20161231

"මම කියා කෙනෙක් නෑ" - සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය

බුදුන් වහන්සේ
පරමාර්ථ සත්‍යය සම්මුති සත්‍යය වශයෙන්
තල දෙකක දේශනා කරනවා.
එක තලයක දේශනා කළ සත්‍යයක් අරන්
අනික් තලයෙ සත්‍යයක් සමග
අවිචාරශීලීව සැසඳුවොත්...
අනවශ්‍ය ගැටළු ඇති වෙනවා.

අනත්ත කියන්නෙ
"මම කියා කෙනෙක් නෑ" කියන එකයි.
එහෙනම් උත්සාහය අගය කරන්නෙ ඇයි.?
මම කියා කෙනෙක් නැත්නම්
උත්සාහ කරන්නෙ කවුද?
මෙවැනි ප්‍රශ්න ඇති වෙනවා.

අනත්ත (පරමාර්ථ සත්‍යය )
මම උත්සාහ කළ යුතුයි ( සම්මුති සත්‍යය )

මමත්වය ඇති තැනැත්තා
මමත්වය නෑ කියා තමන්ටම වැටහෙනතුරු
ඔහු ගත කරන ජීවිතයෙ උත්සාහ කළ යුතුයි.

 
අණුක මට්ටමේ සම්මුතිය ජලයයි.

පරමාණුක මට්ටමේදි ජලය කියන්නෙ
හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායු වල
රසායනික සංයෝගයක් බව
පරමාර්ථ සත්‍යයයි.

පරමාර්ථ සත්‍යය හරි හැටි නොදන්න කෙනෙක්
මේ අවස්ථා දෙක සම්මුති තලයට හෝ පරමාර්ථ තලයට අරන්
ජලය - හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ලෙස තර්ක කළොත්
නොවිසඳෙන ගැටළු ඇති වෙනවා.

"මම සිතමි කියමි කරමියි සම්මුතියෙන් ව්‍යවහාර කළද
සිතන, කරන, කියන මම නම් වූ කෙනෙක් නැත" යන
අනත්ත නම් පරමාර්ථ සත්‍යය
විශ්ව සාධාරණ ත්‍රිලක්ෂණ වලින් එකක් ලෙස
බුදු දහමෙ හැඳින් වෙනවා.

අනත්ත ලක්ෂණය පරිවර්තනය කරන අය
"අනාත්ම - ආත්මයක් නෑ" ලෙස පරිවර්තනය කිරීමෙන්
බොහෝ ශ්‍රාවකයන් නොමග යනවා.
හින්දු දහමට විරුද්ධ බව පෙන්වන අදහසින්
කවරෙකු හෝ කළ වැරදි පරිවර්තනයක්
දිගින් දිගටම අන්ධානුකරණය කිරීමක්
බොහෝ කලක පටන්ම සිදු වෙනවා.

අත්දැකීම නොසලකා හරිමින්
වචන මාත්‍රයෙන් දහම් දෙසන අය
නොදැනුවත්කම මත පවත්වාගෙන යන
මේ සාවද්‍ය පරිවර්තනයෙන්
අනත්ත වචනයෙහි සැබෑ අරුත සැඟවෙනවා.

"මම කියා කෙනෙක් නෑ" යන පැහැදිලි අදහස
"ආත්මයක් නෑ" පරිවර්තනයෙන් හැඟෙන්නේ නෑ.

මේ වන විටත් ආත්ම සංකල්පය ඇති අය
මේ පරිවර්තනය කැමැත්තෙන් ග්‍රහණය කළත්
දැනටත් ආත්ම සංකල්පයක් නැති කෙනෙකුට
මේ සත්‍යය විඳ පසක් කිරීමේ හැකියාවක් නෑ.
මෙවැනි සාවද්‍ය පරිවර්තන වලින්
බුදු දහමෙ විශ්ව සාධාරණ ගුණය සීමා වෙනවා.

"මම සිතමි, කියමි, කරමි" කියන්නෙ
විශ්ව සාධාරණ සංකල්පයක්.
"මම" කියන්නෙ කෙනෙක් පුද්ගලයෙක් ලෙස
හැම කෙනෙක්ම හිතනවා.
"මම කියා කෙනෙක් නෑ" කියන සත්‍යය
බුදු දහමට අනුව විඳ පසක් කළ හැකියි.

බුදු වදන්වල
"අත්ත" යනුවෙන් සඳහන්වන්නේ
"මම - තමා" යන අර්ථයෙනි.
අත්ත දීප විහරථ. = තමාට තමා පහනක් වන්න.
අත්තාහි අත්තනෝ නත්ථි = තමාට තමා හැර වෙනෙකෙකු නැත.
අත්තාහි අත්තනෝ නාථෝ = තමාට පිහිට තමාමය.
අත්ත හිත පරහිත = තමාට යහපත සහ පරහට යහපත
ආදී වශයෙන් "අත්ත" වචනය සඳහන් වන්නේ
"තමා" යන අර්ථයෙනි.

මේ අනුව "අනත්ත" යන්නෙහි අරුත
න+අත්ත = තමා නමින් කෙනෙකු නැත යන්නයි.

මේ අරුත ත්‍රිපිටකයට අනුව සත්‍යයක් වන්නේ කෙසේද?
----------------------------------------------------
සංයුත්තනිකාය සළායතන සංයුත්තය
අජ්‌ඣත්‌තානත්‌ත සූත්‍රය

‘‘චක්‌ඛුං, භික්‌ඛවෙ, අනත්‌තා.
යදනත්‌තා තං ‘නෙතං මම,
නෙසො හමස්‌මි, න මෙසො අත්‌තා’ති එවමෙතං
යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.
සොතං අනත්‌තා
යදනත්‌තා තං ‘නෙතං මම,
නෙසො හමස්‌මි,
න මෙසො අත්‌තා’ති
එවමෙතං යථාභූතං
සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

මහණෙනි, ඇස මම නොවේ ය,
යමෙක් මම නොවේ නම්
මම කියා කෙනෙක් නැත.
එය මාගේ නො වෙයි.
එය මම නො වෙමි.
කණ, දිව ආදියද මෙසේමය.
මෙසේ ඇත්ත ඇති සැටියෙන්
පූර්ණ ප්‍රඥාවෙන් දැකිය යුතු ය.

-------------------------------------------------
සංයුත්ත නිකාය සළායතන සංයුත්තය
අනත්ත සූත්‍රය

මහණෙනි, සියල්ල මා නොවේ ය.
මහණෙනි, කවර සියල්ලක් අනත්ත ද යත්:
මහණෙනි, ඇස මා නොවේ ය.
රූප මා නොවේ ය.
චක්ඛුවිඤ්ඤාණය මා නොවේ ය,
චක්ඛුසම්ඵස්සය මා නොවේ ය,
චක්ඛුසම්ඵස්සය නිසා
සුඛ වේදනාවක් හෝ
දුක්ඛ වේදනාවක් හෝ
අදුඛමාසුඛ වේදනාවක් හෝ
උපදී නම් එ ද මා නොවේ ය.
කණ, දිව ආදියද මා නොවේය..

සිත මා නොවේ ය,
සිතෙහි වෙනස්වීම් මා නොවේ ය,
මනෝවිඤ්ඤාණය මා නොවේ ය,
මනොසම්ඵස්සය මා නොවේ ය.
මනොසම්ඵස්සය නිසා
සුඛ වේදනාවක් හෝ
දුක්ඛ වේදනාවක් හෝ
අදු
ක්ඛමාසුඛ වේදනාවක් හෝ
 උපදී නම් එ ද මා නොවේ ය.

මහණෙනි,
මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ
සිත නොවිඳියි ...
සිතෙහි වෙනස්වීම් නොවිඳියි ,
මනෝවිඤ්ඤාණය නොවිඳියි ,
මනොසම්ඵස්සය නොවිඳියි .
මනොසම්ඵස්සය නිසා
සුඛ වේදනාවක් හෝ
දුක්ඛ වේදනාවක් හෝ
අදුක්ඛමාසුඛ වේදනාවක් හෝ
 උපදී නම් එ ද නොවිඳියි.

----------------------------------
නිබ්බින්දති = නොවිඳීම නම්
සියල්ල පිළිබඳව සිහියෙන් පසුවෙන නමුදු
රාගයෙන් හෝ ද්වේශයෙන් නොවිඳීමයි.
 ----------------------------------------------

නොවිඳින්නේ නො ඇලෙයි,
නො ඇල්ම නිසා විමුක්තියට පැමිණෙයි,
මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි.
ජාතිය ක්ෂය වූහ,
බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද.
මතු භවයක් පිණිස පිණිස
අනෙකක් නැතැ යි දැනගනී යි.

කයත් සිතත් තුළ සිදුවෙන කිසිවක්
"මා නොවන බව"
සම්පූර්ණයෙන්ම විඳ පසක් කිරීම
නිවනට හේතුවෙයි.

ආනාපාන සතියෙන් ඇරඹෙන සතිපට්ඨාන භාවනාවේදී
තමා කියා කෙනෙක් නැති බව අත්දැකීමෙන්ම පසක් වෙයි.

විදසුන් වඩන්නා තුළ සිදුවෙන සියලු වෙනස්කම් වලට
රාගයෙන් නොඇලී, ද්වේශයෙන් නොගැටී
සම්පජානෝ සතියෙන් පසුවෙන විට
ඒ සියල්ල තමන්ගේ මැදිහත්වීමකින් තොරව
හේතූන් සහ ඵල ලෙසින්
එකක් පසුපස අනෙකක් සිදුවෙමින් පවතින බව
ඔහුටම විඳ පසක් කරන්න පුලුවන්.

අනත්ත කියන්නෙ පරමාර්ථ සත්‍යයක්.
විශ්ව සාධාරණ සත්‍යයක්.

මොහොතින් මොහොතට වෙනස් වෙමින් ගලන
ස්පර්ශ, වේදනා, සංඥා, සංස්කාර, විඥාණ පරම්පරාවක් හැර
"මම" කියා අපි හඳුන්වන සත්වයා
සම්මුතියක් පමණයි.

එකිනෙකා අතර පවතින
පුද්ගලික, ආර්ථික, සමාජීය ආදී
විවිධ අන්තර් සබඳතාවයන්හිදී
"මම" කියා සත්වයෙක් ඇතැයි හැඟීම
පවත්වාගත යුතු වෙනවා.
ඒ අතරම "මම" සංකල්පය නිසා
ප්‍රිය දේ රාගයෙන් විඳිමින්
අප්‍රිය දේ ද්වේශයෙන් බැහැර කරමින්
දුක් විඳින්නට සත්වයාට සිදුවෙනවා.

දුකෙන් මිදෙන්නට සිතන කෙනෙක්
විදසුනට යොමුවී ආර්ය ශ්‍රාවකයෙක් වී
ප්‍රිය අප්‍රියතාවය සංසිද්ධියක් ලෙස
සිහියෙන් සහ ලෝභ ද්වේශ දෙකින් නොවිඳ
උපෙක්ෂාවෙන් වෙසෙනවා.

නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
විඳින සියලු වේදනා
දැනෙන සියලු සංඥා
ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්,
නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙනවා..

සම්පජානෝ සතිය
දවසේ පැය විසි හතර පුරාම
ඇවිදීම, හිඳීම, සිටීම, සැතපීම යන
සතර ඉරියව්වේදීම පවතිනවා.

ඇවිදින්නේ ඇවිදින්නෙමැයි මනාව දනියි.
සිටින්නේ සිටින්නෙමැයි මනාව දනියි.
හිඳින්නේ හිඳින්නෙමැයි මනාව දනියි.
"සැතපෙන්නේ සැතපෙන්නෙමැයි මනාව දනියි."
කය යම් යම් ආකාරයකට පිහිටාද
ඒ ඒ ආකාරය මනාව දනියි.

නිවන සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
කවර කාර්යයක යෙදුණත්
සමස්ත කයෙහිම වේදනා සහ
සිතෙහි සංඥා, විතර්ක සියල්ලම පිළිබඳව දැනුවත්ව
"මම"
සංකල්පයෙන් වියුක්තව
අවශ්‍ය කාර්යයන්හි යෙදෙන්නේය.

සව් කෙළෙසුන් නසා
මමත්වය සපුරා දුරු කළ රහතන් වහන්සේ
දවස පුරාම
සියලු අත්දැකීම් වලදී
ඒ සියල්ලට සම්පජානෝ සතියෙන් සංවේදීව
 කිසිවක් මමත්වයෙන් නොවිඳින නිසා
දුකෙන් මිදී වෙසෙනවා.

මමත්වයෙන් යුතු පුද්ගලයක්
තර්කයෙන් හෝ තවෙකෙකු කෙරෙහි විශ්වාසයෙන්
"මම කියා කෙනෙක් නෑ" කියා පිළිගෙන නොමග යෑමෙන්
අන්තවාදී නරුමයෙක් විය හැක.

බුදුන් වහන්සේ පවා පරමාර්ථ වශයෙන්
කයෙහි වෙනස්වීම් දුක-සැප වශයෙන් නොවිඳින මුත්
ඒ අත්දැකීම් සම්මුති වශයෙන් ගෙන
"මම, මට, මගේ" වචන භාවිතා කරනවා.

"මොග්ගල්ලාන,  මාගේ පිට මඳක් රිදෙයි,
එහෙයින් මම එය සන්සිඳුවාගන්නෙමි" යි.
වහන්ස, එසේ යයි මහා මොග්ගල්ලාන තෙරණුවෝ
බුදුන් වහන්සේට පිළිවදන් දුන්හ.

පොත පත කියවීමෙන්, ධර්ම දේශනා ඇසීමෙන්
බුදු දහම වචනමාත්‍රයෙන් ග්‍රහණය කරන
කොතෙක් කීවත් අවබෝධ නො වන පද පරම පුද්ගලයාට
පරමාර්ථ සත්‍යයත් ග්‍රහණය වන්නේ
සම්මුති වශයෙනි.
ඔහු විඳ පසක් කිරීමෙන් තොරව
"මම කියා කෙනෙක් නෑ" පිළිගෙන
සම්මුති තලයෙහි ප්‍රශ්න ඇති කරගනි
යි.

විපස්සනා වඩමින්
"මම කියා කෙනෙක් නෑ" පරමාර්ථ සත්‍ය
කෙමෙන් කෙමෙන් පසක් කරන්නා
රාගයෙන් හා ද්වේශයෙන් නොවිඳීම මගින්
දුකෙන් මිදෙයි.

සම්මුති සත්‍යය සමාජීය මෙවලමකි.
පරමාර්ථ සත්‍යය විඳ පසක් කිරීම
කි.

20161226

අල්ලා හු අක්බර්!

මිනීමරුවෙකුගෙ පපුවෙ කොටලා තියන
 බුදු සරණයි පච්චය ඔහුගෙ ක්‍රියාව සමග
 අදාළ වෙන්නෙ නැද්ද?

 ඒ පච්චයත් ඔහුගෙ ක්‍රියාවත් අතර
 සම්බන්ධයක් ගොඩ නැගෙන්නෙ
 මිනී මරුවා නීතිය ඉදිරියේ වැරදිකරු වෙලා
 මිනීමරුවාට රතු මල් මාලා දමලා
 වීදි පුරා වධක බෙර හඬවමින්
 හිස ගසා දැමීම සඳහා රැගෙන යද්දි
 බුද්ධ ශ්‍රාවකයන්ගේ සැබෑ ගුණ නොදන්නා
 අඳබාල ජනතාව ඔහු ගේ පච්චය දැක
 සියලු බුද්ධ ශ්‍රාවකයන් සියල්ලෝම
 මිනී මරුවන් ලෙස හංවඩු ගසමින්
 ද්වේශයෙන් දැවෙමින්
 ඔවුන් සියල්ලන්ම නසා විනාශ කර දමන්නට
 නුවර වීදි පුරා වියරුවෙන් සරමින්
 පොලු මුගුරු ගෙන කල්ලි ගැසෙන විටයි.


ඔවුන්ගේ වියරු ද්වේශයෙන් ගැලවෙන්නට
 රහතන් වහන්සේ කෙනෙකුටවත්
 හැකි වෙන්නෙ නෑ.

 ද්වේශයෙන් අන්ධ වූ ඔවුන්ට පෙනෙන්නේ
"බුදු සරණයි" කියන සියල්ලෝම
 මිනීමරුවන් ලෙසයි.

