20130113

"මධුර ජවනිකා" දර්ශන දෙකම බැලුවා.


 අද "මධුර ජවනිකා" දර්ශන දෙකම බැලුවා.
2013 01 13
  
ජැක්සන් අද වෙනදාටත් වඩා හොඳයි.
  • ජැක්සන් කුඩා කල සිට ලද
    විවිධ ජීවන අත්දැකීම් අළලා
    ඔහුම ලියන ලද ඉතාම රසවත්
    "පනාපුත්‍රගේ මතක වස්තුව"
    කියවීමෙන් පසු
    මා ඔහු දැක්කේ අදයි.


    ඔහුගේ ජුගුප්සාජනක, නොගැලපෙන
    දේශපාලනික රංගනය නිසා
    මා තුළ පිරිහී තිබුණ රසික සහෘදභාවය
    තිබුණාටත් වඩා ඉහළ නැංවීමට
    'මතක වස්තුව' හේතුවුණා.

    ඔහු නාට්‍යකලාවට දැක්වූ ආදරය
    සහ ඊට දැක්වූ ලැදියාව
    පළමුව ඔහුගේ රංගනයෙන්
    අපිට පසක් වෙනවා.
    ඒත් ඒ පසුබිම සවිස්තරව
    දැනගත හැක්කේ
    පනාපුත්‍රගේ  මතක වස්තුවෙන්.
    ------------------------------------------------------------
    "කරදර කම්කටොලු රාශියක් මධ්‍යයේ චිත්‍රපටයේ රූ ගැන්වීම් ආරම්භ විය. ධර්මසිරි චිත්‍රපටය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී සිටී. ඔහුගේ වෙහෙසට සීමාවක් නැත. එලෙස වෙහෙසෙන අධ්‍යක්ෂක වරයෙකු මා මීට පෙර දැක නැත.

    ධර්මසිරි නිතර මා මුණ ගැසීමට හඳපාංගොඩ එයි. දිනෙන් දින පාරම්පරික ගැමි නැට්ටුවෙකු බවට පත්වන පනාපුත්‍ර දෙස හේ සෙනෙහසින් බලා සිටියි. පුහුණුකාලය නිම කරන්නට වූයේ චිතරපටයේ රූ ගැන්වීම් යෙදී තිබුණ නිසාය. නො.එසේ නම් මා තවදුරටත් හඳපාංගොඩ වැසියෙකු වන්නට ඉඩ තිබුණි. සේදරමන් ගුරුන්නාන්සේ ධර්මසිරි අමතන්නේ "අපේ මහත්තයා"යනුවෙනි. පුහුණුව අවසාන කළදිනයේ සුදු මාමා අපේ මහත්තයාට ගෝලයා පිළිබඳ සහතිකයක් දුන්නේය.
    "අපේ මහත්තයා බය නැතිව එක්ක යන්න. මයෙ පුතා දැන් මළකටුවා ගාණට ඉන්නවා."
    මළකටුවා යනු මීට දශක කිහිපයකට පෙර පහත රට මඩු නැටුම් ආශ්‍රිතව සිටි ශ්‍රේෂ්ඨ නැට්ටුවෙකි."

    ----------------------------"පනාපුත්‍රගේ මතක වස්තුව" ----------------------------



    සුපුරුදු ලෙස
    ඉතා සියුම් ඉඟිබිඟි රැසක්
    ජැක්සන්ගේ රිද්මයානුකූල රංගනයෙහි
    අදත් තිබුණා.
    ඔහු අනික් නළු නිළියන් සමගත්
    ප්‍රෙක්ෂකාගාරය සමගත්
    පවත්වන සබඳතාවය
    ඉතාම ප්‍රිය ජනකයි.
    ජැක්සන් දෙබස් වලට සහ ගැයුම්වලට
    ඉතාම නිරායාසයෙන් එක් කරන
    අමතර විච්චූරණ නිසා
    අපේ උද්‍යෝගය නොකඩවා
    උත්තේජනය වෙනවා.
    ඔහු කිසිදු වෙහෙසකින් හෝ
    පූර්ව සූදානමකින් තොරව එක්කරන
    විවිධ අනුපාන නිසා
    රසික අවධානය අලුත් වෙනවා.


