර
කිසිදු වෙහෙසකින්, ගෙවීමකින් තොරව ලැබෙනවා.

ගිහියෙක් තමන්ගෙ සිරගේ
තමාම තනා ගන්නා නිසා
සිරවී ඇති බව නොපෙනෙන කෙනෙක්.

ඔහු හිමිකරගන්නා හැම දෙකින්ම
ඔහුගෙ සිරගේ තව තවත්
ශක්තිමත් වෙනවා,
ඔහු අදින බර වැඩි වෙනවා.

චක්‍රාකාර කූඩුවක ඉන්න
ලේනෙක් වගේ නොකඩවා දුවන ගිහියෙක් 
සිරගෙය තුළ ඔහු විඳින දුක නිවාගන්නට දුවන එක
ඔහු විඳින සැප සඳහා කරන ගෙවීමක් කියා සලකනවා.

ගිහිගෙය තුළ තියන සිරවීම් අමතක කරගන්න
රූපවාහිනිය, පුවත්පත්, මත්පැන්, සිනමා පට,
ගීත නැටුම් විනෝද ගමන් ආදී
දහසකුත් එකක් මත්ද්‍රව්‍ය තියන නිසා
සීමා මායිම් ඇති පැවිද්දට වඩා
අසීමාන්තික මත්ද්‍රව‍ය ඇති ගිහිගෙය හොඳයි කියා
ගිහියන් සහ නොමේරූ පැවිද්දන් සිතනවා.

අද සමහර පැවිද්දන්ද
රූපවාහිනිය, පුවත්පත්, මත්පැන්, සිනමා පට,
ගීත නැටුම් විනෝද ගමන් ආදී
ගිහියන්ගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටීමත්
සැලකිය යුතු දෙයක්.

පැවිද්ද සිරගෙයක් වෙන්නෙ දුසිල් පැවිද්දාටයි.


මේ සිවුර දරාගෙන
නිවන් දකින්නට කටයුතු කරනවා කියා
පැවිද්ද ලබාගනිද්දි තෙවරක් සපථකරන
උතුම් පොරොන්දුව ඉටුකරන කෙනෙකුට
පැවිද්ද තරම් නිදහස් තැනක්
මෙලොව තවත් නෑ.

මාස තුනකට වඩා
එක තැන රැඳෙන්නට අවසර නැති,
තුන් සිවුරත් පාත්‍රයත් හැර
රැකිය යුතු සම්පතක් නැති,
ඊළඟ වේල කෙසේ ලැබේදැයි නොදන්නා නමුත්
ආහාර රැක තබාගන්නට අවසර නැති,
කිසිදු පුද්ගලයෙකුට, ආයතනයකට
විනයෙන් මිස මනසින් බැඳී නැති
පැවිද්දෙකු අත්විඳින නිදහස සහිත
වෙනත් කිසිවෙක් මෙලොව ඇත්ද?

මාස හයක් පැවිදි වී
මුදල් භාවිතා නොකර
තැනින් තැන ගමන් කළ ඉන්දියානුවෙක්
ඔහුට කිසිම දිනක දානය වැරදුණේ නැතැයි
මා සමග පැවසුවා.

බුදුන් වහන්සේ පණවා වදාළ විනය
නිසි ලෙස රකින සාමණේර නමකට
අපවත්වෙනතුරු හෝ පිරිනිවන්පානතුරු
නිදහසේ ජීවත්වෙන්නට
තුන් සිවුරත් පාත්‍රයත් ප්‍රමාණවත්

පැවිද්දට ගිහි දිවිය කැප කිරීම
සිර වීමක්  වෙන්නෙ
කැප කිරීම නිසා ලැබෙන දේ
කැප කරපු දේ තරම්
වටින්නෙ නැත්නම් තමයි.

දීපංකර පාද මූලයෙ
එක ගාතාවක් අහල
රහත් වෙන්න පුලුවන් කම තියාගෙන
සංසාරෙ හිරවෙලා දුක් විඳිමින්
 
සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කැප කරල  
බුදුන් වහන්සෙ ලබා ගත්ත දේ
කොයි තරම් වටිනවද කියල
ඒ දෙයින් එක මොහොතකට හරි
දුක නිවාගත් කෙනෙකුට තේරෙනවා.

මේ සාමණේරයන් වහන්සෙ
කැපකරල සිරවෙලා ඉන්න තැන
නිවැරදිව ගත කළොත්
ලැබෙන නිදහසේ සුවය
නිදහසේ ඉන්න ළමයින්ට
ඔවුන්ගෙ ජීවිතවල
එක මොහොතකටවත්
විඳින්න ලැබෙන්නෙ නෑ.


මේ වයසෙ සාමණේරයන් වහන්සෙ කෙනෙක්
තමන් ඉන්න තැනේ වටිනාකම දැනගෙන
මැරකමෙන් මුලු ඉන්දියාවම දිනාපු
චණ්ඩාශෝක රජ්ජුරුවන්ගෙ සිහසුනේ ඉඳගෙන

කියපු වචන කිහිපයක් නිසයි...
ලංකාවට සහ දකුණු ආසියාවටම
බුදු දහම ලැබුණෙත්.