තවෙකෙකු මරන්නට
පොලු මුගුරු ගෙන කල්ලි ගැසෙන තමනුත්
 ඔවුන් මෙන්ම මිනීමරුවන් විය හැකි
 විනාශකාරී කල්ලියක් බව
  ද්වේශයෙන් දැවෙන ඔවුන්ට පෙනෙන්නේ නෑ.

20161225

රැස්කොල්නිකොවු අපරාදය කළේ සමාජවාදී ආකල්ප නිසාද?


Lal Kuruppu[[ මගේ කියවීමේදී නම්,
ධනපති-පිළිකුල හෝ සමාජවාදී පරමාදර්ශයක්
රාස්කොල්නිකොෆ් ගේ අපරාදයට හේතුවු බවක්
ඉස්මතු නොවිනි.]]

පීඩිත පංතිය නගා සිටුවන්නට
ධනවාදියා මරන්නට වුවත් සූදානම් වන
සමාජවාදී විප්ලවවාදී තරුණ උණ

රැස්කොල්නිකොවු තුළත් තිබුණ බව
තේරුම් ගන්නට නම්

ඔහු මුහුණ දුන් අවස්ථා සහ
ඔහුගේ හැසිරීම්, වචන සහ සිතුවිලි

සියුම්ව විග්‍රහ කළ යුතුයි.

එසේ වුවත් ඒ සාධකය
ඔහුගේ මානසික කැළඹීමෙහි එක් සාධකයක් පමණයි.
පරමාදර්ශය නොවෙයි.

බොහෝ විට සමාජවාදී ආකල්ප උෂ්ණාධික තුරුණු වියේ මතු වී
වියපත් වන විට, දුක් විඳින විට මැකී දිය වී අතුරුදහන් වෙන
ආත්ම වංචාවක් පමණයි.

සමාජ හිතවාදියෙකුට
තව කෙනෙක් මරාදමන්නට හෝ
අයිතියක් ඇතැයි යන සිතුවිල්ල
රැස්කොල්නිකොවු තුළ තදින් බලපෑවා.
අප දන්නා සමාජවාදීන් මෙන්ම
ඔහුත් පෙළඹවූ එකම සාධකය
සමාජවාදී ආකල්පය නොවන නිසා
ඔහුගේ දහසක් සිතුවිලි අතරින්
ඒ හැඟීම පෙරා ගැනීම පහසු නැහැ.

රැස්කොල්නිකොවු තුළ වූ සැබෑ අවුල නම්
කැළඹුණු අවුල් සහගත හිංසාකාරී සිතුවිලිත් සමග
"සැබෑ මානව හිතවාදියෙක් නම්
යහපත කළ යුත්තේත් යහපත් ආකාරයටමද?" යන
සදාතනික ප්‍රශ්නය හමුවේ ඔහු තුළ වූ ගැටුමයි.

මේ ගැටුම
නිශ්චිත අන්තයක් කරා යොමුවන්නේ
රැස්කොල්නිකොවුට සෝනියා හමු වූ විටයි.
වෘත්තියෙන් ගණිකාවක් වුවත්
සිතින් ඇය සාන්තුවරියක්.
ඔහු එය පිළිගන්නවා.

පළමු හමුවීමේදී
ඔහු සෝනියාගේ පාද නමස්කාර කොට
" මා නමස්කාර කළේ ඔබට නොව
ඔබ තුළ දුක් විඳින මිනිසත් බවටයි"

කියා ඔහු කියන්නේ ඒ නිසයි.
ඔහු කියන්නේ ඒ නිසයි.

ඔහු පාපෝච්චාරණය සඳහා
නිල පූජකයෙකු තෝරාගන්නෙ නැහැ.
දේව භක්තිය තවරාගත්
නිලයෙන් පමණක් පූජනීය වන
හිස් පූජකයන් ගැන සිතන්නට පවා නොපෙළඹී
සිය පාපෝච්චාරණය සඳහා
ඔහු සොන්යා තෝරා ගන්නේ
ඈ තුළ වූ දේව භක්තිය නිසා නොවෙයි.
ප්‍රායෝගිකව ඇය සතු උතුම් මිනිස් ගතිගුණ නිසායි.
හුදෙක් පුද්ගල විනිශ්චයෙන් තොරව
මවක මෙන් තම පාපය දෙස
ඇය දයාබරව බලනු ඇතැයි
ඔහුට ඉවක් තිබුණා.

ඔහුගේ සිතුවිලි වල අවුල
අපට හොඳින්ම පැහැදිලි වන්නේ
ඔහු සෝන්යාට පාපෝච්චාරණය කරන විටදීයි.
කවර හේතුවක් මත හෝ මිනිසෙකු මරන්නට
තවත් මිනිසෙකුට කිසිදු අයිතියක් නැතැයි සිතන
මානව දයාවෙන් පිරිපුන් සෝන්යා
ඔහුගේ තර්ක කිසිවක් නොපිළිගැනීම නිසා
ඔහු අවුලෙන් අවුලට පත් වෙනවා.

එකක් බැරි තැන තව එකක් ලෙස
නොයෙක් ආකාරයේ හේතු දක්වමින්
ඔහු එය කළේ ඇයිද යන්න
ඇයට පැහැදිලි කරන්නට උත්සාහ ගන්නවා.
ඔහුට අවශ්‍ය ඇගේ චෝදනාවෙන් මිදෙන්නට
ඔහු හේතු ඉදිරිපත් කරනවා.
- මංකොල්ලයක් කන්න හිතුණා.
- නැපෝලියන් කෙනෙකු වීමට...
- මවට කරදරයක් නොවීමට
- මා මැරුවේ උකුණෙක් ආදී
හේතු ගණනාවක් ඉදිරිපත් කළත්
ඒ කිසිවකින් ඇය තෘප්තිමත් වන්නේ නෑ.
ඇගේ ස්ථාවරය වෙනස් වන්නේ නෑ.
අවසානයේ ඇය ජයග්‍රහණය කරනවා.

"මා බාග විට උකුණකු නොව
මිනිසෙකු විය හැකියි" රැස්කොල්නිකොවු සිතනවා.
ඇගේ මානව දයාව මගින්
ඔහුගේ අවුල ලිහා දමා
ඔහු ස්ථාවර කරන්නට ඈ සමත් වෙනවා.

සෝන්යා හමුවේ ඔහු හිස නැමුවත්
ඔහු පසුපස ආ අපරාද පරීක්ෂක ෆෝර්පිරි සමග
ඔහු කලේ සූදුවක්.

ෆෝර්පිරිත් ඔහු දෙස බැලුවේ
ඔහු අපරාදකාරයෙක්ය කියා
ඔහු හෙළා දකිමින් නොවෙයි.
එහෙත් නීතිය ක්‍රියාත්මක විය යුතුය යන්න
ඔහුගේ ස්ථාවරය වුණා.

අපරාද පරීක්ෂණය පැවැත්වෙන කාලයේ
ෆොර්පිරි නීතිය පැත්තේ සිටියත්
රැස්කොල්නිකොවු දෙස දයාබර බැල්මක් හෙලුවා.
ව්‍යවස්ථාන්කූල ආයතන නොදත්
රැස්කොල්නිකොවු පිළිබඳ තොරතුරු
ඔහු එ ආයතනවලට දුන්නේ නෑ.

රැස්කොල්නිකොවු සඟරාවට ලියූ ලිපිය ගැන
ෆෝර්පිරි ඔහු සමග සංවාදයේ යෙදුණ මුල් අවස්ථාවෙදී
තමන් අපරාදය කළ බව සඟවාගෙන
යම් අපරාදයක් වීරක්‍රියාවක් විය හැකි බවට
සමහර අපරාද ඔහු අර්ථ දක්වනවා.

ෆෝර්පිරිගේ තර්ක නීතිය සදාචාරය වැනි
තර්කානුකූල මාතෘකා මත රැඳී තිබීම නිසා
ඔහු ෆෝර්පිරි හමුවේ නිරුත්තර වුණේ නෑ.

විද්‍යාත්මක සොයාගැනීමට බාධා කරන
මිනිසුන් සිය ගණනක් වුවත් මරා දමන්නට
ඒ විද්‍යාඥයාට අයිතියක් ඇතැයි
රැස්කොල්නිකොවු තර්ක කරනවා.
මළකඳක් උඩින් පනින්නට
ලේ වල බැස ගමන් කරන්නට වුවත්
එවැන්නෙකුට අයිතියක් තිබෙන බව
ඔහු සඳහන් කරනවා.

නීති හදන රාජ්‍ය නායකයන් අපරාධකාරයන් බවත්
පූජනීය නීති පසෙක ළා ලේ වැගිරවීමට
ඔවුන් කිසිසේත් නොපැකිළෙන බවත්
එහි ප්‍රතිඵලයක් ලෙස පසු කාලීනව
ඔවුන් වීරත්වයට පූජනීයත්වයට පත්වන බවත්
රැස්කොල්නිකොවු කියා සිටිනවා.

රැස්කොල්නිකොවු මතු කර දක්වන
මේ සිද්ධාන්තයට අනුව
පසු කලෙක මේ අයුරින්ම ක්‍රියා කොට
ලෙනින්, කැස්ත්‍රෝ, චේ වැන්නන්
ලේ වගුරුවා සමාජවාදී විරුවන් වීම
ඩොස්ටොයෙව්ස්කිගේ දර්ශනය සත්‍ය බවට
පැහැදිළි උදාහරණයි.

රැස්කොල්නිකොවුද සමාජ වාදීන් මෙන්
සමාජය කොටස් දෙකකට බෙදනවා.
බහුතරය අදම ගණයෙ මිනිසුන්.
ඔවුන් සුදුසු ප්‍රජනනය සඳහා පමණයි.
ඔවුන් පැරණි නීති ගරු කරන
හීලෑ වීමට කැමති පිරිසයි.
සමාජ වාදියා පීඩිත පංතිය කියා
සේවය කරන්නට සැලසුම් කරන්නේ
මේ පංතියට නොවේද?

සුපිරි ගණය නීති කඩනවා.
අලුත් දේ තනන්නට
පැරණි දේ විනාශ කරනවා.
මේ විප්ලවීය සමාජවාදියායි.
ඔහුට මෙන්ම සමාජ වාදියාටත්
ධනවාදියා ලේ උරා බොන උකුණෙක්.
ධනවාදියා ඉවත් කළ යුතු බාධාවක් මෙන්ම
භාවිතා කළ හැකි මෙවලමක්.
මේ සමාජවාදී විප්ලවවාදීන් නොවේද?
රැස්කොල්නිකොවු තුළත් මේ හැඟීම තියනවා.

ඔහු මේ මූලික සාධක මත අපරාධය කළාද
අනෙක් හේතු මත කළාද යන්න අපට දැනගන්නට
ඩොස්ටොයෙව්ස්කි අවකාශ නොතැබීම
කෘතියෙහි රසවත් බවට ප්‍රධාන හේතුවක්.
ඔහු ගැටළුව විසඳා නැහැ.
ඒ නිසා රැස්කොල්නිකොවු ගැන
අපට හැමදාම කතා කළ හැකියි.
-----------------------------------------
පාදක වූ ලිපිය
ඩොස්ටොයෙව්ස්කිගේ "අපරාදය සහ දඬුවම" -කෙටි විවරණයක්


"අපරාදය සහ දඬුවම" - ඩොස්ටොයෙව්ස්කි - කෙටි ටෙලි නාට්‍ය මාලාව - ඉංග්‍රීසි උප සිරැසි සහිතව

ලොව මෙතෙක් ලියැවුණු හොඳම නවකතාව ලෙස
සමහර සුපතළ විචාරකයන් නම් කරන
ඩොස්ටොයෙව්ස්කිගේ "අපරාදය සහ දඬුවම"

එහි අන්තර්ගතයට ඉතාම සමීපව
රුසියන් බසින් නිර්මාණය කෙරුණු කෙටි ටෙලි නාට්‍ය මාලාවක්









මේ විශ්ව සාහිත්‍ය කෘතිය
මතු පරපුරට මනාව උරුම කළ යුතුය සිතා
මේ සා දීර්ඝ නවකතාවක් දෙවන වරටත් පරිවර්තනය කරමින්
හෙළ සාහිත්‍ය ක්ෂේත්‍රයට මහඟු සත්කාරයක් කළ
මුනිදාස සෙනරත් යාපා මහතාට අපේ කෘතඥපූර්වක ප්‍රණාමය.

මුනිදාස සෙනරත් යාපා පරිවර්තනය
ගොඩගේ ප්‍රකාශනයක්

20161224

ඩොස්ටොයෙව්ස්කිගේ "අපරාදය සහ දඬුවම" -කෙටි විවරණයක්


ලොව මෙතෙක් ලියැවුණු
හොඳම නවකතාව ලෙස
සමහර සුපතළ විචාරකයන් නම් කරන
ඩොස්ටොයෙව්ස්කිගේ "අපරාදය සහ දඬුවම"
ඒ ගෞරවයට ඉඳුරාම සුදුසු බව
අංශුමාත්‍රයක සැකයකින් තොරව පැවසිය හැක.
මුනිදාස සෙනරත් යාපා පරිවර්තනය
ගොඩගේ ප්‍රකාශනයක්
--------------------------------

ඩොස්ටොයෙව්ස්කි
පළමු පිටු දෙක තුන මගින්ම
කතාවට අප ඇද බැඳ ගන්නා ආකාරය...
සිත්ගන්නා සුළුය.
රැස්කොල්නොකෝව්ගේ ස්වභාවය සහ
ඔහුගේ ගුප්ත අරමුණ ගැන
විශාල තොරතුරු සමූහයක් සපයමින්
පේළියක් පේළියක් පාසාම
ඔහුගේ චරිතය ගොඩ නගන ආකාරය
ඉතාම අපූරුය.


රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ
ඔහු වෙසෙන පරිසරය
ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා
පැහැදිලි චිත්ත රූප මවයි.
පිටු ගණන් දීර්ඝ දෙබස් වලට පසුබිම් වූ
අතිශයින් සංකීර්ණ මනෝභාවයන්
ඉතා ව්‍යක්ත ලෙස හසුරුවමින්
පිටු 750ත් ඉක්මවන පොතක් පුරා
ඉතා සැහැල්ලුවෙන් ඉදිරිපත් කිරීම
මෙහි ප්‍රබලම විශේෂත්වයයි.

පිටු 750ත් ඉක්මවන පොතෙහි
පිටු සියයක් පමණ ගත වන විට
රැස්කොල්නිකොවු අපරාදය කළේය.
පිටු හය සියයකට ආසන්න වූ
ඉතිරි කොටස ඔහු ලබන දඬුවමයි.

සත්‍යය නම්
ඔහු අපරාදය කරන්නට සිතූදා පටන්ම
ඔහු දඬුවම් විඳිමින් සිටින බවයි.

ඉධ තප්පති පෙච්ච තප්පති
පව්කාරයා දැනුත් විඳවයි, පසුවත් විඳවයි බුදු වදන
කොතරම් ප්‍රායෝගික සත්‍යයක්ද?

තමන්ගේ දුක දකින්නට හැකි
සංවේදී සිතක් නැත්තෙකු
පව් කරන්නට සිතන මොහොතේ පටන්
තමා සිතින් විඳින දුක
පසක් වීම සිදු නොවන්නකි.

අපට එදිනෙදා හමුවන
සුචරිතයට දහමට එරෙහිව
අප හා ගැටෙන, පැටලෙන
අප දන්නා තුට්ටු දෙකේ පව්කාරයන්ට
සිය සිත ක්‍රියා කරන ආකාරය ගැන
කිසිදු සිහියක් පතක් නැත.
ඔවුන්ගේ රාගයත් ද්වේශයත් පිළිබඳව
ඔවුන් පසුවන්නේ මෝහයෙනි.

සාමාන්‍ය පව්කාරයන්
නිතර කරන පව්කාර ක්‍රියා,
තෙපළන අශීලාචාර වචන,
දුර්දාන්ත හැඟීම් හා සිතුවිලි
ඔවුන්ගේ ස්වාභාවික ස්වභාවය ලෙස
ඔවුන් විසින්ම පිළිගෙන ඇත.

එහෙත්
රැස්කොල්නිකොව් සිය සිත
මොහොතක් පාසා පිරික්සා බලන
සිත හා පොරබදමින් දිනන පරදින
අපූරු සවිඥාණික අපරාධකාරයෙකි.

