20180108

වෛද්‍යවරු සයිටම් විරෝධය අකුලාගත්තේ ඇයි.?

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නිර්ණායක
පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීම
සයිටම් විරෝධයෙන් මතුවුණ
ප්‍රබලම ජාතික අවශ්‍යතාවයයි.
සයිටම් විරෝධය අකුලාගන්නට හේතුවුණ
ප්‍රධානම සාධකයත් එයමද?

රජයේ වෛද්‍ය සංගමය සහ
වෛද්‍ය සිසුන් දෙමාපියන් එක් වෙලා
වසරකටත් වඩා ගහපු සයිටම් ගේම
තියපු තියපු අඩිය ලිස්සලා ගිහින්
ගොඩ ගන්න බැරි තැනටම ලිස්සලා ගිහින්
ගොඩ ගන්න බැරි තැනකට වැටුණෙ
කාගෙ දක්ෂකම් නිසාද?
කාගෙ දුර්වල කම් නිසාද?

රාජිත, පාදෙණිය සහ නෙවිල් කියන
වෛද්‍යවරු සහ ඔවුන්ගේ සගයන් එකතුවෙලා
මෛත්‍රී බලයෙන් ඉවත් කරමින්
මහින්ද නැවත ගෙනෙන දේශපාලන ගේම
වක්‍රාකාරව ඉෂ්ඨ වෙන තෙක්
ඇදගෙන යන්න හැදුව සයිටම් ගේමට මුහුණ දී
වෛද්‍යවරු බිත්තියට හේත්තු කළේ
ජනපති මෛත්‍රී නොවෙයිද?

බොරුව, වංචාව, අතිශයෝක්තිය සහ
කූඨ වෙළඳ ප්‍රචාරණ උපක්‍රම මගින්
මිනිසුන්ගෙ හිත්වලට කාවද්දපු
පුහු සයිටම් භීතිය නිසා වුණේ
රජයේ වෛද්‍යවරුන්ගේත් ප්‍රමිතියත්
පිළිගත නොහැකි බව ජනතාවට
අර තරම් තදින්ම කාවැදීමයි.

වෛද්‍යවරයෙක් අසාර්ථක වෙන වෙලාවට
"මේ සයිටම් වෛද්‍යවරයෙක්දැ? කියා
ජනතාව ප්‍රශ්න කරන තැනට
වෛද්‍ය වෘත්තිය පත්වුණේ
"රෝගී ජීවිත අනතුරේ" නම්
ප්‍රචාරණ ව්‍යාපෘතිය නිසයි.

අපේ රටේ වෛද්‍යවරු පත්වෙන්නෙ
නීතිගත ප්‍රමිති නිර්ණායකවත් නැතුව
වෛද්‍ය සභාවෙ ඕනෑ එපාකම් අනුව බව
අපි දැන ගත්තෙ සයිටම් විරෝධය නිසයි.
ඒ බව අපට හෙළිකළේ
මේ රටේ උසාවියකින්ම වීම නිසා
කිසිවෙකුටත් ඒ සත්‍යතාවයට
පිටුපෑම කළ නොහැකි වුණා.

අද ඉන්න වෛද්‍යවරු අතර දක්ෂයන් ඉන්නෙ
ඔවුන්ගෙම දක්ෂ කම නිසා මිසක්
ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනයෙ ප්‍රමිතියට
නීතිගත් නිර්ණායක සහිතව
ඉහළ මට්ටමක පවතින නිසා නොවෙයි කියා
දැන් අපිට හිතන්න වෙලා තියනවා.
අදක්ෂ වෛද්‍යවරු සියල්ලන්ම
ඒ ප්‍රමිති නිර්ණායක නැති කමෙන්
ප්‍රයෝජන අරගෙන හිල් කූඩෙන් රින්ගුව
දුර්වල වෛද්‍ය සිසුන් බව පැහැදිලියි.

අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයෙ ප්‍රමිතියට
තවමත් නීතිගත කළ ප්‍රමිති නිර්ණායක නෑ.
ප්‍රමිති නිර්ණායක නීතිගත කරන්න
අපේ වෛද්‍යවරු ඉඩ දෙන්නෙත් නෑ.

රජයට තමන් කැමති මට්ටමකින්
සායනික පුහුණුව දීල එළියට දාන
සයිටම් වෛද්‍යවරු සමගම
නිසි ප්‍රමිතියකින් තොරව රජයේ පීඨවලින්
රෝගී ජනතාව අතරට එන වෛද්‍යවරුත්
දිගටම වෛද්‍ය ක්ෂේත්‍රයට එක් වෙයි.

මම හිතන්නෙ
වෛද්‍යවරු සයිටම් ගේම අත්හැරලා දාල ඉවත්වුණේ
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නිර්ණායක
පාර්ලිමේන්තු පනතකින් නීතිගත කරන තැනට
ප්‍රමිති ප්‍රශ්නය ඔඩු දුවපු නිසයි.

සයිටම් ප්‍රමිතිය නෑ කියල කිව්වට
ඔවුන්ගේ අධ්‍යාපනයෙ ප්‍රමිතිය මනින්න
නිර්ණායක නීතිගත වෙනවාට
දක්ෂම වෛද්‍යවරු අතළොස්ස හැරෙන්න
වෙනත් කිසිම වෛද්‍යවරයෙක් කැමති වෙන්නෙ නෑ.

පැමිණෙන වෙලාව අත්සන් කරන්නෙවත් නැති
ආචාර ධර්ම ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරු
ප්‍රමිති නිර්ණායක නීතිගතවීම ඉවසාවිද?

රෝගී ජීවිත අනතුරේ වැටෙන්නෙ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා නොවෙයි.
රජය සහ පෞද්ගලික අංශ දෙකම
පනතකින් නීතිගත කරන ලද
ප්‍රමිති නිර්ණායක නැති වෛද්‍ය අධ්‍යාපනයකින්
හිතුමතේට බිහිකරන වෛද්‍යවරු නිසයි.