    අනිත් නලුනිළියන්ද
    සුපුරුදු ලෙසින්ම ඉතා හොඳින් රඟපෑවා.
    අලුතෙන් එක්වූ මාධනී මල්වත්ත තුලින්
    දක්ෂතාත් සමග අවුල් සහගත ආධුනික ගතියක් තිබුණත්
    පෙරහුරු වලින් සහ
    රංගනයෙන් ඒ ගතිය
    මග හැරෙතැයි සිතෙනවා.
    ඇය කුවේණි චරිතයෙදි ඇල්මැරුණු ගතියක් සහ
    රෝස නෝනා චරිතයේදී විරාමයන්ගෙන් තොර අධිරංගනයක්
    දකින්නට ලැබුණා..ඇයට අමතක වූ දෙබස් දරුවෙකුට මෙන් මතක් කරදෙමින්
    ජැක්සන් රැඟූ විලාසය අගෙයි.

    මධුර ජවනිකා
    යළි රඟ දැක්වෙනතුරු
    බලා සිටින්නේ ඉතා ආසාවෙන්.
    ===============================

    දයානන්ද ගුණවර්ධනයන්ගේ සටහනක්

    මධුර ජවනිකා නාටකය රචනා කිරීම මා ආරම්භ කළේ 1979 වර්ෂයේ සිට පමණ යැයි කිව හැක. මේ කාලයේ මා රූපවාහිනී සැලසුම් මධ්‍යස්ථානයේ සේවය කළ අතර, විශේෂයෙන් සිංහල විනෝද වැඩ සටහන් සැලසුම් කිරීමේදී මා ලද අත්දැකීම් ‘මධුර ජවනිකා’ නිර්මාණයට බලපා ඇත.

    සංගීත සංදර්ශන ස්වරූපයෙන් මේ රටේ බහුල ව පැතිරෙන්නට පටන් ගත් “සරල විනෝදාස්වාදය” වත්මන් ආර්ථික රටාව හා බැඳුනු බටහිර තාක්ෂණික ප්‍රවාහයේ අංගයක් වෙමින්, නිර්‍මාණ ක්‍ෂෙත්‍රයේ කලාකරුවන්ට තර්ජනයක් වන ලෙසක් ද පෙනේ. රට ජාතිය ආගම පිළිබඳ හැඟීම් ජනතාව තුළින්, විෂේශයෙන් තරුණ පරම්පරාවෙන් ඉවත්ව යන බවට ද බොහෝ දෙනා මෙකල අදහස් පළ කරන්නට වී ඇත. නිර්‍මාණ ක්‍ෂෙත්‍රයේ කටයුතු කිරීම ද අතිශය වියදම්කාරී වී ඇති අතර, ඉන් ලැබෙන ප්‍රථිලාභයන් ද ඉතා අල්ප වන්නට වී ඇත. සරල විනෝදාස්වාදය මුදල් ආයෝජනය අතින් ඉතා වා‍සිදායක වී ඇත්තේ අලුත් ධනවතුන් ගේ සංස්කෘතික විලාසිතාව එය වීමට පටන් ගැනීම නිසාය. සෙනග අද්දවා ගැනීමේ ශක්තිය මත වාණිජ හා දේශපාලන අනුග්‍රහය ද සරල විනෝදාස්වාදයටම නැඹුරුවීම පුදුමයට කරුණක් ද නොවේ. “මධුර ජවනිකා” වේ තේමාවද එය වේ. මෙම තර්ජනය අදට සීමාවුණු ප්‍රශ්ණයක් ද නොවේ. එමෙන්ම විදේශීය බලපෑම්වල තර්ජනය ද කවදත් කොයි දිනත් පවතී. ඒ සනාතනික ගැටුම තුලින් අ‍පේ සංස්කෘතිය වර්ධනය වේ.

