20161208

එකම අත්දැකීමක් තුළ රාගයත් ද්වේශයත් උපදිනවා.

ඔබට යම් අවස්ථාවක
අතට අයිස්ක්‍රීම් අරගෙන කන්න සිදු වුණොත්
ඔබ ඒ අවස්ථාවෙ හැසිරෙන්නෙ කොහොමද?

ඔබ අතේ තියන අයිස්ක්‍රීම් ප්‍රිය කරනවාද?
දිවෙහි තැවරෙන අයිස්ක්‍රීම් ප්‍රිය කරනවාද?

අයිස්ක්‍රීම් නිසා
අතෙහි ඇති වෙන වේදනා ඔබට අප්‍රියයි.
අයිස්ක්‍රීම් නිසා
දිවෙහි ඇති වෙන වේදනා ඔබට ප්‍රියයි.

කිරි රස පැණි රස නැතිව
සීතල පමණක් අතට දැනෙන නිසා
අතෙහි ඇති වෙන වේදනා ඔබට අප්‍රියයි.

අතට දැනෙන වේදනාවෙන්
ඔබට උපදින තණ්හාව
මේ අප්‍රිය වේදනාවෙන් මිදීමයි.

දිවට දැනෙනෙ වේදනා වලින්
ඔබට උපදින තණ්හාව
මේ ප්‍රිය වේදනා ඇති වෙන තෙක් විඳීමයි.

අයිස්ක්‍රීම් ස්පර්ශ වීමෙන්
අතෙත් දිවෙත් එකම වේදනාවක් උඅපදිනවා.
වේදනා නිසා ඇතිවෙන තණ්හාව
අතේදි ද්වේශය ලෙසත්
දිවේදි රාගය ලෙසත් ඔබ කිළිටි කරනවා.

---------------------------------------------

මීළඟට අයිස්ක්‍රීම් ලැබුණ වෙලාවට
මේ අත්දැකීම විඳ පසක් කරන්න.

සිත නතර කරන්න පුලුවන්.

සිත නතර කරන්න ක්‍රම දෙකක් තියනවා.


පළමුවැන්න සමථ වශයෙන් හඳුන්වනවා.

සමථ ක්‍රමයෙදි මුලින්ම කරන්නෙ
සිත එක අරමුණක නතර කරගැනීමයි.
ආරම්භක අවස්ථාවෙදි
නොයෙක් ආගම් වල විවිධ ක්‍රම භාවිතා කරනවා.
ගාථා කීම, පිරිත් සජ්ඣාජයනා කිරීම,
භජන් ගැයීම, ස්තෝත්‍ර ගැයීම, යාඤා කිරීම
ගුරුවරයාගේ දේශනවලට සවන් දීම ආදී
විවිධ ක්‍රම වලින් සිත නතර කරන්න
තමන් අදහන අරමුණක් ඔවුන් භාවිතා කරනවා.

වචන මට්ටම ඉක්මවා ඉදිරියට යන කෙනෙක්
පහන් දැල්ලක්, මන්ත්‍රයක්, දෙවි කෙනෙකුගේ නමක් වැනි
තනි අරමුණක් භාවිතා කරනවා.
කයත් වේදනාත්
අන් සියලු අරමුණුත් සිතින් ඉවත් කරමින්
ඒ තනි අරමුණෙහිම සිත රඳවා ගන්නවා.

අවසානයේ ඒ අරමුණත් ඉවත් කරමින්
හිත සම්පූර්ණයෙන්ම හිස් කරගෙන
තමන්ගෙ කයත් වේදනාත්
බාහිර අරමුණුත් නොදැනෙන හිස් මනසක්
මෝහයට පත් බොල් මනසක් හිමි කරගන්නවා.

ඔවුන් රාග ද්වේශ ඇතිවෙන අවස්ථා
උවමනාවෙන්ම මග හරිමින්
මෝහයට පත්ව මෝහය තුළ දිවි ගෙවනවා.

සිතුවිලිවලින් සිත හිස්වෙන
මෝහ තත්වයට පත්වීම නිසා
" මම සෝවාන් වෙලා."
" මම රහත් වෙලා "
" මම බුදු වෙලා " ආදී වශයෙන්
තමනුත් මුළා වී අනුන්ද මුළා කරනවා.

