20171029

සයිටම් විරෝධය අහෝසියි. සයිටම් විරෝධීන්ගේ සැබෑ මුහුණුවර???



සයිටම් විරෝධය අහෝසියි.
සයිටම් සිසුන් ජයගනියි.

සයිටම් විරෝධීන්ගේ සැබෑ මුහුණුවර
දැක ගැනීමට සූදානම් වන්න.

සයිටම් ආයතනය අහෝසියි.
ලාභ නොලබන ආයතනයක් ඇති කෙරෙයි.
සයිටම් සිසුන්ගේ අනාගතය සහතිකයි.
ගෙවා ඉගෙනගැනීමේ පහසුව දිගටම.
ප්‍රමිතිය වෛද්‍ය සභාවට අනුකූලව.
දුප්පතුන්ට ශිෂ්‍යත්ව සහ ණය සහන.
නව කළමණාකරණයක්.

දැන් සයිටම් විරෝධීන්ගේ ඉල්ලීම්වලින්
නොලැබුණේ මොනවාද?
සයිටම් ආයතනය රජයට පවරා ගැනීම හැර
ඔවුන්ගේ අන් සියලුම ඉල්ලීම් ඉටුවී ඇත.

සයිටම් ආයතනය අහෝසි වූ පසු
පිහිටුවන නව ආයතනය ලාභ නොලබන ආයතනයකි.
බටහිර රටවල් වල පුද්ගලික වෛද්‍ය විද්‍යාල
රජය සම්බන්ධ ලාභ නොලබන ආයතන නිසා
අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද
ඒ අනුව විය යුතු බවට යෝජනා කළේ ඔවුන්ය.
දැන් එම ඉල්ලීම ඉටුවී තිබේ.
ඉදිරියේදී බිහිවෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද
මේ ආකාරයටම ක්‍රියාත්මක කළ හැක.

උසස් පෙළ ප්‍රතිඵල අනුව සියයට හතළිහක්
සහ ඉතිරි සියයට හැට දිස්ත්‍රික් කෝටාවෙන් ගෙන
වෛද්‍ය පීඨවලට 1300ක් බඳවා ගත් පසුව
දිස්ත්‍රික් කෝටාව්ලින් බඳවා ගන්නා සිසුන්ට වඩා
ඉහළ සුදුසුකම් සහිත සහ අවම සුදුසුකම් සහිත
දස්ගාණක් සිසුන්ට වියදම සිය අතින් ගෙවා
වෛද්‍ය සභාව පිළිගත් වෛද්‍යවරයෙකු වන්නට
දොරටුව විවර වී ඇත.

දැන් වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව
ධනවතුන්ට පමණක් සීමා වූ සිහිනයක් නොවේ.
අවශ්‍ය වියදම කළමණාකරණය කරගත හැකි
අවම සුදුසුකම් ඇති අයට අවස්ථාව තිබේ.
ඉල්ලුම අනුව නව විද්‍යාල විවෘත වනු ඇත.

සයිටම් විරෝධීන් දිගින් දිගටම ඉල්ලා සිටි
අවම ප්‍රමිතියද වෛද්‍ය සභාවට අනුව
නව ආයතනයට සිසුන් බඳවා ගැනීමේදී
ක්‍රියාත්මක වනු ඇත.
මෙතෙක් පිළිගත් අවම ප්‍රමිතිය
වෙනස් නොකරන බවත් වෛද්‍ය සභා සභාපති
ප්‍රකාශකොට ඇති හෙයින් එහිද ගැටළු නැත.

ඉක්බිති සයිටම් විරෝධීන්ට හැර
අන් සියල්ලන්ටම සතුටින් එකඟ විය හැකි
සාධාරණ විසඳුමක් මෛත්‍රී විසින්
ලබා දී ඇත.

