20140110

කිව්වා නාහන ගුරු



Photo by Sanka Vidanagama
පින්තුරේ ගැන විතරක් බලනවා කියලා හිතාගෙන, 
මේක අපූරු එකක් විදියට පේන අයට, 
එහෙම පේන්න හේතුව ඒක පිටුපස තියෙන කතාවම තමයි. 
පසුබිම් කතාවෙන් තොරව මේ පින්තූරයේ කිසිම අපූර්ව බවක් හෝ වටිනාකමක් නෑ.Gimhana Wedage
-----------------------------------------------------------------
ගිම්හානගෙ කතාව
එකපැත්තකින් හරි වුණාට
මෙහි සමස්ත වටිනාකම බලන කොට
අදාළ නැහැ.

ජනමාධ්‍ය ඡායාරූපයක්  මනින්න ඕන
ජනමාධ්‍ය ඡායාරූපයක් කියන එක
හිතේ තියාගෙනයි.

හාමුදුරු කෙනෙක්
ගිහියන් ඉදිරියෙ
මේ තරම් පාච්චල් වුණ අවස්ථාවක
මෙතරම් හොඳින් ගත්ත ඡායාරූපයක්
මම මීට කලින් දැකල නැහැ.

ඒ අතින්
මේ ඡායාරූපය
මම දැකපු විශිෂ්ඨම ඡායාරූපයයි.

බුදුන් වහන්සෙ භික්ෂූන්ට කියන්නෙ
ගැඹුරු ලිඳකට එබෙනවා වගේ
ප්‍රවේශමෙන් ගිහියන් අතර හැසිරෙන්න කියලා.

අද පාරෙ රස්තියාදු ගහන
හාමුදුරු කෙනෙක්

ගිහියෙකුගෙන් වෙනස් වෙන්නෙ
කහ රෙද්ද නිසා විතරයි.
මේ හිස් මිනිසුන්
පොලිස් කාරයන්ගෙන් ගුටි කන්නෙ

බුදු දහම පිළි නොපැද
හිතට වහල්වෙලා
නොකල්හි වීදියේ සැරි සැරීම නිසයි.

ඒත් බුදු දහම නිවැරදිව පිළිපදින
අවුරුදු හතක සාමණේරයන් වහන්සෙ නමක්
මුළු දඹදිවම යටත් කරගෙන හිටපු
මැර අධිරාජයා දණ ගස්සවල
මුළු ආසියාවටම
බුදු දහම පතුරුවා හරින්න
මග විවර කළා.
“ විනයෝ නාම සාසනස්ස ආයු ;
විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති”
භික්ෂූන් වහන්සේලා හැසිරිය යුත්තේ
බුදුන් වහන්සේ නියම කළ ආකාරයෙනුයි.


"මම ගිහියන්ගේ ආකාරයෙන්
වෙනස් ආකාරයට පැමිණියේ වෙමි" යිද
"මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරියයුතුය"යි ද
පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව
අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.
-[ශාසනාවතරණය]

"ගිහි ගෙයටත් නැතිව
මහණ කමටත් නැතිව
දෙලොවක අතරමං වූ පැවිද්දා
දෙකොණින් ඇවිලෙන
මැද අශූචි තැවරුණ
ගමටත් නැති, වනයටත් නැති
සොහොන් පෙණෙල්ලක් වැනිය"
බුදුන් වහන්සේගේ මේ උපමාව
බැලූ බැල්මට
නිග්‍රහයක් මෙන් පෙණුනද
කරුණා පෙරදැරිවම කිවූ වදනකි.

භික්ෂූන් ගිහියන් මෙන්
අසංවරව හැසිරීමෙන්
අසරණ වන්නේ ගිහියන්ය.

අසංවර, අශීලාචාර ගිහියාට
ආදර්ශයක්, ආලෝකයක් වන්නේ
බුදුන් වහන්සේ විසින්
ගරු කටයුතු, පිදිය යුතු
භික්ෂූන් වහන්සේ හැසිරිය යුතුයැයි
පෙන්වාදී ඇති ආකාරයට හැසිරෙන
සංවර, සුපේෂල ශික්ෂාකාමී
භික්ෂූන් වහන්සේය.


ගිහියන්ගෙ පිහිටෙන් ජීවත් වෙන කෙනෙකුට
සමාජය හදන්න අයිතියක් නැහැ.
ගිහියන් භික්ෂූන්ට සිවුපසයෙන් සලකන්නෙ
ඔවුන් නිවන් දකින්න කටයුතු කරනවා
කියන පොරොන්දුව මත
සිවුර දරා සිටින නිසයි.

වෙන දේක යෙදෙනවා නම්
ඔවුන් කරන්නෙ ගිහියන්ට වංචා කිරීමක්.

ඉතින් එවැනි කිව්වා නාහන ගුරෙක්...
මෙසේ නිග්‍රහයට පාත්‍ර වෙලා
හිසේ අත ගසාගෙන ඉන්න එක
වාර්තා කළයුතු
සුවිශේෂී අවස්ථාවක්..

මේ ඡායාරූපය
කලාත්මක අතින් නොවෙයි..
තාක්ශනික අතිනුත්
දුර්වල වුණාට කමක් නැහැ.
කතාව පැහැදිලිව..
අනවශ්‍ය දේවල් නැතුව
අවශ්‍ය දේවල් ඇතුව තියනවා.