ඩොස්ටොයෙව්ස්කිගේ අසමාන නිර්මාණ කුසලතාව
මනාව හෙළිවන්නේත් පිළිබිඹුවන්නේත්
ඔහු විසින් රැස්කොල්නිකොව්ගේ හිත පීරමින්
ඔහුගේ චිත්ත සන්තානය විච්ඡේදනය කරමින්
ඉතා දක්ෂ ලෙස සහ සියුම් ලෙස
විවිධාකාරයෙන් විවරණය කරන විටයි.

සාමාන්‍ය පව්කාරයෙක්, අපරාදකාරයෙක් මෙන්
මෝහයෙන් අපරාදයට යොමුවුණා නම්
රැස්කොල්නිකොවු චරිතය
අපේ පිළිකුළට බඳුන් වන්නට ඉඩ තිබිණි.
ඔහු වරදින් වළකින්නට දරණ වෑයම්
වරින් වර ව්‍යර්ථ වන්නේ
ඔහු මිදෙන්නට සිතන විට
යක්ෂයාගේ සහායෙන් මෙන් සිදුවෙන
අහඹු සිදුවීම් පෙළ ගැස්ම නිසාය.

ලිසවෙටාගේ ඉවත්ව යාම පිළිබඳ පුවත
අහම්බෙන් කණ වැටීම, පොරව හමුවෙන ආකාරය,
මග විවෘතව තිබීම සහ
ඔහු මුහුණ දෙන අවදානම් අවස්ථාවන්
විශවාසනීය අයුරින් පෙළ ගැස්වීම
කතුවරයාගේ ප්‍රතිභාව සහ
විශිෂ්ඨ පරිකල්පන ශක්තිය හෙළි කරයි.

මාමිලාඩෝව් සහ සෝනියාගේ චරිත විසින්
මුදු බවට පත් වුණ රැස්කොල්නිකොව්ගේ සිත
යළිත් දැඩි බවට පත්වන්නේ
මවගේ ලිපිය සහ සොයුරියගේ පරිත්‍යාගය
ඔහු සිතෙහි ඇති කරණ වෙනස නිසාය.

ලිසවෙටාගේ ඉවත්වයාම පිළිබඳ පුවත
අහම්බෙන් කණ නොවැටුණා නම්
අපරාදයට යොමුවීම කල් ගතවන්නට හෝ
වළකින්නට ඉඩ ඇතැයි
අප තුළ විශ්වාසයක් ගොඩ නැගෙන විටම
සියල්ල වෙනස් වී, සියල්ල සකස් වීම
ත්‍රාස ජනක කතාවක මෙන්
වහා වහා සිදු විය.

රැස්කොල්නිකොවු ඉතාම සංකීර්ණ චරිතයකි.
ඔහුගේ සිතත්, ඔහු කියන කරන දේත්
ඉතාම අවිනිශ්චිත වුවද
ඒ සියල්ලම ඉතා විශ්වාසනීය අන්දමින් ගොතා
තර්කානුකූලව අමුණා ඉදිරිපත් කරන්නට
ඩොස්ටොයෙව්ස්කි සමත් වෙනවා.

රැස්කොල්නිකොව් අපරාදය කරන්නට
මානසිකව සූදානම් වන ආකාරයත්
ඔහු තුළ පවතින දෙගිඩියාවත්
ඒ සූදානම තුළ ඔහු විඳින දුකත්
මානසික කැළඹීමත්
ඩොස්ටොයෙව්ස්කි මනාව නිරූපණය කරයි.

දරිද්‍රතාවයෙන්, වැරහැළි ඇඳීමෙන්,
නිරාහාර වීමෙන් හෝ විරැකියාවෙන්
රැස්කොල්නිකොව් නොතැවෙන බව අපට පැහැදිලිය.
ඔහු අපරාදයට පොළඹවන්නේ
මුදල් කෙරෙහි කෑදරකම නොවන බව
අපට පෙනෙන්නට සලස්වන කතුවරයා
ඔහු තුළ අවිඥාණිකව ක්‍රියා කරන්නේ
එකල තරුණ ශිෂ්‍යයන් සිත් තුළ
පොදු ආකල්ප ලෙස වැඩෙමින් තිබුණ
සමාජවාදී විප්ලවයෙහි පදනම වූ
ධනපතියාට ඇති පිළිකුල සහ
ඔහු නිසා දුක් විඳින පිරිස බවට
ඩොස්ටොයෙව්ස්කි අපට ඉඟි කරනවා පමණි.
පීඩිත පංත්ය වෙනුවෙන්
ධනපතියා මර්දනය කරන
විරුවෙක් දඬුවම් ලැබිය යුතුද
යන පැනය රැස්කොල්නිකොව් ලවා
අපෙන් අසන ඩොස්ටොයෙව්ස්කි
ඒ අර්ථ කථනය වැරදි විය හැකි බව
සමස්ත කෘතියෙන් හඟවයි.

රැස්කොල්නිකොව්ගේගේ අපරාදය ගැන
ඔහුගේ සිතෙහි පවතින අවිනිශ්චිත බව
අප මේ කතාව සමග ඇද බැඳ තබන
ප්‍රධානම නොසිඳෙන රැහැනයි.

එක් ඡේදයක අප කරන පූර්ව නිගමන
ඊළඟ ඡේදයෙන් වෙනස් වෙද්දී
පොත ඉවත තැබීම ඉතා අසීරුය.
එපමණක් නොව
යහපත් නවකතාවක විශිෂ්ඨ ලක්ෂණ
සියල්ලක්ම පාහේ මෙහි නොඅඩුව දක්නට ඇත.

හොඳ නවකතාවක
ප්‍රධානම ලක්ෂණය නම්
කිසියම් චරිතයක හෝ කිහිපයක
නිශ්චිත ගැඹුරු අරමුණක්,
ප්‍රබල ආධ්‍යාශයක් වටා දිවෙන
කතා තේමාවක් පැවතීමයි.
රස්කොල්නිකොවුගේ අපරාදය
ඒ ගුණයෙහි උපරිමයකි.

ත්‍රස්තවාදී කැරැල්ලකින් හෝ
යුද්ධයකින් දහස් ගණන් මිනිසුන් මරන
ආක්‍රමණශීලී මිනීමරු නායකයන්
ඔවුන්ට බාධා පමුණුවන මිනිසුන්
චකිතයකින් තොරව මරා දමා
ඉන් යහපතක් වූ මිනිසුන් අතර
මහා රණ විරුවන් ලෙස
ඒ මිනිසුන්ගේ ගෞරවයට බඳුන් වෙයි.

රැස්කොල්නිකොවුටත් අවශ්‍ය වූයේ
එවැනි යහපතක් සඳහා ඔහුගේ මට්ටමින්
ඔහුට පෙනෙන අයුරින් හානිකර චරිතයක්
මොලොවින් තුරන් කර දමා
තමාද යහපතක් කළැයි තෘප්තිමත් වීමයි.

මිනිසෙකු විසින් තව මිනිසෙකු මැරීම
තර්කයට අනුව මොනතරම් ගැඹුරින්
සාධාරණීකරණය කළත්
මිනිසත් බව සහ සාධාරණත්වය හමුවේ
ඊනියා වීරක්‍රියාව කොතරම් නින්දිතද යන්න
නොයෙක් කෝණවලින් වටහාගන්නට ලැබීම
ඔහු කළ අපරාදයට ඔහු ලද දඬුවමයි.

රැස්කොල්නිකොවුගේ අපරාදය සහ
ඔහු ලද අපූරු දඬුවම තේමා කොට
මනාව වියන ලද මේ නවකතාවෙහි
යහපත් නවකතාවක අඩංගු වන
තවත් විශිෂ්ඨ ලක්ෂණ නොඅඩුව දක්නට ලැබෙයි.

අපූර්ව චරිත ගොඩ නැගීම,
ඒ චරිත පිළිබඳව,
ඒ චරිතවල ඉතිහාසය පිළිබඳව
ඔවුන්ගේ ප්‍රශ්න, හැඟීම්, හැසිරීම්, ස්වරූපය ආදී
විවිධ ලක්ෂණ පිළිබඳව
මෙහි කතුවරයාට ඇති ගැඹුරු අවබෝධය
අතිශයින් ප්‍රබලය.

ඉතා සීරුවෙන් සැලසුම් සහගතව
අපරාදයක් කරන්නට අර අඳින රැස්කොල්නිකොව්
බේබදු මාමිලාඩෝව් ගෙදරට ඇරලන්නට ගිය විට
ඔහු අත ඇති කාසි කිහිපය
මාමිලාඩෝව්ගේ ගෙදර ජනෙල් පඩිය උඩ තැබීම
ඔහුගේ චරිතයෙහි ඇති
අනුන්ගේ දුක දැකීමේ හැකියාව
අපට පෙන්වා දෙයි.
ඔහු ඒ පරිත්‍යාග කළ මුදල
නැවත ගන්නට සිතීමද අපූරුය.
ඔවුන්ගේ සංකීර්ණ චරිත ලක්ෂණ අනුව
ඔවුන්ගේ සීමාවන් සහ පරාසය තුළ
චරිතයට සාධාරණය ඉටු කරමින්
තාත්විකව හැසිරෙති.

ප්‍රධාන චරිතය වූ
රැස්කොල්නිකොවු අපරාධකරුවෙක් වුවද
මානුෂික දුර්වලතා බහුල වුවද
ආගමික හැඟීම් වල බලපෑමකින් තොරව
අනුන්ගේ දුකෙහි උණුවන හදක් ඇති
නිස්සරණාධ්‍යාශයෙන් යුතුව මිනිසුන්ට යහපත කරන
තර්කානුකූල බුද්ධියක්, විශිෂ්ඨ පරිකල්පන ශක්තියක්,
ගරු කටයුතු අභිමානයක් ඇති
විශිෂ්ඨ චරිතයකි.

දෙවෙනි පරිච්ඡේදය
සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ
බේබදු මාමිලාඩෝව්ගේ ජීවිතය සඳහාය.

බේබද්දෙකුගේ කලකිරීම සහ විවෘත භාවයත්
ඔහුගේ අසරණ බවත්, මානුෂික ගුණත්
මින් මනාව පිළිබිඹු වෙයි.

පේළියෙන් පේළියට සිත යොමු කරගෙන
චිත්ත රූප මවා ගනිමින් සෙමින් කියවන විට
ඔහුගේ ජීවිතය අප හමුවේ මැවෙයි.
ඔහුගේ ස්වරූපය එක් පිටුවක් පුරාම විස්තර වෙයි.
ඔහුගේ දීර්ඝ කතාව අතරතුර
ඔහු අවට පරිසරයත්, එහි ගඳ සුවඳත්
එහි සිටින අයත් ඔවුන්ගේ ප්‍රතිචාරත්
ඩොස්ටොයෙව්ස්කි ඉතා සැලකිල්ලෙන් විස්තර කරයි.

සුලු මවගේ කෙණෙහිලිත් පවුලෙහි දරිද්‍රතාවයත් නිසා
ගණිකා වෘත්තියට යොමුවෙන සොනියා උදාර චරිතයකි.

සාමාන්‍යයෙන් කෲර ගැහැණියක ලෙසින්
බේබදු මාමිලාඩෝව්ගේ ප්‍රකාශ වලින්
අප සිත්හි මැවෙන ඔහුගේ බිරිඳගේ අඳුරු චරිතය
සෝන්යා සිය පළමු ආදායම ඈට දුන් විට
ඈ සෝන්යාගේ දෙපා සිඹින මොහොතේ වෙනස්වී
අපේ ගෞරවයට පාත්‍ර වෙයි.
එහෙත් ඔහු ඒ ගෞරවය
දිගටම ආරක්ෂා කරන්නේ නැත.

ව්‍රෙක අපේ හෙළා දැකීමට, නින්දාවට මෙන්ම
යළිත් අපේ ගෞරවයට, කරුණාවට පාත්‍ර වන ලෙස
එකම චරිතයක මිශ්‍ර හොඳ නරක
විශ්වාසනීය අයුරින් මූර්තිමත් කරන්නට
ඩොස්ටොයෙව්ස්කිට ඇති හැකියාව මැනගන්නට
කවර චරිතයක් වුව ප්‍රමාණවත්ය.

කතාවට එක් කරන වැදගත් චරිත
කතාවට දක්වන දායකත්වය නොඅඩුව පවතින හෙයින්
අයාලේ විත් අතුරුදහන් වෙන සක්ක චරිත
නිතර අපට හමු නොවෙයි.
එවනි චරිත පවා ඔහු සැලකිල්ලෙන් මවයි.
බේබදු මාමිලාඩෝව්ගේ ආත්ම කථනයට සවන් දෙන්නට
උඩුමහලින් බැස ඔහු පිටුපස වාඩිවී සවන් දෙන
ගෙය අයිතිකාරයා පවා ඉතා පැහැදිලි
ත්‍රිමාණ චරිතයකි.

අද එක් කරන සුළු චරිතයක්
පසුව ප්‍රධාන චරිතයක් ලෙස විකාශනය වන අයුරු
ඉතා සිත්ගන්නා සුළුය.

මෙසේ කෙමෙන් විකාශනය වන ෆෝර්පිරි
විශිෂ්ඨ රහස් පරීක්ෂකයෙකි.
ඔහු රැස්කොල්නිකොවු සමග සියුම් ලෙස ගැටෙමින්
හරි හරියට කෙළින මානසික දාදු කෙළිය
කෘතියෙහි ඉතා රසවත් අංගයකි.

ස්විඩ්‍රිගේයිලෝවුගේ චරිතය
ගොඩ නගන අයුරුත් ඉදිරිපත් කරන අයුරුත්
ඔහුගේ අවසානය ලඟාවන අයුරුත්
ඉතාම සියුම්ය.
ඔහු කරන අපරාධ සහ
ඔහුගේ නරුම ස්වභාවය සමග
රැස්කොල්නිකොවුගේ අපරාදයත්
ඔහු විඳින දඬුවමත් ඔහුගේ ස්වභාවයත්
නිතැතිම සැසඳන්නට අප පෙළඹෙන්නෙමු.

ස්විඩ්‍රිගේයිලෝවුගේ ජීවිතයේ
අවසන් පැය කිහිපය ඔහු ගතකරන අයුරු
ඉතාම අනුවේදනීය අයුරින් සහ
හෘදයාංගමව ඉදිරිපත් කරන්නට
කතුවරයා සමත් වී ඇත.
ඔහුගේ පාපී චරිතය වෙනස් කරන්නට
රැස්කොනිකොවු සහ ඩූන්යාගේ චරිතවල
උදාර ගුණ බලපාන අයුරුත්
ඒ සඳහා හේතුවන අවසාන සිදුවීමත්
ඉතාම විශිෂ්ඨ අයුරින් නිරූපණය වී ඇත.

රැස්කොල්නිකොවුගේ චරිතයට දැඩිම බලපෑම එල්ල වූ
සෝන්යාගේ චරිතය ඉතා සරලය.
දේව භක්තියෙන් සහ මානව දයාවෙන් පිරිපුන් ඇය
රැස්කොල්නිකොවුගේ පරිවර්තනයට හේතු වෙන අයුරු
අතිශයින් සියුම් ආකාරයෙන් ගොතා ඇත.

රැස්කොල්නිකොවු සෝන්යා හඳුනාගත්තේ
ඇගේ පියා ඇය ගැන පැවසූ වදන් කිහිපයකිනි.
ඒ මොහොතේ පටන් ඔහු මෙන්ම අපද
ඇය විශ්වාස කරන්නට වීම
කතුවරයාගේ දක්ෂකමයි.

සෝන්යා සහ ඩූන්යා දෙදෙන
රැස්කොල්නිකොවුගේ අපරාදය දෙස බලන
ආකල්ප එකිනෙකට වෙනස්ය.
සෝන්යා ඔහු දෙස බලන්නේ
පොදුවේ ඕනෑම අපරාධකාරයෙකු
තමාටම දඬුවම් පමුණුවාගත යුතුය
නැත්නම් පසුතැවිලි වී සමාව අයැදිය යුතුය යන
පුළුල් ආකල්පයෙනි.

ඩූන්යා ඔහුට සමාව දෙන්නේ
ඇයටම සීමාවූ ආත්මාර්ථකාමී හේතු මතය.
ඔහු ඇගේ සහෝදරයා නිසාය.
ඇගේ මවගේ පුතා නිසාය.
ඇයට හිතවත් පාපී ස්විඩ්‍රිගේයිලෝව් පවා
ඇයට හානියක් කරන තුරු
ඩූන්යාගේ අප්‍රසාදයට බඳුන් නොවෙයි.