සයිටම් විරෝධය කවරක් සඳහාද යන්න
මෙතෙක් විවාදිත වූයේ ඔවුන්ගේ ඉල්ලීම්
මෙතෙක් ඉටු නොවී පැවතීම නිසා විය හැකිය.
එහෙත් ඔවුන් ඉල්ලූ සියලු දේ ඉටුවීමෙන් පසුව
තවදුරටත් සයිටම් විරෝධය එසේම නම්
ඔවුන් හෙළි නොකරන යටි අරමුණක් එහි ඇත.
එම යටි අරමුණ වන්නේ
"ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ප්‍රමාණය
අඩුකර ගැනීම" නොවන්නේද යන ගැටළුව
වෛද්‍ය සිසුන් විසින් විසඳාගත යුතුය.

නිරෝගී ජීවිත අනතුරේ -වේදනා නාශක වසංගතයක්

ඔපියොයිඩ් වසංගතයෙන් කිසිදු රෝහලක්
මිදී නැති බවට ප්‍රවෘත්ති ඇමරිකාවේ පළ වූයේ
2016 වසරේ මුල් භාගයේදීය.
කිසියම් ආකාරයක වේදනා නාශකයක් නිසා
දිනකට මිය යන ප්‍රමාණය 44ක් බව
ඒ දිනවල වාර්තා විය.

රෝගීන්ට ප්‍රතිකාර කිරීම
වෙළඳ ව්‍යාපාරයක් වූ පසු
අරමුණ ලාභ ලැබීමයි.

ලාභය උපයන්නට නම් රෝගීන් සිටිය යුතුය.
නිරෝගී මිනිසුන් රෝගීන් විය යුතුය,
ඔවුන් වෛද්‍යවරුන් වෙත පැමිණිය යුතුය.
ඔවුන් නියම කරන බෙහෙත් මිලදී ගත යුතුය.

මේ දාමයේ ඔසු නිෂ්පාදකයාට හිමිවන්නේ
අද්විතීය ස්ථානයක් වන අතර
ඔහු තිරය පිටුපස සිට වෛද්‍ය ක්ෂේත්‍රය පුරා
සිය අණසක පතුරවන අදිසි හස්තයයි.

ප්‍රතිශක්තිකරණයේ සිටම ඔසු වලට හුරු කරන
නව පරපුරේ සියලු අසරණ ජීවීන්
"ආහාර මෙන්ම ඖෂධද මිනිසාට අත්‍යාවශ්‍යයි"
යන විශ්වාසයේ එල්බ ගෙන සියලු කැක්කුම් වේදනා
ඖෂධවල පිහිටෙන්ම සුව කරගන්නට යොමු වෙති.

රෝගයක් ඇතත් නැතත් ඖෂධ විකිණීම
අද ජාවාරමක් වී ඇති බවට සහතිකයක්
බටහිරෙන්ම ලැබීම අපූරු අනතුරු ඇඟවීමකි.

රෝග නොවැළඳුනු අයත්
රෝගීන් ලෙස සලකා දුන් බෙහෙතෙන්
මිනිසුන් මරන්නට වෛද්‍ය සහාය ලබාගත්
ඔසු නිෂ්පාදක කපූර් මේ මාරාන්තික ජාවාරමේ
ඒක් කුඩා සාධකයක් පමණක් විය හැක.

මෙය කියවන ඔබ පවා මේ දාමයේ
තවත් එක පුරුකක් නොවිය හැකිද?

විවේකයෙන් සුව වන රෝග කීයකට නම්
වේදනාවෙන් මිදෙන්නට සිතාගෙන
අදාළ රෝගය එසේම තිබියදී
වේදනා නාශකයකින් වේදනාව සඟවා
නිරෝගී පුද්ගලයෙකු මෙන් ඔබ රඟපෑවේද?

මනස නිරෝගී චරිතය රඟ පාන විට
කය රෝගී බව සඟවන්නට ප්‍රතිකාර කළ
ඔබේ වෛද්‍යවරයා සහ ෆාමසි කරුවාට
රෝගය සුව කරන්නටද ගෙවිය යුතුය.

වේදනා නාශකය යනු වෛද්‍යවරයාටත්
ෆාමසි කරුවාටත්, ඔසු නිෂ්පාදකයාටත්
අත්තිකාරම් ලෙස ලැබෙන බෝනස් එකකි.
සැබෑ මිළ ඔවුන්ට ලැබෙන්නේ ඔබේ රෝගය
ඔබ මාරාන්තිකව වසඟයට ගත් දාටයි.