මගඵල ලැබූ පුද්ගලයන්
එදිනෙදා ජීවිතය තුළ මෝහය සොයන්නේ නෑ.
මෝහයෙන් වෙසෙන ව්‍යාජ මගඵල ලාභීන්
උණුසුම වළක්වන්න කුඩය භාවිතා කරනවා.
අසපු ආශ්‍රම වායු සමීකරණය කරගන්නවා.
බාහිර පරිසරයෙ සීතල මගහරින්න
සිරුර සම්පූර්ණයෙන් ආවරණය කරගන්නවා.

කයත් වේදනාත් ගැන සිහියෙන් සහ
උපේක්ෂාවෙන් වෙසෙන්නට නොහැකි කිසිවෙකුට
සෝවාන් වෙන්න රහත් වෙන්න බැහැ.

කෙලෙස් යටපත් කරමින් මග හරිමින්
සිත මෝහයට පත් කරගෙන
සිත සිතුවිල්ලෙන් හිස් කරගන්නා පුද්ගලයන්ට
සමාජය ඇසුරු කරන්න අපහසුයි.
සමාජයට මුහුණ දුන් විගස
යටපත් කරගෙන සිටින කෙලෙස් මතුවී
පහසුවෙන් රාග ද්වේශ ඇතිවෙන නිසා
තනිව සමාජයේ හැසිරෙන්න අපහසුයි.

ව්‍යාජ මගඵල ලාභීන්
තමන්ගෙ ආශ්‍රම අසපු තනාගෙන
තමන්ගෙ ගෝල පිරිසක් තනාගෙන
ඒ ගොඩනැගිලි තුළට වෙලා
ගෝල පිරිස පවුරක් ලෙස භාවිතා කරමින්
සමාජයෙන් ඈත්වෙලා මෝහය තුළ ජීවත් වෙනවා.
ගෝල පිරිසත් ඔවුන් අදහන අයත්
මෝහයට යොමු කරනවා.

සමාජයේ බොහෝ දෙනෙක් සොයන්නේත්
ඔවුන්ට හමුවන්නේත්
සිත මෝහයට පත් කරන පළමු ක්‍රමයයි.
ඔවුන් ඒ ක්‍රමය තුළ සිත නතර කරගෙන
අන්ධයන් සහ කොරුන් මෙන්
තමන් සීමා කරගෙන සැනසිල්ලක් සොයාගන්නවා.


මෝහයට පත්වී සිත නතර කරන පළමු ක්‍රමය
පුද්ගලිකව කෙනෙකුට සැනසිල්ලක් වුණත්
සමාජයික ජීවිතයකට සුදුසු නෑ.
ගිහි ජීවිතයකට සුදුසු නෑ.

සිත නතර කරන දෙවෙනි ක්‍රමය
බුදුන් වහන්සේ විසින් සොයාගත් ක්‍රමයයි.

විපස්සනා නමින් හඳුන්වන ක්‍රමයෙදි
සිත නතර කරන ක්‍රමය ස්වාභාවිකයි.
විපස්සනා වැඩීමෙදි කරන්නෙ
තමන්ට ප්‍රිය දේත් අප්‍රිය දේත් පමණක් දකින
ඉතිරි සියල්ලට මෝහයෙන් පසුවෙන සිතට
ඒ සිත සංවේදී වන සමස්ත පරාසය ගැනම
සිහියෙන් ඉන්න සිත පුහුණු කිරීමයි.
තමා තුළත් අවටත් සිදුවෙන සියල්ල්ම
ඒ සිතට අදාළයි.
කිසිවක් අල්ලා ගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක්
ඒ සිතට නෑ.

සත්වයා තුළ සිදුවන සියලුම වෙනස්වීම්
ඒ සිදුවෙන මොහොතෙම සිහියෙන් දකින්නට
සත්වයෙකුට හැකියාව තියනවා.
මිනිසාවත් ඒ හැකියාව භාවිතා කරන්නේ නෑ.