අපරාදය පිළිබඳව
රසුමිඛින්, සොසිමෝව සහ ලූෂින් කරන සාකච්ඡාවේදී
අපරාධකරුවා කෙබඳු අයෙක්දැයි
රසුමිඛින් සහ ලූෂින් කරන විග්‍රහ නිසා
ඔවුන් දෙදෙනාගේ චරිත අතර පරතරයද
ඔවුන්ගේ පරිකල්පනයෙහි පරතරයද
අප මැනවින් දකිමු.
ඉන් අනතුරුව සිදුවෙන සිදුවීම් වලින් වන්නේ
අපේ හැඟීම් තව තවත් තහවුරු වීමයි.
ඩූන්යා රසුමිඛින්ට හිමි විය යුතුයැයි
අපිම පූර්ව නිගමනයකට එළඹෙමු.

ෆොර්පිරිගේ තීක්ෂණ විචක්ෂණ ශීලී බව,
පරිකල්පනය සහ රහස් හෙළි කරගැනීම
පොලිස් නිලධරයන්ගේ උදාසීන කුසීත කම් සමග
සංසන්දනය වන්නේද එලෙසින්මය.

මෙසේ සැසඳෙන අයුරින් චරිත යොදාගෙන
චරිත ලක්ෂණ ප්‍රබලව මතු වන්නට සැලැස්වීම
මෙහි විශේෂ ලක්ෂණයකි.

රැස්කොල්නිකොවු, ෆෝර්පිරි, රසුමිඛින්,
ස්විඩ්‍රිගේයිලෝවු, මාමිලාඩෝවු යුවළ, සෝන්යා,
ඩූන්යා ආදී ප්‍රධාන චරිත පමණක් නොව
අවශේෂ කුඩා චරිත පවා
දෙබස් හසුරුවන ආකාරයත්, දෙබස් වල රිද්මයත්
එකිනෙකාට බොහෝ සෙයින් වෙනස්ය.
කතුවරයාගේ විස්තර මගින්
ඔහු අප සිතෙහි මවන චරිතයත්
ඔවුන්ගේ දෙබස් වලින් අප දකින
ඔවුන්ගේ චරිත ස්වභාවයත් මනාව පෑහෙයි.
මේ ගුණය නොනසා රැකගන්නට
පරිවර්තක මුනිදාස සෙනරත් යාපා විසින්
දරන ලද අනුපමේය වෙහෙසද ගරුකටයුතුය.

ඉංග්‍රීසි බසින් ‍YOU
සිංහල පරිවර්තනයකදී
ඔබ වහන්සේ, ඔබ, නුඹ, උඹ, තෝ, තමුසේ,
තමුන්නාන්සේ ආදී විවිධ වචනවලින්
ඉදිරිපත් කළ හැකිව තිබෙන අතර
සුදුසුම වචනය තෝරා ගැනීමට නම්
පරිවර්තකයා ඒ චරිත ස්වභාවයන් සහ
ඒ චරිතවල බස හැසිරවීමත්
ඒ ඒ චරිත අතර පවතින සම්බන්ධයත්
මනාව සනිටුහන් කරගත යුතුය.
පරිවර්තකයා මේ වෙනස් කම් හඳුනාගෙන
ඔවුන්ගේ බස මනාව හැසිරවීම
මේ පොතට නොමඳ ආලෝකයකි.

යහපත් නවකතාවකට අත්‍යාවශ්‍යම
විශිෂ්ඨ ලක්ෂණයක් වන 'ගැටුම'ද
මෙහි පළමු පිටුවේ පටන්ම
දර්ශනයෙන් දර්ශනයට,
ජවනිකාවෙන් ජවනිකාවට, චරිතයෙන් චරිතයට
දෙබසින් දෙබසටම පමණක් නොව
බොහෝ අවස්ථාවන්හි
වාක්‍යයෙන් වාක්‍යයට පවා දක්නට ලැබෙයි.

මේ කෘතියෙහි ගලායාම සමග සුසංගතව
කිසිදු අභව්‍ය භාවයකින් තොරව සහ
ඉතා විශ්වාසනීය අයුරින් ගොඩ නැගෙන
නිරන්තර නාටකීය අවස්ථාවන්
පිටුවෙන් පිටුවට පාහේ දක්නට ලැබෙයි.

අප සිතන ආකරයෙන් බොහෝ සේ වෙනස්ව සහ
අප කිසිසේත් නොසිතන අයුරින් ගැට වැටෙමින්
විටින් විට කතාව කොතරම් දඟ ගැසුණත්
අපේ රස වින්දනයට බාධා වන කඩා වැටීම්
දක්නට නැත.

මේ අපූර්ව නාටකීය අවස්ථාවන් වල
විශ්වාසනීය ගුණයට රැකෙන්නට
ප්‍රධානම හේතුව නම්
කතුවරයා විසින් අනාගතය වෙනුවෙන්
ඒ ඒ සිදුවීම් වලට සම්බන්ධව
ඉතා සියුම් ලෙසත් පැහැදිලිවත්
සිදුවීම් වලට ගැලපෙන අයුරිනුත් සඟවා ඇති
පූර්ව ඉඟි කිරීම්ය.

කිසියම් සිදුවීමක් සිදු වන විට
ඒ සිදුවීමෙහි අපූර්වත්වය සැහැල්ලු කරමින්
අප අතීතයෙහි දුටු අදාළ යමක්
අපේ සිහියට නැගෙයි.
ඒ සියල්ල අප දන්නා චරිත සහ
අප මවාගත් පරිසරයටත්, වාතාවරණයටත්
මනාව සැසඳෙන බැවින් සිදු වන්නේ
අප වඩාත් විශ්වාසනීය ලෙස
කතාවට බැඳීමයි.

මේ කෘතියෙහි මා දකින
අති ප්‍රබල විශේෂත්වය නම්
දෙවියන් වහන්සේ තබා ඇති
මධ්‍යස්ථ ස්ථානයයි.

මෙහි ප්‍රබල දේව භක්තියෙන් යුතු චරිතය
වෘත්තියෙන් ගණිකාවක් වූ සෝන්යාය.
ඇගේ කුඩා සොයුරිය පෝල්යාද
ඒ වෘත්තියටම බාග විට ගොදුරු වේයැයි
රැස්කොල්නිකොවු අනාවැකි කියන විට
" නෑ. නෑ.. ඒ සා භයානක දෙයකට
දෙවියන් වහන්සේ කිසිම විටක ඉඩ තබන්නේ නැහැ"
සෝන්යා කියන්නීය.
" එහෙත් අනෙක් අයට එසේ වීමට ඒ වහන්සේ ඉඩ හරිනවා?"
රැස්කොල්නිකොවු අසයි.
ඔහුගේ තර්කය ඇය දුටුවද
සෝන්යාගේ දේව භක්තිය අචලය.

රැස්කොල්නිකොවුගේ දඬුවම කූටප්‍රාප්තියට පත් කරවන
චිත්ත පරිවර්තනය සඳහා ප්‍රබලම සාධකය වූයේ
ඔහුගේ අපරාදය කෙරෙහි සෝන්යා දැක්වූ
පුද්ගල හෙළා දැකීමෙන් තොර සාධාරණ විනිශ්චයත්
ඇගේ මානව දයාවෙන් ආලෝකවත්වූ
අචල දේව භක්තියත්ය.

මේ කතාවෙහි චරිත අතර
ඉතා අඩුවෙන්ම දක්නට ලැබෙන චරිත අතර
දෙවියන් වහන්සේද කෙනෙකි.

දේව විශ්වාසය බැහැර නොකරමින්
දෙවියන් වහන්සේ භාවිතා නොකරමින්
දෙවියන් වහන්සේ ඇතත් නැතත්
ධාර්මිකයා යහපත් බවත් අධාර්මිකයා හානිකර බවත්
අතිශය සූක්ෂ්ම ලෙස අපට තහවුරු කරන්නට
ඩොස්ටොව්යෙස්කි සමත්වී ඇත.



=============

Lal Kuruppu[[ මගේ කියවීමේදී නම්,
ධනපති-පිළිකුල හෝ සමාජවාදී පරමාදර්ශයක්
රාස්කොල්නිකොෆ් ගේ අපරාදයට හේතුවු බවක්
ඉස්මතු නොවිනි.]]

පීඩිත පංතිය නගා සිටුවන්නට
ධනවාදියා මරන්නට වුවත් සූදානම් වන
සමාජවාදී විප්ලවවාදී තරුණ උණ
රැස්කොල්නිකොවු තුළත් තිබුණ බව
තේරුම් ගන්නට නම්
ඔහු මුහුණ දුන් අවස්ථා සහ
ඔහුගේ හැසිරීම්, වචන සහ සිතුවිලි
සියුම්ව විග්‍රහ කළ යුතුයි.

එසේ වුවත් ඒ සාධකය
ඔහුගේ මානසික කැළඹීමෙහි එක් සාධකයක් පමණයි.
පරමාදර්ශය නොවෙයි.
----------- 
සම්පූර්ණ ලිපිය
රැස්කොල්නිකොවු අපරාදය කළේ සමාජවාදී ආකල්ප නිසාද?



======================
මේ විශ්ව සාහිත්‍ය කෘතිය
මතු පරපුරට මනාව උරුම කළ යුතුය සිතා
මේ සා දීර්ඝ නවකතාවක් දෙවන වරටත් පරිවර්තනය කරමින්
හෙළ සාහිත්‍ය ක්ෂේත්‍රයට මහඟු සත්කාරයක් කළ
මුනිදාස සෙනරත් යාපා මහතාට අපේ කෘතඥපූර්වක ප්‍රණාමය.


මුනිදාස සෙනරත් යාපා පරිවර්තනය
ගොඩගේ ප්‍රකාශනයක් 
========================================ඩොස්ටොයෙව්ස්කිගේ "අපරාදය සහ දඬුවම"
එහි අන්තර්ගතයට ඉතාම සමීපව
රුසියන් බසින් නිර්මාණය කෙරුණු
කෙටි ටෙලි නාට්‍ය මාලාවක්
ඉංග්‍රීසි උප සිරැසි සහිතව
ඔබට නැරඹිය හැක. 

http://sansaranee.blogspot.com/2016/12/blog-post_25.html


 

කර්මයක් පල දෙන්න මීට වඩා හොඳ ක්‍රමයක් තියනවද?




කර්ම විපාක දෙන්න
 සොබා දහම අපූරු ක්‍රම සපයනවා.
කර්මය කළ තැනැත්තාගෙම සිතුවිලි මුල් වෙලා
 කර්ම විපාකය විඳින්න අවශ්‍ය දේ
 ඔහුම කර ගැනීම එවැනි අපූරු ක්‍රමයක්.

මිනීමරුවන් සිය දිවි නසා ගැනීම
 ඒ සඳහා හොඳම උදාහරණයක්.

සම්මුති සත්‍යයට අනුව
 ඔවුන් සතුන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.
ඔවුන් කරන්නෙ උදාර කාර්යයක්.

ඔවුන්ගෙ සිත් වැඩ කරන ආකාරය කුමක් වුවත්
 පරමාර්ථ සත්‍යය මෙයයි.
හරකෙක් හංවඩු ගහපු මිනිහෙකුට
 ඒ කර්මය පල දෙන්න
 මීට වඩා හොඳ ක්‍රමයක් නෑ.

මේ පිරිස උදාර කාර්යයක් කරනවා
 කියල හිතාගෙන මේ දිහා බලන අයට
 හංවඩු ගැහීමෙන් සතුන් විඳින දුක
 මතක් වෙන්නෙ නෑ.
ඔවුන්ට පෙනෙන්නෙ
 මේ අය පරිත්‍යාගයක් කරනවා වගෙයි.

අපි සතුන් හංවඩු ගැහුවොත්
 අපිටත් මේ දුක විඳින්න වෙයි කියා හිතන එක
 වඩාත් ප්‍රබලයි.

"අපි පෙර ජාතියෙ සතුන් හංවඩු ගහන්න ඇති.
ඒ නිසා අද මේ වේදනාව විඳිනවා" කියල
 ඔවුන් පිළිගත්තා නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබේවි.

හරකෙක් හංවඩු ගහපු මිනිහෙකුට
 ඒ කර්මය පල දෙන්න
 මීට වඩා හොඳ ක්‍රමයක් නෑ.

මහණෙනි,
මේ පුද්ගලයෝ තුන්දෙනෙක්
 ලොව්හි විද්‍යාමාන වෙත්.
කවර තුන් දෙනක යත්:
මහණෙනි,
මෙලොවෙහි කිසි පුද්ගලයෙක්
1. ව්‍යාපාද සහිත කායසංස්කාරය රැස් කෙරෙයි.
2. ව්‍යාපාද සහිත වාක්සංස්කාරය රැස් කෙරෙයි.
3. ව්‍යාපාද සහිත මනඃසංස්කාරය රැස් කෙරෙයි.

හේ ව්‍යාපාද සහිත කායසංස්කාරය රැස් කොට,
ව්‍යාපාද සහිත වාක්සංස්කාරය රැස් කොට,
ව්‍යාපාද සහිත මනඃසංස්කාරය රැස් කොට
 ව්‍යාපාද සහිත පැවැත්මක් සකස් කරගනියි.

ව්‍යාපාද සහිත පැවැත්මක් සකස් කරගත් නිසා
 ව්‍යාපාද සහිත ස්පර්ශ ලබයි.
නිරයෙහි මෙන් ඒකාන්තයෙන්ම
 ව්‍යාපාද සහිත වෙදනා විඳින්නේ ය

20161222

යෝනිසෝමනසිකාරය සහ සම්පජානෝ සතිය සමානද?


යෝනි සෝමනසිකාරය සහ සම්පජානෝ සතිය
එකම ස්වභාවයක්ද දෙකක්ද.?

යෝනිසෝමනසිකාරය කුමක්ද කියා
ප්‍රායෝගිකව වේදනා, සංඥා ආශ්‍රිතව
බුදුන් වහන්සේ විස්තර කළ තැනක්
මෙතෙක් මට සොයාගන්නට ලැබී නැහැ..

සම්පජානෝ සතිය පැහැදිළිව දක්වා තියන අයුරින්
යෝනිසෝමනසිකාරය විස්තර කර නැති නිසා
වචන අනුව අනුමාන කරන්න සිදු වෙනවා.

සමහර පරිවර්තකයන් විසින්
නුවණින් දැකීම ලෙස
යෝනිසෝමනසිකාරය හඳුන්වන නමුදු
ඒ නුවණ කවර ආකාරදැයි
අත්දැකීමක් ලෙස හඳුනා ගන්න හැකියාවක් නැහැ.

අත්දැකීමක් ලෙස යෝනිය යනු
යමක් උපදින ජනිත වෙන තැන ලෙස
අපට පිළිගන්න පුලුවන්.
මේ මොහොතට අදාළව
ස්පර්ශයක් වේදනාවක්
උපදින තැන පටන්ම සිහියෙන් වසන කෙනෙකුට
රාග ද්වේශ දුරු කිරීම පහසුයි.

මහණෙනි,
රාගයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි.
කවර දෙදෙනෙක යත්:
සුභ නිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙකයි.
මහණෙනි,
මොහු වනාහි රාගයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

මහණෙනි,
ද්වේෂයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි.
කවර දෙදෙනෙක යත්:
පටිඝ නිමිත්ත හා අයොනිසොමනසිකාරය යන දෙදෙන ය.
මහණෙනි,
මොහු වනාහි ද්වේෂයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

මහණෙනි,
අයෝනිසෝමනසිකාරය නිසා
නූපන් කාමච්ඡන්දයත් උපදී.
උපන් කාමච්ඡන්දයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නුපන් ව්‍යාපාදයත් උපදී.
උපන් ව්‍යාපාදයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් ථීනමිද්ධයත් උපදී.
උපන් ථීනමිද්ධයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී.
උපන් උද්ධච්චකුක්කුච්චයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් විචිකිච්ඡාවත් උපදී.
උපන් විචිකිච්ඡාවත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.

රාගයත් ද්වේශයත් ඇති වෙන විටම
දකින්නට හැකි පුද්ගලයාගේ
රාගයත් ද්වේශය නොවැඩෙන්නේ කෙසේද.?

සුභ නිමිත්ත > රාගය
පටිඝ නිමිත්ත > ද්වේශය

යම් නිමිත්තකින් රාගය හෝ ද්වේශය උපදින විට
ඒ රාගය හෝ ද්වේශය දකින්නගේ නිමිත්ත වන්නේ
උපන් රාගය හෝ ද්වේශයයි.
නිමිත්ත තමා තුළ උපන් සංස්කාරය නිසා
සංස්කාරය උපාදාන වන්නට අවස්ථාව නැති වෙයි.

ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන්නට
යෝනිසෝමනසිකාරය අවශ්‍යය.

අවිද්‍යා සූත්‍රයෙ මෙසේ සඳහන් වෙනවා.
ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ වූවා යෝනිසෝමනසිකාරය පුරයි.
යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සති සම්ප්‍ර‍ජන්‍යය පුරයි.

සති සම්ප්‍රජන්‍යයට යෝනිසෝමනසිකාරය
අවශ්‍ය බව සම්පජානෝ සතිය කවරේදැයි විමසීමෙන්
පැහැදිළි වෙනවා.

සම්පජානෝ සතිය කවරේදැයි
බුදුන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය.

1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;

1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

සරලව
සති සම්පජන්‍ය නම්
1, විඳින සියලු වේදනා
2, දැනෙන සියලු සංඥා
3, ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.

පාරෙ ඇවිදගෙන යන කෙනෙක්
අයිස්ක්‍රීම් එකක රූපයක් දැකලා
අයිස්ක්‍රීම් එකක් ගන්න පෙළඹෙනවා.
සුභ නිමිත්ත > රාගය
සාමාන්‍ය කෙනෙකුගෙ සිත තියෙන්නෙ
අයිස්ක්‍රීම් එක ලබා ගැනීම පිළිබඳවයි.
ඔහුට රූපයෙන් ඇතිවූ රාගය පෙනෙන්නෙ නෑ..

ඔහුට යෝනිසෝමනසිකාරය තියනවා නම්
ඔහු රාගය ඇති වෙන අයුරු දකිනවා.
ඔහු රාගය උපදින විටම දකිනවා.
ආරම්භයෙදිම දකිනවා.
මේ මනසිකාරය නැතුව
සම්පජානෝ සතිය ඇති වෙන්නෙ නැහැ.

ඔහුට සම්පජානෝ සතිය ඇත්නම්
ඉන් ඇතිවෙන සුඛ වේදනාවත්
ඒ වේදනාව හඳුනා ගැනීමත්
අයිස්ක්‍රීම් එක කන්න ඇතිවෙන
කාමච්ඡන්දය නිසා ඇතිවෙන විතර්කත් සමග
ඔහු ඒ සඳහා ක්‍රියා කරද්දි ඇතිවෙන
වේදනා, සංඥා විතර්කත් යන
සියල්ලම ඔහු දකිනවා.

ඔහුට සම්පජානෝ සතිය ඇත්නම්
ඔහු සමස්ත අත්දැකීම තුළ ඇති වෙන
වේදනා, සංඥා, විතර්ක
ඇතිවෙන, පවතින, නැතිවෙන අයුරු දන්නවා.

අවිද්‍යා සූත්‍රයෙ මෙසේ සඳහන් වෙනවා.
ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ
වූයේ යෝනිසෝමනසිකාරය පුරයි.
යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සති සම්ප්‍ර‍ජන්‍යය පුරයි.


සති සම්ප්‍රජන්‍යය වැඩෙන්නට
යෝනිසෝමනසිකාරය හේතුවෙන බව
මෙයින් වැටහෙනවා.

ඒ අනුව
යෝනිසෝමනසිකාරය සහ  සති සම්ප්‍රජන්‍යය
 එකක් නොවෙයි.
යෝනිසෝමනසිකාරය උල්පත නම්
සති සම්ප්‍රජන්‍යය ඇළ දොළ ගංගා වගෙයි.

රහත් නොරහත් කාටවත් - කියනු බෑ " දැන් මම රහත්. "


විනය රැකීම ශාසනයෙහි ආයුෂ ලෙස
බුදුන් වහන්සේ හැඳින්වූහ.

බුදු සසුනෙහි ශ්‍රාවකයෙකු ලබන
අග්‍රඵලය රහත් බවයි.

එසේ වුවද
විනයට අදාළව
භික්ෂූන් අතර රහතන් වහන්සේ
විශේෂ පුද්ගලයෙකු වශයෙන් නොසැලකෙයි.

රහත්වෙන තැනැත්තාගේ රහත් බව මත
ඔහු විශේෂ පුද්ගලයෙකු ලෙස සලකන්න්නට
විනය නීති නැත.
රහතන් වහන්සේද සාමාන්‍ය භික්ෂුවක මෙන්
විනය නීති රැකිය යුතුය.
විනයානුකූලව ඔහුට වඩා උසස් භික්ෂූන්ට
නිසි සැලකිලි කළ යුතුය.

කෙනෙකුගේ රහත් බව
සාමාන්‍ය ජනතාවට  උපාධියක් වැන්න.
ඔහුගේ උපාධිය නිසා
ඔවුන් උපාධිධරයෝ නොවෙත්.
උපාධියක් ඇති අයට
විශේෂ සැළකිලි කරන පිරිස්ද
සමාජයෙහි වෙසෙයි.
ඒ ඔවුන්ගේ හීනමානය මත කරන දෙයකි.

විනය නීති වලින් නිදහස් නැති
රහතන් වහන්සේලාගේ ක්‍රියාවන් මත
විනය නීති පැණවුණ අවස්ථාද ඇත.
ඒ නිසා මාර්ග ඵල ලැබීම
බෞද්ධ භික්ෂුවකට විනය නොසැලකීමට
හේතුවක් නොවෙයි.

සැබැවින්ම සිදු වන්නේ
කිසිදු චෛතසික බරක් වෙහෙසක් නැතිව
විනය නීති සියල්ල රැකීමට හැකි
කායික මානසික සංවරය
මග ඵල ලද කෙනෙකුට ඇති නිසා
විනය රැකීම ඔහුට සාමාන්‍ය දෙයක් වීමය.

අතිවිශාල විනය නීති අතර
පාරාජිකා හතර විශේෂ තැනක් ගණියි.
පාරාජිකාවක් නිසා
පැවිද්ද අහිමි කරගන්නා කෙනෙක්
නැවත මේ ජීවිතය තුළ
පැවිද්ද ලද නොහැකි අයුරින්
පරාජයට පත් වෙයි.

මම රහත්, මම සෝවාන් ආදී වශයෙන්
තමා ලද විශේෂ මග ඵල, ධ්‍යාන ආදිය ඇතැයි
නැති උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇතැයි
මුලාවීමකින් හැර මුසාබසින් රැවටීම
පාරාජිකා වීමට එක් හේතුවකි.

උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති කෙනෙකු
තමන් තුළ ඇති ධර්ම තවෙකෙකුට කීම
වරදක් නොවන්නේ යැයි
යම් කෙනෙකු තර්ක කළ හැක.

එහෙත් 
රහත් වූ භික්ෂුවක් වුවද
පැවිදි උපසම්පදා වූ කෙනෙකුට හැර
ගිහියන්ට හෝ
උපසමපදා නොවූ සාමණේර භික්ෂූන්ට හෝ
උත්තරී මනුෂ්‍ය ධර්මයන් පැවසීම
පාරාජිකා නොවුවත් පචිති ඇවැතකි.

ඒ අනුව
තමන් රහත් යැයි ප්‍රසිද්ධියේ පැවසීම
රහත් වූ භික්ෂුවකට වුවද නුසුදුසු මන්ද
යන ගැටළුව අපට ඇති වේ.

මින් පළමුවැන්න විය හැක්කේ
තමන් රහත්යයි පවසන තැනැත්තා වටා
ඔහුගේ රහත් බවට ගෞරවයෙන් රැස්වෙන පිරිස් විසින්
අන් භික්ෂූන් හෙළා දැකීමයි.
මේ වරද සිදුවෙන අයුරු
අද අපට දකින්නට ලැබෙයි.

තමන් රහත්යයි ප්‍රසිද්ධියේ පවසන
සිරිධම්ම හිමිගේ ගෝලයන් විසින්
" අපේ ශාස්තෘ නම්
ජීවමාන සමන්ත භද්‍රයාණෝය.
සිද්ධාර්ථ ගෞතම මැරිලා"යි
බුදුන් වහන්සේට පවා අවමන් කරනු අප දකිමු.

එක් භික්ෂුවක් විශේෂ කරගෙන
විශේෂයෙන් සැලකීම
බුදු සමයෙහි පවා සිදුවූ සාමාන්‍ය දෙයක් වුවද
අන් භික්ෂූන් හෙළා දැකීම
සසුනට ආපත්තියකි.

තමන් රහත්යයි ප්‍රසිද්ධියේ පැවසීමෙන්
භික්ෂුවකට නුසුදුසු
ආපත්තිකර පරිසරයක් ඔහු වටා ගොඩ නැගෙන්නට
ඔහුගේ ප්‍රකාශය නිසා ඔහු ලබන
ලාභ සත්කාර හේතු වෙයි.

තුන් සිවුරත් පාත්‍රයත් ඇතිව
පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙකු මෙන්
නිදහස් ජීවිතයක් ගත කරන
සැබෑ රහතන් වහන්සේ කෙනෙකුට
මහේශාක්‍ය ජීවිතය අනවශ්‍ය බරකි.

ව්‍යාජ රහතෙක්
බොරු කියා ලබන ලාභ සත්කාර ආදිය
ඔහුගේ මාන්නය පිම්බීමට හේතු වන අතර
ඔහුගේ නොමනා හැසිරීම් නිසා
සැදැහැවත් ගිහියාත් භික්ෂුවත් අතර
සහ සබඳතාවය ගිලිහී
ගිහි පැවිදි දෙපිරිසටම අලාභ සිදු වෙයි.

සත්‍ය ධර්මය සොයන්නන් ඉදිරියේ
අභිමානයෙන් හැසිරීමට
ව්‍යාජ රහතෙකුට නොහැකි වෙයි.
ඔහු වටා රැස්වන්නේ ධර්මය මුවාවෙන්
වෙනත් මානසික සුඛ විහරණ සොයන
විකෘති ශ්‍රාවක පිරිසකි.

ව්‍යාජ රහතෙකුගේ
බොල් සිංහ නාදයෙන් පසු
සිදුවෙන විශාලම හානිය නම්
ඔහුගෙන් ධර්මය ලබන්නට එන
ඔහුට රැවටුණ පිරිස සොයන
ආකර්ශණීය ව්‍යාජ ධර්මයක්
පවතින ධර්ම ඇසුරෙන් තනා ගැනීමට
ඔහුට සිදු වීමයි.

මුලාවූ ශ්‍රාවක පිරිස
වෙනත් කෙනෙකු වෙත යා නොදී
ඔහු ඇසුරෙහිම රඳවා ගැනීමට
ඔවුන් ප්‍රිය කරන අලුත් තාලේ ධර්මයක් සකස් කොට
ඔවුන් පිනවීමට ව්‍යාජ රහතාට සිදුවෙයි.
දොළොස් මහේ පහන මෙන්
ඔවුන්ගේ ව්‍යාජ ශ්‍රද්ධාව  පවත්වා ගන්නට
විවිධ සංදර්ශන පවත්වන්නට සිදු වෙයි.

රහත් වූ කෙනෙකු වූ හෝ ව්‍යාජ රහතෙකු
රහත් බව කීම නිසා සිදු වෙන
තවත් වැදගත් සංසිද්ධියක් නම්
තවෙකෙකුගේ රහත් බව මතින්
තමන්ගේ රහත් බව සලසා ගන්නට සිතන
දේවවාදී ආකල්ප මත
යැපෙන්නට කේන්ද්‍රයක් සොයන කල්ලියක්
ඔහු වටා නිර්මාණය වීමය.

ව්‍යාජ රහතෙකු වටා
එක්වෙන පිරිස හැසිරෙන ආකාරයෙන්
ඔවුන් තර්ක කරන ආකාරයෙන්
තර්ක හිර වූ විට නින්දා අපහාස
අවලාද කරන ආකාරයෙන්
ඔවුන්ගේ නියමුවා රහත් වී නැති බව
මනාව පසක් වෙනවා.

ලාභ සත්කාර ගරු නම්බු සඳහා
තමන්ගේ උවමනාවෙන් රහත් කියා කියන කෙනෙක්
විනයානුකූලව වරදක් කරනවා.

රහත් වුණා කියන කෙනෙක්
පචිති ඇවැතක් නිතර නිතර නැවත නැවත බිඳිනවා නම්
ඔහු රහතෙකු වත් බෞද්ධ භික්ෂුවක්වත් විය නොහැකියි.

ඔහු සිහි මුළාවකින් කියනවා නම් හැර
ඔහු ඒ ප්‍රකාශය නිසා පාරාජිකා වූ කෙනෙක්.

සිරිධම්ම සංවාදයෙන් පසුව මම වෙනස් වුණෙමි.



දැන් මම වෙනස් වෙලා ඇති කියා
ෆේස්බුක් සමාජ ජාල සමූහයක
ඉසුරු කියල කෙනෙක් කියල තියන කතාව ඇත්ත.

සිරිධම්ම හිමි සමග සංවාදයෙන් පසුව
අද වෙද්දි මගේ වෙනසක් වෙලා තියනවා.

මම වෙනස් වෙලා තියෙන්නෙ
සිරිධම්ම හිමිට අදාළව
මගේ හැසිරීමෙන් පමණයි.

මම සිරිධම්ම හිමි ගැන දරන
මූලික අදහස අදටත් වෙනසක් නැහැ.
මම අදත් කියනවා...
ඔහු රහත් වෙලා නැහැ...සෝවාන් වෙලාවත් නැහැ.
ඔහුත් ඔබ මා මෙන්ම පුහුදුන් පුද්ගලයෙක්.

රහත් වුණ කෙනෙක් රහත්ද කියා දැනගන්න
හැම කෙනෙකුටම බැහැ.
ඒත් පුහුදුන් කෙනෙක් " මම රහත්" කියා කියද්දි
රහත් නෑ කියා දැනගන්න පුහුදුන්
කෙනෙකුටත් පුලුවන්.
"සිරිධම්ම හිමි රහත් නෑ" කියා කියන අය කියන්නෙ
ඔහු පුහුදුන් බව වැටහෙන නිසයි.



මා සමග කළ සංවාදයෙදි ඔහුගේ අසංවර බව
මැදහත් ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයට බඳුන් වුණා.
ඔහුට එය දරාගන්නට නොහැකි වූ බව
ඒ වීඩියෝව යූ ටියුබ් එකෙන් ඉවත් කිරීමෙන්
පසුව පැහැදිළි වුණා.
සංවාදය පැවැත්වෙද්දිම
මා ඒ අසංවර හැසිරීම අත්දැක්කා.
ඔහුගෙ මාධ්‍ය කණ්ඩායම විසින්
ඔහුගේ වෙබ් අඩවි වලිනුත් මා ඉවත් කළා.

ඔහුට මුහුණ දෙන්න නොහැකි මට නොවෙයි.
මා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන
ලොවුතුරා බුදුන් වහන්සේටයි.

ඔහු රහත් නැති බවට
බුදුන් වහන්සේම සාක්ෂි දරණවා.

බුදුන් වහන්සේට අනුව
ඔහු රහත් වෙලා නැහැ කියන්න හේතු
ඔහු දෙසන දහම ඇසුරෙනුත්
ඔහුගේ චර්යාව ඇසුරෙනුත්
මම ලියූ බ්ලොග් සටහන් වල තියනවා.

රහතන් වහන්සේ යනු සියලු වේදනා
පිරිසිඳ දත් තැනැත්තාය.

මහණෙනි,
ස්පර්ශාහාරය පරිඥාත කල්හි
වේදනාත්‍රය පරිඥාත වේ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි.

කායානුපස්සනා වේදනානුපස්සනා නැතිව
නිවන් මගක් පැවතිය නොහැක.


ඔහු
චිත්තානුපස්සනා නමින් හඳුන්වන

ඔහුගේ විපස්සනා ඉගැන්වීම වැරදි බව
දීර්ඝ වශයෙන් කරුණු සහිතව
"සිරිධම්ම විපස්සනාව බොනිකර තරුවක්."
බ්ලොග්  සටහනේ පෙන්වා දී තියනවා.

සිරිධම්ම හිමිගේ රහත් බවට අදාළව

මා ලියූ ලිපිවලට ඌණ පූරණයක් ලෙස
මා මෑතදී ලියූ අවසාන ලිපියෙන්
රහතන් වහන්සේ නොනිදන බවත්
පැහැදිලි කළා.


