20180125

මෛත්‍රීට කළ හැකි කජ්ජක් නැත.

මිනිස්සු හොයන්නෙ හොඳ නායකයෙක්.
ඒත් මිනිස්සු හොඳ මිනිස්සු නොවෙයි.

හොරකම් කරන පිරිසක් මැද
හොඳ නායකයා ප්‍රතික්ෂේප වෙනවා.


පාලකයො විතරක් නොවෙයි,
මිනිස්සුත් හොරු.

"මම හොරකම් කරන්නෙ නෑ" කියල
හිතට එකඟව කියන්න පුලුවන්
මිනිස්සු කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද?

හොරට අතිකාල නොදමන කෙනෙක්...
ඉතුරු සල්ලි වැඩියෙන් දුන්නොත්
ආපහු දෙන කෙනෙක් ඉන්නෙ ඉඳල හිටලයි.
ප්‍රතිපත්තියක් විදියට හොරකම් නොකරන
කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද?


පාලකයො හොරකම් කරනවාට
විරුද්ධ මිනිස්සුත් හොරකම් කරනවා.
නෑසිය මිතුරන් කරන හොරකම්
පවුලෙ අය කරන හොරකම් ඉවසනවා.

හොරකමට විරුද්ධ වුණාට
තමන් හොරකම් කරන ජනතාවක්
තෝරන්නෙ
තමන්ගෙ වර්ගයේම පාලක පිරිසක්.

"අපේ හොරා නෙවෙයි හොරා"
"අපේ හොරා අපට හොඳා"
කියල ඡන්දෙ දෙනවා.

අපේ රට පුරාම
අද ඉන්න පිරිසට ගැලපෙන්නෙ
"කරන හොරකමක් අහුනොවෙන්න කරපල්ලා"
කියමින් අවසරය පළ කරන
මහින්ද වගේ නායකයෙක්.

මහින්ද පැරැද්දුවේ හොරු එළවන්න
හොරකම් නොකරන පිරිසක් නොවෙයි.
මහින්ද ඉන්න කාලෙදි හොරකම් කරන්න
අවසර නොලැබුණ හොරු පිරිසක්.
දැන් ඒ බව ඔප්පු වෙලා තියනවා.

මහින්දට පැරදෙන්න වුණේ
හොරුන් අතර තරඟයට
සීමාවක් තියන නිසයි.
ඔහු අවට සිටිය හොරු සෙට් එක
අනිත් හොරු සෙට් එකට නොදී
තනියම කාපු නිසා
හොරු සෙට් එකට මහින්දත් එක්කම
එළියට බැහැලා යන්න වුණා.

මහින්දගේ යුගය අවසාන වුණේ
මහින්දගේ පාලන කාලයේ කළ
සියලු හොරකම් සහ මංකොල්ලකෑම්
මහින්දගේ ගිණුමට බැර වෙමිනි.

මේ ප්‍රවණතාවයම ක්‍රියාත්මක වී
එජාප රජය කරන ලද, කරන සහ
අනාගතයේ කරන්නට යන
සියලු හොරකම් සහ මංකොල්ලකෑම්
මෛත්‍රීගේ ගිණුමට බැර කොට තබා
ඔන්න බොලේ කල්ල මරේ කියමින්
කල දුටු කල වල ඉහගන්නට සිතාගෙන
බැඳුම්කර සොරකම කළා නම්
බැඳුම් කර හොරකම වැරදීමකි.

මහින්ද කළ පව් මෛත්‍රී නොකිරීම නිසා
මෛත්‍රීට බිල දමන්නට සිතාගෙන
ඇටිකෙහෙල් කෑ උගුඩුවන් කළ පව්
ඔවුන් තනිවම ගෙවිය යුතුය.

ජවිපෙ තමන් සුද්ධයි කිව්වට
ඒ මිනිස්සුත් අනික් තුනේම ඉන්න වර්ගෙ
මිනිස්සු තමයි එතන ඉන්නෙත්.
යන්තම් හරි පාලන ශක්තියක් ඇත්නම්
ශ්‍රී ලන්කන් එකේ ලොකු තනතුරක්
අනුර පුතාට නොදෙයි කියල
කියන්න පුලුවන් කාටද?

අනුර කුමාර
අපේ දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය දීම
නැති කරන්නට ක්‍රියා කරන පක්ෂයක
නායකයාය.

ඔහු පෞද්ගලික අධ්‍යාපනය නැති කරන්නට
අපේ ඡන්දයෙන් බලය ලබා ගන්නට ක්‍රියා කරයි.
එහෙත් ඔහු ඔහුගේ දරුවාට පෞද්ගලික විද්‍යාලයක
අධ්‍යාපනය ලබා දෙන්නටද ක්‍රියා කරයි.
රට ඔහුට මේ ගැන චෝදනා කළ විට
වචනයක් නොකියා අසා සිටියි.

ජවිපෙ නායකයෝද සාමාජිකයෝද
ඔහු බේරාගන්නට එකාවන්ව ක්‍රියා කරති.
ඔහු ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ
අධික මුදලක් ගෙවා ගමන් කළ විට
පක්ෂයත් සාමාජිකයෝත්
ඔහු වෙනුවෙන් ක්‍රියා කරති.