වේදනා නාශකයෙන් සඟවා තැබූ රෝග ලක්ෂණය
සුව කිරීම අසීරු වී ඔඩු දුවද්දී
ව්‍යාපාරිකයාද ඒ තරමට ලාභ උපයන්නේය.

රෝග ලක්ෂණ වලට බියවී
රෝග ඇතත් නැතත් ප්‍රතිකාර සොයා
අනවශ්‍ය අවස්ථාවන්හිදී
අනවශ්‍ය ඖෂධ භාවිතයෙන් රෝගීන් වළක්වා ගැනීම
රෝග වැළැක්වීමට වඩා අද බැරෑරුම්ය.

මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා
අද ඔබට දෙවරක් සිතන්නට කියයි.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ
පණිවිඩය සරලය. පැහැදිලිය.
1, අනවශ්‍ය ඖෂධවලින් වළකින්න.
2, නුසුදුසු ඖෂධවලින් වළකින්න.
මේ දෙක වැරදුණොත් ජීවිතයත් අනතුරේ.

කිසිම වෛද්‍යවරයෙක් සර්වඥ නැත.
ඔහු රෝගය වැරදියට කියවන්න පුලුවන්.
ඔබේ පැමිණිල්ල රෝගයක් නොවෙන්නත් පුලුවන්.
බෙහෙත නිරෝගී ඔබට විෂ වෙන්න පුලුවන්.
ඕපියොයිඩ් නිසා නිරෝගීන් මිය ගිහින්.
තවත් එවැනිදේ සිදු වෙන්න පුලුවන්.
ඒත් වාර්තාවන්නේ රෝගයකින් සිදුවූ
මරණයක් ලෙස විය හැකියි.

දිය වැඩියා රෝගයට දෙන බෙහෙතෙන්
රුධිර පීඩනය වැඩිවී රෝගියා මළොත්
ඔහු මිය ගියේ අධික රුධිර පීඩනය නිසා
කියා මරණ වාර්තාවේ දකින්න පුලුවන්.

විශේෂඥයෙක් වුනත්
සිය ගණනකට සුළු කාලයක් තුළ
ප්‍රතිකාර කරද්දි වැරදි සිදු විය හැක.
වෛද්‍යවරයා දෙන්නෙ ඔහු හදපු බෙහෙතක් නොවෙයි.
ඔහු දෙන බෙහෙත වැරදිය හැක.
අනවශ්‍ය විය හැක.

සමහරු බෙහෙතක් දෙන්නෙ
ඔහු ලබන කොමිස් නිසා විය හැක.

ජෝන් කපූර් වෛද්‍යවරු මිළට ගත්තා.
ලෝකෙටම ඉන්නෙ එවැනි අය එක්කෙනක් නොවෙයි.
චන්න ජයසුමන වැනි වෛද්‍යවරුන් පවා
කොමිස් ලබා දෙන ඖෂධ මාෆියාව පිළිබඳව
විවේචනාත්මකව කතා කරති.

බෙහෙත කුමක් වුණත්
හානියක් වුණාම අපිට අහන්න ලැබෙන
"බෙහෙත් හදන්නෙ මම නොවෙයි"
පොදු පිළිතුර සමග වාද කළ හැක්කේ කාටද?.

එදා සාත්තර කාරයන් ඇදහූ අයුරින්ම
අද වෛද්‍යවරුත් බැතිමත්ව ''අදහන්න'' පුරුදු වීම
බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්.

වෛද්‍යවරු නොදන්නා රෝග නැත්ද?.
වෛද්‍යවරු නොදන්නා ප්‍රතිකාර නැත්ද?.
මේ දෙක වැරදීමෙන් වෛද්‍යවරුන්ට වරදින විට
ඒ වැරදිවල හානිය සිදුවන්නේ ඔබටයි.