"ඇඳට වැටුණ ගමන් හොඳට නින්ද යනවා"
කියන සිරිධම්ම හිමි රහතෙක් නොවන බව
ත්‍රිපිටකයට අනුව ප්‍රබල සාධක සහිතව
"රහතන් වහන්සේ නොනිදයි. සැතපෙනවා පමණි."
බ්ලොග් සටහනෙන් පෙන්වා දී තියනවා.

ඔහු වෙනුවෙන් මට මුළු ජීවිතයම
ගත කළ නොහැකියි.
මට පෙනෙන දේ ඔහුටත් ලොවටත්
පැහැදිලිව පෙන්වා දෙන්න
ප්‍රමාණවත් කාලයකට වඩා ගත කරමින්
ඔහුගේ අශීලාචාර ගෝලයන්ගේ
අපහාස උපහාස නින්දා අවමාන මැද්දේ
මගේ කාලය මා ඔහු සමග ගත කළා.

මා කිවූ හැම දෙයක්ම
ඔහුගේ අන්ධ භක්තික ගෝලයන්ට නොවැටහුණත්
ඔහු වටහා ගත් බව මට රහසක් නොවෙයි.

ඔහු වෙනස් වෙන්නේ නැහැ.
ඔහුට වෙනස් වෙන්න බැහැ.
ඔහු ප්‍රමාද වැඩියි.
පුහුදුන් කෙනෙක් වශයෙන් හිඳිමින්
රහත් රුවක් මවා පෙන්වමින්
ඔහු හදාගත් මාරපාශයෙන්
දැන් ඔහුට ගැලවීමක් නැහැ.

පන්සිල්වත් නැති පිරිසක් මැද
රහතෙක් මෙන් වැජඹෙන්නට අවශ්‍ය වන
ත්‍රිපිටක දැනුමත්, තර්ක ශක්තියත්,
හිත් දිනා ගැනීමේ උපක්‍රමත්
ඒ සඳහා අවශ්‍ය ලෞකික ධ්‍යානත්
ඔහු සතුව තියනවා.
ඒ ධ්‍යානය රැක ගන්නට
ඔහු වටා ආරක්ෂක වළල්ලකුත් තියනවා.
ඒ දැහැන් බිඳෙන අවස්ථා
ඔහු වටා ඉන්න අය දන්නවා.

අන්ධ භක්තියෙන්
ඔහු රහත් කියා හිතන අය
ඔහුගේ පුහුදුන් බව දකින්නේ නැහැ.

ඔහු රහත් නැහැ කියන බහුතරයත්
ඔහුගේ පුහුදුන් බව දකින්නේ
ප්‍රඥාවෙන් හෝ තර්ක බුද්ධියෙන් නොව
ඔවුන්ගේ ධර්මානුකූල බව නිසා
ඔවුන් සතුව ඇති අතීන්ද්‍රිය ඉව මගින්.

විපස්සනා දන්නා කෙනෙකුට
සම්පජානෝ සතිය දන්නා කෙනෙකුට
රහතන් වහන්සේ නින්ද නම් මෝහයට
නොවැටෙන බව දන්න කෙනෙකුට
ඔහු රහත් නැති බව වැටහෙනවා.
ඔහු රහත් නැහැ කියා ඔප්පු කරන්න
මා වෙහෙස විය යුතු නැහැ.

ඔහු රහත් යැයි පිළිගන්නා අයට
ඔහු රහත් නැති බව පෙන්වා දෙන්නට
මා දැරූ උත්සාහය ප්‍රමාණවත්.

ඔහු රහත් නැති බව ඔහු දන්නවා.
මම දන්න බවත් ඔහු දන්නවා.
ඒ බව නොදන්නා ලොවට
ඔහු රහත් නැති බව හෙළි කරන්නට
තවදුරටත් වෙහෙස වීම නිශ්ඵල නිසා
දුරු කළ යුතු බාලයෙක් ලෙස සලකා
මා ඔහුගෙන් ඈත්වුණා.

දැන් ඔහු කරන කියන දේ මා දකින්නෙ
අන්තර්ජාලයෙ අහම්බෙන් හමුවෙන දේකින්.
ඔහුගෙ පිරිහීම ඔහුම කරගනීවි.
පිළිමයක් හදා ගැනීම වැනි දේවල්
ඒ පිරිහීම ඉක්මන් කරනවා.
ඔහු කරන්නෙ පල්ල නැති බාල්දියක්
බොරුවෙන් පුරවන්න තැත් කිරීමක්.

ඔහු සමග හෝ ඔහු අදහන පිරිස සමග
දැන් මගේ සබඳතාවයක් නැහැ.
මා පෙර මෙන් ඔවුන් ගැන සොයන්නේ නැහැ.
ඔවුන් මට ලොව අන් සියලු දේ අතර
තවත් එක් සංසිද්ධියක් පමණයි.

ඉතින්...
දැන් මා වෙනස් පුද්ගලයෙක්.

____________________________________

සිරිධම්ම හිමිගේ රහත් බව -:- මා ලියූ ලිපි

දේවාලයේ කපුවාගෙන් දොස්තරට, දොස්තරගෙන් පරිගණකයට.

ආගමත් විද්‍යාවත් අතර වෙනස්කම් තිබුණත්
ආගම අදහන්නාත් විද්‍යාව අදහන්නාත් අතර
ලොකු වෙනසක් නැත.

පොදු ජනතාව අතර
ආගම අදහන්නා මෙන්ම විද්‍යාව අදහන්නාත්
තමන් අදහන දේ ගැන කිසිදු අවබෝධයක් නැති
එකම ආකාරයේ අන්ධ භක්තිකයන්ය.

දෙවියන් වහන්සේ ලෝකය මැවීමත්
විද්‍යාවේ මහා පිපුරුම න්‍යායත්
එකම ආකාරයේ විශ්වාස වුවත් නැතත්
ඒ දෙක අදහන සාමාන්‍ය මිනිසුන්
ඒ දෙකම අදහන්නේ එකම ආකාරයේ
අන්ධ භක්තියකිනි.

විද්‍යාත්මක සොයා ගැනීම් අනුසාරයෙන්
විද්‍යාවට ස්පර්ශ කළ නොහැකි තැන් පිළිබඳ
න්‍යාය, තර්ක සහ වාද මත පදනම් වන
බටහිර විද්‍යාවේ අනුමානත්
තමාට වඩා බලවත් නොපෙනෙන බලවේග මත
දිවි හිමියෙන් යැපෙන බොළඳ මිනිසුන්ගේ
ආගමික විශ්වාසත් අතර ලොකු පරතරයක් නැත.

එමෙන්ම
මිනිසුන්ගේ ඇදහිලි සහ විශ්වාස මත
සිය ජීවිකාව ගොඩ නගා ගන්නා කපුවාත්
විද්‍යාත්මක සොයා ගැනීම් පිළිබඳව
මිනිසා තුළ ඇති විශ්වාසය මත
රෝගීන්ගේ විශ්වාසය දිනාගෙන
ඒ විශ්වාසය මත අනුමාන අනුව
රෝගීන්ගේ රෝග ගැන පරීක්ෂණ පවත්වමින්
තවමත් "ප්‍රැක්ටිස්" කරන දොස්තරලාගේත්
ජීවිකාව සපයා ගැනීම අතර වෙනසක් නැත.

මතුපිටින් බලනවිට
මේ දෙපිරිස එකිනෙකාගෙන වෙනස් වුවද
ඔවුන් මත යැපෙන මිනිසුන්ගේ
නොදන්නා කමේ අසරණ භාවය සහ
ඒ නොදන්නාකම මත
මේ බලවතුන් දෙපිරිස පවත්වන
බලපෑමෙහි වෙනසක් නැත.

කපුවා පූජා වට්ටිය ගෙන දේවාලය තුළට ගිය පසු
ඔහු කරන්නේ කුමක්දැයි බැතිමතා දන්නේ නැත.
දොස්තර ලියා දෙන්නේ කුමක්ද
ෆාමසියෙන් නිකුත් කරන්නේ කුමක්ද යන්න
රෝගියා දන්නේත් නැත.

ආගමිකයන් කපුවා, පූජකයා අදහන අයුරින්ම
රෝගියා දොස්තරද ෆාමසිකරුවාද අදහන්නේය.
කපුවාගේ ගුරුකමක් වැරදී
ආතුරයා මිය ගියොත් කපුවා වග කියන්නේ නැත.
දොස්තරගේ එකම වෙනස නම්
ඔහු වගකීම රෝගියාට හෝ
ඔහුගේ නෑයෙකුට දී අත්සන් ගැනීමයි.
එන්නතක් වැරදී රෝගියා මිය ගියත්
වගකීම ඇපකරුවාටය.

ආගම නියෝජනය කළ කාරුණික පූජකයන්
මිළ මුදලට කෑදර පූජකයන්ගේ
උප්පරවැට්ටි නිසා අතුරුදහන් විය.
සිය වෙදකමට මිලක් නියම නොකළ
කාරුණික වෙදැදුරන් හෙළා දකිමින් ඔහුට හිමි තැන
දොස්තරගේ අභියෝගයට ලක්විය.

ආගමික
පූජකයා මුදලට යටවූ විට ඒ තැන
පූජකයාගේ නියෝජිත කපුවාට හිමිවිය.
කපුවාගේ පූජා වට්ටියට මිල මුදල් අනිවාර්යය.
කෑදර කපුවාට දේවාලය තුළ හිමි තැන
අද කෑදර දොස්තර පැහැරගනිමින් සිටියි.

අද දොස්තරට හිමි තැන සැකයට බඳුන් වී
මතු අනාගතයෙහි ඒ තැන හිමිවන්නේ
ඔහු නියෝජනය කරමින් සිටින
හැඟීම් නැති පරිගණකයටය.
දොස්තර විශ්වාස නොකරන රෝගියා
පරිගණකය අදහයි.
එහෙත් පිටුපස සිටින දොස්තර විසින්
ඒ පරිගණකයට දත්ත කවන්නේ
මුදල් ඉපයීම අරමුණු කරගෙන නිසා
පරිගණකයද මුදල් සොයන යන්ත්‍රයකි.

රෝගියාත් දොස්තරත් අතරට පරිගණකය පැමිණ
තමන්ගේ ලෙඩ දුක් ආදිය සමග
පරිගණකයේ සරණ සොයන අසරණයන් අතර
සුවහසක් රෝගීන් මෙන්ම
පරිගණකයෙන් යැපෙන දොස්තරලාද
අපට දක්නට හැකිවනු ඇත.

ආගමික ශාස්තෲන් වහන්සේලාගේ
සනාතනික දහම විකෘති කරමින්
ආගමික දේශනවලට දත්ත කවා
මිනිසා නොමග යැවූ පූජකයන් මෙන්ම
විද්‍යාත්මක සත්‍යතා අනුව
තම ජීවිකාව රැකෙන අයුරින්
පරිගණකයට දත්ත කවා
රෝගීන් මුලාකරන වෛද්‍ය වෘත්තිකයන්ද
හෙට අපට හමුවනු ඇත.

මේ සූරාකෑම පවතින්නට හේතුවෙන
මූලික වරද කරුවෝ
කපුවා හෝ දොස්තර නොවේ.
ඔවුන් අදහන අන්ධ භක්තිකයන්ය.
තමන් අන්ධ භක්තියෙන් අදහන දේ ගැන
සොයා බලන්නට අවශ්‍යතාවය තිබුණත්
ඒ සඳහා අවසර නැති ආතුරයන් සහ රෝගීන්ට
අකමත්තෙන් වුවත්
ඔවුන්ගේ ගොදුරු වෙන්නට සිදුවෙයි.

අනාදිමත් කාලයක පටන් කෙරෙන
මේ සනාතනික සූරාකෑම
එළඹෙන මතු අනාගතයේද
මේ ආකාරයෙන්ම අසරණයන් මුළා කරමින්
මුහුණුවර වෙනස් වෙමින් පවතිනු ඇත.

__________________________

ආගම කුමක් වුවත්
දහම අනුව පිළිපදිමින්
සිය ජීවිතය යහපත් කර ගනිමින්
ආපසු කිසිත් නොපතමින්
අන් අයද දහමට යොමු කරමින්
ජීවිතය ගත කරන
ආගමික ශ්‍රාවකයන් අතළොස්සත්
තමන් උගත් ශාස්ත්‍රය අනුව
තමාගේ සියලුම ශක්තියෙන්
ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කරමින්
රෑ දිවා නොබලා රෝගීන් අතර වෙසෙමින්
ඔවුන්ගේ හිත සුව පිණිස වෙහෙසෙන
කාරුණික වෛද්‍යවරුන් අතළොස්ස
ත් 
මේ විවරණයට අයත් නොවන
මිහිබට දෙවි වරුන් පිරිසකි.
සමස්ත මිනිස් වර්ගයා වෙනුවෙන්
අපේ උත්තමාචාරය
ඔවුනට හිමිවිය යුතුය.

20161221

විපස්සනා දස දින පාඨ මාලා තොරතුරු



සද්ධර්මය පිරිහීමට හේතුව.

සතර සතිපට්ඨානය
අභාවිතත්වය හා අබහුලීකත්වය
සද්ධර්ම පරිහානියට හේතුවෙයි.


චතුන්‌නං සතිපට්‌ඨානානං
අභාවිතත්‌තා අබහුලීකතත්‌තා
සද්‌ධම්‌මපරිහානං හොති.
-----------------------------------
=පරිහානසුත්‌තං, සීලට්‌ඨිතිවග්‌ගො, සතිපට්‌ඨානසංයුත්‌තං

=====================

 විපස්සනා භාවනාව

සයාගි යූ බා කින් සම්ප්‍රදායට අනුව එස්. එන්. ගොයෙන්කාතුමා උගන්වන විපස්සනා භාවනා ක්‍රමය.
 එස්. එන්. ගොයෙන්කාතුමා සහ එතුමාගේ ගුරු සහායකයින් විසින් සයාගි යූ බා කින් සම්ප්‍රදායට අනුව උගන්වන විපස්සනා භාවනා ක්‍රමය පිළිබඳ ජාත්‍යන්තර වෙබ් පිටුව ඉංග්‍රීසි බසින් කියවන්න.

විපස්සනා, එනම් ඇති දෑ ඇතිසැටියෙන් දැකීම ඉන්දියාවෙහි ඉගැන්වෙන අති පැරණිම භාවනා ක්‍රමයකි. වසර දෙදහස් පන්සියයකට පෙර විශ්වීය රෝගයනට විශ්ව සාධාරණ ඔසුවක් ලෙස මේ ජීවත් වීමේ කලාව ඉගැන්විණ. මේ පිළිබඳව පෙර හුරුවක් නැති අය සඳහා විපස්සනා පිළිබඳව ගොයෙන්කා තුමාගේ හැඳින්වීමක් සහ ඒ හා සබැඳි වීඩියෝ දර්ශන සහ විපස්සනා පිළිබඳ ප්‍රශ්නෝත්තර විපස්සනා පිළිබඳ ප්‍රශ්නෝත්තරද පරිශීලනය සඳහා ලබාගත හැක.



දසදිනක නේවාසික පාඨමාලාවක් මගින් විපස්සනා භාවනා ක්‍රමය පිළිබඳව මූලික කරුණු එයට සහභාගිවන්නන්ට ඉගැන්වෙන අතර ඵලදායී ප්‍රතිඵල ප්‍රමාණවත් අයුරින් ලැබෙන පුහුණුවක්ද ලැබෙයි. 

පාඨමාලාව සඳහා කිසිදු අයකිරීමක්, එනම් ආහාර හා නවාතැන් සඳහාවත් අයකිරීමක් කරනු නොලැබේ. සියලුම වියහියදම් සැපයෙන්නේ පාඨමාලාවකට සහභාගිවීමෙන් යහපත් ප්‍රතිඵල ලැබූ අය විසින් අන් අයටත් එම ප්‍රතිඵලම හිමිකර ගැනීමට අවස්ථාව ලබාදෙන චේතනාවෙන් පුදන දානමය පරිත්‍යාගයෙනි..