ළමයා වුණත්, වැඩිහිටියා වුණත්
හිරවෙලා ඉන්නෙ තමන්ගෙම මනසින්...
මනසෙ තියන සීමාවන් අතරෙ.

නිසි ගුරුවරයෙක් ලැබුණා නම්..
පිරූ පෙරුමනුත් තියනවා නම්
සාමණේරයන් වහන්සෙ කෙනෙකකුට
නිදහස් වෙන්න හොඳම විය
ළමාවිය තමයි.

පැවිද්ද ලබන අරමුණ ඉටුකරගන්නා
ඕනෑම වයසක පැවිද්දෙකුට
ඉතාම සීමිතව පවතින දුක
දිනෙන් දින තුනී වෙන බව
සහතික කල හැකියි.



නලින් ද සිල්වා ගේ දර්ශනය චුවින්ගම් වගේ



Nadeeka Chaminda 
ලෝකය මනසේ නිර්මාණයකි..
මනසද මනසේ නිර්මාණයකි..
සැබැවින්ම මනසක් නොවන බව
සැබෑවටම නොමැති මනසක් තුලින් අවබෝධ කල හැකිද...
(මේ මහාචාර්ය නලින් ද සිල්වා ගේ අපේ ප්‍රවාද තුලින් නැවත නැවත පවසන කරුණ ..)

-------------------------------------------------------

මේ සියල්ලම දෘෂ්ඨි.. Nadeeka.

චුවින්ගම් වගේ හපන්න පුලුවන්..
කෑවා වගේ දැනෙනවා.
කුසගින්න නිවෙන්නෙ නෑ..
පෝෂණයකුත් නෑ.

දර්ශනයක් අවශ්‍ය නම්
බුදු වදන් ප්‍රමාණවත්.

බුදු දහම පටලවාගෙන
මිථ්‍යාදෘෂ්ඨිකව නිර්මාණය කරන
මේ වගේ පටු දර්ශනවලට කොටු වීම
වර්ධනයට බාධාවක්..
මේ දෘෂ්ඨි නියම ආහාර නොවෙයි..
බයිට් වගෙයි..
ගොඩක් කෑවා වගේ දැනෙනවා.
කුසගින්න නිවෙන්නෙ නෑ..
පෝෂණයකුත් නෑ.

මිථ්‍යා දෘෂ්ඨිගතවී
ඔබට ඒ දෘෂ්ඨිය දේශනා කරන  පුද්ගලයා මතම
යැපෙන්න ඔබට සිදුවෙනවා.

ඔහු කියන දේම වමාරමින්
ජීවිතය ගත කරන්න වෙනවා.

සැබෑ ධර්මය විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකියි.
මේ ධර්මය බලන්න.
--------------------------------------------
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.


ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

අත්තානං දමයන්ති පණ්ඩිතා.

බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..


ඔබට ජීවිතය සමග සම්බන්ධ කරගෙන
විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකි ධර්මයක්
මේ තුළ අඩංගු වෙනවා.

මනසෙහි ඇතිවෙන දේ
වෙන් කොට වර්ග කොට 
ඒ කොටස් විවිධාකාරයෙන් ක්‍රියාකරන ආකාරය
ඔබේ දුකට හේතුවෙන ආකාරයත්
දුකෙන් මිදෙන ආකාරයත්
විඳ ප්‍රත්‍යක්ෂ කල හැකි ආකාරයෙන්
බුදු දහමෙ සඳහන් වෙනවා.

බුදු දහමට වඩා වෙනස් දහමක්
ඔබට හමුවුණොත්...
විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකිද බලන්න.

ඒ දෘෂ්ඨිය තර්කයක් පමණක් නම්
ඔබ ඒ දෘෂ්ඨිය පිළිගන්නෙ
ඒ විශේෂ පුද්ගලයා කියන දහම
ඔබට අවබෝධ වුණා කියා ඇතිවෙන
අධි මානය නිසයි.

ඒ අධිමානයෙන්ම පෙළෙමින්
ඔහුගෙ කල්ලිය පෝෂණය කරන්නට වෙහෙසවීම
ඔබ වැටෙන්නට හැකි දෙවෙනි වලයි..

සැබෑ ධර්මය
ඔබ ගුරුවරයාගෙන් නිදහස් කරනවා.
ඔහු ඔබට මග පෙන්වනවා පමණයි.
එහි ගමන් කරන්නට
ඔහුගෙ අත්වැල අවශ්‍ය නෑ.

මේ බුදුන් වහන්සේගේ ක්‍රමයයි..

තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත.

කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

මහණෙනි, යම් මහණෙක්,
1, 
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

2, 
වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

3, 
සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

4, 
දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මහණෙනි එසේ
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත

http://tipitaka.org/sinh/cscd/s0103m.mul2.xml
දීඝනිකායේ චක්‌කවත්‌තිසුත්‌තං

ඔබට ජීවිතය සමග සම්බන්ධ කරගෙන
විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකි ධර්මයක්
මේ තුළ අඩංගු වෙනවා.