20140327

පොළඟා, බල්ලා සහ මිනිසා


https://www.facebook.com/photo.php?fbid=848512028499719&set=a.585732734777651.152823.100000227888246&type=1

අළුත් නිල නිවසට ආ පසු සර්පයින්ගෙන් වෙන කරදර කෙලවරක් නැත. අප ඒ නිවසට පැමිණි පසු සර්පයින්ට වෙන කරදරද කෙළවරක් නැති බව මෙය කියවන කෙනෙක් කියන්නට ඉඩ ඇත. එක් එක් කෙනාට එක් එක් දේ කීමට ඇති අයිතිය ඉවසා මේ කතාව කීමට මට ඇති අයිතිය භාවිතා කරමි.
පසුගිය දිනක රාත්‍රියේ අපේ Bruno ගේ කූඩුව දෙසින් අමුතු සද්දයක් ඇසෙන්නට විය. හරියටම වාහනයක හුලං යනවාක් වැනිය. සෑහෙන වෙලාවක් ඇසෙමින් නෑසෙමින් මේ සද්දය තිබුණි. අමතරව බල්ලාගේ නොසන්සුන්තාවක්ද දැනුනි.
අප සිද්ධිය ගැන සැක හිතී බලන්නට ගියේ පැයකට පමණ පසුවය. දක්නට ලැබුණේ කූඩුව පිටත සිට විශාලම ප්‍රමාණයේ පොළඟෙක් බල්ලාට පහරදීමට සැරසී සිටින අයුරුත් කොයි මොහොතක හෝ පොළඟාගේ ගෙලෙන් අල්ලා ගනිමියි යන අදිටනින් බල්ලා බලා සිටින අයුරුත්ය.
මේ තත්වය හමුවේ මා කළ යුතු කුමක්ද? බල්ලා මරු ජය ගැනීමට පොළඟාට ඉඩ දෙනවාද? පොළඟා මරු බල්ලා බේරාගන්නවාද? පසුගිය දවසක දරුවන්ගේ ආරක්ෂාව පිණිස පොළඟුන් දෙදෙනෙකු මරන්නට වීමෙන් පසු මගේ දර්වන්ට වඩා පොළඟුන් වටින බව දැන සිටි මට මගේ බල්ලා ද පොළඟාද වටින්නේ යන පැනයට පිලිතුරු සොයා ගැනීමට අපහසු විය. මොකදබල්ලා දරුවන් නොවන බැවින් සමහර විට පොළඟුන්ට වඩා වටි
වා විය හැකිව තිබූ බැවිනි. අවසන බල්ලා වෙනුවෙන් පොළඟා ඉවත් කළ යුතු බව තීරණය විය. ඉවත් කළ යුතු වූයේ ස්ව කැමැත්තෙන් ඉවත්වන්නට පොළඟා කැමති නොවූ හෙයිනි.
සිදු වූයේ නොසිතූ දෙයකි. පොළඟා බල්ලාගේ කූඩුවට පැන්නේය. බල්ලා පොළඟාගේ බඳින් අල්ලා දෙතුන් වරක් දෙපසට ගැසීය. බාගෙට මළ පොළඟා යන එන දිසා නොදැන කූඩුව තුළ වියරුවෙන් එහෙ මෙහෙ යන්නට විය. එබැවින් පොළඟා සදහටම ඉවත් කරන්නට සිදුවිය. බල්ලා රැක ගැනීම සඳහාය.
බැරිවීමකින් හෝ බල්ලාට දත් පාරක් වැදුනිද යන සැකය මත පැයෙන් පැයට පමණ බල්ලා පරීක්ෂාවට ලක් කෙරුනි. එහෙත් බල්ලාගේ වෙනසක් නොවුනි. ඒ ගැන සතුටු වීමි. බල්ලා ගැන සතුටු වූනිසා මිය ගිය පොළඟා ගැන දුකක් ඇති නොවුනි.
උදෑසන මෑණියන්ගේ පිංකම සඳහා පිටත් වන්නට අපට සිදුවිය. බල්ලා ගැන වූ සැකය හේතුවෙන් බල්ලා බිරිඳගේ මලනුවන් කෙනෙකුගේ යටතට පත්කෙරුනි.
උදෑසන වන විට තත්වය නරක අතට හැරෙන්නට වුණි. බල්ලාගේ එක් අතක් ඉදිමී බල්ලාගේ පසුපස පන නැති වේගෙන යන්නට වුණි. මේ නිසා වහාම බල්ලා පශු වෛද්‍ය නිලධාරි වරයා වෙත යැව්වද ඔහු ක්ෂේත්‍රෙය් සැරිසරමින් සිටි නිසා ගැටළුවක් ඇතිවිය. එහෙත් දුරකතනයෙන් ඔහු අමතා කතා කිරීමෙන් පසු හැකි ඉක්මණින් ප්‍රතිකාර කටයුතු ඇරඹුනි. බල්ලාට Anti-Venom Serum ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව බල්ලාගේ දිවි රැක ගැනීමට හැකිවුණි. දැන් අප සිටින්නේ සර්ප භීතිකාවකිනි. සර්පයින් සිටින්නේ මිනිස් භීතිකාවකිනි. එදා දරුවන් වෙනුවෙන් අර පොළඟුන් දෙදෙනා මරා දමනු මා බලා සිටියේ මෙලෙස බල්ලාට කළ ප්‍රතිකාර කර දරුවන්ගේ දිවි ගලවා ගැනීමේ තත්වයක් උදාවන්නට තිබූ ඉඩක් ඉවත් කිරීම පිණිසය. එක් අනතුරක් ඉවත් වූ සැනින් සදා ආරක්ෂිත නැත. ඒ බව මම දනිමි. ඒත් ඒ අනතුර තව දුරටත් නැත.
 ===========================================
.
සිතන්නට හැකි එකම සත්වයා ලෙස
මොන පුරසාරම්, කට මැත දෙඩුවත්
ආවේග ශීලී වුණාම
මිනිසාත් තවත් සත්වයෙක් පමණයි.