භාවනා මධ්‍යස්ථාන විශාල සංඛ්යාවක සහ මධ්‍යස්ථාන නොවන, තාවකාලිකව කුලියට ගන්නා  ස්ථානවලද පාඨමාලා පැවැත්වේ. සැම ස්ථානයකටම ඊටම ආවේණික පාඨමාලා මාලාවක් ඇත.
මෙම පාඨමාලාවන් බොහොමයකට වෙබ් අඩවියෙහි ඇති පාඨමාලා ලැයිස්තුවෙන් තෝරාගත් පාඨ මාලාව දිනයක් ක්ලික් කිරීමෙන් ඉල්ලුම් කළ හැක.
  ඉන්දියාව හා  ආසියා පැසිෆික් කලාපය තුළ වෙනත් බොහෝ තැන්වල පාඨමාලා පැවැත්වෙයි. ශ්‍රී ලංකාව තුළ මධ්‍යස්ථාන තුනක් ඇත. උතුරු ඇමරිකාව තුළ මධ්‍යස්ථාන දහයකි.  ලතින් ඇමරිකාව තුළ මධ්‍යස්ථාන තුනක් ඇත. යුරෝපය  තුළ  මධ්‍යස්ථාන අටකි. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තුළ මධ්‍යස්ථාන හතකි. මැද පෙරදිග සහ අප්‍රිකාව  තුළ මධ්‍යස්තාන එක බැගින් ඇත.

මධ්යස්තානයෙන් බාහිරවද නිරන්තරයෙන්ම දසදින පාඨමාලා පැවැත්වෙන්නේ එම ප්‍රදේශයක වෙසෙන විපස්සනා සිසුන්ගේ සංවිධායකත්වයෙනි. ලොව පුරා පාඨමාලා පැවැත්වෙන ස්ථානවල අකාරාදී ලැයිස්තුව of worldwide course locations is available as well as a graphical interface of course locations ලොව පුරා මෙන්ම Iඉන්දියාවේ සහ නේපාලයේ  මධ්‍යස්ථාන වල සිතියම් සටහන්ද පළ කර ඇත.  

සිර කඳවුරු  වලද විපස්සනා භාවනා පාඨ මාලාවන් ඉගැන්වේ.

 ව්‍යාපාරික විධායක නිළධාරීන් සහ රජයේ නිලධාරීන් සඳහා විශේෂ දස දින පාඨ මාලාවක් පැවැත් වේ. අමතර විස්තර සඳහා ව්‍යාපාරික විධායක නිළධාරී වෙබ් අඩවියට පිවිසෙන්න. 

20161220

චේතනාව කර්මය වන්නේ මෙසේය.



සරලව
කර්මයක් කියන්නෙ
මනසෙහි පහළ වෙන ආවේගයක්...

වචනයෙන් හෝ ක්‍රියාවකින්
බාහිර ලෝකයෙහි යම් වෙනසක්
කම්පනයක් ඇති කිරීමයි.


විදුලි පරිපථයක තියන බොත්තමක් එබීමෙන්
විදුලි සීනුවක් වදින්න සැලැස්විය හැකියි.
විදුලි බල්බයක් දැල්වෙන්න සැලැස්විය හැකියි.
අපිට මාසේ අන්තිමට බිල එන්නෙ
අපි භාවිතා කළ විදුලියටයි.


කර්මයත් ඒ වගෙයි.

කර්ම විපාකය සකස් වෙන්නෙ
සිතේ ඇතිවෙන චේතනාවටයි.

ඔබේ නිවස ඉදිරිපිටට එන ඔබේ සතුරෙක්
ඔබට අසභ්‍ය වචනයෙන් බණිනවා.
ඔබේ දෙසවන් වල මේ කටුක හඬ ස්පර්ශ වෙනවා.
මේ සිදුවීම නිසා
ඔබ තුළ උපදින වේදනා ඔබට අප්‍රසන්නයි.
මේ අප්‍රිය වේදනා නිසා
ඔබ තුළ ද්වේශ සංස්කාර ඇති වෙනවා.
ඒ කායික ප්‍රතිඵලයයි.

මනසත් මේ ද්වේශය පෝෂණය කරනවා.
චිත්ත මට්ටමේදි
හැඟීමක් වන ද්වේශය
සිතුවිලි බවට පත් වෙද්දි
ව්‍යාපාද නීවරණය බවට පත් වෙනවා.


1, කටුක ස්පර්ශය
2, කටුක වේදනාව
3, සංඥාවට දුක්ඛ වේදනාව
4, ද්වේශ සංස්කාරය
5, ව්‍යාපාද නීවරණය

මේ ව්‍යාපාද සිතුවිලි වලට
විඥාණයෙ රැස්වෙලා තියන
පැරණි ද්වේශ සංස්කාරත් එක් වෙනවා.

ඔබේ විඥාණයෙ
ඔබ ගැන ඔබ තැන්පත් කරගෙන තියන
මානයෙහි ප්‍රමාණය අනුව සහ
ඔබ තනාගෙන තියන ප්‍රතිරූපය අනුව
මේ වචන අසල ඉන්න අයට ඇසීමෙන්
අන් අය ඔබ ගැන සිතන ආකාරය
වෙනස් වෙන විදිය පිළිබඳව
ඔබේ විඥාණය තුළ නැගෙන තොරතුරු සහ
පැරණි ද්වේශ සංස්කාර නිසා
පළමු ද්වේශය මානසිකවත් වැඩෙනවා.

මේ අප්‍රසන්න අත්දැකීම අවසාන කරන්නට
ඔබට ස්වාභාවික උවමනාවක් ඇති වෙනවා.
කායික මානසික පසු බිම තුළ ඇතිවෙන
වේදනා දුක් සහිත වීම නිසා
ඉන් ඇති වෙන්නෙ තණ්හාවයි.

හතුරෙක් දුටු විගස
ගොරවාගෙන හපාකන්න පනින
තිරිසනුන් තුළ ඇතිවෙන ආකාරයටම
ද්වේශයෙන් මනස දැවෙන විට
මිනිසා තුළත්
පොරකන්න අවශ්‍ය හෝමෝන ඇති වෙනවා.

ඔබ සිල්වතෙක් හෝ නිවටයෙක් නම්
ඒ ද්වේශයට යටත් වෙලා
ඔහුට හානියක් නොකරන්න පුලුවන්.

නිවටයා ක්‍රියාත්මක නොවෙන්නෙ දුර්වලකම නිසයි.
සිල්වතා ඉදිරිපත් නොවෙන්නෙ ආත්ම දමනය නිසයි.

ක්‍රියාවට නැගුණෙ නැතත්
සිල්වතා තුළත් නිවටයා තුළත්
එකම ආකාරයට ද්වේශය ඇති වෙනවා.
කායිකව වෙනස්කම් සිදු වෙනවා.
හෘදයේ ක්‍රියාකාරිත්වය ඉහළ යනවා.
රුධිර පීඩනය වැඩි වෙනවා.
විරෝධාකල්පික හෝමෝන
රුධිර ධාරාවට එක් වෙනවා.
කායිකව ඔහු දූෂ්‍ය වෙනවා.

මේ දූෂ්‍ය වීම ඔහුටම අප්‍රසන්නයි.
පළමුව දෝෂාරෝපණය නිසා
ඔහු තුළ ද්වේශය ආරෝපණය වුණා.
ඔහු තුළ නව ද්වේශ සංස්කාර ඇති වුණා.
ඒ අනුව විඥාණය කැළතී
පැරණි ද්වේශ සංස්කාර පහළ වීමෙන්
විඥාණය මානසිකව ඒ ද්වේශය පෝෂණය කළා.
හෝමෝන කායිකව ක්‍රියා කරමින්
ඒ ද්වේශය පෝෂණය කළා.
ඔහුගෙ ද්වේශය නිසා ඔහු දූෂ්‍ය වුණා.

මේ කායික මානසික දූෂණය දරාගෙන
සිල්වතාත් නිවටයාත් ඇතුළතින් දුක් විඳිනවා.
ඔවුන්ගෙන් වචන සහ ක්‍රියා සිදු වෙන්නෙ නෑ.
ඔවුන්ගෙ පාපී චේතනාවෙන් ඔවුන් දැන් දැවෙනවා.
ඉධ තප්පති.

පාපී චේතනා නිසා
කායිකව අනවශ්‍ය හෝමෝන ප්‍රමාණයක්
රුධිර ධාරාවට එක් වී තියනවා.
ඒ හෝමෝන තියන බව දැනෙන තුරු
ඔහුගෙ මනස ද්වේශයෙන් පසු වෙනවා.
ඔහු සිදුවීමෙන් පසුවත් දැවෙනවා.
පෙච්ච තප්පති.

මේ හෝමෝන සහ කායික ව්‍යුහයේ
ක්‍රියාකාරිත්වය පමණ ඉක්මවීම
ඔහුගෙ කයේ පැවැත්මට හානියක්.

මානසිකව ඔහු තුළ ඇති වූ ද්වේශ සංස්කාර
අනුසය කෙලෙස් ලෙස විඥාණයේ තැන්පත් වෙනවා.
ඔහු පසුවත් දැවෙන්නට හේතුවක්.
ඔහුගේ ද්වේශ සංස්කාර ප්‍රමාණය ඉහළ යනවා.
ද්වේශ සංස්කාර පවතින තුරු
ඔහු දුක් විඳිනවා.

ඔබ මැර චරිතයක් නම්
ඔබ සංස්කාර වලට යටත් වී
ද්වේශයෙන් ක්‍රියා කරන්න පෙළඹෙනවා.
මානසිකව ඇතිවෙන ද්වේශ සංස්කාර සහ
කායිකව නිපදවෙන හෝමෝන නිසා
ඔබත් ඔහුට ද්වේශ සහගතව
ප්‍රති උත්තර දෙන්න පුලුවන්.
නැත්නම් නිවසේ ඇති යකඩ පොල්ලක් ගෙන ගොස්
සතුරාට මැරී වැටෙන්නම
පහර දෙන්න පුලුවන්.
ඔබ මනඃ වචී කාය කර්ම
තුනම කරනවා.

ඔබේ කර්මය සකස් වෙන්නෙ
ඔබ ඔහුට බැණ වදින මොහොතේ හෝ
ඔහු මැරී වැටෙන මොහොතේ නොවෙයි.

ඔබේ කර්මය සකස් වෙන්නෙ
මනඃ කර්මය ඇරඹෙද්දිමයි.

ඔහුගේ රළු, කටුක නොසරුප් වදන්
ඔබේ සවනෙහි ස්පර්ශවීමෙන්
ඔබ තුළ උපදින වේදනාව
සංඥාව විසින් දුක්ඛ වේදනාවක් ලෙස
හඳුනා ගැනීම නිසා
පළමු ද්වේශ සංස්කාරය පහළ වෙන මොහොතෙම
ඔබේ කර්මය ඇරඹෙනවා.

කර්මය මනසෙහි පටන්ම කර්මයයි.

ද්වේශ චේතනාව කර්මයයි.

මනසෙන් ඇරඹෙන කර්මයෙහි
දෙවන පියවර වචනයයි.
තෙවන පියවර ක්‍රියාවයි.

මහණෙනි,
මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යාමාන වෙත්.
කවර තුන් දෙනක යත්:
මහණෙනි,
මෙලොවෙහි කිසි පුද්ගලයෙක්
ව්‍යාපාද සහිත කායසංස්කාරය රැස් කෙරෙයි.
ව්‍යාපාද සහිත වාක්සංස්කාරය රැස් කෙරෙයි.
ව්‍යාපාද සහිත මනඃසංස්කාරය රැස් කෙරෙයි.
හේ ව්‍යාපාද සහිත කායසංස්කාරය රැස් කොට,
ව්‍යාපාද සහිත වාක්සංස්කාරය රැස් කොට,
ව්‍යාපාද සහිත මනඃසංස්කාරය රැස් කොට
ව්‍යාපාද සහිත පැවැත්මක් සකස් කරගනියි.
ව්‍යාපාද සහිත පැවැත්මක් සකස් කරගත් නිසා
ව්‍යාපාද සහිත ස්පර්ශ ලබයි.
නිරයෙහි මෙන් ඒකාන්තයෙන්ම
ව්‍යාපාද සහිත වෙදනා විඳින්නේ ය

මහණෙනි,
ධර්‍ම තුණෙකින් සමන්වාගත බාල තෙමේ දතයුතු වේ.
කවර තුණෙකින යත්:
අකුශල වූ කායකර්‍මයෙන,
අකුශල වූ වාක්කර්‍මයෙන,
අකුශල වූ මනඃකර්‍මයෙන.
මහණෙනි,
මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වේ.

20161218

රහතන් වහන්සේ නොනිදයි. සැතපෙනවා පමණි.

"මම රහතෙක්මි"
කියන  මුවින්ම
"මම වෙහෙස වී ඇඳට වැටුණාම
මට හොඳින් නින්ද යනවා"

කියා යම් කිසිවෙක් කියනවා නම්
ඔහුගේ රහත් බව ව්‍යාජයක්.
-------------------------------------------

සිහියෙන් විසීම
යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?

සාමාන්‍ය මිනිසෙක්
සිහියෙන් පසුවෙන කෙනෙක් ලෙස
පොදු පිළිගැනීමක් ඇත.
එහෙත්
ඔහුගේ සිහිය ඉතා සුළු සියයට ගණනකි.
ඔහු තුළත් ඔහු අවටත් සිදු වෙන දෙයින්
ඔහුගේ සිහියට හසුවන්නේ
අංශු මාත්‍රයක් පමණි.
බොහෝ දේ පිළිබඳව
ඔහු පසුවන්නේ අවසිහියෙනි.
මෝහයෙනි.
ඔහුගේ සිහියට වඩා පවතින්නේ
මෝහයයි. අවිද්‍යාවයි.

මේ මොහොතෙහි
ඔබ තුළත් ඔබ අවටත් සිදු වෙන දේ ගැන
ඔබ තුළ පවතින සිහිය කොතරම්ද?
"මේ වචන පේළිය හැරෙන්නට"
ඔබ සිහියෙන් පසුවන දේවල් මොනවාද?

ඔබේ ඉරියව්ව විමසා බලන්න.
ඔබේ වම් පය, දකුණු පය කොහේද?

ඔබේ ඉරියව්ව පිළිබඳ සිහිය යොමු කරන විට
ඔබ ඔබේ කය පිළිබඳව සිහියෙන් පසු වෙයි.
ඔබේ කය පවතින ආකාරය ගැන
කැමැත්තක් හෝ අකමැත්තක් නැත්නම්
මෙසේ ඉරියව්ව ගැන සිහියෙන් විසීම
කායානුපස්සනාවෙහි දෙවෙනි පියවරයි.
පළමු පියවර ආනාපාන සතියයි.

පවතින සිහියට අදාළව
ඔබ වැනි සාමාන්‍ය කෙනෙකුත්
රහතන් වහන්සේ කෙනෙකුත් අතර
වෙනස කුමක්ද?

ඔබ සිහියෙන් වසන්නේ
එක් වෙලාවක ඔබ තෝරා ගන්නා
ඔබ කැමති හෝ අකමැති දේ පමණකි.
ඔබේ දරුවාගේ පන්තියේ ළමුන්
වේදිකාවක නර්තනයේ යෙදෙන විට
බොහෝ විට ඔබේ සිහියට ලක් වන්නේ
ඔබේ දරුවාම පමණි.
සිය ගණනක් සරඹ සන්දර්ශනයක යෙදුණද
ඔබ දකින්නේ ඔබේ දරුවාය.

මේ සීමිත දැක්ම
සිහිය නමින් හැඳින්වෙන නමුදු
ඒ සිහියට ලක් වන්නේ
මිනිසෙකුට සිහියෙන් සිටිය හැකි ප්‍රමාණයෙන්
ඉතාම අල්පයකි.

ඔබේ සිහියෙහි තවත් ලක්ෂණයක් නම්
ඔබේ කයෙහිත් සිතෙහිත් සිදු වෙන වෙනස්කම්
ඔබේ සිහියට ලක් වන්නේ
ඔබ කැමති හෝ අකැමති වේදනාවක්
දැනෙන විට පමණි.

අව්වේ සිටින විට
අව්වට අකමැති නිසා
කයෙහි වෙනස දැනෙන නමුදු
සෙවනකට ගිය විගස කය සිහියෙන් මිදෙයි.
අව්ව නිසා කයෙහි පහළ වූ වේදනා
ඒ අප්‍රිය වේදනාව සිතින් හඳුනා ගැනීම
අව්වෙන් මිදෙන්නට ඔබ තුළ පහළ වූ විතර්ක
ඔබට නොපෙනෙයි.

සිහිය පවත්වා ගැනීමට බාධා පමුණුවන
සියලු කෙලෙසුන් සිහිය දියුණු කිරීමෙන් නැසීම නිසා
රහතන් වහන්සේගේ සිහිය පරිපූර්ණය.