තමන්ට ප්‍රිය දේත් අප්‍රිය දේත් පමණක් දකිමින්
ඉතිරි සියල්ලට මෝහයෙන් පසුවෙන නිසා
කිසිම සත්වයෙකුට සමස්ත වෙනස් වීම පෙනෙන්නෙ නෑ.
කාය, වේදනා, චිත්ත, ධම්ම වශයෙන් හැඳින්වෙන
1. කය                                .
2. කයෙහි වෙනස් වීම්        .
3. සිත                                 .
4. සිතෙහි වෙනස් වීම් කියන
හතරම ගැන සිහියෙන් සිටින්නටත්
මේ සියල්ලටම නොබැඳී උපේක්ෂාවෙන් වෙසෙන්නටත්
යම් සත්වයෙක් පුහුණු වූ විට
සිත නතර වෙනවා.

ඔහුගෙ සිත නතර වුණාට
සමස්තය ගැනම සිහියෙන් වෙසෙන නිසා
ඒ සිත අභ්‍යන්තර-බාහිර පරිසරය ගැනත්
ඒ පරිසර දෙකෙහිම සිදුවෙන
සියලු වෙනස්වීම් ගැනත් අවදියෙන් පසුවෙනවා.
ඔහු තුළ මෝහය නෑ.
අවශ්‍ය විටෙක සිතින් වචනයෙන් කයින්
අවශ්‍ය ක්‍රියාවක් කරන්නට ඔහු නිදහස්.

මේ මානසික ස්වභාවය
සාමාන්‍ය සත්වයෙකුට විසිය හැකි
උතුම්ම මානසික තත්වයයි.

මේ මානසික වාතාවරණය තුළ
අභ්‍යන්තර-බාහිර පරිසරය වෙනස් වුණාට
රාග ද්වේශ පහළ නොවෙන නිසාත්
සමස්තය ගැන සිහියෙන් සිටිනවිට
මෝහය නැති නිසාත්
නව සංස්කාර ඇතිවන්නේ නෑ.

නව සංස්කාර ඇති නොවෙන සිතක
පැරණි සංස්කාර මතු වීම ස්වාභාවිකයි.
සංස්කාර වැයවීමත් ස්වාභාවිකයි.
සිහියත් උපේක්ෂාවත් ඇති තැන
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමත් ස්වාභාවිකයි.

ප්‍රිය අප්‍රිය හෝ
ප්‍රිය අප්‍රිය නොවන වේදනා ලෙස 
මතු වෙන පැරණි සංස්කාර ප්‍රකට වෙනවා.
මේ අවස්ථාව මග හැරුණොත්
මේ පැරණි සංස්කාර
චිත්ත අවස්ථාවෙ රාග, ද්වේශ මෝහාදිය ලෙසත්
ධම්ම අවස්ථාවෙදි පංච නීවරණ ලෙසත් ප්‍රකට වෙමින් 
සමස්ත ක්‍රියාවලිය ගැනම පවතින
සිහියත් උපේක්ෂාවත් නිසා
පැරණි සංස්කාර නිරුද්ධ වෙමින් සිත පිරිසිදු වෙනවා.
අනුසය කෙලෙස් නැසෙනවා.

විපස්සනා වඩන කෙනෙක්
තමන් මගඵල ලැබුවා කියා රැවටෙන්නේ නෑ.
ඔහු තමන් තුළ සංස්කාර දකිනවා.
ඒ සංස්කාර වලට ඔහු යටත් නැහැ.

තවමත් පුහුදුන් නිසා
ඔහුගේ සිතුවිලි, වචන හා ක්‍රියා වලට
සංස්කාර මුසු විය හැකියි.
ඒත් ඔහු නතර වූ මොහොතෙම
විපස්සනාවට යොමුවූ විගස
ඒ මතුවෙන සංස්කාර වලට
සිහියෙන් හා උපේක්ෂාවෙන් විසීමෙන්
සිත කෙලෙස් නැසී පිරිසිදු වෙනවා.

පුහුණුව ප්‍රබල වන විට
ක්‍රියාකාරී අවස්ථාවන්හිදීත්
තමා තුළ ඇති වෙන සංස්කාර පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් වෙසෙන නිසා
ඔහුගේ වචන වලට හා ක්‍රියාවලට
සිතේ ඇතිවෙන සංස්කාර වල
බලපෑම අඩු වෙනවා.
සිත සංස්කාර වලින් කැළඹුණත්
ඔහුගේ වචන සහ හැසිරීම සංවරයි.