වෛද්‍යවරයෙකුට වැරදුණොත්
ඔහුවත් දන්නෙ නැති වෙන්න පුලුවන්.
ඒත් ඒ වරද යන්නෙ ඔබේ පිටින්.
වන්දි ගෙවන්නේ ඔබයි.

දෙවරක් හිතන්න.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?

ඔබ වෙළඳසැලකට ගිහින් යමක් ඉල්ලද්දි
කවදාවත්ම ව්‍යාපාරිකයා ඔබ හරවා එවන්නෙ නෑ.
ව්‍යාපාරිකයා මේ ප්‍රශ්න දෙක අහන්නෙ නෑ.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?

ඔහුගෙ ආදායම රඳා පවතින්නෙ
මේ දෙක මත නොවෙයි.
ඔබ මිලට ගන්නා ප්‍රතිකාර සහ
ඖෂධ ප්‍රමාණය මතයි.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
මේ දෙකට පිළිතුර "ඔව්" කියා ඔබ සිතීම මතයි.

අද කාලයේ වෛද්‍ය වෘත්තිය
අති උදාර හදවතක් ඇති
යස ඉසුරු සම්පත් වලට කෑදර නැති
උතුම් මිනිසුන්ට පමණක් යෙදිය හැකි තරම්
අවදානම් සහගත, පහත් වෘත්තියක් බවට
කණගාටුදායක ලෙස පත්ව ඇත්තේ
වෘත්තියෙහි වරදක් නිසා නොව
එහි යෙදෙන සමහර මිනිසුන්ගේ
පහත් ගතිගුණ සහ පහත් සිතුම් පැතුම් නිසා
රෝගියා පාරිභෝගිකයෙක් වී
නිරෝගියාට පවා ප්‍රතිකාර කිරීම
ජාවාරමක් වී ඇති නිසාය.

මූලාශ්‍ර වූ පුවත දිවයින පත්‍රයෙන්
===================================
රෝගීන්ට මරණය
; දොස්‌තරලාට අල්ලස්‌ බෙහෙත් සමාගම් හිමිකාර ප්‍රකෝටිපතියා අත්අඩංගුවට

 ලොව ප්‍රධාන පෙළේ බෙහෙත් සමාගමක්‌ වන 'ඉන්සිස්‌ තෙරපියුටික්‌ස්‌' සමාගමේ නිර්මාතෘවරයා වන ප්‍රකෝටිපති ජෝන් කපූර් ප්‍රබල වේදනා නාශකයක්‌ රෝගීන්ට වැඩි වශයෙන් නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන්ට අල්ලස්‌ ලබාදීමේ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 පිළිකා රෝගීනට ස්‌නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වේදනාව ලිහිල් කිරීම සඳහා භාවිත කරන 'ඔපියොයිඩ්' නමැති වේදනා නාශකය භාවිත කළ රෝගීන් මිය යැම ඉහළ යැම හේතුවෙන් වසර ගණනක්‌ පැවැත් වූ පරීක්‍ෂණවලින් පසු ප්‍රකෝටිපති බෙහෙත් සමාගම් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙහිදී කපූර්ට අයත් බෙහෙත් සමාගම ඉහත කී වේදනා නාශකය පිළිකාවක්‌ නොවැළඳුණු පුද්ගලයන්ට විශාල වශයෙන් නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන්ට හා බෙහෙත් ශාලාවලට විශාල අල්ලස්‌ මුදල් ලබාදී ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

 මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 74 හැවිරිදි ප්‍රකෝටිපති බෙහෙත් ව්‍යාපාරික කපූර්ට සිර දඬුවම් ඇතුළු වෙනත් දඬුවම් ලැබීමට නියමිත බව විදෙස්‌ මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

 'ඔපියොයිඩ්' වේදනා නාශක බෙහෙත් වර්ගයට අදාළව සිදුවූ රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යැම නිසා හටගත් තත්ත්වය හදිසි මහජන සෞඛ්‍ය අපදා තත්ත්වයක්‌ ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙරේදා (26 දා) ප්‍රකාශයට පත් කළේය.

Divaina ඒමන්ති මාරඹේ