රහතන් වහන්සේ
යම් අරමුණකට සිත යොදවන නමුදු
ඒ අරමුණ සහ අන් සියලුම අරමුණු නිසා
තමන් තුළ සිදු වන සියළු වෙනස් කම් ගැන
සිහියෙන් පසුවෙයි.

රහතන් වහන්සේගේ විශේෂ සිහිය
සම්පජානෝ සතියයි.

සම්පජානෝ සතිය කවරේදැයි
බුදුන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය.

1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;

1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

සරලව
සති සම්පජන්‍ය නම්
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.
මේ අවස්ථාව
රාග ද්වේශ මෝහ තුනෙන්ම
විනිර්මුක්තයි.

අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාත්
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාත්
නිවන් දුටු ආර්යශ්‍රාවකයාත් තිදෙනෙකි.

1
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
එක් මොහොතක දකින්නේ
ඔහු ප්‍රිය කරන හෝ අප්‍රිය කරන
සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛමාසුඛ වදනා
සීමිත පරාසයක් පමණි.
ඔහුට ඒ මොහොතෙහි
සමස්ත කයෙහිම වේදනා නොපෙනෙයි.

කම් සුව විඳින
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
ඒ අවස්ථාවෙහි සිහියෙන් පසුවන්නේ
ඔහු ප්‍රිය කරන වේදනා සමුච්චය පමණි.
ඔහු තුළ පහළ වන්නේ රාගයයි.

හිසේ කැක්කුමක් දත් කැක්කුමක් නිසා පෙළෙන
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාගේ සිහිය
ඒ අප්‍රිය වේදනා වලට සීමා වෙයි.
ඔහු තුළ ද්වේශය පහළ වෙයි.

2
සිහිය පිහිටුවාගනිමින්
නිවන් මගට පිවිසෙන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාට වඩා
බෙහෙවින් වෙනස් පුදගලයෙකි.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
විපස්සනා මාර්ගයෙහි ගමන් කරමින්
කාය, වේදනා, චිත්ත, ධම්ම යන
සතර පිළිබඳව සිහිය පිහිටුවාගෙන
තම කයෙහිත් තම සිතෙහිත් වෙනස්වීම් වන
වේදනා, සංඥා සහ විතර්ක පිළිබඳව
උපේක්ෂාවෙන් වෙසෙයි.

අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා බවට පත්වන්නේ
ඔහුගේ උපරිම සංවේදී බව තුළ ලබා ගන්නා
සම්පජානෝ සතිය නිසාය.

සම්පජානෝ සතිය වඩන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට
බුදුන් වහන්සේ මෙසේ උපදෙස් දෙයි.

මහණෙනි,
මහණ තෙම කෙසේ වනාහි නිදිවැරීමෙහි යෙදුනේ වේ ද?

මහණෙනි,
මෙ සස්නෙහි මහණ දවල් සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.

රෑ පළමු යම
සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.

රෑ මැදියම
දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා
නැගීසිටුනා සංඥාව මෙනෙහි කොට
සම්පජානෝ සතියෙන් සිංහ ශය්‍යාව කරයි.

රෑ පැසුළුයම නැගිට
සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.

මහණෙනි,
මෙසේ වනාහි මහණ තෙමේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි.

මහණෙනි,
මේ ධර්‍ම තුණෙන් සමන්වාගත මහණ
අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
ආස්‍රවයන්ගේ ක්‍ෂය පිණිස කරුණ ද
පටන්ගන්නා ලද්දේ වෙයි.
අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » රථකාර වර්ගය

නිදි වැරීමේදී
නිදිමත ලෙස උපදින මෝහ සංස්කාර
අනිත්‍ය බව දකිමින්
සම්පජානෝ සතියෙන් පසුවීම නිසා
මෝහ සංස්කාර නිරුද්ධ වී
පුද්ගලයා පිරිසිදු වෙනවා.

"මෙසේ වනාහි මහණ තෙමේ
නිදිවැරීමෙහි යෙදුනේ වෙයි."

නිවන් මග වඩන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සැතපෙන විට පවා
සම්පජානෝ සතියෙන් වෙසෙයි.

වඩාත් පැහැදිලිව කිවහොත්
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
"සැතපෙන විට පවා"
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව පවතින සිහිය නිසා
මෝහය දුරුවී ඇත.

සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.

නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.

අනුසය කෙලෙස්  නැසීමට
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා අසමත්වීම පිළිබඳව
බුදුන් වහන්සේ මෙසේ පවසන්නාහ.

මහණෙනි,
චක්ෂුසත් රූපත් නිසා චක්ෂුර්විඥානය උපදී.
(චක්ෂු, රූප, විඥාන යන) තිදෙනාගේ සඞ්ගතිය ඵස්ස වෙයි.
ස්පර්ශ ප්‍රත්‍යයෙන්
සුඛ වූ හෝ
දුඃඛ වූ හෝ
අදුක්ඛමාසුඛ වූ හෝ
වේදනාව උපදී.

හේ සුඛවේදනායෙන් පහස්නාලදුයේ සතුටු වෙයි.
සතුටු බස් කියයි. බැසගෙන සිටී.
ඔහුගේ සන්තානයෙහි රාගානුසය අප්‍රහීණ වැ සිටී.

දුඃඛ වේදනායෙන් පහස්නාලදුයේ ශොක කෙරෙයි, වෙහෙසෙයි,
පරිවේදනා කෙරෙයි, ළෙහි පැහැර හඬයි, සම්මොහයට පැමිණෙයි.
ඔහුගේ සන්තානයෙහි ප්‍රතිඝානුශය අප්‍රහීණ වැ සිටී.

අදුක්ඛමාසුඛ වේදනායෙන් පහස්නාලදුයේ
ඒ වේදනාවගේ සමුදය ද අස්තඞ්ගමය ද
ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද ඇතිසැටි නො දනී.
ඔහුගේ සන්තානයෙහි අවිජ්ජානුශය අප්‍රහීණ වැ සිටී.

මහණෙනි,
ඒකාන්තයෙන් හෙතෙම
සුඛවේදනායෙන් රාගානුශය දුරු නො කොට
දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය නාශනය නො කොට
අදුඃඛමසුඛවේදනායෙන් අවිද්‍යානුශය සමුද්ඝාතනය නො කොට
අවිද්‍යාව ප්‍රහීණ නො කොට මාර්ග ඥානවිද්‍යාව නූපදවා
ඉහාත්මයෙහි මැ වට්ටදුක්ඛය කෙළවර කරන්නේ ය
යන තෙල කරුණ නො වේ.
----- ඡ ඡක්ක සූත්‍රය -----
මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » සළායතන වර්ගය

මේ සූත්‍ර පාඨයන්ට අනුව
ඉඳුරන් සහ මනස ඇසුරෙන්
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
තුන් වර්ගයේ වේදනාවන්
ප්‍රිය අප්‍රිය වශයෙන් හා මෝහයෙන් ගැනීම නිසා
රාග, පටිඝ, අවිජ්ජා යන අනුසය කෙලෙස්
ඇති කරගන්නා අයුරු පැහැදිලි වෙයි.

මේ රටාවට විරුද්ධ අතට යන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙමින්
සුඛවේදනායෙන් රාගානුශය නසයි.
දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය නසයි.
අදුඃඛමසුඛවේදනායෙන් අවිද්‍යානුශය සමුද්ඝාතනය කරයි.

"වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි..

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.

මෙසේ වේදනා පිළිබඳ සිහියෙන්
අනුසය කෙලෙස් නසන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
අවිද්‍යාව ප්‍රහීණ කොට මාර්ග ඥානවිද්‍යාව උපදවා
සියලු දුක් කෙළවර කොට නිවන් දක්නේය."

සව් කෙලෙසුන් නසා නිවන් දකින
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.

විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට මෙන්
ඔහුට ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.

සව් කෙලෙසුන් නසා
නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
විඳින සියලු වේදනා
දැනෙන සියලු සංඥා
ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්, නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙයි.

සම්පජානෝ සතිමා විහරති.

නිරතුරුවම සම්පජානෝ සතියෙන් වෙසෙන
නිවන සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා සැතපෙන විට
මෝහය පදනම් වූ "නින්ද"ට නොවැටෙයි.

නිවන සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
උවමනාවෙන් සිහිය පැවැත්විය යුතු නැත.
සව් කෙලෙසුන් නැසූ සිතේ පවතින්නේ
පිරිසිදු සම්පජානෝ සතිය පමණයි..

සම්පජානෝ සතිය
දවසේ පැය විසි හතර පුරාම
ඇවිදීම, හිඳීම, සිටීම, සැතපීම යන
සතර ඉරියව්වේදීම පවතිනවා.

ඇවිදින්නේ ඇවිදින්නෙමැයි මනාව දනියි.
සිටින්නේ සිටින්නෙමැයි මනාව දනියි.
හිඳින්නේ හිඳින්නෙමැයි මනාව දනියි.
"සැතපෙන්නේ සැතපෙන්නෙමැයි මනාව දනියි."
කය යම් යම් ආකාරයකට පිහිටාද
ඒ ඒ ආකාරය මනාව දනියි.

ඉදිරියට යාමෙහි ආපසු ඒමෙහි
සම්පජානකාරී වෙයි.
ඉදිරිය බැලීමේදී පසුපස බැලීමෙහිදී
සම්පජානකාරී වෙයි.
හැකිලීමෙහි දිග හැරීමෙහි සම්පජානකාරී වෙයි.
සිවුරු හැඳීමෙහි සිවුරු දරා සිටීමේදී
සම්පජානකාරී වෙයි.
කෑමෙහි බීමෙහි සැපීමෙහි රස විඳීමෙහි
සම්පජානකාරී වෙයි.
මල මුත්‍ර පහ කිරීමෙහි සම්පජානකාරී වෙයි.
යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි සැතපීමෙහි නිදි වැරීමෙහි
සම්පජානකාරී වෙයි.
කතා කිරීමෙහි නිහඬව හිඳීමෙහි
සම්පජානකාරී වෙයි.

නිවන සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
කවර කාර්යයක යෙදුණත්
සමස්ත කයෙහිම වේදනා සහ
සිතෙහි සංඥා, විතර්ක සියල්ලම පිළිබඳව දැනුවත්ව
ඒ කාර්යයන්හි යෙදෙන්නේය.

අවදියෙන් සිහියෙන් සිටින කෙනෙකුට හැර
මෝහයෙන් නිදාගන්නා කෙනෙකුට
සම්පජානෝ සතිය පැවැත්විය නොහැකියි.

මෝහය සම්පූර්ණයෙන්ම නැති කළ
නිවන සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
නින්දට වැටෙන්නේ නෑ.
යළි ඔහු තුළ මෝහය ඇති වෙන්නෙ නෑ.
අවිද්‍යාව මොහොතකටවත් ඇති වෙන්නෙ නෑ.

නිවන සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයාගේ
කය සැතපෙනවා.
සිත සති සම්පජන්‍යයෙන් පසු වෙනවා.
නිදා ගන්නා කෙනෙකුට සති සම්පජන්‍යය නෑ.
නින්දේදී පවතින්නේ මෝහයයි.

නින්ද කියන්නෙ උපරිම මෝහයයි.

පුහුදුන් පුද්ගලයෙකුගේ සිතෙහි
රාග සංස්කාර,  ද්වේශ සංස්කාර නැත්නම්
ආර්ය ශ්‍රාවකයෙකුට මෙන්
වේදනා ගැන සංඥා ගැන විතර්ක ගැන
පවතින සිහියත් නැත් නම්
ඒ සිතෙහි තියෙන්නෙ මෝහයයි..

අපි නින්ද කියන්න මනස නිදා ගන්නවාට.

අපේ මනස නොනැවතී දුවන්නෙ කෙලෙස් නිසා.
පුහුදුන් මනස දවස පුරාම නොනැවතී ක්‍රියා කරනවා.
කෙලෙස් බර මනසට ලැබෙන එකම විවේකය
රාත්‍රියෙ සිත මෝහයට පත්වෙන නින්දයි.

රාග ද්වේශ මෝහ නැසූ
රහතන් වහන්සේගේ ජීවිතයෙහි
සිත මෝහයට පත්වෙන
නින්ද නම් අත්දැකීම නොපවතී.

කෙලෙස් නැසූ මනස තියෙන්නෙ විවේකයෙන්.

කෙලෙස් නැසීමෙන් පිරිසිදු වූ
රහතන් වහන්සෙගෙ මනසට අවශ්‍ය විවේකය
දවස පුරාම තියනවා.
රහතන් වහන්සේගෙ මනස වෙහෙසෙන්නෙ නෑ.
රාත්‍රියේවත් නින්දට - මෝහයට පත් වෙන්නෙ නෑ.
රහතන් වහන්සේ සැතපෙන්නෙ කයට විවේක දෙන්නයි.
රහතන්  වහන්සේ සැතපෙන්නෙ සම්පජානෝ සතියෙන්.

රහතන්  වහන්සේ සැතපෙන විට පවා
දන්නා ලද වූ ම වේදනාවෝ උපදිත්. ... පවතිත්.. .. අස්තයට යෙත්.
දන්නා ලද වූ ම සංඥාවෝ උපදිත්. ... පවතිත්.. .. අස්තයට යෙත්.
දන්නා ලද වූ ම විතර්කයෝ උපදිත්. ... පවතිත්.. .. අස්තයට යෙත්.

බුදුන් වහන්සේ සැතපෙන්නේද
සම්පජානෝ සතියෙනි.

එක්කලෙක බුදුන් වහන්සේ
රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි
වැඩවසන සේක.

එකල්හි බුදුන් වහන්සේ
රෑ බොහෝ වේලාවක් එළිමහනෙහි සක්මන් කොට
රෑ ඉතා අලුයම්හි පා සෝදා විහාරයට පිවිස
සඟළ සිවුර සිවුගුණ කොට පනවා
දකුණු පයෙහි වම්පය හයා තබා
"සම්පජානෝ සති ඇති ව"
නැගී සිටුනා වෙලාව මෙනෙහි කොට
දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.

එකල්හි පවිටු මරු බුදුන් වහන්සේ වෙත එළඹියේ ය.
එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

"කිම නිදයි ද?
කුමක් හෙයින් නිදයි ද?
මළ එකකු මෙන් කුමකට නිදයි ද?
ශුන්‍යාගාරයක් මා විසින් (ලදැ) යි නිදයි ද?
කුමක් හෙයින් හිරු නැගි කල්හි නිදයි ද?"

( සම්පජානෝ සතියෙන් වැඩහුන් බුදුන් වහන්සේ...)

"යමකුගේ දැලක් බඳුවූ තෘෂ්ණාවෙන්
කිසි භවයෙක්හි පමුණුවන්නට නැද් ද,
ඒ බුදුහු සියලු උපධීන් ක්ෂය කොට සැතපෙයි..
මරුව, මෙහිලා තට කිම? "

ඉක්බිති පවිටු මරු
"භාග්‍යවත් තෙමේ මා දනී,
සුගත තෙමේ මා දනී"ය යි
දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ
එහි ම අතුරුදහන් විය.
- සංයුත්ත නිකාය සගාථ වර්ගය මාර සංයුත්තය  සුප්පති සූත්‍රය -

බුදුන් වහන්සේ කුටියෙහි සැතපෙන විට
හමුවන්නට පැමිණෙන කෙනෙකු පැමිණ
වරක් කාරා නියපිටින් අගුලට දෙවරක් තට්ටු කළ විට
උන් වහන්සේ පැමිණ දොර හරින්නේය.

බුදුන් වහන්සේත් රහතන් වහන්සේත්
සැතපෙන්නේ මෙසේය.
"දකුණු පයෙහි වම්පය හයා තබා
(දකුණු) පය මත (වම) පය මඳක් හැදැ තබා
සම්පජානෝ සති ඇති ව
නැගී සිටුනා වෙලාව මෙනෙහි කොට
දකුණැළයෙන් සිංහශය්‍යාවෙන් සැතපෙයි."

"මම රහතෙක්මි"
කියන  මුවින්ම
"මම වෙහෙස වී ඇඳට වැටුණාම
මට හොඳින් නින්ද යනවා"
කියා යම් කිසිවෙක් කියනවා නම්
ඔහුගේ රහත් බව ව්‍යාජයක්. 


=================================
සම්පජානෝ සතිය පිළිබඳ විස්තරයකි.

බුදු දහමෙහි ආශ්චර්යය සහ අද්භූත ධර්මය