තමන්ට හානිකරයි කියල හිතෙන
ඕනම දෙයක් හෝ කෙනෙක් ගැන
බිය, සැක, තරහ ආදී
ස්වභාවයකින් ද්වේශය ඇති වීම
මිනිසාට පමණක් සීමා නොවුණ
සියලුම සත්වයන්ට පොදු
ස්වාභාවික කැළඹීමක්.

ඒ කැළඹීමෙන් කම්පා නොවී
ඒ කැළඹීමට මුහුණ දෙමින්
නිවැරදිව සිතීම,
නිවැරදිව ක්‍රියා කිරීම
මිනිසාට පමණක් සීමා වූ
සුවිශේෂී මානසික තත්වයක්..

සහජයෙන්ම ඒ හැකියාව රැගෙන එන අය
මිනිසා අතර විරල නමුත්, නැත්තෙ නැහැ.
ලින්කන්, ටොල්ස්ටෝයි,තාගෝර් වැන්නවුන්
මිනිසුන් මෙන් ජීවත් වී
මිනිසුන්ගෙන් ගරු සත්කාර ලබමින්
වසර සියගණන් ජීවත් වෙන්නෙ
ඒ ශක්තිය ඇතිව ඉපදී
මේ ජීවිතය තුළත්
ඒ හැකියාව දියුණු කරගත් අය වීම නිසයි.

කැළඹීමට මුහුණ දෙමින්
නිවැරදිව සිතීම,
නිවැරදිව ක්‍රියා කිරීමට හැකියාව
රැගෙන ආවත් නැතත්
ඒ පුහුණුව සිතා මතා ලබා ගැනීම
විදර්ශනාවයි.

එහෙම නැත්නම්
කරදරයකට පත්වුණාම
තමන්ගෙ දේ රැකගන්න
අනික් හැම සතුන්ටම පොදු
මානසික හා කායික උපාංග වල
පිහිට පතන්න වෙනවා.
අතීතය අනාගතය මෙන්ම
අනික් සතුන් පිළිබඳව
පුළුල් ලෙස සිතිය නොහැකි සතුන්ට
ඊට වඩා දෙයක් කරන්න බැහැ.

සතුන්ට ඔවුන් සහ
ඔවුන්ගෙ දරුවන්ගෙන් එහාට
ඔවුන්ම සිතා මතා තනාගත් සීමාවල්නැහැ..

කෙසේ වුවත්
යමක් පුලුල්ව දැකීමෙ හැකියාව නැති නිසා
මිනිසාට වඩා සතුන් තුල බිය සැක වැඩියි.

පොළඟා තමා අසලින් යනවිට
බල්ලා නොබිරුවා නම්
බල්ලාට එරෙහිව හැරෙන්නට
පොළඟාට හේතුවක් නැහැ.