    මේ තේමාව වත්මන් ප්‍රේක්‍ෂකයා වෙත ගෙන යෑම සඳහා ඔවුන් අතර ප්‍රචලිත වී ඇති සංගීත සංදර්‍ශන මාධ්‍යම මම තෝරා ගතිමි. මධුර ජවනිකා සංදර්‍ශනය මෙහෙයවන්නා වශයෙන් කථක ‍වෙයි. ඔහු පිටරටින් එන අය සෝදිසි කරන්නෙකි. නාට්‍යයේ ඒ එන අය ගැයුම්, වැයුම්, නැටුම් ඉදිරපත් කරන්නෝ වෙති. නමුත් ඔවුන් ගයන්නේ, වයන්නේ, නටන්නේ අපේ ජන ශ්‍රැතියෙන් ගත් ගායන, වාදන හා නැටුම් ය. කියන්නේ අපේ සංස්කෘතිය ගැනය. එමෙන්ම ඔවුහු වර්‍තමානයේ ප්‍රශ්න සමගද සම්බන්ධ වෙති.

    මධුර ජවනිකා මට්ටම් කීපයකින් යුත් රැඟුමක් වශයෙන් අදහස් කොට ලීවෙමි. එය මෙරට ඉතිහාසය දෙස හෙලන විමසුම් බැල්මකි. එමෙන්ම මෙරට ආගමික සිතුම් පැතුම් වල, විශේෂයෙන් බෞද්ධාගම පිළිබඳව සිදුවූ වෙනස්කම් ද එහි නිරෑපණය කෙරේ. මෙ රටට පැමිණි විදේශීකයන් හා ඔවුන්ගේ බලපෑම්, සංගීත ‍ක්‍ෂෙත්‍රයේ ප්‍රගමනය ආදිය ‘මධුර ජවනිකා’ මගින් විදහා දැක්වීම මගේ අරමුණ විය. මේ සියල්ලක් කෙරෙහි ම මා බොහෝදුරට බැලුවේ ජන ශ්‍රැතිය මුල් කරගෙනය.

    දයානන්ද ගුණවර්ධන
    1984-11-06
    උපුටා ගැනීම: http://www.dayanandagunawardena.org/work/madhura-javanika
    ---------------------------------------------------------"වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපටය යන මාධ්‍ය තුනේම
    හොඳම නළුවා වීමේ වීරල භාග්‍යය හිමි කරගෙන ඇත්තේ ද ජැක්සන්ය.
    මා සිතන පරිදි එය අප රටේ සුවිශේෂ වාර්තාවකි.

    ජැක්සන් අපට සිටින බුද්ධිමත් නළුවන් කීප දෙනාගෙන් කෙනෙකි.
    (අනිත් නළුවන් මැටි මෝලුන් යැයි මම මෙයින් අදහස් නොකරමි).

    ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා වරක් කියූ දෙයක් මෙහිලා මා සිහියට එයි.
    ‘ජැක්සන් ප්‍රඥාවත් රුවත් එක සේ දායාද කර ගත් නිර්මාණශීලී නළුවකු ලෙස මම දකිමි.’

    අද මෙරට සිටින සිනමා නළුවන්ගෙන් එකම ශාස්ත්‍රවන්තයා ජැක්සන්ය. 

    කලාව පමණක් නොව ජනසන්නිවේදනය, ඉතිහාසය, පුරා විද්‍යාව වැනි විෂයයන් අරභයා වූ 
    ඔහුගේ දැනුම් සම්භාරය අති පෘථුලය. 

    ජැක්සන් රංගනය සලකන්නේ ද ගැඹුරු ශාස්ත්‍රයක් ලෙසිනි."
    සුනිල් මිහිඳුකුල

     
    "පනාපුත්‍රගේ මතක වස්තුව"
    නවක නළු නිළියන්ට හොඳ පාඩමක්.
    ඔවුන් දැන් කරන දේත්
    සැබැවින්ම කළයුතු දේත් අතර
    වෙනස වටහා ගන්නට
    හොඳ පාඩමක්.
    --------------------------------------
    "පනාපුත්‍රගේ මතක වස්තුව"
    ප්‍රකාශක 0777363633
    සුපිරි වෙළඳ සංකීර්ණය
    බොරැල්ල.
  • ================================================