ඔහු ඇමති කාලේ කිසිදු වරදක් නැති
අඩුප්පාඩුවක් නැති කෙනෙක් ලෙස
සියලු රෙදි සෝදා ජනතාවට ඉදිරිපත් කරන්නට
පක්ෂ සාමාජිකයෝ ක්‍රියා කරති.

වසර පණහක් තිස්සේ වේලෙමින් සිටින ජවිපෙ
බලය ලබා ගන්නා තැන්වල සොරකම් සිදුවුණහොත්
ඒ මන්ත්‍රීවරු රකින්නට ජවිපෙ සාමාජිකයෝ
අද මෙන්ම එදාටත් පෙළ ගැසෙනු ඇත.

"අපේ හොරා
නෙවෙයි හොරා" ආකල්පය
සියලු පක්ෂවලට පොදු සංකල්පයකි.
ජවිපෙට ලැබෙන බලයෙන් සොරකම් කරන්නෝ
ජවිපෙ සාමාජිකයෝ රැකගනු ඇත.

ජවිපෙ හොරු තාම වෙස් තිව්වෙ නෑ.
තියපු දවසට නැටුම වෙනස් වෙන්නෙ නෑ.

ඇත්තටම ජවිපෙ ඉන්නෙ හොරු නොවෙයි නම්
ඔවුන්ට හොරකම පරදවන්නත් ඕන නම්
ඔවුන් අද ඉන්නෙ මෛත්‍රී සමගයි.

ජවිපෙ හැමදාම නොදන්න යකා වීම නිසා
දන්න යකා හොඳයි කියා මිනිස්සු දන්නවා.
සාමාජිකයො සහ දේශපාලනය මතුපිටින්
එදා වේල හොයාගෙන කන ටික දෙනෙක් විතරක්
හැමදාම ජවිපෙ තෝරා ගන්නවා.

ඇත්තටම හොරු එපා නම්
නොදන්න ජවිපෙ සෙට් එක අයින් කළාම
දන්න ප්‍රධාන හොරු සෙට් තුනෙන්
තමන් හොඳින් දන්න හොරු අතරෙන්
අඩුම හොරු ඉන්න සෙට් එක තෝරන්න වෙනවා.

ඒ දුර්වලම හොරු සෙට් එක මෛත්‍රීට ලැබුණොත්
අනිත් හොරු ටික කකුලෙන් අදිද්දී
මේ රට හොරුන්ගෙන් ඈතට අරන් යන්න
අමාරුවෙන් හෝ මෛත්‍රීට පුළුවන් වෙයි,

නැත්නම්
ලංකාවෙ මෙතෙක් උන්න හොඳම හොරු ටික
මෛත්‍රී පරදවා නැවත බලයට ඒවි.

දූෂණයෙන් රට ගලවා ගන්න එක
අනික් සියල්ලටම වඩා වැදගත්.

අයථා විදියට භාණ්ඩ හෝ මුදල්
පරිහරණය කරන කෙනෙක් ඉන්නවා නම්
සාමාන්‍ය කඩයක්වත් හරියට කරන්න බෑ..

ඕනම පාලකයෙක්
දූෂණය අනුමත කරනවා නම්
වංචාව දූෂණය ඉවසනවා නම්
"කරන හොරකමක් අහුනොවෙන්න කරපල්ලා"
කියමින් අවසරය පළ කරනවා නම්
ඔහුගෙ අනික් සුදුසු කම්වලින් වැඩක් නෑ.
ඔහු ඉන්න තුරු හොරු රට කනවා.

ජනතාව දූෂණයට විරුද්ධ නම්
වංචාව දූෂණය නැති නායකයා
ටිකෙන් ටික ශක්තිමත් වෙනවා.

කඩුව සූදානම්,
ජනතාව සූදානම්ද?.

ජනතාව හොරු රකිනවා නම්
මෛත්‍රීට කළ හැකි කජ්ජක් නැත.
පොදු ජනතා තීරණය පෙබ 10වැනිදා.

2015 ජනවාරි 08දා මෛත්‍රී සහ එජාපය
යහපාලනය ගෙනෙන්න පොරොන්දු වුණත්
එජාපය විසින් ඒ අරමුණ පසෙක ලා
අපේ දේශපාලනඥයන්ට හුරු මාවතේ
සුපුරුදු ලෙස ඉසුරු සොයා ගියහ.

තනි වූ මෛත්‍රීගෙන් යහපාලනය ඉල්ලන
රටේ ජනතාව හමුවට පැමිණි මෛත්‍රී
ඔවුන්ගෙන් තනි පාලනයක් ඉල්ලා සිටියි.

මෛත්‍රී සිය යුතුකම ඉටුකොට ඇත.

පෙත්සම් ලැබුණු දූෂණ පිළිබඳව
තොරතුරු විමර්ශනය කළ කොමිසම
වංචා දූෂණ 34ක් පිළිබඳව වාර්තා
මෛත්‍රී ජනතාව හමුවේ තබා ඇත.

දැන් තීරණය ජනතාව සතුයි.

කඩුව සූදානම්,
ජනතාව සූදානම්ද?.

ජනතාව මෛත්‍රී පැත්තේද?
හොරු පැත්තේද?

මේ අවසාන මැතිවරණය නොවේ.
එහෙත් අවසාන අවස්ථාව විය හැක.

ජනතාව හොරු රකිනවා නම්
මෛත්‍රීට කළ හැකි කජ්ජක් නැත.