සතුන්ට අපට මෙන්
ඇත්ත ඇති සැටියෙන් දකින්නට නොහැකි නිසා
ඔවුන් බියෙන් තැතිගත්තාම
තමන් රැකෙන්නට
අනිකා නැති කරන්න සිතනවා.

මිනිසා අතර මේ මානසිකත්වයට
පහසුවෙන් පත්වෙන්නේ
ඉතාම පටු මානසිකත්වයක් ඇති
වඩාත්ම බලයට කෑදර දේශපාලනඥයායි.
දූෂිත පූජකයන් සහ කෑදර වෙළඳුන්ද
බිය සැක නිසා කෙටි මාර්ග සොයනවා.

පොදු මිනිසා තුළ බිය ඇති කරන
ප්‍රධානම හේතුව
ඔහු කොටුවී සිටින සීමාවන්.
මේ සීමාවන් ජය ගැනීමට එකම ක්‍රමය
එකට එක්ව ක්‍රියා කරන
සිහිය සහ උපෙක්ෂාවයි.
සිහියත් උපෙක්ෂාවත් බිඳුණු විට
මිනිසා තම සීමාව රැකගන්නට
ආවේගශීලීව ඉදිරිපත් වෙනවා.

"මම" මිනිසාට ඇති ප්‍රබලම සීමාවයි...
මගේ දරුවන්, මගේ සුරතලුන්,
මගේ යානවාහන, මගේ ගේ දොරඉඩකඩම්...
මගේ කියල මම හිතන හැමදේම
මා වටා මා තනා ගන්නා සීමාවක්,
මගේ රට, මගේ ජාතිය... මගේ ආගම...
සීමාවන් වලට සීමාවක් නෑ.

මේ සීමාවල් වලට කොටු වුණාම
හානියක පෙරනිමිති පෙනෙන කොටම
තමන්ගෙ කියල හිතන දේ රැකගන්න
අනික් හැම සතුන්ටම පොදු
මානසික හා කායික උපාංග වල
පිහිට පතන්න මිනිසාටත් සිදු වෙනවා.

එවන් පදනමක ජීවත්වෙන කෙනෙකුට
බයෙන් සැකෙන් තරහෙන් ජීවත් වීමට සිදුවීම
සාමාන්‍ය දෙයක්...

තමන්ට හානිකරයි කියල හිතෙන
ඕනම දෙයක් ගැන ද්වේශයක් ඇති වීම
මිනිසාට පමණක් සීමා නොවුණ
සියලුම සත්වයන්ට පොදු
ස්වාභාවික කැළඹීමක්.
ඒ කැලඹීම ඇතිවෙන්නෙ
සතුන්ගෙ ආරක්ෂාවටයි.

බය සැක තරහ ආදී
මේ හැම හැඩයක්ම ගන්නෙ
එකම ද්වේශය තමයි.
අනතුරකට මුහුණ දුන්විට
මිනිසාත් සතෙකු මෙන්ම කැළඹීම
පිළිගත හැකි වුවත්
මිනිසාත් සතෙකු මෙන්ම ක්‍රියා කිරීම
මිනිසෙකු ලෙස පිළිගත හැකිද?
කැළඹීමෙන් කම්පා නොවී
අදාළ සියලුදෙනාම රැකෙන මගක්
මිනිසාට සොයාගත නොහැකිද?

මේ සිදුවීමෙ වැදගත්ම දේ
බල්ලාටත් සර්පයාටත් නැති
කාය ශක්තියක්,
මානසික බලයක් හා චිත්ත ශක්තියක් ඇති මිනිසා
බයෙන් අගතියට යෑමයි.
දැන උගත්කම්, බුද්ධි මහිමය ආදී
සියලුම සම්පත් ක්ෂණිකව අතුරුදහන් වී
අර දෙන්නාටම වඩා බියෙන් තැති ගත් මිනිසා
ඔවුන් දෙදෙනාගෙන් එකෙක් අනතුරට වැටී
එකෙකුගේ දිවි තොර වෙන තරමෙ
අසරණ තත්වයකට මිනිසා පත්වීමයි.

සාමාන‍‍ය සත්වයෙක් මෙන් ක්‍රියා නොකොට
මිනිසෙක් මෙන් ක්‍රියා කොට
මේ තිදෙනාම රැකගන්නට
ඔහුට හැකි වුණා නම්
මා මිනිසාට ගරු කරනවා.